වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
පැහැරගත් බිරිඳ සොයා සහරාවේ ත්‍රාසජනක ගමනක්

දැවැන්ත හොලිවුඩ් නළුවන් 5 දෙනෙක් එක චිත්‍රපටයකට කාලයකට පසු එකතු වීම 'අශාන්ති' චිත්‍රපටය තුළින් දැකිය හැකි සුවිශේෂිතම කරුණ විය. 'ද ඉටැලියන් ජොබ්' තුළින් දුටු 'මයිකල් කේන්' 'මයි ෆෙයාර් ලේඩි', 'ක්ලියෝපැට්රා' චිත්‍රපටවල රඟපෑ 'රෙක්ස් හැරිසන්',''බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි' 'ද ඩෙවිල්ස් බ්‍රිගේඩ්,' යන චිත්‍රපටවල රඟපෑ 'විලියම් හෝල්ඩන්', 'ඩොක්ටර් ශිවාගෝ' චිත්‍රපටයේ රඟපෑ 'ඔමාර් ශෙරිෆ්' හා'ස්පාටකස්', 'හැමර් ස්මිත් ඊස් අවුට්', චිත්‍රපටවල රඟපෑ 'පීටර් උස්ට්නොව්' එම නළුවන් පස් දෙනාය. එලෙසම එකී දැවැන්ත නළුවන්ගෙන් රෙක්ස් හැරිසන්, විලියම් හෝල්ඩන් හා ඔමාර් ශෙරිෆ්, සහය චරිත රඟපෑමද එහී විශේෂත්වයක් විය. එම චරිතවල පරාසය කෙටි වූවද,ඔවුන්ගෙන් 'අශාන්ති' චිත්‍රපටයට ලැබුණු වටිනාකම විශාල විය.
ඉන්දිය නළු කබීර් බෙඩී, කැපී පෙනෙන චරිතයක් රඟපෑමත්, අප්‍රිකානු ඇමරිකානු සමිශ්‍රණයක් වූ, මෝස්තර නිරුපිකාවක්, හා ගායිකාවක් වූ කළු ජාතික 'බෙවර්ලි ජොන්සන්' ප්‍රධාන චරිතයකින් හොලිවුඩ් සිනමාවට එක්වීමද 'අශාන්ති' චිත්‍රපටයේ සුවිශේෂත්වයකි.
ස්පාඤ්ඤ ජාතිකයෙකු වූ 'ඇල්බර්ටෝ වස්කියුස් ෆිගුයිරෝ නවකථාකරුවෙකි. ඔහු 1974 වර්ෂයේ 'එබානෝ' ('Ebano') නමින් නවකථාවක් රචනා කර එළිදැක්විය. එය ස්විස් චිත්‍රපට නිෂ්පාදක වරයෙකු වූ 'ජෝර්ජ්ස් අලේන් වුයිලෙ' ට චිත්‍රපටයකට නැගීමට අවශ්‍ය විය. එය චිත්‍රපටයකට නැඟුවහොත් ඇමරිකාවේ දැවැන්ත චිත්‍රපට බෙදාහැරීම් සමාගම් වූ 'වෝනර් බ්‍රදර්ස් හා කොලොම්බියා චිත්‍රපට සමාගම් එය ලෝකය පුරා බෙදා හැරීමේ කාර්යට කැමති විය. ඔහු මෙයට ඇමරිකානු ඩොලර් මිලියන 7.5ක මුදලක් වෙන් කළේය.
'ද වලාචි පේපර්ස්' හා 'ස්ලොටර්ස් ෆයිව්' වැනි චිත්‍රපටවල තිර නාටකය ලියූ ඇමරිකානු තිර රචකයෙකු වූ 'ස්ටෙෆන් ඩී ගෙලර්' ට මෙහි තිරනාටකය ලිවීමට භාර දුන් අතර, ඔහු එයට බ්‍රිතාන්‍ය රචකයකු වූ ජෝර්ජ් මැක්ඩොනල්ඩ් ෆ්‍රාසර් ව එක් කර ගති. ෆ්‍රාසර් පසු කලෙක රොජර් මුවර් රඟපෑ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් වූ 'ඔක්ටොෆුසි' තිර නාටකය ලියා ප්‍රසිද්ධ විය.
'චයිල්ඩ් ඔෆ් ඩිවෝර්ස්', නම් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරමින් 1946 දී ඇමරිකානු සිනමාවට එකතු වුණු රිචඩ් ඕ ෆෙලෙෂර් 'අශාන්ති' චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ට තෝරා ගන්නා විට, ඔහු චිත්‍රපට 41 පමණ අධ්‍යක්ෂණය කර විශාල අත්දැකීම් සමූහයක් රැස් කර ගෙන තිබුණි. 1947 දී ඔහු, ඔහුගේ දෙවන චිත්‍රපටය වූ 'ඩිසයින් ෆො ඩෙත්', නම් වාර්තාමය චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ අතර, එය 1948 දී ඇමරිකන් ඔස්කාර්, ඇකඩමි සම්මාන උලෙළෙ, හොඳම වාර්තා චිත්‍රපටය ලෙස සම්මාන ලැබීය. ෆෙලෙෂර් ගේ චිත්‍රපට ලැයිස්තුව අධ්‍යයනය කරන විට, 1946 සිට 1989 දක්වා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට 48 අතුරින් විශිෂ්ට නිර්මාණ කීපයක් ඇසට අසුවේ. 1954 දී තිරගත වූ '20,000 ලීගස් අන්ඩර් ද සී', 1958 දී, 'ද වයිකිංග්ස්' , 1961,'බරබ්බාස්', 1966 ''ෆැන්ටැස්ටික් වොයේජ්', 'චේ', 1970 'ටෝරා, ටෝරා, ටෝරා', 1971'ද ලාස්ට් රන්',1973 'ද ඩොන් ඊස් ඩෙඩ්' හා 'මිස්ටර් මැජෙස්ටික්', 1975 'මැන්ඩිගෝ', 1983, 'ඇමිටිවිලි 3-ච්', 1984 'කොනන් ද ඩෙස්ට්‍රොයි', එම චිත්‍රපටයි.
'අශාන්ති' චිත්‍රපට ව්‍යාපෘතිය ගැන මුල්ම ප්‍රචාරණය සිදුවූයේ 1978 ජනවාරියේය. එය අධ්‍යක්ෂණය කිරීමට මුලින්ම තෝරා ගත්තේ 'ද නෙක්ස්ට් මෑන්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කෙරූ ඇමරිකානු සිනමා අධ්‍යක්ෂකයකු වූ රිචඩ් සී සරාෆියන් වය. එලෙසම මෙහී රඟපෑමට මයිකල් කේන්, ඔමාර් ෂෙරීෆ්, පීටර් උස්ටිනෝව් ට අමතරව, ඇමරිකානු නළු, ගායක 'ටෙලි සවාලස්' ව තෝරා ගතී. ඇමරිකානු වෘත්තිමය, බොක්සිං ක්‍රීඩකයකු වූ, එමෙන්ම මොහොමඩ් අලී ගේ ප්‍රතිවාදියකු වූ 'කෙන් නෝර්ටන්' වද මෙහී ප්‍රධාන චරිතයකට තෝරා ගෙන තිබුණි. චිත්‍ර පටය රූ ගත කිරීම ආරම්භ කරන විට , ටෙලි සවාලස්, හා කෙන් නෝර්ටන් ඉවත් වී තිබූ අතර, ඒ වෙනුවට විලියම් හෝල්ඩන් හා උතුරු ඉන්දියානු නළු කබීර් බෙඩීව එම චරිතවලට ආදේශ කර තිබුණි. මෙය විලියම් හෝල්ඩන්ගේ අවසන් චිත්‍රපට 4 න් එකකි. සති දෙකක් කෙන්යාවේදී රූ ගත කරන විට, නිෂ්පාදකයා රිචඩ් සී සරාෆියන් ව, අධ්‍යක්ෂක කමින් අයින් කර රිචඩ් ඕ ෆෙලෙෂර් ට 'අශාන්ති' චිත්‍රපටයේ අධ්‍යක්ෂණය භාර දුනි.
1950 තිරගත කළ 'පැනික් ඉන් ද පාර්ලර්' චිත්‍රපටයෙ නැවක වැඩ කරන නාවිකයෙක් ගේ ඉතාමත් සුළු චරිතයකින් හා එම වසරේම තිරගත වූ 'මෝර්නිං ඩිපාර්චර්' චිත්‍රපටයේ තේ අල්ලන කොලුවෙකුගේ කුඩා චරිතයකින් ඇමරිකානු සිනමාවට එක්වූ 'මයිකල් කේන්' ප්‍රධාන චරිතයක් රඟපෑවේ ඊට අවුරුදු 14 කට පසු එනම් 1964 දී තිර ගත කළ 'සූලූ' චිත්‍රපටයේ කර්නල් ගොන්විලී බ්‍රෝම්හෙඩ් ගේ චරිතයෙනි. ඉන්පසු ඔහු 1968 වන තෙක් චිත්‍රපට 10 ක ප්‍රධාන චරිතය රඟපෑවද, ඔහුව වඩාත්ම ජනප්‍රිය වූයේ පීටර් කොලින්ස් අධ්‍යක්ෂණය කළ 'ද ඉටැලියන් ජොබ්' විත්‍රපටයේ චාලි ක්‍රොකර්ගේ චරිතයෙනි. එතැන් සිට ඔහු 1978 වන තෙක් චිත්‍රපට 22කක රඟපෑ අතර, 'ප්ලේ ඩර්ටි' 'ද ලාස්ට් වැලි', 'ගෙට් කාර්ටර්', 'සීඛ ඇන්ඩ් කම්පැනි','කිඩ්නැප්', 'ද ඊගල්ස් හෑස් ලෑන්ඩඩ්', 'අ බ්‍රිජ් ටූ ෆාර්', 'ද ස්වෑම්' වැනි චිත්‍රපටවල රඟපෑ චරිතද ජනප්‍රිය විය. 'අශාන්ති' චිත්‍රපටයේ ඩොක්ටර් ඩේවිඩ් ලින්ඩර්බි ගේ චරිතය ඔහු රඟපෑවේ ඉන් පසුවය.
අප්‍රිකානු- ඇමරිකානු මෝස්තර නිරූපිකාවක් වූ බ්‍රෙවලි ජොන්සන් ගේ ප්‍රථම ප්‍රධාන චරිතය වූයේ 'අශාන්ති' චිත්‍රපටයේ රඟපෑ ඩොක්ටර් අනන්සා ලින්ඩර්බි, චරිතයයි. ඊට පෙර ඇය රඟපා තිබුණේ 'ඩෙඩ්ලි හීරෝ' හා 'ද බැරොන්' නම් චිත්‍රපටවල ඉතාමත් සුළු චරිතයන්ය. ඒ වන විට ඇය නිළියකට වඩා ජනප්‍රිය වී තිබුණේ මෝස්තර නිරුපිකාවක් හා ගායිකාවක් ලෙසටය. කථාවට අනුකූලව ඩොක්ටර් අනන්සා යනු සුදු ඇමරිකන් ජාතිකයෙකු හා විවාහ වු අප්‍රිකානු සම්භවයක් ඇති තරුණියකි. බ්‍රෙවල්ගි ජොන්සන්ව මෙම චරිතයට තෝරා ගන්නට ඇත්තේ ඒ නිසා වන්නට ඇත.
'හසන් කුමාරයාගේ චරිතයට අධ්‍යක්ෂක ෆෙලෙෂර් තෝරා ගත්තෙ ග්‍රීක, ඇමරිකානු ලොව විශිෂ්ඨතම නළුවෙකු ලෙස අදටත් පිළිගන්නා ඔමාර් ශෙරිෆ් වය. එය විශාල ලෙස විකාශනය වන චරිතයක් නොවූ සේම, තරමක කළු චරිතයක්ද විය. අධ්‍යක්ෂක රිචඩ් ෆෙලෙෂර් ගේ 1969 දී නිර්මාණය වූ 'චේ' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ 'චේ ගුවේරාගේ භූමිකාවට පණ දුන් ඔමාර් ශෙරිෆ් ව තම අනෙක් චිත්‍රපටයටද කුමන අයුරකින් හෝ සහභාගි කර ගැන්මට ෆෙලෙෂර්ට සිතෙන්නට ඇත. එසේම චරිතය කුඩා වුවත්, එය තරමක කළු චරිතයක් වූවද, රිචඩ් ෆෙලෙෂර් ගේ ඉල්ලීම ඔමාර් ශෙරිෆ්ට ඉවත දමීමට නොහැකි වන්නට ඇත. ඔහු 'අශාන්ති' හී හසන් කුමාරයාගේ චරිතය රඟපෑමට භාර ගත්තේ ඔය හේතු දෙකම නිසාය.
ඔමාර් ශෙරිෆ් යනු ලොව විශිෂ්ටතම නළුවන්ගේ ලැයිස්තුවේ මුල් පෙළේම සිටින නළුවෙකි. ඊජිප්තුවේ, ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ 1932 වසරේ ඉපදුණු ඔමාර් ශෙරිෆ්ගේ මුල් නම වූයේ 'මයිකල් යුසෙෆ් දිමිත්‍රි චල්හොබ් ය. ඔහු සිනමාවට සම්බන්ධ වන්නේ 1954 දීය. ඒ ඊජිප්තියානු චිත්‍රපටයක් වූ 'ෂයිටන් අල් සහරා' තුළින් ය. එතැන් සිට ඔහු 1961 වන තෙක් ඊජිප්තු චිත්‍රපට 23 ක පමණ රඟපෑහ. ඩේවිඩ් ලීන් අධ්‍යක්ෂණය කළ 'ලෝරන්ස් ඔෆ් ඇරෑබියා' ඇමරිකානු චිත්‍රපටයේ ශෙරිෆ් අලීගේ චරිතය රඟපෑමට ඔහුට ආරාධනා ලැබුණේ ඔය අතරෙදීය. එම චිත්‍රපටයේ රඟපෑමෙන් ඔහුව ජාත්‍යන්තර තලයට ඔසවා තැබූ අතර, ඔහු හොලිවුඩ් නළු ගොන්නට එකතු විය. එලෙසම ඔහුගේ 'ලෝරන්ස් ඔෆ් ඇරෑබියා' චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් 1963 වසරේ ඇමරිකානු ඔස්කා ඇකඩමි සම්මාන උළෙලේ හොඳම සහය නළුවාට හිමි සම්මානයට ඔහුව නිර්දේශ වූ අතර, ඒ වසරේ පැවතී, 'ගෝල්ඩන් ග්ලෝබ්' සම්මාන උළෙලෙ හොඳම සහය නළුවාට හිමි සම්මානය හා හොඳම නවක නළුවාට හිමි සම්මානය ඔහු ලබා ගතී.
1965 දී, ඩේවිඩ් ලීන්ගේ අධ්‍යක්ෂණයක් වූ 'ඩොක්ටර් ශිවාගෝ' චිත්‍රපටයේ ඩොක්ටර් ඇන්ඩ්‍රෙයේවිච් ශිවාගෝ ගේ චරිතය ඔහුව ලෝක සිනමාවේ මුදුනටම රැගෙන ගියේය. ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ හොඳම නළුවාට හිමි සම්මානය හිමි වුණු එම චරිතයත්, එය රඟපෑ ඔමාර් ශෙරිෆ් නම් නළුවාත් සදාතනික මෙන්ම ලෝක පූජිත නළුවෙක් වීමට මග පෑදුණි. ඉන්පසු ඔහු විශිෂ්ට මෙන්ම ජනප්‍රිය චිත්‍රපට රැසක රඟපෑවේය.'ද නයිට් ඔෆ් ද ජෙනරල්ස්', 'මෝ දෑන් අ මිරකල්ස්', 'ෆනී ගර්ල්', 'මයර්ලින්', 'මැකෙනාස් ගෝල්ඩ්', 'ද ඇපොයින්මන්ට්' ' 'ද ලාස්ට් වැලි', 'ද හෝර්ස්මන්', 'ද බර්ග්ලස්', වැනි චිත්‍රපටවල අශාන්ති චිත්‍රපටයට පෙර රඟපෑවේය. 1954 සිට 2015 වන තෙක් ඔමාර් ශෙරිෆ් චිත්‍රපට 88 ක පමණ රඟපා තිබුණි. 'අශාන්ති' චිත්‍රපටයට පසු ඔහු රඟපෑ චිත්‍රපට අතුරින්, 1980 'ශී', හා 'ග්‍රීන් අයිස්' 1987 'රම්බො 3', 1992 දී 'බියෝන්ඩ් ජස්ටිස්',1999 දී 'ද තර්ටීන්ත් වරියෝ', 2003 'මොන්ශියු ඉබ්‍රාහීම්', 2004 'හිඩෙල්ගෝ', විශේෂිත විය. ඔමාර් ශෙරිෆ් ගේ අවසාන චිත්‍රපටය වූයේ '1001 ඉන්වෙන්ෂන්ස් ඇන්ඩ් ද වර්ල්ඩ් ඔෆ් ඉබන් අල් හයිතම්', ය. ඔහු එහී ප්‍රධානතම චරිතය රඟපෑ අතර එය 2015 දී තිරගත විය. ඔමාර් ශෙරිෆ් ආයු කාලය අවුරුදු 83 ක් ව පැවතුණු අතර, ඔහු 2015 ජුලි 10 වන දින ඊජිප්තුවේ කයිරෝ නුවරදී අවසන් හුස්ම හෙළීය.
'අශාන්ති' චිත්‍රපටයේ 'මලික්' ගේ චරිතයට පණ පොවන්නේ ඉන්දීය නළු 'කබීර් බෙඩී'ය. 1971 දී 'හල්චල්' හින්දී චිත්‍රපටයෙන් සිනමා රංගනයට පැමිණි කබීර් බෙඩී ගේ ප්‍රථම හොලිවුඩ් චිත්‍රපටය වූයේද, 'අශාන්ති' මය. එහෙත් ඊට ප්‍රථම ඔහු ඉතාලි චිත්‍රපට දෙකක රඟපා තිබුණි. ඔහු රඟපෑ බ්‍රිතාන්‍ය හා ප්‍රංශ හවුල් නිෂ්පාදනයක් වූ 'ද තීෆ් ඔෆ් බැග්ඩෑඩ්', තිරගත වූයේද 'අශාන්ති' තිර ගත කළ අවුරුද්දේමය. ඉන්පසු ඔහු 'ද ආර්චර්', '40 ඩේස් ඔෆ් මුසාඩග්', 'සැටන්'ස් මිස්ට්‍රස්', 'ගර්ල් ෆ්‍රොම් ඉන්ඩියා', යන ඇමරිකානු චිත්‍රපටවල රඟපෑ අතර, 1983 දී රොජර් මුවර් රඟපෑ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක්වූ 'ඔක්ටොෆුසි' හී ප්‍රධාන දුෂ්ටයා වූ ඇෆ්ගන් කුමාරයා වූ කමල් කහන් ගේ බලවත් ආරක්ෂකයා වූ 'ගොබින්ද' ලෙස රඟපෑවේය.
'අශාන්ති' චිත්‍රපටය පටන් ගන්නේ ලෝක සෞඛ්‍ය සංගමයේ රාජකාරියේ නියුතු ඇමරිකානු ජාතික දොස්තර වරයෙකු වූ ඩේවිඩ් ලින්ඩර්බි හා ඔහුගේ කළු ජාතික බිරිඳ වූ දොස්තර අනන්සා ලින්ඩර්බි බටහිර අප්‍රිකාවේ ගම්මානයකට පැමිණ එහී සිටි දුප්පත් අප්‍රිකානු ගම් වැසියන්ට බෙහෙත් විදින දර්ශනයකිනි. ඔවුන් එළිමහනේ මේසයක් හා පුටු කීපයක් තබාගෙන තම රාජකාරිය කරන අතරේ, එතැනට අප්‍රිකානුවන් කිහිප දෙනෙක් පැමිණ අපූරුවූ ගෝත්‍රික නැටුමක් නටන්නට විය. දොස්තර ඩේවිඩ් හා අනන්සා ඒ රැඟුම් දෙස බලමින්ම බෙහෙත් විඳීන රාජකාරිය කරගෙන යන්නට විය. එම ගම්වැසියෝ ලොකු කුඩා, ගැහැනු, පිරිමි භේදයකින් තොරව පෝලිමේ පැමිණ තමන්ට නියමිත වූ බෙහෙත් විඳ ගැනුණි.
මේ අතර, රාජකාරියේ විවේකයේදී අනන්සා පිහිනීම සඳහා එයට මදක් දුරින්, තරමක් කැලෑ පෙදෙසක තිබූ කුඩා ගංගාවකට යයි. ඇය ඩේවිඩ්ට ද තමා සමඟ එකතු වන්නට කථා කළද, ඔහු, තවමත් එතැන ගෝත්‍රික නැටුම් නටන මිනිසුන් හා දැන් එම නැටුමට ඔවුන් හා එක්වී නටන ගම්මුන් දෙස බලා සිටිමින් ඒවා ඡායාරූපයට නඟමින් කීවේ, තමන් මෙම නැටුම මේ දකින්නෙ ප්‍රථම වතාවට බවත්, එහෙයින් ඔහුට මෙය නැරඹීමට උවමනා බවත්ය ඔහු ඇයට කීවේ ගඟ තිබෙන්නේ ඒ කිට්ටුවම නිසා ඇයට ගොස් පිහිනා එන ලෙසටය.
අනන්සා, ගඟ ළඟට දුව ගොස් තම සියලු ඇඳුම් උණා දමා ඉමහත් සතුටකින් ගඟ ට පැන පිහිනන්නට විය. එසේ ටික වේලාවක් පිහිනූ ඇය නැවත තම ඇඳුම් තිබෙන තැනට පැමිණ ඇඳුම් හැඳ ගන්නට විය. එවිටම අසල පදුරක සැඟවී සිටි අප්‍රිකානු ජාතික මිනිසෙක් ඇය ළඟට පැන ඇයගේ කට තම අතින් තද කර ගෙන ඇයව පැහැර ගෙන ඊට නුදුරින් නවතා තිබූ වෑන් රථයට දමා ගතී. එතැන වහලුන් රැගෙන යන ඒජන්ත වරයෙකු වූ මුස්ලිම් ජාතික 'සුලෙයිමාන්' සිටියේය. එයින් වැටහෙනුයේ සුලෙයිමන් මෙම ගම්මානයට තම සහචරයන් සමඟ පැමිණ මෙම ගම්වාසින්, විශේෂයෙන් කුඩා පිරිමි ළමුන් හා තරුණියන්ව පැහැර ගෙන වහල් සේවයට යොදවන කණ්ඩායමේ නායකයා බවය.
'පීටර් උස්ටිනොව්' යනු බ්‍රිතාන්‍ය ජාතික නළුවෙක් විය. එලෙසම ඔහු චිත්‍රපට නිර්මාණ කරුවෙකු හා කථා රචකයෙකු ලෙසටද හදුන්වා ඇත. 1940 දී තිරගත කළ 'හුලො ෆේම්', චිත්‍රපටයට සම්බන්ධ වීමෙන් සිනමාව ආක්‍රමණය කළ පීටර් උස්ටිනොව් එතැන් සිට 2003 වර්ෂය වන තෙක් චිත්‍රපට 79 කත් රූපවාහිනි කථා මාලා 37 පමණ රඟපා තිබුණි.'ස්පාටකස්', 'හැමර් ස්මිත් ඉස් අවුට්', 'රොබින් හුඩ්', 'ලෝගන් රන්''තීෆ් ඔෆ් බැග්ඩෑඩ්', වැනි චිත්‍රපටද ඒ අතරේ විය. 1952 දී, ඔහු 'කියෝ වාඩිස්' චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහය නළුවා ලෙස ඇමරිකානු ඔස්කාර්, ඇකඩමි සම්මාන උලෙළේ නිර්දේශි වූ අතර, 1961 දී 'ස්පාටකස්' චිත්‍රපටයේ 'බැටියේටිස්' චරිතය වෙනුවෙන් හොඳම සහය නළුවා ලෙස ඇකඩමි සම්මානයට පාත්‍ර විය. 1965 දී ඔහු යළි 'ටොප්කාපි' චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හොඳම සහය නළුවාට දුන් ඇකඩමි සම්මානය දිනා ගත් අතර, 1969 දී ඔහු අයිරා වොලච් සමඟ එක්වී ලියූ 'හොට් මිලියන්ස්' චිත්‍රපටයේ තිර නාටකය වෙනුවෙන්ද ඇකඩමි සම්මානයට නිර්දේශ විය. බ්‍රිතාන්‍ය රජයෙන් ඔහුට නයිට් නාමයක් පිරිනැමූ අතර, ඉන්පසු ඔහුව හැඳීන්වූයේ 'සර් පීටර් උස්ටිනෝව්' ලෙසටය. 'අශාන්ති' චිත්‍රපටයේ වහල් සේවයට මිනිසුන්, ගැහැනුන්, ළමුන් පැහැරගෙන යන මුස්ලිම් ජාතික 'සුලෙයිමාන්ගේ' චරිතය නිරූපනය කළේ මේ 'පීටර් උස්ටිනෝව්' ය.
පැහැර ගත් දොස්තර අනන්සා ඇතුළු අනෙක් අයව ඔවුන් වෑන් රථයේ දමා ගෙන ගඟ ළඟට ගියේ එතැනින් පාරුවකින් දේශ සීමාව පහුකිරීමටය.
පිහිනන්නට ගිය අනන්සා නැවත නොපැමිණි නිසා ඩේවිඩ් ඇය පිහිනන්නට ගිය ගඟ ළඟට ගිය අතර, එහී දුටු හෝඩුවා කීපයකින් ඇයට කුමක් හෝ කරදරයක් සිදුවී ඇති බව ඔහුට වැටහුණි. ගඟ ඉවුරේ තිබූ වෑන් රථයක ටයර් සලකුණු දුටු එතැන සිටි ගැමියෙක් කීවේ, සුලෙයිමන් හා ඔහුගේ වහල් පිරිස පැමිණ ඇයව පැහැර ගෙන ඇති බවකි.
එතැන් සිට ඩේවිඩ් ඇයව සොයන්නට උත්සහා කළ අතර ඔහු මුලින්ම මුණ ගැසුණේ බ්‍රයන් වෝර්කර්වය. එතැනදී ඔහු දැනගත්තේ අනන්සාව , පැහැර ගෙන ඇත්තේ අරාබි කුමාරයෙකු වූ හසන්ට විකිණීමට බව. බ්‍රයන් වෝර්කර් කීවේ තවමත් ඔවුන් ගංගාව තරණය කර නැති බවත්ය. බ්‍රයන්, ඩේවිඩ්ට ජිම් සැන්ඩල් ව හදුන්වා දුන්නේ ඔහුගේ මාර්ගයෙන් හෙලිකොප්ටරයක් ගෙන ගංගාව නිරික්ෂණය කරන්නටය. හෙලිකොප්ටරයෙන් ඔවුන් දෙදෙනා ගංගාව උඩින් තරණය කරන විට, සුලෙයිමාන් ඇතුළු පිරිස අනන්සාවත් රැගෙන විශාල පාරුවකින් ගංගාව හරහා දේශ සීමාව පසු කරන්නට යන අන්දම දුටුවහ. අනන්සා හෙලිකොප්ටරයේ එන ඩේවිඩ්ව දැක කෑ ගසන්නට විය. ඔවුන් හෙලිකොප්ටරය පහළට බස්සන විට සුලෙයිමන් ඇතුළු පිරිස හෙලිකොප්ටරයට වෙඩි තියන්නට විය. එම එක් වෙඩිල්ලක් හෙලිකොප්ටරය පදවමින් සිටි ජිම් සැන්ඩල් ට වැදුණි. ඔහු කෑ ගසා කීවේ ඩේවිඩ්ට ගඟට පැන පණ බේරාගන්නට කියාය. ඩේවිඩ් ගඟට පැන්නේය. ජිමිට හෙලිකොප්ටරය පාලනය කර ගැන්මට නොහැකි වූයේ ඔහුට වෙඩි වැදුණු නිසාය. ජිමි අතින් පාලනය ගිලිහුණු නිසා, හෙලිකොප්ටරය ගඟ අසබඩ තිබූ කන්දක හැප්පී පිපිරි ගිනි ගත් අතර ජිමි සැන්ඩල් ඒ ගින්නට අසුවී මිය ගියේය. අනන්සා රැගත් පාරුව ගඟ කෙළවරට ගොස් නොපෙනී ගියේය. (බ්‍රයන් වෝකර්හා ජිමි සැන්ඩල් ගේ සුළු චරිතවලට රඟපෑවේ හොලිවුඩ් සිනමාවෙි දැවැන්තම නළු දෙපලක් වූ රෙක්ස් හැරිසන් හා විලියම් හෝල්ඩන්ය.)
එතැන් සිට චිත්‍රපටය 'ඇඩ්වෙන්චර්' ස්වරූපයක් ගන්නට විය. ජිම් සැන්ඩල්, ඩේව්ඩ්ට මලික්ව හදුන්වා දුන්නේ ඔය අතරේදීය. අනන්සාව සොයා දීමේ කොන්ත්‍රාත්තුව මලික් භාර ගත්තේ හේතු දෙකක් මතය. එකක් මුදල්ය. අනෙක් හේතුව මලික්, සුලෙයිමන් සමඟ කොන්තරයක් ඇති කර ගෙන තිබූ අතර, මලික් ඔහුව සෙව්වේ මරා දමන්නටය. එක හේතුවක් හඹා යන විට අනෙක් හේතුව ඉබේටම සඵල වෙන බව මලික් දැන ගෙන සිටියේය.
සුලෙයිමන් තමා පැහැර ගත් අයව සහරා කාන්තාරය හරහා පා ගමනින් ගිනි ගහන අව්වේ, වැලිවලට දෙපතුල් පිච්චෙමින්, වතුර පොදක් නැතිව රැගෙන ගියේ ගනුදෙනුකරුවන්ට විකිනීමටය. අතර මගදීද ගැණුම් කරුවන් හමුවූ අතර, ඔවුන් ඉල්ලන්නේම අනන්සාවය. සුලෙයිමන්ට එය කළ නොහැකි විය. හේතුව මැයව විශාල ගණනකට අරාබි කුමරු හසන්ට විකිණීමට ඉඩ ප්‍රස්තා ඇති නිසාය. සුලෙයිමන් සිතා සිටියේ අනන්සාව ඩොලර් ලක්ෂ දෙකකට හසන් කුමරුට විකුණන්නටය.
එහෙත් ඒ කිසිවක් හරි ගියේ නැත. අනන්සා නිකම්ම නිකං කාපිරි ගැහැනියක් ලෙස සුලෙයිමන් හසන් කුමරුට හදුන්වා දුන්නද, අනන්සා ඇය දොස්තර කෙනෙක් බවත්,ඇය වැඩ කරනුයේ ලෝක සෞඛ්‍ය මධ්‍යස්ථානයේ බවත් හසන් කුමරුට කීවාය. සුලෙයිමන් ඇයව පැහැරගෙන පැමිණ ඇති බව කුමරුට වැටහුණි. සුලෙයිමන් ඇය වෙනුවෙන් කුමරුට ඩොලර් ලක්ෂ දෙකක් ගෙවන්නට කීවද, පැහැර ගත් අය වෙනුවෙන් වැඩිම ඩොලර් විසිපන්දහක් ගෙවනවා හැරෙන්නට, ඊට වඩා එක ඩොලරයක් වත් නොගෙවන බවක් කුමරු සුලෙයිමාන්ට කීය.
මේ අතර, ඩේවිඩ් හා මලික් සුලෙයිමන් සොයා පැමිණ අනන්සා ගැන ඇසූ විට, ඇයව හසන් කුමාරයා තම පෞද්ගලීක නැවක දමාගෙන ගිය බවත්, යළි කිසිදින ඩේවිඩ්ට අනන්සා ව දකින්නට නොලැබෙන බවක් කීවේ ලොකු පුරාජේරුවක් ලෙසටය. ඩේවිඩ් එසැනින්ම තමා ළඟ තිබූ තුවක්කුව ඇද සුලෙයිමන්ට මිය යන තෙක්ම වෙඩි තැබීය. ඉන්පසු ඔවුන් දෙදෙනා හසන් කුමාරයා අනන්සා ව නතර කරගෙන සිටින නැවට ගොස් අනන්සා ව බේරා ගත් අතර ඒ කලඹගෑනිය අස්සේ මලික්ට වෙඩි වැදී මිය ගියේය
'අශාන්ති' චිත්‍රපටයේ බොහෝ දර්ශන රූ ගත වූයේ සහරා කාන්තාරයේය. ඒවා ඉතාමත් මනරම් වූ දර්ශනයන්ය.
'අශාන්ති', ප්‍රේක්ෂකයන්ට විඳීය හැකි අන්දමේ චිත්‍රපටයක් විය. චිත්‍රපටයේ කුතුහලය දනවන දර්ශන බොහෝය. ප්‍රේක්ෂකයන් 'අශාන්ති' චිත්‍රපටය ආශාවකින් නැරැඹු බව කීම, කිසිසේත් අතිශයෝක්තියක් නොවේ.