වර්ෂ 2023 ක්වූ December 01 වැනිදා Friday
බර්ටන් නොමියෙන සුපිරි වීරයකු කළ

එලිසබත් ටේලර්ගේ පුතුන් දෙදෙනා, තම මවගේ අලුත්ම සැමියා වූ 'රිචඩ් බර්ටන්' ට කියා සිටියේ, සිනමාවේ නිතරම මැරෙන චරිත නොකර 'සුපර් හීරෝ' චරිතයක් කරන ලෙසටය. ඔවුන් බර්ටන් ට කිවේ බර්ටන් නිතරම කාගෙ හෝ අතින් මිය යනවා දැකීම ඔවුන්ට දැන් ඇතිවී ඇති බවක් ය. එලෙසම බර්ටන් විරුද්ධවාදීන් මරා වීරයෙක් වෙනවා දැකීම ඔවුනගේ අපේක්ෂාව බවය.
මේ හේතුවෙන් රිචඩ් බර්ටන් චිත්‍රපට නිෂ්පාදක 'එලියට් කස්ට්නර්' ව හමුවී මේ බව කියා, කීවේ ඔහු නිෂ්පාදනය කරන චිත්‍රපටයක සුපර් හීරෝ චරිතයක් ඇත්නම් තමාට රඟපෑමට කථා කරන ලෙසටය. එලෙසම ඔහු අවධාරණයෙන්ම කියා සිටියේ චිත්‍රපටයේ අවසානයේ කිසිවෙකුගේ අතින් ඔහුට මිය යාමට නොහැකි බවත්, ඔහු විසින් ප්‍රතිවිරුද්ධකයන් මරා දමා ඔහු 'සුපර් හීරෝ' තත්ත්වයට පත් විය යුතු බවකි.
එලියට් කස්ට්නර් ඇමරිකානුවෙක් වූ අතර, ඔහු චිත්‍රපට නිෂ්පාදනයට අවතීර්ණ වූයේ 1965 වසරේදීය. ඒ 'බස් රිලේස් බැක් ඉන් ටවුන්' චිත්‍රපටයෙනි. 1965 වසරේ සිට 2005 වසර තෙක් පුරා අවුරුදු 40ක් ඔහු චිත්‍රපට නිෂ්පාදනයේ යෙදුණි. ඔහු චිත්‍රපට 60 ක් පමණ ඒ අවුරුදු 40 තුළ නිෂ්පාදනය කර තිබුණි. ලංකාවේද ඔහු නිෂ්පාදනය කෙරූ චිත්‍රපට කීපයක් තිරගත කර තිබුණි. රිචඩ් බර්ටන් රඟපෑ 'විලෙන්' ජෝර්ජ් සීගල් රඟපෑ 'රෂියන් රුලට්' මාලන් බ්‍රැන්ඩෝ රඟපෑ 'ද නයිට් කොමර්ස්', රොබට් මිචම් රඟපෑ 'ෆෙයාවෙල් මයි ලව්', එලිසබත් ටේලර්, මයිකල් කේන් රඟපෑ ' සී ඇන්ඩ් කම්පැනි', බැරි නිව්මන් රඟපෑ 'ෆියර් ඊස් ද කී', ඒ අතරේ විය.
රිචඩ් බර්ටන් අර සුපර් හීරෝ කථාව කී පසු එලියට් කස්ට්නර් , 'ත්‍රිලිං' ශානරය යටතේ පොත් ලියන ඇලිස්ටෙයාර් මැක්ලීන් ට කිවේ, එවන් ශානරය යටතේ කථාවක් ලියා දෙන ලෙසටය. ඒ වන විටත් ඇලිස්ටර් මැක්ලින්ගේ පොත් කීපයක්ම චිත්‍රපට ගත කර ඇති අතර, එම අවස්ථාවේද චිත්‍රපට ගත කරමින් තිබුණි. මැක්ලින් සති 6 ක් ගතවූ පසු ඔහුට අලුතින් කථාවක් ලියා දුනී. ඔහු එය නම් කර තිබුණේ 'කාස්ටල් ඔෆ් ඊගල්ස්' නමිනි. එලියට් කස්ට්නර් එම කථාවට කැමති වූවද, ඔහු ඒ නමට කැමති වූයේ නැත. ඉන්පසු ඔවුන් දෙදෙනාම එකතු වී එයට 'වෙයා ඊගල්ස් ඩෙයාර්' ලෙස නම් කළහ.
රිචඩ් බර්ටන් එම කථාවට කැමති විය. මෙහී ප්‍රධානතම චරිත 2 ක් තිබුණි. එකක් බ්‍රිතාන්‍ය මේජර් 'ජෝන් ස්මිත්' ගේ චරිතයයි. එය නිතැගින්ම රිචඩ් බර්ටන් සතු විය. අනෙක් චරිතය 'ලුතිනන් මොරිස් ෂාෆර්' ය. එලියට් කාස්ට්නර් හා ඔහුගේ සහය නිෂ්පාදක ජෙරී ගේෂ්වින්, එම චරිතය රඟපෑමට ආරාධනා කළේ තිරයේ ස්පැගති චෙස්ටර්න් චිත්‍රපටවල හීරෝ ලෙස රඟපෑ 'ක්ලින්ට් ඉස්ට් වුඩ්'ටය.
රිචඩ් බර්ටන්ට තම චරිතය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ 12 ක වැටුපක් ගෙවීමට පොරොන්දු විය. ක්ලින්ට් ඊස්ට්වුඩ් ඇමරිකානු ඩොලර් ලක්ෂ 8 ක වැටුපකට එකඟ විය.
කථාව ඇලිස්ටෙයාර් මැක්ලීන් ලියූ නිසා, ක්ලින්ට් ඊස්ට් වුඩ් මුලින්ම හිතුවේ එය භයානක, හා එහී ප්‍රකාශන, සංකුලතා වනු ඇති බවකි. නමුත් තිර රචනය තුළ හැම චරිතයක්ම තරමක් 'බර' කර ලියා තිබුණි. ක්ලින්ට් ඊස්ට්වූඩ් ගෙ චරිතය රිචඩ් බර්ටන් ගේ සහයකයා ලෙස පෙනෙන්නට තිබුණද, බොහෝ තැන්වල ඊස්ට්වුඩ්, බර්ටන්ව අබිබවා යන බවක් පෙන්විය. චරිත දෙකේ ධාවන කාලයේ වැඩි කොටස බර්ටන්ට ගියද ඊස්ට්වුඩ්ට ක්‍රියාදාම අවස්ථාවන් වැඩිපුර ලැබුණු හෙයින් ඔහුගේ චරිතය බර්ටන්ව යට කර ජනප්‍රිය වන්නට විය. නමුත් දෙදෙනා ඉතාමත් සහයෝගයෙන් එම චරිත යුගල රඟපාන්නට වූ නිසා එය සාර්ථක විය. චිත්‍රපටය තුළ ක්ලින්ට් ඊස්ට්වුඩ් ගේ චරිතයේ තිබුණේ අඩු දෙබස් ප්‍රමාණයකි. නමුත් ක්‍රියාකාරිත්වය වැඩි විය.
'වෙයා ඊගල්ස් ඩෙයාර්' චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය හැදින්වූයේ 'මේරි එලිසන්' නමිනි. ඇය මේජර් ජෝන් ස්මිත් ගේ පෙම්වතිය ලෙස රඟපෑ අතර, එම චරිතය තිරයේ ජීවමාන කළේ 'මේරි යුරේ' නම් බ්‍රිතාන්‍ය නිළියකි. ඇය සිනමාවට පැමිණ ඇත්තේ 1955 වසරේදීය. ඒ 'ස්ටෝම් ඕවර්ද නයිල්' යන චිත්‍රපටයෙනි. ඇය විශාල චිත්‍රපට සංඛ්‍යාවක රඟ නොපෑවද, ඇයගේ රංගනය අන්තර්ජාතික මට්ටමට ගෙන යාමට ඇය සමත් වූයේ 1960 වසරේදී ඇය රඟපෑ 'සන්ස් ඇන්ඩ් ලවර්ස්' චිත්‍රපටය තුළිනි. එහී ඇය රඟපෑ ක්ලාරා ඩාවෙස් ගේ චරිතය ට ඇය 1960 වසරේ ඇමරිකානු, ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම සහය නිළිය සම්මානය සඳහා නිර්දේශිත විය. බ්‍රිතාන්‍යයෙන් එම සම්මානයට නිර්දේශ වූ දෙවනි ස්කොටිශ් නිළිය ලෙස ඇය පත් විය. ඒ ස්කොටිශ් ජාතික නිළියක් වූ ඩෙබොරා කේර්ට පසුවය.
'වෙයා ඊගල්ස් ඩෙයා' චිත්‍රපටයේ නිෂ්පාදන සමාගම ලෙස සඳහන් වන්නේ 'වින්කාස්ට් ෆිල්ම් ප්‍රඩක්ෂන්' ලෙසටය. ඔවුන් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට භාර කළේ 'බ්‍රයන් ජී හටන්ට' ය. ඇත්ත වශයෙන් ම මේ බ්‍රයන් ජී හටන් යනු ඇමරිකානු නළුවෙකි. ඔහු මුලින්ම සිනමාවට පැමිණියේ 1955 වසරේදීය. ඒ 'ගුඩ් මෝනිං මිස් ඩෝව්', චිත්‍රපටයෙනි. ඔහු එහී රඟපෑවේ පාසැල් සිසුවෙකුගේ සුළු චරිතයක්ය. 1957 දී ඔහු, බර්ට් ලැන්කස්ටර්, කර්ක් ඩග්ලස් රඟපෑ 'ගන් ෆයිට් ඇට් ද ඕ.කේ.කොරල්' චිත්‍රපටයේ රඟපෑ අතර, එම වසරේම තිරගත කළ 'කාර්නිවල් රොක්' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේය.
බ්‍රයන් ජී හටන්ගේ මුල්ම අධ්‍යක්ෂණය ලෙස සටහන් වන්නේ 'වයිල්ඩ් සීඩ්' නම් චිත්‍රපටය ය. එය අඩු ඇස්තමේන්තුවකින් කළ චිත්‍රපටයක් වූ අතර, චිත්‍රපටය කළු සුදු විය. ඉන්පසු ඔහු 1966 'ද පෑඩ් ඇන්ඩ් හව් ටු යූස් ඉට්', සහ 1968 'සෝල් මැඩ්රිඩ්' නමින් චිත්‍රපට යුගලක් අධ්‍යක්ෂණය කළේය. 'වෙයා ඊගල්ස් ඩෙයා' අධ්‍යක්ෂණය කිරීමට ඔහුට ලැබුණේ ඉන් පසුවය. ඉන්පසුත් ඔහු 'කෙලිස් හීරෝස්' ' සී ඇන්ඩ් කම්පැනි' යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය.
'වෙයා ඊගල්ස් ඩෙයා' චිත්‍රපටයට නිෂ් පාදකයන් මුලින්ම ඇස්තමේන්තු කළේ ඇමරිකානු ඩොලර් මිලියන 6.2 ක මුදලකි. එහෙත් පසුව ඔවුනට එය මිලියන 7.7 දක්වා වැඩි කරන්නට සිදු විය.
රූ ගත කළ යුතු රටවල් ලෙස ඔවුන් තෝරා ගත්තේ 'ඕස්ට්‍රියාව හා ජර්මනියේ බවාරියා පෙදෙසය. හොලිවුඩ් හී 'ස්ටන්ට්මන්' කෙනෙක් ලෙස නම් දැරූ 'යකීමා කැනට්' මෙහී දෙවනි යුනිට් අධ්‍යක්ෂක ලෙස එකතු විය. චිත්‍රපටයේ බොහෝ ක්‍රියාදාම දර්ශන සිදුවුණේ ඔහුගේ අධ්‍යක්ෂණය යටතේය. බ්‍රිතාන්‍ය ස්ටන්ට්මන් කෙනෙකු වූ 'අල්ෆ් ජොයින්ට්', ව මෙම චිත්‍රපටයට සම්බන්ධ කර ගැනුණේ රිචඩ් බර්ටන් ගේ ක්‍රියාදාම දර්ශනයන් සඳහාය. විශේෂයෙන් ඔහු කරන උඩු ගුවනේ කේබල් කාර් සටන් දර්ශන සඳහාය.
'වෙයා ඊගල්ස් ඩෙයා' චිත්‍රපටයේ අනෙක් විශේෂත්වය වුයේ මෙය ඇලිස්ටෙයාර් මැක්ලින් ලියූ ප්‍රථම තිර නාටකය වීමය. ඒ අතරේම ඔහු එයින් නවකථා පොතක්ද ලිවීය. එය නම් කළේද 'වෙයා ඊගල්ස් ඩෙයා' යන නමිනි.
චිත්‍රපටය රූ ගත කිරීම් පමා කිරීමට නිෂ්පාදන කණ්ඩායමට සිදු වූයේ ඕස්ට්‍රියා හී අහිතකර කාලගුණය නිසාය. විශේෂයෙන් හිම කුණාටු මඟ හැරීමට ඔවුනට සිදු විය. දින නියමයක් නොමැතිව රූ ගත කිරීම් කල් යන නිසා, රිචඩ් බර්ටන් ගේ මත් පැන් බීමද වැඩිවිය. එලෙසම ඔහු දර්ශන තලයෙන් එක්වරම නැතිව යන අවස්ථාද තිබුණි. එසේ නැතිව ගිය පසු ඔහු දින ගණනකට පැමිණෙන්නේ නැත. ඒ දිනවල ඔහු බොහෝ විට සිටිනුයේ ඔහුගේ ක්ෂේත්‍රයේ හිත මිතුරන් මෙන්ම ලොව දැවැන්ත නළුවන් වූ පීටර් ඕ ටූල්, ට්‍රෙවෝ හොවාඩ්, රිචඩ් හැරිස් වැනි අය සමඟය
චිත්‍රපටයේ ගුවනින් යන කේබල් කාර් එකකින් බිමට පනින දර්ශනයක් තිබුණි. එය කළ යුතුව තිබුණේ රිචඩ් බර්ටන්ටය. ඔහුට එය කිරීමට නොහැකි වූයේ ඔහු මත් පැන් බී බිම ඇදගෙන වැටී තුවාල වූ නිසාය. චිත්‍රපටයේ මේජර් වොන් හැපන් චරිතය රඟපාන ඩෙරන් නෙස්බිට් නම් නළුවා කිවේ රිචඩ් බර්ටන් දවසකට වොඩ්කා බෝතල් 4 ක් බොන බවය. ඔහු බිම වැටී අතක් පයක් නොකැඩී සිටින එක ගැන පුදුම විය යුතු බවකි ඔහු කීවේ. මේ හේතුවෙන් ගුවනේ සිට කේබල් කාර් රථයෙන් බිමට පනින දර්ශනය රිචඩ් බර්ටන් වෙනුවෙන් කරන්නට සිදුවූයේ 'ස්ටන්ට්මන්' ඇල්ෆ් ජොයින්ට් ටය. එම පැනීමේදී, ඔහුගේ මුහුණ බිම වැදී, ඉදිරිපස දත් තුනක් කැඩී ගියේය.
චිත්‍රපටයේ රූ ගත කිරීම් අතරතුර, නිතරම එම ස්ථානයට ප්‍රධාන නළු නිළි දෙපොළක් පැමිණියහ. ඒ එලිසබත් ටේලර් සහ රොබට් ෂෝ ය. එලිසබත් එවකට තම සැමියා වී සිටි රිචඩ් බර්ටන්ගේ රඟපෑම් බැලීමට පැමිණි අතර, රොබට් ෂෝ තම බිරිඳ වූ එම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය මේරි යූරි රඟපාන අයුරු බැලීමට පැමිණියේය.
දෙවැනි මහා ලෝක යුද්ධය පෙරදැරි කරගෙන හොලිවුඩ් තුළින් යුදමය චිත්‍රපට ගණනාවක්ම බිහි විය. බොහෝ ඒවා ඉතාමත් විශිෂ්ට කෘතිය. 'වෙයා ඊගල්ස් ඩෙයා'ද එවන් විශිෂ්ටතම අපූරු නිර්මාණයකි. එය වඩාත් ආකර්ෂණීය වූයේ රිචඩ් බර්ටන් හා ක්ලින්ට් ඊස්ට්වුඩ්ගේ සම්බන්ධතාවයයි. රිචඩ් බර්ටන් රොමැන්ටික් නළුවෙකු ලෙසත්, ක්ලින්ට් ඊස්ට්වුඩ් ස්පැගෙති වෙස්ටර්න් නැත්නම් 'කව් බෝයි' නළුවකු ලෙසත් ජනප්‍රියව තිබුණද, යුදමය පසුබිමක, ත්‍රාසය, සමඟින් 'ඇක්ෂන් හීරෝස්' දෙදෙනෙකු ලෙස එක්ව රඟපෑම එකල ප්‍රේක්ෂකයන් ගේ අමානන්දයට හේතු විය.
1943-44 වසරේ ශීත සෘතුවේදී ජර්මානු හමුදාව විසින් ඇමරිකානු හමුදා බ්‍රිගේඩියර් ජෙනරාල් ජෝර්ජ් කාර්නබීව පැහැර ගත්තේ ඔහු යුද්ධයේ බටහිර කලාපයේ ප්‍රධාන සැලසුම් කරු වූ නිසාත් ,ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහාත්ය. ඔවුන් ඔහුව කඳු මුදුනක තිබූ කැලෑවක සිර කෙරූ අතර, එතනට යා හැක්කේ කේබල් කාර් වලින් පමණක් විය.
මේජර් ජෝන් ස්මිත්ගේ 'මිෂන්' එක වූයේ ජෙනරාල් ජෝර්ජ් කාර්නබීව ජර්මානු හමුදාව සඟවා සිටි තැනින් බේරා ගැනීමය. එයට ඔහු ලුතිනන් මොරිස් ෂාෆර් එකතු කර ගත් අතර, එයට විශේෂ කොමාන්ඩෝ බලකායේ 7 දෙනෙක්ද ඇතුළත් විය. ඔවුන්ගේ කාර්ය අවශ්‍ය තාවය වූයේ හැකි ඉක්මනින් ජෝර්ජ් කානබීව සොයාගෙන ඔහුව රැගෙන ඒමට වඩා ජර්මානුවන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට ප්‍රථම ඔහුව එතැනින් ඉවත් කර ගැන්මය. යම් හෙයකින් ඔවුනගේ පමාවෙන් ඔහුගෙන් ජර්මානුවෝ ඔහුට දස වධ දී ප්‍රශ්න කළහොත්, සියලු යුද රහස්, සැලසුම් පිටතට යා හැකිවීම වැළැක්විය නොහැකි අතර, එසේ වුවහොත් බ්‍රිතාන්‍ය යුද හමුදාව යුද්ධයෙන් පරාජය වීමට එය ප්‍රබල හේතුවක් වනු ඇත.
මේ හෙයින්, මේජර් ජෝන් ස්මිත්, හා ලුතිනන් මොරිස් ෂාෆර් ඇතුළු කණ්ඩායම ජෝර්ජ් කානබීව සඟවා සිටි කඳු මුදුන කිට්ටු තැනකට යුධ හමුදා අහස් යානයෙන් ගුවනේ සිටම රහසින් බස්වා දැමීය. මේජර් ජෝන් කෙළින්ම ගියේ ඔවුනගේ නියෝජිතවරිය වූ මේරි එලිසන් සොයා ය.
මෙම මෙහෙයුම ආරම්භ කරන අවස්ථාවේම කණ්ඩායමේ දෙදෙනෙකු අබිරහස් ලෙස මිය යයි. මේජර් ස්මිත් මෙහෙයුම දිගටම කර ගිය අතර, ලුතිනන් ෂාෆර් ව ඔහුගේ එම මෙහෙයුම් සහයකයා ලෙස ළඟින්ම තබා ගනී. ඒ අතර ඔවුන් බ්‍රිතාන්‍ය හමුදාව සමඟ ගුවන් විදුලිය හරහා යාවත්කාලින කරන්නට විය. මේ සියලු දෙයට මේරී, මේජර් ස්මිත්ට සහය දෙන්නේ ස්මිත් හා මේරි අතර ආදර සම්බන්ධතාවයක් ඇතිවී තිබූ නිසාය.
සාමාන්‍යයෙන් ඇලිස්ටෙයාර් මැක්ලීන් ගේ නවකථා ඉතාමත් පැටලිලි සහගතය. විශේෂයෙන් ම ඔහුගේ යුද්ධය පසුබිම් කර ගත් කථා ඉතාමත් අවධානයෙන් කියවිය යුතු ය. ඔහු චරිත මවන්නෙත්, එම චරිත පටලවන්නේත් ඉතාම සූක්ෂම අන්දමටය. පාඨකයා ඉතාමත් කල්පනාකාරිව එය කියවිය යුතුය. ඉන්පසු එම පටලැවිල්ල පාඨකයා විසින්ම ලිහා ගත යුතුය. ඔහුගේ පොත් අතරින්, 'අයිස් ස්ටේෂන් සීබ්‍රා' , 'ෆියර් ඉස් ද කී', 'ගන්ස් ඔෆ් නැවරෝන්', 'ද ඩාක් කෘසේඩ්' ' ලෝරන්ස් ඔෆ් ඇරේබියා',
'පපට් ඔන් අ චේන්', තුළද ඒ පැටලැවිල්ල තිබුණි. ඒ ඇසුරින් නිර්මාණය කෙරූ චිත්‍රපට ද, ක්‍රියාදාමයන් නොඅඩුව තිබුණද, අර පටලැවිල්ල එලෙසම විය.
'වෙයා ඊගල්ස් ඩෙයා' චිත්‍රපටය තුළින්ද ඒ පැටලැවිල්ල එයාකාරයෙන්ම තිබුණේ ජෙනරාල් ජෝන් කැනබී හරහාය. බ්‍රිතාන්‍ය හමුදාව කැනබිව සොයාගෙන එන බව සහ සුද්දෙන්ම දැන ගත් ජර්මානු හමුදාවේ සැලසුම් කරුවෝ ජොන් කැනබිව සඟවා තබා, ඔහු මෙන් වෙනත් කෙනෙක්ව ඔහුගේ ස්වරූපයෙන්ම ඉදිරිපත් කළහ. එයට ඔවුන් යොදවා ගත්තේ එකල සිනමා හා රූපවාහිනියේ රඟපෑ නළුවෙකි. එය බ්‍රිතාන්‍ය හමුදා මේජර් ස්මිත් දැනගත්තේ මේරි ගෙනි. මේ ඇලිස්ටෙයාර් මැක්ලීන් පටලවන ආකාරය ය
කෙසේ හෝ මේජර් ස්මිත් හා ලුයිතන් ෂාෆර්, කණ්ඩායමේ සෙසු අය වූ තෝමස්, බර්ක්ලි, හා ක්‍රිස්ටියන්සන්, දෙකට බෙදී මෙහෙයුමට සම්බන්ධ විය. නමුත් මේජර් ස්මිත් හා ලුයිතන් ෂාෆර් පමණක් නොව, තෝමස් ගේ කණ්ඩායමද, ජර්මන් හමුදාව විසින් වට කර ගන්නා ලදී.
ඇලිස්ටෙයාර් මැක්ලීන් තම තිරනාටකය තුළ පෙන්වූ විශිෂ්ට හරඹය, ප්‍රේක්ෂකයන් දකින්නේ මෙතැන් සිටය. ඉතාමත් උපක්‍රමශීලිව මේජර් ස්මිත් හා ලුයිතන් ෂාෆර් ඇතුළු කණ්ඩායම ජර්මන් හමුදාවෙන් බේරෙන්නේ ඔවුන්ව අල්ලා ගත් අයව මරා දමා, සැපයුම් ගබඩාවක් පුපුරවා හැරීමෙනි. ඔවුන් එය පුපුරුවා හැරීමෙන් පලායාමේ මාර්ගයක් සුදානම් කර ගනී.
'වෙයා ඊගල්ස් ඩෙයාර්' චිත්‍රපටයේ ත්‍රාස ජනක, එමෙන්ම වඩාත් ආකර්ෂණය වන දර්ශන පෙළ පටන් ගන්නේ එතැන් සිටය. නියම ජෙනරාල් ජෝර්ජ් කාර්නබීව බේරා ගැන්ම සඳහා මෙහෙයුම දියත් වන්නේ එතැන් සිටය. ඔවුන් කේබල් කාර් රථයේ වහලය මත නැඟී ජෙනරාල් වරයා සඟවා සිටි ස්ථානයට බසින්නේ මේරි විසින් පහත් කරන ලද කඹයක් භාවිත කරමිනි.
එතැනින් පසු චිත්‍රපටය ගලා යනුයේ කථාන්තර ශෛලයෙන් නොවේ. අහඹු සිදුවීම් තුළින්ය. ජෙනරාල්ව ගලවා ගන්නා මෙහෙයුමට ඔවුන් හා සම්බන්ධ වී සිටින ඔවුනගේ කණ්ඩායම ඇතුළතම ජර්මානුවන් සමඟ රහසින් එකතු වී ඔත්තු දෙන ද්‍රෝහියෙක් සිටින බව ඔවුනට දැණුනි. එලෙසම ජෙනරාල්ව බේරා ගැන්මේදී බ්‍රිතාන්‍ය කණ්ඩායමට ජර්මානුවන් සෑහෙන ප්‍රමාණයක් මරා දැමීමට සිදුවූ අතර, එම වෙඩි තබා මරණයට පත් කෙරුණේ බොහෝ විට මේජර් ස්මිත් අතිනි.
අවසානයේදී ඔවුන් ඔවුනගේ අරමුණ කරා පැමිණ ජෙනරාල් ජෝර්ජ් කාර්නබීව බේරා ගත්තේ ඔහු ජර්මානුවන් කළ ප්‍රශ්නවලට උත්තර නොදීමය.
බොහෝ ජර්මානුවන් ව මරා දමා සුපිරි වීරයා වූයේ මේජර් ස්මිත් හෙවත් රිචඩ් බර්ටන්ය. එලිසබත් ටේලර් ගේ දරු දෙදෙනා, බර්ටන් ට කියූ දෙයක් ඔහුට සිහිපත් විය. ඒ ඔහුට වෙන කා අතින් හෝ නොමැරි, ඔහු විසින්ම අන් විරුද්ධවාදීන් ව මරා සුපිර් හීරෝ වන ලෙසටය.
'වෙයා ඊගල්ස් ඩෙයාර්' අවසන් වූයේ එසේ එලිසබත් ටේලර් ගේ පුත්‍රයන් කී ආකාරයටය. එනම් රිචඩ් බර්ටන් විසින් ප්‍රතිවිරුද්ධ වාදීන් ගණනවක්ම මරා දමා 'සුපර් හීරෝ' කෙනෙක් වීමෙන් ය.