හුවමාරු වන දරුවන්ගේ ඉරණම

SHEHZADA
පෙබරවාරි 16, 2023

වාල්මීකි සහ රාමචන්ද්‍ර අනන්ත් රාමක්‍රිෂ්ණාගේ සමාගමෙහි ලිපිකරුවන් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරති. රාමචන්ද්‍ර, රාමක්‍රිෂ්ණාගේ දියණිය යසෝදා හෙවත් යසු සමඟ විවාහ දිවියට පැමිණේ. මේ සමඟ රාමචන්ද්‍ර ධනවතකු වන අතරේ වාල්මීකි හට උරුම වන්නේ සුපුරුදු දුගී දිවියයි. වාල්මිකී සහ රාමචන්ද්‍ර දෙදෙනාගේම දරුවන් උපදින්නේද එකම දිනයකදීය. නමුත් රාමචන්ද්‍රගේ පුතා මියගොස් ඇති බව හෙදිය සුලෝචනා වාල්මීකි හට දැනුම් දුන් විට ඔහු රාමචන්ද්‍ර සහ යසුට අනුකම්පා කර තම දරුවා මියගිය දරුවා සමඟ හුවමාරු කර ගැනීමට ඉදිරිපත් වේ.

කෙසේ නමුත් දරුවන් මාරු කිරීමෙන් පසුව මියගියා යැයි හඳුනා ගත් දරුවා අඬන්න පටන් ගනී. සුලෝචනා ඔවුන් ආපසු මාරු කිරීමට උත්සාහ කළද තම පුතා ධනවත් පවුලක හැදී වඩා හොඳ ජීවිතයක් ලැබෙනු ඇති බව දැනගත් වාල්මිකී ඇයව වළක්වයි. අනතුරක් හේතුවෙන් සුලෝචනා කෝමා තත්ත්වයට පත්වන අතර පාදයේ ඇති වන වේදනාවක් සමඟ වාල්මිකී සදාකාලික කොර පුද්ගලයකු බවට පත් වේ. දුගී වාල්මිකීගේ පුත්‍රයා රාජ් ධනවත් සේ හැදී වැඩෙන අතර කෝටිපති රාමචන්ද්‍රගේ සැබෑ පුත්‍රයා බන්ටු දුගී ලෙස හැදී වැඩේ. දශක දෙකකට පමණ පසු බන්ටුගේ සහ රාජ්ගේ දෛවය විසඳෙන අයුරු දැකගත හැකි වූයේ ත්‍රිවික්‍රම් සිරිනිවාස් අධ්‍යක්ෂණය කර 2020 වසරේදී තිරගත කෙරුණු Ala Vaikuntapurramuloo තෙළිඟු චිත්‍රපටයෙනි. එහි අල්ලු අර්ජුන් බන්ටු ලෙසත් සුෂාන්ත් රාජ් ලෙසත් චරිත නිරුපණය කළ අතර පූජා හෙජ්, තාබු, ජයරාම්, මුරලි ශර්මා, සචින් ඛේඩේකාර් ඇතුලු පිරිසක් සෙසු චරිත නිරූපණය කළහ.

පෙබරවාරි 17 වැනිදා සිට Shehzada හින්දි ක්‍රියාදාම චිත්‍රපටය රිදී තිරයේ දිග හැරෙනුයේ ඒතච Vaikuntapurramuloo හි ප්‍රතිනිර්මාණයක් ලෙසිනි. එහිදී මධ්‍යම පන්තික පසුබිමක හැදී වැඩෙන තරුණයෙකු වන බන්ටු, තමා සැබෑ ලෙස කෝටිපති කර්මාන්තකරුවකුගේ පුත්‍රයකු බව වටහා ගැනීමෙන් පසු සිදුවන සිදුවීම් පෙළ දිග හැරේ. රෝහිත් ධවාන්ගේ අධ්‍යක්ෂණයක් වන Shehzada චිත්‍රපටයේ බන්ටුගේ චරිතයට පණ පොවනු ලබන්නේ කාර්තික් ආර්යන් විසිනි. රාජ්ගේ චරිතය නිරූපණය කරන්නේ අන්කූර් රාතේ ය. ක්‍රිති සැනොන්, පරේෂ් රාවල්, මනීෂා කොයිරාළ, රෝනිත් රෝයි, රාජ්පාල් යාදේව්, සචින් ඛේඩේකාර් ඇතුළු පිරිසක් සෙසු චරිත නිරූපණය කරති. ජනප්‍රිය නළුවකු ලෙසින් බොලිවුඩයේ කැපී පෙනන කාර්තික් ආර්යන් මෙම චිත්‍රපටය සමඟ නිෂ්පාදනයට පිවිසීමද වි‍ශේෂ වේ.