අද්භූත ඉල්ලීමක් රැගත් කතාවක්

Knock at the Cabin
පෙබරවාරි 9, 2023
 
ඇන්ඩෲ, එරික් සහ ඔවුන්ගේ 7 හැවිරිදි දියණිය වෙන් නිව් හැම්ප්ෂයර් හි හුදකලා කුටියක නිවාඩුවක් ගත කරති. ලෙනාඩ් නම් අද්භූත තරුණයා වෙන් වෙත පැමිණෙන්නේ මේ අතරදීය. තමා සිදුකිරීමට යන දේ ගැන කනගාටු වන බවත්, ලෝකය විනාශ වීම නැවැත්වීමට ඔහුට වෙන් ගේ පවුලේ උපකාරය අවැසි බවත් ලෙනාඩ් පවසයි. ලෙනාඩ් ගේ පිටුපසින් අමුතු ආකාරයේ ආයුධද අතැතිව පැමිණෙන තවත් තිදෙනෙක්ද දකිනා වෙන් බියට පත්වී මාපියන් වෙත දිවයයි. කුටියට ගොස් ඇන්ඩෲ සහ එරික් හට අනතුරු අඟවයි.
 
මේ සමඟම ලෙනාඩ් ඇතුළු සිවුදෙනා කුටියට කඩා වදිති. ඔවුන්ට පහරදෙන ඇන්ඩෲ සහ එරික් බැඳ තබන ලෙනාඩ් සහ ඔහුගේ සගයන් වන - ඒඩ්‍රියන්, රෙඩ්මන්ඩ් සහ සබ්රිනා ඔවුන් සාමාන්‍ය මිනිසුන් බවත් මේ පවුලට හිංසා කිරීමට කිසිදු පුද්ගලික වුවමනාවක් නැති බවත් කියා සිටිති. ඔවුන් තවදුරටත් කියා සිටිනුයේ යම් අද්භූත කතාවකි. මතු දින කිහිපය තුළ සුනාමි ඇතිවී, සාගර ඉහළ යනු ඇති බවත්, මහා වසංගතයක් ඇති වී මිනිසුන් ලක්ෂ ගණනින් මිය යන බවත්, අහස කඩා වැටී මුළු ලොවම විනාශ වී ලෝකය ඝන අන්ධකාරයේ ගිලෙන බවත් පවසන ඔවුහු එයින් මනුෂ්‍ය සංහතිය බේරා ගැනීමට නම්, ඇන්ඩෲ, එරික් සහ වෙන් ඇතුළු පවුලේ තිදෙනා ගෙන් එක් අයෙක් ඔවුන් විසින් ස්වකැමත්තෙන් බිලිදිය යුතු බවත් පවසති. මේ අද්භූත කතාව කිසිසේත් විශ්වාස නොකරන පවුලේ තිදෙනා ඉල්ලීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරති. ඉන් පසු ලෙනාඩ් ඇතුළු සිව්දෙනා කුඩා පවුලට රූපවාහිනී සහ අනෙකුත් මාධ්‍යයන්ගෙන් පෙන්වන්නේ ඔවුන් මෙම ඉල්ලීම ප්‍රතිෂේප කිරීම හේතුවෙන් මිනිසුන් දහස් ගණනක් සුනාමියකින් මිය යන ආකාරයයි. ඇන්ඩෲ ඇතුළු පවුලට ගැනීමට සිදුවන්නේ ඉතා අපහසු තීරණයකි. 
 
නොසිතූ විරූ අවසානයන් සහිත අද්භූත චිත්‍රපට නිර්මාණය කිරීමෙහි ප්‍රසිද්ධ ඉන්දියානු - ඇමෙරිකානු අධ්‍යක්ෂ එම්. නයිට්ශ්‍යාමලන් අධ්‍යක්ෂණය කළ Knock at the Cabin චිත්‍රපටය මෙලෙස ඇරඹේ. පෝල් ට්‍රෙම්බ්ලේ විසින් රචනා කරන ලද, The Cabin at the End of the World නවකතාව පාදක කොට ගෙන තිරයට නැගුණු මෙම චිත්‍රපටය පෙබරවාරි 03 වැනිදා සිට ලොව පුරා තිරගත වීමට නියමිතය. Knock at the Cabin චිත්‍රපටයේ ඩේව් බෞටිස්ටා, ජොනතන් ග්‍රොෆ්, බෙන් ඇල්ඩ්‍රිජ්, නිකී අමූකා-බර්ඩ්, ඇබි කුයින්, රූපට් ග්‍රින්ට් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.