CLEOPATRA එලිසබෙත් ටේලර් ලෝක පූජිත කළ දැවැන්ත වීර කාව්‍යය

මාර්තු 16, 2023

ක්‍රිස්තුවර්ෂ 69 යකට පෙර ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ ඉපදුණු ක්ලියෝපැට්රා, ඊජිප්තුව පාලනය කළ ආකාරයත් එයට සම්බන්ධවූ ජුලියස් සීසර් හා මාක් ඇන්තනී, පිළිබදවූ ඒ සත්‍ය සිදුවීම් අලළා ප්‍රථම වරට චිත්‍රපටයක් බිහිවූයේ 1917 දීය. එය කළු සුදු, නිහඬ චිත්‍රපටයක් විය. 'තෙඩා බාරා' නම් නිළියක් එහී ක්ලියෝපැට්රා ට රඟපා තිබුණි. ඒ අනුව ක්ලියෝපැට්රා චරිතය, තිරයේ පණ පෙවීමේ ප්‍රථම ගෞරවය හිමි විය යුත්තේ තෙඩා බාරාටය.

1934 දී මෙම වෘත්තාන්තය යළි සිනමාවට නැඟුණි. එවර එය වර්ණ ශබ්ද චිත්‍රපටයක් වූවා පමණක් නොව, එකල හැටියට එය දැවැන්ත චිත්‍රපටයක් විය. අධ්‍යක්ෂණය කළේ සිසිල් බී.ඩි. මෙල්ය.( පසු කලෙක 'ද ටෙන් කමන්ඩ්මන්ට්ස්' දැවැන්ත චිත්‍රපටය නිර්මාණය කළේ මේ සිසිල්. බී. ඩි මෙල් මය.).

1934 හැදූ 'ක්ලියෝපැට්රා', චිත්‍රපටයේ වොරන් විලියම්ස් නම් නළුවකු ජුලියස් සීසර් ගෙ චරිතයට පණ පෙවූ අතර, හෙන්රි විල්කොන්සන්, මාර්ක් ඇන්ටනී විය. මෙහි 'ක්ලියෝපැට්රා' වූයේ ක්ලොඩෙට් කෝල්බට් නම් නිළියෙකි. චිත්‍රපටයේ මුළු ධාවන කාලය වුයේ විනාඩි 100යකි. (පැය 1 විනාඩි 40). එකල හැටියට, එම චිත්‍රපටය ඇස්තිමේන්තු කළේ, ඇමරිකානු ඩොලර් ලක්ෂ 8 හාමාරකටය. එය ප්‍රදර්ශනයේදී ප්‍රථම වටයෙන්ම ඩොලර් ලක්ෂ 20 ක පමණ ආදායමක් ලබාගති. එමෙන්ම මෙම චිත්‍රපටය 7 වෙනි ඇමරිකානු ඔස්කාර් ඇකඩමි සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටය, හොඳම සහය අධ්‍යක්ෂණය, හොඳම සංස්කාරක මෙන්ම, හොඳම ශබ්ද පරිපාලක ලෙස, නිර්දේශ වූ අතර, හොඳම කැමරා අධ්‍යක්ෂණය ට පමණක් සම්මානයක් හිමි කර ගති.

ඉන් වසර 30 කට පසුය, මෙම ලිපියට පාත්‍රවෙන 'ක්ලියෝපැට්රා' එපික් වර්ගයේ දැවැන්ත චිත්‍රපටය නිපදවූයේ. එය ලොව වටා තිරගත කිරීම ආරම්භ කළේ 1963 ජුනි මස 12 වන දිනයේය.

මෙය පාදක කර ගත්තේ කාලෝ මරියා ප්‍රාන්සේරෝ ලියූ ' ද ලයිෆ් ඇන්ඩ් ද ටයිම්ස් ඔෆ් ක්ලියෝපැට්රා' යන කෘතිය ආශ්‍රයෙන් ය. එලෙසම එයට ප්ලුටාර්ච් සුසිටෝනියස් හා අප්පියන් ලියු ඉතිහාස චරිතාපදානයන් ගේ පොත් වලින් උපුටා ගත් දේ ද එකතු කර ගති.

ජෝශප් එල් මැන්කිවින්ස්, රැනල්ඩ් මැක්වෝගල්, සිඩ්නි බුච්මන්, එකතු වී මෙහි තිරරචනය ලියුහ.

ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගම 'ක්ලියෝපැට්රා' නිෂ්පාදනය කිරීමට සැරසුනේ බාල අන්දමටය. ඒ එකල හැටියට ඇමරිකානු ඩොලර් මිලියන 2 කක ආයෝජනයකිනි. නමුත් ක්ලියෝපැට්රා වැනි කථාවක් 'එපික්' වර්ගයේ චිත්‍රපටයකට සුදුසු විනා එය කිසිසේත් බාල නිර්මාණයක් සේ කිරීමට නොහැකි බව ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගම පසුව තේරුම් ගති. එම නිසා ඔවුන් එය නිෂ්පාදනය කිරීමට වෝල්ටර් වැග්නර් ව එකතු කර ගති. ඔහු සමඟ එක්වුණු ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගම ඩොලර් මිලියන 5 ක ඇස්තමේන්තුවකින් චිත්‍රපටය නිෂ්පාදනය කරන්නට විය.

'ක්ලියෝපැට්රා' නව නිෂ්පාදනය අධ්‍යක්ෂණය කිරීමට භාර දුන්නේ 'රූබන් මැමෝලියන්ට' ය. රූබන් 1929 දී 'ඇප්ලුස්' නම් චිත්‍රපටය පැරමවුන්ට් සමාගමට අධයක්ෂණය කරමින් තම සිනමා වෘත්තිය පටන් ගෙන තිබුණි. එතැන් සිට 1959 වන තෙක් ඔහු විවිධ සිනමා සමාගම් වලට චිත්‍රපට 18 ක් පමණ අධ්‍යක්ෂණය කර තිබුණි. ඔහු ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් වෙනුවෙන් චිත්‍රපට 3 ක්ද, පැරමවුන්ට් සමාගම වෙනුවෙන් චිත්‍රපට 6 ක්ද, එම්.ජී.එම්. චිත්‍රපට සමාගම වෙනුවෙන් චිත්‍රපට 2 ක්ද, කොලොම්බියා චිත්‍රපට සමාගම වෙනුවෙන් චිත්‍රපට 1 ක්ද, අධ්‍යක්ෂණය කර තිබූ හෙයින් ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගම සැකයකින් තොරව 'ක්ලියෝපැට්රා' චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට රූබන් මැමෝලියන්ට භාර දුනී.

ක්ලියෝපැට්රාගේ චරිතයට ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් හා නිෂ්පාදක වෝල්ටර් වැග්නර් මෙන්ම අධ්‍යක්ෂක රූබන් මැමෝලියන් ගේ එකායන තේරිම වූයේ එවකට යොවුන් තාරුණ්‍යයේ පසුවූ අතීශයින්ම රූමත් එලිසබත් ටේලර්වය. ඇය එම කොන්ත්‍රාත්තුව අත්සන් කළේ ඇමරිකානු ඩොලර් මිලියනයකටය. එය 1960 දශකයට සාපේක්ෂව විශාල මුදලකි. ක්ලියෝපැට්රා සමඟ යන අනිත් ප්‍රධාන චරිත යුගල වූයේ ජුලියස් සීසර් හා මාර්ක් ඇන්තනීය.

ජූලියස් සීසර් ගේ චරිතයට ඔවුන් තෝරාගත්තේ බ්‍රිතාන්‍ය නළුවෙකු වූ 'පීටර් ෆින්ච්' ය. ඔහු තම රඟපෑම් වෘත්තිය ආරම්භ කළේ 1935 දීය. ඒ 'ද මැජික් ෂූස්' නම් චිත්‍රපටයකිනි. එලෙසම ඔහු ව 'ක්ලියෝපැට්රා' චිත්‍රපටයට සම්බන්ධ වීමට ප්‍රථම එලිසබත් ටේලර් සමඟ 'එලිෆන්ට් වෝක්' නම් චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑවේය. එම චිත්‍රපටය හරි අඩක් රූ ගත කළේ ලංකාවේය. ඒ 1954 දීය. පීටර් ෆින්ච් වඩාත්ම ජනප්‍රිය වූයේ 60-70 දශකයේදී ය. 'ෆා ෆ්‍රොම් ද මැඩිං ක්‍රවුඩ්' , ''ද රෙඩ් ටෙන්ට්', 'සන්ඩේ බ්ලඩි සන්ඩේ' සම්තිං ටු හයිඩ්', , 'ලොස්ට් හොරයිසන් ', 'නෙට් වර්ක්', වැනි චිත්‍රපට වල රඟපෑ ඔහු 'සන්ඩේ බ්ලඩි සන්ඩේ' චිත්‍රපටයේ සමලිංගීක දොස්තර වරයෙක්ගේ චරිතයක් රඟ පා, බ්‍රිතාන්‍ය නළුවෙකු විසින් ප්‍රථම වතාවට තවත් පිරිමියෙකුගේ දෙතොල් සිප ගැනීමේ අභියෝගාත්මක දර්ශනයකට නොපැකිළිව පෙනී සිටියේය. එලෙසම ' නෙට් වර්ක් චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ඔහු ප්‍රථම වතාවට හොඳම නළුවා ⁣ලෙස ඔස්කාර් ඇකඩමි සම්මානයට පාත්‍රවූවද, එය ලබා ගැන්මට ඔහුට ඒමට නොහැකි වූයේ ඊට ප්‍රථම ඔහු මිය ගිය නිසාය. දක්ෂ මෙන්ම කඩවසම් ආකර්ෂණීය පෙනුමක් තිබූ පීටර් ෆින්ච්, ජුලියස් සීසර් ගේ චරිතයට හොඳම තෝරා ගැන්මක් විය.

මාර්ක් ඇන්තනීගේ චරිතයට තෝරා ගත්තේ 'ස්ටෙෆන් බොයිඩ්' නම් බ්‍රිතාන්‍ය නළුවාය. 1953 දී රඟපෑම් වෘත්තියට එකතු වුණු ස්ටෙෆන් බොයිඩ් ගේ මුල්ම චිත්‍රපටය වූයේ 'බ්ලැක් 13' ය. 'බෙන්-හර්' චිත්‍රපටයේ මෙසාලා ගේ චරිතය රඟපෑ ඔහුගේ 'අශ්ව කරත්ත (ඛ්ඩචපඪධබ අචජඥ) තරඟය ඉතාමත් විශ්මිත මෙන්ම ජනප්‍රියතම දර්ශනය ක් විය. ජෙන්ජ්හිස් කහන්', ' ද බයිබල් ඇන් ද බිගිනින්' 'ෂලාකෝ', වැනි චිත්‍රපටවල රඟපා, ජනප්‍රිය වූ ස්ටෙෆන් බොයිඩ් ක්ලියෝපැට්රා චිත්‍රපටයේ මාර්ක් ඇන්තනීගේ චරිතයට තෝරා ගන්නා විට ඔහු චිත්‍රපට 16 ක පමණ රඟපා තිබු අතර, ඒවා බොහොමයක් දැවැන්ත චිත්‍රපට විය.

'ක්ලියෝපැට්රා' චිත්‍රපටය 1961 වර්ෂයේ ජනවාරි මාසයේ එංගලන්තයේදී රූ ගත කිරීම ආරම්භ කළ අතර, එම රූ ගත කිරීම් සීමා වූයේ සීමිත දින කීපයකට පමණි. 'ක්ලියෝපැට්රා' ලෙස රඟපෑ එලිසබත් ටේලර් තද බල ලෙස අසනීප වීම එයට හේතු විය. එලිසබත් ටේලර්ට සම්පූර්ණ සුවය ලැබෙන තෙක් බලා සිටීමට පීටර් ෆින්ච් ට හා ස්ටෙෆන් බොයිඩ් ට, නොහැකි වූයේ ඒ වන විටත් ඔවුන් තවත් චිත්‍රප⁣ට කීපයක්ම කොන්ත්‍රාත්තු වලට අත්සන් කර තිබූ නිසාය. මේ හේතුවෙන් ඔවුන් දෙදෙනාම 'ක්ලියෝපැට්රා' චිත්‍රපටයේ රඟපෑමේ කොන්ත්‍රාත්තුවෙන් අයින් විය.

මේ අතර රූබන් මැමෝලියන්ගේ අධ්‍යක්ෂණය ගැන ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගම හා නිෂ්පාදක වෝල්ටර් වැග්නර් කිසිසේත් සෑහීමකට පත් වූයේ නැත. ඒ,එතෙක් ඔහු රූ ගත කර තිබුණේ විනාඩි 10 ක පමණ ධාවන කාලයක් පමණක් බවත්, එකී විනාඩි 10 රූ ගත කිරීම සඳහා එයට ඇමරිකානු ඩොලර් මිලියන 7 ක් වියදම් කර ඇති නිසාය. එය නිෂ්පාදකයන්ට විශාල පාඩුවක් වූ අතර, ඩොලර් මිලියන 5 කට මුළු චිත්‍රපටයම ඇස්තිමේන්තු කර තිබියදී, විනාඩි 10 ක කාලයකට එකී මිලියන 5 ත් ඊට අමතරව තවත් වැඩිපුර ඩොලර් මිලියන 2 ක් වැය කෙරූ නිසා ෆොක්ස් සමාගම, රූබන් මැමෝලියන්ව 'ක්ලියෝපැට්රා' චිත්‍රපට ව්‍යාපෘතියෙන් නෙරපා දමා එම පාඩුවූ මුදල රක්ෂණයෙන් පියවා ගතී.

රූබන් මැමෝලියන් ගේ නෙරපීමෙන් පසු 'ක්ලියෝපැට්රා' චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට අධ්‍යක්ෂකවරයෙක් සෙවීමට නිෂ්පාදක සමාගම උත්සහා කරන විට, එලිසබත් ටේලර් විසින් ඇය මින් පෙර රඟපෑ අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකුගේ නම් දෙකක් ඉදිරිපත් කළාය. ඉන් එක් අයෙක් වූයේ ','අ ප්ලේස් ඉන් ද සන්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ජෝර්ජ් ස්ටීවන් ය. අනෙක් අධ්‍යක්ෂක වරයා ''සඩන්ලි ලාස්ට් සමර්, චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ජෝශප් එල් මැක්කිවින්ස් ය. එලිසබත් ටේලර් එසේ යෝජනා කළද, අධ්‍යක්ෂක ජෝර්ජ් ස්ටිවන්ස් ඒ වන විට 'ද ග්‍රේටස්ට් ස්ටෝරි එවර් ටෝල්ඩ්' නැමති දැවැන්ත චිත්‍රපටයක නිරත වී සිටි හෙයින් , ඔහුට 'ක්ලියෝපැට්රා' චිත්‍රපටය ගොඩ දැමීමට කාලය මදි විය. මේ හේතුවෙන් 'ක්ලියොපැට්රා' චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට ජෝශප් එල් මැක්කිවින්ස් ට භාර විය. එය අධ්‍යක්ෂණය කිරීමට මැක්කිවින්ස් තමාගේ ගාස්තුව වශයෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ 30 ක් ඉල්ලීය. ඔහු කොන්ත්‍රාත්තු ව අත්සන් කළේ ඒ මුදලටය. පීටර් ෆින්ච් රඟපෑ 'ජූලියස් සීසර්' ගේ චරිතයට ඔවුන් යෝජනා කළේ 'රෙක්ස් හැරිසන්' නම් බ්‍රිතාන්‍ය ජාතික නළුවාවය.

රෙක්ස් හැරිසන් තම සිනමා රංගන ජීවිතය ආරම්භ කළේ 1934 වර්ෂයේ ය . ඒ 'මෑන්' චිත්‍රපටයෙන්ය. එතැන් සිට 1982 දක්වා ඔහු චිත්‍රපට 45 කට ප්‍රධාන හා උප ප්‍රධාන චරිත සමඟින් දායක විය. 1908 මාර්තු 5 වන දින ඉපදුණු රෙක්ස් හැරිසන් 'ක්ලියෝපැට්රා' හී රඟපාන විට අවුරුදු 55 ක් පමණ විය. ඉන්පසු ඔහු රඟපෑවේ ලොව වඩාත්ම ජනප්‍රිය වූ සංගීතමය විකටානුසාර, විශිෂ්ට චිත්‍රපටයක් වූ 'මයි ෆෙයාර් ලේඩි' ය. එහී මහාචාර්ය හෙන්රි හිගින්ස් ගේ චරිතය රඟපෑවේ රෙක්ස් හැරිසන් ය. එලෙසම ඔහු බ්‍රිතාන්‍ය රූපවාහිනි මෙන්ම වේදිකාවේද දක්ෂතම නළුවෙකු විය. ඔහුගෙ විශිෂ්ට සේවය අගය කළ බ්‍රිතාන්‍ය රජය ඔහුට නයිට් නාමයක් ප්‍රදානය කළහ.

ස්ටෙෆන් බොයිඩ්ගෙන් හිස්වුණු 'මාර්ක් ඇන්තනී' චරිතය පුරවා ගත්තේ රිචඩ් බර්ටන් ගෙනි. බර්ටන්ද බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වූ අතර ඔහු අයිති වූයේ වේල්ස් වලටය. ඔහු තම සිනමා රංගනය ආරම්භ කළේ 1951 දීය. ඒ ' ','ලේඩිස් නොට් ෆො බර්නින් චිත්‍රපටයෙන්ය. එහෙත් ඔහුගේ පළවන ප්‍රධාන චරිත රඟපෑම වූයේ ' ' මයි කසින් රැක්වෙල්', චිත්‍රපටය ය. ඉන්පසු ඔහු චිත්‍රපට 50 ක පමණ රඟපෑ අතර, 'ක්ලියෝපැට්රා' චිත්‍රපටය ඔහුගේ රංගන ජීවිතයට හා පෞද්ගලීක ජීවිතයට බෙහෙවින් බලපෑම් ඇති කළ චිත්‍රපටයක් විය.

ක්ලියෝපැට්රා චරිතයට පණ දුන් එලිසබත් ටේලර් ද ඉපදුණේ එංගලන්තයේය. ඇය මුලින්ම සිනමා පටයකින් පැමිණියේ 1942 වසරේ තිරගත කළ 'දෙයාස් අ වන් බෝන් එව්රි මිනිට්' චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයකිනි. 1944 දී තිරගත කළ 'නැෂනල් වෙල්වට් ' ඇයගේ යොවුන් ප්‍රධාන චරිතය ලෙස ගණන් ගැනේ. 1956දී ඇයට රඟපෑමට ලැබූ 'ජයන්ට්', නම් දැවැන්ත එපික් වර්ගයේ චිත්‍රපටය තුළින් ඇය ප්‍රධාන භූමිකාව හරහා තිරයට පැමිණියාය. එතැන් සිට ඇය 1964 දී ක්ලියෝපැට්රා චිත්‍රපටයට සම්බන්ධ වන විට චිත්‍රපට ගණනාවක්ම රඟ පා තිබුණි. එහෙත් 'ක්ලියෝපැට්රා' චරිතය ඇයව ලෝ පූජිත නිළියක් කළාය. ඇය හැරෙන්නට ක්ලියෝපැට්රා චරිතයට සුදුසු වෙන කිසිවෙක් ගැන සිතන්නටවත් නොහැකි විය. ඉන්පසුද රූපවාහිනි කථා මාලාවල, ක්ලියොපැට්රා චරිතය එක් එක් අය රඟ දැක්වුවද එලිසබත් ටේලර්ව සම කිරීමට කිසිවකට නොහැකි විය.

'ක්ලියෝපැට්රා' චිත්‍රපටය මුල සිටම හැල හැප්පීම් රාශියකට මුහුණ දෙමිනි එය රූ ගත කළේ. හැම අවස්ථාවකදීම නිෂ්පාදන කණ්ඩායමට මුහුණ පාන්නට සිදුවූයේ දැවැන්ත ප්‍රශ්නයන්ය. මේ සියලු කරදර හමුවේ වුවද, චිත්‍රපටය රූ ගත කිරීම් නිමා කරන විට, ඩොලර් මිලියන 5 කට ඇස්තමේන්තු කළ චිත්‍රපටයම ඩොලර් මිලියන 31 ක් වැය වී තිබුණි. ඒ ප්‍රචාරණ හා බෙදාහැරීමේ ඇස්තිමේන්තුව නොමැතිවය. එකල මෙය වැඩිම වියදමක් දරා නිපැයූ චිත්‍රපටයක් බවට පත් වූ සේම, මේ නිසා 'ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස්' වැනි දැවැන්ත සිනමා සමාගමක්, ආර්ථීක අතින් පහළටම කඩා වැටුණි. ඒ හේතුවෙන් ඔවුන් පටන් ගත් චිත්‍රපට කීපයක්ම නවත්වා දමන්නටද සිදුවිය. ෆොක්ස් සමාගම වසා දමන තත්වයක්ද උදා වන්නට විය. අවසානයේදි ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගම යළි තම චිත්‍රපට නිෂ්පාදන හා බෙදාහැරීම පටන් ගත්තේ සමාගමේ චිත්‍රාගාරයට අයිති භූමි භාගයෙන් අක්කර 180 ක් විකුණා දමාය.

ජෝශප් ඒ. මැක්කිවන්ස් 'ක්ලියෝපැට්රා' චිත්‍රපටය නිම කරන විට එය පැය 6 ක දිඟු චිත්‍රපටයක් වී තිබුණි. ඔහු කීවේ කථාවේ සම්පූර්ණ හරය රැක ගැන්මට ඔහුට එසේ කිරීමට සිදුවූ බවය. එහෙත් එයට ෆොක්ස් සමාගම කැමති වූයේ නැත. ඔවුන් එය පැය 4 කට සංස්කරණය කරන ලෙසට මැක්කිවින්ස් ට නියෝග කළේය. ඔහුගේ දැඩි අකමැත්ත මත ඉතාමත් අපහසු ව , එය පැය 4 කට සීමා කරන විට චිත්‍රපටයේ හරය, මෙන්ම එහී දැවැන්ත බව නැතිවී ගියේය. එය නැරඹූ ෆොක්ස් සමාගම, එය තවත් පැයක් අඩු කර මුළු චිත්‍රපටය පැය 3 කට සීමා කරන ලෙස යළි ඉල්ලා සිටියෝය. පැය 6 කට නිර්මාණය කළ චිත්‍රපටය, පැය 3 කට සීමා කරන විට, මොන තරම් දර්ශන ප්‍රමාණයක් කැපී යනවාද?. එවිට ප්‍රේක්ෂකයන්ට දකින්නට ලැබෙන්නෙ කෑලි කෑලි එකතු කෙරූ චිත්‍රපටයකි. මැක්කිවින්ස් එයට කිසිසේත් එකඟ වූයේ නැත. එහෙයින් ෆොක්ස් සමාගමට 'ක්ලියෝපැට්රා' විනාඩි 251 කට එනම් පැය 4 කුත් විනාඩි 11 කට සීමා කර ප්‍රදර්ශනයට බෙදාහැරීමට සිදු විය.

චිත්‍රපටයේදී ක්ලියෝපැට්රා හා සීසර් හමුවීම අප දකිනුයේ ,ක්ලියෝපැට්රා ගේ හමුදාව විසින් කාපට් එකකින් එතූ යමක් ගෙන ඒමෙදීය. රෝල් වී ආ එම කාපට් එක සම්පූර්ණයෙන්ම පෙරළා දමා එය දිගහරින විට ඒ තුළ සිටියේ අතීශයින්ම රූමත් ක්ලියෝපැට්රා කුමරියය. ඒ රූමත් කමටය මහලු වියට එළැඹෙමින් සිටි ජුලියස් සීසර් උන්මන්තයෙකු වූයේ.

ක්ලියෝපැට්රා ගේ කථාව චිත්‍රපටය තුළ පෙන්වූයේ 'රැන්ඩම්' ආකාරයට ය. තැනින් තැන, සිදුවීමෙන් සිදුවීම එකතු වූ විට තැනෙන්නේ මෙවන් කථාවකි.

12වන ටොලමි ක්ලියෝපැට්රා ගේ පියා විය. ඇය ඔහු සමඟ එක්වී ඊජීප්තුවේ හවුල් පාලනයක් ගෙන ගියාය. ඊජීප්තු සම්ප්‍රදායයට අනුව රජ පාලනයන් අන් අයගේ අතට යෑම වැළැක්වීම වස් එකම පවුල් වල සහෝදර සහෝදරියන් හා විවාහ වීම සිදුවිය. ක්ලියෝපැට්රා ද තම බාල සොහොයුරන් වූ 13 වන ටොලමි හා 14 වන ටොලමි සමඟ විවාහ වී හවුල් පාලනයක් ගෙන ගොස් පසුව ක්‍රමයෙන් එකී පාලනය තමා සතු කර ගති.

මෙසේ එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර විවාහ සිදුවීම ටොලමන් රාජවංශයේ සිදුවූවා සේම ,රාජ බලය තමා සතු කර ගැනීම සඳහා එකම පවුලේ අය වුවද ඝාතනය කිරීම , ඔවුනොවුන් සමඟ සටන් කිරීම ,එකිනෙකාට විරුද්ධව කුමන්ත්‍රණය කිරීමද, ටොලමන් සම්ප්‍රදායේ සාමාන්‍ය අංගයක් විය. ඒ අනුව ක්ලියෝපැට්රා රජ කිරුළ උදෙසා තම සොහොයුරාද, විවාහක පුරුෂයා වූ 14 වන ටොලමි සමඟ ද සටන් කළාය. ඇයට ජූලියස් සීසර්ගේ සහය හිමිවෙන්නේ මෙතනදීය.

පාරාවෝවරිය ලෙස ක්ලියෝපැට්රා රෝම අධිරාජ්‍යයේ බලවත්ම පාලකයා වූ ජූලියස් සීසර් සමඟ සම්බන්ධතා පැවැත්වූ අතර එය ඇයව සිහසුන මත ස්ථාවර කිරීමට හේතු විය.

ඇය ජූලියස් සීසර් ගේ සහය ඇතිව තම සොහොයුරා වූ 14 වන ටොලමි සමඟ සටන් කර ඔහුව පරාජයට පත් කළාය. සටනින් පරාජය වූ 14 වන ටොලමි නයිල් ගඟේ ගිලී මිය ගිය බව සඳහන්ය . ඔහු හා සටනින් තම බලය තහවුරු කර ගත් ක්ලියෝපැට්රා තම බාල සොහොයුරා වූ කනිෂ්ඨ ටොලමි සමඟ විවාහ වූ නමුත් තම බලය රැක ගැනීම උදෙසා ඔහුවද ඝාතනය කළාය. ඉන්පසු ඇයගේ කිරුළ හා ඇය රැක ගත් බලයට කිසියම් බලපෑමක් කළ හැකි යැයි ඇය සැලකූ ඇයගේම සොහොයුරිය වූ 'අරිසිනෝව', ඝාතනය කිරීමට පවා ක්ලියෝපැට්රා සැලසුම් කළාය. සියලු ඛාධක එලෙස නැති කර දැමූ ඇය ඊජිප්තුවේ සම්පූර්ණ පාලනය තම අතට ගත්තාය. ඒ සියලු වික්‍රමයන් ඇයට කිරීමට හැකි වූයේ ජූලියස් සීසර් ගේ සහයෝගය නිසාය. ඇය ඊජිප්තුව පාලනය කළේද, සීසර්ගේ රැකවරණය මතය. ඇය ඊජිප්තුව පාලනය කළද ඇය බොහෝ විට සිටියේ රෝමයේ සීසර්ගේ තුරුළේය. එයට හේතුවක් තිබුණි. ක්ලියෝපැට්රා ගේ මෙන්ම, සීසර් ගේ පැත්තෙන්ද මෙලෙස හේතූ තිබුණද, ඒ දෙදෙනාම එය තම තමන්ගේ රහස් සිත්වල පමණක් තැන්පත් කර ගතී. සීසර්ට උවමනා වූයේ, ක්ලියෝපැට්රා ව කාමයෙන්, රාගයෙන් මෙන්ම ප්‍රේමයෙන් උමතු කරමින් ඇය පාලනය කරන ඊජිප්තුව තමා සතු කර ගැන්මටය. ක්ලියෝපැට්රා ට උවමනා වූයේ එලෙස කාමයෙන්, රාගයෙන් හා ප්‍රේමයෙන් සීසර්ව මුසපත් කර, කවදා හෝ රෝම පාලනයද තම අත⁣ට ගැනීමටය. දෙදෙනා කෙතරම් කාමයෙහි වරදවා හැසිරුණේ නැතත්, ඔවුන් දෙදෙනාගේ සිත්වල මෙම තණ්හාව වැඩෙමින් තිබුණි. එලෙසම දෙදෙනා අතර එකිනෙකාට නොපෙන්වූ සැලසුම් තිබුණි. සීසර්ට දාවා දරුවෙකු බිහි කර ඔහුට සිසේරියන් කියා නම තබා ,රෝම වැසියන්ට මේ සීසර්ගේ පුත්‍රයා යයි කියා සීසර්ගේ කටින්ම කියවා ගැන්මටත් සීසර්ගෙන් පසු තම ඉදිරි අනාගතේදි ඉපදෙන සිසේරියන්ට රෝම රාජ්‍ය ලබා දීමය ක්ලියෝපැට්රා ගේ සැලසුම වී තිබුණි. සීසර් රෝම රාජ්‍ය තමාගේ ඇවැමෙන් භාර දීමට සැලසුම් කළේ තම ඥාතිපුත්‍ර ඔක්ටෝවියන් ටය.

චිත්‍රපටය තුළ සීසර් හා ක්ලියෝපැට්රා ගේ ප්‍රේමයට වැඩි ඉඩකඩක් නොදුන්නේ, එය ප්‍රේමයක් නොවන නිසා විය හැකිය. ඔවුන්ගේ යහන් දර්ශන බහුල වූයේ ප්‍රේමයට වඩා ඔවුන්ගේ රාගය ඉස්මතු වූ නිසා විය හැකිය. කෙසේ හෝ ක්ලියෝපැට්රා තමා සැලසුම් කෙරූ දෑ අතරින් ප්‍රධානතම දේ ඇය ඉෂ්ට කර ගත්තාය. ඒ සීසර්ට දාවා දරුවෙක් පිළිසදවා ගැනීමත්, දරුවා ලැබුණු පසු සීසර්ගේ රාජ සභාව හා රෝම වැසියන් ඉදිරියේ මේ සීසර්ට දාවා ඉපදුණු දරුවා කියා කියන්නටත් ,එය සීසර් විසින් ම සනාථ කරන්නටත්, එයින් නොනැවතී මේ බිළිදු සිසේරියන් ⁣අනාගත රෝම රාජ්‍යය යේ, උරුමක්කාරයා බව කියන්නට තරම් ඇය එඩිතර විය.

නමුත් සීසර්ට තම දරුවා සමඟ පමණක් නොව, රෝම අධිරාජ්‍යයද වැඩිකල් පාලනය කර සිටින්නට නොහැකි වූයේ රෝම සෙනෙට් සභාවේදී කුමන්ත්‍රණයක් හරහා සීසර්ව පිහි ඇණුමකින් ඝාතනය වූ නිසාය.

ක්ලියොපැට්රා මාර්ක් ඇන්තනී සමග සම්බන්ධ වන්නේ සීසර්ගේ ඝාතනයෙන් පසුවය. මාර්ක් ඇන්තනී ජූලියස් සීසර්ට සිටි හිතේශීය සේනාංග නායකයා විය. ඔහු සීසර්ගේ දකුණු අත යැයි කිවහොත් නිවැරදි නොවේ. සීසර්ගේ මරණින් පසු මාර්ක් ඇන්තනී බලවත් වන බවක් ක්ලියෝපැට්රාට දැනුණු අතර ඇය ඔහු සමඟ එකතු වූයේ තම අරමුණු කීපයක්ම සාක්ෂාත් කර ගැනීමටය.

මාර්ක් ඇන්තනී ක්ලියෝපැට්රා සමඟ සබඳ කම පටන් ගන්නා විටත්, ඔහු ඔක්ටෝවියන්ගේ සොහොයුරිය වූ ඔක්ටෝවියා මයිනර් සමඟ විවාහ වී සිටියේය. ඇයට දාවා දරුවන් තිදෙනෙක් විය. මාර්ක් ඇන්තනී ඊ⁣ට පෙරද තිදෙනෙක් සමඟ විවාහ වී සිටි බවක් සඳහන් වේ. ෆයිඩා, ඇන්ටෝනියා හයිබ්‍රිඩා, හා ෆුල්වියා, එකී තිදෙනාය.

මාර්ක් ඇන්තනී, ක්ලියෝපැට්රාට කෙතරම් වශීකෘත වූවාදැයි කිව හොත් ඔහු තම බිරිඳ වූ ඔක්ටෝවියා මයිනර් ව අතහැර ක්ලියෝපැට්රා සමඟ විවාහ විය. තම සොහොයුරිය අතහැර ක්ලියෝපැට්රා ව විවාහ කරගැනීමද ඔක්ටෝවියන්, මාර්ක් ඇන්තනී අතර වෛරයට හේතුවක් විය.

ක්ලියොපැට්රා හා මාර්ක් ඇන්තනී එකතුවී රෝමය හා ඊජිප්තුව පාලනය කරන්නට ගියද, එය සාර්ථක වූයේ නැත. ඔක්ටෝවියන්, මාර්ක් ඇන්තනීව හැඳීන්වූයේ කුමන්ත්‍රණකාරි,වංචාකාරි, ද්‍රෝහී පාලකයෙකු ලෙසටය. ඒ නිසාම රෝම සෙනට් සභාව ක්ලියෝපැට්රාට හා මාර්ක් ඇන්තනීට එරෙහිව දැඩි විරෝධය ප්‍රකාශ කළෝය.

මාර්ක් ඇන්තනී,ක්ලියෝපැට්රා හා විවාහ වූ පසු ඔහු හා ඔක්ටෝවියන් අතර සබඳතා බිද වැටුණි. ඔවුන් දෙනොගේ මතබේදය ක්‍රමයෙන් සිවිල් යුද්ධයක් සේ වර්ධනය විය. මෙය ක්ලියෝපැට්රා ට එරෙහිව යුද්ධය ප්‍රකාශයට පත් වූවද, ඇත්ත වශයෙන්ම එය සිදුවූයේ මාර්ක් ඇන්තනී හා ඔක්ටෝවියන් අතරය. යුද්ධයේදී මාර්ක් ඇන්තනීට ගොඩබිම තුළ වාසි සහගත වුවද, යුද්ධයේ මුහුදු සටන් වලදී මාර්ක් ගේ නාවික හමුදාව දුර්වල විය. ක්ලියෝපැට්රා මිසර යුද්ධ නැව් ගණනාවක් සමඟින් මාර්ක් ඇන්තනී ගේ සේනාවට ආධාර පිණිස ඉදිරිපත්වන්නට ගියද, ඔක්ටෝවියන්ගේ නාවික හමුදා බලය හමුවේ ක්ලියොපැට්රා ට පසු බසින්නට වූ අතර ඇයට යළි මිසරයට පලා යාමට සිදුවිය.

ඔක්ටෝවියන් මුහුදු සටනින් ජය ගෙන ඊජිප්තුව ට ගොඩ බැස එහී අගනුවර වූ ඇලෙක්සැන්ඩ්‍රියා ව බලා ගමන් කළේය. ගොඩබිමේදී සුළු සටන් ජය ගැනීමට මාර්ක් ඇන්තනීට හැකි වූවද, එහිදී ක්ලියෝපැට්රා හා මාර්ක් ඇන්තනී කොටු විය. එය තීරණාත්මක සටනක් ව තිබියද, එහී වැඩි වාසිය තිබුණේ ඔක්ටෝවියන්ගේ හමුදාවටය. සටන තමනට අවාසි වන බව දැනගත් ක්ලියෝපැට්රා තමා විසින්ම සකස් කරවා තිබූ සොහොන් ගැබක රහස් කුටියක සැඟව සිය රැකවරණය සලසා ගත්තාය. ඇය ගැන තොරතුරක් නොවූ විට, ඇය මිය ගොස් ඇති බවට ව්‍යාජ ආරංචියක් පැතිරුණි. එම ආරංචිය ව්‍යාජ වූවද, එය මාර්ක් ඇන්තනීට සන්නිවේදන වූයේ සෑබෑවක් ලෙසටය.

ඔක්ටෝවියන් හා සටනින් ලද පරාජය හමුවේ දැඩි පසුබෑමකට ලක්වී සිටි මාර්ක් ඇන්තනීට ක්ලියෝපැට්රා මිය ගිය බව ආරංචි වූ වහාම ඔහුට එය දරා ගැන්මට නොහැකි විය.

අවසානයේදී ඔහු තම ළයට පිහියෙන් ඇන සිය ජීවිතය තමා විසින්ම නසා ගැන්මට තැත් කළේය. ඔහු එලෙස ඇන ගත්තද, එකවරම ඔහු මිය ගියේ නැත. මරණීය තුවාල ලබා සිටි මාර්ක් ඇන්තනී ව ක්ලියෝපැට්රා සැඟවී සිටි සොහොන් ගැබේ කුටියට ගෙන ගියේය. එහිදී ඇය ඔහුව යහනක් මත තැබුවාය. මාර්ක් ඇන්තනී මිය ගියේ ඒ යහන මත ක්ලියෝපැට්රා ගේ දෑත අල්වාගෙනය.

ඔක්ටෝවියන් නගරයට ඇතුළු වූ විට ක්ලියෝපැට්රා , ඔහු සමඟ විවිධ අයුරින් තර්ක කිරීමට උත්සහ ගත්තද, ඒ කිසිවකින් ඇයට ඔක්ටෝවියන් සමඟ එකඟතාවයකට ඒමට නොහැකි විය. එහෙත් ඔක්ටෝවියන් ළඟ ක්ලියෝපැට්රා ට එක් විකල්පයක් තිබුණි. ඒ ඔක්ටෝවියන් සමඟ විවාහ වීමට ය. එසේ වුවහොත් ඇයට නැවත මිසරය භාර දෙන බවට ඔක්ටෝවියන් පොරොන්දු විය. ඇය එම විකල්පයට කැමැත්ත දක්වන බවක් පෙන්වූවද, ඇයගේ සිතේ තිබුණේ වෙනත් අරමුණකි.

සිය ඉරණම සිදුවිය යුතු ආකාරය ක්ලියෝපැට්රා මුල සිටම සැලසුම් කර ගෙන තිබුණි. ඔක්ටෝවියන් හා විවාහ වී මිසරය යළි තමා සතු කර ගෙන, තම සටකපට කමින් රෝමයත් අයිති කර ගැන්මට ඇයගේ සිතේ නොතිබුණාම නොව, එහෙත් ජුලියස් සීසර් අහිමිවීමේ සිට එක දිගට ඇය ලද පරාජයන් හමුවේ, ඇයගේ දැඩි සිත ඉමහත් සේ දුර්වල වී තිබුණි. තවත් ඔක්ටෝවියන් ලා සමඟ පිරිස් බලෙන් හෝ සට කපට කමින් හැප්පෙන්නට බැරි බවක් ඇයටම වැටහුණි . ඇයගේ විශාලම අවිය වූ ඇයගේ ආකර්ෂණීය රූපය හමුවේ ජුලියස් සීසර්, මෙන්ම මාර්ක් ඇන්තනී ද උමතු වූවා සේම දැන් ඔක්ටෝවියන් ද උමතු වූවද, ඇයගේ සටකපටකම් වල දක්ෂ කමත් ඔක්ටෝවියන් හොඳ හැටි දන්නා හෙයින්, ඇය ඔක්ටෝවියන්ව යම් හෙයකින් විවාහ කර ගතහොත් ඔහු ඇයව දම්වැලෙන් බැඳ, දම්වැලේ කෙළවර ඔහුගේ අත⁣ට⁣ ගෙන පාලනය කරන බවද ඇය දැන සිටියාය. ඔය කරුණු කෙසේ වෙතත්, ජූලියස් සීසර් හා මාර්ක් ඇන්තනීට බැදී ගෞරව මුසු ප්‍රේමය ඇයට ඔක්ටෝවියන් කෙරෙහී නම් ඇතිවුණේ නැත. වෛරයක් මිස.

පසුදින ඇයව විවාහකර ගැනීමේ අදහසින් ඔක්ටෝවියන් තම පිරිවර සමඟ එන විට ක්ලියෝපැට්රා තමාගේ කිට්ටුම සේවිකාවන් සමඟ රැජනක් සේ සළු පිලි වලින් හැඩ වී මිසර රාජ්‍ය යේ දිව්‍යමය සලකුණ ලෙස සලකන අතී විෂ ඝෝර සර්පයන් ලවා දෂ්ඨ කරවා උන්ගේ විෂ තම ශරීරවලට ඇතුල් කර ගෙන මරණයට පත් වී සිටියාය.

එලිසබත් ටේලර් ,රෙක්ස් හැරිසන් හා රිචඩ් බර්ටන් ට අමතරව රොඩි මැක්ඩෝවල් ' ඔක්ටෝවියන් ' චරිතයට පණ දුනි. මර්වින් ලක්ඩවූ, හියුම් ක්‍රොනින්, සිසාරි ඩනෝවා, ජෝර්ජ් කෝල්, ඇන්ඩෘ කියර්, ප්‍රැන්සෙස්කා ඇනීස්, පැමලා බ්‍රවුන්, කෙනත් හෙයිස්, රොබට් ස්ටෙෆන්, රිචඩ් ඕ සුලයිවන් ඇතුළු පිරිසක් අනෙකුත් චරිත රඟපෑහ.

ඇමරිකානු ඩොලර් මිලියන 31.1 වියදමින් තැනු 'ක්ලියෝපැට්රා' චිත්‍රපටය,පළමු වටයේ දී ඇමරිකාව හා කැනඩාවේ ප්‍රදර්ශනය කර, ඩොලර් මිලියන 57.8 ක් උපයා ඇති අතර, ලෝකයේ වෙනත් රටවල් වල පෙන්වා ඩොලර් මිලියන 40.3 ක් උපයා තිබුණි.

'ක්ලියෝපැට්රා' චිත්‍රපටය ඔස්කාර් ඇකඩමි සම්මාන 7 ක් දිනාගත් අතර, ඒවා 'හොඳම කලා අධ්‍යක්ෂණය ', 'හොඳම කැමරා අධ්‍යක්ෂණය', 'හොඳම ඇඳුම් නිර්මාණය ', 'හොඳම සංස්කරණය', 'හොඳම සංගීත අධ්‍යක්ෂණය ', 'හොඳම ශබ්ද', හා 'හොඳම දෘශ්‍ය ප්‍රයෝග', අංශ හිමි කර ගති. එලෙසම හොඳම චිත්‍රපටය හා හොඳම නළුවා (ජූලීයස් සීසර් ලෙස රඟපෑ රෙක්ස් හැරිසන්) වෙනුවෙන් නිර්දේශ විය.

අදටත් ලොව විශිෂ්ට චිත්‍රපටයක් සේ සලකන 'ක්ලියෝපැට්රා' නරඹන විට සිතෙන්නෙ මෙය මීටත් වඩා දැවැන්තව, මීටත් වඩා සිතට, නෙතට කාවදින ලෙස කිරීමට හැකි වන්නට තිබුණා නොවේදැයි කියාය. එහෙත් එයට අධ්‍යක්ෂක ජෝසෆ් එල් මැක්කිවින්ස් කියන්නේ පැය 6 ක ධාවන කාලයකට නිර්මාණ කළ චිත්‍රපටයක් පැය 4කට සීමා කරන විට ඔය තරමින් හෝ බේරුණා ඇති කියාය.

 

[email protected]