වහලුන්ට සිදු වූ අසාධාරණයට එරෙහි වූ වීරයා

පෙබරවාරි 23, 2023

 

'ජුඩා බෙන්හර්' ශුද්ධවූ බයිබලයේ සඳහන් වන චරිතයක් නොවෙි. එය ලිව් වොලස් විසින් 1880 දී ලියු "බෙන්හර්, අ ටේල් ඔෆ් ක්‍රයිස්ට්" නවකථාවට පාදක වූ නිර්මාණාත්මක චරිතයකි. එමෙන්ම රෝම අධිරාජ්‍යයේ දරදඬු පාලනයට අභියෝග කරන චරිතයක් සේම, එකී රාජ්‍යය තුළ තිබූ වහල් සේවයට විරුද්ධව සටන් වදින චරිතයක් ද විය. ජුඩා බෙන්හර් ගේ චරිතය, එහී රචකයා වූ ලිව් වොලස් උද්දීපනය කළේ ක්‍රිස්තුන් වහන්සේ ජීවත් වූ කාලයේදීය. විශේෂයෙන් තරුණ අවධියේය. බෙන්හර් ගේ චරිතය ක්‍රිස්තුන් වහන්සේ සමඟ ගැටි ගැටී යන්නක් නොව. ඔහු ට ක්‍රිස්තුන් වහන්සේ මුණ ගැහෙන්නේ එතුමා කුරුසියේ ඇණ ගැසීමට කුරුසියත් කර මත තබාගෙන කපාල කන්දට නඟින අවස්ථාවකය. එතුමා කුරුසියත් සමඟ බිම ඇද වැටෙන විට, දිය පිපාසයෙන් වතුර ටිකක් ඉල්ලන විට, රෝම සොල්දාදුවන් එතුමාට දිය බිඳක් දීමට උත්සහා නොකෙරූ අවස්ථාවේ වතුර ටිකක් දී එය එතුමාට පොවන්නට උත්සහා කළේ එතන සිටි ජූඩා බෙන්හර් ය.

ජූඩා බෙන්හර්, ක්‍රිස්තුන් වහන්සේ ගේ අනුගාමිකයෙක් නොවූවද, ඔහු ක්‍රිස්තුන් වහන්සේ ගේ ආකල්ප පිළිගත්තේය. ක්‍රිස්තුන් වහන්සේ උත්සහා ගත්තේ පව්කාරයන් පාපයෙන් මුදවා ගැනීම ට මෙන්ම දුප්පත් අසරණ මිනිස්සුන්ට සහනයක් ලබා දීමටය. ජුඩා බෙන්හර් උත්සහා ගත්තේ රෝම අධිරාජ්‍යයේ පාලකයන් විසින් තමන්ගේ සැප විහරණය ට වහලුන් සේ රඳවා ගත් මිනිස්සුන් ව එකී වහල් භාවයෙ න් මුදවා අසාධාරණ පාලනයට විරුද්ධව ඔවුනට සටන් කරන්නට ශක්තිය ලබා දෙන්නටය. එහෙයින් ක්‍රිස්තුන් වහන්සේ හා ජූඩා බෙන්හර් කළේ එක සමාන කාර්යන් ය.

නවකථා රචක ලිව් වොලස් ජුඩා බෙන්හර් ව ජෙව්ස් (Jews)) ,ජාතිකයෙක් ලෙස හැඳීන් වූ අතර ඔහු රජ පෙළපතකින් එන ශක්තිමත් කුමාරයෙක් ලෙස ද හදුන්වයි.

ජුඩා බෙන්හර් ක්‍රිස්තියානි ආගම විශ්වාස කළේ, ක්‍රිස්තුන් වහන්සේගේ ඇතැම් දේශන ගැන දැනුම්වත් වූ පසුවය. ඔහු එසේ දැනුම්වත් වූවේ ඔහුගේ පෙම්වතිය වූ 'එස්තර්' හරහාය. ක්‍රිස්තුන් වහන්සේ කරන කාර්යට සමාන දෙයක් ඔහුගෙ අතිනුත් සිදු වෙන නිසාත්, එකී කාර්යන් දෙකම එකම අරමුණක් වෙනුවෙන් කෙරෙන නිසාත්, ජූඩා බෙන්හර් ගෙ සිතේ ක්‍රිස්තුන් වහන්සේ ගේ ක්‍රියා කලාපය ගැන මනා පැහැදීමක් තිබුණි. ලිව් වොලස් එම චරිතය නිර්මාණය කළේ ඒ අයුරිනි.

'බෙන්හර්', චිත්‍රපටයක් ලෙස මුලින්ම නිෂ්පාදනය වූයේ 1925 දීය. එය නිර්මාණය වූයේ නිහඩ චිත්‍රපටයක් ලෙසය. එයට පාදක කරගත්තේ ද, මේ ලිව් වොලස්ගේ නවකථාව වූ ' අ ටේල් ඔෆ් ක්‍රයිස්ට්' මය. 'මෙට්රෝ ගෝල්ඩන් මේයර්' සමාගම මෙය 1952 දී, නැවත චිත්‍රපටයකට නඟන බවක් ප්‍රසිද්ධ කළ අතර, එයට එකල ජනප්‍රිය නළු දෙපළක් වූ ස්ටුවට් ග්‍රේන්ජර්, හා රොබට් ටේලර්, ව ප්‍රධාන චරිතවලට තෝරා ගත් බවක්ද වාර්තා විය. මෙයට ඔවුන් නිෂ්පාදකවරයෙක් ලෙස සෑම් සිම්බලිස්ට් ව තෝරා ගතී.

1901 මාර්තු 31 වන දින යුක්ක්‍රේනයේදී (එවකට එය හැඳීන්වූයේ රෂියන් එම්පයර් කියාය) උපත ලද සෑම් සිම්බලිස්ට් 1924 ඇමරිකාවේ දී ලොස් ඇන්ජල්ස් නගරයට ගියේ සිනමාවට සම්බන්ධ වීමටය. සිනමාව හදාරන්නට හා අත්දැකීම් එක් කර ගැන්මට ඔහු එකතු වුණේ 'මෙට්රෝ ගෝල්ඩ්වින් මේයර්' හෙවත් එම්.ජී.එම්. සිනමා ආයතනයටය. එහිදී ඔහු මුලින් ම චිත්‍රපට සංස්කරණය ට සහය විය. ඉන් පසු ඔහු පුර්ණ සංස්කාර වරයෙක් වී, 1929 වනතෙක් චිත්‍රපට ගණනාවකටම සංස්කරණ ශිල්පියෙකු ලෙස තම සේවය ලබා දුනී. 1929 දී ඔහු එවකට ප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදකයකු වූ හන්ට් ස්ට්‍රෝම්බර්ග් සමඟ එක්වී සහය නිෂ්පාදක යෙකු ලෙස කළ එළි බැස්සේය. ඉන්පසු 1936 දී පූර්ණ ලෙස චිත්‍රපට නිෂ්පාදනයට එකතු විය. 'මැරීඩ් බිෆෝ බ්‍රෙක්ෆස්ට්' ඔහු ගේ පළමුවෙනි චිත්‍රපට නිෂ්පාදනය විය. පසුව ඔහු වෘත්තීය චිත්‍රපට නිෂ්පාදකයෙකු වී චිත්‍රපට කීපයක් ම නිෂ්පාදනය කළේය. 1944 දී 'තර්ටි සෙකන්ඩ්ස් ඕවර් ටෝක්යෝ', 1950 දී 'ඩූ ලිට්ල් රෙයිඩර්ස්', සහ ' කිංග් සොලොමන් මයින්ස්', එමෙන්ම 1951 දී 'ක්යූඩ් වාඩිස්', චිත්‍රපටය කළ අතර, එම චිත්‍රපටය 1951 දී ඇකඩමි සම්මාන උලෙළේ දී, හොඳම චිත්‍රපටය ලෙස නිර්දේශ විය. 'ක්යුඩ් වාඩිස්' චිත්‍රපටය විශාල ලෙස ආදායම් ලැබූ චිත්‍රපටයක් විය. එම්.ජී.එම්. සමාගම සෑම් සිම්බලිස්ට් ට 'බෙන් හර්' චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට පැවරුවේ, මේ 'ක්යුඩ් වාඩිස්', චිත්‍රපටය ගුණාත්මක පැත්තෙන් මෙන්ම වානිජ්‍යමය පැත්තෙනුත්, අතී සාර්ථක වූ නිසාය.

1959 දී 'බෙන්හර්' චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 15.2 ක ක, ආයෝජනයක් ඇස්තිමේන්තු කෙරිණි. එය එකී වකවානුවට අනුව විශාල මුදලකි. සැමී සිම්බලිස්ට්, එම්.ජී. එම්. සමාගමත් සමඟ එකතු වී කරන්නට යන මේ දැවැන්ත චිත්‍රපටය ,අධ්‍යක්ෂණය කිරීමට භාර දෙන්නට අදහස් කළේ සිඩ්නි ප්‍රැන්ක්ලින් ටය. සිඩ්නි ඒ වන චිත්‍රපට 27 ක් පමණ අධ්‍යක්ෂණය කර තිබුණි. ප්‍රකට චිත්‍රපටයක් වූ 'ඩුවල් ඉන්ද සන්' සිඩ්නිගේ අධ්‍යක්ෂණයකි. සිඩ්නි 'බෙන්හර්' චිත්‍රපටයේ ජූඩා බෙන්හර් ගේ චරිතයට තෝරා ගත්තේ ලෝ ප්‍රකට විශිෂ්ට නළුවෙකු වූ 'මාලන් බ්‍රැන්ඩෝ' වය. එහෙත් පසුව 'බෙන්හර්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමේ අනෙගි කාර්ය සිඩ්නි ප්‍රැන්ක්ලින් ගෙන් ගිලිහී ගියේ අනේපේක්ෂිත අයුරකිනි. එය අවසානයේදී භාර වූයේ විලියම් වේලර්ට ය.

විලියම් වේලර් ඉපදුණේ ප්‍රංශයේ ය. ඒ 1902 ජුලි 1 වෙනි දිනයේදී ය. ඔහුගේ පියා ස්විස් ජාතිකයෙකි. 1921 දී වේලර් යුනිවර්සල් ස්ටුඩියෝ හී සේවයට පැමිණියේය. සිනමාවට ඔහු ඈදුණේ එතැන් පටන්ය. ඔහු 1925, සිට 1929 තෙක් නිහඬ චිත්‍රපට 32 ක් අධ්‍යක්ෂණය කළ අතර , 1929 සිට 1970 දක්වා ඔහු වෘත්තාන්ත චිත්‍රපට 35 ක් අධ්‍යක්ෂණය කළේය. 'බෙන්හර්' අධ්‍යක්ෂණය ට සැරසෙන වි⁣ට ඔහු වෘත්තාන්ත චිත්‍රපට 30 ක් අධ්‍යක්ෂණය කරමින් (ඉතිරි චිත්‍රපට 4 අධ්‍යක්ෂණය කළේ 'බෙන්හර්' වලට පසුවය) ලෝක සිනමාව ගැන, එමෙන්ම දැවැන්ත සිනමාව ගැන විශාල වූ අත්දැකීම් සම්භාරයක් රැස් කර ගෙන තිබුණි.

විලියම් වේලර් අධ්‍යක්ෂණය කිරීමට සැරසුණු 'බෙන්හර්' චිත්‍රපටයේ තිරරචනය ලීවේ 'කාල් ටන්බර්ග්' ය. එකී දැවැන්ත තිර නාටකය ලිවීමට ක්‍රිස්ටෝප ප්‍රයි, මැක්ස්වල් ඇන්ඩර්සන්, එස්.එන්.බෙහෙර්මාන්, හා ගොරේ වයිඩල්, එකතු විය.

1880 වර්ෂයේ දී, ලිව් වොලස් ලියූ නවකථාව වූ 'අ ටේල් ඔෆ් ක්‍රයිස්ට්' එකී තිර රචකයන් අතරින් 'බෙන්හර්' වී චිත්‍රපටය තුළින් කථාව ගලා ගියේ මෙසේය.

ජුඩා බෙන්හර් ජෙවිශ් ජාතික රජ පවුලට අයත් කුමාරයෙකි. ඔහු ඔහුගේ මව වූ මීරියම් හා සොහොයුරිය ටිරසා සමඟ තම මාලිගාවේ ජීවත් වේ. සිමෝනිඩර්ස් ඔවුන් ගේ පවුලේ හිත මිතුරෙකි. ඔහු වහල්ලුන් සපයන ඒජන්තවරයෙකි. ඔහුගේ දියණිය එස්තර් කුඩා කල සිටම ජුඩා බෙන්හර් සමඟ ආදරයෙන් වෙලී සිටියද, එස්තර් ව ඔවුන්ගේ දෙමාපියන් විසින් වෙනත් කෙනෙකුට යෝජනා කර එය සම්මත කරද අවසන් ය.

මෙසාලා, ජුඩා බෙන්හර් ගේ කුඩා කාලේ සිටම මිතුරෙකි. මෙසාලා දැන් රෝම අධිරාජ්‍යයේ රාජකීය හමුදා කපිතාන්වරයෙකි. ඔහු රෝම අධිරාජ්‍යය පාලකයන් ගැනත්, ඔවුනගේ පාලනය ගැනත් මහ ඉහළින් පුරාජේරු කියන අතර, රෝම පාලනය, අතීශයින්ම සාධාරණීය කරන්නෙකි. එහෙත් ජූඩා බෙන්හර් නිතරම ගත්තේ රෝම රාජ්‍යය පාලනයෙන් තැලෙන පොඩිවෙන පීඩිත පංතිය , පැත්තය. ඔහු නිතරම කථා කළේ ජෙවිශ් මිනිසුන් ගේ නිදහස ගැනය. රෝම රාජ්‍ය පාලකයන් ජෙවිශ් මිනිසුන්ට ම්ලෙච්ඡ අන්දමට සැලකීම ජුඩා බෙන්හර් කිසිසේත් අනුමත කළේ නැත. මේ හේතුවෙන් දෙදෙනා තදින්ම තර්ක කළහ. මෙසාලාට අවශ්‍ය වූයේ ජූඩා බෙන්හර්වත් රෝම අධිරාජ්‍ය පාලනයට එකතු කරන්නට ය. ඒත් ජූඩා බෙන්හර් එයට එකහෙළාම විරුද්ධ විය. බොහෝ කලකට පසු හමුවූ යහළුවන් දෙපළ එදා වෙන් වූයේ දැඩි සිත් තැවුලකිනි. මෙසාලා අවසානයේදී තිරණය කළේ ජූඩා බෙන්හර් , රෝම අධිරාජ්‍යයට විරුද්ධව කැරලිගසන්නෙක් ලෙසය. මෙසාලා එදින ජූඩා බෙන්හර්ගේ නිවසින් පිටවුයේ තම මිතුරුකම, හිතෙන් ඉවත් කර ගනිමිනි.

ජුඩියා ප්‍රාන්තයේ නව ආණ්ඩුකාරයා පිළිගැනීමේ උත්සව පෙරහැර ඉතාමත් ගම්භීරව රාජකීය ලෙස, වීදී සංචාරය කළේ නව ආණ්ඩුකාරයාව පෙරටු කරගෙනය. මෙහි සම්පූර්ණ ආරක්ෂාව මෙහෙය වූයේ මෙසාලා හමුදා කපිතාන්වරයාය. මෙම පෙරහැර ජූඩා බෙන්හර් ගේ මාලිගාව ඉදිරිපස මාවතේ සංචාරය කෙරූ අතර, ජුඩා බෙන්හර් ඔහුගේ මව හා නැගෙනිය ටිරසා එය නැරඹුයේ උඩුමහලේ බැල්කනියේ සිටය.

ආණ්ඩුකාර තුමා ජූඩා බෙන්හර් ගේ නිවස අසලින් යන විටම, ඔහුගේ නැගණිය වූ ටිරසා ගේ අතින් පහත මාලයේ වහලේ උළු කැටයක් වැදී එය පෙරළා ගොස් වැටුණේ අණ්ඩුකාර තුමාගේ කරත්තයේ අශ්වයාගේ ඇඟ මතය. අශ්වයා තමන්ට වැදුණු අනේපේක්ශීත පහරින් කුලප්පු වීම නිසා එතන සිදුවුණේ විශාල කලබගෑනියක් ය.

මෙසාලා, ඔහුගේ අනෙක් යුද භටයන් සමඟ වහාම ජුඩා බෙන්හර් ගේ නිවසට ගොස්, ඔහුගෙන් මෙය විමසීය. ඔහු එය තමා අතින් සිදුවූ අත්වැරැද්දක් බව හැඟවිය. එය අත්වැරැද්දක් බව මෙසාලාට තේරුම් ගියද, ඔහු එය රෝම රාජ්‍ය පාලනයට විරුද්ධව ⁣කෙරු කුමන්ත්‍රණයක් බව පවසමින් ජූඩා බෙන්හර්ව වහල් කඳවුරකට දැමීමට නියෝග කළ අතර, ඔහුගේ මව මීරියම් හා නැඟණිය ටිරසා සිර කඳවුරකට දැමීමට අණ කළේය. එය ට විරුද්ධව කථා කළ එස්තර් ගේ පියා වූ සිමෝනිඩර්ස්වද සිරභාරයට ගත්තේය.

අත් අඩංගුවට ගත් ජූඩා බෙන්හර් ව අනෙකුත් වහලුන් සමඟ දම්වැල් දමා ඉතාමත් දුෂ්කර මාර්ගයක, ගලීලය බලා යුද්ධ භටයන් සමඟ පිටත් කර හැරියේය. එසේ යන අතර මග එකී යුද භටයන් නාසරෙත් හී නැවතුනේ අශ්වයන්ට වතුර දීමටය. ගමනේ දුෂ්කර තාවය නිසාත්, කාෂ්ඨක අව්ව නිසාත්, ජූඩා බෙන්හර් දැඩි ලෙස පිපාසිත විය. ඔහු භටයන්ගෙන් වතුර ඉල්ලුවද, වතුර වෙනුවට ඔවුන්ගෙන් ලැබුණේ සැර පරුෂ වචන හා කස පහර ය. ජූඩා බෙන්හර් වතුර ඉල්ලා බිම ඇදී වැටෙන විට, එක් කරුණාවන්ත පුද්ගලයෙක් ඔහුට වතුර පෙව්වේය. ඒ ක්‍රිස්තුස් වහන්සේය. බෙන්හර් චිත්‍රපටයේ ක්‍රිස්තුන් වහන්සේ ව පෙන්වූ මුල් ජවනිකාව එය විය.

අවුරුදු 3 ක කාලයක් ජූඩා බෙන්හර් ට, වහලෙක් ලෙස සිර ගත වී සිටින්නට සිදුවිය. ඉන්පසු ඔවුහු ඔහුව නෞකාවකට මාරු කළහ. නෞකාවේ හබල් ගැසීමට වහලුන් සිය ගණනක් සිටියෝය. එය බෙරයක් වයන ශබ්දය අනුකූලව හබල් ගැසිය යුතුය. බෙරය ඉක්මනින් ඉක්මනින් තම වේගය වැඩි කරමින් වයන විට හබල් ගෑමද එකී වේගයට වැඩි කළ යුතුය. එකල විශාල නෞකාවන් පදවන්නේ හබල් ගසමිනි. එය මිනිසුන් සීයක්, දෙසීයකගේ ශ්‍රමයෙන් සිදුවන දෙයකි. ඒවාට නිතරම යොදා ගැනුනේ සිර කරුවන් හා වහලුන්ය. වයසක මිනිසුන්ට පවා එසේ හබල් ගැසීමට සිදුවේ. බොහෝ වයසක වහල් මිනිසුන් එකී පීඩනය දරා ගැන්මට නොහැකිව නෞකාව ඇතුළේම, හබල් ගාමින් සිටියදීම මරණයට පත්වේ. එවිට නිලධාරිහූ එම මළ සිරුරු මුහුදට විසි කරන්නෙ බල්ලන්, බළලුන් ගානටය. එය නම් මිහිපිට අපායක්ම ය.

නෞකාව මුහුද මැදදී යනවිට, එයට 'මැසිඩෝනියන්' මුහුදු කොල්ලකරුවන් පැන, මිනිසුන්ව මරා දමා නැ⁣ව කොල්ල කන්නට විය. මෙම නැව තුළ රෝම කොන්සල් වරයා වූ 'කුවින්ටස් එරියස්' ද සිට්යේය. මෙම මුහුදු කොල්ලකරුවන්ගේ සටනේදී ජුඩා බෙන්හර් අභීතව සටන් කර කෙසේ හෝ රෝම කොන්සල් වරයාව බේරා ගතී.

මේ හේතුවෙන් කොන්සල් වරයා ජූඩා බෙන්හර් ගැන පැහැදී 'චැරියට් රේසර්' (අශ්ව කරත්ත ධාවන කරුවෙකු) ලෙස බඳවා ගැන්මට ඔහුව ශීක් ඉල්ඩරීම් ට භාර දුනී. 'ශීක් ඉල්ඩරීම්' අරාබි ජාතිකයෙකු වූවද, ඔහුගේ අශ්ව කරත්ත හා ධාවන කරුවන්ය බොහෝ විට රෝම අධිරාජ්‍යයේ අශ්ව තරඟවලට ඉදිරිපත් කරනුයේ. එතැන් සිට ජූඩා බෙන්හර් ශීක් ඉල්ඩරීම් ගේ භාරයේ විය. ශීක් විසින් බෙන්හර්ගෙ තරුණ ජවයෙන් නිසි ප්‍රයෝජන ගෙන ඔහුව, 'චැරියට් රේසර්' කෙනෙක් ලෙස පුරුදු පුහුණු කළේය. එලෙසම රෝම කොන්සල්වරයා වූ 'කුවින්ටස් එරියස්' ,ජුඩා බෙන්හර්ව තම පුතෙකු ලෙස පිළි ගත්තේය. තමාවත්, තම මුළු පවුලම විනාශ කළ මෙසාලා ගෙන් පළිගැනීමට දැන් අවස්ථාව පෑදී එන බවක් බෙන්හර් ට දැනුණි.

මේ අතර, සිමෝනිඩර්ස් ගේ දියණිය වූ එස්තර්, විවාහ නොවී සිටියාය. ඇය මුළු හදින්ම ප්‍රාර්ථනා කළේ ජූඩා බෙන්හර් ව පමණී. ඔහු කවදා හෝ නිදහස් වී එනතෙක් ඇය ඔහු වෙනුවෙන් බලා සිටියාය.

සිරගත කළ බෙන්හර් ගේ මව මීරියම් හා ඔහුගේ නැඟණිය ටිරසා ට ලාදුරු රෝගය වැළදුනි. එකල ලාදුරු රෝගය යනු දරුණුතම වසංගතයකි. එය වැලදුණු පසු මුළු සිරුරම කුණු වී විටින් විට කෑලි කෑලි වැටෙන්නට විය. එම වකවානුව තුළ මෙය සුවකිරීමට බෙහෙත් තිබුණේ නැත. මෙම රෝගයේ තිබූ භයානක කම නම් ලාදුරු රෝගය වැළදුනු කෙනෙකු ළඟ තවත් කෙනෙක් සිටිය හොත්, එකී පුද්ගලයාට ද මෙය බෝවීමයි. එහෙයින්, ලාදුරු රෝගය වැළඳුණු අයව වනාන්තර පෙදෙසක ගල් ගුහාවලට යවන්නේ මිනිස් වාසයෙන් ඈත් කිරීමට ය. මීරියම් හා ටිරසා ද මෙලෙස මිනිස් වාසයෙන් අයින් කර වනාන්තරයේ ලාදුරු රෝගින් වෙසෙන ගල් ගුහාවලට යැවීය. මෙකී තැන එස්තර් විසින් සොයා ගෙන ඔවුන් දෙදෙනාට දිනපතා කෑම බීම ගෙනියන්නට විය. එයද එස්තර් කෙරෙනුයේ ඔවුනගේ ගුහාව කිට්ටුවටම ගොස්, කිසියම් තැනක කෑම තබා, දුරකට ගොස් ඉඳ ඔවුන් පැමිණ කෑම ගෙනයනවා බලා සිට පිටත්වීමය. මෙය ඇත්තෙන්ම ඉතාමත් දුක්බර සිදුවීමක් විය.

ජූඩා බෙන්හර් එස්තර් සොයා පැමිණ තම මව හා නැඟණිය ගැන විමසූ විට ඇය කීවේ ඔවුන් සිර ගෙදරදීම මිය ගොස් ඇති බවය. බෙන්හර් ගේ මව හා නැගණිය එස්තර්ට කීවේ කවදා හෝ දවසක බෙන්හර් පැමිණ ඔවුන් ගැන විමසුවහොත් මෙලෙස කියන්නට කියාය. එසේ නොකීවහොත් ඔහු කෙසේ හෝ ඔවුන් සිටිනා තැන සොයාගෙන එතැනට එන බව ඔවුන් සක්සුදක්සේ දැන ගත් නිසාය. එයින් සිදුවෙන්නේ ඔහුටත් ලාදුරු රෝගය වැලදීමයි. එස්තර්, බෙන්හර් ට ඔහුගේ මව හා නැඟණිය මිය ගිය බව කීවේ එකී හේතුව නිසාය.

ශීක් ඉල්ඩරීම් ගේ භාරයේ සිටි ජූඩා බෙන්හර් රෝම අධිරාජ්‍යයේ ජනප්‍රිය 'චැරියට් රේසර්' කෙනෙක් වන්නට විය. එහෙයින් ඔහුට දැඩි ඉල්ලුමක් නිර්මාණය විය. රෝම රාජ්‍යයේ විශාලතම 'චැරියට් රේස්' තරඟය සංවිධානය වූයේ මේ අතරේදීය. මෙයට මෙසාලාත් තරඟ කරන බව ජූඩා බෙන්හර් දැනගෙන සිටි අතර, ඔහු කෙසේ හෝ තරඟය ජයග්‍රහණය කරන්නට කිනම් හෝ උප්පරවැට්ටියක් යොදන බවක් ද ජූඩා බෙන්හර් දැන සිටියේය.

එය සත්‍යයකි. මෙසාලා තම කරත්ත රෝද වල දිගූ දැති තිබෙන බ්ලේඩ් සවි කර ගත්තේ අනෙක් කරත්ත තමා ළඟට එනවිට එම දැති වලින් ඔවුනගේ රෝද කපා දමා එම කරත්ත පෙරළා දැමීමටය.

තරඟය පටන් ගතී. මෙසාලා තම කරත්තය අබිබවා යෑමට කිසිවෙකුටත් ඉඩ දුන්නේ නැත. අනෙක් කරත්ත ඔහුව පසු කර යන විටම ඔහුගේ රෝද වල තිබෙන දැති බ්ලේඩ් වැඩ කරන්නට වේ. ඒවා ගොස් අනෙක් අයගේ කරත්ත වල රෝද හා ගැටෙයි. එයින් අනෙක් කරත්ත අශ්වයන් හා රෝහකයන් සමඟ බිම ඇද වැටෙයි. ඇතැම් විට, පසු පසින් එන කරත්ත වලට යටවී ඒ පෙරළුණු අශ්වරෝහකයන් මරුමුවට පත්වේ. ජූඩා බෙන්හර් මෙසාලා ගේ දුෂ්ට වූ ක්‍රියාව නිරික්ෂණය කරමිනි තරඟයේ නිරත වූයේ. එහෙයින් මෙසාලාට, ජූඩා බෙන්හර් සමඟ හැප්පීමට ලේසි වූයේ නැත. අශ්ව කරත්ත ගණනාවක් තරඟ බිමේ තිබුණද, තරඟය නියමාකාරයෙන් පැවතුණේ මෙසාලා හා ජූඩා බෙන්හර් අතෙර්ය. බෙන්හර් මෙසාලාව ඉස්සර කරගෙන යන විට, මෙසාලාගේ රෝද වලින් එන බ්ලේඩ් තල ක්‍රමානුකූලව මග හැරීමට ජූඩා බෙන්හර් ට හැකිවූවා පමණක් නොව අවසන් අවස්ථාවේදි, ඔහුට මෙසාලාගේ රථය පසුකර යන අතරේ තම රථයෙන් මෙසාලාගෙ රථය පෙරළා දැමීමටද හැකිවිය. මෙසාලා ගෙ රථය පෙරළී ගිය අතර,මෙසාලාව මංතීරුව මත ඇදවැටී, ඔහුගේ ඇඟ උඩින් අනෙක් අශ්ව කරත්ත ගොස් ඔහු මාරාන්තික තුවාල ලැබීය. 'චැරියට් රේස්' තරඟයෙන් ජූඩා බෙන්හර් ජයගත් අතර, හැම චෝදනාවකින්ම ඔහු නිදොස් කොට නිදහස් කළේය. මෙසාලා මිය යන්නට ප්‍රථම ජූඩා බෙන්හර් ට කීවේ, ඔහුගේ මව හා නැගෙණිය මිය ගොස් නැති වගත් ඔවුන්ට ලාදුරු රෝගය වැලදී, අසවල් වනාන්තරයේ, අසවල් ගල් ගුහාවේ ලාදුරු රෝගින් සමඟ සිටින බවය. ජූඩා බෙන්හර් වහා එකී ගල් ගුහාව බලා ගියේය.

ක්‍රිස්තුන් වහන්සේ ගේ දුක් ප්‍රාප්තිය ආරම්භ වී තිබුණේ මේ සමයේදීය. ක්‍රිස්තුන් වහන්සේ කල්වාරියට කුරුසිය කර තබා යනවා ජුඩා බෙන්හර් දුටු සේම, එතුමා කුරුසිය සමඟ බිම ඇද වැටී බීමට වතුර ඉල්ලනවාද බෙන්හර් දුටුවේය. එදා තමා දම්වැල් වලින් බැඳ දමා වහලෙක් ⁣ලෙස යනවිට, බිම ඇද වැටි බීමට වතුර ඉල්ලන විට, වතුර වෙනුවට භටයන් ඔහුට කස පහර දෙන විට, ක්‍රිස්තුන් වහන්සේ ඉදිරියට පැමිණ තමාට වතුර දුන් ආකාරය, ජූඩා බෙන්හර් ට සිහිවිය. ඔහු වහා වතුර ගෙන ක්‍රිස්තුස් වහන්සේට බොන්නට දුනී. ක්‍රිස්තුන් වහන්සේ තම මුව උස්සා බලනවිට ජූඩා බෙන්හර්ව දුටුසේක. එතුමාට එදා බෙන්හර්ට වතුර දුන් සිදුවීම සිහිපත් වන්නට ඇත.

ජූඩා බෙන්හර් තම මෑනියන් හා නැඟණිය සිටින ගල් ගුහාව සොයාගෙන ඒ ළඟට යනවිට, එතැන එස්තර් සිටියාය. ඇය ඔහුට ගුහාව ඇතුළට නොයන ලෙස කීවද, ඔහු එය ඇසුවේ නැත ඔහු කෙළින්ම ගුහාව තුළට ගොස් ⁣අනෙක් ලාදුරු රෝගීන් අතරින් තම මැණියන් හා නැගෙණියව සොයා ගති. නැගෙණිය කෙතරමි ලාදුරු රෝගයෙන් පීඩා වින්දාද කිවහොත්, ඇය සිටියේ මරණාසන්නවය. එහෙත් ඔහු ඇයව තම දෑතට අර ගත්තේය.ඔහු, ඇයත් තම මවත් සමඟ ගල් ගුහාවෙන් එළියට පැමිණියේය. එස්තර් ඔවුන් එනතෙක් බලා සිටියාය.

ක්‍රිස්තුන් වහන්සේව කුරුසියේ ඇණ ගසා තුන් පැයක් ගතවූ පසු එතුමා කුරුසියේදීම අවසන් හුස්ම හෙළන විට, අහස ගුගුරා මහ වරුසාවක් වසින්නට විය. ජූඩා බෙන්හර් තම මවත් නැගෙණියවත් රැගෙන යන්නට උත්සහා කළේද ක්‍රිස්තුන් වහන්සේ ළඟටය. ඔහුට එතුමා හැර වෙන විශ්වාසයක් තිබුණේ නැත. ගුහාවෙන් එළියට ආ ඔවුන්ව අර වර්ෂාවට තෙමුණි. පුදුමයකි, ජුඩා බෙන්හර් ක්‍රිස්තුන් වහන්සේ ගැන තිබූ විශ්වාසය විසින් අර වරුසාවට තෙමුණු බෙන්හර්ගේ මෑණියන් ගේ හා නැඟෙණිය ගේ ලාදුරු රෝගය සම්පූර්ණ යෙන්ම සුව විය. ක්‍රිස්තුන් වහන්සේ ට ස්තූති කරමින් ඔවුන් හතර දෙනාම නැවත ඔවුනගේ පෙර මාළිගාවට ගියහ.

චාර්ල්ස්ටන් හෙස්ටන් ජූඩා බෙන්හර් ලෙස අද්විතීය රඟපෑමක් ඉදිරිපත් කළේය. චාර්ල්ස්ටන් හෙස්ටන් මෙරට කතෝලික ප්‍රේක්ෂකයන් ට හුරු නමකි. 'ද ටෙන්කමන්ඩ්මන්ට්ස්' නම් දැවැන්ත චිත්‍රපටයේ මෝසස් ට රඟපෑවේ ඔහුය.

ස්ටෙපන් බොයිඩ් මෙසාලා ගේ චරිතය රඟපෑ අතර, එය බෙන්හර් ගේ චරිතය හා සමගාමිව යන ප්‍රබල චරිතයක් විය. ස්ටෙපන් බොයිඩ් එය අතී දක්ෂ ලෙස තිරයේ ඉදිරිපත් කළේය. ජැක් හෝව්කින්ස් කුවින්ටස් ඒරියස් වූ අතර, හයා හරාරීට් එස්තර් විය.

හියුජි ග්‍රිෆ්ත් ( ශීක් ඉල්ඩරීම් ), මැරිනා ස්කොට් (මීරියම්), කැති ඕ ඩොනල්ඩ්(ටිරසා ), ෆ්‍රෑන්ක් ක්‍රිංග්, (පොන්ටියස් පිලාත්), සැම් ෆේජි (සිමෝනිඩර්ස් ) ලෙස සෙසු චරිත රඟපෑ අතර, ක්ලෝඩ් හීටර් ක්‍රිස්තුන් වහන්සේ ලෙස රඟපෑවේය.

'බෙන්හර්' චිත්‍රපටය ඇස්තමේන්තුව ඉහත තැනක කී පරිදී, ඇමරිකානු ඩොලර් මිලියන 15 ක් වූ අතර, එහි බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 146 ඉක්මවා ගියේය.

ඔටුවන් 200 ක් සහ අශ්වයන් 2,500ක් යොදවා චිත්‍රපටගත කළ මෙය ඇතැම් තැන්වල පිරිස පමණක් 10,000 කට අධික විය. මුහුදේ, මුහුදු කොල්ලකරුවන් සමඟ කළ සටන රූ ගත කළේ, එම්.ජී.එම්. චිත්‍රාගාරය තුළ හැදූ විශාල වතුර ටැංකියක ය. එම ටැංකියේ විශාලත්වය සිතා ගැන්මටත් බැරි තරමේ ය.

'චැරියට් රේස්' හෙවත් අශ්ව කරත්ත ධාවන තරඟය , චිත්‍රපටයේදී විනාඩි 9 ක කාලයක් දිස්විය.එය අසීරුවූ රූ ගත කිරීමකි. 'බෙන්හර්' චිත්‍රපටයේ 'ක්ලයිමෙක්ස්' හෙවත් උපරිමය එම දර්ශනය යි. එකී විනාඩි 9 පෙන්වීමට ඔවුනට දින කීපයක්ම රූ ගත කිරීමට සිදුවිය. එම අශ්ව කරත්ත ධාවන තරඟය, ලෝක සිනමා ඉතිහාසයේ දැවැන්තම එමෙන්ම ජනප්‍රියම 'චැරියට් රේස්' තරඟය විය.

1959 වර්ෂයේ දී, වැඩිම ආදායම ලද, දෙවන චිත්‍රපටය වූයේ 'බෙන් හර්'ය. එය එම වසරේදී දෙවැනි වූයේ 'ගෝන් විත් ද, වින්ඩ්' චිත්‍රපටයට පමණි.

'බෙන්හර්' චිත්‍රපටය 1959 වර්ෂයේ ඇකඩමි සම්මාන 11 ක් දිනා ගතී. ඊට, හොඳම චිත්‍රපටය සඳහා නිෂ්පාදක සෑම් සිම්බලිස්ට් ට ලැබුණු අතර, හොඳම අධ්‍යක්ෂක සම්මානය විලියම් වේලර් විසින් ලබා ගතී. චාර්ල්ස්ටන් හෙස්ටන් හොඳම නළුවා වූ අතර, ශීක් ඉල්ඩරීම් ලෙස රඟපෑ හියුජ් ග්‍රිෆ්ත් හොඳම සහය නළුවා විය. එවර හොඳම කැමරා අධ්‍යක්ෂක වූයේ ⁣ද බෙන්හර් චිත්‍රපටයේ රොබට් එල් සූර්ටීස් ය.

1959 නොවැම්බර් 18 වන දින මෙය ඇමරිකාවේ තිරගත කිරීම ආරම්භ කළ අතර, එහී ධාවන කාලය විනාඩි 212 විය. එනම් පැය 3 1/2 ක ධාවන කාලයකි.

කොළඹ ලිබර්ටි සිනමා හලේ මිලි මීටර් 70 දැවැන්ත තිරයේ පෙන්වූ 'බෙන්හර්' චිත්‍රපටය, ලංකාව තුළද බොහෝ කලක් ප්‍රදර්ශනය විය. අද පරපුර ට නවීන තාක්ෂණය හරහා ඩී.වී.ඩී, බ්ලු රේ තැටි හරහාද ,නෙට් ෆිලික්ස් හා යූ ටියුබ් හරහාද ⁣'බෙන්හර්' නැරඹිය හැකිය. 'බෙන්හර්' චිත්‍රපටය නැවතත් ටෙලි කථා මාලාවක් ලෙසද, 2016 වසරේදී නව චිත්‍රපටයක් ලෙසද නිර්මාණය විය.

 

 

[email protected]