චිත්‍රපට මාලාවකට මඟපෑදූ 13 භීතිය

FriDay The 13th
මාර්තු 30, 2023

1980 දශකය තුළ ඇමරිකානු ඩොලර් ලක්ෂ පහමාරක් යොදවා චිත්‍රපටයක් නිපදවා එය ඇමරිකානු ඩොලර් ලක්ෂ 600 ක් එනම් මිලියන 60 කට ආසන්නව බොක්ස් ඔෆිස් ආදායමක් ඉපයූ චිත්‍රපටයක් වේ නම් ඒ 'ෆ්‍රයිඩේ ද තර්ටීන්' චිත්‍රපටය ය.

මෙම චිත්‍රපටය ඇමරිකාවේ පමණක් නොව මුළු ලොව පුරාම ජනප්‍රිය වූ අතර, එය ප්‍රේක්ෂකයන් ත්‍රාසයෙන් මුසපත් කෙරුණි. 'ෆ්‍රයිඩේ ද තර්ටීන්' මොන තරම් ජනප්‍රිය වූවාදැයි කිවහොත් අවසානයේදී එය චිත්‍රපට මාලාවක් බවට පත් විය. මෙතරම් චිත්‍රපට මාලාවක් හොලිවුඩ් සිනමාවෙන් තවත් බිහිවුණාද කියා සැකයක් හිතෙන අන්දමට, 'ෆ්‍රයිඩේ ද තර්ටීන්' 'ෆ්‍රැන්චයිස්' එක දික්විය.

'ෆ්‍රයිඩේ ද තර්ටීන්' මුල්ම චිත්‍රපටය තිර ගත වීම ආරම්භ වූයේ 1980 මැයි 9 වෙනිදා ය. ඉන්පසු එහී 2 වන කොටස 1981 ද, 3 වන කොටස 1982 ද, 4 වන කොටස 1984 ද, තිර ගත වූ අතර එය හැඳීන්වූයේ 'ෆ්‍රයිඩේ ද තර්ටීන් ෆයිනල් චැප්ටර්' ලෙසටය. ඒ ඔවුන්ට මෙම කථා මාලාව මෙතනින් නිම කිරීමට උවමනා වූ නිසාය. නමුත් 'පැරමවුන්ට් සමාගමට' යළි එය පටන් ගැන්මට උවමනා විය. පසුව එය 'ෆ්‍රයිඩේ ද තර්ටීන් - අ නිව් බිගිනිංන්ග්' ලෙස 5 වන කොටස පටන් ගෙන 1985 දී එය තිරගත කළේය. 6 වන කොටස 1986 තිරගත වූයේ 'ෆ්‍රයිඩේ ද තර්ටීන්- ජේසන් ලිව්ස්' කියාය, 7 වන කොටස වූ 'ෆ්‍රයිඩේ ද තර්ටීන්- ද නිව් බ්ලඩ්' නමින් 1988 වසරේද, 8 වන කොටස 'ෆ්‍රයිඩේ ද තර්ටීන් -ජේසන් ටේක්ස් මෑන් හැටන්' නමින් 1989 ද, තිරගත විය. 1993 වසරේදී එම කථා මාලාවට අයත් චිත්‍රපටය තිරගත වූයේ 'ජේසන් ගෝස් ටු හෙල්' යනුවෙනි. ඒ 9 වන චිත්‍රපටයයි. 2002 වසරේදී තිර ගත වූයේ එම චිත්‍රපට මාලාවේ 10 වෙනි චිත්‍රපටයයි. එය හැඳීන්වූයේ 'ජේසන් ඔ' නමිනි. 2003 දී එම චිත්‍රපට මාලාවට අයත් 11 වන චිත්‍රපටය 'ෆ්‍රෙඩී Vs ජේසන්' නමින් තිර ගත වූ අතර 'ෆ්‍රයිඩේ ද තර්ටීන්' චිත්‍රපට ෆ්‍රැන්චයිස් කථා මාලාවේ අවසන් චිත්‍රපටය එනම් 12 වැන්න තිරගත වූයේ 2009 වසරේ ය. එය මුල් චිත්‍රපටය ආකෘතිය මත, සුළු සුළු වෙනස් කිරීම් සහිතව නිර්මාණය වූ හෙයින්ද, මේ, අවසාන චිත්‍රපටය නිසාත් එය නම් කළේ මුල් චිත්‍රපටයේ නම වු 'ෆ්‍රයිඩේ ද තර්ටීන්' කියාමය. ඔවුන් එය හැඳීන්වූයේ 'ෆ්‍රයිඩේ ද තර්ටීන් 2009 ෆිල්ම්' ලෙසටය.

මෙම චිත්‍රපට 12 හී අධ්‍යක්ෂක වරු 12 දෙනෙක් විය. ෂෝන් එස් කුනිග්හැම්, ආරම්භක අධ්‍යක්ෂක විය. ඉන් පසු පිලිවලින් ස්ටීව් මයිනර්, ජෝශප් සිටෝ, ඩැනි ස්ටෙයින්මන්, ටොම් මැක්ලොග්හලින්, ජෝන් කාල් බියුච්ලර්, රොබ් හෙඩන්, ඇඩම් මාකස්, ජේම්ස් අයිසැක්, රොනි යූ, අය අධ්‍යක්ෂණය කළ අතර, අවසාන චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා වූයේ මාකස් නිස්පෙල් ය.

'ෂෝන් එස් කුනින්ගැම් ඇමරිකන් ජාතිකයෙකි.ඔහු ඇමරිකානු සිනමාවට පැමිණියේ 1970 ව වර්ෂයේදී ය. ඒ 'ද ආර්ට් ඔෆ් මැරේජ්' යන චිත්‍රපටයෙනි. ඔහු එහී කථා රචකයා, නිෂ්පාදකයා හා අධ්‍යක්ෂකයා යන භූමිකාවන් 3නම කළ අතර, ඇමරිකානු ඩොලර් 3500 ආයෝජනය කළ එම චිත්‍රපටය බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් 100,000 විය. එය විවාහය පිළිබඳව වැඩිහිටි අධ්‍යාපනීක චිත්‍රපටයක් ලෙසය ඔහු හැඳීන්වූයේ.

1971 දී ඔහු වෙස් ක්‍රාවන් සමඟ එකතු වී 'ටු ගෙදර්' නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කළ අතර, එහී අධ්‍යක්ෂවරයාද ඔහු විය.

'ද ලාස්ට් හවුස් ඔන් ද ලෙෆ්ට්', චිත්‍රපටය නිර්මාණය වූයේ ඉන්පසුවය. එය 'හොරර්' ශානරයට අයත් වූ චිත්‍රපටයක් විය. ෂෝන් එස් කුනින්ගැම්, එහී නිෂ්පාදකයා පමණක් විය. එය අධ්‍යක්ෂණය කළේ වෙස් ක්‍රාවන්ය. කුනින්ගැම් ⁣ට, 'ෆ්‍රයිඩේ ද තර්ටීන්' වැනි චිත්‍රපටයක් නිර්මාණය කිරීමට අදහස ආවේ 'ලාස්ට් හවුස් ඔන් ද ලෙෆ්ට්' හොරර් චිත්‍රපටය නිෂ්පාදනය කරමින් සිටින කාලයේය. ඉන් පසු ඔහු 'ද කේස් ඔෆ් ද ස්මයිලිං ස්ටිෆ්ස්', නමින් විකට, ශෘංගාරාත්මක (Sex Comedy) චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේය. 'හියර් කම්ද ටයිගර්ස්', නමින් ක්‍රීඩා වික⁣ට (Sports Comedy) චිත්‍රපටයක්ද, 'මැනී'ස් ඕර්ෆන්' නමින් පවුලේ විකට (Family Comedy) චිත්‍රපටයක් ද අධ්‍යක්ෂණය කළේය. ' ෆ්‍රයිඩේ ද තර්ටීන්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට ඔහු අතගැසුවේ ඉන්පසුවය.

ෂෝන් කුනින්ගැම් මෙහී කතාව හා තිරනාටකය ලිවීමට භාර කළේ 'වික්ටර් මිලර්' ටය. මිලර්, ෂෝන් ගේ 'මැනීස් ඕර්ෆන්ස්' හා 'හියර් කම්ස් ද ටයිගර්ස්' යන චිත්‍රපට යුගලේම කතාව හා තිරනාටකය ලියා තිබුණි. මිලර් 'ෆ්‍රයිඩේ ද තර්ටීන්' චිත්‍රපටයේ තිරනාටකය 1979 ජුලි මාසය වන විට ලියා නිම කළේය. ඔහු මුලින්ම එය නම් කළේ 'අ ලෝන්ග් නයිට් ඇට් කෑම්ප් බ්ලඩ්' නමිනි. නමුත් අධ්‍යක්ෂක ෂෝන් කුනින්ගැම් අදහස් කළේ එයට අකාර්ෂණීය, එමෙන්ම තරමක භීතියක් ගෙන දෙන නමක් යෙදුවොත් වඩාත් උචිත කියාය. ඇමරිකාවෙත්, යුරෝපයෙත් නො13 අන්තරාදායක නොඑසේනම් අවාසනාවන්ත නොම්මරයක් ලෙස ගණනයට ගැනේ. බොහෝ හෝටල්වල පවා 12 කාමරයෙන් පසු ඔවුන් නම් කරනුයේ 14 වන කාමරයයි. 13 භාවිතයට ගන්නේම නැත. එහෙයින් ෂෝන් එම අවසනාවන්ත යැයි සැලකෙන නොම්මරයත් රැගෙන 'ෆ්‍රයිඩේ ද තර්ටීන් ' කියා හැඳීන්විය. එයට තිරනාටක රචක වික්ටර් මිලර් ද කැමති විය.

ෂෝන් කුනින්ගැම් චිත්‍රපටයට නළු නිළියන් ව සෙවීම භාර කළේ එවන් කාර්යන් කරන නිව්යෝක් හී සමාගමකටය. එම සමාගමේ ක්‍රියාකාරින් වූ ජූලි හියුග්ස් හා බැරී මෝස් විසින් තරුණ නළු නිළියන් 8 දෙනෙකු සොයා දුන්නේ, චිත්‍රපටයේ කථාවට අයත් කඳවුරු සමාජීකයන් ලෙස රඟපෑමටය. ඔවුන්ට රූපවාහිනි නාට්‍යවල, 'සෝප් ඔපේරා' වල රඟපා රංගනය පිළිබඳව පළපුරුද්ද තිබුණි.

මෙහී ඇතුළත් ඇලිස් හාඩි නම් වූ ප්‍රධාන චරිතයට 'සැලි ෆීල්ඩ්' නම් එවකට ජනප්‍රිය නිළියව සහභාගි කර ගැන්මට, කුනින්ගෑම්ට අවශ්‍ය වූවද, තමාගේ ඇස්තමේන්තුවට, එවන් නිළියකගේ අය කිරීම් ඔරොත්තු දුන්නේ නැත. ජනප්‍රිය 'බ්‍රෑන්ඩඩ්' නම් තියෙන නළු නිළියන් දමා මෙම චිත්‍රපටය කිරීමට ෂෝන් කුනින්ගැම්ට උවමනා කම තිබුණද, ඇමරිකානු ඩොලර් ලක්ෂ 5 ක් වැනි සුළු මුදලකට එය කිරීමට කිසිසේත් නොහැකි විය. සියලු චරිතවලට නවක නළු නිළියන්ව ගැනීමට ඔහු තීරණය කළේ ඉන් පසුවය. නමුත් නවක නළු නිළියන් පමණක් යොදවා කරන චිත්‍රපටයක් බෙදා හැරීම, ඇමරිකාවේ සුප්‍රසිද්ධ සමාගම් එක්වර භාර නොගන්නා බව ෂෝන් කුනින්ගැම් දැනගෙන සිටියද, ඔහු මීට පෙර, නිෂ්පාදන හා අධ්‍යක්ෂණය කෙරූ චිත්‍රපටවල ලද සාර්ථකත්වය මත 'ෆ්‍රයිඩේ ද තර්ටීන්' චිත්‍රපටය ඇමරිකාව ඇතුළු ලොව අනෙක් රටවල බෙදා හැරීමට ප්‍රබල බෙදා හැරීම් සමාගම් දෙකක් භාර ගතී. ඒ 'පැරමවුන්ට් පිච්චර්ස්' හා 'වෝනර් බ්‍රදර්ස්' ය. පැරමවුන්ට් පිච්චර්ස් ඇමරිකාව තුළ බෙදා හරින්නටත්, වෝනර් බ්‍රදර්ස් ලොව වටා බෙදාහරින්නටද, ගිවිසුම් වලට එළැඹුණි.

චිත්‍රපටයේ ⁣පෙනෙන, නොපෙනෙන මිනිසා වූයේ 'ජේසන්'ය. තිර රචක වික්ටර් මිලර් කීවේ ජේසන් යනු මුලින්ම මිය යන චරිතයක් බවය. එලෙසම ඔහු චිත්‍රපටයේ දී අපරාධකරු මිස, දුෂ්ටයා නොවන බවය. චිත්‍රපටය පුරාවටම ප්‍රේක්ෂකයා සෙවීමට වෙහෙසෙන්නේ ජේසන් කවුද,? ජේසන් මුලින්ම මිය ගියා නම්, මේ තරුණ තරුණියන් ව අමානුෂික ලෙස මරා දමමින් පෙනෙන නොපෙනෙන ලෙස හැසිරෙන ජේසන් යනු හොල්මනක්ද, යක්ෂයෙක්ද, නැත්නම් ජේසන් නමින් පෙනී සිටින, 'සයිකෝ' කෙනෙක්ද යන්නය. තිර රචක වික්ටර් මිලර් ප්‍රේක්ෂකයන්ව පටලවන්නේ ඉතාමත් සූක්ෂම ලෙසටය.

'ෆ්‍රයිඩේ ද තර්ටීන්' චිත්‍රපටය ආරම්භය අතීත කථාවකට දිව යයි. ඒ 1958 වර්ෂයටය. ඒ චිත්‍රපටයේ නියමාකාර කාලවකවානුවට වඩා අවුරුදු 21 ක් පසු පසටය. ස්ථානය ක්‍රිස්ටල් ලේක් කඳවුර ය. එහී ගබඩා කාමරය තුල ශෘංගාරාත්මක ව හැසිරෙන තරුණ යුවළකි. ඒ දෙදෙනා බැරී ජැක්සන් හා ක්ලොඩේට් හේස් ය. ඔවුන් රාගයේ උච්චතම රිද්මයට පැමිණෙ විට, එතැනට කිසිවෙක් පැමිණේ. ඔහු කවුදැයි හරි හැටි නොපෙනේ. එක්වරම ඒ පෙනෙන නොපෙනෙ තැනැත්තා තම අතේ තිබූ තියුණු ආයුධයකින් කොටා එකී තරුණ යුවල ම්ලේච්ඡ අන්දමට මරා දමයි.

ඉන්පසු චිත්‍රපටය අවුරුදු 21 ක් ඉදිරියට පැමිණ 1979 කාල වකවානුවට පැමිණේ. අවුරුදු ගණනාවක්ම වසා තිබූ ක්‍රිස්ටල් ලේක් කඳවුර නැවත විවෘත කිරීමට එහී උපදේශිකා තනතුරට පත් කෙරූ 'ඇනී පිලිප්ස්' තම ට්‍රක් රියදුරා වූ 'එනොස්' සමඟ පැමිණියාය. එසේ යන අතර වාරයේ නගරවාසිහු ඔවුන්ව නවතා කීවේ එතැනට නොයන ලෙසත්, ක්‍රිස්ටල් ලේක් කඳවුර නැවත විවෘත නොකරන ලෙසත්, එහි බොහෝ අද්භූත දෑ සිදුවන බවක් කියා සිටියහ. එලෙසම ට්‍රක් රියදුරු එනෝස් කියා සිටියේ 1957 වර්ෂයේදී මෙම වැවේ යෞවනයෙක් ගිලී මිය ගිය බවත්, ඉන් පසු බොහෝ අද්භූත මරණ මෙතැන සිදුවූ බවකි. ඇනී එම කථා එතරම් ගණන් ගත් බවක් පෙනුනේ නැත. එනෝස් ඇයව ක්‍රිස්ටල් ලේක් කඳවුරට හැරලුවේය.

ඇනී කඳවුරට පැමිණෙන තෙක් කිසිවෙක් බලා සිටියාක් මෙනි. ඇය කඳවුර දෙසට යන විට, නොපෙනෙන මිනිසෙකු ඇයව තම වාහනයට දමා ගතී. ඇය එයින් බේරී පැන යාමට උත්සහා කරන විට ඔහු ඇයව වනාන්තරය දෙසට ඇඳගෙන ගොස් ඇයගේ බෙල්ල කපා මරා දමයි. මේ කිසිදු හේතුවක් නොමැතිව සිදුවන මිනීමැරුම් මෙන්ම එසේ මරණ, පෙනෙන නොපෙනෙන මිනිසා කවුද යන ගැටලුව චිත්‍රපටයේ මුල සිටම ඇතුළත් වූ අතර, මෙහි සුල මුල සොයා ගැන්මට ප්‍රේක්ෂකයාද එතැන් සිට ලක ලෑස්ති වේ.

මේ අතර නෙඩ්, ජැක්, බිල්, මාරිස්, බ්‍රෙන්ඩා සහ ඇලිස් යන කඳවුරු උපදේශවරු, ක්‍රිස්ටල් ලේක් කඳවුරේ අයිතිකරු ස්ටීව් ක්‍රිස්ටි එකතුවී කඳවුරේ බිල්ඩිමේ කාමර අලුත් වැඩියා කිරීමට පටන් ගතී. දරුණු කුණාටුවක් පටන් ගත්තේ ඔය අතරවාරයේය. ස්ටීව් ස්ටෝරුව දෙසට යන විට, කිසිවෙක් ⁣'කැබින්' එක පැත්තට ඇදෙනවා නෙඩ්ගේ ඇසට අසුවුණි. ඒ අතර ජැක් සහ මාරිස් කැබින් එකක බංකර් ඇඳක් මත ශෘංගාරාත්මක ක්‍රියාවලියක යෙදෙන්නට විය.

ඔවුන් එම ක්‍රියාවලියේ යෙදුණත්, ඔවුන් ළඟ නෙඩ් ගේ මළ සිරුර තිබෙන බවක් ඔවුන් දැන සිටියේ නැත. කැබින් එක ඇතුළට කිසිවෙක් යන බව නෙඩ් දුටුවිට, නෙඩ් ඔහුගේ පිටු පස්සෙන් යෑම, ඒ අමුත්තාට දැනෙන්නට ඇත. ⁣ඉන්පසු දකින්නට ලැබෙන්නේ නෙඩ්ව ඝාතනය කර ඇති බවය. එසේ නම් මේ පැමිණ ඇත්තේ ඝාතකයකු බව ප්‍රේක්ෂකයන්ට වැටහේ. එලෙසම මුලින්ම මෙම කඳවුරට පැමිණි උපදේශිකා තනතුරට පත්වුණු ඇනී පිලිප්ස් ව ඝාතනය කරන්නට ඇත්තේ මේ ඝාතකයා බව මේ වන විටත් ප්‍රේක්ෂකයන් ට වැටහී හමාරය.

නෙඩ් ව ඝාතනය කර තිබුණේ උගුර දණ්ඩ කපා දමාය. ඇනී පිලිප්ස්ව මරා දමා තිබුණේත් උගුරු දණ්ඩ කපා දමාය. මේ අයව එකම අන්දමට මරා දමා ඇති බව පෙනීමෙන් වැටහෙනුයේ මෙය එකම ඝාතකයාගේ ක්‍රියාවක් බවය.

ජැක් හා මරිස්ගේ ශෘංගාරාත්මක ක්‍රියාවලියෙන් පසු මරිස් නාන කාමරයට ගිය අතර, එසැණින්ම ඝාතකයා ඇතුල්වී ජැක්ගේ උගුරු දණ්ඩ කපා දමා, ඔහුගේ සිරුර ඊතලයක එල්ලා තැබුවේය. ඉන්පසු ඝාතකයා මරිස් ව සොයා නාන කාමරයට ගියේය. එවර ඔහුගේ අතේ තිබුණේ පොරවකි. ඔහු නාන කාමරයට ඇතුල් වී මරිස්ගේ මුහුණට තම අතේ තිබූ පොරවෙන් කොටා භයානක ලෙස මරා දැමීය.

ඝාතකයාගේ ඊළඟ ගොදුර වූයේ බ්‍රෙන්ඩාය. ඇය කඳවුරට පැමිණියේ තරමක් රෑ බෝවීය. එසේ පැමිණි ඇය කඳවුර ඇතුළට යෑමට පෙර ඇයට කුඩා ළමයෙකු උදව් ඉල්ලා හඬන ශබ්දයක් ඇසීය. එම පරිසරය අඳුරු ස්වභාවයක් ගෙන තිබුණි. ඇය ඒ දෙසට ගොස් මෙම ශබ්දය පැමිණෙන්නේ කොහේ සිටදැයි බැලීමට උත්සහා ගත් විට එක්වරම එතැනට විදුලි ආලෝකය පතිත විය. මුළු පරිසරයම එළිය විය. එවිටම බ්‍රෙන්ඩා එතැන දුටු දර්ශනයෙන් ඉමහත් ලෙස බියපත් වී මහ හඬින් කෑ ගැසීය.

ඇලිස් හා බිල්, තම යහළුවන්ට සිදුවූ දේ කුමක්දැයි සොයන්නට විය. ඔවුන්ට මුලින්ම හමුවුනේ බ්‍රෙන්ඩා ගේ ඇඳ උඩ තිබූ තියුණු පොරවකි. ⁣දුර කථනය ක්‍රියා විරහිත වී තිබුණි. නෙඩ් ගේ ට්‍රක් රථය ද ක්‍රියා කළේ නැත. ස්ටීව් නැවත පැමිණ මේ ගැන සොයා බලන විට තේරූම් ගත්තේ පෙනෙන නොපෙනෙන මිනිසා විසින් නෙඩ්ව මරා දමා ඇති බවය.

ඒ අතරේදී එක්වරම සියලු විදුලි පද්ධිතිය ක්‍රියා විරහිත වන්නට විය. මෙහී විදුලි පද්ධිතිය ක්‍රියාත්මක වන්නේ උත්පාදක යන්ත්‍රයෙනි (ජෙනරේටර්). මෙසේ එක් වරම විදුලි පද්ධතිය ක්‍රියා විරහිත වන්නේ ජෙනරේටරයේ දෝෂයක් යැයි සිතූ බිල් විදුලි පන්දමක් ආධාරයෙන් ජෙනරේටරය තිබෙන කාමරයට ගියේය. ඔහු එසේ ගියා පමණි.

ඇලිස් ට පසුව දැක ගන්නට ලැබුණේ එසේ ජෙනරේටර් කාමරයට ගිය බිල්ගේ මළ සිරුර ජෙනරේටර් කාමරයේ දොරේ ශක්තිමත් හීයක ආධාරයකින් එල්ලා තිබෙන අයුරුය. ඇලිස් එය දැක කෙතරම් බියට පත් වූවාදැයි කිවහොත් ඇය 'කැබින්' එකට ගොස් සැඟවී සිටින්නට වූ අතර, එම දර්ශනයෙන් ඇය මහත් සේ කම්පනයට පත් වන්නට විය. එසේ කම්පනයේ සිටින ඇය දුටු ඊළඟ දර්ශනය වූයේ, බ්‍රෙන්ඩාගේ මළ සිරුර කවුරු හෝ පෙනෙන නොපෙනෙන කෙනෙක් විසින් කැබින් එකේ ජනේලයෙන් එළියට විසිකරන බවකි. එයින් ඇය තවත් ත්‍රස්ත විය.

ඒ සමඟම ඇයට වාහනයක් පැමිණෙන ශබිදයක් ඇසුණි. ඒ පැමිණෙන්නට ඇත්තේ කඳවුර අයිති කරු වූ ස්ටීව් යැයි ඇය නිගමනය කළාය. ඇය වහා එතැනට ගියේ ආරක්ෂාව පතාය. එහෙත් එතැන සිටියේ 'පැමලා වූහීස්' මහත්මිය ය.

'පැමලා වූහීස්' යනු 'ෆ්‍රයිඩේ ද තර්ටීන්' වෙනුවෙන් තිර කථා රචක වික්ටර් මිලර් විසින් නිර්මාණය කෙරූ චරිතයක් ය. මෙය මුල්ම චිත්‍රපටයේ ජීවමාන චරිතයක් විය. එය රඟපෑවේ ඇමරිකානු නිළියක් වූ 'බෙට්සි පාර්මර්' ය. එහෙත් දෙවන චිත්‍රපටයේදී මෙම චරිතය 'ඇනිමේෂන්' චරිතයක් බවට පත් විය.

'පැමලා වූහීස්' යන චරිතය 'ෆ්‍රයිඩේ ද තර්ටීන්' චිත්‍රපටයට නිර්මාණය වූයේ 'ජේසන් වූහිස්'ගේ මව ලෙසටය. 1957 වර්ෂයේ 'ක්‍රිස්ට්ල් ලේක් කඳවුරේ, එම ගංගාවේ ගිලී මිය ගියේ ඇයගේ එකම පුත්‍රයාය. ඒ වන විට ඇය එහී කෝකියෙකු ලෙස රාජකාරිය කර ඇත. ඇගේ පුතුගේ අනපේක්ෂිත දියේ ගිලීමට වග කිව යුත්තේ ක්‍රිස්ට්ල් ලේක් කඳවුරේ සේවක පිරිස, යැයි ඇය චෝදනා කළ අතර, ඈ ඒ සියල්ලන්ම නැති කර දැමුවාය. එතැන් සිට කිසිවකට මෙම කඳවුර විවෘත කිරීමට ඇය ඉඩදුන්ණේ නැත. එසේ විවෘත කිරීමට පැමිණී හැම කෙනාවම ඇය මරා දැමුවාය. ඇයගේ පුත්‍රයාට සිදුවූ විනාශය තවත් කෙනෙකුට සිදු නොවිය යුතු නිසා ඇය මෙම ස්ථානය කිසිවකටත් විවෘත කිරීමට ඉඩ නොදුන්නාය. එහෙත් දැන් අවුරුදු 21 කට පසු මෙය විවෘත කිරීමට පැමිණි අයව, මෙලෙස ම්ලේච්ඡ අන්දමට මරා දැමුවේ ඇයද.?

ඇලිස් වූහිස් මහත්මිය ළඟට ගිය විට, ඇය තමා මෙම කඳවුර අයිති ස්ටීව්ගේ පවුලේ මිතුරියෙක් බව කියයි. එලෙසම ඇය 1957 දී තම පුතු ජේසන් දියේ ගිලී මැරුණු කථාවද ඇලිස් ට කියයි. ඇය එතනදී කියන්නේ එදා කඳවුරු උපදේශක, උපදේශිකාවන් ලිංගීක ක්‍රියාකාරකම් කරමින් සිටි හෙයින් තම දරුවා ගැන සැලකිලිමත් නොවූ නිසා තම දරුවා වූ ජේසන් දියේ ගිලී මිය ගිය බවය. එතැන් සිට තමා කිසිවෙකුට මෙම කඳවුර විවෘත කිරීමට ඉඩ නොදෙන බව කියා , ඇලිස් ඇතුළු කණ්ඩායම පැමිණියේද මෙය විවෘත කිරීමට නිසා ඇය දැන් ඇලිස්ව මරන්නට යන බවද කීය. එලෙසම ඇලිස්ගේ සියලු යහළුවන් මරා දැමුවේද තමා බව ඇය කියන්නට විය. ඒ සමඟම ඇය ඇලිස්ව මරාදමන්නට ඇයගේ ඇඟට පනින විටම, ඇලිස් ඇයට පා පහරක් එල්ල කර ඇයව සිහිසන් බවට පත් ක⁣ළාය. ඉන් පසු ඇලිස් වෙරළට ගිය අතර, සිහිසන්ව සිටි වූහිස් මෙනවිය පිහියක් අතැතිව, එතැන දිස්විය. ඇය යළිත් ඇලිස්ව මරන්නට තැත් කළාය. ඇලිස් ඇය සමඟ පොර බදිමින් පිහිය ඇගේ අතට ගෙන වූහිස් මහත්මියගේ හිස කපා දැමීය.

වූහිස් සමඟ පොර බැඳ වෙහෙසට පත් ඇලිස් , ක්‍රිස්ටල් ලේක් හී පාවෙන ඔරුවක් මතට නැග ගත්තාය. වෙහෙස නිසාදෝ ඇයට ඔරුව තුළ නින්ද ගියේ ඇයට නොදැනීමය.

ඇයට නින්දත් නොනින්දත් අතර දී, කිසිවෙක් ඔරුවට නැඟුණු බවක් දැණුනි. ඇය දෑස් හැර බලන විට, ඔරුව තුළ සිටියේ ජේසන්ගේ අද්භූත සිරුරය. එය ක්‍රියාශීලි වී තිබු⁣ණි. ජේසන් කියනුයේ තම මව වූ වූහිස් මහත්මිය මිය ගොස් සෑහෙන කාලයක් ගතවී ඇතත්, තමාට මේ ක්‍රිස්ටල් විල විවෘත කිරීමට එන අයව මරා දමන්නට ඇය භූතාවේශයකින් නැවත පැමිණ තමාව මෙහෙයවන බවය. එසේ කියා මේ අද්භූත ජේසන් විසින් ඇලිස්ව වැවට ඇද දැමීය.

ඇලිස් නැවත දෑස් හැර බලන විට ඇය සිටියේ පොලිස් නිලධාරියෙකු හා වෛද්‍ය කාර්ය මණ්ඩලයක් විසින් වට කරන ලද රෝහලකය. ඇලිස් එක්වරම එතැන සිටින පොලිස් නිලධාරියා ගෙන් ජේසන් ගැන විමසන විට ඔහු කීවේ, කිසිදු පිරිමි ළමයෙක් එතැන නොසිටි බවත් එතන තිබුණේ කුඩා රැළි සහිත සුපුරුදු ක්‍රිස්ටල් විල බවත්ය. එවිට ඇලිස් පවසන්නේ එසේ නම් අනිවාරයෙන්ම ඔහු තවමත් එතැන ඇති බවකි.'

ජේසන් යනු 'හොල්මනක්'ද, නැත්නම් නැවත, නැවත, ඉපදෙන ජීවයක්ද, එසේත් නැත්නම් එදා වැවට වැටුණු කුඩා ළමයා වැවේ ගිලී නොමැරි කොහේ හෝ හැදී වැඩී තරුණ වියට එළැඹ පළිගැනීමට සැරසුණු පුද්ගලයෙක්ද යන ප්‍රශ්නය ප්‍රේක්ෂකයන් ට ඉතිරි කර 'ෆ්‍රයිඩේ ද තර්ටීන්' චිත්‍රපටය නිමා වේ.

මෙහී රඟපෑම් මෙසේ විය. ඇලිස්- (ඒඩ්‍රියනා කිංග්), බිල්- (හැරී ක්‍රොස්බී,) මාර්ස්-(ජෙනී ටේලර්,) බ්‍රෙන්ඩා,- (ලෝරි බාර්ට්‍රම්,) ජැක්- (කෙවින් බාකොන්,) නෙඩ්- (මාර්ක් නෙල්සන්,) ඇනී- (රොබී මෝර්ගන්,) ස්ටීව්- (පීටර් බ්‍රෝවර්,) එනෝස් -(රෙක්ස් එවර්හාට්).

'ෆ්‍රයිඩේ ද තර්ටීන්' ඇමරිකාවේ ප්‍රදර්ශනය වූයේ 1980 මැයි 9 වනදාය.ඊට අවුරුද්දකට පසු එනම් 1981 මැයි 1 වන දා 'ෆ්‍රයිඩේ ද තර්ටීන් 2 තිරගත වීම ආරම්භ විය. ඇමරිකානු ඩොලර් මිලියනයක් වියදම් කෙරූ එම චිත්‍රපටයද, පළමු වටයේ බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 21.7 විය.