වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
ප්‍රේමය හා බල අරගලයක දෙවැනි දිගහැරුම

පණ්ඩුකාභය රජුගේ රාජ්‍යත්වයෙන් ඇරැඹි අනුරාධපුර රාජධානියට පසුකාලීනව චෝළ සහ පාණ්ඩ්‍ය දේශයන්ගේ සතුරු ආක්‍රමණවලට මුහුණ දීමට සිදු විය. වසර 1400කට අධික කාලයක් පුරා පැවති අනුරාධපුර රාජධානියේ අවසානය සිදු වූයේ චෝළ ආක්‍රමණයකිනි. එහිදී රාජ රාජ නම් චෝළ අධිරාජ්‍යයා අනුරාධපුර රාජධානිය ආක්‍රමණය කරමින් රාජධානියේ අවසන් පාලකයා වුණු 5 වැනි මිහිඳු රජු පරාජයට පත් කළේය.
චෝළ රජ පෙළපතේ II වැනි පරන්තක (සුන්දර චෝල) හට ආදිත්‍ය කරිකාල (ආදිත කරිකාලන්), අරුල්මොෂි වර්මන් (පොන්නියින් සෙල්වන්) නම් පුතුන් දෙදෙනෙකු සහ කුන්දවී නම් දියණියක විය. සුන්දර චෝල අධිරාජ්‍යයා රෝගාතුර වන විට ආදිත්‍ය කරිකාල උතුරු අණදෙන නිලධාරියා වූ අතර ඔහු ජීවත් වූයේ කන්චි හි ය. ඒ වන විට බාල පුත් අරුල්මොශි වර්මන් ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ සටනක යෙදී සිටියේය. කතාව දිග හැරෙන්නේ සුන්දර චෝළට සහ ඔහුගේ පුතුන්ට එරෙහිව කුමන්ත්‍රණයක් ඇති බව සැලවීමෙන් පසු අරුල්මොෂි වර්මන් නැවත ගෙන්වා ගැනීමට ඔහුගේ සොහොයුරිය කුන්දවී විසින් දරන ලද උත්සාහයන් සමඟිනි. ඒ වෙනුවෙන් ලංකාවට පැමිණෙන්නේ වල්ලවරායන් වන්දියදේවන් නම් රණශූරයාය.
මෙය පවසන්නේ කල්කි ක්‍රිෂ්ණමූර්තිගේ ජනප්‍රිය නවකතාව වන Ponniyin Selvan (1950 - 1954) ය . පොන්නියින් සෙල්වන් නවකතාව ශ්‍රී ලංකාව සමඟ බැඳී පැවතීම හේතුවෙන් ඒ වෙනුවෙන් තොරතුරු රැස් කිරීමට කල්කි තුන් වතාවක් ලංකාවට පැමිණි බව සඳහන් වේ. නවකතාව ජනප්‍රිය වූ දා සිට දකුණු ඉන්දීය සිනමාවේ චිත්‍රපට නිෂ්පාදකයන් කිහිප දෙනෙකු විසින් නවකතාව වෘත්තාන්ත චිත්‍රපටයකට නැඟීමට අදහස් කළ නමුත් මූල්‍යමය බාධාවන් හේතුවෙන් එය බොහෝ දුරට ක්‍රියාත්මක නොවීය. 1950 දශකයේ අගභාගයේදී එම්.ජී. රාමචන්ද්‍රන් නවකතාවේ චිත්‍රපට අයිතිය මිල දී ගත් අතර අනුවර්තනය, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය සහ රංගනයෙන්ද දායක වීමට තීරණය කළේය. රූගත කිරීම් ආරම්භ කිරීමට පෙර රාමචන්ද්‍රන් අනතුරකට ලක් වී සුව වීමට මාස හයකට වැඩි කාලයක් ගත විය. ඔහු වසර හතරකට පසු නවකතාවේ චිත්‍රපට අයිතිය අලුත් කර ගත්තද චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නොහැකි විය.
දශක ගණනාවකට පසු රාමචන්ද්‍රන් අතින් ගිලිහී ගිය පොන්නියින් සෙල්වන් තමන් සතු කර ගැනීමට මනි රත්නම් හට හැකි වූයේ දශක කිහිපයක කැපකිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. පොන්නියින් සෙල්වන් චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 500 ක අයවැයක් සහිත තනි චිත්‍රපටයක් ලෙස නිර්මාණය කිරීමට අදහස් කළ නමුත් පසුව එය කොටස් දෙකකට බෙදා නිර්මාණය කෙරුණි. පසුගිය 2022 වසරේ සැප්තැම්බර් 30 සිට එහි පළමු කොටස Ponniyin Selvan රිදී තිරයේ දිග හැරුණි. පළමු කොටස ගෙන ආවේ දකුණු ඉන්දියාවේ බලවත්ම අධිරාජ්‍යයකු බවට පත් වූ අරුල්මොෂි වර්මන්ගේ මුල් කාලයේ කතාවය. අරුල්මොෂි වර්මන් යනු ක්‍රි.ව 993 දී අනුරාධපුරය ආක්‍රමණය කළ රාජ රාජ නම් චෝල අධිරාජ්‍යයාය.
Ponniyin Selvan චිත්‍රපටයේ දෙවැන්න Ponniyin Selvan : II දෙමළ ඓතිහාසික ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් ලෙස පසුගිය අප්‍රේල් 28 වැනිදා සිට රිදී තිරයේ දිග හැරුණි. එහි ආදිත කරිකාලන් සහ දුටු දුටුවන් වශීකරවන රූප සම්පත්තියක් සතු නන්දනීගේ ආදර කතාව අතරේ අරුල්මොෂි වර්මන්ගේ ඒකායන අරමුණ වන්නේ දකුණු ඉන්දියාවේ ඓතිහාසික චෝල අධිරාජ්‍යයේ ශ්‍රේෂ්ඨතම පාලකයා වන පළමු රාජරාජ වීමයි.
පොන්නියින් සෙල්වන් ධ්ධ් චිත්‍රපටයේ සුන්දර චෝලගේ රාජ්‍ය සමයේ ඔටුන්න හිමි කුමරු සහ උතුරු හමුදා අණදෙන නිලධාරියා වූ අදිත කරිකාලන්ගේ චරිතයට පණ පොවන්නේ වික්‍රම්ය. අදිත කරිකාලන් සුන්දර චෝලගේ වැඩිමහල් පුත්‍රයා වේ. ඓශ්වර්යා රායි බච්චන් නන්දිනීගේ චරිතයට පණ පොවන්නීය. අරුල්මෝෂි වර්මන් හෙවත් පොන්නියින් සෙල්වන්ගේ චරිතයට පණ පොවනු ලබන්නේ ජයම් රවී විසිනි. අරුල්මෝෂි වර්මන් සුන්දර චෝලගේ බාල පුත්‍රයා වේ. වානර් වංශයේ නිර්භීත, වික්‍රමාන්විත රණශූර වල්ලවරායන් වන්දියදේවන් හෙවත් වන්තියතේවන් කුමාරයාගේ චරිතයට පණ පොවන්නේ කාර්තිය. සුන්දර චෝල අධිරාජ්‍යයාගේ දියණිය හෙවත් චෝල කුමරිය මෙන්ම වන්දියදේවන්ගේ පෙම්වතිය කුන්දවීගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ ත්‍රීෂා විසිනි. පොන්නියින් සෙල්වන් චිත්‍රපටයේ චෝල අධිරාජ්‍යයේ අධිරාජ්‍යයා වූ සුන්දර චෝල හෙවත් පරන්තක චෝළ ධ්ධ් (ආදිත කරිකාලන්, කුන්දවී, අරුල්මෝෂි වර්මන්ගේ පියා) ලෙස පණ පොවන්නේ ප්‍රකාශ් රාජ්ය. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කර තිබෙන්නේ සම්මානනීය සංගීතඥ ඒ.ආර්. රහ්මාන්ය. මේ වෙනුවෙන් හින්දි, තෙළිඟු, මලයාලම් සහ කන්නඩ යන භාෂාවලින් ගීත රචනා කර ඇත.