වර්ෂ 2023 ක්වූ December 09 වැනිදා Saturday
රෝස දියමන්තියක් වටා දිවෙන දේශපාලනික ත්‍රාසය

1999, වර්ෂයේදී, සියෙරා ලියොන් රට සිවිල් යුද්ධයකින් විනාශ විය. විප්ලවවාදී එක්සත් පෙරමුණ (අඋජ්) වැනි කැරලිකාර කණ්ඩායම් නිතර ගම්බද ප්‍රදේශයන් තුළ සැරි සරමින් අහිංසක ගම් වැසියන්ව භීතියට පත් කරන්නට විය. 'මෙන්ඩේ' ගම්මානයේ ප්‍රදේශවාසීන් බිය ගන්වමින් බොහෝ දෙනෙකු වහල්භාවයට පත් කළේ එහී තිබූ 'දියමන්ති' පතල් හැරීමටය .
'බ්ලඩ් ඩයමන්' චිත්‍රපටය තුළ ප්‍රධානතම චරිතයක් වූ ෂෙන්ජ්හි දේශීය ධීවරයකු වන 'සොලමන් වැන්ඩිව ද' මේ ලෙස අල්වා ගනු ලැබීය. ඔහුගේ බිරිඳ හා දරුවන් පලා ගිය අතර, වැන්ඩිව අනුකම්පා විරහිත යුද නායකයකු වන කැප්ටන් පොයිසන් විසින් අධීක්ෂණය කරන ලද ශ්‍රම බලකායකට ඇතුළත් කරනු ලැබීය.
වැන්ඩිගේ චරිතය ප්රබලව විකාශනය වීම ආරම්භ වනුයේ එසේ ගඟේ පතල් කැණීමේදී වැන්ඩි විසින් විශාල රෝස දියමන්තියක් සොයා ගැනීමෙන් පසුවය. වැන්ඩි එය හංගා ගැන්මට උත්සහා කළද, කැප්ටන් පොයිසන් එය දකින්නට විය. කැප්ටන් පොයිසන් ගල රැගෙන යාමට උත්සාහ කළ නමුත් රජයේ හමුදා එම ප්‍රදේශය වැටලූ නිසා එම ප්රයත්නය ව්‍යර්ථ විය. වැන්ඩිව හමුදාව විසින් අල්ලා ගැනීමට විනාඩි කීපයකට පෙර, එම දියමන්තිය වළක් හාරා ඔහු වළලා දමන්නට විය.
වැන්ඩි සහ පොයිසන් යන දෙදෙනා සමඟ, ලයිබීරියාවට දියමන්ති ප්‍රවාහනය කරමින් සිටියදී හසු වූ රොඩේසියානු ජාවාරම්කරුවකු සහ කුලී හේවායකු වන 'ඩැනී ආචර්' සමඟ සියරා ලියොන් අගනුවර වූ ෆ්‍රීටවුන් හි සිරගත කරන්නට විය.
ඩැනී ආචර් , වැන්ඩි ගෙන් රෝස දියමන්තිය ගැන දැනගත් විට, ඔහු තමා සහ වැන්ඩිව රැඳවුම් භාරයෙන් නිදහස් කිරීමට කටයුතු කරන්නට විය. වර්ණ භේදවාදී යුගයේ දකුණු අප්‍රිකානු ආරක්ෂක බළකාය සමඟ කලින් සිටි අප්රිකානුවකු වූ කර්නල් කොයිට්සි හමුවීමට ආචර් කේප් ටවුන් වෙත ගමන් කළේ මේ අතර වාරයේදීය. වැන්ඩි තමාගෙන් මඟ හැරුණු තම බිරිඳ හා දරුවන්ව සොයා යන්නට සැලසුම් කළේය. කර්නල් කොයිට්සි දැන් පුද්ගලික හමුදා සමාගමකට අණ දෙන්නෙක් ලෙස ක්‍රියා කරමින් සිටියේය. ආචර් වැන්ඩිට කිවේ ඔහු විසින් වළලා දමා තිබූ දියමන්තිය සොයා ගැනීමට උදව් කරන්නේ නම්, ඔහුගේ පවුල සොයා ගැනීමට ඔහුට උදව් කරන බවය.
මේ අතර, අඋජ් කැරලිකරුවන් ඔවුනගේ කැරළි කෝලහාල ක්රියාකාරිත්වයන් තව තවත් උත්සන්න කරන්නට විය. ආචර් සහ වැන්ඩි ලුන්ගි නම් ප්‍රදේශය වෙත පලා යන්නට වූ අතර, එහිදී වැන්ඩිට ඔහුගේ බිරිඳ සහ දියණියන් සිටින සරණාගත කඳවුර සොයා ගන්නට හැකි විය. අඋජ් කැරලි කරුවන් තම පුතාව රැගෙන ගිය බව ඔහු දැනගන්නේ සරණාගත කඳවුරේ සිටින තම බිරිඳ ගෙනි.
ඒ අතර වැන්ඩි සහ ආචර් සැලසුම් කරන්නේ වැන්ඩි දියමන්ති වළ දැමූ කොනෝ වෙත ළඟා වීමටය. ඔවුන් සමඟ නීතිවිරෝධී දියමන්ති වෙළඳාම හෙළිදරව් කිරීම සඳහා කටයුතු කරන ඇමරිකානු මාධ්‍යවේදිනියකු වන මැඩී බෝවෙන් ද එකතු වේ. බෝවෙන් ඔවුනට උපකාරය කරන්නේ නම්, ඒ වෙනුවට ආචර් ද ඇයට පොරොන්දුවක් වේ. ඒ ඇයගේ කතාවට අවශ්‍ය සාක්ෂි ඇයට ලබා දීමටය.
ආචර් සහ වැන්ඩි, රූපවාහිනී මාධ්‍යවේදීන් ලෙස වෙස්වළාගෙන, බෝවෙන් සහ කොනො සඳහා නියමිත මාධ්‍ය රථ පෙළක් සමඟ ගමන් කරන්නට විය. තිදෙනාට පලා යාමට ඉඩ හැර කැරලිකරුවන් රථ පෙළට සැඟවී සිට පහර දෙන්නට විය. එයින් බේරී කැලය හරහා ගමන් කරන විට, ඔවුන්ට කමජෝර් මිලිෂියා භටයන් මුණගැසෙන අතර, ඔවුන් ඔවුන්ව මිත්‍රශීලී ප්‍රදේශයේ බෙන්ජමින් කපානායි වෙත රැගෙන යයි.
කරුණාවන්ත කපනායි ඔවුන්ව කොනෝ වෙත ගෙන යන නමුත් අඋජ් ළමා සොල්දාදුවකු ඔවුන් ව අතරමගදී තුවාල කරයි. සියරා ලියොන් රජය විසින් පත් කර තිබූ කොයිට්සි සහ ඔහුගේ පෞද්ගලික හමුදාව කැරලිකාර ප්‍රහාරය පලවා හරියි. කටුක ගමනකින් පසු තිදෙනා කොනෝ වෙත පැමිණේ.
ආචර් විසින් තමා පොරොන්දු වූ පරිදී බොවෙන්ට සාක්ෂි ලබා දුන් අතර අනෙකුත් සිවිල් වැසියන් සමඟ රටින් ඉවත් වීමට ඇයට බල කරන්නට විය. ආචර් සහ වැන්ඩි, කර්නල් කොයිට්සිගේ හමුදාවෙන් ආයුද සහ සැපයුම් සොරකම් කර, දියමන්තිය ලබා ගැනීමට කැප්ටන් පොයිසන්ගේ කඳවුරට පිටත් වන්නට විය. අතරමගදී, ආචර් හා වැන්ඩි, තම අවසාන ඉලක්කය කුමක්දැයි දෙදෙනා ම තර්ක කරන්නට විය.
ආචර්ට දියමන්ති අවශ්‍ය වන අතර වැන්ඩිට අවශ්‍ය වන්නේ ඔහුගේ පුතා සොයා ගැනීමට පමණි. වැන්ඩි, තම පුතු ඩියාව සොයා ගැනීමට මංමුළා සහගතව, කඳවුරට රිංගා තම පුතු ඩියා ව සොයා ගනී. ඒ වන විට කැරලිකරුවන් ඩියාගේ මොළය සේදීම නිසා ඔහුද නියම කැරලිකරුවෙකු බවට පත් වී සිටී. එහෙයින් ඔහු තම පියා පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි.
කුලී හේවායන් අඋජ් ආරක්ෂකයින් යටපත් කරනා තුර, වැන්ඩි කැප්ටන් පොයිසන් සොයාගෙන ගොස් මරා දමයි. කර්නල් කොයිට්සි ඩියාව, ප්‍රාණ ඇපයට ගෙන වැන්ඩිට දියමන්තිය ඔහුට ලබා දෙන ලෙසට බල කරයි. නමුත් ආචර් කොයිට්සිව මරා දමන්නේ කර්නල්වරයා අවසානයේ ඔවුන් දෙදෙනාව මරා දමනු ඇති බව වටහා ගැනීමෙන් පසුවය.
ඩියා තම අතේ තිබූ තුවක්කුවෙන් ආචර්ට හා තම පියාවූ වැන්ඩිට වෙඩි තැබීමට සැරසෙන්නේ මේ අතරේදීය. එහෙත් වැන්ඩි විසින් ඩියාට තම අතීතය, තමාගේ මව, තමාගේ සොහොයුරිය මෙන්ම ඩියාගේ පියා වන තමා ගැන හා ඩියා යනු කවුදැයි ඔහු කරුණාවෙන් වටහා දේ. ඩියා කෙමෙන් කෙමෙන් වැන්ඩිට නතුවී, තම නියම පියාව හඳුනා ගෙන හඬා වැටෙමින් වැන්ඩිව වැලඳ ගනියි. මේ අතර කුලී හේවායන් විසින් ලුහුබැඳ ගිය ආචර් මාරාන්තික තුවාල ලබයි. එම තුවාලයේ ඇති දරුණු බව වටහා ගත් ආචර්, දියමන්ති ගල වැන්ඩිට භාර දෙන්නේ එය තම පවුලට ගෙන යන ලෙස පවසමිනි. වැන්ඩි සහ ඔහුගේ පුත්‍රයා ආචර්ගේ ගුවන් නියමුවාව හමුවේ. ඒ අතරේදී ආචර්, බොවන්ට දුරකථන ඇමතුමක් ගනී. ඒ ඔහුගේ අවසන් දුර කථන ඇමතුම වේ. එහී, ඔහු කියනුයේ වැන්ඩි හා ඔහුගේ පවුලේ උදවියට නිසි තැන ලබා දෙන ලෙසටය. වැන්ඩි සහ බොවෙන් ලන්ඩනයේදී හමුවන අතර එහිදී ඔවුන් 'වෑන් ඩී කැප්' මෙහෙයුමේ අපිරිසිදු ගනුදෙනු හෙළිදරව් කිරීමට රහසිගත මෙහෙයුමක් ක්‍රියාත්මක කරයි. වැන්ඩි රෝස දියමන්තිය පවුම් මිලියන 2 කට හුවමාරු කර ඔහුගේ මුළු පවුලම නැවත එක් කර ගනියි. බොවෙන් දියමන්ති වෙළඳාම සහ 'වැන් ද කාප්ගේ' අපරාධ ක්‍රියා පිළිබඳ ඇගේ හෙළිදරව්ව ප්‍රකාශයට පත් කරයි. පසුව, වැන්ඩි කිම්බර්ලි හි පැවති රුධිර දියමන්ති පිළිබඳ සම්මන්ත්‍රණයක ආරාධිත කථිකයෙකු ලෙස පෙනී සිටින අතර එහිදී ඔහුට විශාල ප්‍රශංසාවක් හිමිවේ.
ඉහත කී කථාවේ සම්පීඩනය අයත් වූයේ 2006 වසරේදී තිරගත කළ, එඩ්වඩ් ස්වික් ගේ අධ්‍යක්ෂණය ක් වූ 'බ්ලඩ් ඩයමන්' චිත්‍රපටය සඳහා ය. එය හැඳීන්වූයේ 'පොලිටිකල්, ඇක්ෂන්, ත්‍රිලර්', හෙවත් දේශපාලනීක හා ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙසටය.
1952 ඔක්තෝබර් මස 8 වන දින ඇමරිකාවේ චිකාගෝ නගරයේ ඉපදුණු එඩ්වඩ් එම් ස්වික්, ඇමරිකානු සිනමාවේ අධ්යක්ෂවරයකු ලෙස බෞතිස්ම ලැබුවේ 1986 වසරේ තිර ගත කළ 'අබවුට් ලාස්ට් නයිට්' චිත්‍රපටයෙනි. මෙම ලිපියට අයත් යන 'බ්ලඩ් ඩයමන්' චිත්‍රපටය ඔහුගේ 8 වෙනි චිත්‍රපටයයි. ඊට පෙර ඔහු අධ්‍යක්ෂණය කළ, ඩෙන්සිල් වොෂින්ටන් , මෝගන් ෆ්රීමන් රඟපෑ 'ග්ලෝරි', බ්‍රැඩ් පිට්ස්, ඇන්තනි හොප්කින්ස්, රඟපෑ 'ලෙජන්ඩ්ස් ඔෆ් ද ෆෝල්ස්', බෘස් විලීස්, ඩෙන්සිල් වොෂින්ටන් රඟපෑ 'ද සීග්', මෙන්ම ටොම් කෘස් රඟපෑ 'ද ලාස්ට් සමුරායි', යන චිත්‍රපට විශිෂ්ට මෙන්ම, වාණිජ්‍යමය සාර්ථක චිත්‍රපට ලෙස සැලකේ.
'වෝනර් බ්‍රදර්ස්' සමාගම වර්ෂ 2004 දී, 'ඔකාවන්ගෝ' නමින් තිර රචනයක් නැවත ලිවීම පිණිස, චාර්ල්ස් ලෙවිට් නම් තිර රචකයෙකු තෝරා ගත්තේය. එය අප්‍රිකානු ගොවියෙකු මැණික් හා දියමන්ති ජවාරම් කරන ඇමරිකානු කණ්ඩායමකට හසුවන කථාවක් පසුබිම් කරගත් සාරංශයක් විය. ඔහු එයට තවත් දෑ එකතු කිරීම පිණිස ඇමරිකාවේ දියමන්ති ක්ෂේත්‍රයත්, එලෙසම ඒ සමඟම යන ජවාරමත් ගැන දැඩිව අධ්‍යයනය කරන්නට විය. 'ඔකාවන්ගෝ' 'බ්ලඩ් ඩයමන්ඩ්' බවට පැවරුණේ ඒ අධ්‍යයනයෙන් පසුවය.
'බ්ලඩ් ඩයමන්ඩ්' හී තිරනාටකය බොහෝ විට ගලා ගියේ ප්‍රධාන චරිත දෙකක් වටාය. ඒ 'ඩැනී ආචර්' සහ 'සොලොමන් වැන්ඩි' වටාය.
අධ්‍යක්ෂක එඩ්වඩ් එම් ස්වික් ඩැනී ආචර් නම් ඒ ප්‍රධාන චරිතයට තෝරා ගත්තේ ඇමරිකන් නළුවෙකු වූ 'ලියෝනාඩෝ ඩි කැප්රියෝ' ය. ඇමරිකානු රූපවාහිනි නළුවකු ලෙස ක්ෂේත්රය ට පා තැබූ කැප්රියෝ 'ද නිව් ලැසී', හා 'සැන්ටා බාබ්රා', යන රූපවාහිනි කථා මාලාවන් හී රඟපාමින් නළුවෙකු ලෙස අත් පොත තැබීය. 1991 'ක්රයිටර්ස් 3' නම්වූ වීඩියෝ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑ කැප්‍රියො 1992 දී ' පොයිසන් අයිවි' චිත්‍රපටයේ අතිරේක චරිතයක් රඟපෑවේය. කැප්රියෝ මුල් පෙළේ නළුවකු වූයේ 'දිස් බෝයිස් ලයිෆ්' යන චිත්‍රපටයේය. ඔහු එහී රඟපෑවේ රොබට් ඩී නීරෝ සමඟය. 'රෝමියෝ-ජුලියට්' හී රෝමියෝ මොන්ටෑග් වූයේ 1995දීය. නමුත් 1997 තිර ගත කළ 'ටයිටනික්' චිත්‍රපටයේ ජැක් ඩෝසන් ගේ චරිතයෙන් ලියෝනාඩෝ ඩී කැප්රියෝ සිනමා ක්ෂේත්රයේ ඉහළටම එසවිය. 'බ්ලඩ් ඩයමන්ඩ්' ඔහුගේ 19 වන චිත්‍රපටය විය.
ලියෝනාඩ් ඩී කැප්රියෝ ප්‍රථම වරට ඇමරිකානු ඇකඩමි සම්මානයට නිර්දේශ වූයේ 1994 තිරගත කළ 'වට්ස් ඊටිං ගිල්බර්ට් ග්‍රේප්' යන චිත්‍රපටයෙනි. ඒ 66 වෙනි ඇකඩමි සම්මාන උලෙළේ ය. එහි දී ඔහු නිර්දේශ වූයේ හොඳම සහය නළුවාටය. ඉන්පසු ඔහු 2005 වසරේ, එනම් 77 වෙනි ඇකඩමි සම්මාන උළෙලෙ, හොඳම නළුවා ලෙස නිර්දේශ වූයේ 'ද ඇවියේටර්' චිත්‍රපටයෙ රඟපෑම සඳහාය. 79 වෙනි ඇකඩමි සම්මාන උලෙළෙ දී 'බ්ලඩ් ඩයමන්' සඳහාද, 86 වෙනි ඇකඩමි සම්මාන උලෙළේ දී 'ද වුල්ෆ් ඔෆ් වෝල් ස්ට්‍රීට්' චිත්‍රපටයේ රංගනය සඳහාද, 92 වෙනි ඇකඩමි සම්මාන උළෙලෙදී 'වන්ස් අපෝන් අ ටයිම් ඉන් හොලිවුඩ්' චිත්‍රපටයේ රඟපෑම සඳහා ද ඔහු හොඳම නළුවා ලෙස නිර්දේශ විය. 2014 වසරේ 86 වෙනි ඇකඩමි සම්මාන උලෙළේ දී ඔහු ඔහුගේ ප්‍රථම ඇකඩමි සම්මානය ලබා ගතී. ඒ හොඳම නළුවාට හිමි සම්මානයයි. එය ලැබුණේ 'ද රිවෙන්ට්' නම් චිත්‍රපටය සඳහා රඟපෑ 'හියුජ් ග්ලාස්' නම් චරිතය සඳහා ය.
ලියෝනාඩ් ඩි කැප්රියෝගේ කැපී පෙනෙන රඟපෑම් රැගත් චිත්‍රපට රාශියක් විය. ඒ අතරින් 'වට්ස් ඊටිං ගිල්බට් ග්‍රේප්', 'රෝමියෝ ජුලියට්', 'ටයිටනික්', 'කැච් මී ඉෆ් යූ කැන්', 'ගැන්ග්ස් ඔෆ් නිව්යෝක්', ' 'ද ඩිපාර්ටඩ්', 'ශටර් අයිලන්ඩ්' , 'ඩ්ජැන්ගෝ අන්චේන්ජ්', 'ද වුල්ෆ් ඔෆ් වෝල් ස්ට්‍රීට්', 'ද රිවෙන්ට්', 'වන්ස් අපෝන් අ ටයිම් ඉන් හොලිවුඩ්' යන චිත්‍රපට විය. ඔහු ලෝකයේ ඇති බොහෝ සම්මාන උලෙළන් තුළින් ලබා ගත් සම්මාන ගනන 101 ක් වූ අතර, සම්මාන 259 කට නිර්දේශ විය. ලංකාව තුළ ඔහු වඩාත් ජනප්‍රිය වූයේ ' ටයිටනික්' චිත්‍රපටයේ ජැක් ඩෝසන් ගේ චරිතය තුළිනි. එලෙසම 'කැච් මී ඉෆ් යූ කැන්' ද අවියේටර්', 'ද ඩිපාර්ටඩ්', 'වන්ස් අපෝන් අ ටයිම් ඉන් හොලිවුඩ්' හා 'බ්ලඩ් ඩයමන්' ද එසේ ලංකාව තුළ ජනප්‍රිය වුණු ඔහු ගේ අනෙක් චිත්‍රපටයන් ය.
'ඩ්ජිමන් හොන්සො'ගේ වෘත්තිය ලෙස සලකනුයේ මෝස්තර නිරූපණය හා රඟපෑමය. 1964 වර්ෂයේ, බටහිර නයිජිරියා ට අයත් බෙනින් නම් රටේ ඉපදුණු ඔහු ප්‍රංශයේ හා ඇමරිකාවේ පුරවැසිභාවය හිමි වූවෙකි. 1990 වසරේ තිරගත වූ 'විතවුට් යූ අයෑම් නතිං' නම් වූ චිත්‍රපටයෙන් ඇමරිකානු සිනමාට පැමිණි ඔහු 1998 වර්ෂයේ දී 'ඩීප් රයිසිං' චිත්‍රපටයේ සැලකිය යුතු චරිතයක් රඟපෑවේය. රසල් ක්‍රෝ රඟපෑ 'ග්ලැඩියේටර්' චිත්‍රපටයේ 'ජුබා' ගේ චරිතය රඟපෑ ඔහු බොහෝ විට රඟපෑවේ දෙවෙනි, තෙවෙනි හෝ සහයක චරිතයන්ය. මෝර්ගන් ෆ්රීමන්, ඇන්තනී හොප්කින්ස් සමඟින් ඔහු රඟපෑ ස්ටීවන් ස්පීල්බර්ග් ගේ 'ඇමිස්ටඩ්' චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවන් තුනෙන් එක් චරිතයක් වූ සෙන්ග්බීපී චරිතයට පණ පෙවු ඔහු ඒ තුලින් හොලිවුඩ් හී සුවිශේෂිත නළුවකු ලෙස ස්ථාවර විය. 'බ්ලඩ් ඩයමන්' ඔහුගේ 17 වෙනි චිත්‍රපටය විය. 2002 වසරේ ඔහු රඟපෑ 'ඉන් ඇමරිකා' චිත්‍රපටයේ මාටියෝ කුවාමේ ගේ චරිතයට ඔහුව හොඳම සහයක නළුවා ලෙස ඇමරිකානු ඔස්කාර් ඇකඩමි සම්මානයට නිර්දේශ විය. නැවත වරක් ඔහුව එම සම්මානයටම නිර්දේශ වූයේ මේ 'බ්ලඩ් ඩයමන්' චිත්‍රපටයට ය. එලෙසම ඔහු රඟපෑ 'ඉන් ඇමරිකා', 'ඇමිස්ටඩ්', 'ග්ලැඩියේටර්', සහ 'බ්ලඩ් ඩයමන්' චිත්‍රපටයේ රංගනයන් සඳහා ඔහු ලෝකයේ විවිධ ප්‍රධාන සම්මානවලින් පිදුම් ලැබීය.
'බ්ලඩ් ඩයමන්ඩ්' 79 වෙනි ඇමරිකානු ඔස්කාර් සම්මාන උලෙළෙදී, සම්මාන 5 කට නිර්දේශ විය. ඒ හොඳම නළුවා, ලියෝනාඩ් ඩි කැප්රියෝ, හොඳම සහය නළුවා ඩ්ජිමොන් හවුන්සු, හොඳම සංස්කරණය ස්ටීවන් රොසෙන්බ්ලම්, හොඳම ශබ්ද සංස්කරණය ලොන් බෙන්ඩර්, සහ හොඳම ශබ්ද සම්මිශ්‍රණය ඇන්ඩි නෙල්සන්, ඇනා බෙල්මර්, සහ අයිවන් ෂැරොක් යන සම්මාන වලටය.
'බ්ලඩ් ඩයමන්ඩ්' හී ඇස්තමේන්තුව ඇමරිකානු ඩොලර් මිලියන 100 ලෙස සඳහන් වූ අතර, එහී බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 171.7 ක් විය. ඩී වී.ඩී විකුණුම් මිල ඇමරිකානු ඩොලර් මිලියන 3.6ක් වූ අතර, එයින් ලද ශුද්ධ ආදායම ඩොලර් මිලියන 62.7 ක් විය.
මොහොතින් මොහොත කුතුහලය අවුස්සන 'බ්ලඩ් ඩයමන්ඩ්' චිත්‍රපටය නැරඹිය යුතු චිත්‍රපටයක් වන්නේ එය ක්‍රියාදාම චිත්‍රපටයක් මෙන්ම, ඇමරිකන් ඇකඩමි සම්මානයට පාත්‍ර වූ විශිෂ්ට සිනමාපටයක් වන නිසාය.