වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
අසම්මත කාමාස්වාදයේ ශෘංගාරය The Postman Always Rings Twice

සිනමාව හරහා ඉතාමත් සරල සිදුවීම්, දක්ෂ සිනමාකරුවකුට ප්‍රබලව ඉදිරිපත් කිරීමට හැකිය. එය ලොව ඕනෑම රටක දක්ෂ සිනමාකරුවකුට පොදු දෙයකි. ‘ද පෝස්ට්මන් ඕල්වේස් රින්ග්ස් ටුවයිස්’ චිත්‍රපටයද, එලෙස ඉතාමත් කුඩා, සරල සිදුවීමක් වටා ප්‍රබලව ඉදිරිපත් කෙරූ නිර්මාණය කි.
චිත්‍රපටය ගැන විස්තර කීමට පෙර, මෙම චිත්‍රපටය හා බැඳුණු පසු විස්තර රාශියක් ඇත. මෙය 1981 වසරේ තිර ගත වූවද, මෙහී අතීත කථාන්තරය ආරම්භ වන්නේ 1936 වසරේ ය. ඒ 'ජේම්ස් මැල්ලහාන් කේන්' හරහා ය .
ජේම්ස් එම්. කේන්, 1892 දී ජූලි 1 වන දින ඇමරිකාවේ ඉපදි පසු කලෙක ජනප්‍රිය, එමෙන්ම කීර්තිමත් නවකථාකරුවකු විය. කේන්, ගේ ප්‍රථම කථා පොත ලියවුණේ 1932 දීය. එය 'ද බේබ් ඉන් ද අයිස් බොක්ස්' නම් වූ කෙටි කථාවකි. එය 1934 දී පැරමවුන්ට් සමාගම චිත්‍රපටයකට නැංවූයේ 'ශී මේඩ් හර් බෙඩ්' නමිනි. ඔහු 1933 දී 'ද පෝස්ට්මන් ඕල් වේස් රින්ග්ස් ටුවයිස්' නම් නව කථාව ලියුවේය. එයට විශාල ජනප්‍රියත්වයක් හිමි වූ අතර, ඔහු ඒ තුළින් ජනප්‍රිය නවකතාකරුවන් ගොන්නේ මුල් පෙළට වැටුණි.
ජේම්ස් එම් කේන් ගේ'ද පෝස්ට්මන් ඕල්වේස් රින්ග්ස් ටුවයිස්' නවකථාව මුලින්ම සිනමාවට නැඟුණේ, 1939 යෙදීය. එය අධ්‍යක්ෂණය කළේ ප්‍රංශ අධ්‍යක්ෂකවරයෙකු වූ 'පෙයිරි චෙනාල්' ය. එය ප්‍රංශ භාෂාවෙන් නම් කළේ 'ලේ ඩෙර්නියර් ටෝනන්ට්', කියාය. ඉංගී‍්‍රසි භාෂාවෙන් එය හැඳීන්වූයේ 'ද ලාස්ට් ටර්න් ඉන් ද රෝඩ්' කියාය. ඉන් පසු 1943 දී ඉතාලි චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වූ 'ලුචිනෝ විස්කොන්ටි' එය ඉතාලි භාෂාවෙන් චිත්‍රපට ගත කළේ 'ඔසේෂන්' නමිනි. එහි ඉංග්‍රීසි පිටපත වූයේ 'ඔබේෂන්' ය.
1946 දී 'ටේ ගාර්නට්' නම් වූ ඇමරිකන් චිත්‍රපට අධ්‍යක්ෂ මෙය 'ද පෝස්ට්මන් ඕල්වේස් රින්ග්ස් ටුවයිස්' නමින්ම ඉංග්‍රීසි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේ එවක සිටි ජනප්‍රියතම නළු නිළියන් දෙපළක් වූ ජෝන් ගාර්ෆිල්ඩ් සහ ලානා ටර්නර් යොදා ය. එය ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයක් විය. 1950 දී මෙය නැවතත් ඉතාලි අධ්‍යක්ෂකවරයකු වූ 'මයිකල් ආන්ජලෝ අන්ටෝනියෝනි විසින් චිත්‍රපටයකට නැංවූයේ 'ක්‍රොනාකා ඩි උන් අමෝරේ' කියාය. එය ඉංග්‍රීසියෙන් හැඳීන්වූයේ 'ස්ටෝරි ඔෆ් අ ලව් එෆෙයාර්' කියා ය.
1962 දී මෙය බ්‍රසිලියානු අධ්‍යක්ෂවරයකු වූ 'පවුලෝ සීසර් සරාසේනි' විසින් බ්‍රසිලියානු චිත්‍රපටයක් නිර්මාණය කළේ 'පොර්ටෝ ඩස් කයික්සසේ' කියාය. එය ඉංගී‍්‍රසියෙන් හැඳීන්වූයේ 'පෝර්ට් ඔෆ් බොක්සස්' යනුවෙනි. යළි ප්‍රංශ අධ්‍යක්ෂකවරයකු වූ ජූලියන් ඩුවීවියර් මේ තේමාව ගෙන 'චෙයාර් ඩී පවුලී' නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේය. ඒ 1963 දීය.
අද මේ ලිපියට පාත්‍ර වන 1981 වසරේදී ඇමරිකානු අධ්‍යක්ෂකවරයකු වූ 'බොබ් රැෆෙල්සන්' නිර්මාණය කළ චිත්‍රපටය හැඳීන්වූයේ ද නවකතාවේ මුල් නම වූ 'ද පෝස්ට්මන් ඕල්වේස් රින්ග්ස් ටුවයිස්' කියා ය. ඉන්පසු මෙය 1982 දී ඔපේරාවක් බවට පත් විය. 1993 දී මෙය එම නමින්ම, ශෝන් මැක්කෙනා විසින් බ්‍රිතාන්‍ය ගුවන් විදුලියට, ගුවන් විදුලි නාට්‍යයක් ලෙස නිර්මාණය කළේය.
1998 දී මෙය, 'ජියෝජී ෆෙහර්' නම් වූ හංගේරියානු අධ්‍යක්ෂකවරයකු විසින් හංගේරියානු චිත්‍රපටයක් කළේ 'සෙන්වෙඩිලි' යන හංගේරියානු නමිනි. එහී ඉංග්‍රීසි ඉදිරිපත් කිරීම හැඳීන්වූයේ 'පැෂන්' ලෙසටය.
2013 වසරේද බී.බී.සී. යේ ගුවන් විදුලි නාටකයක් සේ විකාශය වූයේ චාර්ලොට් ග්‍රේග් ගේ නිර්මාණයක් ලෙසටය. ඉන්පසු මෙය බ්‍රිතාන්‍ය නාට්‍ය අධ්‍යක්ෂකවරයකු වූ 'ලුසි බෙයිලි' විසින් එම නමින් ම, නාට්‍යයකට පරිවර්තනය කර ඉදිරිපත් කළේය.
'යූ වෙයි හජී සාරි' නම් මැලේසියානු අධ්‍යක්ෂවරයකු මෙය 'බුආයි ලජූ ලජූ' නමින් මැලේසියානු චිත්‍රපටයක් නිර්මාණය කළේය. ඒ 2004 වර්ෂයේදී ය. ජර්මානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ 'ක්‍රිස්ටියන් පෙට්සෝල්ඩ්' විසින් මෙය ජර්මානු චිත්‍රපටයකට පරිවර්තනය කළේ 'ජෙරිචෝ' නමිනි. එය 2008 වසරේදී තිරගත විය. මෙම වසරේම රුසියාවේ මොස්කව් නගරයේදී මෙය නාට්‍ය අධ්‍යක්ෂ'ඇලෙක්සැන්ඩ්‍රේ මැරීන් විසින් රුසියානු නාට්‍යයක් ලෙස ඉදිරිපත් කළේය.
ඉහත කී විස්තර තුළින් පැහැදිලිව පෙනී යනුයේ ජේම්ස් මැල්ලහාන් කේන්' ලියූ 'ද පෝස්ට්මන් ඔල්වේස් රින්ග්ස් ටුවයිස්' ලොව තුළ මොනතරම් ජනප්‍රියත්වයක් ලැබී තිබේද යන්නය. එහෙයින් මෙම කථාව තුළ ඇති අන්තර්ගතනය විමර්ශන යුතුය.
'ද පෝස්ට්මන් ඕල්වේස් රින්ග්ස් ටුවයිස්' චිත්‍රපටයට අන්තර්ගත වූයේ ඉතාමත් සරල කථාවක්. එය අපි නිතර දෙවෙලේ දකින අහන සාමාන්‍ය සිදුවීමක්ය. එහෙයින් කතා අන්තර්ගතය තුළ නැති විශේෂත්වය, නවකතාකරුගේ ඉදිරිපත් කිරීම තුළින් මෙන්ම එම නිර්මාණය චිත්‍රපටවලට, නාට්‍ය වලට ඔපේරාවලට නැංවූ නිර්මාණකරුවන්ගේ ඉදිරිපත් කිරීම තුළින් ඔවුන් කථාවෙ වෙනත් ඉසව් ස්පර්ශ කළ බවක් දැනුණි. එයට නිදසුනක් ලෙස මෙසේ දැක්විය හැකිය. මේ කථාව ඇමරිකාව තුළම දෙවරක් චිත්‍රපට ගත කළේය. ඒ චිත්‍රපට දෙක තුළ තිබූ වෙනස වූයේ මුල් චිත්‍රපටයට වඩා දෙවන චිත්‍රපටයේ ලිංගික ශෘංගාරය ගැඹුරින්ම පෙන්වීමය.
'ද පෝස්ට්මන් ඕල්වේස් රින්ග්ස් ටුවයිස්' කතාව ආරම්භ වන්නේ ෆ‍්‍රෑන්ක් චැම්බර්ස් නම් ආතක් පාතක් නැති තරුණ වයසත්, මැදිවියේ වයසත් අතර පුද්ගලයකු කැලිෆෝර්නියාවේ තරමක් දුෂ්කර වූ පෙදෙසක තිබූ අවන්හලකට පැමිණ කෑම කන දර්ශනයකිනි. ෆ‍්‍රෑන්ක් චැම්බර්ස් ට ස්ථීර රැකියාවක් තිබුණේ නැත, ස්ථීර නවාතැනක් තිබුණේද නැත. තමන්ට අහුවෙන රැකියාවක් ඔහු කළේය. එලෙසම ලැබෙන තැන සුවපහසුද, නැද්ද කියා නොසිතා ඒ ඒ තැන්වල ලැගුම් ගත්තේය. තම ජීවිතේ නිසි අරමුණක් තිබුණේ නැත. ඒවා හරියට පාවෙන ජීවිත මෙන්ය.
ප්‍රෑන්ක් චැම්බර්ස් කෑම කෑමට නැවතුණු මේ අවන්හල අයිතිවී තිබුණේ මැදිවියද පහු කර තිබු, මහලු වයසට එළැඹුනු ග්‍රීසියේ සිට ඇමරිකාවට සංක්‍රමණය වූ 'නික් පපාඩකිස්' නම් පුද්ගලයකුටය. එහී සේවය කළේ ඔහු සහ ඔහුගේ බිරිඳ වූ 'කෝරා ස්මිත්ය'. පාන්, පීසා, සලාද, සුප් ඇතුළු සියලුම කෑම හදනුයේ කෝරා ස්මිත්ය. ඇය, ඇයගේ සැමියා වූ නික්ට වඩා අවුරුදු 20 කින් පමණ ළබාල වූ අතර, ඇය අසාමාන්‍ය ලෙස රූමත් මෙන්ම අධි අනුරාගීක පෙනුමෙන් යුත් දැඩි ආකර්ෂණීය වූ තරුණියක් විය. ඇය තම මහලු සැමියාට හා ඔහුගේ පැවැත්මට කිසිසේත් කැමති නොවීය. එලෙසම ඇය ඔහුගෙන් කිසිදු තෘප්තියක් නොලැබුණද, ඔහු සමඟ සිටියේ, ඔහු මිය ගිය පසු මේ අවන් හල ඇයට අයිති වන නිසාය. ඇය එතරම් ම මේ අවන්හලට ප්‍රිය කරන්නට විය. ආශා කරන්නට විය. එහෙයින් ඇය නික් සමඟ ගත කරන නීරස ජීවිතයට හුරු විය. ඒ අවන් හලේ අයිතිය මොනයම් ක්‍රමයකින් හෝ තමා සතු කර ගන්නා අරමුණ සාක්ෂාත් කර ගැනීමටය.
ෆ‍්‍රෑන්ක් චැම්බර්ස් මේ අවන්හලට කෑම කෑමට පැමිණියේ මෙවැනි වතාවරණයක් තිබෙන විටය. ඔහු ඒ බවක් දැනන් සිටියේද නැත. එකම දේ සිදුවුණේ ඔහු අර රූමත් ගැහැනියට දැඩි ලෙස ආකර්ෂණය වීමය. ඒහෙයින්දෝ ඔහු කෑම කා අවසානයේදී ඇගේ සැමියා වූ නික් පපාඩකිස් ගෙන් මෙහි නැවතී වැඩ කිරීමට අවසර ඉල්ලුවේය. නික්ටද, පුද්ගලයකුගේ අවශ්‍යතාවයක් තිබුණේ, අවන්හල ඇතුළත හා පිටත ශුද්ධ කිරීම සහ දර පලා දීම වැනි තරමක් බර වැඩ කර ගැන්මටය. ප්‍රෑන්ක් එය ඉතාමත් සතුටින් භාර ගත් අතර, එවැනි බර වැඩ කිරීමට ඔහුට ජවය ද තිබුණි. එතැන් සිට ෆ‍්‍රෑන්ක් එහි නැවතී ඒ වැඩ කරන අතරේම, කුස්සියේ පාන් පිටි අඹරමින් පාන් සාදන කෝරා ටද උදව් කරමින් ඇයගේ අවධානය දිනා ගතී.
එසේ වැඩ කරමින් සිටි එක් දිනයක, ෆ‍්‍රෑන්ක් තම කුරුමානම ඇල්ලුවේය. ඔහු එක්වරම ඇයව පාන් පිටි අඹරමින් සිටි මේසයට පෙරළගෙන, ඇය හැඳ සිටි ඇඳුම් ඉරා දමා ඇයව දූෂණය කරන්නට සැරසීය. ඇත්ත වශයෙන්ම එය දූෂණයක් සේ පෙනුණද, ඔහු කළේ ඇයව දැඩි ලෙස ලිංගික ක්‍රියාවලියකට අවතීර්ණ කරවීමය. ඇය මුලින් එයට දැඩි ලෙස අකමැති වූ අතර, ඔහුගෙන් බේරිමට ඇයගේ මුළු ජවයම යෙදවූවාය. ඇය ඔහුට පයින් ගසමින්, තල්ලු කරමින් බේරෙන්නට තැත් කළද, ඔහු හැකි හැම වෙර යොදවා, ඇයව මෙල්ල කර ගති. ඔහුගේ ශක්තිය සමඟ ඇයට තවත් සටන් කරන්නට නොහැකි බව ඇයට වැටහුණි. ඇය අසරණ වූ බවක් ඇයට වැටහුණද, ඔහු ගේ දැඩි ශක්තිමත් ස්පර්ශය තම හැඳ සිටි ඇඳුම අස්සෙන් තම නිරුවත් සිරුර දිගේ යන විටත්, තමාගේ මුළු සිරුරම පොඩි කරගෙන, තමාගේ රහස් අවයව, පුබුදුවන ආකාරය තුළ, දැනුණු එකී වින්දනයට ඇය යටි සිතින් ආශා කරන්නට වූ අතර, ඔහු අතොරක් නැතිව ඇයගේ දෙතොල් දැඩිව සිප ගනිමින් ඇයව කළඹන ආකාරයට ඇය ටිකෙන් ටික හීලෑ වන්නට වූයේ, බොහෝ කාලයකට පසු ඇයට ජව සම්පන්න වූ ශක්තිමත් ලිංගික ක්‍රියාවලියක් ලැබෙන්නට යන බවක් ඇයට වැටහුණු නිසාය. එලෙසම තම මහලු බීමත් සැමියාගෙන් ඉඳහිට ලැබෙන මන්දගාමි අඩ පන වූ ලිංගික ක්‍රියාවලිය ඇයට අප්‍රසන්න වී තිබුණි. එහෙත් ප්‍රැන්ක් ගේ දැඩි ග්‍රහණයට හිරවී ලැබෙන මේ ශක්තිමත් වූ ලිංගික ක්‍රියාවලිය, ඇයගේ සිරුරේ මෙතෙක් හිර වී තිබූ ලිංගික අසහනය ටිකෙන් ටික දුරු වන බවක් ඇයට දැනුණු හෙයින් ඇය එයට ලොල් වන්නට විය.
එතැන් පටන් දවසේ ඔවුනට ලැබුණ කුමන හෝ අවස්ථාවක ඔවුන් ලිංගීකව එක්වන්නට වූ අතර, එය ට ඔවුන් විවිධ ක්‍රම භාවිතා කරන්නටද විය. ඔහුගේ ජවයට, ශක්තියට මෙන්ම වේගවත් ලිංගීක ක්‍රියාවලියට ඇය වහ වැටුණාක් මෙන් විය. එලෙසම ඇයගේ රූමත් බවට, කාමුක බවට මෙන්ම ශෘංගාරයේදී ඇය දක්වන දැඩි ප්‍රති ක්‍රියාවන්ට ඔහුද වහ වැටුණි. ඇත්තෙන්ම ඔවුන් දෙදෙනා හැසිරුණේ වහ කෑවක් මෙනි.
ඇයගේ සැමියා වූ නික් පපාඩකිස් ට තම අවන් හලේ, නැත්නම් තම නිවස තුළ, (නිවස තිබුණේද අවන්හල තුළමය), තම බිරිඳ සමඟ මෙම ආගන්තුකයා ගෙන යන දැඩි ඇසුර, ලිංගික ක්‍රියාවලියන් ගැන කිසිදු හාංකාසියක්වත් දැනී තිබුණේ නැත. ඔහුගේ ජීවිතය සීමා වී තිබුණේ මුළු දවස පුරාවටම අවන්හලේ කළමනාකරණයේ යෙදීමත්, නගරයට ගොස් අවන්හලට අවශ්‍ය බඩු බාහිරාදිය ගෙන ඒමත්, රාත්‍රියට පමණ ඉක්මවා හෝ මත් පැන් බී, තම බිරිඳ වූ කෝරාව වැලඳ ගෙන නිදිය ගැනීම පමණි. ඔහුට නින්ද ගිය පසු, ආයෙත් ඔහු නැගිටිනුයේ පහුවදා උදයටය. එහෙයින් කෝරා ඔහු නින්දට වැටුණු පසු, ඇය, ඇයගේ බද වටා දමා තිබූ ඔහුගේ අත ඉවත් කර, කෙළින්ම යන්නේ ෆ්‍රෑන්ක් ගේ යහනටය. එතැන් සිට ඔවුන් දෙදෙනා විවිධ ක්‍රම භාවිතා කරමින් ලිංගික ක්‍රියාවලියේ යෙදුණි. එසේ සිටින එක් රැයකදීය, ප්‍රෑන්ක් යෝජනා කළේ නික් පපාඩකිස් ව කෝරා ලවා මරා දැමීමට. ඔහු කෝරාට වටහා දුන්නේ නික්ව මරා දමා එය ස්වභාවික මරණයක් සේ හෝ හදිසි අනතුරකින් සිදුවූ දෙයක් ලෙස අඟවා, නීතියෙන් බේරීමට හැකි බවය. ඉන් පසු ඇයට මේ අවන්හල පමණක් නොව තමාවත් සදහටම අයිති වන බවද ඔහු ඇයට ඒත්තු ගැන්විය. තමා වඩාත් ම කැමති අවන්හල මෙන්ම, තමාව උපරිමයෙන්ම තෘප්තිමත් කරන ෆ‍්‍රෑන්ක්වත් තමාට ලැබෙන නිසා, ඇය ෆ‍්‍රෑන්ක් ගෙන ආ යෝජනාවට කැමති විය. ඒ නික් පපාඩකිස් නාන කාමරයේ ඔහු නාන බේසමේ සිටින විට මරා දැමීම ය. එයට කුඩා ගල් කැබලි පිරවූ පොට්ටනියක් ෆ‍්‍රෑන්ක් ඇයට දුන්නේ ඔහු නානකාමරයේ නාන බේසමේ සිටින විට ඔළුවට ගසා මරා දමන ලෙසටය. ඒ අනුව ඇය නික් සිටි නාන කාමරයට ගිය පසු ඇය දුටුවේ නික්ට කිසියම් අනතුරක් නාන කාමරය තුළ සිදුවී ඇති බවය. ඇතැම් විට ඔහු නානකාමරය තුළ ලිස්සා වැටෙන්නට ඇත. නොඑසේ නම් කෝරා අර කුඩා ගල් කැබලි පිරවූ පොට්ටනියෙන් ඔහුට නොදැනෙන්නට ඔහුගේ හිසට ගසන්නට ඇත. කෙසේ හෝ ඇය මරහඬ දී කෑගැසුවාය. එම කෑ ගැසීම ඇත්තට කළාද, බොරුවට කළාද යන්න දන්නේ ඇයම පමණි. නික් සිටියේ ඔළුවේ එක පැත්තකින් ලේ ගලමින් නාන බේසමේ සිහිසන් නැතිවය. පසුව කෝරා හා ෆ‍්‍රෑන්ක් ඔහුව රෝහලකට රැගෙන ගියහ. ටික දිනකට පසු ඔහු සුව වී නැවත නිවසට පැමිණ අවන්හලේ වැඩ පටන් ගතී.
නික්ව මරා දැමීමේ පළමුවෙනි උත්සහය එලෙස අසාර්ථක වූ පසු ඔවුන් දෙදෙනා ඔවුන්ගේ දෙවන උත්සහයට යෑමට සැලසුම් කළහ. එම සැලසුම තරමක් බියජනක එමෙන්ම ත්‍රාසජනක විය. කොටින්ම එය විශාලතම 'රිස්ක්' එකක් ද විය.
ෆ්‍රැන්ක් ගෙ සැලසුම අනුව, ඔවුන් තිදෙනා නගරයට ගොස් නැවත එන අතෙර්ය මේ සිද්ධිය ක්‍රියාත්මක වූයේ. කාරය පදවා ගෙන ආවේ කෝරාය. නික් ඇය සමඟ ඉදිරිපස අසුණේ සිටි අතර, ඔහුගේ අතේ මත්පැන් බෝතලයක් තිබූණි. ඒ වන විටත් ඔහු තරමක් මත් වී සිටියද, අර මත්පැන් බෝතලයෙන්ද ටික ටික බොන්නට විය. එලෙසම ඔහු මත් වී එක් එක් විකාර දොඩවමින් සිටියේය. ප්‍රෑන්ක්ගේ සැලසුම අනුව හෙළක් ළඟ කෝරා කාරය නතර කළාය. එම හෙල අවසන් වූයේ ගඟකිනි. කාරය නතර කළ සැණින්ම ප්‍රෑන්ක් පිටු පස ආසනේ සඟවා තිබූ යකඩ පොල්ල ගෙන වැරෙන් නික්ගේ හිසට දෙවරක්ම එල්ල කළේය. දෙවෙනි පහරෙදී ඔහු මිය ගියේය. ඉන්පසු ෆ‍්‍රෑන්ක් හා කෝරා කාර් රථය හෙළට තල්ලු කළහ. එයින් පසු ෆ‍්‍රෑන්ක් කෝරාට කීවේ, එම යකඩ පොල්ලෙන්ම තමාටත් පහරවල් කීපයක් ගසන ලෙසටය. එලෙසම ඔහු කෝරාටද පහරවල් කිහිපයක් ගසා සුළු තුවාල සිදු කළේය. ඔහු ගේ සැලසුම වූයේ මෙය හදිසි අනතුරකින් සිදුවූ දෙයක් ලෙස ඒත්තු ගැන්වීමටය.
නමුත් පොලිසිය කිසි ලෙසකත් එය විශ්වාස කළේ නැති වූවද පොලිසියට මොවුන් දෙදෙනා චුදිතයන් කිරීමට අවශ්‍ය තරමේ සාක්ෂි තිබුණේ නැත. ඔවුන් මේ දෙදෙනාව වෙන් කර ප්‍රශ්න කිරීමේදී ෆ‍්‍රැන්ක් කීවේ මෙය කෝරාගේ සැලසුමක් බවය. අවසානයේදී කෝරා ගේ නිතිඥවරයා කීවේ මෙහි වරද භාරගන්නා ලෙසත්, ඒ හරහා ඇයට ලිහිල් දඬුවමක් ලබා ගත හැකි බවය. ඒ හෙයින් කෝරා වරද භාර ගතී. ඇය ට පරිවාස කාලයක් ලැබුණි.
ඒ අතරේදී ෆ‍්‍රෑන්ක්, 'මඩ්ගේ ගෝලන්ඩ්' නම් තරුණියක් සමඟද ලිංගික සම්බන්ධකමක් පවත්වා ගෙන ගියේය. කෙසේ වෙතත්, කෝරා පරිවාස කාලයෙන් පසු පැමිණ ෆ‍්‍රෑන්ක්ට කීවේ ඇය ගැබ්ගෙන ඇති බවක්ය. සියලු සිදුවීම් අකා මකා දමා ඔවුන් දෙදෙනා විවාහ වන්නට තීරණය කළහ. විවාහ වී ඔවුන් රථයේ එන විට, රථය තුළම සිප ගැන්මට යාමේ ප්‍රතිඵලය වූයේ ඔවුන්ගේ රථය වෙනත් රථයක ගැටී කෝරාව රථයෙන් විසිවී පාර කෙළවර ගැට්ටක වැදී මිය යෑමය. අවසාන දර්ශනය වූයේ ෆ‍්‍රෑන්ක්, කෝරාගේ මිය ගිය සිරුර බදා ගෙන ඇඬීම ය. ඔවුන් දෙදෙනා එක්ව කළ සියලු අකටයුතුවලට ඔවුන්ට වන්දි ගෙවන්නට සිදුවූයේ එලෙසය.
ප්‍රෑන්ක් චැම්බර්ස් ගේ චරිතය රඟපෑවේ ලොව අති දක්ෂ නළුවකු ලෙස පිළිගැනෙන 'ජැක් නික්ලසන්ය'.
දෙවරක් හොඳම නළුවා ලෙස ඇමරිකානු ඇකඩමි සම්මානය දිනා ගත් ජැක් නික්ලසන්, තවත් වරක් හොඳම සහය නළුවා ලෙස ඇකඩමි සම්මානයට පාත්‍රවිය. 1975 වසරේ තිරගත කළ විශිෂ්ටට චිත්‍රපටයක් වූ ' වන් ෆ්ලිව් ඕවර් ද කුකුස් නෙස්ට්' සහ 1997 වසරේ තිරගත කළ 'ඈස් ගුඩ් ඈස් ඉට් ගෙට්ස්' , එසේ සම්මාන ලැබූ චිත්‍රපටයන් ය. ඔහුට හොඳම සහය නළුවාට හිමි ඇකඩම් සම්මානය ලැබුණේ, 1983 තිර ගත කළ 'ටර්ම්ස් ඔෆ් එන්ඩියර්මන්ට්' චිත්‍රපටයට ය. ඒ හැරෙන්නට ඔහු 10 වරක් හොඳම නළුවා සඳහා ඇකඩමි සම්මානයට නිර්දේශ වී තිබුණි. ඒ පිළිවළින්, 1969 දී 'ඊසි රයිඩර්', 1970 දී 'ෆයිව් ඊසි පීසස්', 1974 දී 'ද ලාස්ට් ඩීටේල්', 1974 දී 'චයිනා ටවුන්', 1981 දී 'රෙඩ්ස්', 1986 දී 'ප්‍රිසීස් හොනර්', 1987 දී 'අයර්න්වීඩ්', 1992 දී 'අ ෆිව් ගුඩ් මෙන්', 2002 දී 'අබවුට් ශ්මිඩ්ට්' යන චිත්‍රපටය. එලෙසම ඔහුගේ 'කාර්නල් නොලේජ්'-(1971), 'ද ශයිනින්-(1980), 'හාට් බර්න්'-(1986), 'බ්‍රෝඩ් කාස්ට් නිව්ස්', -(1987), 'බැට් මෑන්- (1989), 'හෝෆා-(1992), 'මාර්ස් ඇටෑක්ස්-(1996), 'සම්තිංග්ස් ගොට ගිව්-(2003), 'ද ඩිපාර්ටඩ්'- (2006), 'ද බකට් ලිස්ට්-(2007) වැනි චිත්‍රපට ලොව විශිෂ්ට මෙන්ම ජනප්‍රිය චිත්‍රපට ලෙස ප්‍රේක්ෂක, විචාරක අවධානය දිනා ගතී.
'ඩ්‍රයිව් හී සෙඩ්' (1971), 'ගොයින් සවුත්', (1978), 'ද ටූ ජේක්ස් (1990), ජැක් නික්ලසන් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය.
'ද පෝස්ට්මන් ඕල්වේස් රින්ග්ස් ටුවයිස්' චිත්‍රපටයේ කෝරා ස්මිත්ගෙ චරිතයට පන පෙව්වේ ඇමරිකානු නිළියක් වූ 'ජෙසිකා ලැන්ජි' ය. ඇය මුලින්ම ඇමරිකානු සිනමාවට පැමිණියේ ජෝන් ගුලර්මින් අධ්‍යක්ෂණය කළ 1976 වසරේදී නැවත නිෂ්පාදනය කළ 'කිං කොං' චිත්‍රපටයෙනි. ඉන්පසු 'ඕල් දැට් ජෑස්', හා 'හවු ටු බීට් ද හයි කොස්ට් ඔෆ් ලිවින්ග්' යන චිත්‍රපටවල රඟපෑවාය. ඇයට මෙම ලිපියට අදාළ වන 'ද පෝස්ට්මන් ඕල්වේස් රිංග්ස් ටුවයිස්' චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාව ලැබුණේ ඉන් පසුවය.
'ද පෝස්ට්මන් ඕල්වේස් රින්ග්ස් ටුවයිස්' චිත්‍රපටයේ රඟපෑ පසු මේ වසර එනම් 2023 තෙක් චිත්‍රපට 32 ක පමණ රඟපෑවාය. ඒ අතරේ අපූරු චිත්‍රපට කීපයක්ම තිබුණි. 'ටුට්සි', 'ෆ්‍රාන්සස්', 'මියුසික් බොක්ස්', 'කේප් ෆියර්', 'නයිට් ඇන්ද සිටි', 'හෂ්', 'ටයිටස්', 'බිග් ෆිෂ්', 'බ්‍රෝකන් ෆ්ලවර්ස්', 'බොනෙවිලි', 'ද වව්', 'ඉන් සීක්‍රට්', 'ද ගැම්බ්ලර්', 'මාර්ලෝ', එම චිත්‍රපට අතරේ විය. ඇය චිත්‍රපට 4 ක් වෙනුවෙන් ඇමරිකානු ඇකඩමි සම්මාන උලෙළේ සම්මානවලට නිර්දේශ විය. ඒ 'ෆ්‍රාන්සස්', 'කන්ට්‍රි', 'ස්වීට් ඩ්‍රීම්ස්', 'මියුසික් බොක්ස්' යන චිත්‍රපටය. 55 ඇකඩමි සම්මාන උලෙළෙදී ඇය 'ෆ්රාන්සස්' චිත්‍රපටයේ හොඳම නිළියට හිමි සම්මානයට නිර්දේශ වූ අතර, එම උලෙළේ ම ඇය 'ටුට්සි' චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහය නිළියට හිමි ඇකඩමි සම්මානය දිනා ගත්තාය. එලෙසම ඇය 62 වනි ඇකඩමි සම්මාන උලෙළේ දී, 'බ්ලු ස්කයි' චිත්‍රපටයේ 'කාලි මාර්ෂල්' චරිතය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තාය. මෙම වසරේද, එනම් 2023 දීත් ඇය මයිකල් ක්‍රිස්ටෝෆර් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටය වූ 'ප්ලෙසස් ප්ලීස්' හී රඟපාමින් සිටී.
'ද පෝස්ට්මන් ඕල්වේස් රින්ග්ස් ටුවයිස්' චිත්‍රපටයේ ෆ‍්‍රෑන්ක් චැම්බර්ස් ගේ අතින් මියයන කෝරා ගේ සැමියා වූ නික් පපාඩකිස් ගේ චරිතයට පණ පෙව්වේ කැනඩා නළුවෙකි. ඔහු 'ජෝන් කොලිකෝස්' ය. 1950 වසරේදී 'ෆොබීඩන් ජර්නී' චිත්‍රපටයේ සිසුවකු ගේ චරිතයක් රඟපාමින් ඇමරිකානු සිනමාවට එකතු වුණු ඔහු 1950 සිට 1999 දක්වා එනම් අවුරුදු 49 කටම රඟපා තිබුණේ චිත්‍රපට 25 ක් පමණි. එහෙත් ඔහු රූපවාහිනි ටෙලි නාට්‍ය, හා මාලා නාට්‍ය 97 ක් පමණ රඟපා තිබුණි. එහෙයින් ඔහු සිනමා නළුවකුට වඩා පිළිගැනුණේ රූපවාහිනි නළුවකු ලෙසටය. 'ද පෝස්ට්මන් ඕල්වේස් රින්ග්ස් ටුවයිස්' ඔහුගේ 20 වන චිත්‍රපටය විය.
ඇමරිකානු ඩොලර් මිලියන 12 ක ඇස්තිමේන්තුවකට නිෂ්පාදනය වූ 'ද පෝස්ට්මන් ඕල්වේස් රින්ග්ස් ටුවයිස්' චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් 44.2 ක් විය. 'ත්‍රිලිං' ශානරය යටතේ නිර්මාණය වූ මෙය තවත් ජනප්‍රිය වූයේ එහි පෙන්වූ ක්‍රියාකාරී ශෘංගාරාත්මක දර්ශන නිසා විය හැකිය. කෙසේ වෙතත් පැරමවුන්ට් සමාගම බෙදාහරින ලද, මෙට්රො ගෝල්ඩ්වින් මේයර් තවත් සමාගම් දෙකක් සමඟ එක්ව නිෂ්පාදනය කළ බොබ් රැෆෙල්සන් ගේ අධ්‍යක්ෂණයක් වූ 'ද පෝස්ට්මන් ඕල්වේස් රින්ග්ස් ටුවයිස්' එකවරක් හෝ නැරැඹිය යුතුම චිත්‍රපටයක් ලෙසට නිර්දේශ කළ හැකිය.