වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
The Sound of Music

'රොබට් අර්ල් වයිස්', ඇමරිකානු සිනමාවට පැමිණියේ 1944 දී පමණය. ඒ 'වැල් ලෙව්ටන්' නිෂ්පාදනය කළ 'ද කර්ස් ඔෆ් ද කැට් පීපල්' යන චිත්‍රපටයෙනි. එයද ඔහුට ලැබූ අහඹු අවස්ථාවකි. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂකවරයා වූයේ 'ගුන්තර් වයිස්' ය. ඔහු චිත්‍රපටයේ මුල් කොටස අධ්‍යක්ෂණය කරනා විට, නිෂ්පාදක සමඟ ඇතිවූ මත ගැටුමකින් ඔහුව එම චිත්‍රපටයේ අධ්‍යක්ෂණයෙන් ඉවත් කෙරීණ. එම හිස්තැන පිරවීමට ආ අධ්‍යක්ෂවරයා වූයේ 'රොබට් වයිස් ය'. එතැන් සිට ඔහු 1989 වන තෙක් පුරා අවුරුදු 45 ක් ඇමරිකානු සිනමාවේ නියැළි චිත්‍රපට 39 ක් සහ රූපවාහිනි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේය. එලෙසම චිත්‍රපට 12ක සංස්කරණ ශිල්පියකු ලෙසද තම සේවය බෙදා දුනි. ඔහු සංස්කරණය කෙරූ චිත්‍රපට අතර ලෝකයේ සුප්‍රසිද්ධ වූ, 'සිටිසන් කේන්' 'ද හන්ච් බෑක් ඔෆ් නෝට්‍රෙ ඩේම්' ද විය.
ඔහු අධ්‍යක්ෂණය කෙරූ චිත්‍රපට අතරින් වඩාත්ම කථා බහට ලක්වූ, එමෙන්ම විශාලතම ආදායම් ඉපයූ චිත්‍රපට දෙකක් විය. එයින් එකක් 'වෙස්ට් සයිඩ් ස්ටෝරි' ය. අනෙක් චිත්‍රපටය, අද, මෙම ලිපියට පාත්‍රවන ' ද සවුන්ඩ් ඔෆ් මියුසික්' ය.
ඇමරිකානු ඩොලර් මිලියන 8.2 ක ඇස්තමේන්තුවකට නිර්මාණය වූ 'ද සවුන්ඩ් ඔෆ් මියුසික්' මුල් වටයේ ඉපැයීම වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 286.2 ක් වැනි විශාල මුදලකි. මෙය ලෝකයේ වඩාත්ම ආදායම් ඉපයූ චිත්‍රපට ලැයිස්තුවේ තවමත් මුල් පෙළේ තිබෙන චිත්‍රපටයකි. එය 1965 වසරේ වැඩිම ආදායම ලැබූ චිත්‍රපටය විය. එලෙසම එම තත්වය, අවුරුදු 5 ක් යන තෙක්ම තබා ගැන්මට මෙම චිත්‍රපටයට හැකි විය. එලෙසම එය රටවල් 29 කම ආදායම් අතින් කලින් තබා තිබූ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළීමට සමත් වූ අතර, එම වසරේ ඇමරිකානු ඇකඩමි සම්මාන උලෙළේ දී සම්මාන 5 ක් දිනා ගැනීමට සමත් විය.
'ද සවුන්ඩ් ඔෆ් මියුසික්', චිත්‍රපටයට නැංවූයේ 'හෝවාර්ඩ් ලින්ඩසි, සහ රසල් ක්‍රෝස් විසින් ලියූ එම නමින්ම පළ කළ නවකතා පොතක් ආශ්‍රිතවය. එයට මාරියා වොන් ට්‍රැප් ලියූ 'ද ස්ටෝරි ඔෆ් ද ට්‍රැප් ෆැමලි සින්ගර්ස්' යන පොතෙන්ද ඇතැම් කරුණු උපුටා ගතී. එලෙසම මෙය මුලින්ම එනම් 1959 වසරේදී සංගීත වේදිකා නාට්‍යයක් ලෙස රඟදැක්විය. එහී සංගීතය මෙහෙවූයේ රිචඩ් රොජර්ස් ය. චිත්‍රපටයේ ද සංගීතය මෙහෙය වූයේ රිචඩ් රොජර්ස් මය. ඔහු මෙයට අර්වින් කොස්ටල් ගේ වාද්‍ය වෘන්දයද එකතු කර ගනී. මෙහි එන සියලු ගීත රචනා කළේ ඇමරිකාවේ සම්මානනීය ගී රචකයකු වූ ඔස්කාර් හැමර්ස්ටේන් ය.
වර්ෂ 1962 දී, ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් චිත්‍රපට සමාගමේ සභාපති රිචඩ් ඩී සනූක් විසින් අර්නස්ට් ලෙහෙමන් නම් තිර රචකයාගේ සේවය ගත්තේ, 'ද සවුන්ඩ් ඔෆ් මියුසික්' නම් වූ සංගීත නාට්‍ය චිත්‍රපටයකට හැර වීමටය. ලෙහෙමන් එම සංගීත වේදිකා නාට්‍යයේ ගීත ගෙන එය වේදීකාවෙන් සිනමාවට රැගෙන ආවේ එහී දර්ශනීය පසුතල සකස් කරමිනි. ඔහු එම පසුතල බොහෝමයක් උකහා ගත්තේ ඕස්ට්‍රියා වේ ඇල්ප්ස් කඳුපාමුල දර්ශන ආශ්‍රිතවය.
ලෙහෙමන් පියවරෙන් පියවර, නාට්‍යය සිනමාවට සරිලන සේ තිරනාටකය සකස් කරනාතුර, චිත්‍රපටයේ නිශ්පාදක රිචඩ් ඩී සනුක්, ලෙහෙමන් සමඟ එක්වී චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට අධ්‍යක්ෂවරයකු සෙවීය. ලෙහෙමන් මුලින්ම යෝජනා කළේ අධ්‍යක්ෂ රොබට් වයිස් වය. ඒ ලෙහෙමන් ඔහු සමඟ 'වෙස්ට් සයිඩ් ස්ටෝරි' චිත්‍රපටයේ වැඩ කර තිබූ නිසාය. එහෙත් ඔහු 'ද සෑන්ඩ් පෙබල්ස්' නම් චිත්‍රපටයේ රූ ගත කිරීම් සඳහා කාර්ය බහුල වී සිටි නිසා, ලෙහෙමන්ගේ ඒ ඉල්ලීම කාරුණීකව ප්‍රතික්ෂේප කරන්නට සිදු විය. ඉන්පසු ඔවුන් දෙදෙනා මෙය අධ්‍යක්ෂණය කිරීමට අධ්‍යක්ෂවරුන් කීප දෙනෙක්වම යෝජනා කළහ. ස්ටැන්ලි ඩොනෙන්, වින්සන්ට් ජේ. ඩොනෙහූ, ජෝර්ජ් රෝයි හිල්, සහ ජීන් කෙලී, ඒ අතර විය.
1963 වසරේ ජනවාරි මාසයේ දී, ලෙහෙමන් විසින් ඔහුගේ ප්‍රියතම අධ්‍යක්ෂකවරයකු වූ, 'විලියම් වේයිලර්' ට ආරාධනා කළේ ඔහු සමඟ නිව්යෝක් නගරයට ගොස් බ්‍රෝඩ්වේ සංගීත ප්‍රසංගය නැරැඹීමටය. එම ප්‍රසංගය නැරැඹු පසු විලියම් වේයිලර් කීවේ, ඔහු එම ප්‍රසංගයට කිසිසේත් ප්‍රිය නොමැති බවය. එහෙත් සති දෙකක් තුළ එම ප්‍රසංගය චිත්‍රපටයකට නැංවීමේ අදහසට විලියම් වේයිලර් ව නම්මා ගැනීමට, ලෙහෙමන්ට හැකි විය. වේයිලර් පසුව, චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට එකඟ විය. රොජර් එඩන්ස් නම් සංගීත උපදේශක වරයෙකු ගේ සේවය ලබා ගන්නට නිර්දේශ කරගත් පසු, වේයිලර්, ලෙහෙමන් හා එඩන්ස්, සල්ස්බර්ග් බලා පිටත් වුයේ චිත්‍රපටයේ රූ ගත කිරීමට අවශ්‍ය ස්ථාන නැරැඹීමටය.
ඉන්පසු, ලෙහෙමන් තම තිරනාටකයේ පළමු පිටපත, වේයිලර්ට දුන් පසු, ඔහු එය කියවු අතර, එහි කිසිදු දෙයක් කප්පාදු කිරීමක් හෝ අලුත් කිසිවක් එකතු කිරීමක් අනවශ්‍ය බව කියා සිටියේය. ඒ අතරේදී ලෙහෙමන් එම තිර නාටකයේ පිටපතක් රොබට් වයිස්ට යැව්වේ,මෙම චිත්‍රපටය රොබට් වයිස්ම අධ්‍යක්ෂණය කිරීම ලෙහෙමන්ට උවමනා කමක් තිබූ නිසාය.
පසුව එම මස මැද දී වේලර් ගේ නියෝජිතයා චිත්‍රපටයේ නිෂ්පාදක රිචඩ් ඩී සනුක්ට අමතා ඇසුවේ චිත්‍රපටය පටන් ගැන්මට තවත් ප්‍රමාද වන්නේ නම්, වේයිලර්ට අධ්‍යක්ෂණය කිරීමට ලැබී තිබෙන 'ද කලෙක්ටර්' චිත්‍රපටය පටන් ගත හැකිය කියාය. එයට සනුක් කීවේ, වේයිලර්ට ඒ චිත්‍රපටය කරන ලෙසටත්, තමාගේ චිත්‍රපටයට වෙනත් අධ්‍යක්ෂ කෙනෙක් ව ගත හැකි බවක්ය. 'ද සවුන්ඩ් ඔෆ් මියුසික්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට විලියම් වේලර්ට අහිමි වූයේ ඒ අයුරිනි.
ඒ අතරේදී, රොබට් වයිස් විසින් අධ්‍යක්ෂණය කිරීමට සිටි 'ද සෑන්ඩ් පෙබල්ස්' චිත්‍රපටය කල් ගිය නිසා, ඔහු ලෙහෙමන් දුන් තිර නාටකය කියවා බැලීය. එය ඔහුගේ සිතට තදින්ම කා වැදුණු නිසා, එය අධ්‍යක්ෂණය කිරීමට රොබට් වයිස් එකතු විය. 1963 ඔක්තෝබර් මාසයේ ඔහු නිල වශයෙන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමේ වගකීම භාර ගනී. ඉන් පසු ඔහුද ලෙහෙමන් හා ඔහුගේ නිෂ්පාදන හා කාර්මික කණ්ඩායම, රූ ගත කරන ස්ථාන නැරැඹීමට ගියහ. පෙර විලියම් වෙයිලර් විසින් නැරැඹූ ස්ථානද වයිස් විසින් නැරඹීය.
ඉන්පසු ලෙහෙමන් ඔහුගේ තිර රචනයේ දෙවැනි පිටපත රොබට් වයිස්ට දුන් අතර, එය ඔවුන් දෙදෙනා එකතු වී අවශ්‍ය වෙනස් කම් සිදු කළහ. චිත්‍රපටයට නළු නිළියන් තේරීමෙදී, ලෙහෙමන් ට උවමනා වූයේ 'මරියා' ගේ චරිතයට, ජූලි ඇන්ඩෘස්ව ගැනීමට ය. එලෙසම ග්‍රේස් කෙලී, හා ෂර්ලි ජෝන්ස් ගැනද ඔහු යෝජනා කළේය. ජුලි ඇන්ඩෘස් ගැන එතරම් කැමැත්තක් අධ්‍යක්ෂක රොබට් වයිස් ට තිබුණේ නැත. එහෙත් ලෙහෙමන් හා වයිස් ඩිස්නි චිත්‍රාගාරයට ගොස් ඇය රඟපෑ ඒ වන විටත් තිර ගත නොවූ 'මේරී පොපින්ස්' චිත්‍රපටයේ ඇතැම් කොටස් නැරැඹීය. එය දුටු පසු රොබට් වයිස්, ලෙහෙමන්ට කිවේ, වහාම ගොස් ඇය හා ගිවිසුම් ගත විය යුතුයි කියාය. ඉක්මන් නොවුවහොත්, මෙම චිත්‍රපටය කිසියම් නිෂ්පාදකයෙක් හෝ අධ්‍යක්ෂකවරයකු දුටුවහොත්, අනිවාර්යයෙන්ම ඇයව තම චිත්‍රපටවලට එකතු කර ගැනීම වළක්වා ගත නොහැකි බවය.
ජූලි ඇන්ඩෘස් සමඟ ගිවිසුම් ගතවීම කළ යුත්තේ ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමඟ ය. ෆොක්ස් සමාගම ඇය සමඟ ඇමරිකානු ඩොලර් දෙලක්ෂ විසිපන්දහකට අත්සන් කළේ 'ද සවුන්ඩ් ඔෆ් මියුසික් ' හා වෙනත් චිත්‍රපටයක් වෙනුවෙනි.
චිත්‍රපටයේ 'කැප්ටන් වොන් ට්‍රැප්' ගේ චරිතයට නළුවෙක් තේරීම තරමක් දුෂ්කර කාර්යක් විය. හේතුව එසේ තෝරන නළුවාට, ගායන හැකියාවත්, රංගන හැකියාවත් එකසේම තිබිය යුතුවු නිසාය. එහෙයින් ඔවුන්, 'බිංග් ක්‍රොස්බි' ගැන අවධානය යොමු කළ අතරම, 'යූල් බ්‍රයිනර්,' 'ෂෝන් කොනරි,' 'රිචඩ් බර්ටන්' යන නළුවන් ගැනද ඒ හා සමාන අවධානයක් යොමු කළහ. අධ්‍යක්ෂ රිචඩ් වයිස් බ්‍රෝඩ්වේ සංගීත නාට්‍යවල රඟපෑ 'ක්‍රිස්ටෝපර් ප්ලමර්' ට ද කුරුමානම් ඇල්ලුව ද, ක්‍රිස්ටෝපර්, වේදිකාව අතහැර මෙම චිත්‍රපටයේ රඟපෑමට කැමති වූයේ නැත. වයිස් වහාම ලන්ඩන් නුවරට ගොස් ක්‍රිස්ටෝපර් ප්ලමර්ව මුණ ගැසී, මෙම චිත්‍රපටයේ වටිනාකම ගැන ඔහුට පහදා දුනී. සාකච්ඡා වට කීපයක් ගිය අතර, ක්‍රිස්ටෝපර් ප්ලමර් කීවේ, ලෙහෙමන් විසින් ලියූ තිරනාටකයේ තමාට ලැබෙන චරිතය වූ කැප්ටන් වොන් ට්‍රැප් තවත් දීර්ඝව හා ප්‍රබලව විහිදා යන ලෙස ලියන්නේ නම් ඔහු මෙහී රඟපෑමට එකඟ වන බවය. එයට වයිස් එකඟ විය.
'මීයා ෆ්‍රරෝ', 'පැටි ඩියුක්', 'ලෙස්ලි ඈන් වොරන්', 'ජෙරල්ඩීන් චැප්ලීන්', 'ෂෙලී ෆැබරෙස්', ටෙරි ගාර්, 'කර්ට් රසල්' පමණක් නොව එවකට බ්‍රිතාන්‍යයෙන් පැමිණ, ලෝකයේ සංගීත ලෝකයට එක්වූ 'ඩොනි ඔස්මන්ඩ්' 'මාරි ඔස්මන්ඩ්' 'ජිමි ඔස්මන්ඩ්' ඇතුළු 'ද ඔස්මන්ඩ්' සංගීත කණ්ඩායමේ සමාජිකයන්වද, කැප්ටන් වොන් ට්‍රැප් ගේ ළමයින් 7 දෙනාට තෝරා ගැන්ම සඳහා නිෂ්පාදක, අධ්‍යක්ෂක කණ්ඩායම් අවධානය යොමු කළද, ඒ එක් අයෙක්වත් තෝරා ගත්තේ නැත. ඉන්පසු ඇමරිකාවෙන් හා එංගලන්තයෙන් ගැයුමට, නැටුමට, රැඟුමට එක ලෙස සමත් ළමයින් 200ක් පමණ සම්මුඛ පරික්ෂණ වලට ගෙන්වා ගත්හ. 'චාර්මියන් කාර්', 'හෙදර් මෙන්සීස්', ' නික්ලස් හැමන්ඩ්', 'ඩුඒන් චේස්', 'ඇන්ජලා කාට්රයිට්', ''ඩෙබි ටර්නර්', ''කිම් කාරත්', 'යන හත් දෙනා එලෙස තෝරා ගත් අය විය.
ලෙහෙමන් සංශෝධන සහිත තම අවසාන තිර නාටකය අධ්‍යක්ෂ රොබට් වයිස්ට භාර දීමට පෙර, ක්‍රිස්ටෝපර් ප්ලමර්, එය කියවා, එහී ජූලි ඇන්ඩෘස් ට දී තිබෙන චරිතයට වඩා තම චරිතය වූ කැප්ටන් වොන් ට්‍රැප් ගේ චරිතය ප්‍රබල කරන ලෙස ලෙහෙමන්ගෙන් නැවතත් ඉල්ලා සිටියේය. ඒ සියලු සංශෝධනය සහිතව අවසාන තිර නාටකය ලෙහෙමන්, රොබට් වයිස්ට භාර දුන්නේ 1964 වසරේ මාර්තු 20 වනදා ය.
ක්‍රිස්ටෝපර් ප්ලමර්, තම චරිතය වූ කැප්ටන් වොන් ට්‍රැප්ගේ භූමිකාව ප්‍රබල කිරීමට කීවද, කථාව ගෙතී යන්නේ ජූලි ඇන්ඩ්‍රෘස් රඟපෑ මරියා ගේ චරිතය වටාය.
මරියා යනු ඉතාමත් සැහැල්ලුවෙන් ජීවත් වන, ගීතයට, නැටුමට, දාංගලේට කැමති රූමත් ඔස්ට්‍රියානු තරුණියෙකි. ඇය ඉගෙන ගත්තේ ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් හී පිහිටි 'නොන්බර්ග් අබේ' නම් වූ කන්‍යාරාමයේය. ඒ ඇය කන්‍යා සොහොයුරියක් වී දෙවියන්ට සේවය කිරීමේ අරමුණෙනි. එහෙත් එහී සිටි අනෙක් තරුණ කන්‍යා සොහොයුරියන් නම් කිවේ, මරියා වැනි සින්දු කියමින් නටන, රඟන එමෙන්ම දාංගලේ ඇති කෙල්ලකට කන්‍යා සොහොයුරියක් වීමට කිසිසේත් කළ නොහැක්කක් බවකි.
විශ්‍රාමික නාවික හමුදා කපිතන්වරයකුගේ ළමයි හත් දෙනෙකුව බලා ගැන්මට, කන්‍යාරාමයේ ප්‍රධාන කන්‍යා සොහොයුරිය විසින් මරියාව එම නිවසට යවන්නේ මේ අතරේදීය. මරියා එතැනට යන්නේ තම ගිටාරයද අතැතිවය.
හමුදා කපිතාන්වරයාගේ බිරිඳ මිය ගොස් සිටි අතර, මේ ළමයි 7 දෙනාව කපිතාන්වරයා පාලනය කරමින් සිටියේ හමුදාවේ නිතී රීති යොදවමින්ය. හමුදාවේ තිබෙන කාල සටහන අනුවය මේ ළමයි හැසිරිය යුත්තේ. කපිතාන්, තම ළමයින් තමන් ඉදිරියේ රැස් කර ගන්නේ විසිල් එකක ආධාරයෙන්ය. කපිතන් රළු ප්‍රතිපත්තයක් නිවෙස තුළ ගෙන ගිය හෙයින් ළමයි 7 දෙනා ගේ හැසිරීමද රළු විය.
ලීසල්, ලුයිසා, ෆ්‍රෙඩ්රිච්, කර්ට්,බ්‍රිජිටා, මාර්ටා,ග්‍රේටල් , මෙම වොන් ට්‍රැප් පවුලේ ළමයි 7 දෙනාය. පිරිමි ළමයි දෙදෙනෙකු හා ගැහැනු ළමයි පස් දෙනෙකුගෙන් සමන්විත මේ ළමයි 7 දෙනා මරියා ගේ පැමිණීමද සැලකුවේ මින් පෙර ඔවුන්ව බලා ගන්නට ආ සේවිකාවන් සේය. ඒ කිසිදු සේවිකාවක් මොවුන් සමඟ දින දෙකකට වඩා සිටියේ නැත. මොවුන් ඒ හැම සේවිකාවකටම, එතැන සිටීමට නොහැකි අන්දමේ දෑ කරමින් ඔවුනට ඒ තැන අහිමි කළහ. විශේෂයෙන් ගෙම්බන්, කුඩා සරපයන්, වැනි සතුන් ඒ සෙවිකාවන්ගේ නිදන කොට්ටයට, කෑම කන පිඟානට, දමා ඔවුන් ව බය කළහ. වොන් ට්‍රැප් ළමයි 7 දෙනා ඉතාමත් රළු අන්දමට ඔවුනට සලකන විට, එම සේවිකාවන් වොන් ට්‍රැප් නිවස අතහැර දමා ගියේ, නැවත කිසි දිනයක එම පැත්තවත් නොබලන ලෙසටය.
වොන් ට්‍රැප් ළමයි 7 දෙනා මරියාට කළේද එම දෙයමය. කුඩා සරපයන්, ගෙම්බන් වැනි දේ දමමින් ඔවුන් මුලින්ම මරියාව බය කරන්නට සැරසුණද, මරියා එයට බය වුනේ නැත. මෙම ළමයි 7 දෙනා රළු වී තිබුණේ, කපිතාන්වරයාගේ රළු සැලකීම් හා ප්‍රතිපත්තින් නිසා බව, මරියා තේරුම් ගතී. මොවුන්ට අවශ්‍ය ආදරය, කරුණාව, දයාව, හා ඔවුන් ගැන දක්වන පෞද්ගලික සැලකිල්ල බව, මරියා යළි යළිත් වටහා ගති. කපිතාන්වරයා විසින් තම දරුවන්ට සලකන්නේ ද, හමුදා භටයන්ට සලකන අයුරින් බවත් මරියා වටහා ගත්තාය.
මේ දරුවන් යථා තත්වයට ගත හැක්කේ තමා 'මානසික වෛද්‍යවරයකු' ගේ චරිතයකට අවතීර්ණ වූවහොත් පමණක් බව, ඇය, තේරුම් ගත් අතර, ඇය මුලින්ම, ඔවුනට මානසික වෛද්‍යවරයකු වන්නට විය. ඇය ඔවුනට බෙහෙත් වෙනුවට තෝරා ගත්තේ සංගීතය ය. එයට ඇය ගෙන ආ ගිටාරය බොහොමත් ප්‍රයෝජන විය.
කපිතාන් වරයා තම නිවස තුළ කිසිදු ශබ්දයක් කිරීමට කැමති වූයේ නැත. ඔහු ළමුන්ට ඉගෙනීම හැරෙන්නට කිසිදු අතිරේක ක්‍රියා කාරිත්වයක් කිරීමට ඉඩ දුන්නේ නැත. එහෙත් මරියා ළමයින්ව ටිකෙන් ටික, සෙල්ලමට, ගීත ගායනයට, නැටුමට හුරු කළාය.
එයින් නොනැවතුණු ඇය, කපිතාන්වරයා විසින් එතෙක් ළමුන්ට අන්දවා තිබූ මිලිටෙරි ඇඳුම වෙනුවට, අලුත් තාලේ ඇඳුම් ඇන්දවීමට සිතුවාය. එහෙත් ඇයට එලෙස ඇඳුම් ගැන්මට මුදල් නොමැති නිසා, නිවසේ දොරවල් හා ජනෙල්වල එල්ලා ඇති තිර රෙදි ගලවා එයින් ළමයි 7 දෙනාට නව විලාසිතාවන් අනුව ඇඳුම් මසා ඇන්දවීය. මේ සියල්ලම ඇයට කිරීමට හැකි වූයේ කපිතාන්වරයා එම අවස්ථාවේ වියානා නගරයෙන් පිටතට ගොස් තිබූ නිසාය.
ඔය අතරේදී, කපිතන්වරයා නිවසට පැමිණියේ ඔහු යළි විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින 'බරෝනස්' නම් වූ කාන්තාව හා ඔවුනගේ කිට්ටුම සගයකු වූ 'මැක්ස් ඩෙට්වෙයිලර්' සමඟය. මැක්ස් ට අවශ්‍ය වූයේ කෙසේ හෝ බරෝනස් ව කපිතාන්ට විවාහ කර දී, මේ විශාලවූ ගෙවල් දොරවල්වල අයිතිය ඇයට ලබා දීමටය.
ඔවුන් තිදෙන එන විට, මරියා තම දරුවන්ට ගෙදර දමා තිබූ තිර රෙදිවලින් ඇඳුම් මසා අන්දවා ඇති බවක් කපිතාන් වරයා දුටුවේය. ඔහුට ඇතිවූ කේන්තිය කොපමණක් දැයි කිව හොත්, ඔහු මරියාව මේ නිවසේ රාජකාරියෙන් ඉවත් කර, නැවත කන්‍යාරාමයට යැවීමට තීරණය කෙරීණි. එහෙත් ඒ අතරේදී, ඔහුට උඩුමහලෙන් ගීතයක් ගායනා කරන හඬක් ඇසිණි. තම නිවස තුළ මෙසේ ගීත හඬක් ඇසීම ගැනද ඔහුට කේන්ති ගියද, එම ගීතයද ඔහුට හුරු පුරුදු ගීතයක් විය. එය එකල ඔහු නිතරම ගායනා කළ ගීතයක් ද විය. එම ගීතය තුළින් ඔහුගේ තද හිත මෙලෙක් වූ අතර, ඔහු සංවේදි විය. එහෙයින් ඔහු සියල්ලෝම මවිතයට පත් කරමින් එම ගීතය ගැයීමට ඔවුන් හා එක්විය. ළමුන්ගේ ගී ගැයීම ඇසූ මැක්ස් කීවේ මොවුන්ව, සල්ස්බර්ග් හී ඉදිරි සතියේ තිබෙන ගායනා තරඟයට ඉදිරිපත් කළ යුතුයි කියාය. එහෙත් කපිතාන් තම ළමයින්ව ගායනා තරඟවලට ඉදිරිපත් කර, ප්‍රසිද්ධ කිරීමට අකමැති විය.
කපිතාන්වරයාගේ මාළිගාවක් වැනි නිවසේ ප්‍රිය සාදයක් පැවැත්වීමට කපිතාන් වරයා අදහස් කළේ එම සාදය අතර තුරේදී, ඉදිරියේදී සිදුවීමට නියමිත, ඔහුගේ හා බාරෝනස් ගේ විවාහය ප්‍රසිද්ධයේ පැවසීමටය.
ප්‍රිය සාදය යන අතරේ, නිවසේ උද්‍යානයේ, තම දරුවකු වූ 'කර්ට්' ට මරියා විසින් 'ලැන්ඩලර්' නම් වූ දේශිය නැටුම් පුහුණු කර නටන බව කපිතාන් දුටුවේය. එය දුටු පසු කපිතාන් මරියාට 'බෝල් රූම්' නැටුමකට ආරාධනා කළේය. ඔවුන් දෙදෙනා ළංවී නටන ආකාරයෙන් කපිතාන්වරයා තුළ මරියාට කිසියම් ඇල්මක් ඇති බවක් බාරොනස්ට වැටහිනි. එයට ඊරිසියා කෙරූ ඇය, කපිතාන්ට නියෝග කළේ වහාම මරියාව කන්‍යාරාමයට හැරලවන ලෙසටය.
කන්‍යාරාමයේ ප්‍රධාන කන්‍යා සොහොයුරිය අබේස් ට මරියා, කපිතාන් ගැන කිසියම් හැඟීමකින් පසුවන බවක් හැඟී ගියෙන්, ඇය මරියාව කන්‍යාරාමයට නැවත ගෙන්වා ගත්තේ මරියා ගේ මුලික අරමුණ වූ කන්‍යා සොහොයුරියකු වීමේ අවශ්‍යතාවය ඉටු කර දීමට ය.
එහෙත් කපිතාන් හා බාරොනස් ගේ ගිවිසුම් ගැනීම නිසා ළමයින් අයාල යෑමත්, එලෙසම ළමයි 7 දෙනාම මරියාව සොයා ගෙන කන්‍යාරාමයට පැමිණීමත් හේතු කොට ගෙන, තවත් සේවිකාවක් සොයා ගන්නා තෙක් මරියා නැවතත් වොන් ට්‍රැප් නිවසට පැමිණියාය. ඒ අතරේදී, කපිතාන්වරයා හා මරියාගේ හැඟිම් තිව්‍රෘ වන්නට විය. මෙය බාරොනස් ගේ ඇසට අසුවූ අතර, කපිතාන්වරයා, තමාට වඩා මරියාට ඇල්මක් දක්වන බවත්, එලෙසම ළමුන් 7 දෙනාද තමන්ට වඩා මරියාට ලැදි බවත් තේරුම් ගත් බාරොනස් තමාගෙ විවාහ ගිවිසුම අවලංගු කර, නැවත වියානා බලා පිටත් වූයේ තම සියලු බලාපොරොත්තුන් සුන් කර ගෙනය.
කපිතාන් හා මරියා විවාහ විය. එය විචිත්‍රවත්, මහා විවාහ මංගල්ලයක් විය. ඔවුන් දෙදෙනා මධු සමය සඳහා පිටත් වූ පසු, මැක්ස් ළමයින් 7 දෙනා ව, සල්ස්බර්ග් හී ගායනා තරඟයට ඉදිරිපත්, කළේ කපිතාන්ගේ කැමැත්තවත් නොවිමසා ය.
කපිතාන් හා මරියා මධු සමය ගත කර නිවසට පැමිණීමෙන් පසු, ඔහුට විදුලි පණිවිඩයක් ලැබෙන්නේ, වහාම ජර්මනු නාවික හමුදාවට වාර්තා කරන ලෙසටය. එහෙත් කවදත් නාසිස්ට විරුද්ධ වන කපිතාන්, මරියා ට හා ළමුන්ට කියනුයේ ඉතාමත් ඉක්මනින් ඔස්ට්‍රියාවෙන් පිට වී, ස්විට්සර්ලන්තය බලා පිටත් වන්නට ලැස්ති වන ලෙසටය. ඔවුන් පිටත් වන්නට යන විට, හමුදාව විසින් ඔවුන්ව නවත්වන්නට විය. කපිතාන් කියන්නේ ඔවුන් සල්ස්බර්ග් හී තිබෙන ගායනා තරඟයේ අවසන් වටයට තරඟ කිරීමට යන බවක්ය. ඇත්ත වශයෙන්ම මැක්ස් විසින් වොන් ට්‍රැප් ළමුන්ව ඉදිරිපත් කර තිබූ ගායනා තරඟයෙන් ඔවුන් අවසන් මහා තරඟයට සුදුසු කම් ලබා තිබුණි. කපිතාන් මේ සිදුවීමේදී ප්‍රයෝජන ගත්තේ එම අවස්ථාව ය. ඔහු හමුදාවෙ උසස් නිලධාරින්ට කීවේ ඔවුන් ට සැකයක් ඇත්නම් ඔවුන් සමඟ පැමිණ තරඟය නැරඹීමට කියාය. ඒ හමුදා නිලධාරිහුද, ඔවුන් සමඟ තරඟය තිබෙන ශාලාවට පැමිණියහ. තරඟය පටන් ගත් අතර, කපිතාන්, මාරියා ඇතුළු වොන් ට්‍රැප් පවුලම වෙිදිකාව මත ගායනයෙන් තම දක්ෂතා විදහා දක්වන්නට විය. අවසානයේදී ජයග්‍රහණය ඔවුන්ට හිමිවූ අතර, ඔවුන් ගේ නම් ප්‍රකාශ කරන විට, ඔවුන් වේදිකාවට පැමිණියේ නැත. ඔවුන් උපක්‍රමශීලිව එතැනින් පැන ගොස්ය. ඔවුන් කෙළින්ම ගියේ කන්‍යාරාමයට ය. ප්‍රධාන කන්‍යා සොහොයුරිය අබේස් ඔවුන්ව කන්‍යාරාමය තුළ සැඟවුවාය. හමුදාවේ නිලධාරින් කෙළින්ම පැමිණියේ කන්‍යාරාමයටය. ඒ අතරේදී කපිතාන් සහ පවුල කන්‍යාරාමය බලා ගන්නා පුද්ගලයාගේ වාහනයෙන් පලා ගියහ. ඔවුන්ව අල්ලා ගැනීම සඳහා හමුදා නිලධාරින් තම රථවලට නැගී වාහන පණ ගන්වන්නට උත්සහ කළ ද, ඒව පණ ගන්වන්නට නොහැකි විය. ඊට හේතු වූයේ කන්‍යාරාමයේ කන්‍යා සොහොයුරියන් දෙදෙනෙකු, හොර රහසේ්ම එම රථවල එන්ජීමේ ඇතැම් කොටස් ගලවා විනාශ කර තිබූ නිසාය. මේ හේතුවෙන් ඔවුන්ට වොන් ට්‍රැප් පවුල ගිය ඉසව්ව හඹා යෑමට නොහැකි විය.
කපිතාන්, මරියා ඇතුළු වොන් ට්‍රැප් සමාජිකයන් කිසිදු අවහිරයක් නොමැතිව ස්විස් දේශ සීමාවට ඇතුල් විය.
'ද සවුන්ඩ් ඔෆ් මියුසික්' කතා සාරය එලෙස ගලා ගිය අතර, එයට, තව තවත් අපූරු සිදුවීම් රැසක් එකතු වී තිබුණි. විශේෂයෙන් වොන් ට්‍රැප් පවුලේ වැඩිමහල් දියණිය වූ, ලිසල් වොන් ට්‍රැප්ගේ රහස් ප්‍රේම සම්බන්දයත්, ඔවුන්, ඔවුනගේම උද්‍යානයේ රාත්‍රියේ දී හමුවන ආකාරයත් එහීදී ගීත ගයමින් විනෝද වන අවස්ථාවත්, ඒ අපූරු ජවනිකාවන්ට ඇතුළත් වී තිබුණි. මුලින්ම අප ඇයගේ පෙම්වතාව දකින්නේ ලියුම්කරුවකු ලෙසටය. පසුව හමුදාව විසින් වොන්ට්‍රැප් පවුලව හොයන අවස්ථාවේදී, එහී යුද භටයෙක් ලෙස පමණක් නොව, ඔවුන් සැඟවී සිටි තැනින් සොයා ගන්නා යුද භටයා ලෙස ටද ඔහුව අපට මුණ ගැසේ. එම අවස්ථාවේදී ඔහු අනෙක් හමුදා භටයන්ට අසු නොවෙන්නට ඔවුන්ව හොරෙන්ම මුදා හරින්නට විය.
'ද සවුන්ඩ් ඔෆ් මියුසික්' හුදෙක් සංගීතමය චිත්‍රපටයක් නොවීය. එය, ආදරය, ත්‍රාසය, නැටුම්, ගැයුම් ඇතුළත් පරිපූර්ණ චිත්‍රපටයක් විය.
'අයි හෑව් කන්ෆිඩන්ස්', ' යු ආ සික්ස්ටීන්, ගොයින් ඕං සෙවන්ටීන්', 'මයි ෆෙවරිට් තිංග්ස්', 'ක්ලයිම්බ් එව්රි මවුන්ටන්', 'ද ලොන්ලි ගොතර්ඩ්', 'ද සවුන්ඩ් ඔෆ් මියුසික්', 'ඩෝ,රේ,මී', 'සම්තිංග් ගුඩ්',' සෝ ලෝංග් ෆෙයාර්වෙල්', 'එන්ඩ්ල්වයිස්' වැනි සුන්දර ගීත රාශියක්ම චිත්‍රපටයට ඇතුළත් වූ අතර, ඒවා ජූලි ඇන්ඩෘස්, චාමෙන් කාර්, ඩැනියෙල් ටෘහිතේ, මාර්ගරි මැක්කේ, නිකලස් හැමන්ඩ්, බිල් ලී, විසින් පසුබිමින් ගායනා කරනු ලැබූහ.
මෙය ලංකාවේ, මිලි මීටර් 70 ප්‍රමාණයේ විශාල පුළුල් තිරයේ දැවැන්තව දිස්වූයේ කොළඹ රියෝ සිනමා ශාලාවේය.
'ද සවුන්ඩ් ඔෆ් මියුසික්' ලංකාවේ ඉංග්‍රිසි වේදිකාවට ගෙන ආවේ මණික් සන්ද්‍රසාගරය. ගාමිණි ෆොන්සේකා කපිතාන් වොන් ට්‍රැප්ට රඟපෑ අතර, මරියා වූයේ ඉන්දිරා ජොන්ක්ලාස්ය. ඉන් පසු ලාංකික රූපවාහිනියට සිංහල ටෙලි නාටකයක් ලෙස නිෂ්පාදනය විය. එය ප්‍රියා රණසිංහ ගේ නිර්මාණයක් වූ අතර, චාන්දනි සෙනවිරත්න මරියාටත්, පාලිත සිල්වා කපිතාන් වොන් ට්‍රැප්ටත් රඟපෑහ. සෝමරත්න දිසානායකගේ අධ්‍යක්ෂණයෙන් 'සරිගම' කියා තිරගත වූයේද, මේ 'ද සවුන්ඩ් ඔෆ් මියුසික්මය' . පූජා උමාශංකර් මරියා වූ අතර, අශාන් ඩයස් කපිතාන් වොන් ට්‍රැප් ගෙ චරිතයට පණ දුනි. මාලිනි ෆොන්සේකා ප්‍රධාන කන්‍යා සොහොයුරිය ගේ චරිතය රඟපෑවාය.
ලෝකයේ විශිෂ්ට චිත්‍රපට ලැයිස්තුවේ තවමත් ඉහළින් වැජඹෙන චිත්‍රපටයක් වූ 'ද සවුන්ඩ් ඔෆ් මියුසික්' එකල නැරැඹු නැති කෙනෙක් නම් සොයා ගැන්මට අපහසුය.