වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
JOHNWICK නැවත එයි

බෙලාරුස් හි ජර්ඩනි ජොවොනොවිච් හි උපත ලැබූ ජෝන් වික් අනාථයෙක් වූ අතර තරාසොව් නම් රුසියානු මාෆියා සංවිධානය ඇසුරේ ඔහු (කුලී) ඝාතකයෙකු බවට පත්විය. කුරිරු සහ සාහසික ඝාතකයෙක් වූ තරුණ වික් හට මාෆියා සංවිධානයේ ප්‍රධානියා පවා බිය විය. පසු කලෙක ඝාතන දිවියෙන් වෙන්වී විසූවද වික් හට එම දිවියෙන් ගැලවී සිටීමට කුරිරු සමාජය ඉඩ නොදුන්නේය. ඩෙරෙක් කොල්ස්ටාඩ් විසින් නිර්මාණය කරන ලද ඇමරිකානු ක්‍රියාදාම ත්‍රාසජනක අපරාධ චිත්‍රපට මාලාවක් වූ ජෝන් වික් ප්‍රධාන චරිතය වූ ජෝන් වික් වටා ගෙතී ඇති අතර එහි පළමු චිත්‍රපට ත්‍රිත්වය පිළිවෙළින් 2014, 2017 සහ 2019 යන වසරවල තිරගත විය.
මාර්තු මස 24 වැනිදා සිට තිරගත වීමට නියමිත ජෝන් වික් මාලාවේ සිව් වැනි දිගහැරුම මෙසේ ඇරඹේ. ඒ නිව්යෝර්ක් නගරයයි. ජෝන් වික් පාතාල ලෝකයේ බලවත්ම අපරාධ සංවිධාන පාලනය කරන සභාවක් වන High Table හි අපරාධ අධිපතීන් දොළොස් දෙනා මැරීම සිය අභිප්‍රාය කරගෙන සිටී. පළමුව මොරෝක්කොවට යන ඔහු ඉහත සභාවට ඉහළින් සිටින එකම ජ්‍යෙෂ්ඨයා ඝාතනය කරයි. මේ ඝාතනයෙන් අධිපතීන් කලබල වන විටදී ජෝන් වික් විනාශ කිරීමට නොහැකිවීම නිසා අපරාධකරුවාට සදා ආරක්ෂාව සපයන කොන්ටිනෙන්ටල් හෝටලයේ කළමනාකරු, වින්ස්ටන් සහ ඔහුගේ සගයා වෙත දඬුවම් පමුණුවයි. වින්ස්ටන් සේවයෙන් පහකොට, ඔහුගේ සගයා මරා දමන අධිපතීහු, ජෝන් වික් මරාදැමීම සඳහා ඔහුගේත් පැරණි මිත්‍රයෙක් සහ ඝාතකයෙක් වන කේන් නැමැත්තා තෝරා ගනිති.
පෙර චිත්‍රපටයන්හි සේම, කීනු රීව්ස් - ජෝන් වික් ලෙසත්, ඉයන් මැක්ෂේන් - වින්ස්ටන් ලෙසත්, ලාන්ස් රේඩික් - වින්ස්ටන්ගේ සගයා වන චරොන් ලෙසත් චරිත නිරූපණය කරන මෙහි, ප්‍රධාන සතුරාගේ චරිතය වන කේන් ලෙස සටන් කළා අධ්‍යක්ෂකවරයෙක් සහ රංගන ශිල්පියෙක් වන ඩොනී යෙන් දායක වීම විශේෂත්වයකි. ප්‍රවීණ නළුවන් වන බිල් ස්කාස්ගාඩ්, ලෝරන්ස් ෆිෂ්බර්න්, හිරෝයුකි සනාදා, ස්කොට් ඇඩ්කින්ස් ඇතුළු පිරිසක් සෙසු චරිතයන්ට පණ පොවති. චැඩ් ශාහෙන්ස්කිගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය ෂේ හැටන් සහ මයිකල් ෆින්ච් අතින් රචනා වී ඇති අතර ලයන්ස්ගේට් බෙදාහැරීමකි.
රෝටන් ටෝමාටෝස් වෙබ් අඩවියේ විචාරකයන් 58 දෙනෙකුගෙන් 91%ක් අනුමත කර ඇති මෙම චිත්‍රපටයට, දර්ශකයේ ලැබී ඇති සාමාන්‍ය අගය 8.3/10 කි. එහි පොදු විචාරය පවසන්නේ මෙම චිත්‍රපටයේ (පෙර චිත්‍රපටයන්හි තිබූ) ත්‍රාසය, ක්‍රියාදාම ආදි සෑම දේම වැඩි වැඩියෙන් ඇති බවයි.
මෙම චිත්‍රපට දාමයට මුල සිටම සම්බන්ධ වූ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන (චිත්‍රපටයේ එන චරොන් ගේ චරිතයට පන දුන්), ලාන්ස් රේඩික් පසුගිය සතියේ මෙලොවින් සදහටම සමුගත් අතර, මියයන විට 60 වැනි වියෙහි පසුවූ ලාන්ස් ස්වභාවික හේතු මත මියගිය බව සඳහන් වේ. ද වයර්, ෆ්රින්ජ්, බෝෂ් වැනි රූපවාහිනී කතා මාලාවන්හි චරිත නිරූපණය කරමින් රසිකයින් අතර ජනප්‍රිය වූ ලාන්ස් බොහෝ කතා මාලා සහ චිත්‍රපටවල නිරූපණය කර ඇත්තේ ඍජු, විනයගරුක, නිලධාරියකුගේ චරිතයකි.