ආදරය කළා නම් සමාවක් කුමටද? Love Story

අගෝස්තු 17, 2023
Where do I begin
To tell the story of 
how great a love can be
The sweet love story 
that is older than the sea
The simple truth about the love                           
she brings to me
Where do I start... 

1970 වර්ෂයේදී ඇමරිකානු ලේඛකයකු වූ 'එරිච් සීගල්', තිර නාටකයක් ලීවේය. එය රොමැන්ටික් ශානරයට අයත් වූවකි. ඔහු එය 'ලව් ස්ටෝරි' ලෙස නම් කර, පැරමවුන්ට් සමාගමට දුන්නේ එයින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමටය. පැරමවුන්ට් සමාගම එය කියවා, ඔහුට කීවේ මෙය නවකථාවක් ලෙස ලියා පළකරන ලෙසටය. එලෙසම මෙම තිර නාටකයෙන් චිත්‍රපටයක් නිර්මාණය කරන බවටද පැරමවුන්ට් සමාගම පොරොන්දු විය.

එරිච් සීගල් මේ තිර නාටකය නවකථාවකට පරිවර්තනය කර 1970 වර්ෂයේ වැලැන්ටයින් දිනය වූ පෙබරවාරි 14 වැනි දින 'ලව් ස්ටෝරි' යන නමින්ම ප්‍රකාශයට පත් කළේය. ඇමරිකාවේ මෙම පොත ප්‍රකාශය හා බෙදාහැරීම බාර ගත්තේ 'හාර්පර් ඇන්ඩ් රෝ' සමාගමය. එංගලන්තයේ බෙදා හැරියේ 'හොඩර් ඇන්ඩ් ස්ටොග්ටන්' සමාගමය. පොත පිටු 131 කින් සමන්විත විය.

'ලව් ස්ටෝරි' නවකථාවක් සේ එසේ ප්‍රකාශයට පත් කරන විට, යුනයිටඩ් චිත්‍රපට සමාගම එරිච් සීගල් දුන් තිරනාටකයෙන් චිත්‍රපටය නිර්මාණය කිරීමට සැලසුම් කළේය.

එරිච් සීගල් ලියූ 'ලව් ස්ටෝරි' නවකථාව, ඇමරිකාව තුළ විශාල ලෙස අලෙවි වන්නට විය. එය විකුණුම් අතින් මුල් පෙළට එන්නට වූ අතර, එයින් ලැබූ දැඩි සාර්ථකත්වය නිසාම එය භාෂා 20 කට පරිවර්තනය කරන්නට විය. එලෙසම එය 'ද නිව්යෝක් ටයිම්ස්' හොඳම පොත් අලෙවි ලැයිස්තුවේ සති 41 ක් රැඳී තිබුණි. එසේ රැඳී තිබුණේද, 1 වැනි ස්ථානයේ ය. මේ පොත සිංහලට පරිවර්තනය කළේ එන්.පී.විජේරත්න නම් ලේඛකයාය. එය නම් කළේද 'ලව් ස්ටෝරි' යන නමිනි.

පැරමවුන්ට් ෆිල්ම්ස් සමාගම එරිච් සීගල් ගේ තිරනාටකය, නවකථාවකටත් පරිවර්තනය කරන්නට කීවේ, එය ජනප්‍රිය වන බව ඉවක් ඔවුනට තිබූ නිසාය. එහෙත් ඔවුන් වුවද, මෙය මේ තරම් ජනප්‍රිය වනු ඇතැයිද, එලෙසම මේ නවකථා පොත සති 41 ක්ම පළමු ස්ථානයේ රැඳී තිබෙනු ඇතැයි කියා ද කිසි විටෙකත් සිතුවේ නැත. එලෙසම රටවල් 20 ක, භාෂා 20 කින් මෙය පරිවර්තනය වේ යැයි ඔවුන් කිසිදු දිනයක සිතුවේ නැත. පොතට මෙතරම් සාර්ථකත්වයක් ලැබුණා නම් එය චිත්‍රපටයේ ප්‍රචාරණයටත් බෙහෙවින් බලපාන බව පැරමවුන්ට් චිත්‍රපට සමාගමට වැටහී තිබිණ.

පැරමවුන්ට් සමාගම මෙය චිත්‍රපට ගත කිරීමට මුලින්ම භාර දුන්නේ අධ්‍යක්ෂ 'ලැරි පීර්ස්' ටය. 'ද ඉන්සිඩන්ට්' 'ගුඩ් බායි කොලොම්බස් ' වැනි සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ලැරී පීර්ස් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නට භාර ගත්තේ නැත. ඉන්පසු එය, 'ඩච්මන්', 'ද ලයන් ඉන් වින්ටර්' වැනි විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂණය කළ බ්‍රිතාන්‍ය ජාතික අධ්‍යක්ෂවරයකු වූ 'ඇන්තනී හාර්වි' ට පැවරුණි. එහෙත් එය ඔහුගෙන් ද ගිලිහුණි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට 'ආතර් හිලර්' ට ලැබුණේ ඉන් පසුවය.

'ලව් ස්ටෝරි' කථාවේ කථානායක චරිතය වූයේ ඔලිවර් බැරට් ය. එම චරිතය රඟපෑමට අධ්‍යක්ෂවරයා නළුවන් කීප දෙනෙකුටම ආරාධනා කළේය. ඔවුන් නම් 'ජෙෆ් බ්‍රිජස්, මයිකල් ඩග්ලස්, බියූ බ්‍රිජස්, මයිකල් යෝක්, සහ ජෝන් වොයිට්' ය. එහෙත් ඔවුන් සියල්ලෝම මේ චිත්‍රපටයේ එම චරිතය රඟපෑමට කැමැති වූයේ නැත. ක්‍රිස්ටෝපර් වෝල්කන් නමැති නළුවා, තිර පරීක්ෂණයට පැමිණියද, නවකථාව හා තිර නාටකය ලියූ එරිච් සීගල් , 'රයන් ඕ නීල්' නම් නළුවාව, නිර්දේශ කළේ එරිච් සීගල්, රයන් ඕ නීල් සමඟ 'ද ගේම්ස්' චිත්‍රපටයේ එක්ව වැඩ කළ නිසාය.

1941 වර්ෂයේ අප්‍රේල් 20 වැනි දින ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් එන්ජල්ස් නගරයේ ඉපදුණු 'රයන් ඕ නීල්' රඟපෑමට ඒමට පෙර හොඳ බොක්සිං ක්‍රීඩකයෙකු වී සිටියේය. ඔහු ඔහුගේ රඟපෑම ආරම්භ කළේ 1960 වර්ෂයේ තරමේය. ඒ රූපවාහිනි මාලා නාට්‍යවලිනි. චිත්‍රපටයක චරිතයක් රඟපෑමට ඔහුට අවස්ථාව ලැබුණේ 1969 දීය. ඒ ඇලෙක්ස් මාර්ච් අධ්‍යක්ෂණය කළ 'ද බිග් බවුන්ස්' චිත්‍රපටයෙනි. එහී ඔහු වෑන් හෙෆ්ලින් සමඟ සම ප්‍රධාන චරිතයක් රඟපෑවේය. 'ද ගේම්ස්' චිත්‍රපටය ඔහුට ලැබුණේ ඉන් පසුවය. මයිකල් විනර් විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ ඔහු දෙවැනි ප්‍රධාන චරිතය රඟපෑ අතර, එහී ප්‍රධාන චරිතය රඟපෑවේ මයිකල් ක්‍රෝෆෝඩ් ය. 'ලව් ස්ටෝරි' හී රඟපෑමට ඔහුට ලැබුණේ ඉන් පසුවය. 'ලව් ස්ටෝරි' චිත්‍රපටයේ සාර්ථකත්වයත්, ඔහුගේ රඟපෑම්වල සාර්ථකත්වයත් දුටු විට, ඔහු ට වැටහුණේ ඔහුගේ නියම රංගන වෘත්තිය පටන් ගෙන තිබුණේ 'ලව් ස්ටෝරි' චිත්‍රපටය තුළින් බවය.

1939 වසරේ අප්‍රේල් 1 වැනි දින, ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ ඉපදුණු 'එලිසබත් ඇලිස් මැක්ග්‍රෝ' සිනමාවේ කැපී පෙණෙන සුලු චරිතයකින් හෝ පැමිණියේ 1968 තිරගත වූ 'අ ලව්ලි වේ ටු ඩයි' චිත්‍රපටයෙනි. ඇය එහි 'මෙලඩි' නම් චරිතයකට පන පෙව්වද, මුළු චිත්‍රපටයේම ආධිපත්‍ය අතට ගෙන තිබුණේ එහි ප්‍රධාන චරිත රඟපෑ කර්ක් ඩග්ලස් හා සිල්වා කොසිනා ය. එලිසබත් ඇලිස් මැක්ග්‍රෝ, තම නම කෙටි කර ගෙන ඇලි මැක්ග්‍රෝ ලෙස ඉදිරිපත් වූයේ එය සිනමාවට උචිත නමක් නිසා විය හැකිය.

ඇය තරමක් හෝ 'හයිලයිට්' වූයේ 1969 වසරේ තිර ගත කළ 'ගුඩ්බායි කොලොම්බස්' චිත්‍රපටයෙනි. ඇය එහී රිචඩ් බෙන්ජමින් සමඟ ප්‍රධාන චරිතය රඟපෑවාය. චිත්‍රපටයේ ඇගේ රඟපෑමට ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය හිමි විය. ඒ, එම වසරේ දක්ෂතම නවක නිළිය ලෙසටය. 'ලව් ස්ටෝරි' චිත්‍රපටයේ ජෙනිෆර් කවාලරි නම් වූ ප්‍රධාන චරිතය රඟපෑමට ඇයට ලැබුණේ ඉන්පසුවය.

'ලව් ස්ටෝරි' චිත්‍රපටයේ සංගීතය අධ්‍යක්ෂණය කිරීමට අධ්‍යක්ෂ හා නිෂ්පාදන සමාගම භාර දුන්නේ ප්‍රංශ සංගීත නිර්මාණ හා අධ්‍යක්ෂවරයකු වූ 'ෆ්‍රැන්සිස් ලායි' ටය. එය නම් විශිෂ්ටතම තේරිමක් විය. ඔහු චිත්‍රපටයේ සංගීතය 'මැජික්' එකක් බවට පත් කළේය. විශේෂයෙන් චිත්‍රපටයට එක් කළ තේමා සංගීතය, අදටත් ලොව විශිෂ්ටතම සංගීත ඛාණ්ඩයක් බවට පත්වී ඇත. එම තනුවට චිත්‍රපටයේ අන්තර්ගතය ගෙන, පසුව ගායක 'ඇන්ඩි විලියම්' විසින් ගැයූ 'වෙයා ඩූ අයි බිගැන්' යන ගීතය, අදත් ලොව විශිෂ්ට ගීතයක් ලෙස සලකනු ඇත.

'ආදරය කරන අයට කිසිම දිනයක සමාව ඉල්ලන්නට අවශ්‍ය නොවන බව ' හෙවත් 'Love is never having to say you are sorry' යන තේමාව මත 'ලව් ස්ටෝරි' චිත්‍රපටයේ සිදුවීම් ගළපා තිබුණි. සරල සිදුවීම් ආදරය මත ගැඹුරෙන් විමර්ශනය වෙන ආකාරයත්, බලාපොරොත්තු රහිත සිදුවීම් තුළින් ජීවිතය හා එහි බලාපොරොත්තුන් ආපස්සට යන බවක් ' ලව් ස්ටෝරි' චිත්‍රපටය තුළින් මනා ලෙස අවබෝධ කර දෙන්නට විය.

චිත්‍රපටය ආරම්භ කරනුයේ කතානායක ඔලිවර් බැරට් IV හිම වැටුණු එළිමහනක බංකුවක් උඩ වාඩිවී ඉදිරි පස පෙදෙස හිමෙන් වැසි තිබෙන ආකාරය දෙස බලා සිටීමෙන් තමන්ගේ අතීතාවර්ජනය මුමුණමින් සිටින දර්ශනයකිනි. ඉන් පසු එම දර්ශනය පුස්තකාලයකට සම්බන්ධ වේ. එහිදීය අප දකින්නේ ජෙනිෆර් කාවිලෙරි ව. ඔලිවර් පොතක් සම්බන්ධයෙන් ජෙනීෆර් සමඟ කිසියම් තර්කයක් ගොඩනඟන ආකාරයක් එතැනදී පෙනෙන්නට විය. එම පුස්තකාලයේ ඇය ⁣පාසැල් යන අතරේ වැඩ කරන බවකි එම දර්ශනයෙන් පෙනෙන්නට තිබුණේ.

ඔලිවර් 'හාවඩ් විදුහලේ' ඉගෙන ගත් අතර, ජෙනිෆර් 'රෙඩ්ක්ලිෆ්' පාසැලේ ඉගනුම ලබමින් සිටියාය. එම පාසැල් දෙකම ඇමරිකාවේ මැසචූසෙට්ස් ප්‍රාන්තයේ තිබූ අතර, ඒවා එක ළඟ පිහිටීමද මෙහි විශේෂත්වයක් වී තිබුණි.

පුස්තකාලය තුළ දෙදෙනා අතර පොතකට තර්ක කළ අතරම ඇය ජෙනිෆර් බවත්, ඔහු ඔලිවර් බවත් ඔවුනට හඳුන්වා දීමට එම කාලය තුළදී හැකි වූවා පමණක් නොව, ඔහු ඇයට කෝපි කෝප්පයක් බීමට ආරාධනා කිරීමත්, පසුව ඔවුන් දෙදෙනා එක්ව පාසැලේ අවන්හලට ගොස් කෝපී බීමත් සිදුවූයේ ඉතාමත් ඉක්මනින්ය.

ජෙනිෆර් තුලින් ඔලිවර් පමණක් නොව, ප්‍රේක්ෂකයන් ද දකින්නේ හරිම අව්‍යාජ බවකි. එලෙසම ඇය ඉතාමත් සැහැල්ලුවෙන් ජීවිතය ගෙවන බවක් පෙනෙන්නේ, ඔලිවර් නිතරම වඩාත් 'සීරියස්' ලෙස හැසිරෙන නිසා විය හැකිය.

ඔලිවර් 'අයිස් හොකි' ක්‍රීඩකයකු විය. ඔහු ජෙනිෆර්ටද තමා සහභාගි වන තරඟයක් බැලීමට ආරාධනා කරයි. ඔහු ක්‍රීඩා කරන විට, තරමක් ආවේගශීලී වේ. එහෙයින් තීරකයා විසින් ඔහුව කීප වතාවක්ම තරඟ බිමෙන් විනාඩි කීපයකට හරවා යවන්නේ දඬුවම් වශයෙනි. එදා ජෙනිෆර් බැලීමට ආ තරඟයේදීද, ඔහු ආවේගශීලී වී යලි ප්‍රේක්ෂකාගාරයට පැමිණියේය. ජෙනිෆර් ඔහු ළඟට පැමිණ කීවේ ක්‍රීඩා කරන විට ඔය තරම් ආවේගශීලි නොවෙන ලෙසටය.

මේ අතර හාවඩ් විදුහලත්, කෝර්නල් පාසැලත් අතර තිබූ අයිස් හොකී තරඟය නැරැඹීමට ඔලිවර්ටත් නොදන්වා ඔහුගේ පියා වූ ඔලිවර් බැරට් III, නිව්යෝර්ක් නගරයේ සිට පැමිණ සිටියේය. මොවුන්ගේ නම්වල විශේෂත්වයක් තිබුණි. ඒ පියාත්, පුතාත් හඳුන්වන්නේ එකම නමින් වීමය. එය වෙනස් වූයේ අංක වලිනි. පියා, ඔලිවර් බැරට් III වූ අතර, පුතා ඔලිවර් බැරට් ධ්ඍ විය.

පියාත්, පුතාත් අතර එතරම් බැඳීමක් නොමැති බව තේරෙන්නේ පියා මෙම තරඟය බලන්නට පැමිණි පසුවය. ඔලිවර් කිසිසේත් තම පියාට මෙම තරඟය බැලීමට ආරාධනා කළේ නැත. කොටින්ම ඔහු පැමිණෙන තෙක් ඔලිවර් දැනගෙන සිටියේ නැත. තරඟ පිටියේ සිට ආවේගය පිට කිරීම නිසා නැවත වතාවක් ඔහුව ප්‍රේක්ෂකගාරයට යැවූ පසුවය ඔහු දැන ගත්තේ තම පියාද පැමිණි ඇති බව.කෙසේ හෝ මෙවර තරඟයෙන්ද ඔහු තරඟ කළ හාවඩ් කණ්ඩායම 4-3 කට පැරදුණි. ඔහු පියා ළඟ⁣ට ගොස් ඇසුවේ තමා පරදින තරඟ බැලීමට පැමිණියාද කියාය. එහෙත් පියා කීවේ ඔහු පැමිණියේ තම පුතා සෙල්ලම් කරනවා නැරඹීමට කියාය.

ඉන් අනතුරුව දින කීපයක් ගිය පසු,ඔලිවර් ජෙනිෆර් ට තම ආදරය ප්‍රකාශ කර අතර, ඔහු කීවේ ඔහුට ඇයව විවාහ කර ගැන්මට අවශ්‍ය කියාය. ජෙනිෆර්ද, ඔලිවර් ගේ ආදර ආරාධනා ව පිළිගත්තාය..

With her first hello
She gave new meaning to 
this empty world of mine
There'd never be another love, 
another time
She came into my life and 
made the living fine
She fills my heart 
 
ඉන්පසු ඇරඹුණේ ඔවුනගේ ප්‍රේම කථාවය. ඔවුන් එක් එක් තැන්වලට ගොස් විනෝද වන ආකාරය ය. ඔවුන් හිම මත සෙල්ලම් කරන්නට විය. හිම මත ආදරය කරන්නට විය, හිම මත පෙරළෙමින් සිප ගන්නට විය. ඔවුන් ආදරය පමණක් නොව ඉන් එහාට ගොස් ලිංගිකවද හැසිරුණි. ඔවුන් එය හැඳීන්වූයේ ආදරයේ උච්චතම අවස්ථාවන් කියාය. ඔලිවර් ජෙනිෆර් ට අවංකවම ආදරය කළ අතර, ඔහුට ඇය හා විවාහ වීමට උවමනා විය. ඔහු එය ඇයට කීය. ඇය පුදුම වුණද, එයට එකඟ විය. ඔහු ඇයව තම නිවසට රැගෙන ගියේ තම දෙමාපියන් ගෙන් අවසර ගැනීමට නොව, මොවුන් දෙදෙනා විවාහ වන බව පමණක් ඔවුනට දැන්වීමටය.

ඔලිවර්ගේ නිවසට ගිය පසුය, ජෙනිෆර් දැනගත්තේ ඔලිවර් යනු කවරෙක්ද කියා. ඔලිවර් යනු ප්‍රභූවරයෙකුගේ පුත්‍රයෙකි. ඔහුගේ නිවස , නිවසක් නොව, මාළිගා සංකිර්ණයක් විය. ඒ තරම් විශාල නිවසක ඇතුළත ඇය මින් ⁣පෙර දැක තිබුණේද නැත. ඔහුගේ පියා සහ මව ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ ප්‍රමුඛ පන්තියේ ප්‍රභූවර⁣යන් විය. ජෙනිෆර් යනු සාමාන්‍ය පවුලක තැනැත්තියෙකි. තමාව කිසිසේත්ම මේ පවුලට ⁣නොගැළපෙන බව ඇයට වැටහී හමාරය. එහෙත් ඇය ඔවුන් ඉදිරියේ නිර්භයව, ආරුඪ කර ගත් සැහැල්ලුවෙන් ප්‍රිය මනාපව හැසිරුණි. ⁣

තම දෙමාපියන් මෙයට කිසිසේත් කැමති නොවෙන බව දැන ගෙනය ඔලිවර් ජෙනිෆර්ව ඔවුනට පෙන්වන්නට පැමිණියේ. එහෙයින් ඔහු කිසිවකට කලබල වූයේ නැත. ඔවුන් ඔලිවර්ට හා ජෙනිෆර් ට රාත්‍රි කෑමට ඔවුහු හා එක්වන ලෙස කීහ. ඔවුන් දෙදෙනා එදින ඔවුන් සමඟ රාත්‍රි ආහාර ගෙන එසැණින් පිටවිය.

පසුව, ඔලිවර්ගේ පියා ඔලිවර් ව හමුවී කීවේ, ඔහු ජෙනිෆර් හා විවාහ වුවහොත්, ඔහුට උපාධිය ගැනීමට අවශ්‍ය මුදල් කපා හරින බවකි. නමුත් ඔහු මෙසේද කීවේය. ඔලිවර් උපාධිය ගෙන ජෙනිෆර් ව විවාහ කර ගත හොත්, එලෙස ඔහු දෙන මුදල් ඒ අයුරින්ම ලැබෙන්නට සලස්වන බවය. ඔලිවර් ට හාවඩ් නීති විද්‍යාලයට යෑමට උවමනාවද තිබුණි. ජෙනිෆර් ගුරුවරියක් ලෙස වැඩ කළද, ඔවුන් දෙදෙනාම ලබන ආදායමෙන් ඔහුගේ නීති විද්‍යාලයේ ගාස්තු ගෙවා ගැන්මට නොහැකි විය. කෙසේ හෝ ඔවුන් දෙදෙනා පවුලක් මෙන් එකට සිටීමට අදහස් කළහ.

ජෙනිෆර් තම පියා වූ 'පිල් කැවිලෙරි' ට මේ බව කීවාය. පියාට තිබූ ප්‍රශ්නය මේ තරම් දැවැන්ත ප්‍රභූවරයෙක්ගේ පුත්‍රයෙක්, තමා වැනි දුප්පත් තාත්තා කෙනෙකුගේ දුවක් සමඟ එක් වී කොතරම් කාලයක් ජීවත් වේවිද කියායි. ඒ ප්‍රශ්නය නම් ජෙනිෆර් ටද තිබුණද, ඔලිවර් තමාට දක්වන ආදරය ගැන විශ්වාසයක් ඇයට නොතිබුණාම නොව. විශ්වාසයට වඩා ඇයට තිබුණේ ඒ ගැන පුදුමයකි. කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනා ජෙනිෆර් ගේ පියා හා ඔවුනගේ සුළු යහළුවන් හා නෑදෑයින් ඉදිරිපස, එක් පූජා ප්‍රසාදිතුමෙක් ඉදිරියේ ආගමික වතාවන් අනුව විවාහ විය. ඔවුන් විවාහ වූ පසු ඔලිවර් ඇයව රැගෙන ගියේ ඔහු විසින් කුලියට ගත් තට්ටු නිවාස සංකීර්ණයක උඩු මහලේ ඇති කුඩා එහෙත් සුන්දර නිවසකටය.

ඉන්පසු ඔවුන් පවුලක් විය. දෙදෙනාම වෙහෙස මහන්සි වී වැඩ කළහ. ජෙනිෆර් සංගීත ගුරුවරියක් ලෙස සේවය කරන්නට විය. ඔලිවර් ඉගෙන ගන්නා අතරේම තාවකාලික රැකියා, සුළු ව්‍යාපාර කරන්නට විය. නත්තල් කාලෙට ඔහු නත්තල් ගස් පවා විකුණුවේය.

ඔලිවර්ව හාඩඩි විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් කර ගත් බව දන්වා ලිපිය ලැබුණේ ඒ අතරේදීය. එය ඔලිවර්ගේ තවත් සිහිනයක් විය. එහි ඉගෙන ගැන්මට නම් ඔවුන් දෙදෙනාට තවත් මුදල් සෙවීමට සිදුවිය. ඒ අතරේදී ඔලිවර්ගේ පියා ට ජෙනිෆර් දුරකථනයෙන් කථා කිරීමට ඇය ඔලිවර් ගෙන් නොම්මරය ඉල්ලීය. නමුත් ඔහු එක්වරම දෙන්නට අදි මදි කළේය. නමුත් ඇයගේ පෙරැත්තයට ඔහු නොම්මරය දුන් අතර ඇය ඔලිවර්ගේ පියාට කථා කළාය. ඔහු ඔලිවර්ට උදව් කිරීමට කැමති විය. ඇය ඔලිවර්ට කීවේ තම පියාට කථා කරන ලෙසටය. එහෙත් ඔහු පැමිණ ඇයගේ අතේ තිබූ රිසිවරය උදුරා බිම දැම්මේය. එයට දැඩිව හිත රිදුණු ජෙනිෆර් නිවසින් ගියාය. පසුව ඔලිවර් ඇයව නගරයේ හැම තැනම සොයමින් පැය ගණනක් රස්තියාදු වී ඇයව සොයා ගැන්මට නොහැකිව, යළි නිවසට පැමිණීය. ඒ වන විට ඇය නිවසට පැමිණ එළියට වී හඬමින් සිටියාය. ඔහු වහා ඇයව වැළඳ ගෙන ඇයගෙන් සමාව ඉල්ලුවේ යළිත් මෙවන් වැරැද්දක් කිසිදු දිනයක නොකරන බව කියමිනි. ඒ ඔවුන් දෙදෙනා හිත් නොහොද කර ගත් පළමු හා අවසන් අවස්ථාව ය.

යළි ඔවුන් ඔවුනට හැකි අයුරින් උපයා සතුටින්, සුන්දරව ජීවත් වන්නට විය. මේ අතරේදී ජෙනිෆර් ට දරුවකු පිළිසිදීම නොසිදුවන තත්ත්වයකට පත් විය. ඔවුන් දොස්තර කෙනෙක් ළඟට ගොස් තෙවරක්ම ලේ පරීක්ෂා කළහ. දොස්තර එහී ප්‍රතිපලය ජෙනිෆර්ට නොකියා ඔලිවර් ට පමණක් කීය. දොස්තර කීවේ, ඇයට කිසිදිනෙක දරුවෙක් පිළිසිදෙන්නේ නැති බවය. එලෙසම ඇය වැඩි කලක් ජීවත් නොවන බවත්, ඇයට දරුණු පිළිකාවක් වැලඳී ඇති බවත් මේ එහි මුල් අවස්ථාව බවත් එය දැන් පැතිරී යෑමට පටන් ගෙන ඇති බවත් කීය.

නිවසට ගිය ඔලිවර් මේ කිසිවක් ඇයට කීවේ නැත. ඇයද මේ කිසිවක් නොදැන සැහැල්ලුවෙන් වෙනදා මෙන් හැසිරුණි.

ඉන් දින දෙකකට පමණ පසු ඔහු පැරිසිය බලා යාමට ගුවන් ප්‍රවේශ පත් දෙකක් ගත්තේ, මේ ටික දිනයේදී ඇයට සතුටින් සිටීමට අවකාශ සලකන සිතුවිල්ලෙනි. ඔහු මහත් සතුටු බවක් ආරුඨ කර ගෙන ඇයට ප්‍රවේශ පත්‍ර දෙක පෙන්වූයේ ඔවුන් දෙදෙනා සතියකට පැරිසියට ගොස් විනෝද සුවයෙන් සිටින බවක් කියමිනි. ඔහු සිතුවේ ඇය ඉතාමත් සතුටට පත්වේ යැයි කියා ය. එහෙත් ඇය කීවේ ඔවුනට සතුටු වීමට පැරීසියට යාමට අවශ්‍ය නැති බවය. තම ගෙදර තම පියා හා සැමියා සමඟ මේ ඉතිරි දින ටික ගත කිරීම ඇගේ සතුට බවය. එවිටය ඔහු දැනගත්තේ ඇය, ඇයට වැළඳී ඇති පිළිකාව ගැන ඇය දැන ගෙන සිටි බව.

'ලව් ස්ටෝරි' චිත්‍රපටයේ උචිචතම දර්ශන කීපය තිබුණේ ඉන් පසුවය. ඒ ජෙනිෆර්ට හදිසි සැත්කමක් කිරීමට ඩොලර් 5000ක් සොයා ගැනීම සඳහා ඔලිවර්ට තම පියා ලඟට ඒමට සිදුවීම. පියා කිසිදු පැකිළීමකින් තොරව එය ලබා දීම. එලෙසම අවසන් හෝරාවේ ඔලිවර් රෝහලේ ජෙනිෆර් සමඟ සිට කාමරයෙන් එළියට පැමිණ ජෙනිෆර්ගේ පියා පිල් ට, ඇතුළේ වූ සිදුවීම දන්වන අවස්ථාව. ඔලිවර් රෝහලෙන් පිටත එන විට රෝහල ඇතුළට එන ඔහුගේ පියාව මුණ ගැසීම හා, ඔහු තම පුත්‍රයාගෙන් ජෙනිෆර් ගේ අලුත්ම තත්ත්වය අසන විට, ඔලිවර් 'ජෙනිෆර් මිය ගිය' බව කීම. එවිට ඔහු 'සොරි'කියා කියද්දි, ජෙනිෆර් හැම අවස්ථාවේම කියන 'Love is Never Having to Say You Are Sorry කියා කීම එකී සිදුවීම් ය.

ඔලිවර් ලෙස රඟපෑ රයන් ඕ නීල් හා ජෙනිෆර් වූ ඇලී මැක්ග්‍රෝ අතරට විශිෂ්ටතම රංගනයක් ඉදිරිපත් කරනුයේ් ජෙනිෆර් ගේ පියාගේ චරිතය වූ පිල් කවිලේරි ගේ චරිතයට පණ පෙවූ 'ජෝන් මාර්ලිය'. එම චරිතයේ පරාසය දිගටම විහිදා නොගියද, ඔහු ඔහුට අයත් වූ රූප රාමු කීපය තුළ සිනමා ප්‍රේක්ෂකයකුට කිසිදා අමතක නොවන අන්දමේ විශිෂ්ට රංගනයක නියැළුණි. විශේෂයෙන් තම දියණියගේ මරණය, රෝහලේ කොරිඩෝරයේ සිටින ඔහුට, ඔලිවර් විසින් එම පණිවිඩය ගෙන ආ විට ඔහු ඔහුට එවලේ දැනුණු හැඟීම් තම මුහුණින් පිළිඹිබු කළ අන්දම නම් අතී විශිෂ්ටතම ය. ඔහු මේ චරිතයේ රංගනයට එම වසරේ හොඳම සහය නළුවා ලෙස ඇමරිකානු ඇකඩමි සම්මානයට හා ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන⁣යට ද නිර්දේශ විය.

'ලව් ස්ටෝරි' චිත්‍රපටය එම වසරේ ඇකඩමි සම්මාන උලෙළේ සම්මාන 6 කට නිර්දේශ විය. ඒ හොඳම චිත්‍රපටය (හෝවඩ් ජී මින්ස්කී), හොඳම අධ්‍යක්ෂක (ආතර් හිලර්), හොඳම නළුවා (රයන් ඕ නීල්), හොඳම නිළිය (ඇලී මැක්ග්‍රෝ), හොඳම සහය නළුවා (ජෝන් මාර්ලි)හා හොඳම කථාව හා තිරනාටකය (එරිච් සීගල්',) ය. සම්මාන 6 කට නිර්දේශ වූවද, චිත්‍රපටය එක් සම්මානයකට හිමි කම් කීය. ඒ හොඳම සංගීතයට හිමි සම්මානය යි. එය ලැබුණේ ෆ්‍රන්සිස් ලායි ටය. එය නම් ලැබිය යුතුම සම්මානයකි.

'ලව් ස්ටෝරි' චිත්‍රපටය ලොව වඩාත්ම බොක්ස් ඔෆිස් ආදායම් ඉපැයූ චිත්‍රපට ලැයිස්තුවේ මුල් පෙළේ තිබෙන චිත්‍රපටයක් විය. ඇමරිකානු ඩොලර් මිලියන 2.2 කක ඇස්තමේන්තුවකින් නිම කළ මෙය පළමු වටයේම ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 173.4 කි.

'ලව් ස්ටෝරි' කොළඹ ලිබර්ටි සිනමා හලේ් සැලකිය යුතු කාල වකවානුවක් තිරගත විය. එමෙන්ම එය එකල කොළඹ බුද්ධිමත් තරුණ තරුණියන් අතර වඩාත් ජනප්‍රිය විය.

'ලව් ස්ටෝරි' තේමා සංගීතයට අනුව ගීතය ලීවේ කාල් සිග්මන් ය. එය ඇන්ඩි විලියම්ස් විසින් ගායනා කළ අතර, එම ගීතය අදටත් ලොව ඉහළම ගීත ලැයිස්තුවේ මුල් ගී අතර තිබෙන ගීතයක් විය. එලෙසම එය ලොව බිහිවූ වටිනාතම ගීත ලැයිස්තුවටද එකතු වූ ගීතයක් විය. චිත්‍රපටයට පරිබාහිරව නිර්මාණය වූ මෙම ගීතය නිසා චිත්‍රපටය තව තවත් ජනප්‍රිය විය. බොහෝ අය සිතුවේ මේ ගීතය චිත්‍රපටයට එකතු කර ඇති බවකි. එහෙත් එය චිත්‍රපටයට එකතු වී තිබුණේ නැත.

යුගයෙන් යුගයට බිහිවෙන හැම ආදර වන්තයෙක්ම 'ලව් ස්ටෝරි' චිත්‍රපටය නැරඹිය යුතුමය. ඒ, එය එතරමිම සුන්දර චිත්‍රපටයක් නිසාය. එතරම්ම ආදරණීය චිත්‍රපටයක් නිසාය.

How long does it last
Can love be measured 
by the hours in a day
I have no answers now 
but this much I can say
I know I'll need her 'til the stars 
all burn away
And she'll be there