වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
දූෂණයට එරෙහි අරගලය

ජමුනා ප්‍රසාද් පාණ්ඩේ තම මාපියන් වන්දනා ගමනක් යැවීමට මුදල් ඉතිරි කරමින් සිටී. ජමුනා ප්‍රසාද් දැඩි මසුරු පුද්ගලයෙකි. නොසිතූ අවස්ථාවකදී ගංවතුරකින් තම මාපියන් අහිමි වේ. ඒ කෙසේ වෙතත් දෛවයට වෙනත් සැලසුම් තිබේ. අතරමැදියන් සහ ඉහවහා ගිය දූෂණය හේතුවෙන් රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද වන්දි මුදලෙන් අඩක් පමණක් තමාට ලැබෙන බව දැනගත් ඔහු කලබලයට පත්වේ. මේ ජමුනා ප්‍රසාද් පාණ්ඩේ අප හමුවට එන්නේ ලක්නව් පසුබිම් කරගත් කන්ජූස් මකිචූස් (Kanjoos Makhichoos) චිත්‍රපටය සමඟිනි. හින්දි හාස්‍යමය සිනමා නිර්මාණයක් වන එය සුප්‍රසිද්ධ ගුජරාටි නාට්‍යයක් වන Sajan Re Jhooth Mat Bolo පාදක කර ගෙන නිර්මාණය කර ඇත. විපුල් මෙහ්තා රචනා කර අධ්‍යක්ෂණය කළ කන්ජූස් මකිචූස් චිත්‍රපටයේ දූෂිත ක්‍රමයට එරෙහිව සාධාරණ වන්දියක් ලබා ගැනීම සඳහා ජමුනා ප්‍රසාද් පාණ්ඩේ කරන්නා වූ සටන දිග හැරේ.
Kanjoos Makhichoos චිත්‍රපටයේ කුනාල් කේමූ ජමුනා ප්‍රසාද් පාණ්ඩේ ලෙස චරිත නිරූපණය කරන අතර ස්වේතා ත්‍රිපාති, පියුෂ් මිශ්‍රා, අල්කා අමින්, රජීව් ගුප්තා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී සිටිති. තේසාබ්, බාසිගර්, මිස්ටර් අසාද් වැනි චිත්‍රපටවලට දායක වූ විකට නළුවකු වූ රාජු ශ්‍රීවාස්තවගේ අවසන් සිනමා රංගනය ද මෙම චිත්‍රපටයේ වේ. සෝහම් රොක්ස්ටාර් එන්ටර්ටේන්මන්ට් සහ තන්ඩර්ස්කයි එන්ටර්ටේන්මන්ට් නිෂ්පාදනය කළ Kanjoos Makhichoos මාර්තු 24 වැනිදා ZEE5 හි නිකුත් විය.