තාරුණ්‍යය, දිළිඳුකම හා සුබසිහින අතර මංමුළා වූ Dulcima

අගෝස්තු 31, 2023

70 දශකයේ මුල් භාගයේ කොළඹ මැජෙස්ටික් සිනමා හලේ, 'ඩල්සිමා' නමින් චිත්‍රපටයක් ප්‍රදර්ශනය කළේය. පාකර් මහතා නම් අපිළිවෙළකට ජීවත් වුණු මැදිවියද පසු කරමින් යන, ගොවියකුත්, ඔහුගේ ජීවිතයට ඉබේටම ඇතුළු වෙන විවාහ වන වයසේ පසුවන රූමත් තරුණියකගේ කථාවක් එයට ඇතුළත් විය. මෙහි තවත් විශේෂත්වයක් වූයේ, මේ මැදිවියේ පාකර් ගෙ චරිතයට පණ දුන් නළුවාය. ඔහු නම් 'රයන්ස් ඩෝටර්' චිත්‍රපටයේ 'මයිකල්' නම් මන්ද බුද්ධික කොර ගසන මිනිසාට රඟපෑ ජෝන් මයිල්ස් ය.

ජෝන් මයිල්ස් යනු ලෝක සිනමාවේ බිහිවුණු විශිෂ්ට ගණයේ නළුවෙකි. එහෙයින් 'ඩල්සිමා' බැලීමට පෙලඹුණේ චිත්‍රපටය කෙසේ වෙතත්, ජෝන් මයිල්ස්ගේ රංග ප්‍රතිභාව හෝ දැක බලා ගැන්මටය. ඒ වන විට ඔහු 'රයන්ස් ඩෝටර්' චිත්‍රපටයේ 'මයිකල්' ලෙස ලොව වටා ප්‍රේක්ෂක ආකාර්ෂණය තමන් සතුකර ගෙන තිබුණේ, ප්‍රශංසාත්මකව, 'හයි කොලිටි' රංගවේදියකු ලෙසටය. රයන්ස් ඩෝටර් හී මයිකල් චරිතය ඔහුට ලබාදුන් දේ බොහෝය. හොලිවුඩ් හී 'ඒ' ශ්‍රේණියේ නළුවකු වීමත්, දැවැන්ත මෙන්ම උසස් චිත්‍රපට නිර්මාණය කරන නිෂ්පාදකයන් හා අධ්‍යක්ෂවරුන්ගේ අවධානයට යොමු වීමත්, විචාරකයන් හා ප්‍රේක්ෂකයන් අතරේ විශිෂ්ටත්වයට පත් වීමත් සමඟ ලොව ප්‍රධානතම සිනමා සම්මාන උලෙළ වූ ඔස්කාර් ඇකඩමි සම්මාන උලෙළේ හොඳම සහය නළුවා ලෙස වූ සම්මානය ලබා ගැන්මත්ය.

1908 පෙබරවාරි 22 වැනි දින බ්‍රිතාන්‍යයේ නෝෆෝර්ක් හී ඉපදුණු ජෝන් මයිල්ස්, තම සිනමා ජීවිතය ආරම්භ කළේ 1932 දී තරමේය. ඒ එම වසරේම තිරගත වූ 'ද මිඩ්ෂිප් මේඩ්', චිත්‍රපටයෙනි. එහී ගොලිග්ට්ලි නම් චරිතයකිනි ඔහු බ්‍රිතාන්‍ය සිනමාව ආක්‍රමණය කළේ. එය සුළු චරිතයක් වුවද, ඔහුට එහී චරිත නාමයක් ලැබුණි. ඇල්බට් ඩී කෞර්විලි නම් බ්‍රිතාන්‍ය අධ්‍යක්ෂවරයෙකි ඔහුට මේ අවස්ථාව ලබා දුන්නේ. එම වසරේම තිරගත කළ බර්නාඩ් වෝහර්ස් අධ්‍යක්ෂණය කළ 'ද ගෝස්ට් කැමරා' නම් වූ චිත්‍රපටයේ 'අර්නස්ට් එල්ටන්' නම් වූ තුන්වැනි ප්‍රධාන චරිතය රඟපෑමට ඔහුට හැකි විය. එය ඔහුගේ දෙවැනි චිත්‍රපටය විය. එතැන් සිට ඔහු 2004 වර්ෂය වන තෙක් පුරා අවුරුදු 72 ක් ඇතුළත චිත්‍රපට 99 රඟපෑවේය.

'රයන්ස් ඩෝටර්' ඔහුගේ 76 වැනි චිත්‍රපටය වූ අතර, මෙම ලිපියට පාත්‍රවන 'ඩල්සිමා' ඔහුගේ 77 වැනි චිත්‍රපටය විය. ඔහුගේ ප්‍රථම ප්‍රධාන චරිතය වූයේ 1934 දී තිරගත වූ 'කාර් ඔෆ් ඩ්‍රීම්ස්' නම් චිත්‍රපටයේ රොබට් මිලර් නම් වූ චරිතයයි.

ජෝන් මයිල්ස් චිත්‍රපට නිෂ්පාදනයටද අත ගැසීය. ඒ 1949 වර්ෂයේය. ඔහු ගේ මුල්ම නිෂ්පාදනය වූයේ 'ද හිස්ට්‍රි ඔෆ් මිස්ටර් පොලී' නම් වූ චිත්‍රපටයයි. එහී ප්‍රධාන චරිතය වූ ඇල්ෆ්‍රඩ් පොලී ගේ චරිතය රඟපෑවේ ජෝන් මයිල්ස් මය. ඉන්පසු ඔහු 'ද රොකින්ග් හෝර්ස් විනර්' නම් චිත්‍රපටයක් එම අවුරුද්දේම එනම් 1949 දීම නිෂ්පාදනය කළේය. ඔහු එම චිත්‍රපටයට අර්ල් සෙන්ට් ජෝන් නම් නිෂ්පාදක වරයෙක්ව ද එකතු කර ගතී. ජෝන් මයිල්ස් මෙහී සුළු චරිතයක් රඟපෑ අතර, ජෝන් හොවාඩ් ⁣ඩාවිස් නම් නළුවකුට ප්‍රධාන චරිතය රඟපෑමට භාර කළේය. 1950 දී ඔහු තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කළේය. 'මෝනිං ඩිපාර්චර්' නම් වූ එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ජෝන් මයිල්ස් හා රිචඩ් ඇටැම්බරෝ එක්ව රඟපෑහ.

ජෝන් එල් හාග්‍රේව්ස්, බැසිල් රේබන් එක්ව 'ඩල්සිමා' චිත්‍රපටය නිෂ්පාදනය ක⁣ළහ. මෙහි අධ්‍යක්ෂණය භාර දුන්නේ ෆ්‍රෑන්ක් නෙස්බිට් ටය. එච්.ඊ. බේස්ට් නම් වූ බ්‍රිතාන්‍ය ජාතික ලේඛකයෙකු විසින් 1953 වසරේ ලියූ 'ඩල්සිමා' නම් වූ කෙටි කථාවක් පාදක කරගෙනය අධ්‍යක්ෂක ෆ්‍රෑන්ක් නෙස්බිට් මෙහී තිරනාටකය ලීවේ. චිත්‍රපටයේ ඩල්සිමා ගැස්කේන් නම් වූ ප්‍රධාන නිළි චරිතයට අධ්‍යක්ෂක ආරාධනා කළේ 'කැරල් වයිට්' නම් වූ බ්‍රිතාන්‍ය නිළියටය. 1943 අප්‍රේල් 1 වැනි දින එංගලන්තයේ ලන්ඩන් නුවර ඉපදුණු ඇය, බ්‍රිතාන්‍ය සිනමාවට සම්බන්ධ වූයේ, 1949 දීය. ඒ 'කයින්ඩ් හාර්ට්ස් ඇන්ඩ් කොරොනෙට්ස්' නම් වූ චිත්‍රපටයේ ඉතාමත් සුළු චරිතයකිනි. 1949 සිට 1960 දක්වා එනම් වසර 11 ක්ම ඇය චිත්‍රපට වල රඟපෑවේ සුළු චරිතයන්ය. 1960 වසරේ තිරගත වූ ඩොන් ෂාප් අධ්‍යක්ෂණය කළ 'ලින්ඩා' නම් වූ චිත්‍රපටයේ ඇය ප්‍රධාන චරිතයකට අවතීර්ණ විය. එතැන් සිට ඇය 1982 වන තෙක් චිත්‍රපට 43ක පමණ රඟපෑවාය. 'ඩල්සිමා' ඇයගේ 37 වැනි චිත්‍රපටය ය. 'ඩල්සිමාට' ඇයව තෝරා ගත් පසු ඇය කීවේ ජෝන් මයිල්ස් ඇයගේ ප්‍රියතම නළුවෙකු බවත්, ඔහු වැනි විශිෂ්ටයකු සමඟ රඟපාන්නට ලැබීම ඇයගේ වාසනාවත් බවකි.

චිත්‍රපටය ආරම්භ වන්නේ මැදිවියේ පසුවන පාකර් මහතා තම කබල් ජීප් ට්‍රක් රථයෙන් නගරයට ගොස් යළි නිවස බලා යන දර්ශනයකිනි. ඒ වන විට ඔහු තම සීමාවට වඩා මත්පැන් පානය කර තිබුණි. ඔහු ජීප් රථය වේගයෙන් පදවාගෙන ගියේ තම ගොවි ⁣පළටය. ඔහුගේ නිවස තිබුණේ එම ගොවි පළේය. පාකර් මහතා ජීප් රථය තදින්ම පළවා ගොස් තම නිවසේ වත්තට ඇතුළුවූ සැණින්ම ජීප් රථය හැප්පී එය නැවතී දොර ඉබෙිම හැරී ඔහුව බිමට ඇද වැටුනේ ය. ඩල්සිමා තම කුඩා නැගණියව ළදරු අත් කරත්තයක දමා තල්ලු කරගෙන පාකර් මහතාගේ නිවෙස අසලින් ගියේ ඔය අතරෙදීය. පාකර් මහතාගේ තොප්පිය හුළගේ පාවී ගොස් වැටුණේ ළදරු කරත්තයේ සිටි කුඩා දැරියගේ අතටය. ඩල්සිමාගේ නිවස තිබුණේද පාකර් මහතාගේ නිවස අසලය. සිදුවූ අකරතැබ්බය දුටු ඩල්සිමා වහා ජීප් රථයෙන් බිමට තල්ලුවී මුණින් තලාවට වැටුණු පාකර් මහතාට කථා කෙරුවද, ඔහු සිටියේ අවසිහියෙනි. ඇය ඔහුව අමාරුවෙන් වත්තන් කරගෙන ඔහුගේ නිවස තුළට ගෙන ගියාය. නිවස ඇතුළත තිබුණේ ඉතාමත් අපිරිසුදුවය. කිකිළියන් කුස්සියේ මේස උඩ, යට, සිට එහී තිබූ කෑම වලට කොටමින් සිටීයි. පාකර් මහතාගේ නළල පැලී තිබුණෙන් ඇය වහා උණු වතුරෙන් තවා, අත් බෙහෙත් දමා ඔහුට බීමට තේ කෝප්පයක්ද සාදා දුනී. ඔහු පුටුවේ වාඩි වී සිටියේ අන්ද මන්දවය. ඇය ඔහුගේ දෙ අත් අතරේ තේ කෝප්පය හිර කර තැබීය.

පාකර් මහතා ගේ බිරිඳ මිය ගොස් සිටි අතර, ඔහු ජීවත් වූයේ තනිකඩවය. ඔහුට දූ දරුවන් කිසිවෙක් සිටියේ නැත. ඔහු ගොවිපළක් කරමින් මෙම නිවසේ ජීවත් විය. පාකර් මහතා නිතරම සිටියේ අපිරිසුදුවය. ගොවිපළක් කෙරුවද, ඔහු සිටියේ ජීවිතය සම්පූර්ණයෙන්ම අත්හැර දමා සේය. නිවස ඇතුළත අපායක් බඳුය. කිකිළියෝ, තාරාවෝ කුස්සිය පුරාමය. කාමර ඉතාමත් අපුලය. ඇඳ ඇතිරිලි බොහෝමයක් සම්පූර්ණයෙන් පාහේ ඉරී තිබුණි. එහෙත් ඔහු පාවිචිචි කළේ ඒවාය. අපායටත් වඩා අන්තව තිබුණේ නාන කාමරය හා වැසිකිලි කොමඩ් එකය. සුදු පාට කොමඩ් හා ⁣නාන බේසම තනි කරම කළුම කළු පාටය. මේ මනුස්සයා ඌරෙක්දැයි ඇයට සිතුණි. ඌරොත් මීට වඩා පිරිසුදුවෙන් සිටී.

පාකර්ට සිහිය විත් යථා තත්ත්වයට පත් වන තෙක් ඩල්සිමා සිටි අතර, ඇය යන විට කීවේ, නැවත හෙට පැමිණ මේ සියල්ල අස්කර දෙන බවය. ඇයට ඔහු ගෙවන ජීවිතය ගැන අනුකම්පාවක් සිතුණි. නැවත පැමිණ මෙම නිවස පිළිවෙළකට තබන්නට උපකාර කළ යුතු යැයි ඇයට සිතුණේ ඒ නිසාය.

ඇය නැවත ගේ මිදුලට එන විට, මිදුල හැම තැනම මුදල් නෝට්ටු විසිරී තිබුණි. ළදරු කරත්තයේ සිටින ඇයගේ කුඩා නැගණියගේ අතට පත් වූ පාකර් මහතාගේ තොප්පියේ ඇතුළ් පැත්තේ මුදල් නෝට්ටු කීපයක් හංගා තිබුණි. කුඩා දැරිය ඒ මුදල් නෝට්ටු එකිනෙක රැගෙන හුළගේ පා කර හැරියාය. ඩල්සිමා ඇහිද ගත්තේ එම මුදල් නෝට්ටුය. පසුව ඇය පාකර්ගේ තොප්පිය ගෙන තව තවත් උවමනා කමින් ඇතුළේ බැලු විට එහී තවත් මුදල් නෝට්ටු රාශියක් තිබුණි. ඇය ඒ සියල්ලමත්, ඇය ඇහිලූ මුදලුත් එම තොප්පියට බහා නැවත නිවසට ගොස් පාකර් මහතාට කීවේ ඔහුගේ තොප්පියත්, මුදලුත් මේසය උඩ තබන බවකි. පාකර් තවම සිටියේ පෙර සිටියාක් මෙන් පුටුවේ හිඳගෙන, තේ කෝප්පයත් ඇතැතිව අන්ද මන්දවය. ඒ ඔහු පමණට වඩා මත් පැන් බී තිබූ නිසාය.

ඩල්සිමා විශාල පවුල් සංඛ්‍යාවක් සිටින දුප්පත් පවුලක වැඩිමහල් දියණිය ය. ඇයගේ පියා ගොවියෙක් වූ අතර, ඇයට ඔහු සැලකුවේ නපුරු අන්දමටය. ඇයට නිවසේ තිබෙන හැම වැඩක්ම කරන්නට සිදු විය ඇයගේ මව සිටියද, ඇයටද ඇයගේ සැමියාට යටත් වී සිටින්නට සිදුවී තිබුණි. එහෙයින් ඩල්සිමාද අයාලේ යන තරුණියක් මෙනි ජීවත් වූයේ. ඇයගේ සිහින කුමාරයා වූයේ 'ඇල්බට්' නම්වූ මෝස්තර නිරූපකයෙකි. ඔහු සිටියේ ඇයගේ මෝස්තර පොතේ ය. ඇය ඔහුගේ පින්තූරු එකතු කෙරූ අතර, ඇය කවදා හෝ විවාහ වනුයේ 'ඇල්බට්' වැනි කඩවසම් තරුණයකු සමඟින් යැයි අදිටන් කරගෙන සිටියාය.

පසුදින ඇය පාකර් මහතාගේ නිවසට ගියාය. ඒ වන විට පාකර් සිටියේ තම කබල් ට්‍රැක්ටරය සමඟ කුඹුෙර්ය. එම ට්‍රැක්ටරයේද කෑලි හැලෙමින් තිබුණි. ඔහු එවා ලණු කැබලි, කම්බි කැබලි හා ටේප් වලින් බැඳ කෙසේ හෝ ක්‍රියාත්මක කර ගෙන කුඹුරු වැඩ කර ගනී. පාකර්ගේ ප්‍රධානතම දුර්වල කම වූයේ ලෝභ කමය. ඔහුට මුදල් නොමැති කම නොවේ. ඔහු ඒවා වියදම් කිරීමට ති⁣බෙන මසුරු කම නිසාය.

පැයකටත් අධික කාලයක් කුඹුරේ වැඩ කරමින් සිටි පාකර් මහතා, තම කබල් ට්‍රැක්ටරයෙන් නිවෙසට එන විට දුටුවේ ඔහුගේ ඉරී ගිය ඇඳ ඇතිරිලි, තුවා, කිලිටි වුණු කමිස, කලිසම් ඒ සියල්ලම සෝදා වැලට දමා තිබෙන අන්දමය. ඔහු වහා නිවසට දුව ගිය පසු දුටුවේ නිවසේ පහත මාලය අතීශයින්ම පිරිසුදුව සුන්දරව තබා ඇති අන්දමය. මුළු තැන් ගෙය, කෑම කන කාමරය ඒ සියල්ලම ඉතාමත් ලස්සනට තබා තිබුණි. ඇය තරප්පු පේළියෙන් බැස ආවේ එහි උඩ තිබූ නාන කාමරය පිරිසිදු කිරීමෙන් අනතුරුවය. පාකර් ඇයවත් පෙරළගෙන මෙන් තම කාමරයට ගොස් ඇදේ මෙට්ටය උස්සා බැලුවේ තමා හංගා තිබෙන මුදල් නෝට්ටු ඇය රැගෙන ගොස් ඇත්ද කියාය. එහෙත් ඒවා එතැනම තිබුණි. ඉන්පසු ඔහු දුව ගියේ තම නාන කාමරයටය. එය ඉතාමත් පිරිසුදුව ශුද්ධ කර තිබුණි. මෙතෙක් කලක් තද කළුපාටින් තිබුණු, කොමොඩ්, මුහුණ සෝදන හා නාන බේසම තද සුදු පාටින් දිලිසෙ⁣මින් තිබුණි. ඔහු ඒ දෙස බලා වහා ගියේ නාන දිගු බේසම උඩ තිබෙන බිත්තියේ කවුළුවක් වැනි තැනක හංගා තිබූ මුදල් නෝට්ටු තොගය තිබේද කියා බැලීමටය. ඒවාද එතැනම ඒ අයුරින්ම තිබුණි. ඔහු සිතුවේ ඇය පැමිණ ඇත්තේ ඔහුට උදව් කරන නියායෙන් ඔහු තැනින් තැන සඟවා ඇති මුදල් සොරා ගැනීමට කියාය. ඔහු එවැනි පහත් ගතිගුණ තිබෙන පුද්ගලයෙකි. නමුත් ඇය ඔහුට උදව් කිරීමට පැමිණියේ අවංකවමය.

කෙසේ හෝ ඩල්සිමා තම මුළු ගෙයම ශුද්ධ පවිත්‍ර කලා පමණක් නොව, ඇය ඔහුට රසවත් කෑම වේලකුත් සාදා තිබුණි. මේ හෙයින් පාකර් ඩල්සිමාට කීවේ සතියකට දවස් 3 ක් වත් පැමිණ මෙසේ ශුද්ධ පවිත්‍ර කරන ලෙසටය. ඒ වෙනුවෙන් ඇයට කිසියම් මුදලක් ගෙවන බවක්ද කීය. ඇය එක්වරම එයට එකඟ වූයේ නැත. ඇය කීවේ තම දෙමාපියන්ගෙන් අසා කියන බවකි. මුලින්ම එසේ ගොස් වැඩ කිරීමට ඩල්සිමාද කැමති වූයේ නැත. එහෙත් ඇයට ජීවිතය තුළ සුන්දර වූ බලාපොරොත්තුන් තිබුණි. ඇයගේ මෝස්තර පොතේ සිටින මෝස්තර නිරුපණ ශිල්පියා වූ ඇල්බට් වැන්නෙක් හා විවාහ වී, අලංකාර ලෙස හැඳ පැලඳ ගෙන සුන්දර ජීවිතයක් ගත කිරීමට ඇය ආශා කළාය. ඒ අතරේ ඇයගේ නිවසේ හැම රැයකදීම සිදුවන තම දෙමාපියන්ගේ සණ්ඩු සරුවල් ඇයව තව තවත් කලකිරවන්නට විය.

එහෙයින් ඇය පාකර් මහතා ළඟ වැඩට යන්නට තීරණය කළා පමණක් නොව, වැඩ කරන ගමන් එහී නවතින්නටද එකඟ විය. මෙතෙක් හිර කරගෙන සිටි පාකර් මහතාගේ ලිංගීක ආශාවන් අවදි වූයේ දිනක් ඩල්සිමා බිම දණ ගසාගෙන පොළව මදින විටය. ඇයට නොදැනුවත්වම ඇයගේ පපුව හා පිටුපස නිරාවරණය වී තිබුණි. පාකර් එය දුටු පසු ඇය ට වඩාත් ඇලුම් පාන්නට විය. ඔහු ඇයව තමා නිතර යන සත්ව වෙන්දේසියට රැගෙන ගියේය. වෙන්දේසියේදී පාකර්, එම වෙන්දේසි කරුවන් සමඟ අත යටින් ගනු දෙනු කරනා ආකරයන්ද ඇයට පෙන්විය.

මේ අතර පාකර් මහතා, ඩල්සිමා සමඟ ලිංගිකව හැසිරෙන්නට වූ අතර, පසුව ඔවුන් දෙදෙනා රාත්‍රියට එකම යහනේ එකට නිදියන්නට විය.

පාකර්, ඩල්සිමාට පොරොන්දු වූ මුදලම දුන්නේ නැත. ඊට අඩුවෙනි ඔහු ඇයට ගෙව්වේ. එහෙත් ඇය ඒ අඩු මුදල පාකර් තැන තැන හංගන මුදල් වලින් පියවා ගති.

ඩල්සිමා නගරයේ බැංකුවට ගොස් ඇයගේ නමට බැංකු ගිණුමක් විවෘත කර, තමාට ලැබෙන මුදල් එහී තැන්පත් කර පාස් පොත ලබා ගත්තාය. එසේම ඇය තමාට ලැබෙන අමතර මුදල් වලින් සැලුන් එකකට ගොස් කොණ්ඩය නවීන ක්‍රමයට සකස් කර, ඇහි පිහාටු අලවා, ඇහි බැමි සකස් කර, නවීන සපත්තු, ඇඳුම්, ආභරණ, සුවඳ විලවුන් ආදි දේ ගත්තේ ඇය ළඟ තිබෙන මොස්තර සඟරාවේ මොස්තර නිරුපිකාවන් මෙන් සිටින්නට උවමනා නිසාය. ඒ වෙනසට පාකර් මහතා වඩාත් කැමති වූවත්, ඒවා ගන්නට මුදල් කොහෙන්දැයි ඔහු ඇසූ විට, ඇය කීවේ ඔහු දෙන මුදල් වලින් ඇය එම දෑ ගත්තා කියාය.

'ඇශ්බි' නම් තරුණයා ඩල්සිමාට මුණ ගැසුණේ ඔය අතරේදීය. ඔහු පශු වෛද්‍ය සහකයෙකු ලෙසය පාකර්ගේ ගොවිපළට පැමිණියේ. එම අවස්ථාවේ නිවසට යාබද ව සිටියේ ඩල්සිමා පමණි. ඇය ඔහුව දුටු සැනින්ම ඇයට සිහිවූයේ තම මෝස්තර පොතේ සිටින, තමා වඩාත් ආශා කරන මෝස්තර නිරූපණ ශිල්පියා 'ඇල්බට්' වය. ඈශ්බි ද ඇල්බට්ගේ හැඩහුරු කමට සමාන විය. ඔහු පැමිණියේ කුකුළ් හා තාරාවන් ගේ පිහාටු අප⁣තේ නොයවන ලෙස පාකර්ට දැන්වීමටය.

ඉන් පසු නගරයේදීද, ඩල්සිමාට, ඈශ්බි ව හමුවුණි. ඒ නගරයේ සිට නිවස බලා එන බස් රථයේදීය. පසුව දෙදෙනා බසයෙන් බැස කථා කරමින් පැමිණීය. ඔහු ඇයට මල් කළඹක් කඩා දුණි.

පාකර් මහතා, ඩල්සිමාට විවාහ යෝජනාවක් ගෙනාවේ මේ අතරේදීය. ඇය එය ප්‍රතික්ෂේප කළේ නැත. එහෙත් ඇය පාකර්ට කීවේ තව ටික කාලයක් මේ අන්දමට ඉමු කියාය. පාකර් නගරයට ගොස් අලුත්ම රූපවාහිනි යන්ත්‍රයක් ගෙදරට රැගෙන ආවේය. ඔහු කීවේ ශීත කාලය පැමිණි පසු ඔවුන් දෙදෙනා විවාහ වී, නිවසට වී රූපවාහිනිය නැරඹීමට හැකි බවය. එලෙසම, ඔහු ඇයට මීට වඩා මුදල් දෙන බවක්ද, කීවේය.

ඉන්පසු ඔහු එක් හවසක, හදිසියේම නගරයට ගොස් ඩල්සිමාට මඟුල් ඇඳුමක් හා මඟුල් මුද්දක් මිලදී ගෙන එය පෙට්ටියක සුරැකිව ඇසුරුවේය. පසු දින ඔහු ඇයට කථා කොට මෙම මඟුල් ඇඳුම බැලීමට ආරාධනා කළද, ඇය කීවේ ඇයට තම දෙමාපියන් හා සොහොයුරු සොහොයුරියන්ව බැලීමට යා යුතුයි කියාය. ඩල්සිමා පියකරුව හැඳ පැලඳ ගෙන යෑම ගැන පාකර්ට සැක සිතුණි. ඔහු ඇයට නොදැනී ඇයගේ පසු පසින් ගියේය. ඇය කෙළින්ම ගියේ ඇශ්බිව හමු වීමටය. ඔවුන් දෙදෙනා සිප වැලඳ ගන්නා ආකාරය පාකර් සැඟවී බලා සිටියේය. ඩල්සිමා මුල් කාලයේ තම නිවසට පැමිණී විට, ඇයට පෙම්වතෙක් සිටිනවාදැයි ඔහු ඇගෙන් අසද්දී ඇය කීවේ ඇයට එසේ පෙම්වතෙක් සිටින බවක්ය. එලෙසම ඔහුගේ නම 'ඇල්බට්' කියාද ඇය කී⁣වාය. එහෙත් ඒ වන විටත් ඇයට පෙම්වතෙක් සිටියේ නැත. පාකර් එසේ අසන විට ඇයට එක්වර මතක් වූයේ ඇයගේ මෝස්තර පොතේ සිටින නිරූපණ ශිල්පියා 'ඇල්බට්' වය. ඇය තම පෙම්වතා ඇල්බට් කියා කීවේ ඒ නිසාය.

ඇය ඈශ්බි සමඟ සිටින විට පාකර් සිතුවේ ඒ ඇල්බට් කියාය.

ඈශ්බි හා ඩල්සිමා නගරය ට ගොස් විනෝද විය. ඔවුන් ආලිංගන නැටුමකටද සහභාගි විය. මේවා දරාගෙන සිටීමට පාකර්ට නොහැකි විය. ඔහු බාර් එකට ගොස් පමණ ඉක්මවා බී නිවසට පැමිණියේය. ඒ සමඟම ඩල්සිමාද නිවසට පැමිණ, පාකර් මත් පැන් බී, අසාමාන්‍ය ලෙස තරහින් හැසි⁣රෙනවා ඇය දුටුවාය. ඇ පාකර්ට කීවේ ඇය මෙම නිවසින් හෙට උදයේම පිටවෙන බවකි. එසේ කියා ඇය තම කාමරයට ගොස් දොර වසා අගුල දමා ගතී. පාකර් තම කාමරයට ගොස්, කාමරය කුඩු කරන්නට පටන් ගතී, ඒ අතරේ අලුතින් මිලදී ගත් රූපවාහිනි ය ද පොළවේ ගැසුවේය. ඔහු විසින් ඇය වෙනුවෙන් ගත් මඟුල් ඇඳුම ඉරා එළියට විසි කළේය. ඔහු හැසිරුනේ පිස්සෙකු මෙනි.

පසුවදා උදයේම ඩල්සිමා නැගිට කාමරයේ ජනේලය හැර බලද්දි, ඈතින් ඇශ්බි එන බවක් දුටුවාය. ඇය පහත මාලයට ගිය විටය දුටුවේ මඟුල් සාරියක් ඉරා දමා තිබීමත්, එතැනම මඟුල් මුද්දක් තිබීමත්ය. ඇය ට පාකර් මහතා ගැන දුක සිතුණි. ඒ වන විට ඈශ්බි ඇය ළඟට පැමිණ තිබුණි. පාකර් මහතා පෙනෙන්නට සිටියේ නැත. ඈශ්බි පැමිණ ඩල්සිමාට කීවේ තමා පැමිණියේ ඇයව රැගෙන ගොස් විවාහ කර ගැන්මට බවය. එහෙත් ඩල්සිමා කීවේ, ඇයට පාකර් මහතාව දමා එන්නට නොහැකි බවය. එවිට ඈශ්බි කීවේ එසේ නම් ඇයට ඔහු සමඟම සිටින්නට කියාය. එසේ කියා ඔහු හැරී යන්නට විය. එකවරම පාකර් මහතා කාමරයක ජනේලයක සිට තම තුවක්කුව මනා, තරමක් දුර යන ඈශ්බි ට වෙඩි තබා මරා දැමීය.

ඩල්සිමා හී කථාන්තරයේ මුලින් විකට ස්වරූපයක් තිබුණද, පසුව එය මානුෂික ස්වභාවයක් ගන්නට විය. ඩල්සිමා අතරමං වූයේ, තම තාරුණ්‍යත්, දුප්පත් කමත් අතෙර්ය. ඇයට මූලිකව අවශ්‍ය වූයේ සුන්දරව ඇඳ පැලඳගෙන ජීවිතය සුන්දරව විඳීන්නටය. එයට මුදල් අවශ්‍ය ය. පාකර් මහතා ළඟ ඇති තරම් මුදල් තිබුණි. ඇයගේ තවත් බලාපොරොත්තුවක් වූයේ කඩවසම් පුද්ගලයෙක් සමඟ එනම් තම මෝස්තර පොතේ සිටින 'ඇල්බට්' වැන්නෙක් හා විවාහ වීමටය. නමුත් පාකර් මහතා තමාට මේ තරම් ආදරය කළ බවක් ඇය දැන ගත්තේ, ඔහු ඇය වෙනුවෙන් ගෙන ආ රූපවාහිනි යන්ත්‍රය, මඟුල් ඇඳුම හා මඟුල් මුද්ද දුටු විටය. දැන් ඒවා විනාශ වී ඇත. පාකර් මහතාට ඇයගේ අතින් විශාල වැරැද්දක් සිදු වූ බව ඇයට අවබෝධ වන විට, ඇය හොඳටම පරක්කු වැඩිය. ඒ වන විට සියලු විනාශයන් සිදුවී ඇත. ඈශ්බි මිය ගොස්ය. පාකර් මහතා මිනීමරුවෙක් වී අවසානය. ඇයට යළි සියලු දෙයම නැති විය.

විකට ශානරයක සිට ගැඹුරු සංකල්පයකට චිත්‍රපටය රැගෙන යාමය 'ඩල්සිමා' හී විශේෂත්වය. එය අධ්‍යක්ෂ හා තිර නාටක රචක ෆ්‍රෑන්ක් නෙස්බිට් හරි අපූරුවට නිර්මාණය කර තිබූ අතර, එයට ඔහු විසින් තෝරා ගත් දර්ශන පසුතලය, හා වර්ණ සංයෝගය මනා ලෙස ගැළපුණි. ඒ සියල්ලටම වඩා කැපී පෙනුණේ ඩල්සිමා ලෙස රඟපෑ 'කැරල් වයිට්' මෙන්ම පාකර් මහතා ලෙස රඟපෑ ජෝන් මයිල්ස් ගේ විශිෂ්ටතම රඟපෑම්ය.

'ඩල්සිමා' නැරඹීමට නොහැකි වූ අයට අන්තර්ජාලයේ යූ ටියුබ් හී ර්‍ණම් නම් නාලිකාව හරහා එය නැරැඹිය හැකිය. මෙය කෙතරම් සුන්දර චිත්‍රපටයක් දැයි එවිට වැටහෙනු ඇත.

 

 

[email protected]