ප්‍රාණ ඇපයට හසු වූ මංගල උත්සවය

Shotgun Wedding
ජනවාරි 26, 2023

විවාහය යනු ප්‍රේමණීයයන් දෙදෙනෙකුගේ එකතුව සංකේතවක් කරන්නා වූ ප්‍රීතිමත් අවස්ථාවකි. ජීවිතයේ අමතක නොවන දිනයන් ගෙන් එකකි. එසේම විවාහ මංගල උත්සවයක් සෑම යුවතියක තුළම තිබෙන සුන්දර සිහිනයකි. අලුත් නෑකම් සමඟ පවුල් දෙකක් එක් කෙරෙන විශේෂ උත්සවයකි.

ඩාර්සි සහ ටොම් ඔවුන්ගේ ආදර බැඳීම විවාහයක් දක්වා ගෙනවිත් අවසන්ය. පවුල් දෙක ඔවුන්ගේ විවාහ මංගල්‍යයට සූදානම්ව සිටිති. ඩාර්සි සහ ටොම් දෙදෙනා එකිනෙකා හට ආදරණීය නමුත් පවුල් දෙකම දැඩි මතධාරී වේ. ඩාර්සි - ටොම් යුවලට මුහුණ දීමට සිදු වන එකම අභියෝගය එය නොවේ. එනම් ඔවුන්ගේ අතිවිශේෂ මංගල උත්සවය තුවක්කුකරුවන් පිරිසකගේ ප්‍රාණ ඇපයට හසුවීමයි. ඩාර්සි සහ ටොම් තම ආදරණීයයන් බේරා ගැනීමට හැකි සෑම දෙයක්ම කළ යුතුව ඇත. නමුත් ඒ ඔවුන් එකිනෙකා මත ගැටුම් ඇති කර නොගන්නේ නම් පමණි. ජීවිතයත් මරණයත් අතර වූ මෙම අභියෝගය හමුවේදී ඔවුන් මුලින්ම ආදරය කළේ මන්දැයි නැවත සොයා ගනී.

ඩාර්සි සහ ටොම් සිය විවාහ මංගල්‍යයේදී ප්‍රාණ ඇපයට ගනු ලැබූ සිය ඥාතීන් බේරා ගැනීමේ මෙම කතා පුවත දැක ගත හැකි වන්නේ ජේසන් මූරේ අධ්‍යක්ෂණය කළ ‘ෂොට්ගන් වෙඩින්’ චිත්‍රපටයෙනි. ඇමසෝන් ස්ටුඩියෝස් විසින් බෙදාහරිනු ලබන ප්‍රේමණීය හාස්‍යමය චිත්‍රපටයක් වන එය ජනවාරි 27 වැනිදා ප්‍රයිම් වීඩියෝ ඔස්සේ නිකුත් කෙරේ. ‘ෂොට්ගන් වෙඩින්’ චිත්‍රපටයේ ජෙනිෆර් ලෝපේස්, ජොෂ් ඩුහමෙල්, සෝනියා බ්‍රගා, ජෙනිෆර් කූලිජ්, ලෙනී ක්‍රාවිට්ස් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.

තවද ‘ෂොට්ගන් වෙඩින්’ (Shotgun wedding)  යන්නට අරුතක් වේ. එය නම් විවාහයට පෙර අනපේක්ෂිත දරු උපතකට තුඩු දිය හැකි අපහසුතාවයන් වළක්වා ගැනීම සඳහා සංවිධානය කරන ලද විවාහ මංගල්‍යය යන්න වේ. එහිදී ගැබිණි තරුණියගේ පියා විවාහ මංගල්‍යය සහතික කිරීම සඳහා අකමැත්තෙන් සිටින අදාළ තරුණයාට තුවක්කුවකින් තර්ජනය කරන්නා වූ දර්ශනයක් මත පදනම්ව එය එනමින් හඳුන්වනු ලැබේ. එහිදී දරුවා මව්පියන් දෙදෙනා විසින්ම ඇති දැඩි කිරීම සහතික කෙරේ. එසේම එහි ප්‍රධාන අරමුණ වන්නේ මවගේ සමාජ ගෞරවය නැවත ස්ථාපිත කිරීමයි. කෙසේ වෙතත් ඇමරිකානු සමාජයේ පවුලේ හෝ සමාජීය වශයෙන් පීඩනයක් නොමැති විට පවා මනාලිය ගැබිණියක වී සිටින විට සිදු වන විවාහයක් ‘ෂොට්ගන් වෙඩින්’ ලෙස හැඳීන්වේ.

යතේජා ඥානරත්න

[email protected]