සිව් වසරක විවේකයෙන් පසු යළිත් එන කිං ඛාන්

ජනවාරි 26, 2023

බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන් මේ වන විට සිය රංගන දිවියේ දශක තුනක් ඉක්මවා අවසන්. මීට වසර 34 කට පෙර ශාරුක්‌ ඛාන් සිනමා ජීවිතය ආරම්භ කළේ දිවානා චිත්‍රපටයෙනි. බොලිවුඩ් සිනමාවේ සාර්ථක රංගන ශිල්පියෙකු බවට පත් වූ ඔහු මේ වන විට ව්‍යාපාරිකයෙකු බවටද පත් වී අවසන්. ශාරුක්ගේ රංගනයක් ප්‍රේක්ෂකයන් දුටුවේ 2018 වසරේ 'සීරෝ' චිත්‍රපටයෙනි. 'සීරෝ' මෙන්ම 2017 වසරේ දී ඔහු රඟපෑ 'ජබ් හැරී මෙට් සෙජල්' චිත්‍රපටයටත් ආදායම් වාර්තා අතරට පැමිණීමට හැකි වූයේ නැත. 'සීරෝ' චිත්‍රපටයෙන් පසු තවත් චිත්‍රපටයක් වෙනුවෙන් ගිවිසුම් අත්සන් නොකළ ඔහු පවසා සිටියේ මීළඟ පියවර දැඩි අවධානයෙන් තබන්නට සූදානම් බවයි.

සිව් වසරක විවේකයකින් අනතුරුව ශාරුක් දකින්න ලැබුණේ මෙතෙක් කාලයක් රිදී තිරයේ දුටුවාට වඩා තරමක් වෙනස් ස්වරූපයකිනි. පෙර සිටියාට වඩා ඔහු තරමක් තරබාරු වී තිබීම කාගේත් අවධානයට ලක් විය. එයට විශේෂ හේතුව වූයේ ඔහුගේ නවතම සිනමා නිර්මාණයයි. රහස් පරීක්ෂක, ක්‍රියාදාම-ත්‍රාසජනක චිත්‍රපටයක් වන එය නම් වූයේ පතාන් ලෙසිනි. බොලිවුඩ් පුවත් වාර්තා කර සිටියේ ඔහු ඒ වෙනුවෙන් සිරුර හැඩ ගස්වා ගැනීමට දැඩි ආහාර රටාවක් අනුගමනය කරන බවයි.

සිද්ධාර්ත් ආනන්ද් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද සහ ආදිත්‍ය චොප්රා විසින් නිෂ්පාදනය කරන ලද පතාන් චිත්‍රපටයේ ශාරුක් ඛාන් සමඟ දීපිකා පදුකෝන්, ජෝන් ඒබ්‍රහම්, ඩිම්පල් කපාඩියා, අශුතෝෂ් රානා, ගෞතම් රෝඩ්, ෂාජි චෞද්රි ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. සල්මන් ඛාන් අවිනාශ් සිං ලෙස ආරාධිත රංගනයකින් එක් වේ. පතාන් චිත්‍රපටය දෙමළ සහ තෙළිඟු භාෂාවෙන් හඬකැවූ අනුවාද සමඟින් ලබන ජනවාරි 25 වැනිදා නිකුත් කිරීමට නියමිතය.

පිටුවහල් කරන ලද රෝ ඔත්තුකරුවකු වන පතාන් ඉන්දියාවට දැවැන්ත ප්‍රහාර සැලසුම් කරන ත්‍රස්ත සංවිධානයක් වන අවුට්ෆිට් එක්ස් මැඬලීමේ නියැළි සිටී. මෙහි රෝ ඔත්තුකරුවකු වන පතාන්ගේ චරිතයට පණ පොවනු ලබන්නේ ශාරුක් ඛාන් විසිනි. අවුට්ෆිට් එක්ස් ත්‍රස්ත සංවිධානයේ නායක ජිම් ලෙස පණ පොවන්නේ ජෝන් ඒබ්‍රහම්ය. මෙම චිත්‍රපටය ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, ස්පාඤ්ඤය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, තුර්කිය, රුසියාව, ඉතාලිය සහ ප්‍රංශයේ ස්ථාන රැසක රූගත කර ඇත.

කෙසේ නමුත් ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල පතාන් චිත්‍රපටය තහනම් කිරීමේ සූදානමක් ඇති බවද වාර්තා වේ. එයට හේතුව චිත්‍රපටයේ එක් ගීතයක් අසභ්‍ය බව ප්‍රවර්ධනය කරන බවට දක්ෂිණාංශික හින්දු කණ්ඩායම් චෝදනා කිරීම හේතුවෙනි. "බෙෂාරම් රන්ග්" නම් වූ එම ගීතයේ දීපිකා පදුකෝන් කුංකුම පැහැති බිකිනියකින් සැරසී සිටින බැවින් කුංකුම වර්ණයට අගෞරව කරන බවටද ඔවුහු චෝදනා නඟති. තවද මධ්‍ය ප්‍රදේශ් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මෙම ගීතය පිළිකුල් සහගත ලෙස හැඳීන්වූ අතර ගීතයේ ඇඳුම් නිවැරදි නොකළහොත් චිත්‍රපටය තහනම් කිරීම ගැන තම රජය සලකා බලන බවට අනතුරු ඇඟවීය. ​​මුස්ලිම් සංවිධානයක් ද ගීතයට විරුද්ධත්වය පළ කර ඇත.

 

[email protected]