වර්ෂ 2023 ක්වූ December 01 වැනිදා Friday
පාවෙන ජීවිත ගැන කියන ADRIFT

1970 දශකයේ මැද භාගයේ කොළඹ බම්බලපිටිය මැජෙස්ටික් සිනමා හලේ 'ඇඩ්‍රිෆ්ට්' නමින් චිත්‍රපටයක් තිර ගත කළේය. එවකට යොවුන් වයසට අඩු වයසක සිටි මමද එම චිත්‍රපටය නැරඹීමට පෙලඹුණේ එහිපෝස්ටරය අමුතුම කලාත්මක බවකින් ඉදිරිපත් කර තිබූ නිසාය. එහෙත් එහි අප දන්නා හඳුනන හොලිවුඩ් නළු නිළියන් නොසිටියද, මෙහි ප්‍රධාන නළුවා ඔමාර් ශෙරිෆ් ගේ හැඩ රුවට සමාන බවක් දුටුමි. චිත්‍රපටය නැරඹීමට එයද එක් හේතුවක් වූ අතර, චිත්‍රපටය වෙනුවෙන් මැජෙස්ටික් සිනමා ශාලාවේ තබා ඇති 'ෆොටෝ කාඩ්ස්' දෙස බලන විටද, චිත්‍රපටය නැරඹීමේ උනන්දුව තව තවත් දැඩි විය.
'පාවෙන'යන තේරුමෙන් යුක්ත වූ ඉංග්‍රිසියෙන් 'ඇඩ්‍රිෆ්ට්' කියා මෙම චිත්‍රපටය හැඳීන්වූවද, මෙය ඇත්තෙන්ම චෙකොස්ලොවැකියා චිත්‍රපටයකි. මෙහි නිශ්පාදක, අධ්‍යක්ෂක , නළු නිළි කාර්මීක ශිල්පීන් සියල්ලෝම චෙකොස්ලොවැකියානුවන්ය. භාෂාවද චෙක් භාෂාවය. චිත්‍රපටයේ චෙකොස්ලොවැකියා නම, එනම් 'ඔරිජිනල්' නාමය වූයේ 'තෞහා ස්වානා අනාදාය'.
මෙය චෙක් චිත්‍රපටයක් වූවද, ලෝකය, විශේෂයෙන් හොලිවුඩ් හී අවධානයට පාත්‍ර වූයේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක හා තිර රචක 'ජාන් කාදර්' නිසාය.
ජාන් කාදර් 1918 වසරේදී හංගේරියාවේ බඩපෙස්ට් නගරයේ ඉපදුණු අතර, ඔහු තම සිනමා අධ්‍යක්ෂණය ආරම්භ කළේ 1945 වසර තුළදීය. ඒ 2 වන ලෝක මහා යුද්ධය පිළිබඳව නිර්මාණය කළ 'ලයිෆ් ඊස් රයිසින්ග් ෆ්‍රොම් ද රුයින්ස්'. නම් වූ වාර්තා චිත්‍රපටයෙනි. ඔහුගේ ප්‍රථම වෘත්තාන්ත අධ්‍යක්ෂණය වූයේ 1950 නිර්මාණය වූ 'කට්කා' චිත්‍රපටය ය
ඔහුව ජාත්‍යන්තර ට පාත්‍රවූයේ 1965 වසරේ තිරගත කළ ' ද ෂොප් ඔන් මේන් ස්ට්‍රීට්' චිත්‍රපටයෙනි. එම වසරේ ඇමරිකානු ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම විදේශීය චිත්‍රපටයට හිමි සම්මානය හිමි වූයේ , ජාන් කාදර් අධ්‍යක්ෂණය කළ මෙම 'ද ෂොප් ඔන් මේන් ස්ට්‍රීට්' විත්‍රපටය ය.
ජාන් කාදර් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඔහුගේ සම අධ්‍යක්ෂක එල්මර් ක්ලොස් සමඟය. එතැන් පටන් ඔහු අධ්‍යක්ෂණය කරන හැම චිත්‍රපටයක්ම දෙදෙනා එක්ව අධ්‍යක්ෂණය කළහ. පුරා අවුරුදු 17 ක්ම ඔවුන් දෙදෙනා එක්ව චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අතර පසු කාලෙක ඔවුන් ඇමරිකාවේ පදිංචි විය. ''ඇඩ්‍රිෆ්ට්' ද ඔවුන් දෙදෙනා එක්ව තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් විය.
1921 ඔක්තෝබර් මාසයේ නැගනහිර යුරෝපයේ සර්බියන් රටේ බෙල්ග්‍රේඩ් නගරයේ ඉපදුණු 'රැඩෝමියර් මාර්කෝවික්' මුලින්ම කැපී පෙනෙන ප්‍රධාන චරිතයක් රඟපෑවේ 1950 වසරේ තිරගත වුණු 'ද මැජික් ස්වෝඩ්', නම් යුගොස්ලෙවියානු චිත්‍රපටයකය. යුගොස්ලෙවියා, සර්බියන් වැනි
නැගෙනහිර යුරෝපා රටවල නළුවන්ට හොලිවුඩයේ තැනක් ගැනීම තරමක් අසීරු වූ කරුණකි. අන් අතට එවන් රටවල නළුවන් හොලිවුඩ් හී ජනප්‍රිය වීමටද එතරම් ඇල්මක් නොදක්වයි. රැඩෝමියර් මාර්කොවික් හෙවත් රාඩේ මාර්කොවික් ද එවන් නළුවෙකු විය. ඔහුට නැගෙනහිර යුරෝපයේ ලද ජනප්‍රියත්වය උවමනාවටත් වැඩිය. එහෙයින් ඔහු හොලිවුඩ් ගොස් නළුවෙකු වීමට නොසිතුවද, ඔහු රඟපෑ 'තෞහා සවානා අනාදා' - 'ඇඩ්රිෆ්ට්' වී හොලිවුඩ් පුරවරයේ පමණක් නොව, යුරෝපය, බ්‍රිතාන්‍ය , කැනඩාව මෙන්ම ආසියාව තුළද ප්‍රදර්ශනය විය. රාඩේ මාර්කොවික් ගැන බොහෝ සිනමා ප්‍රේක්ෂකයන් අවධානය යොමු කළේ 'ඇඩ්‍රිෆ්ට්' තුළිනි.
'පෝලා ප්‍රිට්චෙට්' ඇමරිකාවේ ෆොලොරිඩා ප්‍රාන්තයේ මියාමි නගරයේ ඉපදුණේ 1947 වසරේ අප්‍රේල් මාසයේය.
ඇය සිනමාවට පැමිණියේ කොන්රඩ් රූක්ස් 1966 දී අධ්‍යක්ෂණය කළ 'චපාකුවා' නම් චිත්‍රපටයේ සහයක චරිතයකිනි. ඇය රඟපෑමට වඩා උනන්දු වූයේ මෝස්තර නිරූපණයටය. 'කොස්මොපොලිටන්' නම් සඟරාවේ කීප විටක්ම ඇය මුල් පිටුව සැරසුවාය. 'තෞහා සවානා අනාදා' හී අනාදා වූයේ ඇයය. චිත්‍රපටයේ මුළු සාරයම තිබුණේ ඇයගේ රූමත් කම මතය. වැඩි කථාවක් නැති හැඟීම් වලින් පමණක් ඉදිරිපත් කළ යුතු එම චරිතය පුරාවටම ඇයගේ මුහුණින් දිස් වූයේ අනුරාගීක ශෘංගාරත්වයක්ය. ඇය චිත්‍රපටයේ විවාහක ජානොස්ව පමණක් නොව,එය නරඹන ප්‍රේක්ෂකයන් ව පවා අවුස්සන්නේ ඒ ශෘංගාරාත්මක මුහුණෙන්ය.
'මිලිනා ඩ්‍රාවික් ',1940 , ඔක්තෝබර් මාසයේ යුගොස්ලෙවියාවේ බෙල්ග්‍රේඩ් නගරයේ ඉපදුණාය. ඇය 1951 සිට යුගොස්ලෙවියානු චිත්‍රපටවල රඟපෑ නිළියකි. 'ඇඩ්‍රිෆ්ට්'හී ජානොස් ගේ බිරිඳ වූ 'සුස්කා' ගේ චරිතයට පණ පෙවුයේ මේ මිලිනා ඩ්‍රාවික්ය.
1997 වසරේ නොවැම්බර් මාසයේ 7 වන දින එච්.ඩී.ප්‍රේමරත්න විසින් අධ්‍යක්ෂණය කළ 'වීසි දැල' ලංකාවේ සිනමාහල් රැසක තිරගත විය. එහී ගුණපාල නම් මැදි වයසේ වැව් මාළු අල්ලා විකුණන්නෙකුගේ ජීවිතය පිළිබඳව ගෙතුණු කථාවකි එහී අන්තර්ගත වූයේ.
ගුණපාල දඩබ්බර මිනිසෙකි. ඔහු ඔහුගේ බිරිඳ වූ එමිලින් සිටියදීම තම ඥාති දියණියක් වූ සිරිමා නම් යොවුන් තරුණියෙක්ව බලහත්කාරයෙන්ම තමන්ගේ අඹුව කර ගනී. ඩබ්ලිව්.ජයසිරි, 'ගුණපාල' ලෙසත්, ග්‍රේස් ආරියවිමල් 'එමිලින්' ලෙසත්, අනූෂා සොනාලි, 'සිරිමා' ලෙසත් රඟපෑ මෙම 'විසි දැල' චිත්‍රපටයත්, 'ඇඩ්‍රිෆ්ට්' චිත්‍රපටයත් අතර ඇති සමානකම් බොහෝ විය.
එච්.ඩී.ප්‍රේමරත්න, ජැක්සන් ඇන්තනී හා සරත් චන්ද්‍රසිරි සමඟ එකතු වී 'විසි දැල' චිත්‍රපටයේ තිරනාටකය ලීවද, ඔවුන් මෙහී 'සිනොප්සි' ය නම් ගෙන ඇත්තේ 'ඇඩ්‍රිෆ්ට්' තුළින්ය. එය වීසිදැල වෙනුවෙන්, පරිසරයේ සිටම තෝරා ගෙන ඇති බවක් පෙනෙන්නට තිබුණි.
ජානොස්, ගුණපාලටද, සුස්කා, එමලින්ටද, අනාදා , සිරිමාටද, ප්‍රේමරත්න විසින් කිසිදු තර්කයකින් තොරවම තෝරා, හරවා තිබුණි. 'ඇඩ්‍රිෆ්ට්' නැරඹූ කෙනෙක් පසු කලෙක 'විසි දැල' නැරඹුවේ නම් අනිවාරයෙන්ම එකී ප්‍රේක්ෂකයා ට 'ඇඩ්‍රිෆ්ට්' සිහිවීම වැළැක්විය නොහැකිය. 'ඇඩ්‍රිෆ්ට්' චිත්‍රපටය ඇරඹෙන්නේ ජානොස් තම පුත්‍රයා සමඟ පාරුවක් හබල් ගසමින් ගඟ දිගේ ගොස් කුරුල්ලන් මරන්නට යන දර්ශනයකිනි. ජානොස් තම පුත්‍රයාට තුවක්කුවෙන් ඈත අහසේ පියාඹන කුරුල්ලන්ට වෙඩි තිබීමට ඉගැන්වුවද, ඔහුගේ පුත්‍රයා කුරුල්ලන්ට වෙඩි තැබීමට කැමති වන්නේ නැත. පසුව ජානොස් අහසේ එසේ ඉඟිළෙන කුරුල්ලෙකුට වෙඩි තබා මරා පෙන්වයි.
ඉන්පසු ඔහු නිවසට එන විට නිවසේ ළිදෙන් 'අනාදා' විසින් වතුර ගන්නා දර්ශනයක් පෙන්වයි. ජානොස් ඇය ළඟට ගොස් රහසින් කුමක් හෝ කියා ඉන් පසු තම ගේ ඇතුළට යයි. එහිදී ඔහුගේ බිරිඳ සුස්කා ඇඳේ නිදා සිටින අතර, ඇය අසනීපයන් පෙළෙන්නියක් බව වැටහේ.
කවුද අර ළිද ළඟ සිටි අතීශය සුන්දර යොවුන් තරුණිය ?.. අනාදා නමින් හදුන්වා දෙන ඇය ඇත්තටම කවුද? මේ මිනිසුන් ළඟ ඇය නැවතී සිටින්නේ ඇයි යන ප්‍රශ්න මාලාවක්ම ඒ වන විට ප්‍රේක්ෂකයන් ගේ මනසේ රැඳෙන අතර, ඔවුන් ඒවාට පිළිතුරු සෙවීමට වෙහෙසෙයි.
'ඇඩ්‍රිෆ්ට්' චිත්‍රපටයට තිබුණේ එක දිගටම ගලා යන කථාවක් නොවේ. වර්තමානය, අතීතය මිශ්‍රවී යන කථාවකි එහි තිබුණේ. අනාදාව,මේ ගංගාවකින් වට වී තිබුණු නිවසට හමුවූයේ කෙසේද යනු දැනගන්නේ චිත්‍රපටය පටන් ගෙන විනාඩි 15ක් පමණ පසුවූ පසුවය.
'ඇඩ්‍රිෆ්ට්' හී කථානායක ජානොස් වයස 50-55 ක පමණ මැදිවියේ එහෙත් ශක්තිමත් පුද්ගලයෙක් විය. ඔහුට, අවුරුද 15ක පමණ පුතෙක් සිටියි. ජානොස්ගේ ප්‍රමුඛ රැකියාව මාළු ඇල්ලීමය. එය ඔහු තරමක පරිමාණයකින් කරන බවක් පෙනේ. එලෙසම තව තවත් සතුන් ඇති කරන බවක් ද පෙනේ, එයට ඌරන්, කුකුළන්, තාරාවන් වැනි සතුන්. අයිති වේ. ඔහු නිවස හා සත්ව ගොවිපළ තිබුණේ ගඟ ළඟ තිබූ කැළෑවක් වැනි ප්‍රදේශයකය. එම පෙදෙස තුළ ඔවුන් හැරෙන්නට වෙන කිසිවෙක් වාසය කරන බවක් නොපෙණේ. ජානොස් ගේ නිවස ළී වලින් සාදා ඇති බවක් පෙනේ. එහී පදිංචි වී සිටින්නේ ජානොස්, ඔහුගේ බිරිඳ හා ඔවුන්ගේ පුත්‍රයා පීටර් ය. ජානොස්ගෙ බිරිඳගේ පියාත් ඔවුන් සමඟ සිටියද, ඔහු සිටින්නේ වෙනත් තැනක බවය හැඟෙන්නේ. එහෙත් ඔහු කැම ගන්නා අවස්ථාවලදී මොවුන් සමඟ එක්වෙයි. එම නිවසට මිටර් 10 ක් හෝ 20ක දුරින් තවත් කුඩා ලී නිවසක් ඇත. අනාදා පදිංචි වී සිටින්නේ මේ නිවසේය. ඇයද කෑම ගන්නා අවස්ථාවේදී ජානොස්ගේ නිවසට පැමිණ, ඔවුන් සියල්ලන් හා එක්ව කෑම ගනී.
එසේ නම් මේ 'අනාදා' කව්ද?
මුළු චිත්‍රපටය පුරාවටම සොයා ගත නොහැකි වූ චරිතයද අනාදා ය... 'ඇඩ්‍රිෆ්ට්' හී තිබෙන විශේෂත්වයද එයමය. අනාදා ජානොස්ගේ තැනට පැමිණෙන්නේ ,නිරුවතින් ගඟ දිගේ පාවෙමින්ය. ඇත්ත වශයෙන්ම ඇය ඔහුගේ නිවසටම පාවී පැමිණියේම නැත. ගඟේ මළ මිනියක් පාවී එන බවක් ජානොස්ට කෑ ගසා කීවේ ඔහුගේ මාමණ්ඩිය වු මයිකල්ය. ජානොස් වහා තම පාරුවෙන් ගඟ දිගේ හබල් ගා ගොස් එම මළ මිනිය ගෙන ආවේය. ජානොස් ගේ බිරිඳ සුස්කා ඇයව පරික්ෂා කර බලන විට, ඇයගේ ප්‍රාණය තිබෙන බව දුටුවාය. සුස්කා වහා අනාදාට ප්‍රථමාධාර දුන් පසු ඇය ප්‍රකෘති තත්වයට පත් විය.
එතැන් සිට ඇය ජානොස් ගේ නිවස අද්දර තිබූ කුඩා ගෙය තුළ පදිංචි වූ අතර, ජානොස්ගේ සත්ව ගොවිපොළේ වැඩ කරන්නට විය. ඒ වෙනුවෙන් ඔහු ඇයට කෑම හා කිසියම් දීමනාවක් ගෙවන්නට වූවද, ඇය මෙහී සිටිනවාට ඔහු කැමැත්තක් දැක්වුයේ නැත. එහෙයින් ඔහු තම බිරිඳ සුස්කා ට කීවේ ඇයට ආ තැනකටම යන ලෙසටය. එහෙත් ජානොස්ගේ බිරිඳ සුස්කා ඇයව යැවීමට කිසිසේත් කැමති නොවීය. මේ පාළු කැලෑ බිමේ ඇය වැන්නක් සිටීම සුස්කාට ප්‍රිය ජනක වූ හෙයින් ඇය අනාදාට තම නිවසේ දිගටම සිටින ලෙස ඉල්ලා සිටියාය.
අනාදා පැමිණියේ කොහේ සිටද? ඇයගේ නිරුවත් සිරුර ගඟේ පාවි ආවේ කෙසේද ඇය නිරුවතින් ගඟට පැන්නාද,? නැත්නම් ඇයව කිසියම් කෙනෙකු දූෂණය කර ගඟට දැම්මාද,? ඇත්තටම ඇය කවුද ? යන ප්‍රශ්න, ජානොස්ගේ සිත තුළ කැකෑරෙමින් තිබුණි. ඇය මේ කිසි දෙයක් ඔවුන්ට කීවේ නැත. සුස්කා ට නම්, ඇය කොහේ සිට ආවාද, ඇය කවුද යන ප්‍රශ්න අදාළ නොවීය. ඇයට අවශ්‍ය වූයේ ඇයගේ පාළුවට, අනාදා ඇය සමඟ සිටීම පමණී.
දිනක් ජානොස් ගේ බිරිඳ සුස්කා එකතු කර ගෙන සිටි මුදල් විශාල ප්‍රමාණයක් අස්ථාන ගත විය. සුස්කා හා ජානොස් කෙතරම් වේලාවක් සෙව්වද, ඔවුන්ට එය ලැබුණේ නැත. ජානොස්ට එක් අයෙක් සැකය. ඒ අනාදාවය. ඔහු සුස්කාට බැණ වැදුණේ ඇය විසින් අනාදාව යන තැනකට යෑමට ඉඩ නොදී මෙහෙ තබා ගෙන සිටිම ගැනය. ඔහු අනාදා ඇය සිටින කුඩා නිවසේ නැති අවස්ථාවක් බලා එම නිවසට ගොස් ඇයගේ බඩු මට්ටු සියල්ල ඇද දමා ඒ නැතිවුණු සල්ලි සොයන්නට විය. හදිස්සියේම අනාදා පැමිණිය. ඔහුට කට උත්තර නැති විය. නැතිවූ මුදල් පලහිලව්වට, ජානොස් තමාව සැක කරන බව අනාදාට වැටහුණි. එවිටම සුස්කා එළියට පැමිණ කෑ ගසා කීවෙි තම අල්මාරියේ කොනක තිබී තම මුදල් හමු වූ බවය. අනාදාව මේ පිළිබඳව සැක කිරීමෙන් ජානොස් ට අනාදා ඉදිරියේ ඇතිවූ ලැජ්ජාව දරා ගැන්මට අපහසු විය. සියල්ලටම වඩා ඔහුට ඉවසිය නොහැකි වූයේ , සුස්කා තම මුදල් ලැබූ බව කෑ ගසා කියන අවස්ථාවේ අනාදා ජානොස් දෙස බලා පෑ සමච්චල් හිනාවය.
විටෙක අනාදා නිරුවතින් ගඟේ දිය නාන අතර, ඇය කිසිදු චකිතයකින් තොරව නිරුවතින් ජානොස් ව පසු කර ගෙන ගොස් ගඟට පැන පිහිනයි. අනාදාගේ අතීශය සුන්දර වූ එමෙන්ම, රාගික වූ ඒ නිරුවත් සිරුර බදාගන්නට ජානොස්ට සිතුණේ වරක් දෙවරක් නොව. මෙම සිතුවිලි තව දුරටත් ව්‍යාප්ත වුවහොත් විශාල අකරතැබ්බයක් සිදුවන බවක් ජානොස්ට සිතුණු හෙයින් ඇයට මෙම දූපතින් පිටත්ව යාමට කිව යුතුමැයි ඔහු තීරණය කළේය.
දිනක් ජානොස්, අනාදා වැඩ කරමින් සිටි තැනට පැමිණ, ඇය සමඟ කථා කිරීමට අවශ්‍ය කියා ඇයව ගඟ කෙළවරට රැගෙන ගියාය. ඒ යන අතරේද ඔහු ඇයට කියන්නට උවමනා දෑ සිතින් සැලසුම් කළේය. එහී අන්තර්ගතය වූයේ ඇයට මෙහෙ නොසිට යන දේවාලයකට යන ලෙසය.
ගඟ කෙළවරට ගිය පසු අනාදා ජානොස්ගේ දෙතොල් සිප ගතී. ඉන්පසු දෙදෙනා දෙදෙනාට තුරුළු වී දිගු හාදුවකට අවතීර්ණ විය.
ජානොස් , ඇයට කියන්නට උවමනා වූ දෙය ගිල ගතී. එය කිසි දිනෙයක ඔහු ඇයට කීවේ නැත.
තවත් දිනයක ඇය ඔහුට රහසින් කීවේ එදින රාත්‍රියට, ඇයගේ යහනට එන ලෙසය.
ඒ් රාත්‍රිය පුරාවටම අනාදා හා ජානොස් දිගු ලිංගීක ක්‍රියාවලියකට අවතීර්ණ විය. ඔවුන් දෙදෙනාම නිරුවතින් එනිනෙකාගේ සිරුරු ස්පර්ශ කරමින් සිටින විට ඇය ඔහුට කීවේ පසු දින උදයේම ඇය මෙම ගොවිපළෙන් ඉවත් වී යන බවකි. එලෙසම ඇය ඔහුගෙන් පොරොන්දුවක්ද ගතී. ඒ, ඇය ගිය පසු යළි කිසිදිනයක ඇයව නොසොයන ලෙසටය.
එහෙත් ඇය එසේ සැලසුම් කර ගත්තද, ඇයට යෑමට හැකිවූයේ නැත. ඒ සුස්කා දරුණු අන්දමට අසනීප වූ හෙයිනි. අනාදා ඇය ළඟ නැවතී තම සොහොයුරියකට මෙන් සාත්තු කළාය. ඒ අතරේදීද, ජානොස්, අනාදා හා ලිංගීකව එක්වන්නට උත්සහා ගත්තද ඇය ඔහුට කීවේ, මින් පසු ඒ සම්බන්ධව ඇයට කරදර කරන්නට එපා කියාය.
තම බිරිඳ සුස්කා මෙම රෝගයෙන් මිය යනු ඇතැයි ජානොස් ට සිතුණි. එසේ නොවුණහොත්, ඇයට බෙහෙත් වැඩිපුර දී හෝ මරා දමන්නට තරම් ජානොස්ට සිත් පහළ වූයේ අනාදාව සදහටම අයිති කර ගැන්මට සිතාය. ඒ සිතුවිල්ල දැඩිව ඔහුට පැමිණීයේ එදා ඇය හා ලිංගීකව හැසුරුණු පසුවය.
දොස්තර, නිවසට පැමිණ සුස්කා ව පරික්ෂා කර පවසන්නේ ඇයට ඉතාමත් දුර්ලභ ගණයේ රෝගයක් වැලඳී ඇති බවත්, එය සුව කර ගත හැකිමුත්, එයට විශාල වියදමක් දැරිය යුතු බවකි. දොස්තර කිව් ආකාරයේ විශාල මුදලක් ජානොස් සතු නොවිය. එහෙත් ඔහු තමා ළඟ තිබූ රත්‍රන් අඩු මිලට විකුණා ඇයගේ බෙහෙත් ගෙන ආවේය. දොස්තර කි ලෙසට, එම බෙහෙත් විසට හුරුය. නියමිත ප්‍රමාණයට දශමයක් හෝ වැඩි ප්‍රමාණයක් ගත හොත්, නොඑසේ නම් නියමිත වෙලාවන් පසු කර ගත හොත් එය විස වීමට හැකිය. උදේ 7 ට එක් ප්‍රමාණයක් ගත් විට,අනෙක් ප්‍රමාණය සවස 7ට ගත යුතුය. ජානොස් එයද සිතට ගතී. අහම්බයකින් බෙහෙත් දශමයක් වැඩි විය. නොඑසේ නම් 7ට දිය යුතු බෙහෙත අමතක වීමකින් 7.15 ට දීමට සිදුවේ. ඒ දෙකේම ප්‍රතිඵලය ඇයගේ මරණයයි.
ජානේස් අනාදාව සෙවීය. එහෙත් ඇය පෙනෙන්ට නොසිටියාය. සෙවූ හැම තැනකම අනාදා නැත. ඇය යළි ගඟට පැන්නාද? නොඑසේ නම් ඇය පෙර දින කී ලෙස යන්නටම ගියාද?. එසේත් නැත්නම් ඇත්තටම අනාදා යනු 'මායාවක්'ද?.
චිත්‍රපටය නිම වනුයේ ජානොස් මේ සියල්ල නිරාකරණය කර ගැන්මට එළියේ සිට තම නිවස දෙසට යනවිට නිවස ටිකෙන් ටික පිටු පසට යෑමය. ඔහු තරමක් වේගයෙන් යන විට, එයට සාපේක්ෂව නිවසද ඒ වේගයෙන්ම පිටු පසට යන්නට විය. අවසානයේ ඔහු වේගයෙන් නිවස දෙසට දිව එන්නට වූ අතර, නිවසද ඒ සා වේගයෙන් පස්සට යන්නට විය. එසේ පස්සට ඉමහත් වේගයෙන් ඇදෙන නිවස තුළ තම බිරිඳ සුස්කා හා තම ලිංගික සහකාරිය අනාදා සිටිනවා නොවේදැයි , ජානොස් ට සිහිවූ නිසා දෝ ඔහු තමාගේ දිවීමේ වේගය තව තවත් දැඩි කළේය.
'ඇඩ්‍රිෆ්ට්' කිසිදු දිනයක සිතින් ඈත් නොවන චිත්‍රපටය කි. එය එතරම් විශිෂ්ට ය. මුළු චිත්‍රපටයම සිනමාත්මක බවින් ඉහළම තලයක විය. අන් අතකට රඟපෑම්, ඉතාමත් උසස් විය. විශේෂයෙන් ජානොස් ලෙස රඟපෑ රාඩේ මාර්කොවික් ගේ සුපිරි රංගනය මුළු චිත්‍රපටය පුරාවටම විහිදී, පැතිරි ගොස් තිබුණි. සංගීතය හා කැමරා අධ්‍යක්ෂණය ගැන වෙනම ලිවිය යුතුය.
'ඇඩ්‍රිෆ්ට්' නොබැලු අය, යූ ටියුබ් සිසාරා ගියහොත් චිත්‍රපටය සොයා ගත හැකිය. එසේ සොයා හෝ නැරඹිය යුතුම වන්නේ, 'ඇඩ්‍රිෆ්ට්' නැරඹිය යුතුම චිත්‍රපටයක් නිසාමය.
ශෝන් මැක්ස්මස් දිසානායක