සුපිරි තරුවක් සහ සුපිරි රසිකයෙක් අතර යුද්ධයක්

පෙබරවාරි 23, 2023

 

සුපිරි නළු විජේ මේ දිනවල අතිශය කාර්යබහුල නළුවෙකි. චිත්‍රපට හතරක රූගත කිරීම් යෙදී ඇත. මේ අතරින් දෙකක් අන්තර්ජාල ප්‍රවාහ සේවා ඔස්සේ නිකුත් කිරීමට නියමිත ඒවාය ය. මීට අමතරව වෙළඳ දැන්වීම්, සජීවී වැඩසටහන් සහ රියැලිටි වැඩසටහන් ගණනාවකට ඔහු දායක විය යුතුව ඇත. රිය පැදවීම ඔහුගේ විනෝදාංශයකි. මෝටර් රථ පරීක්ෂක ප්‍රකාශ් අගර්වාල් චිත්‍රපට නළු විජේ කුමාර්ගේ දැඩි රසිකයෙකි. ඔහුගේ ලොකුම සිහිනය වන්නේ සුපිරි තරුව විජේ කුමාර් සමඟ සෙල්ෆියක් ගැනීමයි. විජේ හට රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අත්‍යාවශ්‍ය වන්නේ මේ අතරදීය. ඒ වෙනුවෙන් උපකාර කිරීමට ප්‍රකාශ් අගර්වාල් හට අවස්ථාව සැලසේ. කෙසේ වෙතත්, වරදවා වටහාගැනීමකින් සුපිරි තරුව විජේ කුමාර්, ප්‍රකාශ් හට ඔහුගේ පුත්‍රයා ඉදිරිපිටදී නරක ලෙස සැලකීමට හේතු වීමෙන් ඔවුන් දෙදෙනාගේ සිත් බිඳී යයි. අනතුරුව හට ගන්නේ සුපිරි තරුවක් සහ සුපිරි රසිකයෙක් අතර සීතල යුද්ධයකි.

බිඳී ගිය තරු - රසික සුහදත්වයට අවසානයේ කුමක් සිදුවනු ඇති දැයි දැක ගත හැකි වන්නේ පෙබරවාරි 24 වැනිදා සිට තිරගත කෙරෙන සෙල්ෆි චිත්‍රපටයෙනි. සෙල්ෆි යනු හින්දි හාස්‍යමය චිත්‍රපටයකි. එය ප්‍රීත්විරාජ් සුකුමාරන් සහ සුරාජ් වෙන්ජරාමෝදු රංගනයෙන් දායකත්වයෙන් 2019 වසරේ නිකුත් වූ ඩ්‍රයිවින් ලයිසන්ස් මලයාලම් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි.

රාජ් මෙහ්තා විසින් අධ්‍යක්ෂණය කර ධර්ම ප්‍රොඩක්ෂන්ස්, ප්‍රිත්විරාජ් නිෂ්පාදන, මැජික් ෆ්‍රේම්ස් සහ කේප් ඔෆ් ගුඩ් ෆිල්ම්ස් විසින් නිෂ්පාදනය කරන ලද සෙල්ෆි චිත්‍රපටයේ සුපිරි නළු විජේ කුමාර්ගේ චරිතයට පණ පොවන්නේ ආක්ෂේ කුමාර්ය. මෝටර් රථ පරීක්ෂක ප්‍රකාශ් අගර්වාල්ගේ චරිතයට පණ පොවනු ලබන්නේ ඉම්රාන් හෂ්මි විසිනි. ඔවුන් සමඟ ඩයනා පෙන්ටි, නුෂ්රත් භාරුච්චා, මහේෂ් තාකූර්, ෆාහිම් ෆස්ලි, ටිස්කා චොප්රා, අභිමන්යු සිං, රාහුල් දේව් ඇතුළු පිරිසක් සෙල්ෆි චිත්‍රපටයේ සෙසු චරිත මවති. මෙම චිත්‍රපටය සමඟ එන තවත් සුවිශේෂ සිදුවීමක් නම් 1994 වසරේදී වාර්තාගත චිත්‍රපටයක් වූ මේන් කිලාඩි තූ අනාරි හි "මේන් කිලාඩි" ගීතයේ රීමික්ස් අනුවාදය ඇතුළත් වීමයි.

 

[email protected]