වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
එකමත් එක රටක බිහි වූ ෙගාපලු වීර කාව්‍යය

බටහිර ගොපලු මුහුදු තීරයකට අයත් 'ප්ලැග්ස්ටන් නගරය තරමක් ඉපැරණි නගරයකි. ඒ ඉපැරණි බවට සරිලන අන්දමට නිමැයූ කුඩා දුම්රිය පළක් විය. එහි රාජකාරියේ නියුතු වූයේ වයස අවුරුදු 80 ක පමණ වූ කෙසඟ මිනිසෙකි. තරමක් විසුළු මුහුණක් ඔහු සතු විය. ඔහු සමඟ අව්රුදු 50 ඉක්මවූ කාන්තාවක්ද එහී පිරිසිදු කිරීමේ කාර්යයේ නිරත වී සිටියාය.
හදිසියේම රළු පෙනුමකින් යුත් තුවක්කුකරුවන් තිදෙනෙක් මෙම දුම්රිය පළට කඩා වැදී අර කෙසඟ මිනිසාට මරණීය තර්ජන කර භීතියට පත් කර ඔහුව කාමරයක හිර කර දැමීය. ගැහැනිය බියවී දුම්රිය පළෙන් ඉවතට දිව ගියාය.
තුවක්කුකරුවන් දුම්රිය පළ ටික වෙලාවකට තමන් සතු කරගත්තේ, එතනට ඒමට නියමිත දුම්රිය පැමිණෙන තෙක් ය. එදින දුම්රිය නියමිත වෙලාවට වඩා පැය කීපයක් පමා වූ නිසා ඔවුනට එම පැය කීපය එතැන රැඳෙන්නට සිදු විය.
පැය කීපයකට පසු දුම්රිය එම දුම්රිය පළට පැමිණියේය. හාර්මොනිකාවක් ඇති මිනිසෙක් එම දුම්රියෙන් එළියට බසින්නට විය. දුම්රිය වේදිකාවට නුදුරින් තුවක්කුකරුවන් තිදෙනා, ඔහු එනතෙක් බලා සිටින්නට විය.
ඔහු 'හාර්මොනිකාව' වාදනය කරමින් තරමක් ඉදිරියට පැමිණියේය. තුවක්කු කරුවන් තිදෙනා හා 'හාර්මොනික්' පිඹින්නා අතර පරතරය මීටර් 25 හෝ 30 පමණය.
හාමොනික් පිඹින්නාද තරමක් රළු පෙනුමය. එක්වරම ඔහු තුවක්කු කරුවන් තිදෙනාව දුටුවේය. ඔහු තම හාර්මොනිය පිඹීම නවතා.
'කෝ ෆ්රැන්ක්' කියා තරමක් රළු හඬින් ඇසීය.
'ෆ්රෑන්ක් තමා අපිව මෙතනට එව්වේ' ඔවුන් තිදෙනාගෙන් එක් අයෙක් රළු හඬින් පැවසීය.
එවිට 'හාමොනිකා'
' මට අශ්වයෙක් ගෙනාවද 'කියා ඇසීය.
එවිට තිදෙනාම සමච්චල් හිනාවක් දැමීය. ඔවුන් කීවේ අශ්වයන් තිදෙනකු තිදෙනාට හොඳටම ඇති කියාය. එයින් අදහස් වනුයේ හතර දෙනාගෙන් කෙනෙකු මිය යන බවය. ඒ 'හාර්මොනිකා' බවය ඔවුන්ගේ සමච්චල් හිනාවෙන් හැඟුණේ. ඔවුන් තිදෙනා තම තුවක්කු ඇද හාර්මොනිකාට වෙඩි තැබීමට සැරසීය. එහෙත් හාර්මොනිකා ඔවුන්ට ප්‍රථම ඉක්මන් විය. ඔහුගේ වේගවත් වෙඩි පහරවල් වලින් තුවක්කුකරුවෝ තිදෙනාම එක ඇසිල්ලෙන් මිය ගියහ.
මේ සර්ජියෝ ලියෝන් විසින් අධ්‍යක්ෂණය කළ 'වන්ස් අපෝන් අ ටයිම් ඉන් ද වෙස්ට්' චිත්‍රපටය ආරම්භ වූ ආකාරයයි.
'ෆිස්ටිෆුල් ඔෆ් ඩොලර්ස්', 'ෆො අ ෆිව් ඩොලර්ස් මෝ' සහ 'ද ගුඩ් ද බෑඩ් ඇන්ඩ් ද අග්ලි' යන ස්පැගෙති වෙස්ටර්න් ශානරය ට අයත් ඩොලර් 'සීරිස්' ත්‍රීත්වය, නිම කර, ලොව වටා ප්‍රදර්ශනයෙන් අතී සාර්ථක වූ අධ්‍යක්ෂක සර්ජියෝ ලියෝන්, නැවත ස්පැගෙති වෙස්ටර්න් චිත්‍රපට නොකරන බවට ප්‍රකාශ කළේ ඔහු එම චිත්‍රපට 3 නෙන් අතීශයින්ම සෑහීමකට පත් වූ නිසා ය.
එහෙයින් ඔහු 'හැරි ග්‍රේ' විසින් ලියූ මනඞකල්පිත කථාවක් වූ 'ද හුඩ්ස්' නම් පොතෙන් චිත්‍රපටයක් කිරීමට පිඹුරු පත් සකස් කළේ එය අර ස්පැගෙති වෙස්ටර්න්වලින් බැහැර 'ෆික්ෂනල්' කථාවක් වූ නිසාය. නමුත් 'යුනයිටඩ් ආර්ට්ස්' සිනමා සමාගම සර්ජියෝ ලියෝන්ට ආරාධනා කළේ තවත් ගොපලු චිත්‍රපටයක් ස්පැගති වෙස්ටර්න් යටතේ කිරීමටය. එයට , චාර්ලිස්ටන් හෙස්ටන්, කර්ක් ඩග්ලස්, හා රොක් හඩ්සන් වැනි එකල ජනප්‍රියත්වයෙන් ඉහළම තලයේ සිටි නළුවන්ව ප්‍රධාන චරිතවලට එකතු කර ගන්නා ලෙස කීවද, සර්ජියෝ ලියොන් එම ආරාධනාව පිළි ගත්තේ නැත.
මේ අතර පැරමවුන්ට් චිත්‍රපට සමාගම විශාල ආයෝජනයක් සමඟ ප්‍රකට නළු 'හෙන්රි ෆොන්ඩා' යොදවා ගොපලු චිත්‍රපටයක් කිරීමට සර්ජියෝ ලියෝන්ට ආරධනා කළහ. හෙන්රි ෆොන්ඩා යනු සර්ජියෝ ලියෝන් ගේ ප්‍රියතම නළුවා විය. ඔහු සමඟ වැඩ කිරීමට සර්ජියෝ බොහෝ කලක් සිට බලා සිටියේය. යොදවන ආයෝජනයත් විශාල නම්, තම ප්‍රියතම නළුවා වූ හෙන්රි ෆොන්ඩා ප්‍රධාන චරිතය රඟපාන්නේ නම්, මේ යෝ්ජනවා පිළිගැනීම ට සර්ජියෝ ලියෝන් තීරණය කළේය.
සර්ජියෝ ලියෝන් ඉන් පසු හමුවුණේ ඔහුගේ කථා රචකයන් වූ බර්නාඩෝ බර්ටොලුසි, සහ ඩාරියෝ ආර්ජෙන්ටෝ වය. ඔහු ඔවුන් සමඟ පැරැණි ගොපලු චිත්‍රපට කීපයක් ගැන කථා කළේ ඒ ආශ්‍රිතව හොඳ කථාවක් ලිවීමටය. ඔවුහු එක් එක් අධ්‍යක්ෂකවරුන් යටතේ බිහිවූ විශිෂ්ට ගොපලු චිත්‍රපට කීපයක් ගැන තම අවධානය යෙදවුහ. ඒ
'හයි නූන්', 'ද අයන් හෝර්ස්', 'ද කොමැන්චරෝස්', සහ 'ද සර්චර්ස්' යන චිත්‍රපටයන් ය. ඒ සියලු අධ්‍යයනයෙන් පසුය ඔවුන් දෙදෙනා සර්ජියෝ ලියෝන් ට කථාව ලියා භාර දුන්නේ.
සර්ජියෝ ලියෝන් ඔවුන් ලියූ කථාවට තිර නාටකය ලීවේ 1946 වසරේ අකීරා කුරසාවා විසින් නිර්මාණය කළ 'සන්ෂිරෝ සුගාතා' චිත්‍රපටයේ රිද්මයටය. ඔහු මෙම තිරනාටකය නම් කළේ ' වන්ස් අපෝන් අ ටයිම් ඉන් ද වෙස්ට්' නමිනි. එයද ස්පැගති වෙස්ටර්න් ක්‍රමවේදයට අනුව වූවද, ඔහුට අවශ්‍ය වූයේ ඩොලර් සීරිස් චිත්‍රපට තුනේ තිබූ වේගවත් රිද්මයට හාත් පසින් වෙනස් මන්දගාමි රිද්මයක් හඳුන්වා දීමටය. එය ඔහු චිත්‍රපටයේ මුල් රූප රාමු කීපයේ සිටම පෙන්වීය. දුම්රිය එනතෙක් බලා සිටින තුවක්කුකරුවන් තිදෙනෙක්ගෙන් එක් තුවක්කුකරුවකුගේ මුහුණේ මැස්සෙක් වසයි. ඔහු මැස්සා මුහුණේ සිටයදීම කටින් පිඹ මැස්සාව එළවා දැමීමට අසාර්ථක උත්සහයක් දරයි. එම සුළු සිදුවීම, සර්ජියෝ ලියෝන් විසින් මහ සිදුවීමක් ලෙස හුවා දක්වා, එය සමීප රූප විශාල කෝණ වලින් පෙන්වන්නේ විනාඩි 10 කට ආසන්න කාල සීමාවක් ගෙනය. ඉන් පසු මැස්සා ඔහුගේ මුහුණෙන් ඉවත් වී අසල දොරක වසයි. පසුව ඔහු තම තුවක්කුව ගෙන එහී මුල් කෙළවර මැස්සාගේ ඇඟට තබා තද කර තුවක්කුවේ හිල තුළට මැස්සාව දමා ගනී. තුවක්කු ඇතුළට රිංගා ගත් මැස්සාගේ කුං කුං ශබ්දය, පසුව විශාල ශබ්දයක් බවට පරිවර්තනය වන්නේ ගල් අඟුරු දුම්රිය, දුම්රිය පළට එන බව දැන්වීමෙනි. ඒ, මහ හයියෙන් හඬවන දුම්රියේ නළාවට සම්බන්ධ කරවමිනි.
මෙම මන්දගාමි දර්ශනය දකින විට, මෙි අර වේගවත් රිද්මයේ ඩොලර් සීරිස් චිත්‍රපට හැදූ සර්ජියෝ ලියෝන්මද කියා සිතේ. නමුත් මෙම මන්දගාමි රිද්මයෙන් කැමරා අධ්යක්ෂ 'ටොනීනෝ දෙල්ලී කොලී' උපරිම ප්‍රයෝජන ගෙන තිබුණි. මිනිසුන්ගේ ජීවමාන රුව ඒ අයුරින්ම තිරයේ පෙන්වීමට ඔහු උත්සහා ගෙන තිබුණි. සර්ජියෝට අවශ්‍ය වෙනස එය විය.
විශිෂ්ටතම ඇමරිකානු නළු 'හෙන්රි ෆොන්ඩා' මෙම චිත්‍රපටය රඟපෑමට එකඟ වූයේ පැරමවුන්ට් සමාගම කී නිසාය. එහෙත් ඔහු, ඔහුට ලැබුණු මේ 'ෆ්රෑන්ක්' ගේ චරිතය කිරීමට
අකමැති විය. සර්ජියෝ ට දෙලෝ රත් වුණේ එවිටය. ඔහු වහා ඇමරිකාව බලා ගොස් හෙන්රි ෆොන්ඩාව හමුවී චරිතයේ වටිනා කම ගැන පැහැදිලි කර දුනි. හෙන්රි ෆොන්ඩා ඒවා අසා සිටියද, එයට පැහැදිලි පිළිතුරක් දුන්නේ නැත. ඔහු සර්ජියෝට කීවේ පසුව පිළිතුරක් දෙන බවය. සර්ජියෝ නික්ම ගිය පසු හෙන්රි ෆොන්ඩා, සර්ජියෝ ගේ ' ද ගුඩ්, ද බෑඩ්, ඇන්ඩ් ද අග්ලි' චිත්‍රපටයේ 'අග්ලි' ලෙස රඟපෑ 'එලී වොල්ච්' ව හමුවී, සර්ජියෝ ගේ මෙම යෝජනාව ගැන කීය. එලි වොල්ච්, හෙන්රි ෆොන්ඩා ට කීවේ මේ ලැබුණු අනගි අවස්ථාව අත් නොහරින ලෙසට ය. 'බෑඩ්' ලෙස තමා රඟපෑ චරිතය, ලෝකයේ තව වර්ෂ ගණනාවක්ම පවතින බවත්, එය ඔහුට ලබා දුන්නේ සර්ජියෝ ලියෝන් බවත්,එහෙයින් හෙන්රි ෆොන්ඩාට ලැබුණු මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම වඩාත් නුවණට හුරු බව එලි වොල්ච්, හෙන්රි ෆොන්ඩාට පෙන්වා දුනි. මේ හෙයින් හෙන්රි ෆොන්ඩා, සර්ජියෝ ලියෝන් ගේ 'වන්ස් අපෝන් ටයිම් ඉන්ද වෙස්ට්' චිත්‍රපටයේ එන 'ෆ්රැන්ක්' ගෙ චරිතය රඟපෑමට එකඟ විය.
හෙන්රි ෆොන්ඩා, ඇමරිකා එක්සත් ජනපදයේ නෙබ්‍රස්කා ප්‍රාන්තයේ ග්‍රෑන්ඩ් අයිලන්ඩ් යන ස්ථානයේ ඉපදුණේ 1905 මැයි මස 16 වන දිනය. බ්‍රෝඩ්වේ නළුවකු ලෙස මුල් අවධියේදී සිය රංගන සලකුණ තැබූ හෙන්රි ෆොන්ඩා 1935 දී හොලිවුඩ් චිත්‍රපට රංගනයට පිවිසියේය. ඒ වික්ටර් ෆෙලෙමින්ග් අධ්‍යක්ෂණය කළ 'අ ෆාර්මර් ටේක්ස් අ වයිෆ්' චිත්‍රපටයෙනි. ඔහු 'ජෙසබෙල්' (1938), 'ජෙසී ජේම්ස්' (1939) සහ 'යංග් මිස්ටර් ලින්කන්' වැනි චිත්‍රපටවල රඟපෑමෙන් සිනමාව තුළ ආකාර්ෂණීය තරුවක් බවට පත් විය. ඔහු ඉක්මනින්ම හොඳම නළුවා සඳහා ඇකඩමි සම්මාන නාමයෝජනාවට ලක්වූයේ 1940 දී තිරගත කළ 'ද ග්‍රේප්ස් ඔෆ් ව්රැත්' නම් චිත්‍රපටයේ ටොම් ජෝඩ්ගේ චරිතය නිරූපණය කිරීමෙන් ය. එම චරිතය රඟපෑම හා සම්මාන නිර්දේශය, ඔහුගේ වෘත්තීය ජීවිතය තවදුරටත් ඉදිරියට ගෙන ගියේය.
1941 දී, ෆොන්ඩා, ස්ක්රෝබෝල් ප්‍රහසන සම්භාව්‍යක් වූ 'ද ලේඩි ඒව්' හි බාබරා ස්ටැන්වික් සමඟ රඟපෑවේය. 1943 වසරේදී 'ද ඔක්ස්- බෝ ඉන්සිඩන්ට්' 1946 දී 'මයි ඩාර්ලිං ක්ලෙමෙන්ටයින්' හා 1948 වසරේ 'ෆෝට් අපාචි' යන චිත්‍රපට රාශියක රඟපා ජනප්‍රිය මෙන්ම විශිෂ්ට ගණයේ නළුවකු වූ පසු, ඔහු රඟපෑමෙන් වසර හතක විවේකයක් ලබා ගතී.
වසර 7 කට පසු , ෆොන්ඩා යළි පැමිණියේ වේදිකා නිෂ්පාදනයට ය. ඔහු නැවතත් චිත්‍රපටයක රඟපෑවේ 1955 තිර ගතවූ 'මිස්ටර් රොබට්ස්' නම් චිත්‍රපටයේ ය. 1956 දී, එනම් ඔහුට වයස අවුරුදු පනස් එකක් වන විට, ඔහු ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ ත්‍රාසජනක චිත්‍රපටයක් වන 'ද රෝන්ග් මෑන්' හී තිස් අට හැවිරිදි 'මැනී බැලෙස්ට්රෙරෝ' ලෙස ප්‍රධාන චරිතය රඟපෑවේය. 1957 දී, ඔහු '12 ඇන්ග්‍රී මෙන්' හි ජූරි 8, රඳවා තබා ගැනීමේ ජූරි සභිකයා ලෙස රඟපෑවේය. මෙම චිත්‍රපටයේ සම නිෂ්පාදකවරයා ද වූ හෙන්රි ෆොන්ඩා එම රඟපෑම සඳහා හොඳම විදේශ නළුවාට හිමි BAFTA සම්මානය දිනා ගත්තේය.
මෙම ලිපියට පාත්‍ර වන 'වන්ස් අපෝන් අ ටයිම් ඉන්ද ද වෙස්ට්' චිත්‍රපටයේ රඟපෑමට ඔහුට ආරාධනා ලැබුණේ ඔහුගේ මේ දෙවැනි ආගමනේදීය. එයට ඔහු මුලින් අකමැති වූ හේතුව වූයේ, මේ චිත්‍රපටයේ ''ෆ්රෑන්ක්' ගෙ චරිතය අඳුරු, රළු, දුෂ්ට භූමිකාවක් වූ නිසාත්, එවැනි දුෂ්ට රඟපෑමක් කිරීමෙන් තමා එතෙක් රැගෙන ආ ප්‍රතිරූපයට හානි වේ යැයි යන බියෙන් විය හැකිය. එහෙත් චිත්‍රපටය තිරගත වූ පසු ඔහු ගේ එම 'ප්රෑන්ක්' ගේ චරිත රඟපෑම යුරෝපය, ඇමරිකාව, එංගලන්තය, ආසියාව වැනි මහද්වීප තුළ දැඩි ලෙස ප්රසාදාත්මක කථිකාවන්ට විවෘත විය. එලෙසම චිත්‍රපටය එකී මහද්වීපයන් හී බොක්ස් ඔෆිස් සාර්ථකත්වයට තුඩු දුන් සිනමා පටයක් විය. එලෙසම එය හොඳම බටහිර ගොපලු චිත්‍රපට අතරේ තවත් එක් වීර කාව්‍යයක් ලෙසට අදටත් සැලකේ.
ඉන් පසු හෙන්රි ෆොන්ඩා, චිත්‍රපට කීපයකම රඟ පෑ, අතර ඒ හැම චිත්‍රපටයක් තුළින් විශිෂ්ට චරිත රංගනයන් ඉදිරිපත් කරන්නට සමත් විය. ඔහු ලුසිලි බෙල් සමඟ ' යුවර්ස් මයින් ඇන්ඩ් අවර්ස්' චිත්‍රපටයේද, ටෙරන්ස් හිල් සමඟ 'මයි නේම් ඊස් නෝ බොඩි', චිත්‍රපටයේද, වෙනස් චරිත යුගලකින් ප්‍රේක්ෂකයන් හමු විය. එලෙසම 1965 වසරේ තිරගත වූ 'බැටල් ඔෆ් ද බලග්' හී කර්නල්වරයෙකු ලෙසත්, 1976 දී තිරගත වූ 'නිමිට්ස් ඉන් මිඩ් වේ' චිත්‍රපටයේ අද්මිරාල් වැනි වැදගත් හමුදා චරිතයක් ද රඟපෑවේය.
1981 වසරේදී හෙන්රි ෆොන්ඩා, තමා එතෙක් මෙතෙක් රඟපෑ හොඳම චරිතය රඟපෑවේය. ඒ 'ඔන් ගෝල්ඩන් පොන්ඩ්' චිත්‍රපටයේ 'නෝර්මන් තයාර්' ගේ චරිතයයි. ඒ වන විට හෙන්රි ෆොන්ඩාගේ වයස අවුරුදු 76 ක් වූ අතර, මෙය ඔහුගේ 129 වෙනි චිත්‍රපටය විය. එලෙසම එය ඔහුගේ අවසාන චිත්‍රපට රඟපෑමද විය. එම අවසාන චිත්‍රපට චරිතය වෙනුවෙන් ඔහු 54 වැනි ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම නළුවා සඳහා ඔහු ගේ ප්‍රථම ඇකඩමි සම්මානය දිනා ගත්තේය. එහි කැතරින් හෙප්බර්න් සහ ඔහුගේ දියණිය ජේන් ෆොන්ඩා ද රඟපෑ නමුත් හෙන්රි ෆොන්ඩාට ඇකඩමි උත්සවයට සහභාගී වීමට නොහැකි තරමට අසනීප විය. මාස කිහිපයකට පසු ඔහු හෘදයාබාධයකින් මිය ගියේය. දියණිය ජේන් ෆොන්ඩා, පුත් පීටර් ෆොන්ඩා, මිනිබිරිය බ්‍රිජට් ෆොන්ඩා සහ මුණුබුරා ට්‍රෝයි ගැරිටි ඇතුළු නළු නිළි පවුල් පරම්පරාවම ඔහු මිය යන විට ඔහු අසලට වී සිටියහ.
'වන්ස් අපෝන් අ ටයිම් ඉන්ද වෙස්ට්' චිත්‍රපටයේ එන තවත් ප්‍රධානතම චරිතයකි 'හාර්මොනිකා' ගේ චරිතය. හෙන්රි ෆොන්ඩා භාර ගත්, ෆ්රැන්ක් ගෙ චරිතය ප්‍රධාන වුවද, එය දුෂ්ට පැත්තට බර විය. 'හාර්මොනිකා' යනු යුක්ති ගරුක මිනිසෙකි. නිතැඟින්ම සර්ජියෝ ලියෝන් එම චරිතය සඳහා ඔහු විසින් තෝරා ගත්තේ ඔහුගේ ඩොලර් ත්‍රිත්වයේම ප්‍රධාන යුක්ති ගරුක චරිතය රඟපෑ 'ක්ලින්ට් ඊස්ට්වුඩ්' වය. එහෙත් ඔහු එම චරිතයේ රඟපෑමට එකඟ වූයේ නැත. ඒ ඔහු ස්පැගෙති වෙස්ටර්න් චරිත රඟපෑම අත්හැර තිබූ අතර, ඔහු 'ඩර්ටි හැරි' හී රහස් පරික්ෂක කැලහෑන් වැනී යුගයට ගැළපෙන යථාර්ථවාදී චරිතවලට අවධානය යොමු කර තිබුණි. ක්ලින්ට් ඊස්ට්වුඩ් නැතිව ස්පැගෙති වෙස්ටර්න් චිත්‍රපට කිරීම තබා සිතන්නටවත් නොහැකිව සිටි සර්ජියෝ, දැං ආරම්භ කළ දේ කෙසේ හෝ කළ යුතු නිසා 'හාර්මොනිකා' ගේ චරිතයට 'චාර්ල්ස් බ්‍රොන්සන්' ව තෝරා ගතී.
චිත්‍රපටයේ තවත් සුවිශේෂිතම චරිතයකි, 'ජිල් මැක්බෙයින්',. මෙම චරිතය ෆ්ලැග්ස්ටෝන්වලට සේන්දු වෙන්නේ නිව් ඔර්ලීන්ස් ප්රදේශයෙන්ය. ඇය නිව් ඔර්ලීන්ස් හී සුප්‍රසිද්ධ ගණිකාවක් විය. ඇය මේ එන්නේ මැක්බේන් ව හමුවීමටය. ඒ ඇය මීට මාස කීපයකට පෙර සිට ඔහු සමඟ විවාහ වී තිබු බවකි ඇය කියනුයේ. ජිල් මැක්බෙයින් ගේ චරිතය සුවිශේෂිත චරිතයක් වූ සේම, එම චරිතය රඟ පෑ නිළියද, සුවිශේෂිත චරිතයක් විය. ඇය, ලොව අතිශය රූමත් නිළියන් 50 දෙනාගේ ලැයිස්තුව අතරේ සිටින්නියක් විය. නමින් ඇය 'ක්ලවුඩ් ජොසෙපින් රෝස් ක්ලෝඩියා කාර්ඩිනේල්'ය.
ක්ලෝඩියා කාර්ඩිනේල් ව මා මුලින්ම දුටුවේ 70 දශකයේ මැද භාගයේදී කොළඹ රීගල් සිනමා හළේ පෙන්වූ 'හෙල් විත් හීරෝස්' චිත්රපටයෙන්ය. එහි ඇය රඟපෑවේ රොඩ් ටේලර් නම් නළුවා සමඟය. ඇය සතු අසාමාන්‍ය රූ සපුව නිසාම ඇය ගැන සෙවීමට විමසිලිමත් විමි.
ක්ලොඩියා කාර්ඩිනලී ඉපදී තිබුණේ 1938 දීය. ඒ ටුනීසියා හීය. ටුනීසියා අයිති ප්‍රංශයටය.එහෙත් ඇය ගේ ජාතිකත්වය පෙන්වන්නේ ඉතාලියානු කෙනෙක් ලෙසටය. ක්ලෝඩියා ගේ මුල්ම 'හයිලයිට්' වීමේ සිදු වුණේ 1957 දීය. ඒ ඇය ටුනිසියාවේ පැවැත්වූ 'වඩාත් පියකරු ඉතාලි යෞවනිය' ලෙස කිරුළ දැරීමය. ඇයගේ ප්‍රථම චිත්‍රපටය ප්‍රංශ චිත්‍රපටයක් විය. එය අධ්‍යක්ෂණය කළේ රෙනී වෝචර්ය. චිත්‍රපටය 'ඇනිඑක්ස් ඩොර්' ය. එලෙසම ඇයට ඔමාර් ශෙරිෆ් සමඟ 'ගෝහා' චිත්‍රපටයේ සහයක චරිතයක් ඒ අතරේදී ලැබිණි. නමුත් එය ඇයට විශාල ආභරණයක් වූයේ නැත. ඉහත කී ලෙස ඇය ඉතාලියේ වඩාත්ම පියකරු යෞවනිය තරඟයෙන් තේරුණු පසු ඇයට ලැබුණු ත්‍යාගය වූයේ 'වෙනිස් චිත්‍රපට උලෙළෙට විශේෂිත අමුත්තියක් ලෙස සහභාගි වීමය. එතැනදී ඇය ප්‍රබල ලෙස කැපී පෙනුණි. ඇයගේ සිනමා වෘත්තිය ඇත්ත වශයෙන් පටන් ගත්තේ එතැන් සිටය. 1957 දී ඇරඹුණු ඇයගේ රංගන වෘත්තිය, 2023 තෙක් එනම් පුරා අවුරුදු 65 ක් රැගෙන ආවාය. මේ වන විට ඇය නෙට් ෆ්ලික් චිත්‍රපට මාලාවක් වූ 'රෆ් සිටී' හීද රඟපානු ඇත.
'වන්ස් අපෝන් අ ටයිම් ඉන් ද වෙස්ට්' චිත්‍රපටයේ තවත් ප්‍රබල චරිතයකි මැනුවල් චෙයෙනි. මෙම කථාව කල්ලි කීපයක් අතර ඇති ආරවුල් කීපයක් මත ගෙතුණකි. ෆ්රෑන්ක් එක කල්ලියක, නායකයෙක් වූ අතර, චෙයිනි තවත් කල්ලියක නායකයකු විය. එලෙසම මෝර්ටන් තවත් කල්ලියක නායකයෙකු වූ සේම, මැක්බේන් තවත් කල්ලියක නායකයකු විය. 'හාර්මොනිකා' වැඩ කරන්නේ කාවෙනුවෙන්ද කියා අපැහැදිලි වන්නේ, ඔහු ඒ හැමෝම සමඟ විරුද්ධ වෙනවාත් සේම, හැම කෙනාම සමඟ සුහදවද සිටින නිසාය.
මෙහි 'මැනුවෙල් චෙයිනිගේ චරිතය රඟපෑමට ලැබූණේ ලොව තවත් විශිෂ්ටතම නළුවකු වූ 'ජේසන් රොබඩ්ස්' ටය. මා ජේසන් රොබඩ්ස් ව මුල් වරට සිනමා පටයකින් දුටුවේ 70 දශකයේ මැද භාගයේදී, මරදාන නිව් ඔලිම්පියා ශාලාවෙ පෙන්වූ ඔහු ප්‍රධාන චරිත රඟපෑ 'බැලඩ් ඔෆ් ද කේබල් හොග්' චිත්‍රපටය ය. එයද ස්පැගෙති වෙස්ටර්න් චිත්‍රපටයක් විය. එතැන් සිට මා ද ඔහුගේ දැඩි රසිකයෙක් විය.
ජේසන් රොබඩ්ස් ඉපදී ඇත්තේ, ඇමරිකාවේ, චිකාගෝ නගරයේ ඉලිනොයිස් නම් ප්රදේශයේය. ඒ 1922 වසරේ ජුලි 26 වනදාය. ඔහු වෘත්තිය අධ්‍යාපනය ලෙස තෝරා ගත්තේ, කලාව, නාට්‍ය, හා රංගනය ය. ඔහු වැඩි දුර අධ්‍යාපනය ලැබුයේ 'හොලිවුඩ් රංගන උසස් පාසලේය' 1940 සිට 1946 දක්වා ඔහු ඇමරිකානු යුද හමුදාව හා නාවික හමුදාවට බැදී සේවය කළේය. එලෙසම ඔහු දෙවනි ලෝක මහා යුද්ධයට යුද සෙබළෙකු, කර්නල් වරයෙකු ලෙස සක්‍රීයව දායක වී තිබුණි.
පසුව ඔහු නිව්යෝක් නගරයට ගොස් ගුවන් විදුලි හා වේදිකා නළුවකු මෙන්ම විවිධ අංශ සඳහා තම දායකත්වය ලබා දුනී. 1947 දී ඔහු තම ප්‍රථම සිනමා රංගනයට එකතු විය. ඒ 'ෆලෝ දැට් මියුසික්' නම් වූ කෙටි චිත්‍රපටයටය. ඉන්පසු ඔහු ඇමරිකානු බ්‍රෝඩ්වේ නාට්‍ය සංගමය සමඟ එක්වී විශිෂ්ටතම නාට්‍යයන් බොහෝ ප්‍රමාණයකට දායක විය. ඔහුගේ මුල්ම දිර්ඝ චිත්‍රපටය ලෙස සැලකෙනුයේ 1959 දී තිරගත වූ ඇනාටෝලෙ ලිට්වාක් අධ්‍යක්ෂණය කළ 'ද ජර්නි' චිත්‍රපටය ය. එහී ප්‍රධාන චරිත රඟපෑවේ යූල් බ්රයිනර්, ඩෙබෝරා කේර් ය. ජේසන් රොබඩ්ස් එහී ප්‍රධාන තෙවෙනි චරිතය රඟපෑවේය. එතැන් සිට ඔහු වසර 2000 වන තෙක් චිත්‍රපට 58 ක පමණ රඟපෑ තිබුණි. මෙම ලිපියට පාත්‍ර වෙන 'වන්ස් අපෝන් අ ටයිම් ඉන්ද වෙස්ට්' ඔහුගේ 12 වන චිත්‍රපටය විය.
ජේසන් රොබඩ්ස් තම ප්‍රථම ඇමරිකානු ඇකඩමි සම්මාන ය ලබා ගත්තේ 1976 වසෙර්ය. ඒ 'ඕල් ද ප්‍රසිඩන්ට් මෙන්' චිත්‍රපටය වෙනුවෙනි. එහී ඔහු රඟපෑවේ බෙන් බ්රැඩ්ලි නම් වූ සහයක චරිතයයි. එහෙයින් ඔහුට හිමිවූයේ 'හොඳම සහයක නළුවාට හිමි ඇකඩමි සම්මානයයි. 1977 දීද ඔහු නැවතත් ඇකඩමි සම්මානයක් දිනා ගත්තේය. එයද හොඳම සහයක නළුවාගේ චරිතය වෙනුවෙනි. චිත්‍රපටය 'ජූලියා' ය.
'ජේසන් රොබඩ්ස්'ගේ චිත්‍රපට ලැසිස්තුව තුළින් කැපී පෙනෙන චිත්‍රපට වූයේ, 'අ තවුසන්ඩ් ක්ලවුන්ස්', 'ඩිවෝස් ඇමරිකන් ස්ටයිල්', 'වන්ස් අපෝන් අ ටයිම් ඉන් ද වෙස්ට්', 'ද බැලඩ් ඔෆ් කේබල් හොග්' , 'ටෝරා ටෝරා ටෝරා', ' පැට් ගැරට් ඇන්ඩ් බිලි ද කිඩ්' 'ඕල් ද ප්‍රසිඩන්ට් මෙන්', සහ 'ජූලියා', ය.
හාර්මොනිකා' වෙඩි තබා මරා දැමූ තිදෙනාගේ නායකයා, 'ෆ්රෑන්ක් බ්‍රෙට් මැක්බේන්' ය. ඔහු නීතිවිරෝධී ක්‍රියා රැසක් මෙහෙය වන්නෙක් විය. එම අවස්ථාවේ ඔහු ඒ තුන් දෙනා අතරේ සිටියේ නැත. ෆ්රෑන්ක්, බ්‍රෙට් මැක්බේන්ගේ පවුලට අයත් ඉඩමක් අත්පත් කර ගැනීමට උත්සාහ කරන මෝර්ටන් නම් දුම්රිය ව්‍යාපාරිකයාගේ කුලියට ගත් තුවක්කුකරුවකු ලෙස සේවය කරයි. නීතිවිරෝධී පුද්ගලයින් තිදෙනා විසින් පැලඳ සිටින ඩස්ටර් ඔවුන් තවත් නීතිවිරෝධී චේයින් විසින් මෙහෙයවන ලද වෙනත් කල්ලියක සාමාජිකයන් යැයි විශ්වාස කිරීමට හාර්මොනිකාට මඟ පෙන්වයි.
මේ අතර, ෆ්රෑන්ක් සහ ඔහුගේ හෙංචයියන් මැක්බේන් සහ ඔහුගේ දරුවන් තිදෙනා ඔවුන්ගේ "ස්වීට්වෝටර්" ගොවිපළේදී මරා දමා, මිනීමැරුම් සඳහා චේයන්ව කොටු කිරීමට සාක්ෂි ඉතිරි කරති.
ජිල් සිතන්නේ, ඇය ස්වීට්වෝටර් හි එකම උරුමක්කාරිය කියාය. ඒ ඇය මැක්බේන් සමඟ විවාහ වුවා යයි කියන නිසාය. ඒ කියන්නේ ඇයය. මැක්බේන් යම් දිනක ස්වීට්වෝටර් හරහා දුම්රිය හරහා ගමන් කරන බව ඇය දැන සිටියාය.
ජිල් සමඟ ලිංගිකව ප්රෑන්ක් හැසුරුණේ ජිල් ලවා ස්වීට්වෝටර් ඉඩම වෙන්දේසි කරවා ගැනීමටය. ඒ ස්වීට් වෝටර් ඉඩම අයිති ජිල් ට බව ප්රෑන්ක් දැන සිටි නිසා ය. ඒ අනුව ජිල්, මැක්බෙයින් හා විවාහ වූ කතාව බොරු නොවේ.
වන්ස් අපෝන් අ ටයිම් ඉන් ද වෙස්ට්', මුලින්ම අධ්‍යක්ෂණය කර නිමා කළේ විනාඩි 166 ක ධාවන කාලයකට ය. එය යුරෝපය පුරාවටම තිරගත කළේ 1968 වසරේ දෙසැම්බර් 21 වන දින සිටය. එය බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවමින් සාර්ථකව තිර ගත විය. පැරමවුන්ට් සමාගම මෙය ඇමරිකාවේ තිරගත කළ යුතු නිසා විනාඩි 145 ක ධාවන කාලයකට සංස්කරණය කර අඩු කළේය. 1969 මැයි මස සිට ඇමරිකාවේ තිරගත කළේ එම සංස්කරණය කළ පිටපතය. එම අඩුකළ විනාඩි 20, චිත්‍රපටය පටලවා දැමීය. සර්ජියෝ ලියෝන් කියූ කථාව නිසිලෙස වටහා ගැන්මට බොහෝ ප්‍රේක්ෂකයන් අසමත් විය. එහෙයින් එම පිටපත ඇමරිකාව තුළ අසාර්ථක වූවා සේම එය ආර්ථීකව පාඩු විය.
'වන්ස් අපෝන් අ ටයිම් ඉන්ද වෙස්ට්' ඇස්තමේන්තු ව ලෙස සඳහන් වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 5 කි. එහි බොක්ස් ඔෆිස් ආදායම පෙන්වන්නේ ඇමරිකාවේ ඩොලර් මිලියන 5. 3 ක් ලෙසටය. නමුත් ලොව වටා ප්‍රවේශ පත්‍ර අලෙවි ආදායමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 40 ක් උපයා ඇති බවක් පෙන්වයි.