වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
පෞරාණික වස්තූන් සොයා යන සොරු

"මෙන්න මේකයි කතාව. අපි හොරු කණ්ඩායමක්. හොරුන්ට සතුරන් ඇති වෙනවා. සමහර සතුරන් අප පසුපස පන්නනවා. පළි ගන්න. අපි වැරදි කෙනෙක්ට උදවු කළා. වැරදි දෙයක් සොරකම් කරන්න. ඒත් එයින් ලොව බලවත්ම නපුරා මුදා හැරෙයි කියල අපි දැනුම්වත්ව හිටියෙ නෑ. අපි ඒ ප්රශ්නය විසඳනවා. ඒ වෙනුවෙන් අපට අධිෂ්ඨානය අවශ්‍යයි. මැජික් බලය අවශ්‍යයි".
'වැදගත්' සොරුන් කණ්ඩායමක්, අත් වැරදීමකින් සිය වසඟයෙන් ගිලිහී ගිය බලවත් පෞරාණික වස්තුවක් නැවත තමන් සතු කරගැනීමට දියත් කරන ත්‍රාසජනක මෙහෙයුමක් විදහා දක්වන, Dungeons & Dragons: Honour Among Thieves,ජොනතන් ගෝල්ඩ්ස්ටයින් සහ ජෝන් ෆ්‍රැන්සිස් ඩේලි විසින් අධ්‍යක්ෂණය කරන ලද 2023 ඇමරිකානු - ෆැන්ටසි - සොරකම් (Heist) - ක්‍රියාදාම - ප්‍රහසන චිත්‍රපටයකි. එනමින් යුත් වීඩියෝ ක්‍රීඩාව මත පදනම්ව ගොඩ නැගී ඇති මෙම චිත්‍රපටය, පිළිවෙළින් 2000,2005 සහ 2012 වසරවල තිරගත වූ එනමින් යුත් චිත්‍රපටයන්ට කිසිදු සම්බන්ධයක් නොමැති බව කියවේ.
ස්වභාවයෙන්ම 'සොරුන්' යනු කිසිසේත්ම විශ්වාසකළ නොහැකි පිරිසකි. එපමණක් නොව, සොරුන් යනු එකිනෙකා අතරත් එතරම් විශ්වාසවන්ත පිරිසක් නොවන බව පොදු පිළිගැනීම වේ. මේ පිළිගැනීම පසෙක දමා මෙම චිත්‍රපටයේ නාමය සඳහන් කරන්නේ මෙහි එන සොර මුල අතර එකිනෙකා ගැන ඇති විශ්වාසවන්ත භාවයක් ගැනයි.
ක්‍රිස් මැකේ සහ මයිකල් ගිලියෝ විසින් රචිත මෙම චිත්‍රපටයේ, ක්‍රිස් පයින්, මිෂෙල් රොඩ්රිගුස්, රෙගේ ජීන් පේජ්, ජස්ටිස් ස්මිත්, සොෆියා ලිලිස් සහ හියු ග්‍රාන්ට් ඇතුළු පිරිස විසින් රඟ දැක්වෙන මෙම චිත්‍රපටය මාර්තු මස 31 වැනිදා සිට තිරගත වීමට නියමිත අතර, විනාඩි 134 ක ධාවන කාලයකින් යුතු වේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 154 ක පිරිවැයක් දරා නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය විචාරකයන් රැසකගේ පැසසීමට ලක් වී ඇත. රොට්න් ටොමාටෝස් අඩවියේ විචාරකයන් 59 දෙනෙකුගෙන් 86% ක් අනුමත කර ඇති එහි දර්ශකයේ සාමාන්‍ය අගය 7.3/10 කි. එහි පොදු විචාරයට අනුව මෙය අගනා ප්‍රහසන - ෆැන්ටසි - ක්‍රියාදාම චිත්‍රපටයකි. මෙටා ක්‍රිටික් අඩවියේ විචාරකයින් 15 දෙනෙකුගෙන් 77%ක් මෙය අනුමත කර ඇති අතර, චිත්‍රපටයට 'සාමාන්‍ය ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇත.