සැබෑ ධන කුවේරයකුගේ කතාව

THE GREEK TYCOON
මැයි 4, 2023

'ඇරිස්ටෝටල් සොක්රේට්ස් ඔනාසීස්' 1906 වසරේ ජනවාරි 20 වන දා උපත ලැබීය. ඒ ග්‍රීසියේ ස්මිර්නා නගරයේය. (දැන් එම නගරය හදුන්වන්නේ 'ඉස්මීර්' කියාය. එලෙසම දැන් එය අයත් වන්නේ තුර්කිය ටය.). ඔහුගේ පියා 'සොක්රේට්ස් ඔනාසිස්' වන අතර මව 'පෙනිලෝපෙ ඩොලොග්ලෝ' විය. ඔහුට 'ආර්ටෙමිස්' යනුවෙන් සොහොයුරියක් සිටියේය. ඔහුගේ මවට වැඩිකලක් ඔවුන් සමඟ සිටීමට නොහැකි වූ අතර, ඇය ඉතා ඉක්මනින් අසනීප වී මිය ගියාය. මේ හේතුවෙන් ඔහුගේ පියා තවත් විවාහයක් කර ගත් අතර, දෙවැනි බිරිඳට දාව ගැහැනු දරු දෙදෙනෙක් බිහිවිය. ඔවුන් 'කලිරෝයි' හා 'මෙරෝපේ' යන නම් වලින් යුක්ත විය.

ඇරිස්ටෝටෙල් ඔනාසීස් ගේ පියා නැව් සමාගමක ව්‍යවසායකයකි. එහෙයින් ඔහුට ඔහුගේ දරුවන් ග්‍රීසියේ උසස් පාසැල්වලට දමා ඉගැන්වීමේ හැකියාවක් පමණක් නොව දරුවන්ට හොඳ සැප සම්පත්වලින් පිරුණු ජීවිතයක් ගත කිරීමට සැලැස්වීමේ හැකියාවක් ද තිබුණි. මේ⁣ හේතුවෙන් ඇරිස්ටෝටල් ට තම ඉගැනුම සාර්ථකව කර ගෙන යාමට හැකි විය. ඔහු අවුරුදු 16 වන විට ඔහුගේ උපාධිය 'එවැන්ජෙලිකල් ග්‍රීක් පාසැලේදී' සමිපූර්ණ කර ගත් අතර, ඒ වන විට ඔහුට ග්‍රීක්, තුර්කි, ස්පාඤ්ඤ සහ ඉංග්‍රීසි භාෂාවන් චතුර ලෙස කථා කිරීමටත් ලිවීමට හා කියවීමටත් හැකිවිය.

ඇරිස්ටොටෙල් ඔනාසිස් ජීවත් වූ ස්මිර්නා නගරය ටික කාලයකට පාලනය වූයේ ග්‍රීසියෙනි. ඒ 1919 සිට 1922 දක්වාය. එහෙත් 1 වන ලෝක මහා යුද්ධයෙන් පසු ස්මිරානා නගරයේ පාලනය තුර්කිය නැවත භාර ගතී. එම කාලයේම සිදුවුණු ග්‍රීසි හා තුර්කි යුද්ධයේදී (එය හැඳීන්වූයේ 'ග්‍රේකෝ-ටර්කිශ්' වෝ නමිනි) ඔනාසීස් පවුලට අයත් ව්‍යාපාර බිඳ වැටුණු අතර, ඔවුන්ගේ සියලු නිවාස හා දේපළ ඔවුනට අහිමි විය. එම කාලයේම ග්‍රීසියේ ස්මිර්නා හී සිදුවුණු ලොව විශාලතම ගිනි ගැන්ම නිසා අන් ජනතාව මෙන් ඔනාසීස් පවුලටද බොහෝ දේ අහිමි විය.ඔවුන්ගේ නෑදෑයින් කීප දෙනෙක්ම මිය ගියහ. ඔනාසීස් පවුලටද අනාථයන් ලෙස ග්‍රීසියට යන්නට සිදුවිය. ඒ ස්මිර්නා නගරය එවකට තුර්කියට අයත් වූ නිසාය. 1922 වසර ඔනාසීස් පවුලට ඉතාමත් කරදරකාරි වසරක් විය. ඔවුනට අනාථ කඳවුරු වල අනාථයන් සේ දිවි ගෙවන්නට සිදුවිය. ඒ අතරේදී කිසියමි හේතුවකට ඇරිස්ටෝටල් ගේ පියා සිර ගත විය. ඇරිස්ටෝටල් අවුරුද්දක් පමණ අනාථ කඳවුරේ සිටියේය. එය පහසු ජීවිතයක් නම් නොවීය. විශේෂයෙන්ම අතීශය සැප සම්පත් පිරුණු සුපිරි ජීවිතයක් ගත කළ ඇරිස්ටෝටල් ට එය අපායක් බඳු විය.

1923 දී ඇරිස්ටෝටල් 'කන්ස්ටැන්ටින්පෝල්' නගරයට සේන්දු වූයේ ඩොලර් 250 ක් තමන්ගේ පසුම්බියේ තබාගෙනය. (කන්ස්ටැන්ටින්පෝල් යනු තුර්කියේ නගරයයි. අද එය තුර්කියේ ප්‍රධාන නගරය ලෙස හදුන්වන අතර, වර්තමානයේ එහී නම ඉස්තාන්බුල් ය)

මාස කීපයක් එහී සිටි ඇරිස්ටෝටල් එම වසරේ අගෝස්තු මාසයේ දී ආර්ජන්ටිනාව බලා ගියේය. එහිදී ඔහු දුරකථන ක්‍රියා කරන්නෙකු ලෙස රැකියාවකට සම්බන්ධ විය. ඒ 'බ්‍රිටිශ් යුනයිටඩ් රිවර් ප්ලේට්' නම් වු දුරකථන සමාග⁣මකය. ඒ අතරේදී ඔහු නැව් හරහා ආනායන හා අපනයන පිළිබඳව ඉගෙන ගැනීමට අමතර පන්තිවලට ගියේය.

පසුව ඔහු ආනයන හා අපනයන සමාගමක ව්‍යවසායකයෙක් වූ අතර , ඒ සමඟම ඔහු ඔහුගේ වාසනාව උරගා බලන්නට⁣ මෙන් ඉංග්‍රිසි ටර්කිෂ් දුම්කොළ ආර්ජන්ටිනාවට ආනයන කළේය. ඒ අතරේදී ඔහු ආර්ජන්ටිනාවේ පුරවැසිභාවයද ලබා ගති. ඒ 1929 වන තරමේය. ඔහු තමාගේ පළමුවැනි නැව් වෙළඳ සමාගම ආර්ජන්ටිනාවේ බියුනෝස් එයිරෙස් හී, 'ඇස්ටිලේරෝස් ඔනාසිස්' නමින් පිහිටුවා ගතී. ඉන් පසු එය ආර්ජන්ටිනාව තුළ සාර්ථක කර ගත් ඔහු ඇමරිකාවේ නිව්යෝක් නගරය දක්වා ව්‍යාප්ත කරනා අතර, ඔහු ඇමරිකා⁣වට පදිංචියට ගියේ තමාගේ ආර්ජන්ටිනාවේ සමාගමද කාර්යක්ෂම ව තිබියදීමය.

ඇරිස්ටෝටල් ඔනාසීස් ගේ ජීවිතය සම්පූර්ණ යෙන්ම වෙනස් වූයේ ඇමරිකාවට ගිය පසුය. ඔහු ඔහුගේ නැව් සමාගම ⁣ආර්ජන්ටිනාව, ග්‍රීසිය, මොනාකෝ, ඇමරිකාව යන රටවල් තුළ මහ පරිමානයෙන් ව්‍යාප්ත කරන්නට විය. ඒ අතරේ ඔහු ලෝකයේ ප්‍රධාන රටවල තෙල් සමාගම් සමඟ සම්බන්ධ වී ඔවුන් සමඟ ගිවිසුම් ගත විය. එයින් ඔහු විශාලව ලාභ ලැබීය. ඔහු ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවට එක්වුණේ ඉන් පසුවය.

ඇරිස්ටෝටල් එතනින් නැවතුනේ නැත. ඔහු විශාල ව්‍යාපාර ගණනාවකට අත ගැසීය. ඒ අතරේ හෝටල්, ගුවන් යානා, හෙලිකොප්ටර් ව්‍යාපාරද විය.

ග්‍රීසියේ ජාතික ගුවන් යානය වූ 'ඔලිම්පික් එයා වේස්' පුද්ගලීකකරණය කරන විට එම සමාගම මිලදී ගත්තේද ඇරිස්ටෝටල් ඔනාසීස් ය. ඒ වන විට ඔහු 'ටයිකූන්' කෙනෙක් වී හමාරය.

ඇරිස්ටෝටල් ඔනාසිස් විවාහ වූයේ 'ඇතිනා මේරි ටීනා ලිවානොස්'' සමඟය. ඇය ග්‍රීක පියෙකුට හා ප්‍රංශ මවකට දාව එංගලන්තයේ ඉපදුණු යුවතියකි. ඇයගේ පියාවූ 'ස්ටාවරොස් ලිවානොස්' ග්‍රීසියේ ප්‍රධාන පෙළේ නැව් අයිතිකරුවෙකි. ඔහුද ඇරිස්ටෝටල් ඔනාසිස් මෙන් 'ටයිකූන්' කෙනෙකි. ඇතිනා මේරි හා ඇරිස්ටෝටල් විවාහ වූයේ 1946 දෙසැම්බර් 26 වන දිනය. ඒ වන විට ඇරිස්ටෝටල් ට අවුරුදු 40 ක් වයස වූ අතර, ඔහුගේ විවාහ සහයිකාව වූ ඇතිනා මේරිගේ වයස යාන්තම් අවුරුදු 17 ක් විය. ඇය ඔහුට වඩා අවුරුදු 23ක් ළාබාල විය. එම විවාහයෙන් ඔවුනට ළමුන් දෙදෙනෙක් විය. පුත් ඇලෙක්සැන්ඩර් 1948 දී ඉපදුණු අතර, දියණිය ක්‍රිස්ටිනා 1950 දී ඉපදුණි.

1950 වසරේ මැද භාගයේදී ඇතිනා මේරී, ඇරිස්ටෝටල් ගෙන් වෙන්විය. එයට හේතු වූයේ ඔහු තම හොඳම මිතුරිය සමඟ තම නිදියහනේ වැලඳ ගෙන සිටිනවා අසු වුනු පසුවය. එසේ ඔවුන් වෙන්ව සිටියද, ඔවුන් දෙදෙනා නිත්‍යානුකූලව දික්කසාද වූයේ ඉන් අවුරුදු 10 කට පසු එනම් 1960 දීය.

ඒ අවුරුදු 10 තුළද ඇරිස්ටෝටල් උසස් පැලැන්ති වල සිටින රූමත් කාන්තාවන් හා ඇසුරු ගෙන ගියද, සොප්රානෝ ඔපේරා ගීත ගයන ඇමරිකාවේ පදිංචිව සිටී ග්‍රීසියේ උපත ලද මාරියා කලාස් සිසිලියා සමඟ දිගු ඇසුරක් පටන් ගෙන තිබුණි. ඔහුට ඇයව මුණ ගැසුණේ 1957 වර්ෂය තුළය. ඒ වෙනිස්වල තිබූ සාදයකදීය. මාරියා කලාස් ද එවකට විවාහ වී දික් කසාද වූ තැනැත්තියක් විය. ඇරිස්ටෝටල් හා මාරියා තම ඇසුර දැඩිව පවත්වා ගියද, ඔවුන් දෙදෙනා කිසි දිනයක විවාහ වූයේ නැත. දෙදෙනාම නිත්‍යානුකූලව දික්කසාද වී තිබුණෙන්, ඔවුනට විවාහ වීමට අවකාශ අනන්තවත් තිබුණද, විවාහ නොවී තම ඇසුර පමණක් පවත්වා ගියහ. එය 1968 වන තෙක් පැවතිණි. එය අවසන් වූයේ ඇරිස්ටෝටල් ට 'ජැකුලයින් කෙනඩිව' මුණ ගැසුණාට පසුවය.

'ජැකුලයින් ලී බෝවියර්' ඉපදුණේ 1929 ජුලි 28 වන දිනය. ඒ ඇමරිකාවේ නිව්යෝර්ක් හී සවුත් ඇම්ප්ටන් නගරයේය. ඇයගේ පියා වූයේ 'ජෝන් වර්නෝ බෝවියර් ය'. ඔහු ඇමරිකාවේ ඉහළම පෙළපත්වලින් පැමිණුනෙකි. ඔහුට, අසීමිත වත්කම් ⁣තිබූ අතර, ඔහු අයත් වූයේ ඇමරිකාවේ ප්‍රභූ පවුල්වලටය. ඔහුගේ ජීවිතය නිතරම ගෙවුණේ උසස් සාද, උසස් අයගේ ඇසුර, ⁣ලොව වටා සංචාර වැනී,උසස් සමාජීය ක්‍රියා කාරින් සමඟය. ඇමරිකාවේ ජනාධිපති මෙන්ම උසස් ජීවිතයක්ය ඔහු ගෙවුයේ. ජැකුලයින්ටද එම ජීවිතය ඒ අයුරින්ම ලැබුණි. ඇයගේ මව වූයේ 'ජෙනට් නෝර්ටන් ලීය'. ඇය ද ඇමරිකාවේ උසස්ම, ප්‍රභූ පවුල් පසුබිමකින් පැමිණූ අයෙකි.

ජැකුලයින් බෝවියර් විවාහ වූයේ 1953 දීය. ඒ 'ජෝන් එෆ් කෙනඩි' සමඟය. එතැන් සිට ඇය ජැකුලයින් කෙනඩි විය. ජෝන් එෆ් කෙනඩි 1961 දී ඇමරිකාවේ 35 වන ජනාධිපතිවරයා විය. එතැන් සිට ඇය ජනාධිපති බිරිඳ විය. ඇමරිකාවේ පළමු වැනි පුරවැසී කාන්තාව යන 'ටයිටලයට' පත් විය.ජැකුලයින් කෙනඩිගේ තිබූ විශේෂත්වය වූයේ ඇයගේ අසාමාන්‍ය සුන්දරත්වයය.

ඔය කාලවකවානුව තුළ ඇරිස්ටෝටල් ඔනාසීස් ද ඇමරිකාව තුළ 'ටයිකූන්' කෙනෙක් වී අතීශය සාර්ථක එමෙන්ම ජනප්‍රිය ව්‍යාපාරකයෙකු වී සිටි අතර, ඔහු ට අහස් යානා ගණනාවක්ම, එමෙන්ම තෙල් නැව්, මගීන් නැව් ගණනාවක්ම අයිතිව තිබුණි. එලෙසම ඇමරිකාවේ පමණක් නොව ලෝකයේ අනෙක් ප්‍රබල රටවල් ගණනාවකම ඔහුගේ විවිධ දැවැන්ත ව්‍යාපාර දියත් වී තිබුණි.

ඇරිස්ටෝටල් සහභාගි වන ප්‍රභූ සාදයකදී ඔහුට දිනක් ජැකුලයින් කෙනඩිව මුණ ගැසුණි. ඒ මුල් හමුවීමට ඇරිස්ටෝටල් ඔනාසීස් ගේ සිත ඇය වෙත දැඩිව ඇදී ගියද, එය ප්‍රකාශ කිරීමට ඔහු අඩියක් හෝ පස්සට ගත්තේ ඇය ඇමරිකාවේ ජනාධිපතිගේ බිරිඳ නිසාය.

චිත්‍රපට අධ්‍යක්ෂක ජේ. ලී තොම්ප්සන් අපට වරක් මෙම හොලිවුඩ් යටගියාව ලිපි මාලාවේ දී හමු විය. ඒ 'ගන්ස් ඔෆ් නැවරෝන්' චිත්‍රපටයේ සටහන ලියන විටය. එම ලිපියේ ඔහු ගැන මූලික විස්තර ඇතුළත් වූ හෙයින්, ඔහු ඇරිස්ටොටෙල් ඔනාසීස් සහ ජැකුලයින් කෙනඩි ගේ ජීවිත කථාවට සම්බන්ධ වන්නේ කෙසේදැයි සොයා බලමු.

1977 දී ජේ.ලී.තොම්ප්සන් , චාර්ල්ස් බ්‍රොන්සන් හා කිම් නොවාක් යොදා 'ද වයිට් බෆලෝ' යන නමින් ගොපලු ෆැන්ටැසි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කර තිරගත කළේය. ඒ ඔහුගේ 34 වන චිත්‍රපට අධ්‍යක්ෂණය ය. එම චිත්‍රපට 34 ඇතුළත ජනප්‍රිය මෙන්ම දැවැන්ත චිත්‍රපට කීපයක්ම තිබුණි. 'ද ගන්ස් ඔෆ් නැවරෝන්', 'කේප් ෆියර්', 'මැකනාස් ගෝල්ඩ්' 'අයිස් ඔෆ් ද ඩෙවල්' 'රීන් කානේෂන් ඔෆ් පීටර් ප්‍රවුඩ්',ඉන් කීපයකි. ' ද වයිට් බෆලෝ' චිත්‍රපටයෙන් පසු ඔහුට අපූරු චිත්‍රපටයක් කිරීමට ආරාධනාවක් ලැබුණි. ඒ 'ඇලන් ක්ලේන්' හා 'එලී ලන්ඩාවූ' ගෙනි. 'ඇලන් ක්ලේන්' ඇමරිකානු ප්‍රසිද්ධ ව්‍යාපාරකයකු වන අතර, ඔහු වෘත්තිමය ලෙස ගණකාධිවරයෙක්, ගී තැටි ලේබල් විධායකයෙක්, හා ව්‍යාපාර කළමනාකරුවෙක් විය. එලෙසම ඔහු ලොව සුප්‍රසිද්ධ ගායක කණ්ඩායම් වූ 'බීටල්ස්' හා ' රෝලිං ස්ටෝන්ස්' සංගීත කණ්ඩායම්වල කළමනාකරු විය.

'අ ස්ට්‍රෙන්ජර් ඉන් ටවුන්', 'ද ස්ට්‍රෙන්ජර් රිටන්ස්', 'ද සයිලන්ට් ස්ට්‍රෙන්ජර්', ' 'බ්ලයින්ඩ් මෑන්', වැනි ස්පැගෙති වෙස්ටර්න් චිත්‍රපටවලට නිෂ්පාදනයෙන් එක්වුණු ඇලන් ක්ලේන් තනිවම චිත්‍රපටයක් නිෂ්පාදනය කළේ 'මිසිස් බ්‍රවුන්, යූ හැව් ගොට් අ ලව්ලි ඩෝටර්' චිත්‍රපටය ය. එලෙසම ඔහු 'බීටල්ස්' නායක ජෝර්ජ් හැරිසන් හා එක්වී 1972 වර්ෂ⁣යේ බංගලාදේශය වෙනුවෙන් කළ මහා සංගීත ප්‍රසංගය 'කොන්සට් ෆො බංගලාදේශ්' නමින් චිත්‍රපටයකට නැංවිය.

'එලයි ලන්ඩවූ' ඇමරිකානු සිනමා නිෂ්පාදක වරයෙකි. 1965 වර්ෂය තුළ ඔහු 'ද පෝන්බ්‍රෝකර්' නමින් චිත්‍රපටයක් නිශ්පාදන කරමින් ඇමරිකානු සිනමාවට පැමිණීය. 1975 වන විට ඔහු සංඛ්‍යාත්මකව චිත්‍රපට 13 කට වැඩි සංඛ්‍යාවක් නිෂ්පාදනය කර තිබුණි.

'ඇලන් ක්ලේන්' හා 'එලයි ලන්ඩවූ' ප්‍රථම වතාවට එක්වී 'ජේ.ලී තොම්ප්සන්ට' ආරාධනා කළේ 'නිකෝ මස්ටොරාකිස්,' 'වින් වෙල්ස්,' හා 'මෝර්ටන් එස් ෆයින්' එක්ව ලියූ කථාවට මෝර්ටන් ම ලියූ තිරනාටකයට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමටය

තිර නාටකය කියවූ පසු ජේ.ලී තොම්ප්සන් ට වැටහුණේ මෙය 'ඇරිස්ටොටෙල් ඔනාසීස්' ,'ජැකී කෙනඩි' හා 'ජෝන් එෆ් කෙනඩි' හා සම්බන්ධ චරිත කථාව බවත් එහී වැඩි බර දී ඇත්තේ ඇරිස්ටොටෙල් ඔනාසීස්ගෙ ජීවිත කථාවට බවත් ය. කථාව ලිවීමට ප්‍රධානව සම්බන්ධ වූ නිකෝ මාස්ටොරාකිස් මෙහී ජැකි කෙනඩිගේ චරිතය රඟපෑමට ජැකී කෙනඩිටම (එවකට ඇය ජැකී ඔනාසීස් විය) ආරාධනා කළ අතර, එයට ඇමරිකානු ඩොලර් මිලියනයක් ගෙවීමටද ලෑස්ති විය. ඇයට ඩොලර් මිලියනයෙක ඇති වැඩක් නැත. ඇයට ඒ වන විටත් විශාල වත්කමක් තිබුණි. චිත්‍රපටය නම් කළේ 'ටයිකූන්' කියාය. එහෙත් ජැකී එම ඉල්ලීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කළාය. මේ අතර ඇරිස්ටෝටල් ඔනාසීස් ගේ දියණිය ක්‍රිස්ටිනා ඔනාසිස්, තම පියාගේ කථාව චිත්‍රපටයකට නැඟීමට අවසර දුන්නේ නැත. මේ හේතුවෙන් ඔවුනට එම 'සිනොප්සියම' මනඞකල්පිතයක් ලෙස සිදුවීම් කීපයක් එකතු කරන්නට සිදු විය. ඔවුන් මුලින් සිතා සිටියේ එකී ජීවමාන නම් ඒ ඒ චරිතවලට යොදා ගැන්මටය. එහෙත් ජැකී හෝ ක්‍රිස්ටිනා එයට ඉඩ දුන්නේ නැත. එහෙයින් ඔවුන් චිත්‍රපටය තුළදී, ඇරිස්ටෝටල් ඔනාසීස්, තියෝ ටොමාසිස්' ලෙසද, ජැකුලයින් කෙනඩි/ඔනාසිස්, 'ලීස් කැසිඩි' ලෙසටද, ජෝන් එෆ් කෙනඩි 'ජේම්ස් කැසිඩි' ලෙසද හැඳීන්විය.

චිත්‍රපටයේ ඇරිස්ටෝටල් ඔනාසිස් ගේ චරිතයට ප්‍රසිද්ධ මැක්සිකන් ඇමරිකන් නළු 'ඇන්තනි කුවින්' හැරෙන්නට වෙන කිසිදු නළුවෙකුව තෝරා ගත් බවක් කොතැනකවත් සඳහන් වී නැත. ජේ. ලී තොම්ප්සන් ඇන්තනි කුවින් සමඟ මින් පෙරද වැඩ කර තිබුණි. ඒ ඔහු අධ්‍යක්ෂණය කෙරූ 'ගන්ස් ඔෆ් නැවරෝන්' චිත්‍රපටයේය. ඔහු ඇන්තනි කුවින්ව මෙම චරිතයට තෝරා ගන්නා විටත් ඇරිස්ටෝටල් ජීවත් වී සිටියේය. ඔහු මිය යෑමට මාස 6 කට පෙරය මෙම චිත්‍රපටය සැලසුම් කළේ. ඇරිස්ටෝටල් ,ගේ පූර්ණ ආශිර්වාදය ඇන්තනි කුවින්ට ලැබුණු අතර, තම ජීවන චරිතය ඇන්තනි කුවින් විසින් විශිෂ්ට අන්දමට රඟපානු ඇති බවක් ඇරිස්ටෝටල් තම විශ්වාසය ඔහුට පළ කළේය.

නමුත් තම දෙවන සැමියා වූ ඇරිස්ටෝටල් ගේ ජීවිත කථාව චිත්‍රපටයකට නගනවාට ජැකී ⁣ඔනාසිස් කැමති නොවූවා සේම, ඇය ඇන්තනි කුවින්ටද කීවේ ඇරිස්ටෝටල් ඔනාසිස් ගේ චරිතය රඟ නොපාන ලෙසටය. මේ හේතුවෙන් ඔහු ඇරිස්ටෝටල් ඔනාසිස්ගේ චරිතය රඟපෑම අත්හැරියේය. එහෙත් ටික දිනකට පසු ඇන්තනි කුවින්ට ජැකී ඔනාසිස්ව සුපිරි අවන්හලකදී හමුවූ අතර, එතැනදී කිසියම් හේතුවක් මත ඔවුන් දෙදෙනා බහින් බස් වූ අතර ජැකී, ඇන්තනි කුවින්ට තරමක් තද අන්දමට අපහස කරන්නට විය. එම අපහසය නිසාම ඇන්තනි කුවින් තම අදහස වෙනස් කර, ඇරිස්ටෝටල් ඔනාසීස් ගේ චරිතය රඟපෑමට තීරණය ක⁣ළේය.

ජැකි කෙනඩි ගේ චරිතයට බ්‍රිතාන්‍ය නිළියක් වූ 'ජැකුලයින් බිසෙට්' නම් නිළියව තෝරා ගති. 1965 වසරේ 'ද ක්නැක් ඇන්ඩ් හව් ටු ගෙට් ඉට්' නම් චිත්‍රපටයෙන් ඇමරිකානු සිනමාවට ඇතුල් වූ ජැකුලයින් බිසෙට් චිත්‍රපට 27 ක රඟපාය, ජැකී කෙනඩිගේ චරිතයට අවතීර්ණ වූයේ. 'ටයිකූන් ' ලෙස මුලින්ම චිත්‍රපටය හැඳීන්වූවද, අධ්‍යක්ෂක ජේ.ලී.තොම්ප්සන් පසුව එය 'ද ග්‍රීක් ටයිකූන්' ලෙස නම් කෙරීය. එය ජැකුලයින් බිසෙට් ගේ 27 වන චිත්‍රපටය විය.

'ද ග්‍රීක් ටයිකූන්' චිත්‍රපටය පටන් ගැනුණේ 'තියෝ ටොමාසිස්' ට අයත් තෙල් නැවක් ඇතුළතය. මුල් දර්ශන කීපය තුළ අධ්‍යක්ෂක උත්සහා ගන්නේ තියෝ ටොමාසිස් ගේ උසස් ජීවන රටාව පෙන්වීමටය. ඔහුගේ නැව්, ඔහුට අයත් පුද්ගලීක දූපත්, හා එහි ඇතිවන උසස්ම සාද මෙන්ම අතීශයින්ම රූමත් ගැහැනුන් හා ලොව ප්‍රභූ යැයි කියනා උසස් ධනවත් මිනිසුන්ව පෙන්වන්නේ එදා ඇරිස්ටෝටල් ඔනාසිස් ගත කරපු සුපිරි ජීවිතය පෙන්විය යුතු නිසා විය හැකිය. චිත්‍රපටයේ තියෝ ටොමාසිස් යන ධන කුවේරයා රූමත් ස්ත්‍රි ලෝලියෙක් බව පෙන්වයි. ඒ ඇත්ත ජීවිතය තුළද ඇරිස්ටෝටල් ඔනාසීස් තද ස්ත්‍රි ලෝලයෙක් නිසාය. අධ්‍යක්ෂක ඇන්තනි කුවින්ගේ ස්වරූපය ඇරිස්ටෝටල් ඔනාසීස් ගේ රූපයට සමානව වෙනස් කර තිබුණි. එහෙත් ඔනාසිස් ළඟ තිබූ මවාගත් සංවර භාවයට වෙනස් කෙළිලොල් බවක් තියෝ ටොමාසිස් ගේ චරිතයට ආරුඨ කර තිබුණි.

කථාව මනංකල්පිත ලෙස පෙන්වන්නට ගියද, ජෝන් එෆ් කෙනඩි හා ජැකුලයින් කෙනඩි ට වූ ඇතැම් සත්‍ය සිදුවීම් චිත්‍රපටයට ඇතුල් කරන්නට සිදුවිය. වෙනසකට වූයේ ඒවා සත්‍ය ලෙස සිදුවූ ස්ථානවලින් බැහැරව වෙනත් තැන්වල රූ ගත කිරීම ය.

චිත්‍රපටය මූලික කරගත්තේ ඇරිස්ටෝටල් ගේ චරිතය වුවද, චිත්‍රපටය නරඹන විට නම් ඇරිස්ටෝටල් මේ අන්දමට හැසිරුණාද යනු තරමක ගැටලු සහගත විය.

'ද ග්‍රීක් ටයිකූන්' චිත්‍රපටය පුරාවටම තිබුණේ 'ග්ලැමර්' බවය. එය ඉතාමත් අකාර්ෂණීය මෙන්ම ඉතාමත් ධනවත් පසු තල තුළ රූ ගත කර තිබුණේ, ලොව ⁣ඉහළම පෙළේ ධන කුවේරයන් තම ජීවිතය ගත කරන ආකාරය පෙන්විමටය. ඇත්තෙන්ම එය මිහිපිට ස්වර්ගය විය. ස්වර්ගය තුළද මෙතරම් සැප සම්පත් ඇතැයි සිතිය නොහැකි වේ. ඇරිස්ටෝටල් ඔනාසිස් ලා ජැකුලයින් කෙනඩි ලාගේ ජීවිත, ස්වර්ගයටත් එහා ගිය ජීවිත වේ. දෙවිවරුවත්, ඔනාසිස්ලා හා කෙනඩිලා විදින සැප සම්පත් විදිනවාදැයි සැක සිතෙන තරමටම ඔවුන් ගත කරන සැප සම්පත්වලින් පිරුණු ජීවිතය චිත්‍රපටය තුළින් පෙන්වන්නට අධ්‍යක්ෂක ජේ. ලී. තොම්ප්සන් උත්සහා ගෙන තිබු⁣ණි.

ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි ඝාතනය කරන්නට පෙර සිටම ජැකුලයින් කෙනඩි , ඇරිස්ටෝටල් ඔනාසීස් සමඟ රහස් සබඳතාවයක් ගෙන ගියාදෝ කියන ඉඟියක් 'ද ග්‍රීක් ටයිකූන්' චිත්‍රපටය තුළින් පෙන්වන්නට විය. ඇතැම් විට මෙය චිත්‍රපට ගත කරනවාට ජැකී කෙනඩි විරුද්ධ වන්නට ඇත්තේ මේ නිසා වෙන්නට ඇත.

කෙසේ වෙතත් චිත්‍රපටය තුළින් ඔනාසීස්ගේ ජීවිතයේ එක්තරා පරිච්ඡේදයක් පමණක් ගෙන එය සිනමාත්මකව ඉදිරිපත් කළද එය කෙතරම් දුරට සාර්ථක වූවාදැයි නැවත සිතිය යුතුවේ.

තියෝ ටොමාසිස්ගේ නැව් ව්‍යාපාර ජීවිතය පෙන්වන අතරේ එයට වඩා ඔහුගේ ස්ත්‍රීන් ඇසුරු සම්බන්ධත්, ඉන් අනතුරුව ඔහුට හමුවන ලීස් කැසඩි ත්, ඇය හා ආරම්භ කරන ඇසුරත්, පසුව ලීස්ගේ සැමියා ජේම්ස් කැසිඩි වෙඩි වැදී මිය ගිය පසු, තියෝ ටොමාසිස් , ලීස් කැසඩිව විවාහ කර ගැනීමත්, එම විවාහය තුළදී ඔවුනගේ නොගැළපීම් ඉස්මතු වී අඩ දබර ඇති වීම, නැවත එකතු වීම වැනි දේ අතර සිදුවන සිදුවීම් වලටය චිත්‍රපටයේ බොහෝ දර්ශන වෙන් කර තිබුණේ.

ඇරිස්ටෝටල් හා ජැකීගේ විවාහය සාර්ථක වූ බවක් නොපෙනුණි. විවාහයට පෙර ජැකී අවුරුදු කීපයක්ම ඇරිස්ටෝටල්ව ඇසුරු කළද, ඇයට ඇරිස්ටොටෙල් හා නොගැළපීම් මතු වූයේ විවාහ වූ පසුවය. ඔවුන්ගේ මුල්ම අඩදබරය සිදුවූයේ විවාහ වූ දා රාත්‍රියේ මධු සමයේදීය. කාමරයේ ඇඳ මත සිදුවූ ඒ අඩ දබරයෙන් ඇරිස්ටෝටල් ට වෙනත් කාමරයකට ගොස් තනිව නිදන්නට සිදුවිය. එය එයාකාරයෙන්ම සිදු වූවාදැයි දන්නේ නම් ඇරිස්ටෝටල් හා ජැකීමය. නමුත් 'ද ග්‍රීක් ටයිකූන්' චිත්‍රපටය තුළ දී නම් තියෝ ටොමාසිස් හා ලීස් කැසිඩි අතර ඒ ගැටුම සිදු වී, මධු සමය රාත්‍රියේ තියෝ ටොමාසිස්ට වෙනත් කාමරයකට යන්නට සිදුවිය. ඔහු ඇයට 'බිච්' කියා බැණවදිමින් එසේ කාමරයකට ගිය බවකි චිත්‍රපටයේ තිබෙන්නේ.

'ද ග්‍රීක් ටයිකූන්' චිත්‍රපටයේ බොහෝ විශේෂ අවස්ථා හා සිදුවීම් ක්‍රියාකාරිව පෙන්වීම අත්හැර දමා තිබුණි. ඇරිස්ටෝටල් ගේ එකම පුත්‍රයා වූ ඇලෙක්සැන්ඩර් ඔනාසීස් ගුවන් අනතුරකට මුහුණ දී රෝහලක මිය ගිය අයුරු, චිත්‍රපටයේ ක්‍රියාකාරීව පෙන්වන්නේ නැත. එය තියෝ ටොමාසිස් ට ඔහුගේ සේවකයෙකුගෙන් ලැබෙන පණිවිඩයක් ලෙසය එම සිදුවීම චිත්‍රපටය ට ඇතුළත් කර තිබුණේ. ඒ කෙසේ වෙතත් ඇරිස්ටෝටල් ගේ පුත්‍ර ඇලෙක්සැන්ඩර් ගේ චරිතය චිත්‍රපටය මුල් භාගයේ කැපී පෙනෙන ලෙස ඉස්මතු කර තිබුණි. එය චිත්‍රපටයේදී හැඳීන්වූයේ 'නිකෝ ටොමාසිස්' නමිනි. ඇලෙක්සැන්ඩර් තම පියා වූ ඇරිස්ටෝටල්, ජැකි කෙනඩිව විවාහ කර ගැනීම ගැන සිටියේ දැඩි අසතුටකිනි. හැම අවස්ථාවකම ඔහු එයට විරෝධය පෑවේය. එයද ජැකී, ඇරිස්ටෝටල් හා සිත් බිදෙන්නට හේතුවක් විය.

කෙතරම් ධන කුවේර⁣යන් වූවත්

ඔවු නොවුන් අතර නිතරම හිත් රිදවීම්,අඩ දබර, ආරවුල් නිමක් නැති විය. 'ද ග්‍රීක් ටයිකූන්' චිත්‍රපටය තුළින් පැහැදිලිව ඉදිරිපත් කළේ මොන තරම් ධනය, බලය තිබුණද, ඔවුනට සැනසීම නොමැති බවය. සියල්ලෝම ධනවත් එමෙන්ම බලවත් වූ පසු කිසිවෙක් කිසිවෙකුට යටත් වන්නේ නැත. 'ද ග්‍රීක් ටයිකූන්' චිත්‍රපටයෙන් පෙන්වූ යථාර්ථය එය විය.

ඇරිස්ටෝටල් ඔනාසීස් හා විවාහ වූ ජැකීට ඔහු සමඟ දිගු කලක් සිටීමට නොහැකි බව වැටහුණෙන්, ඇය ඔහුගේ හිත නොරිදවා යළි නිව්යෝක් බලා ගියේ ඇයගේ දරුවන් වූ කැරොලයින් හා ජෝන් ජූනියර් කෙනඩිගේ අධ්‍යාපන කටයුතු සොයා බැලීමට කියාය. ⁣අන් අතකට ජැකී හා ඇරිස්ටෝටල් අතර අවුරුදු 23 ක වයස් පරතරයක්ද තිබුණි. ඇය ඔහු හා විවාහ වන විට ඇරිස්ටෝටල් ඔනාසීස් ගේ වයස 62 කක් වූ අතර, ජැකීට 39 ක් විය.

'ද ග්‍රීක් ටයිකූන්' චිත්‍රපටයේදී ඒ වයස් පරතරය හා නොගැළපීම අධ්‍යක්ෂක වරයා නළු ඇන්තනී කුවින් හා නිළි ජැකුලයින් බිසෙට් මඟින්ද පෙන්වන්නට විය.

'ද ග්‍රීක් ටයිකූන්' චිත්‍රපටයේ පසුබිම් දර්ශණ ඇතන්ස්, කෝෆු, ලන්ඩන්, නිව්යෝක්, වොෂින්ටන් ඩී සී හී අතීශයින්ම සුන්දර තැන්වල රූ ගත කර තිබුණි.

චිත්‍රපටය අවසන් වන්නේ තියෝ ටොමාසිස් තමාට බ්‍රොන්චියල් නිව්මෝනියා රෝගය වැලදුණු බව දැන ගත් පසු ඔහු තනිවූ දුප්පත් මහලු මිනිසුන් කණ්ඩායමක් අතරට ගොස් ඔවුන් සමඟ ටැංගෝ රිද්මයට නැටුමක් නටන දර්ශනයකිනි. මුළු ග්‍රීසියම හෙල්ලූ ධන කුවේරයෙක්, ටයිකූන් කෙනෙක් අද මෙලෙස දුප්පත් මහලු මිනිසුන් අතර ඔවුන්ගේම කෙනෙක් මෙන් සිටින අයුරු එක්අතකට ජීවිතයට ⁣ලැබුණු සරදමක් මෙන් විය. මොන තරම් ධනය, බලය, තිබුණද, නැව් ගණනාවක්, අහස් යානා ගණනාවක්, හෙලිකොප්ටර් ගණනාවක්, ලෝකේ මිල අධිකම වාහන ගණනාවක්, ⁣පෞද්ගලීක දූපත්, එකී නොකී හැම දේම තිබුණද අද තම එකම පුත්‍රයා මිය ගොස්, එලෙසම ඔහු විවාහ වූ හැම බිරිඳක්ම ඔහු ව අත හැර ගොස්, තනිවී සිටීමම ජීවිතයේ යථාර්ථය යළි ⁣යළි පහදා දීමක් නොවේද?

ඇන්තනී කුවින්, තියෝ ටොමාසිස් හෙවත් ඇරිස්ටෝටල් ඔනාසීස් ලෙස ඉතාමත් ප්‍රබලම රංගනයක් ඉදිරිපත් කළ අතර, ජැකුලයින් බිසෙට් ද ජැකි කෙනඩි ගේ ස්වරූපය ඒ අයුරින්ම තිරයේ මැවීය. ජේම්ස් ෆ්‍රැන්සිස්කස්, එඩ්වඩ් ඇල්බට්, රැෆ් වැලොන්, කැමිලා ස්පාර්ව්, චාර්ල්ස් ඩර්නිංග්, රොබින් ක්ලාර්ක්, සෙසු චරිත සාර්ථකව රඟපෑහ.

යුනිවර්සල් පික්චර්ස් සමාගමේ බෙදා හැරීමක් වන 'ද ග්‍රීක් ටයිකූන්' චිත්‍රපටය ඇස්තමේන්තු කළේ ඇමරිකානු ඩොලර් මිලියන 6.5 කටය. එය බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 14 ක් විය.

මෙය ලංකාවේද, කොළඹ ලිබර්ටි සිනමාහලේ 70 දශකය අවසන් භාගයේදී තිරගත විය. දැඩි ප්‍රේක්ෂක සහභාගිත්වයක් නොවුවද, අගය කරන්මෝ මෙම චිත්‍රපටය අගය කරමින් නැරඹීය. ඒ, 'ද ග්‍රීක් ටයිකූන්' අගය කරමින් නැරඹුහ යුතුම චිත්‍රපටයක් නිසාමය.

 

[email protected]