වසර 21කට පෙර බොලිවුඩය කැලඹූ දේව්දාස්

අගෝස්තු 10, 2023

බොලිවුඩ් කියන්නේ හැමදාමත් ප්‍රේක්ෂකයින්ට සිහින සිනමා කෘති ආදරයෙන් තිළිණ කරන සිහින පාරාදීසයක්. අන්න ඒ වගේ ප්‍රේක්ෂකයින්ට තිළිණ කරපු නිර්මාණයක් තමයි දේව්දාස් කියන්නේ. ආදර කාව්‍යයක් වගේම ආදර ශෝකාන්තයක් විදිහට ප්‍රේක්ෂක සිත් අමන්දානන්දයට පත් කළ දේව්දාස් සිනමාපටය තිරගත වෙලා මේ වසර වෙනකොට වසර 21ක් ගතවෙලා. කාලය ඒ තරම් ඉක්මනින් ගෙවිල යනවද කියල හිතාගන්නවත් බැහැ. හරියට දේව්දාස් බැලුවේ අදක ඊයෙක වගේ මතකයක් තමයි බොහෝ දෙනෙක්ට තියෙන්නේ. 2002 අවුරුද්දේ මැයි 22 වෙනිදා තිරගතවීම ආරම්භ කරපු දේව්දාස් ඒ දවස්වල වැඩිම වියදමක් දරමින් නිර්මාණය කරපු බොලිවුඩ් සිනමාපටය විදිහට ඉතිහාසගත වුණා. ඒ ඇමරිකානු ඩොලර් මිලියන් 10.29 ක් පමණ වියදම් කරමින්.

බොලිවුඩයට වෙනස්ම නිර්මාණ තිළිණ කරන ජනප්‍රිය අධ්‍යක්ෂ සංජය ලීලා බන්සාලිගේ දැවැන්ත නිර්මාණයක් තමයි දේව්දාස් කියන්නේ. 1917 පළ වූ සරත් චන්දු චටීටෝපාද්‍යයාගේ ජනප්‍රිය නවකතාවක් වූ දේව්දාස් කෘතිය පදනම් කරගෙන තමයි දේව්දාස් චිත්‍රපටය නිර්මාණය වෙන්නෙත්. සංජය ලීලා බන්සාලි දේව්දාස් කෘතිය කියවන්නේ 1995 වර්ෂයේ. ආයෙමත් ඔහු ඒකෘතිය 1998 වර්ෂයේ කියවනවා. ඒ අවස්ථාවෙ තමයි ඔහු තීරණය කරන්නේ දේව්දාස් කෘතිය සිනමාවට නගන්න ඕනි කියලා. හැබැයි ඒ නව නිර්මාණයක් විදිහට. ඒ මොකද, දේව්දාස් 1955 වර්ෂයේදී බිමල් රෝයි විසින් සිනමාවට නගනවා. පළමු සිනමාපටයෙන් වසර 47කට පස්සේ තමයි සංජය ලීලා බන්සාලි විසින් දෙවන ප්‍රතිනිර්මාණය සිදුකරන්නේ. සංජය 1999 වසරේ තමන් දේව්දාස් ප්‍රතිනිර්මාණය කරන බව නිවේදනය කරනවා. 

මෙහි මුල් නිර්මාණයේ යම් යම් වෙනස්කම් කිහිපයක් සිදුකරමින් සංජය ලීලා බන්සාලි එක්ක ප්‍රකාශ් රංජිත් කපාඩියා තිර රචනය සිදුකර තිබෙනවා. නිතින් චන්ද්‍රකාන්ත් දේසායි විසින් දේව්දාස් වෙනුවෙන් අවශ්‍ය කරන පසුතල නිර්මාණ කටයුතු වෙනුවෙන් 2000 ඉදලා 2001 වෙනකල් වසරක කාලයක් අරගන්නවා. ඒ තරමටම දේව්දාස් වෙනුවෙන් යටත්විජිත කාලසීමාව නිරූපණය කිරීමට අවශ්‍ය පසුතල තාත්විකව නිර්මාණය කිරීමට සංජයට අවශ්‍ය වුණා. දේව්දාස් චිත්‍රපටයේ නළු නිළියන් තෝරාගැනීමත් ලෙහෙසි පහසු කටයුත්තක් වුනේ නැහැ. මෙහි දේව්ගේ චරිතය ශාරුක්ට භාර දෙන්න කලින් සංජයගේ තෝරාගැනීම් දෙකක් තිබුණා. ඒ තමයි සල්මන් ඛාන් සහ ගෝවින්දා. සල්මන් මීට කලින් සංජය එක්ක හම් දිල් දේ චුකේ සනම් සිනමාපටයේ එකට වැඩ කරල තිබුණා. කොහොම හරි සංජය මේ සිතුවිල්ල වෙනස් කරගත්තේ 2000 වසරේ තිරගත වුනු ශාරුක් රඟපාපු දිල් හේ හින්දුස්තානී සිනමාපටය නැරැඹීමත් එක්කයි. දේව් චරිතයට සුදුසුම කෙනා විදිහට ශාරුක්ව තෝරා ගන්නේ ඊට පස්සෙ.

අනෙක් චරිතය තමයි පාරෝගෙ චරිතය. සිනමාපටය ඇතුළේ මේ චරිතය ප්‍රතිනිර්මාණය කරන්නේ ඓශ්වර්යා රායි. ඇය මේ වෙනකොට සංජය එක්ක හම් දිල් දේ චුකේ සනම් චිත්‍රපටයේ වැඩ කරලා තිබුණා. කොහොම නමුත් පාරෝගේ චරිතයට මුල්ම තේරීම ඓශ්වර්යා නම් වුණේ නැහැ. මීට කලින් සංජය කාජල් සහ කරීනා කපූර් ගැන අවධානය යොමු කරලා තිබුණා. කොහොම නමුත් ඒ අවස්ථාව ලැබුණේ ඓශ්වර්යාට. පසුකලෙක ඒ තෝරාගැනීම තමන් කරපු විශිෂ්ට එකක්ය කියලත් සංජය මාධ්‍ය එක්ක කියලා තිබුණා. පාරෝගෙන් පස්සේ මෙහි අනෙක් ප්‍රධාන චරිතය කරන්නේ මධුරි ඩික්සිත්. ඒ චන්ද්‍රමුකීගේ චරිතය. ඇය මේ වෙනකොට විවාහයත් එක්ක සිනමාවෙන් තරමක් ඈත් වෙලා තමයි හිටියේ. සමහරු කියනවා ඇගේ පළමු දරුවා ලැබෙන්න ඉන්නා කියලා දැනගත්තෙත් දේව්දාස් දර්ශන තලයෙදී කියලා. කොහොම නමුත් ඇය සංජය එක්ක වැඩ කරන්න ගොඩක් කැමැත්තෙන් තමයි ඉදලා තියෙන්නේ. මේ නිසා ඇය චන්ද්‍රමුකී චරිතය වෙනුවෙන් තමන්ගේ කැමැත්ත ලබා දෙනවා. ඇගේ පැමිණීමත් එක්කම තිර පිටපතේ යම් යම් වෙනස්කම් කිහිපයක් කරන්නත් සංජය කටයුතු කරලා තිබුණා.

ශාරුක්, ඓශ්වර්යා මධුරි වගේම චිත්‍රපටයේ කැපී පෙනෙන රංගනයක් ලබා දෙන කෙනෙක් තමයි කිරන් කේර් කියන්නේ. ඇය පාරෝගේ මව වන සුමිත්‍රාගේ චරිතය තමයි නිරූපණය කරන්නේ. ඇය මීට පෙර සංජය එක්ක කාමෝෂි චිත්‍රපටයේ එකට වැඩ කළා. මෙහිදී සංජය ඇයට සුමිත්‍රා චරිතය වගේම දේව්ගේ මවගේ චරිතය වන කෞශල්‍යා චරිතයත් ලබා දෙනවා. නමුත් කිරන් තෝරාගන්නේ සුමිත්‍රාගේ චරිතය. ඊට පස්සෙ තමයි ස්මිතා ජේකර්ට කෞශල්‍යා චරිතය ලබා දෙන්නේ. ජැකී ෂොරොෆ් මෙහි එක් සුවිශේෂී ආරාධිත රංගනයක් සිදුකරනවා. ඒ සඳහා මුල්ම තෝරාගැනීම වුනේ ගෝවින්දා සහ සායිෆ් අලී ඛාන්. නමුත් කාර්යබහුලත්වයත් එක්ක ඔවුන් එම අවස්ථාව ප්‍රතික්ෂේප කරලා තිබුණා. ඊට පස්සේ තමයි එය ජැකී විසින් භාරගන්නේ.

දේව්දාස් සිනමාපටයේ පසුතල නිර්මාණ ගැන අදටත් ප්‍රේක්ෂකයින් කතා කරනවා. ඒ තරමටම ඒ පසුතල ආකර්ෂණීයයි වගේම සිනමාපටයට අලුත් හැඩයක් එකතු කරලා තිබුණා. පසුතල නිර්මාණය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක මුදලක් වියදම් කරන්නත් ඔවුන්ට සිදුවුණා. මෙහිදී නවකතාවට සහ 1955 බිමල් රෝයිගේ සිනමාපටයට පාදක වූ පසුතලවල යම් වෙනස්කම් කිහිපයක් කරන්න සංජයට අවශ්‍ය වුණා. ඒ නිසා ඔහු වසරකටත් වැඩි කාලයක් ඒ සම්බන්ධව පර්යේෂණ කටයුතු සිදුකරලා තිබුණා. චිත්‍රපටයේ පසුතල නිර්මාණ සහායකයින් 60ත් 100ත් අතර ප්‍රමාණයක් වැඩ කරලා තිබුණා. අවසානයේ අපි දැකපු දේව්දාස් චිත්‍රපටය ඒ තරමටම ලස්සන වුණේ මේ අයගේ කැපවීම නිසා කියන එකත් අපි අමතක කරන්න හොඳ නැහැ.

චිත්‍රපටයේ අනෙක් ආකර්ෂණීයම අංගය තමයි එහි පසුබිම් සංගීතය සහ නර්තන නිර්මාණයන්. මේ ගැනත් සංජය ලීලා බංසාලි ලොකු අවදානයක් දීල තිබුණා. දේව්දාස් හි සංගීත නිර්මාණය වෙනුවෙන් ඉස්මයිල් ඩර්බර් සහ බිර්ජු මහරාජ් වගේම මොන්ටි ශර්මා සම්බන්ධ වෙනවා. ප්‍රේක්ෂකයින් මන්මත් කරවන සංගීතයට අලුත් රසයක් එකතු කරමින්, ජස්පින්දර් නරූලා, කවිතා ක්‍රිෂ්ණමූර්ති, ශ්‍රෙයා ගෝෂාල්, කේ කේ මහා රාජ්, රාගව් චැටර්ජි, රශ්මි ශර්මා, සුප්‍රියා අදිකාරී, උදිත් නාරායන් සහ විනෝද් රතෝඩි ගීත ගායනයෙන් සම්බන්ධ වෙලා තිබුණා. නර්තන නිර්මාණයන් වෙනුවෙන් වෛභාවී මර්චන්ට්, බිර්ජු මහාරාජ් සහ සරෝජ් ඛාන් සම්බන්ධ වෙන්නේ සංජයගේ ඉල්ලීම පරිදියි. ඔවුන් ප්‍රේක්ෂකයින්ට කිසි දිනක අමතක කළ නොහැකි ආකාරයේ නර්තන නිර්මාණ කිහිපයක්ම චිත්‍රපටයට එකතු කරලා තිබුණා.

දේව්දාස් වෙනුවෙන් කොයිතරම් විශාල පිරිවැයක් සහ ශ්‍රමයක් වැය වුණත් ආපහු ඒ දේවල් ප්‍රේක්ෂකයින්ගෙන් චිත්‍රපටයට ලැබිලා තිබුණා. 2002 වසරේ වැඩිම ආදායම ලබපු සිනමාපටය විදිහටත් දේව්දාස් ඉතිහාසගත වෙන්නේ ඒ නිසයි. ඒ කෝටි 50ක් වැය කරමින් කළ නිර්මාණයක් කෝටි 168ක් ලබාගත්තු නිසයි. වසර 21ක් ගත වුණත් අපිට දේව්දාස් චිත්‍රපටයේ කිසිම පරණ ගතියක් දැනෙන්නේ නැත්තේ ඔවුන් එය ඉහළම තාක්ෂණය යොදාගනිමින් අපූරුවට නිර්මාණය කරපු නිසයි. සම්මාන උලෙළ කිහිපයකදීම සම්මාන රැසක් දිනාගත්තු දේව්දාස් සිනමාපටය ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළේදී සම්මාන 11ක් දිනාගනු ලැබුවා. ඒක අදටත් වාර්තාවක්. දේව්දාස්වලට පස්සේ සංජය ලීලා බන්සාලි සිනමාපට කිහිපයක්ම ප්‍රේක්ෂකයින් අතරට ගෙන ආවා. නමුත් ඒ හැම එකකටම වඩා අදටත් දේව්දාස් ඉදිරියෙන් ඉන්නවා. ඒ එහි තියෙන අපූරු නැවුම් බව, ආකර්ෂණීය බව සහ අනෙකුත් සෑම කාරණාවක් නිසාවෙන්මයි.

අමිල නුවන් මධුසංඛ