වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
කුහුඹු මිනිසා සහ වැස්ප් සමඟ ක්වන්ටම් උන්මාදය

ඒ 1987 වසරයි. පැරැණි ඈන්ට් මෑන් හෙවත් කුහුඹු මිනිසා (හෑන්ක් පෑම්), සහ ඔහුගේ බිරිය වැස්ප් (ජැනට් වැන් ඩියෙන්) සිය කුඩා දියණිය වන හෝප් සිය ගෘහ සේවිකාවට භාර කර සූක්ෂම මෙහෙයුමක් සඳහා පිටත්ව යති. මෙම මෙහෙයුම නම් සෝවියට් න්‍යෂ්ටික මිසයිලයක් ඇමරිකානු භූමිය තුළ පුපුරුවා හැරීම නැවැත්වීමයි. කෙසේ වුවත් මෙහෙයුම සිතු තරම් පහසු කටයුත්තක් නොවන අතර එය සාර්ථකව නිම කිරීමට නම් වැස්ප් හට උප පරමාණුක (Subatomic) තත්ත්වයට කුඩා වීමට සිදු වේ. මෙතරම් කුඩාවීමත් සමඟ ඇය ක්වන්ටම් ලෝකය (Quantum realm) තුළ අතරමන් වන අතර ඉන් ඇය මුදා ගැනීමට ඈන්ට් මෑන් හට නොහැකි වේ. වසර ගණනාවකට පසු නව ඈන්ට් මෑන් වන ස්කොට් ලැන්ග් උප පරමාණුක තත්ත්වයට ගොස් නැවතත් සාමාන්‍ය ප්‍රමාණයට පැමිණේ. මේ දැනුම සමඟ ජැනට් ක්වන්ටම් ලෝකය තුළින් මුදාගැනීම ගැන බලාපොරොත්තු තබාගත හැකි බවට ඔහු දැන් තරුණ වියේ පසුවන හෝප් හට පවසයි. නව ඈන්ට් මෑන් නව වැස්ප් වන හෝප් හා එක්ව ඇයගේ මව ජැනට් මුදාගැනීමේ මෙහෙයුම මෙතැන් සිට ක්‍රියාත්මක වේ.
ඉහත දැක්වුණේ 2018 වසරේ තිරගත වූ Antman and the Wasp චිත්‍රපටයේ සංක්ෂිප්ත කතාවයි. Marvel Cinematic Universe හෙවත් මාවල් සිනමා විශ්වයට තවත් කතාවක් එක කරමින් Ant-Man and the Wasp: Quantumania චිත්‍රපටය ඇරඹෙන්නේ මෙතැන් සිටය. ස්කොට් ලැන්ග්, හෝප් ඇයගේ දෙමාපියන් වන හෑන්ක් පෑම් සහ ජැනට් වැන් ඩියෙන් සමඟ එක්ව නව ත්‍රාසජනක අත්දැකීම් වෙත පිය නඟන මෙම චිත්‍රපටයද, 2018 චිත්‍රපටය සේම අති සූක්ෂම ක්වන්ටම් ලෝකයේ ගැඹුරු භෞතික විද්‍යා සංකල්පයන් සමඟ ප්‍රේක්ෂකයා වෙත වෙනස්ම ආකාරයේ අත්දැකීම් සමුදායක් ගෙන ඒමට සූදානම්වී සිටී.
පෙබරවාරි මස 17 වැනිදා සිට තිරගත වීම අරඹන මෙම චිත්‍රපටය, විනාඩි 124 ක ධාවන කාලයකින් යුක්ත වේ. ජෙෆ් ලව්නස් විසින් රචනා කර කෙවින් ෆෙජ් සහ ස්ටෙෆන් බ්‍රවුසාඩ් විසින් නිෂ්පාදනය කර ඇති මෙය පේටොන් රීඩ්ගේ අධ්‍යක්ෂණයකි. පෝල් රූඩ්, ස්කොට් ලැන්ග් හෙවත් ඈන්ට් මෑන් ලෙසත් ඉවැන්ජලීන් ලිලී හෝප් වැන් ඩියෙන් හෙවත් වැස්ප් ලෙස චරිත මවන මෙම චිත්‍රපටයේ, ජොනතන් මේජර්ස්, මයිකල් ෆ්‍රිෆර්, මයිකල් ඩග්ලස්, කැතරින් නිව්ටන්, ඩේවිඩ් ඩස්ට්මැල්කෙයින්, කේටි ඔ'බ්‍රයන් සහ බිල් මුරේ විසින් සෙසු චරිත රඟදැක්වේ. මෙම චිත්‍රපටයේ එන තවත් සුවිශේෂී චරිතයක් වන්නේ කාංග් අධිරාජයාගේ චරිතයයි. ක්වන්ටම් ලෝකයේ සිරවී සිටින විශ්වයන් අතරත් කාලය හරහාත් ගමන් කළ හැකි පුද්ගලයෙකු වන මොහු මාවල් සිනමා විශ්වයේ (හෝ මාවල් සිනමා බහු-විශ්වයේ) ඉදිරි චිත්‍රපට බොහොමයක දැකගතහැකි වන බලවත් විරුද්ධවාදියෙකු ලෙස සැලකේ.