වර්ෂ 2023 ක්වූ October 03 වැනිදා Tuesday
හරිම බඩු දුසිමක්

අර්වින් නාදන්සන් උපත ලැබූවේ 1928 වර්ෂයේ පෙබරවාරි 17 වන දිනය. ඒ ඇමරිකාවේ නිව්යෝක් නගරයේය. ඔහුගේ මවට 'ඩිප්‍රෂන්' නම් රෝග ලක්ෂණයෙන් පීඩා විඳී හෙයින් එයට ප්‍රතිකාර ගැන්මට යොමු වූ හෙයින්, අර්වින්ට ජෙවිශ් ළමා නිවාසයක නතර වන්නට සිදු විය. එවිට ඔහුගේ වයස අවුරුදු 2 කක් පමණ විය. ඔහු එහි ඔහුට අවුරුදු 7 ක් වන තෙක් සිටියේය.ඉන් පසු ඔහු හේබෲ ජාතික අනාථ නිවාසයකට යැවුණි. ඔහු එහී උසස් පාසැල් උපාධිය තෙක් සිටියේය. ඉන්පසු ඔහු නිව්යෝක් හී විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. එහිදී ඔහු විශේෂ දක්ෂතාවයක් දැක්වූයේ ලේඛනයටය. එහෙයින් ඔහු පිටපත් රචකයෙකු හා සංස්කරණ ශිල්පියකු ලෙස නිව්යෝක් නගරයේ 'ෆෙයාචයිල්ඩ් ප්‍රකාශන' ආයතනයේ බාහිරව වැඩ කළේය. එලෙසම ඔහු වාර්තා කරුවකු ලෙස 'ඇරලින්ටන් සන්' පුවත්පතේද වැඩ කළේය . ඊටත් අමතරව ඔහු 'ද වොෂින්ටන් පෝස්ට්' සඟරාවේ නිදහස් ලේඛකයකු ලෙසද වැඩ කරන්නට විය.
1959 දී ඔහු ඇමරිකාවේ ලොස් ඇන්ජල්ස් හී පදිංචියට ගොස් 'ඩේරින්ග් ඩිටෙක්ටිව් සඟරාවේ' නියෝජ්‍ය කර්තෘ ලෙස වැඩ කරන්නට පටන් ගතී.
1965 දී ඔහු හොරකම්, මැරකම්, මංකොල්ලකෑම්, හා මිනීමැරුම් හා ස්ත්‍රී දූෂණ ගණනාවකට සම්බන්ධ වී මරණීය දණ්ඩනය හා ජීවිතාන්තය දක්වා හිර ගත කළ හමුදා සෙබළුන් 12 දෙනෙක් ගැන, හා ඔවුන්ට සිය ජීවිතය පවා උගසට තබන මෙහෙයුමකට සම්බන්ධ වීම හා එහී ක්‍රියාකාරිත්වය ගැන අපූරු යුදමය කථාවක් ලීවේය. එය ඔහු නම් කළේ 'ද ඩර්ටි ඩසන්' නමිනි.
නාදන්සන් ලියූ 'ද ඩර්ටි ඩසන්' නවකථාව, ඇමරිකාව තුළ පිටපත් මිලියන 2 කක් විකුණුනු අතර, එය රටවල් 10 ක භාෂාවන් වලට පරිවර්තනය විය. ඉන්පසුද ඔහු 'ද ලේට්කොමර්ස්' (1970), 'ඉට් ගේව් එව්රිබොඩි සම්තිංන්ග් ටු ඩූ (1973), 'අ ඩර්ටි ඩිස්ටන්ට් වෝ', (1987) 'ක්නයිට්ස් ක්‍රොස් (1993), 'ලවර්ස් ඇන්ඩ් ස්කීමර්ස්' (2003) වැනි පොත් කීපයක් ලීවද, ඔහුගේ 'ද ඩර්ටි ඩසන්' තරම් ඒවා ප්‍රචලිත වූයේ නැත.
'ද හොවුන්ඩ් ඔෆ් ද බාස්කර්විලේස් (1959), 'ද ස්ට්‍රැන්ග්ලර්ස් ඔෆ් බොම්බෙ'(1959), 'ද ටෙරර් ඔෆ් ද ටොන්ග්ස්',(1961),'ජිගොට්'(1962), 'වට් එවර් හැපන් ටූ බේබි ජේන් (1962), 'ද හිල් (1965), වැනි චිත්‍රපට නිෂ්පාදන කළ ඇමරිකානු චිත්‍රපට නිෂ්පාදකවරයකු වූ 'කෙනත් හෙයිමන්' ඔහුගේ නමින්ම 'කෙනත් හෙයිමන් ප්‍රඩක්ෂන්' නමින් චිත්‍රපට සමාගමක් පිහිටුවා ගෙන ඒ යටතේ අර්වින් නාදන්සන් ලියූ ' ද ඩර්ටි ඩසන්' නවකථාව චිත්‍රපටයකට නංවන්නට සැරසීය. ඔහු මුලින්ම 'මෙට්රෝ ගෝල්ඩ්වින් මේයර්' චිත්‍රපට බෙදාහැරීම් සමාගම සමඟ ගිවිසුම් ගත වූයේ චිත්‍රපටය ලොව පුරා බෙදාහැරීමේ කාර්යයටය. ඔහු එහී තිරනාටකය ලිවීමට භාර කළේ නුනාලි ජොන්සන් හා ලූකස් හෙලර් ටය. නුනාලි ජොන්සන් තිර රචකයෙක් මෙන්ම චිත්‍රපට නිෂ්පාදකයෙකුද විය. ඔහුගේ මුල්ම තිර රචනය වූයේ 1927 වර්ෂයේ තිරගත කළ 'රෆ් හවුස් රෝසිය'. ඔහු තිර රචනය ලියා මුලින්ම නිෂ්පාදනය කළ චිත්‍රපටය වූයේ 1934 වසරේ තිර ගත කළ 'කාර්ඩිනල් රිචෙලියූ' ය. එතැන් සිට එනම් 1927 සිට, 1967 දක්වා චිත්‍රපට 61 ක තිර රචනය ලියා තිබූ අතර චිත්‍රපට 43 ක් නිෂ්පාදනය කර තිබුණි. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණය ට පිවිසියේ 1953 වසරේදීය. ඒ 'නයිට් පීපල්' චිත්‍රපටයෙනි. එහී ඔහු තිර රචනය , නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය යන ත්‍රීත්වයට ම, එකතු විය. ඔහු චිත්‍රපට 8 ක් අධ්‍යක්ෂණය කර තිබුණි. එයින් චිත්‍රපට 7 කම ඔහු තිර රචකයා හා අධ්‍යක්ෂකයා ද විය. 1960 වසරේ තිර ගත කළ 'ඒන්ජල් වෝ රෙඩ්' චිත්‍රපටයේ පමණක් ඔහු තිර රචනය හා අධ්‍යක්ෂණය ට හවුල් වූ අතර එහී නිෂ්පාදකයා වූයේ ජොෆ්රෙඩෝ ලොම්බාර්ඩෝය. නුනිලි ගේ අවසන් තිර නාටකය වූයේ 'ද ඩර්ටි ඩසන්ය'
නුනිලි සමඟ 'ද ඩර්ටි ඩර්සන්' චිත්‍රපටයේ තිර නාටකය ලිවීමට හවුල් වූ ලූකස් හෙලර් ජර්මන් ජාතිකයෙකි. ඔහු වෘත්තියෙන් චිත්‍රපට තිර රචකයෙකි. 'නෙවර් බෑක් ලූසර්' නමින් බ්‍රිතාන්‍ය චිත්‍රපටයක තිර නාටකය ලිවීමෙන් ඔහුගේ සිනමා තිර රචනා වෘත්තිය ආරම්භ කළේය. ඒ 1961 වසෙර්ය. ඉන් පසු 'කැන්ඩිඩේට් ෆො මර්ඩර්', (1962), 'වට් එවර් හැපන් ටු බේබි ජේන් (1962), 'හොට් ඉනෆ් ෆො ජූන් (1964), 'හෂ් හෂ් ස්වීට් චාර්ලට් (1964), 'ද ෆලයිට් ඔෆ් ද ෆීනික්ස්'(1965) යන චිත්‍රපටවල තිර නාටකයන් ලියූ පසුවය ඔහු නුනාලි ජොන්සන් සමඟ එකතු වී 'ද ඩර්ටි ඩසන්' චිත්‍රපටයේ තිර නාටකය ලීවේ.
'ද ඩර්ටි ඩසන්' චිත්‍රපටය අධ්‍යක්ෂණය භාර වූයේ ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වූ රොබට ඕල්ඩ්රිච් ට ය. 'වේරා කෲස්' (1954), 'කිස් මී ඩෙඩ්ලි' (1955), 'ද බිග් නයිෆ්'(1955), 'ඕටම් ලීව්ස් 1956), 'ඇටැක්', (1956), 'වට් එවර් හැපන් ටු බේබි ජේන් (1962), 'හෂ් හෂ් ස්වීට් චාර්ලට් (1964), 'ද ෆලයිට් ඔෆ් ද ෆීනික්ස් (1965), යන චිත්‍රපට ඔහු මීට පෙර අධ්‍යක්ෂණය කර, සාර්ථකත්වයට පත් කළ චිත්‍රපටයන් ය. අන් අතට රොබට් ඕල්ඩ්රිච් යනු තිර නාටක රචකයෙක් මෙන්ම, චිත්‍රපට නිෂ්පාදකයෙක්ද විය.
'ද ඩර්ටි ඩසන්' චිත්‍රපට ගත කිරීමට කෙනත් හයිමන් නිෂ්පාදන සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 5.4 ක් වෙන් කෙරීය.
මෙහි ප්‍රධාන චරිත ගණනාවක් තිබුණි. ඒ හැම ප්‍රධාන චරිතවලට හොලිවූඩ් හා බ්‍රිතාන්‍ය සිනමාවේ ප්‍රසිද්ධ එමෙන්ම විශිෂ්ට නළුවන්ව ගැනීමට නිෂ්පාදක සමාගම තීරණය කළහ. ප්‍රධානතම චරිතය වූ මේජර් ජෝන් රෙයිස්මන් ගේ චරිතයට මුලින්ම තෝරා ගත්තේ 'ජෝන් වේන්' වය. එහෙත් මුල් තිර රචනය තුළ තමන්ට නොගැළපෙන තැන් ඇති බවත් විශේෂයෙන් ඉංග්‍රීසි ජාතික කාන්තාවක් සමඟ අනාචාරයේ හැසිරෙන දර්ශනයක් තිබෙන හෙයින් ඔහු එම චරිතය භාර ගත්තෙ නැත. එය ඇමරිකන් ජාතික විශිෂ්ට නළුවකු වූ 'ලී මර්වින්ට' ගියේ ඉන්පසුවය. ඒ වන විට අර අනාචාරයේ හැසිරෙන දර්ශනය තිර රචනයෙන් අයින් කර තිබුණි.
ලී මර්වින් 1924 පෙබරවාරි 19 වෙනිදින ඇමරිකාවේ නිව්යෝක් නගරයේ උපත ලැබීය. ඔහු ඇමරිකානු සිනමාවට පැමිණියේ 1942 වසරේ තරමේය. එහෙත් ඔහුට රඟපෑමට ලැබුණේ 1951 වසරේ තිරගත වූ 'යු ආර් ඉන් ද නේවි නව්' චිත්‍රපටයේය. එහී ඉතාමත් සුළු චරිතයක්ය ඔහුට ලැබුණේ. කිසියම් කැපී පෙනෙන චරිතයක් ඔහුට රඟපෑමට ලැබුණේ ඔහුගේ 5 වන චිත්‍රපටය වූ ඒ 1952 වසරේ තිරගත වූ 'ද ඩුවල් ඇට් සිල්වර් ක්‍රීක්', චිත්‍රපටයේදී ය. එතැන් සිට ඔහු 1986 වසර වන තෙක් රඟපෑවේය. චිත්‍රපට 56ක් ඊට ඇතුළත් විය.
1963 වසරේ ඔහු රඟපෑ 'චාර්ලි ස්ට්‍රොම්' නම් චරිතය ඔහුව අන්තර්ජාතික අවධානයට පත් විය. එම චරිතය ඇතුළත් වූයේ 'ද කිලර්ස් ' නම් චිත්‍රපටය ටය. එම රඟපෑමට ඔහු හොඳම නළුවාට හිමි BAFTA සම්මානය ලබා ගතී. එම වසරේම 'කැට් බලෝවූ' නම් චිත්‍රපටයේ රඟපෑ චරිතයට ඔහුට ප්‍රථම වතාවට හොඳම නළුවාට හිමි ඇමරිකානු ඔස්කාර් ඇකඩමි සම්මානය ලැබුණි. ලංකාවේද ඔහුගේ චිත්‍රපට කීපයක්ම තිර ගත විය. 'ප්‍රයිම් කට්', 'ද ප්‍රොෆෙෂනල්ස්' 'කැට් බැලවු' ද කිලර්', 'ඩෙත් හන්ට්', ' පේන්ට් යුවර් වැගන්' ' ද ඩර්ටි ඩසන්' 'ද ඩෙල්ටා ෆෝස්', එම චිත්‍රපට අතර විය. ලී මර්වින් රඟපෑ අවසන් චිත්‍රපටය වූයේ 'ද ඩෙල්ටා ෆෝස්'ය. එය තිරගත කළේ 1986 පෙබරවාරි 14 වනදාය. ඔහු එහී රඟපෑවේ තවත් දක්ෂ ක්‍රියාදාම නළුවකු වූ චක් නොරිස් සමඟය. ලී මර්වින් දැඩි ලෙස දුම් පානයටත්, මත් පැන් පානයටත් ඇබ්බැහි වී සිටියේය. ඒ හේතුවෙන් ඔහු වයස 63 ව සිටියදී හදවත් රෝගයෙන් මිය ගියේය. ඒ 1987 අගෝ 29 වන දිනය.
'ද ඩර්ටි ඩසන්' කථාව ගලා ගියේ සිරකරුවන් 12 දෙනෙක් සහභාගි කර ගෙන කරන මෙහෙයුමක් වටාය. එම සිර කරුවන් 12 දෙනා ලෙස රඟපෑවේ, ඇමරිකාවේ හා බ්‍රිතාන්‍ය සිනමාවෙන් පැමිණි ලොව විශිෂ්ටතම නළුවන් පිරිසක් වූ, 'චාර්ල්ස් බ්‍රොන්සන්', 'ජෝන් කැසවේටස්', 'ජිම් බ්‍රවුන්' 'ටෙලි සවාලස්', 'ඩොනල්ඩ් සදර්ලෑන්ඩ්', 'ක්ලින්ට් වෝකර්', 'ටොම් බස්බී', 'බෙන් කරූදස්', 'ස්ටුවට් කූපර්', 'කොලින් මෙයිට්ලන්ඩ්', ''ඇල් මැන්සිනි',සහ 'ට්‍රිනි ලෝ පෙස්'ය. ඊට අමතරව 'අර්නස්ට් බොගිනි' මේජර් ජෙනරල් සෑම් වෝර්ඩන් ලෙසත්, 'රොබට් රයන්' කර්නල් එවරෙට් ඩැෂර් ලෙසත්, 'රොබට් වෙබර්' බ්‍රිගේඩියර් ජෙනරාල් ඩෙන්ටන් ලෙසටත්, ප්‍රධාන චරිත වලට පණ දුනී. '
'ද ඩර්ටි ඩසන්' චිත්‍රපටය භාෂා 3 කින් ඉදිරිපත් කිරීමට නිෂ්පාදක සමාගම කටයුතු කළ අතර, ඒවා ඉංග්‍රිසි, ජර්මන් හා ප්‍රංශ භාෂාවන් විය. ඉහත කී ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 5.4 ක ඇස්තිමේන්තු වට මුල් වටයේ ලැබුණු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 45.3 ක් විය. 'ද ඩර්ටි ඩසන්' ආදයම් අතින් මෙන්ම විශිෂ්ටත්වය අතිනුත් උසස් විය. විශේෂයෙන් තෝරා ගත් ඒ සුපිරි නළු කැලගේ රඟපෑම් අද්විතිය විය.
'ද ඩර්ටි ඩසන්' චිත්‍රපටය එම වසරේ ඇමරිකානු ඔස්කාර්, ඇකඩමි සම්මාන උලෙළේ අවධානයටද යොමු වූ චිත්‍රපටයක් වූ අතර, එහී රඟපෑ 'ජෝන් කැසවේට්ස්' හොඳම සහයක නළුවා ලෙසටද, මයිකල් ලුසියානෝ හොඳම සංස්කරණ ශිල්පියා ලෙසටද, මෙට්රෝ ගෝල්ඩ්වින්ග් මේයර් ශබ්දාගාර අංශය හොඳම ශබ්ද පරිපාලනය ලෙසටද සම්මාන සඳහා නිර්දේශ විය. එසේ නිර්දේශ වූවද, දිනා ගත්තේ එක සම්මානයකි. ඒ හොඳම ශබ්ද ප්‍රයෝග සඳහා ලැබුණු සම්මානයයි. එය ලැබුණේ එහී ශබ්ද ප්‍රයෝග ශිල්පී ජෝන් පොයිනර් ටය.
'ද ඩර්ටි ඩසන්' චිත්‍රපටය ආරම්භ වන්නේ සිර ගෙයක් තුළට මේජර් ජෝන් රෙයිස්මන් (ලී මර්වින්) පැමිණෙන දර්ශනයකිනි. ඉන් පසු දර්ශනයේ දිස්වෙන්නේ සිරකරුවකු එල්ලා මරණ ජවනිකාවකි. එයට මේජර් රෙයිස්මන් ද සහභාගි වේ.
කථාන්තරය පටන් ගන්නේ ඉන්පසුවය. බ්‍රිතාන්‍ය ජෙනරාල් සෑම් වෝර්ඩන් (අර්නස්ට් බොගිනි) විසින් මේජර් රෙයිස්මන්ට මෙහෙයුමක් පවරයි. එය හැඳීන්වූයේ 'ප්‍රොජෙක්ට් ඇමෙනස්ටි' නමිනි. එහී සිදුවිය යුතු වූයේ උතුරු ප්‍රංශයේ ජර්මානු නාසි බල හමුදා කඳවුර හා එහී ලැගුම් ගෙන සිටි ගොඩනැගිල්ල සහ රේඩියෝ සංඥා කුළුණු විනාශ කර, එම ජර්මන් හමුදාවද මරා දෑමීමටය. මෙයට දැනට බ්‍රිතාන්‍ය හමුදා සිර ගෙදර සිර ගත වී සිටින සිර කරුවන් 12 දෙනෙක් ව ගෙන ඔවුන්ව පුරුදු පූහුණු කර මෙම මෙහෙයුමට යැවීමය ජෙනරාල් සෑම් වෝර්ඩන් ගේ සැලසුම. මෙය එක්තරා අතකට ජීවිතය පරදුවට තබා කරන සටනක් විය. එලෙසම මෙය මරාගෙන මැරෙන මෙහෙයුමක්ද විය. ඒ නිසා ඔවුන් තෝරා ගත්තේ බෙල්ල හිර කර මරා දමන දඬුවමට යටත් වූ සිර කරුවන් 5 දෙනෙකු සහ, බරපතළ වැඩ ඇතිව අවුරුදු 20 කට වැඩි සිර දඬුවම් විදින සිර කරුවන් 7 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක්ය.
එම කණ්ඩායම වූයේ ජෝශප් ව්ලාඩිස්ලෝ (චාර්ලස් බ්‍රොන්සන්) , වික්ටර් ආර් ෆ්‍රැන්කො (ජෝන් කැසවේට්ස්), පෙඩ්රෝ ජිමිනෙස් (ට්‍රිනි ලෝපෙස්), රොබට් ටී ජෙෆර්සන් (ජිම් බ්‍රවුන්), ආර්චර් ජේ මැගොට් (ටෙලි සවාලාස්), වර්නන් එල් පින්ක්ලි (ඩොනල්ඩ් සදර්ලෑන්ඩ්), සැම්සන් පොසේ (ක්ලින්ට් වෝර්කර්), මිලෝ ව්ලැඩෙක් (ටොම් බස්බී), ග්ලෙන් ගිල්පින්(බෙන් කැරූතස්), රොස්කොයි ලෙවර් (ස්ටුවට් කූපර්), සෙත් කේ සවයර් (කොලින් මසිට්ලන්ඩ්), සහ ටසෝස් ආර් බ්‍රාවෝස් (අල් මන්සිනි).ය.
මේජර් රෙයිස්මන් මෙම 12 දෙනාව පුරුදු පුහුණු කිරීම් භාර කළේ සාර්ජන්ට් ක්ලයිඩ් බෝරේන් (රිචඩ් ජෙකල්) ටය. මෙම 12 දෙනාට සාර්ජන් බෝරෙන් මුලින්ම පැවරුවේ ඔවුන්ගේ කඳවුරු සම්පූර්ණයෙන්ම සාදා ගැන්මටය. ඔවුන් එය ඉතාමත් දර්ශනීය අන්දමට සාදා ගත්හ. ඒ කෙසේ වෙතත් මෙය පහසු කාර්යක් නොවීය. හේතුව මේජර් රෙයිස්මන් ට පුහුණු කිරීමට හා වැඩ කිරීමට සිදුවුණේ මිනීමරුවන්, මංකොල්ලකාරයන්, දූෂණය කෙරුවන් සමඟය. තවත් මිනිහෙක්ව මරා දමන්නට ඔවුන්ට හේතුවක් අවශ්‍ය නොවීය. ඒ ඔවුන් මරණයට නියම වී සිටින සිරකරුවන් නිසාය. ඔවුන් හා ප්‍රවේශමෙන් වැඩ කරන ලෙසට කපිතාන් ස්ටුවර්ට් කයින්ඩර් (රැල්ප් මීකර්) මේජර් රෙයිස්මන් ට අවවාද දුනී.
මේජර් රෙයිස්මන්ගේ මෙහෙයුම නතර කිරීමට, කර්නල් එවරෙට් ඩැෂර් බ්‍රීඩ් (රොබට් රයන්) හැකි හැම උත්සහයක්ම ගත්තේ මේජර් රෙයිස්මන්ගේ මෙහෙයුම සාර්ථක වූවහොත් ඔහුට තමාගේ තනතුරද අබිභවා යන බවක් ඔහුට දැනුණු නිසා වන්නට ඇත. එහෙත් රෙයිස්මන්, හා ඔහුගේ පුහුණුකරුවන්, සෙබළු සිරකරුවන් 12 දෙනා එක්ව කර්නල් එවරෙට් හා ඔහුගෙ සගයන්ව එතැනින් එළවා දැමීය. පුහුණුව අවසන් දින, හා මෙහෙයුමට යෑමට පෙර, මේජර් රෙයිස්මන් විසින් සෙබළු දොළොස් දෙනා වෙනුවෙන් රූමත් ගණිකාවන් කණ්ඩායමක් කඳවුරට ගෙන ආ සිද්ධිය, කර්නල් එවරෙට් විසින් හමුදා මූලස්ථානයේ මේජර් ජෙනරාල් සෑම් වෝඩන් ට, රපෝර්තු කළේ, එය හමුදා විනය කැඩීම පිළිබඳ ප්‍රශ්නයක් සේ හුවා දක්වමිනි. ඔහු සිතුවේ එම හේතුව නිසා මේජර් ජෙනරාල් සෑම් වෝර්ඩන්, මේජර් රෙයින්ස්මන්ගේ මෙහෙයුම නතර කරනු ඇතැයි කියාය. එහෙත් මේජර් ජනරාල් එය විශාල ප්‍රශ්නයක් ලෙසට සැලකුවේ නැත. සාමාන්‍යයෙන් මෙහෙයුමකට හෝ යුද්ධයකට යෑමට පෙර සෙබළුන්ව සතුටු කරන දෑ දීම වරදක් නොවන බවක් ඔහු පෙන්වා දුනි. බොහෝ විට යුද්ධයකට හෝ මෙහෙයුමකට යන සෙබළුන්ගේ නැවත පැමිණීම සැක සහිතය. එහෙයින් මේජර් රෙයිස්මන් කළ දේ මේජර් ජෙනරාල් විසින් සාධාරණීය කළේය.
ඉන්පසු මේජර් රෙයිස්මන් තම නිල සහයක කපිතාන් වරුන්, කෝප්‍රල් වරුන්, හා සෙබළු සිරකරුවන් 12 දෙනා සමඟ උතුරු ප්‍රංශයේ ජර්මන් නාසි හමුදාව ලැඟුම් ගන්නා හමුදා මූලස්ථානයට හා හමුදා කඳවුර ට ප්‍රහාර එල්ල කිරීම සඳහා තම හමුදා ගුවන් යානා වලින් ගොස් පැරෂූට් අධාරයෙන් සැලසුම් කෙරූ තැන්වලට බැස එතැන් සිට මෙහෙයුම ක්‍රියාත්මක කළහ. ඔවුන් ඉතා සූක්ෂම ලෙස ජර්මානු හමුදාවට පහර දෙන්නට විය, එහී වැඩි බරක් ගත්තේ සෙබළු සිරකරුවන් 12 දෙනාය. සෙබළ සිරකරු ජෝශප් ව්ලාඩිස්ලෝ (චාර්ල්ස් බ්‍රොන්සන්) නිතරම සිටියේ කර්නල් රෙයිස්මන් (ලී මර්වින්) සමඟය. ඔවුන් දෙදෙනා මෙහෙයුමේ මූලික මෙන්ම අපහසු ම කාර්යයන්ට නිරත වූයේ තම ජීවිතයන්ද පරදුවට තබමිනි. ඒ අතරේදී වෙනත් තැන් වලින් ඉතුරු සෙබළු සිර කරුවන් තමනට පැවරී ඇති කාර්යන් උද්යෝගිමත්ව ක්‍රියා කළේ, මරණය පෙනි පෙනී හෝ එයින් විනෝදයකුත් ලබමිනි.
මෙහෙයුම පටන් ගන්නට ප්‍රථම, ජර්මානු මූලස්ථානය තුළ උසස් හමුදා නිලධාරින්, ඔවුනගේ බිරිඳැවරුන්, දරුවන් මෙන්ම ඇතැම් උසස් නිලධාරින්ගේ පෙම්වතියන් පිරිවරා සාදයක් පවත්වමින් තිබුණි. බ්‍රිතාන්‍ය හමුදාව තම මෙහෙයුම හරහා එම මූලස්ථානයේ ගොඩනැගිල්ල පියවරෙන් පියවර පුපුරා හරින විට ඔවුන් සියල්ලම පහතම මාලයේ පොළව යට ඉදිකර ඇති තට්ටුවට ගියේ එහි සැඟවී හෝ ජීවිත බේරා ගැන්මටය. එහෙත් මේජර් රෙයිස්මන් ගේ හමුදා සිරකරුවන් කළේ එම පහත මාලයට උඩ හිඩැස් තුළින් ඩීසල් හා පැට්‍රල් දැමීමය. ඒ ඉන්ධනවලින් සැඟවී සිටි ඒ සාදයට පැමිණි කාන්තාවන්, මිනිසුන්, හා දරුවන් තෙමුණු අතර, රෙයිස්මන්ගේ සෙබළ සිරකරුවන්ට උවමනා වුයේ එසේ සැඟවී සිටි අයව ඉන්ධන දියරයෙන් නහවා, ඒ මිනිසුන්, කාන්තාවන් හා දරුවන් අතරට ගින්දර විසි කර ඔවුන්ව ගිනි තබා මරා දමන්නටය.
චිත්‍රපටය තුළ මෙතෙක් පැහැදීමට ලක්වී තිබූ මේජර් රෙයිස්මන් හා සෙබළ සිරකරුවන් 12 දෙනා කරන්නට යන ම්ලේච්ඡ ක්‍රියාවට ප්‍රේකෂකයන් පමණක් නොව විචාරකයන් පවා සිය අප්‍රසාදය දැඩිව පළ කරමින් එහී අධ්‍යක්ෂක එම ජවනිකාව නොකර සිටියා නම් හොඳ බව කීය. එලෙසම එකී අප්‍රසාදය, එම චරිත රඟපෑ ලී මර්වින්, චාර්ල්ස් බ්‍රොන්සන්, ඩොනල්ඩ් සදර්ලෑන්ඩ් ,ජිම් බ්‍රවුන්, ටෙලි සවාලස්, ජෝන් කැසවේටස් ටද එල්ල විය. ප්‍රකට නළු ජෝන් වේන් විසින් මේජර් රෙයිස්මන් ගෙ චරිතය රඟපෑම ප්‍රතික්ෂේප කළ ඇත්ත කථාව නම් ඉහත කී ම්ලේච්ඡ සහගත දර්ශනය නිසා බව වරක් ජෝන් වේන් ටයිම් සඟරාවට කියා තිබුණි.
මේ මෙහෙයුමෙන් ඔවුන් ජර්මානු හමුදාව පරාජය කළද, ඔවුන් අතරින්ද අවසානයට ඉතුරු වූයේ 3 න් දෙනෙක් පමණි. ඒ මේජර් රෙයිස්මන් , (ලී මර්වින්), සෙබළ සිර කරු ජෝශප් ව්ලාඩිස්ලෝ (චාර්ල්ස් බ්‍රොන්සන්) සහ සාජන්ට් ක්ලයිඩ් බෝරෙන් (රිචඩ් ජෙකල්) පමණි. ඔවුන්ටද තරමක් බරපතළ ලෙස තුවාල සිදුවුණද, ඒවා සුළු කාලයකින් සුවපත් වන ඒවා විය. අනෙක් සෙබළ සිරකරුවන් 11 දෙනාම එක්, එක් ආකාරයෙන් මෙහෙයුම තුළදී මිය ගිය අතර, බ්‍රිතාන්‍ය හමුදාවේ සෙබළුන්, කපිතාන් වරුන් හා මේජර් වරුන්ද මෙම මෙහෙයුමේදී මියගියහ.
හමුදාවේ නීතිය අනුව, මරණයට හෝ ජීවිතාන්තය දක්වා නියම වූ හිර කරුවන්ව, මෙලෙස මෙහෙයුමකට හෝ යුද්ධයකට තෝරා ගතහොත් එම යුද්ධය සාර්ථකව නිම කර නිරුප්‍රදිතව පැමිණිය හොත්, ඔවුන්ට නගා ඇති චෝදනා හා දඬුවම්වලින් ඉවත් කර, ඔවුන්ගේ වැරදි වලින් පූර්ණව නිදොස් කොට නිදහස් කරන අතර, රජය ඔවුන් වීරයන් ලෙස සලකා පිළිගනු ඇත. එලෙසම එම සෙබළ සිරකරුවන් මෙහෙයුමේදී මියගියහොත්, ඔවුන්වද වීරයන් ලෙස සලකා, ඔවුන්ගේ නාමයන් ගරු බුහුමන් වලට පාත්‍රවන අතර, ඔවුන්ගේ පවුල්වලට රජයෙන් සියලු දීමනා හා සැලකුම් ලබා දෙනු ඇත. ඒ අන්දමට එකි මියගිය සෙබළ සිරකරුවන්ට ඒ අභිමානය ලැබිණි.
'ද ඩර්ටි ඩසන්' ඇමරිකාවේ හොඳම ත්‍රසජනක චිත්‍රපට 100 ලැයිස්තුවට ඇතුළත් විය. එහි 65 වන ස්ථානයට එය පත් විය. මෙහි ලද ජනප්‍රියත්වය නිසා පසු කලෙක එනම් 1980 දශකයේ ඒ ඇසුරෙන් රූපවාහිනි චිත්‍රපට කීපයක් නිර්මාණය විය. 1985 දී 'ද ඩර්ටි ඩසන් නෙක්ස්ට් මිෂන්' ලෙස ද,. 1987 දී 'ද ඩර්ටි ඩසන්, ද ඩෙඩ්ලි මිෂන්' ලෙස ටද, 1988 දී, 'ද ඩර්ටි ඩසන් ද ෆේටල් මිෂන්' ලෙසටද එලෙස රූපවාහිනි චිත්‍රපට නිර්මාණ කෙරිණ.
2019 වසරේ 'ද ඩර්ටි ඩසන්' නැවත නවක නළුනිළියන් යොදා චිත්‍රපට ගත කරන බවත්, එය අධ්‍යක්ෂණය කිරීමට අධ්‍යක්ෂ ඩේවිඩ් අයර් ට භාර දෙන බවක් වෝනර් බ්‍රදර්ස් සිනමා සමාගම ප්‍රචාරය කළද, එවන් චිත්‍රපටයක් නිර්මාණය වූයේ නැත.
කෙසේ වෙතත් ක්‍රියාදාම චිත්‍රපටවලට ප්‍රිය කරන ඕනෑම රසිකයෙක් 'ද ඩර්ටි ඩසන්' චිත්‍රපටය නැරඹිය යුතුමය. ලී මර්වින්, චාර්ල්ස් බ්‍රොන්සන්, ජිම් බ්‍රවුන්, ටෙලි සවාලස්, අර්නස්ට් බොගනි, ජෝර්ජ් කෙනඩි, රොබට් රයන්, ජෝන් කැසෙවේට්ස් වැනි ලොව විශිෂ්ටතම නළුවන්ගේ රඟපෑම් මෙන්ම ඔවුන්ගේ ක්‍රියාදාමයන් එකම චිත්‍රපටයක් තුළින් දැක බලා ගැන්මම සුපිරිම අත්දැකීමකි.