වර්ෂ 2023 ක්වූ April 02 වැනිදා Sunday
ගාන්ධි හා ගොඩ්සේ කල්පිත ලොවක හමුවෙති

මොහන්දාස් කරම්චන්ද් ගාන්ධි හෙවත් මහත්මා ගාන්ධි ඉන්දිය ජාතික නිදහස් සටනේ පුරෝගාමියෙකි. තම මව්බිමට නිදහස ලබාදීමේ අරමුණැතිව එකල ඉන්දියාවේ අණසක පවත්වා ගෙන සිටි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදින්ට එරෙහිව අවි ආයුධවලින් තොර අවිහිංසාවාදය පදනම් කොට ගෙන ඉන්දීය නිදහස් අරගලය ඇරැඹීය. මෙයට හැත්තෑපස් වසරකට පෙර සිය ආශ්‍රමයේදී නතුරම් විනායක් ගොඩ්සේ නම් පුද්ගලයෙකුගේ වෙඩි පහර වලින් ජීවිතක්ෂයට පත් වූයේ 1948 ජනවාරි 30 වැනිදා ය.
මහත්මා ගාන්ධි චරිතය ඇසුරෙන් සිනමා නිර්මාණ රැසක් බිහි වී තිබේ. රාජ් කුමාර් සන්තෝෂි විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද 'ගාන්ධි ගොඩ්සේ - ඒක් යුද්' හින්දි ඉතිහාස චිත්‍රපටය ද මේ අතරට එක්වන නවතම සිනමා නිර්මාණය වේ. ජනවාරි 26 වැනිදා ඉන්දීය ජනරජ දිනයට සමගාමීව එය නිකුත් කෙරුණි.
විදේශ ආධිපත්‍යයෙන් මිදී ඉන්දියාව ස්වාධීනව නැගී සිටිය යුතු බව තරයේම ප්‍රකාශ කරමින් මහත්මා ගාන්ධි ස්වරාජ් ව්‍යාපාරය ආරම්භ කරයි. හින්දු භක්තිකයන්ගේ බෙදීම් හා දුක්ඛිත තත්ත්වයන්ට ගාන්ධි වගකිව යුතු බව ගොඩ්සේ පවසයි. ඔහු 1948 ජනවාරි 30 වැනි දින ගාන්ධිට වෙඩි තැබූ නමුත් ඔහු ආශ්චර්යමත් ලෙස බේරී ගොඩ්සේට සමාව දෙයි. මේ අතර ගොඩ්සේගේ ලේඛනය ගාන්ධිට එරෙහිව මහජන හැඟීම් හසුරුවයි. මෙය ගාන්ධි අත්අඩංගුවට ගැනීමට හේතු වන අතර සිරගෙදර තුළදී පවා ඔවුන්ගේ මතවාද ගැටුම් ඇවිළී යයි. මේ අනුව 1947-48 පශ්චාත් නිදහස් ඉන්දියාව පසුබිම් කර ගත් 'ගාන්ධි ගොඩ්සේ - ඒක් යුද්' චිත්‍රපටයේ දිගහැරෙන්නේ මහත්මා ගාන්ධි තමා හට එල්ල වූ ප්‍රහාරයෙන් බේරී පසුව සිරගෙදරදී නතුරාම් ගොඩ්සේ හමුවන ප්‍රබන්ධ ලෝකයයි.
දීපක් අන්තානි මෝහන්දාස් කරම්චන්ද් ගාන්ධි හෙවත් මහත්මා ගාන්ධි ලෙස චරිත නිරූපණය කරන අතර චින්මේ මන්ද්ලෙකර් නාතුරාම් ගොඩ්සේගේ චරිතය නිරූපණය කරන්නේය. ජවහර්ලාල් නේරුගේ චරිතයට පණ පොවනු ලබන්නේ පවන් චොප්රා විසිනි.
ගාන්ධි ගෝඩ්සේ - ඒක් යුද් නිකුත් වීමටත් පෙර, චිත්‍රපටය මතභේදයට ලක් විය. චිත්‍රපටයේ සන්දර්භය සම්බන්ධයෙන් එල්ල වූ තර්ජන හේතුවෙන් අධ්‍යක්ෂ සන්තෝෂි හට පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටීමට සිදු වූ බව වාර්තා විය. 'ගාන්ධි ගොඩ්සේ - ඒක් යුද්' චිත්‍රපටය වසර නවයක දීර්ඝ විරාමයකට පසු සන්තෝෂි අධ්‍යක්ෂණයට නැවත පැමිණීම සනිටුහන් කරයි.
ගාන්ධි ගෝඩ්සේ - ඒක් යුද් චිත්‍රපටයෙන් නස්තුරාම් ගොඩ්සේගේ ක්‍රියාව සාධාරණීකරණය කිරීමට උත්සාහ කරන්නේ දැයි මාධ්‍ය හමුවකදී අධ්‍යක්ෂවරයා ගෙන් විමසූ විට ඔහුගේ පිළිතුර මෙසේ විය. "අපි එය සාධාරණීකරණය කරන්නේ ඇයි? විනිසුරුවරයා ගොඩ්සේ සාධාරණීකරණය කළේ නැහැ. එල්ලා මරා දැමීමට ඔහුට දඬුවම් නියම කළා. ඉතින් මම අද එය සාධාරණීකරණය කරන්නේ ඇයි? මේ චිත්‍රපටයෙන් මම ගෙන එන්නේ ගොඩ්සේ කියපු දේ විතරයි".