වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
සමුරායිවරුන් ගැන සමුරායි පෙළපත්කරු තැනූ සිනමා කෘතිය

1910 මාර්තු 23 වන දින ජපානයේ ටෝකියෝ නගරයේ ශිහගාවා ප්‍රදේශයේදී අකීරා කුරොසාවා උපත ලැබීය. ඔහුගේ උපත ලොවට වඩාත් වැදගත් වනුයේ ඔහු ලෝක සිනමාවට කළ විශිෂ්ටතම සේවය නිසාය. ඔහුගේ සිනමා ජීවිතයේ විශාල සෙවණැල්ලක් වූයේ ඔහුගේ පියාවූ 'ඉසාමු කුරොසාවා'' ය. ඉසාමු, සමුරායි පෙළපතකින් පැමිණි අයෙකි. අකිරා, පවුලේ බාලයා වූ අතර, ඔහුට වැඩිමහල් සොහොයුරු සොහොයුරියන් 7 දෙනෙක් සිටියහ.
අකිරාගේ පියා ඉසාමු නිතරම බටහිර සංස්කෘතිය අගය කළ ඒ අනුව ජීවත් වූවෙකි. තරමක වත් පොහොසත් කමින් සපිරුණු කුරොසාවා පවුල තුළින් අගහිඟ කමක් දිස් වූයේ නැත. ඔවුහු සුවදායික ජීවිතයක් ගත කිරීමට හැකි ආර්ථීක මට්ටමක සිටියහ. දරුවන්ව සිනමා, නාට්‍ය, මෙන්ම ප්‍රිය සාදවලට පුරුදු කළේද ඉසාමුය. ඔහු කීවේ මෙවන් ප්‍රිය ඇතිවන දෑ වලට සහභාගි වීමෙන් ජීවිතයේ බොහෝ දේ ඉගෙන ගැන්මට හැකි වන බවය. ඔහු තම දරුවන්ව සිනමා පට නැරඹීමට නිතර උනන්දු කළේය. ඒ හෙයින්, අකිරා තම මුල්ම චිත්‍රපටය නැරඹුවේ ඔහුට වයස අවුරුදු 6 වන විටදීය. ඒ වන විට අකීරා චිත්‍ර කර්මයට දස්කම් දැක්වූ සිසුවෙක් විය. ඔහුගේ ප්‍රාථමික පාසැලේ ගුරුවරයා වූ කචිකාවා ගුරුවරයා අකිරාගේ චිත්‍රකර්මයේ දක්ෂතාවයන් දැඩිව අගය කළ අයෙක් විය. එලෙසම අකිරා, 'කලි ග්‍රැපි' Cali Graphy) නොහොත් දෘශ්‍ය චිත්‍ර කර්මය ඉගෙන ගති. එය ඉංග්‍රිසියෙන් හැඳීන්වූයේ 'විෂුවල් ආර්ට්ස්' නමිනි. ඒ සමයේම ඔහු 'කොන්ඩො' සටන් කලාවද ඉගෙන ගතී. කොන්ඩො යනු එක්තරා අන්දමකට ඉපැරණි ජපන් මාර්ෂල් ආර්ට්ස් සටන් ක්‍රමයකි. එය බොහෝ විට උපයෝගි කරගනුයේ 'බම්බු' කඩු වලිනි.
අකිරා කුරොසාවා සිනමාවට පා තැබුවේ 1936 දී තරමේය. ඔහු මුලින්ම එකතු වූයේ චිත්‍රපටවල කලා අංශයේ චිත්‍ර නිර්මාණයටය. එලෙස සිටින අතරේ ඔහු විශාල ඉදිරි පිම්මකට කුරුමානම් ඇල්ලුවේය. ඒ චිත්‍රපටයක සහය අධ්‍යක්ෂකයෙකු වීමටය. ඔහු ටික කලකින් එම අභිප්‍රාය ඉටු කර ගති. එතැන් සිට ඔහු චිත්‍රපට ගණනාවක සහය අධ්‍යක්ෂකවරයක් ලෙස කටයුතු කරන්නට විය. ඒ සමඟම ඔහු තිර රචනය , සංස්කරණය වැනි චිත්‍රපට අධ්‍යක්ෂණයට අවශ්‍ය වන දේ ගැන ඉගෙන ගන්නට වූයේ මතුවට තනිවම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ අභිලාෂයෙනි.
'සන්ෂීරෝ සුගතා' ඒ අභිලාෂයේ මුල් ඉටු වීමය. 1936 දී චිත්‍ර නිර්මාණකරුවෙකු ලෙස සිනමාවට එකතු වුණු අකිරා කුරොසාවා ඉන් අවුරුදු 7 කට පසු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙස දොරට වැඩියේ 'සන්ෂීරෝ සුගතා' චිත්‍රපටයෙන් ය. එය ට්සුනියෝ ටොමිටා විසින් ලියූ නවකථාවක් ආශ්‍රයෙන් කළ චිත්‍රපටයක් විය. අකිරාට චිත්‍රපටයක් කිරීමට මුල්ම නිෂ්පාදන දායකත්වය දුන්නේ කේයිජී මට්සුසාකීය. එය ජපන් චිත්‍රපටයක් වූ අතර, භාෂාවද ජපන් විය. අකිරාගේ එම ප්‍රථම චිත්‍රපටය තිරගත වූයේ 1943 මාර්තු 25 වන දිනය. එතැන් පටන් ඔහු 1950 වන තෙක් චිත්‍රපට 9 යක් අධ්‍යක්ෂණය කළේය. එය පිළිවළින් මෙසේය. (1944) 'ද මෝස්ට් බියුටිෆුල්' (1944) ' සන්ෂීරෝ සුගතා' 2වන කොටස, (1945) 'ද මෙන් හූ ට්‍රෙඩ් ඔන් ද ටයිගර් ටේල්', (1946) 'නෝ රිග්‍රෙට්ස් ෆො අවර් යූත්', (1947) 'වන් වන්ඩෆුල් සන්ඩේ' (1948) 'ඩ්‍රන්කන් ඒන්ජල්' '(1949)' ද ක්වයිට් ඩුවල්', (1949)'ස්ට්‍රේ ඩෝග්' (1950) 'ස්කැන්ඩල්', ය. එම චිත්‍රපට ජපානය තුළ ජනප්‍රිය වූවද, ඒවා ජාත්‍යන්තරයට ගියේ නැත. නමුත් එම අවුරුද්දෙම එනම්1950 දීම ඔහු 'රෂෝමන්' කියා චිත්‍රපටයක් නිර්මාණය කර එය ප්‍රදර්ශනය කළේය.
'රෂෝමන්' මනෝවිද්‍යාත්මක ත්‍රාසයක් මෙන්ම අපරාධ ගණයට අයත් චිත්‍රපටයක් විය. අකිරා ගේ චිත්‍රපට තුනකම එනම් 'ඩ්‍රන්කන් ඒන්ජල්' ' ද ක්වයිට් ඩුවෙල්', ' ස්ට්‍රේ ඩෝග්', හී රගපෑ ඔහුගේ ප්‍රියතම නළු 'තොෂිරෝ මිෆුනේ' 'රෂෝමන්' හී ප්‍රධාන චරිතය රඟපෑවේය.
මෙම චිත්‍රපටය තුළින් අකිරා කුරුසාවා ජත්‍යන්තරයට ඇතුල් විය. ඒ ජාත්‍යන්තර සම්මාන ගණනාවකට පාත්‍ර වීමෙනි. 1951 ඉතාලියේ වෙනිස් චිත්‍රපට උලෙළෙ හොඳම අධ්‍යක්ෂක ට හිමි 'රන් සිංහයා' Golden Lion) සම්මානය හිමි වුණේ 'රෂෝමන්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අකිරා කුරොසාවා ටය. ඉන් පසු ඇමරිකාවේ ජාතික විචාර සභාව, (National Board of Review) චිත්‍රපට සම්මාන උලෙළේ හොඳම අධ්‍යක්ෂක ට හිමි සම්මානයද, 1952 දී ඇමරිකා ඔස්කාර් ඇකඩමි සම්මාන උලෙළේදී උසස්ම විදේශීය චිත්‍රපටයට හිමි ඇකඩමි සම්මානය ලැබුණේ එය අධ්‍යක්ෂණය කළ අකිරා කුරෝසාවා ටය.
වසර 2000 දී ලෝකයේ හොඳම චිත්‍රපට 100 අතරට 'රෂෝමන්' පැමිණීයේය. එලෙසම ලෝකයේ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් 100 ය අතරට අකිරා කුරොසාවා ව පැමිණියේ 'රෂෝමන්' චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වෙනුවෙනි. එය ලෝකයේ අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම චිත්‍රපට 100 ය අතරටද එක්විය. 'රෂෝමන්' චිත්‍රපටය ලබාගත් සම්මාන හා හේතු පාඨ නිමක් නැතිවිය. මුළු ලෝකයම ජපන් චිත්‍රපට ගැන උනන්දුවක් ඇතිවූයේ අකිරා කුරසාවාගේ 'රෂෝමන්' වලින් පසුවය.
ඉන්පසු ඔහු 1951 දී 'ද ඉඩියට්' නමින් චිත්‍රපටයක් නිර්මාණය කළ අතර, ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූ 'ඉකිරු' තිර ගත වූයේ 1952 දීය.
මෙම ලිපියට පාත්‍ර වන 'සෙවන් සමුරායි' චිත්‍රපටය ඔහු අධ්‍යක්ෂණය කර තිරගත කළේ 1954 අප්‍රේල් 26 වෙනිදාය.
අකිරා කුරොසාව ට මුලින් ම අවශ්‍ය වී තිබුණේ සමුරායිවරයකුගේ ජීවිතය අලළා කථාවක් ලිවීමටය. ජපානයේ සමුරායි වරයෙකු යනු එකල ඉතාමත් ගෞරවනීය වූ නිලයක් විය. ඔවුන් හමුදාවට සේවය කරමින් සිටි අයය. එකල දිග කඩු දෙකක් තම ඉන මත හෝ පිටුපස එල්ලාගෙනය ඔවුන් ගමන් කළේ. එසේ දිග කඩු රැගෙන යාමට හැක්කේ සමුරායිවරයන්ට පමණි. ඔවුන් සෑම සටන් කලාවක්ම පාහේ ප්‍රගුණ කර තිබූ අතර, නිලයෙන්ද, බලයෙන්ද, උසස් පුද්ගලයන් විය. හමුදාවට සේවය කර අවසන් වූ පසු ඔවුන්ට මේ නිලතලය ලැබෙනු ඇත. මුදල් යහමින් වියදම් කිරීමට හැකි අයට ඔවුන්ගේ සේවාවන් ලබා ගත හැකිය. ඔවුන් කිසිවෙකු හා සටන් කරනුයේ එය වටිනා හේතුවක් වුවහොත් පමණී. ඔවුන් ජීවිතය වූවද කැප කරමින්, තමන් භාර ගත් කාර්ය ඉටු කරයි. 12 වන ශත වර්ෂයේදී සමුරායිවරුන්ට දැඩි ඉල්ලුමක් තිබූ අතර, මංකොල්ලකරුවන්, සොරුන්, සමුරායිවරුන්ට දැක්වූයේ බිය, පක්ෂ බවකි. 13 වන ශත වර්ෂය වන විටත් සමුරායි වරුන්ගේ සේවයට හොඳ මිලක් ලැබුණි. එහෙත් 18 වන ශත වර්ෂය වන විට ජපානය සමාජීය වශයෙන් දියුණු වූ අතර සමුරායි වරුන් කෙමෙන් කෙමෙන් නැතිවී ගියේය. 1870 වන විට සමුරායිවරුන් සිටියේ ජපානයේ මුළු ජනගහනයෙන් 5% ක වගේ කොටසකි.
අකිරා කුරොසාවා, සමුරායි වරුන් ගැන ඉමහත් උනන්දුවක් දැක්වූයේ, ඇතැම් විට ඔහුගේ පියාවූ ඉසාමු පැවතුණේද සමුරායි පරම්පරාවකින් නිසා විය හැක. තනි සමුරායිවරයකුගේ ,දින චාර්යාවේදි ඇතිවන හැල හැප්පීම් ගැන චිත්‍රපටයක් කිරීමට ගිය අකිරා, මංකොල්ල කරුවන්ව මෙල්ල කරන සමුරායිවරුන්ගේ සිදුවීම් ඇසුණු කථාවක් නිසා, එවන් තේමාවක් ගෙන එය චිත්‍රපටය පුරා ව්‍යාප්ත කරහොත් ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩියෙන් ලැබෙන බවක් ඔහුට හැඟුණි. එක් ගම්මානයක අහිංසක ලෙස දිවිගෙවන ගොවි කම තම එකම ජීවනෝපායක් කර ගත් දුප්පත් ගම් වාසින් අතරට කඩු දුනු හී රැගෙන එන මංකොල්ල කරුවන් රෑනක්, එකී ගම් වැසියන් බිය ගන්වා, ඔවුනට විරුද්ධ වුව හොත් මරා දමා හෝ ඔවුන්ගේ අස්වනු කොල්ල කා යන සත්‍ය සිදුවීම් කීපයක් අකිරා ගවේෂණය කරන්නට විය.
එම ගවේෂණවලින් බොහෝ දේ සොයා ගත් ඔහු එය සාරංශයකට හරවා චිත්‍රපට තිර නාටකය ලියන්නට ශිතෝබු හෂිමොටෝ, හා හිඩියෝ මගුනීට දුන්නේ ඔවුන් එවකට සිටි දක්ෂ චිත්‍රපට තිර නාටක රචක දෙපළක් නිසාය. ශිතෝබූ හෂිමොටෝ අකිරාගේ 'රෂෝමොන්' චිත්‍රපටයේ තිරනාටකය ලියූ අතර, හිඩීයෝ මගුනී අකිරාගේ 'ඉකිරු' චිත්‍රපටයේ මෙන්ම ඉන්පසු අකිරා අධ්‍යක්ෂණය කළ 'ත්‍රෝන් ඔෆ් බ්ලඩ්' හා 'ද හිඩන් ෆොට්‍රස්'යන චිත්‍රපටවලද තිර රචකයාද විය.
අලුත් චිත්‍රපටය ඔවුන් නම් කළේ 'සෙවන් සමුරායි' ලෙසටය. ඉහත කී දෙදෙනා සමඟ අකිරාද මෙම තිර නාටකය ලිවීමට හවුල් විය. මෙම සිදුවීම් මාලාව ඔවුන් තේමා කර ගත්තේ 15 වන ශත වර්ෂයේ එනම් 1586 වසර කාලය තුළ සිදුවූ සිදුවීමක් ලෙස සලකාය. එහෙයින් ඔවුනට සිදුවූයේ ඔවුන් සිටින ශත වර්ෂයේ සිට, තව ශත වර්ෂ 4 ක් පමණ පසු පසට යාමටය. එය පහසු කරුණක්ම නොවීය. ශත වර්ෂ 4ක යනු අවුරුදු 400 ක් ආපස්සට යෑමටය. එසේ ගොස් එකල එකී ගම්මානවාසින් ගේ ජීවන රටාවේ තොරතුරු සොයා ගැන්ම අභියෝගයක්ම විය..එම කාල වකවානුව ගැන ලියවුණු පොත් පත් හා ජපන් ඉතිහාස කථා රැස් කරගෙන කියවමින් ඔවුන් එම කාලවකවානුව ගැන නිවැරදි අධ්‍යයනයක් කළහ.
චිත්‍රපටයට මුල් ඇස්තමේන්තුව වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 1.1 කි. එය ජපාන මුදල් යෙන් මිලියන 125 කි. චිත්‍රපටයට බරපැන යොදවමින් නිෂ්පාදන කාර්යයට අත තිබ්බේ 'සොජිරො මොටොකි' ය. සොජිරො වෘත්තිමය චිත්‍රපට නිෂ්පාදකයකු වූවද, ඔහු රචකයකුගේ හා චිත්‍රපට අධ්‍යක්ෂක වරයකුගේ භූමිකාව ද කර තිබුණි. පසු කලෙක අකිරා කුරොසාවා ගේ 'ඉකුරු' හා 'ත්‍රෝන් ඔෆ් බ්ලඩ්', චිත්‍රපට නිෂ්පාදන කළේද සොජිරෝ මොටොකීය.
50 දශකයට සමගාමිව බලන කළ සෙවන් සමුරායි චිත්‍රපටය 'මේජර් ප්‍රොජෙක්ට්' එකකි. එය එකල හැඳීන්වී ඇත්තේ විශාලතම වියදමක් දරා නිෂ්පාදනය කළ චිත්‍රපටයක් ලෙසටය.
මෙය රූ ගත කිරීමට අවුරුද්දකටත් අධික කාලයක් ගත වූ අතර, කුරොසාවා ඇතුළු ඔහුගේ කණ්ඩායමට ඉමහත් දුෂ්කරතා, අකරතැබි වලට මුහුණ දෙන්නට සිදුවිය.
'සෙවන් සමුරායි' කළු සුදු චිත්‍රපටයකි. 'අසාකාසු නතායි' මෙහී කැමරා අධ්‍යක්ෂක විය. ඔහු කුරොසාව ගේ ඒකායන තේරිම වූයේ , හේ , ඔහුගේ පෙර චිත්‍රපටයක් වූ 'ස්ට්‍රෙ ඩෝග්' හී කැමරාව හසුරවා පෙන්වූ දක්ෂතා නිසාය. පසු කලෙක කුරොසාවා අධ්‍යක්ෂණය කළ 'ත්‍රෝන් ඔෆ් බ්ලඩ්' චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂක වූයේද අසාකාසු නතායි ය.
'සෙවන් සමුරායි' චිත්‍රපටය ආරම්භ වනුයේ වෘත්තිමය ලෙස තුවක්කු, අවි ආයුධ සන්නද්ධ අසරු, මංකොල්ලකරුවන් විශාල පිරිසක් එක්ව කඳු පාමුලක පිහිටි ගොවිතැන් කරමින් අහිංසකව ජීවත් වන පවුල් ගනනාවක් සිටින ගම්මානයකට පැමිණ ඔවුන්ව බිය ගන්නවා ඔවුන් සතු ඇති ධාන්‍ය, බෝග, හා අනෙක් සුළු හෝ වටිනාකම් ඇති දේ කොල්ලකෑමට උත්සහා ගන්නා ප්‍රයත්නයකිනි. ඇත්ත වශයෙන්ම ඔවුන් එදින කළේ සැලසුමකි. එහෙත් ඔවුනගේ නායකයා ගෙ අදහස වූයේ, ඔවුන් සම්පූර්ණ අස්වැන්න නෙළු පසු මංකොල්ලය සිදු කළහොත් එය වඩාත් වාසිදායක වනු ඇති බවය. එවිට ඒ සියලු ධාන්‍ය බෝග එකවරම ඔවුනට ගත හැකි වන බවක්ය. මෙම සැලසුම ගම්මානයේ එක් ගොවියෙකුට කන වැකුණු පසු ඔහු අනෙක් ගොවියන්ට ඒ බව කියා, ඔවුන් සියල්ල වහා දිව ගියේ, ඔවුන්ට නිතර අනුශාසනා දෙන ගම්මානයේ වැඩිමහල්ම පුද්ගලයා වූ 'ගිසාතු' වෙතය.
මෙම ප්‍රශ්නයට තිබෙන එකම විසඳුම,ලෙස ගිසාතුට පෙනුණේ මේ මංකොල්ලකරුවන් සමඟ සටන් කරම ඔවුන්ව පරාජය කළ යුතු බවය. එහෙත් එය මේ අහිංසකව දිවි ගෙවන දුප්පත් ගොවියන්ට කළ නොහැකි බවද ඔහු දැන සිටියේය. හේතුව මෙම මංකොල්ලකරුවන් වෘත්තිමය එමෙන්ම භයානක, හොඳ හැටි අවි ආයුධ පුහුණු වූ කණ්ඩායමක් වීමය. ඔවුන්ව මෙල්ල කිරීමට නම් ඔවුනටත් වඩා පුහුණු, පුරුදු සටන්කරුවන් යෙදවිය යුතුය. ඒ වෙනුවට ඇති එකම විකල්පය ලෙස ඔහු, ඔවුනට කීවේ , නගරයට ගොස් 'සමුරායිවරුන්' කීප දෙනෙක්ව ගෙන ඔවුන්ගේ සේවය කුලියට ගත යුතු බවකි.
එම තීරණය නිවැරදි වුවද ගොවියන්ගේ මුහුණු මැලවී ගියේ සමුරායි වරුන්ට ගෙවීමට තරම් මුදලක් මේ එක ගොවියෙක් ළඟ හෝ ඉතුරු වී නැති හෙයිනි. එවිට ගිසාතු ඔවුනට කීවේ අතේ මුදල් නොමැති නම්, ඔවුන් අස්වනු නෙළා ලබා ගන්නා ධාන්‍ය බෝග වලින් කොටසක් දීමට පොරොන්දු වී ඔවුනගේ සේවය ලබා ගත යුතු බවය.
එය උත්සහා කර බැලීමට ගමේ ගොවින් කිහිප දෙනෙක් නගරයට ගොස් දින කීපයක් සිටියේ නගරයේ එහා මෙහා උජාරුවෙන් , ගාම්භීර ලෙස ඇවිදින සමුරායි කෙනෙක්ව සොයා ගැන්මටය. එය හිතූ තරම් පහසු නොවුණද, දින ගණනාවක්ම 'ටැග්' ගැහීමෙන් පසුව අවසානයේදී ඔවුන් ට 'කම්බි' නම් වූ සමුරායිවරයාව මුණ ගැසුණි.
ඔවුන් 'කම්බි' ට තම දුක් ගැනවිල්ල කීවේ හඬා වැලපෙමිනි. ඔහුගේ ගාම්භීර වූ හිත මේ අව්‍යාජ දුප්පත් ගොවියන් වෙනුවෙන් උණු වුණි. ඔහු කීවේ එසේ දක්ෂ සමුරායිවරුන් එකතු කර ගැන්ම එතරම් පහසු නොවන බවකි. එහෙත් ඔහු එය කෙසේ හෝ කර දෙන බවක් කී අතර, එසේ කර දෙන බවක් පොරොන්දු වූයේ නැත. නමුත් මොවුන් ප්‍රබල ගැටලුවකට මුහුණ පා තිබූ නිසාත්, කිසිවෙක් මෙම අවස්ථාවේදී ඔවුනට උදව් නොකළහොත්, මේ අසරණ ගොවි ගම්මානයේ වැසියන් මංකොල්ලකරුවන් විසින් ඔවුනගේ යටතට ගෙන, වධ හිංසා දී හෝ නැතහොත් මරා දමා ගම්මානය අත්පත් කර ගැන්මටද හැකි වෙනු ඇත. එහෙයින් යුතුකමක්සේ සලකා ඔහු මෙම කාර්යට අත ගැසීය.
ශිෂිරොජි, ගොරෝබි, හෙයිආඑ, කියුසෝ, කට්සුශිරෝ, හා නික්සුචියෝ යන හය දෙදෙනා විවිධ සටන් කලාවන් පුහුණු වූ අතී දක්ෂ සමුරායිවරුන් විය. බොහෝ අවස්ථාවල ඔවුනොවුන් කම්බි සමඟ එක්වී නොයෙකුත් ආරවුල්, කෝලහාල, මැඩ පැවැත්වීමට ගොස් තිබුනි. 'කම්බි' ඔවුන් සියල්ලෝම හමුවී මෙම සිදුවීම ඔවුනට දැන්විය. නොයෙකුත් තර්ක විතර්ක වලින් පසු මේ 6 දෙනා කම්බි සමඟ එක්වී, මෙම කර්තව්‍යය ට එකතු වූහ.
සමුරායි වරුන් 7 දෙනා ගොවින් සමඟ ඔවුනගේ ගමට ගියේ මෙහි මූලික සැලසුම් කළ යුතු අන්දම ගැන සමික්ෂණ කිරීමටය. ඔවුන් ගමට ගියද, එහී කිසිදු ගම්වාසියෙක් තම නිවෙස් වලින් එළියට ආවේ නැත. සමුරායි වරුන්ව කැටුව ආ එම ගමේ ගොවියන් ඔවුනට කෑ ගසා කොතෙක් තේරුම් කර දුන්නද, ඔවුන් එක්වරම එළියට නොආවේ ඔවුන්ව මරා දමා වී යයි බියෙනි. එහෙත් පසුව එකා දෙන්නා නිවෙස් වලින් එළියට එන්නට විය.
දින කීපයක් ගිය පසු ගම්මුන්, හා සමුරායි වරුන් අතර සබඳතා ටිකෙන් ටික තර විය. එපමණක් නොව, සමුරායි වරුන් අතර සිටි තරුණ කඩවසම් 'කතුශීරෝ' එම ගම්මානයේ ගොවියෙකුගේ රූමත් දියණියක් වූ ශිකෝ සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගතී. එයට ඇයගේ පියා කිසිසේත්ම කැමති වූයේ නැත. ඔහු කීවෙි, ඔවුනට සමුරායිවරුන් අවශ්‍ය වන්නේ ගමට කඩා පනින්නට එන මංකොල්ලකරුවන්ව මෙල්ල කරන්නට විනා තම ගමේ ගොවියන්ගේ දූ වරුන්ව සාහෙට දෙන්නට නොවේ කියාය.
එතැන් සිට නොයෙකුත් හැල හැප්පීම්, දුෂ්කරතා මැදින් සමුරායි වරුන් ගොවි ගම්මානයේ ගැහැනුන්, මිනිසුන් පමණක් නොව, ළමයින් පවා පුරුදු පුහුණු කළේ, මංකොල්ලකරුවන් ගම්මානය ට පැමිණි පසු ඔවුන්ට සටන් කාමිව මුහුණ දෙන අන්දමය.
සමුරායිවරු ගම්මානයට පැමිණි පසු මංකොල්ල කරුවන් ගම්මානයට පැමිණියද, ඔවුන් මුලින්ම ඔවුන් හා සටන් කරන්නට ගියේ නැත. ඔවුහු සැඟවී සිට මංකොල්ල කරුවන් ගමට පැමිණ කරන කියන දේ නිරික්ෂණය කළහ. ඉන් පසු සමුරායි වරුන් ඒ අනුව ඔවුනගේ සැලසුම නිර්මාණය කර, එයට මුහුණ දී එය ජය ගන්නා තෙක් කීප වතාවක්ම ඔවුහු සටන් කළහ. අවසානයේ ඔවුනට මංකොල්ලකරුවන්ව නැත්තටම නැති කිරීමට හැකි වූවද, ඒ අතරේ සමුරායිවරු කීප දෙනෙක්ද ජීවිතක්ෂයට පත්විය. ගමේ ගොවින්ගෙන්ද සැලකිය යුතු ප්‍රමාණයක් මෙම සටන් නිසා මිය ගියද, අවසානයේදි 'කම්බි' විසින් ගොවියන්ට දුන් පොරොන්දුව වූ ගම මංකොල්ලකරුවන්ගෙන් බේරා දීම සාර්ථක ව ඉටු කළේය.
ඉතිරි වූ සමුරායි කීප දෙනා තම කාර්ය නිම කර යලි නගරයට යන්නට ලෑස්ති වූවද, තරුණ සමුරායිවරයා වූ 'කතුශිරෝ' පමණක් ගමෙි නවතින්නට තීරණය කළේ , ශිකෝව විවාහ කර ගෙන ජිවිත කාලයම එහී ගත කරන්නටය. එයට කිසිවකගෙන් බාධාවක් පැමිණුනේ නැත.
'සෙවන් සමුරායි' ලෝක සිනමාවට වෙනම සංස්කෘතියක් ගෙන ආවේය. කල්ලි ගැසී සටන් කරන්නට එන සංස්කෘතිය බිහිවූයේ 'සෙවන් සමුරායි' චිත්‍රපටයෙන් පසුවය.එය කොතෙක් ව්‍යාප්ත වූවාදැයි කිවහොත්, එම වර්ගයේ චිත්‍රපට ගණනාවක්ම ලෝකයේ විවිධ රටවල බිහිවූ අතර, ඒවා වැඩි හරියක් නිර්මාණය වූයේ ඇමරිකාවේය.
'ද මැග්නිෆිසන්ට් සෙවන්' ( එය දෙවරක් නිර්මාණය වුනි), 'යොජින්බෝ', ' ද ගන්ස් ඔෆ් නැවරෝන්, 'බ්ලයින්ඩ්මන්', 'අන් ෆොගිවන්', ' රෙඩ් සන්', 'සෙපුකු', 'වෙස්ට් වර්ල්ඩ්', 'සන්ජුරෝ', 'ද ෆයිව් මෑන් ආමි' ,' ද ඉනිවින්සිබල් සික්ස්', 'බැටල් බියෝන්ඩ් ද ස්ටාර්ස්', ' ද සෙවන් මැග්නිෆිසන්ට් ග්ලැඩියේටර්ස්', 'බග්ස් ලයිෆ්', ' ස්ටාර් වෝස්', ' රෆ් වන්', 'සෙවන් සෝව්ඩ්ස්', ' සේවිං ප්‍රයිවට් රයන්', ' ද ඩර්ටි ඩසන්', ' ද සැවේජ් සෙවන්', ' ද තර්ටීන්ත් වරියෝර්', 'ද එක්ස්පෑන්ඩබල්', 'ඇවෙන්ජර්ස් එන්ඩ් ගේම්' වැනි එදා සහ මෙදා චිත්‍රපට ගණනාවක් අභාසයට ගත්තේ 'සෙවන් සමුරායි' තේමාවය . නැති නම් එම රාමුවය. ඉන්දියාවේ 'ශෝලේ' නම් හින්දි චිත්‍රපටය 'සෙවන් සමුරායි' ආකෘතියකි. මනිරත්නම් ගේ 'තලපති' දමිළ චිත්‍රපටයද, එම රාමුවට අයත් වූ අතර, 'කොළඹ හාදයෝ', 'සිදාදියෙන් හයක්' වැනි ලංකාවේ නිපදවුණු චිත්‍රපට වලද 'සෙවන් සමුරායි' අකෘතිමය ලක්ෂණ වඩ වඩාත් පෙන්නුම් කළේය.
'සෙවන් සමුරායි' චිත්‍රපටයෙන් ජාත්‍යාන්තරය තුළ වඩාත් ජනප්‍රිය නළුවන් වූයේ කිකුචියෝ ලෙස රඟපෑ 'තොෂිරෝ මිෆුනේ' හා කම්බි ශිමාදා ලෙස රඟපෑ තකාශි ශිමුරා ය. එහෙත් අන් සමුරායි පස්දෙනා වූ සෙයිජි මියාගුචි, ඉසාවෝ කිමුරා, දයිසුකේ කටෝ, යොශියෝ ඉනාබා, තොශියෝ තක්හාරා , ජපාන සිනමාව තුළ ප්‍රසිද්ධව සිටියහ.
1954 වර්ෂයේ, ඉතාලියේ වෙනිස් චිත්‍රපට උලෙළේ රිදී සිංහයා සම්මානය අකිරා කුරොසාවා දිනා ගත්තේ 'සෙවන් සමුරායි' චිත්‍රපටය වෙනුවෙනි. එලෙසම 1957 දී ඇමරිකන් ඇකඩමි සම්මාන උලෙළෙදී හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම ඇඳුම් නිර්මාණය සඳහා නිර්දේශ වූ අතර, ෆින්ලන්තයේ 1959යේ ජුසී සම්මාන උලෙළේ හොඳම විදේශීය අධ්‍යක්ෂක වූයේ අකිරා කුරොසාවා ය, එම උලෙළේම හොඳම විදේශීය නළුවා වූයේ තකාශි ශිමුරාය. ඒ සම්මාන යුගලයම ලැබුණේ 'සෙවන් සමුරායි' චිත්‍රපටය වෙනුවෙනි.
ලොව වටා තවත් සම්මාන රාශියක්ම ලබා ගත් අකිරා කුරොසාවා ගේ 1954 දී නිර්මාණය කළ 'සෙවන් සමුරායි' ආකෘතිය ඉන් අවුරුදු 70 ක් පමණ පසු කර තිබුණද එය 2022 වසරේ නිර්මාණය වූ 'ඇවෙන්ජර් එන්ඩ් ගේම්' වැනි චිත්‍රපට සඳහාද උපයෝගි කර ගැන්මෙන් වැටහෙනුයේ එදා අකිරා කුරොසාවා මැවූ තේමාව මොන තරම් ප්‍රබලද කියාය.