වර්ෂ 2023 ක්වූ November 30 වැනිදා Thursday
අරගල කරමින් සැබෑ කොටගත් කර්ක් ඩග්ලස්ගේ සිහිනය

'හෝවඩ් මෙල්වින් ෆාස්ට්' ප්‍රචලිත වූයේ ඇමරිකානු නවකථාකරුවෙකු හා රූපවාහිනී රචකයෙකු ලෙසටය. 1914 වසරේ නොවැම්බර් 11 වන දින ඇමරිකාවේ උපත ලද, හෝවඩ්ගේ, මුල්ම නවකථාව වූයේ 'ටූ වැලීස්' ය. එය ඔහු ලියා ප්‍රකාශයට පත් කළේ 1933 වසරෙදී ය. ඒ වන විට ඔහුට වයස අවුරුදු 18 ක් විය. එතැන් සිට ඔහු වසර 2000 වන තෙක් නවකථා පොත් 51 ක් ලියා ප්‍රකාශයට පත් කර තිබුණි. ඔහු ඉතාමත් ප්‍රිය කළේ ඇමරිකානු ඉතිහාස කථා ලිවීමටය. ඔහුගේ කෙටි හා නවකථා ඇසුරෙන් ඇමරිකානු චිත්‍රපට 8 ක් පමණ නිපදවා තිබුණි.
වසර 1951 දී, ඔහු මෙම ලිපියට පාත්‍ර වන 'ස්පාර්ටකස්' කථාව ලිවීය. එයට පාදක වූයේ ක්‍රිස්තු වර්ෂ 71 ට පෙර සිදුවූවා යැයි කියන වහල් කඳවුරක කථාව හා එකී වහලුන් රෝම රාජ්‍යය පාලනයට සෘජුව හා වක්‍රව අභියෝග වන අන්දමය.
මීට පෙර හෝවඩ් විසින් ලියූ 'රැකල්' නම් කෙටි කථාවක් 1948 දී චිත්‍රපටයකට නැංවී තිබුණි. චිත්‍රපටය නම් කර තිබුණේ 'රැකල් ඇන්ඩ් ද ස්ට්‍රෙන්ජර් ' නමිනි. එය හෝවඩ් ලියූ යම් කථාවක් චිත්‍රපටයකට නැංවූ ප්‍රථම අවස්ථාව විය. යළි ඔහු ලියූ කථාවක් චිත්‍රපටයකට නැඟුණේ 1960 වසරේදී ය. ඒ 'ස්පාර්ටකස්' නවකථාවය.
හෝවඩ් ගේ ඒ ප්‍රචලිත නවකථාව වූ 'ස්පාර්ටකස්' , චිත්‍රපටයකට නැංවීමට මුල්ම අදහස ඇතිවූයේ ඇමරිකානු නළු 'කර්ක් ඩග්ලස්' ටය. එයට අපූරු පසුබිම් කථාවක් තිබුණි. අධ්‍යක්ෂක විලියම් වේලර් විසින් කර්ක් ඩග්ලස්ව බලාපොරොත්තු සුන් කරන තත්වයකට පත් කිරීම නොඑසේ නම් නොසලකා හැරීම ,ඒ පසුබිම් කථාවේ අන්තර්ගතනය යි. විලියම් වේලර් හා කර්ක් ඩග්ලස් ගේ සම්බන්ධතාවය මුලින්ම ඇතිවුණේ විලියම් විසින් අධ්‍යක්ෂණය කළ 'ඩිටෙක්ටිව් ස්ටොරි' නම් චිත්රපටයේදීය. එහී ප්‍රධාන චරිතය රඟපෑවේ කර්ක් ඩග්ලස් ය. එහෙයින් ඔවුන් දෙදෙනා දැඩි මිතුරන් විය.
1959 වසරේ තරමේදී මෙට්‍රො ගෝල්ඩන් මේයර් සමාගම සෑම් සිම්බලිස්ට් සමඟ එක්වී ' බෙන්හර්' චිත්‍රපටය නිර්මාණය කිරීමට පටන් ගතී. ඔවුන් එය අධ්‍යක්ෂණය කිරීමට භාර කළේ විලියම් වේලර් ටය. එහී එන ප්‍රධානතම චරිතය වූ 'ජූඩා බෙන්හර්' ට, අධ්‍යක්ෂක විලියම් වේලර් තෝරා ගත්තේ 'කර්ක් ඩග්ලස්'ව ය.
කර්ක් ඩග්ලස් තමාට ලැබුණු මේ විශිෂ්ට එමෙන්ම භාර දූර චරිතයට ඉමහත් සේ කැප කරමින් ලක ලෑස්ති විය. 'බෙන්-හර්' චිත්‍රපටයේ ජුඩා බෙන්හර් චරිතයේ දක්ෂ නළුවෙකුට රඟපෑමට අවශ්‍ය අමුද්‍රව්‍ය, අඩුම, කුඩුම අනන්තවත් තිබුණි. එහී තුළ ජවය පිරී නළුවෙකුට තම හැකියාව පෙන්වීමට ඇති ඉඩ කඩ අනන්ත විය. ගිවිසුම් අත්සන් නොකළද කර්ක් ට, විලියම් වේලර්ගේ වචනය විශ්වාස විය. අන් අතකට වේලර් විසින් අධ්‍යක්ෂණය කළ ' ඩිටෙක්ටිව් ස්ටෝරි' චිත්‍රපටයේ කර්ක් ඩග්ලස් දක්ෂ රඟපෑමක නිරත වූ අතර, එය ප්‍රේක්ෂක, විචාරකයන්ගේ දැඩි ප්‍රශංසාවටද ලක්විය.
පෙරුම් පුරා එසේ ලක ලැස්තිවී සිටි කර්ක් ඩග්ලස්ට සිදුවුයේ නොසිතූ දෙයකි. 'බෙන්-හර්' චිත්‍රපටය රූ ගත කිරීම් පටන් ගන්නා විට අධ්‍යක්ෂක විලියම් වේලර් එම චරිතයට 'චාර්ල්ස්ටන් හෙස්ටන්' නළුවාව තෝරා ගෙන තිබුණි. වේලර් ,බෙන්-හර් චරිතයට කර්ක් ව තෝරා ගෙන තිබුණද, එහී එන චරිත කීපය වූ, රජ කුමාරයෙක්, වහලෙක් හා ප්‍රදර්ශන සටන් කරුවෙක් (ග්ලැඩියේටර්) සඳහා චාර්ල්ස්ටන් හෙස්ටන් වඩාත් සුදුසු යැයි පසුව විලියම් වේලර්ට වැටහෙන්නට ඇත. එහෙත් කර්ක් ඩග්ලස්ද එම චරිතයට හොඳටම ගැළපුණද, කුමක් හෝ එලියට නොආ හේතුවක් මත විලියම් වේලර් බෙන්-හර් චරිතයට චාර්ල්ස්ටන් හෙස්ටන් ව තෝරා ගෙන 'බෙන්-හර්' චිත්‍රපටයේ රූ ගත කිරීම් කරන්නට පටන් ගතී.
මෙය කර්ක් ඩග්ලස්ට දැඩි සිත් තැවුලකට තුඩු දුන් ප්‍රබල කාරණයක් විය. ඔහු ඉමහත් සේ බලාපොරොත්තු තබා සිටි 'බෙන්-හර්' චිත්‍රපටයේ එකී චරිතය නොලැබීම ඔහුට හිතෙන් ඉවත් කර ගැන්මට නොහැකි විය. 'ස්පාර්ටකස්' නිර්මාණය කිරීමේ මුල් අඩිතාලම වැටුණේ ඉන් පසුවය.
කර්ක් ඩග්ලස්ට, හෝවඩ් මෙල්වින් ලියූ 'ස්පාර්ටකස්' නවකථාව කියවන්නට ලැබුණේ මේ අතරෙදීය. එය කියවා යන විට ඔහුට දැනුණේ මෙය 'බෙන්හර්' කථාවට බෙහෙවින් සමාන බවය. බෙන්හර් රාජ කුමාරයකු වී සිටියද, පසුව වහලෙකු විය. ඔහු චැරියට් රේස් තරඟයට ඉදිරිපත් වන්නේද එසේ වහලෙක්ව සිටියදීය. 'ස්පාර්ටකස්' ද වහලෙක් විය. වහලෙක් ව සිටියදීමය ඔහු රෝම අධිරාජ්‍යය පාලකයන්ට අභියෝග කරනුයේ.
බෙන්හර් හා ස්පාටකර්ස් අතර තිබෙන බොහෝ සමාන කම් නිසා කර්ක් ඩග්ලස් මෙය චිත්‍රපටයට නංවන්නට සැරසුණා සේම තමාගේ බලාපොරොත්තුන් සුන් කෙරූ බෙන්හර් අධ්‍යක්ෂක විලියම් වේලර්ට දනවන්නටද, 'ස්පාර්ටකස්' චිත්‍රපටය නිෂ්පාදනය හරහා කර්ක් ඩග්ලස් උත්සහ ගති.
මේ හේතුන් නිසා කර්ක් ඩග්ලස් මුදල් ගෙවා හෝවඩ් ලියූ 'ස්පාර්ටකස්' නවකථාව චිත්‍රපටයකට නැංවීමේ අයිතිය ලබා ගතී. යුනිවර්සල් චිත්‍රපට සමාගම 'ස්පාර්ටකස්' නිෂ්පාදනයේදී කර්ක් ඩග්ලස් සමඟ එකතු වූ අතර, එලෙසම ලොව පුරා බෙදා හැරීමේ කර්තව්‍යය යුනිවර්සල් චිත්‍රපට සමාගම භාර ගති.
කර්ක් ඩග්ලස්ට ඔහුගේම චිත්‍රපට නිෂ්පාදන සමාගමක් තිබූ අතර එය 'බ්‍රයනා ප්‍රඩක්ෂන්' යැයි,
නම් කර තිබුණි. එය බැලු බැල්මට පවුලේ නිෂ්පාදන සමාගමක් විය. එම සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටියේ කර්ක් ගේ බිරිඳ, ඈන් ඩග්ලස්, මෙන්ම ඔහුගේ දරුවන් තිදෙනා වූ මයිකල් ඩග්ලස්, ජොඑල් ඩග්ලස් හා පීටර් ඩග්ලස්ය. එහෙත් එහී පිටස්තර ව්‍යාපාරිකයන් වූ ජෙරී බ්රෙස්ලර්, හා මාටිනි මෙල්චර් ද එක්වී සිටි අතර, සුප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදක යෙකු වූ එඩ්වඩ් ලුවිස්ද සිටියේය.
1916 දෙසැම්බර් 9 වන දින ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ඉපදුණු කර්ක් ඩග්ලස් තම සිනමා රංගන ජීවිතය ආරම්භ කළේ 1946 දීය. ඒ ' ද ස්ට්‍රෙන්ජර් ලව් ඔෆ් මාර්තා අයිවර්ස්' චිත්‍රපටයෙනි. එතැන් සිට 1960 වර්ෂයේ දී 'ස්පාර්ටකස්' චිත්‍රපටය නිර්මාණය වන තෙක් ඔහු චිත්‍රපට 32 කක් පමණ රඟපා තිබුණි. එකී චිත්‍රපට 32 තුළ ඔහු තෙවරක්ම, ඔස්කාර් ඇකඩමි සම්මාන උළෙලන් හී හොඳම නළුවාට නිර්දේශ වී තිබුණි. 1949 වර්ෂයේ 'චැම්පියන්' චිත්‍රපටයේදී, 1952 දී 'ද බෑඩ් ඇන්ඩ් ද බියුටිෆුල්' චිත්‍රපටයේද, 1956 දී ' ලස්ට් ඔෆ් ලයිෆ්' චිත්‍රපටයේ ද, එසේ රංගනය වෙනුවෙන් ඔහු නිර්දේශ වූයේ.
එලෙසම ' ස්පාර්ටකස්' නිෂ්පාදනය වන තෙක් ඔහු, ඔහුගේ බ්‍රයනා ෆිල්ම් ප්‍රඩක්ෂන් සමාගම හරහා චිත්‍රපට 10 ක් නිෂ්පාදනය කර තිබුණි. 'ද ඉන්ඩියන් ෆයිටර්', 'ස්ප්‍රිං රියූනියන්', ' 'ලිසී', 'ද කෙයාලස් ඉයර්ස්', 'රයිඩ් අවුට් ෆො රිවේන්ජ්', 'පාත්ස් ඔෆ් ග්ලෝරි', 'ද වයිකිංග්ස්', 'ටේල්ස් ඔෆ් ද වයිකිංග්ස්', 'ද ඩෙවිල්ස් ඩිසිප්ල්', 'ද ලාස්ට් ට්‍රේන් ෆ්‍රොම් ගන් හිල්' එම චිත්‍රපට 10 යය . 'ස්පාර්ටකස්' නිපදවීමට එළැඹුණේ ඉන් පසුවය. කර්ක් ඩග්ලස් 2008 වන තෙක් රඟපෑ අතර, ඒ වන විට චිත්‍රපට හා ටෙලි චිත්‍රපට මාලා 80 කට අධික ප්‍රමාණයක් ඔහු රඟපෑවද, ඔස්කාර් ඇකඩමි සම්මාන ලැබීමට තෙවරක් නිර්දේශිත වූවද, ඔහුට ඔස්කාර් ඇකඩමි සම්මානයක් ලැබුණේ නැත.
කර්ක් ඩග්ලස් 'ස්පාර්ටකස්' නිෂ්පාදනය කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 12 ක් ඇස්තිමේන්තු කළේය. ඔහුගේ බ්‍රයනා ප්‍රඩක්ෂන් චිත්‍රපට සමාගමේ සිටි එඩ්වඩ් ලුවිස් මෙහී ප්‍රධාන නිෂ්පාදකයා ලෙස කටයුතු කළේය. කර්ක් ඩග්ලස් විධායක නිශ්පාදකයා විය.
'ස්පාටකර්ස්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට ඔවුන් තෝරා ගත්තේ එවකට ලොව ජනප්‍රියම,දැවැන්ත, එමෙන්ම විශිෂ්ඨ චිත්‍රපට වූ 'ඔලිවර් ටුවිස්ට්', 'ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි', 'ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්' 'හොබ්සෝස් චොයිස්', වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ලොව විශිෂ්ටතම අධ්යක්ෂ 'ඩේවිඩ් ලීන්' වය.
මේ අතර හෝවඩ් ලියූ පොතෙන්ම 'ස්පාර්ටකස්' චිත්‍රපටයක් කරන්නට සුප්‍රසිද්ධ නළු 'යූල් බ්රයිනර්' ද උත්සහා කළේය. ඔහු ' යුනයිටඩ් ආර්ට්ස්' සිනමා සමාගම සමඟ මෙම කර්තව්‍යය ට අත ගැසූ අතර එහී 'ස්පාර්ටකස්' ලෙස රඟපෑමට යූල් බ්රයිනර් ලක ලෑස්තිවිය. අන්තිමයට 'ස්පාර්ටකස්',රේස් එකක් විය. රේස් එක වූයේ 'යුනිවර්සල් චිත්‍රපට සමාගම' හා 'යුනයිටඩ් ආර්ට්ස් චිත්‍රපට සමාගම අතරය. එලෙසම සීතල තරඟයක් කර්ක් ඩග්ලස් හා යූල් බ්රයිනර් අතරද තිබුණි.
කර්ක් ඩග්ලස් ස්පාර්ටකස් තිර නාටකය ලිවීමට භාර කළේ 'ඩැල්ටන් ටෘම්බෝස්' ටය. ඩැල්ටන් සම්මානනීය තිරනාටක රචකයෙක් වූ අතර, 'රෝමන් හොලිඩේ', 'එක්ස්සෝඩස්', ' තර්ටි සෙකන්ඩ් ඕවර් ටෝක්යෝ' , වැනි විශිෂ්ට චිත්‍රපට වල තිර නාටක ලියා තිබුණි. ඔහු 'ස්පාර්ටකස්' තිර නාටකය සති දෙකක් ඇතුළත ලියා නිෂ්පාදන සමාගමට භාර දුන් හෙයින් යුනිවර්සල් චිත්‍රපට සමාගම හා යුනයිටඩ් ආර්ට්ස් චිත්‍රපට සමාගම අතර තිබූ රේස් තරඟයෙන් යුනිවර්සල් චිත්‍රපට සමාගම ජයග්‍රහණය කළ අතර, කර්ක් ඩග්ලස්ට, ස්පාර්ටකස් චිත්‍රපටය ආරම්භ කිරීමට හැකි විය. යූල් බ්රයිනර් තම අදහස සිතෙන් අත්හැර දැමීය.
ඒ වන තෙක් රෝම රාජ්‍යය පාලන සම්බන්ධව චිත්‍රපටයක් ඩේවිඩ් ලීන්ගේ අතින් සිදු නොවූ අතර, ඔහුගේ සිනමා ශෛලය එයට ඉඳුරාම පටහැනි විය.'ස්පාර්ටකස්' වැනි චිත්‍රපටයක් ඔහු ට ගැළපුණේද නැත. පසු කලෙක ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට වූ 'ඩොක්ටර් ශිවාගෝ', ' ලෝරන්ස් ඔෆ් ඇරේබියා' 'රයන්ස් ඩෝටර්' වැනි චිත්‍රපට දෙස බලන විටත් ඔහුට තිබුණේ ඔහුටම ආවේණික වූ සිනමා භාෂාවකි. ' ස්පාර්ටකස් ' අධ්‍යක්ෂණය කිරීම ඔහු උවමනා කමින් අත් හැරියාද, නොඑසේ නම් ඔහු ඒ වන විටත් විශිෂ්ට චිත්‍රපට කීපයකටම අත ගසා තිබූ හෙයින් අත්හැරියාද යන්න, හරි හැටි අනාවරණය නොවූවද, අවසානයේ සිදුවූයේ ඩේවිඩ් ලීන් ' ස්පාර්ටකස්' චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් ඉවත් වීමය
ඩේවිඩ් ලීන් ගෙන් ගිලිහුණු 'ස්පාර්ටකස්' අධ්‍යක්ෂණය ඉන්පසු භාර වූයේ තවත් ඇමරිකානු අධ්‍යක්ෂක වරයෙකු වූ 'ඇන්තනි මාන්' ටය.
ඇන්තනි මාන්ද පළපුරුදු චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වූ අතර 'ස්පාර්ටකස්' චිත්‍රපටයේ අධ්‍යක්ෂණය භාර ගන්නා විටත් ඔහු චිත්‍රපට 34 ක් පමණ අධ්‍යක්ෂණය කර තිබුණි.
එහෙත් එයද ඵල රහිත විය පළමු සතියේ ඇන්තනි මාන් විසින් අධ්‍යක්ෂණය කළ රූප රාමු ගැන කර්ක් ඩග්ලස් ඇතුළු නිෂ්පාදන කණ්ඩායම කිසිසේත් සෑහීමකට පත් වූයේ නැත. එහෙයින් ඔවුන්, ඇන්තනි මාන්ව මෙම 'ස්පාර්ටකස්' ව්‍යාපෘතියෙන් අයින් කර දැමීය.
ඩේවිඩ් ලීන් ගෙන් ඇන්තනී මාන්ට ආ 'ස්පාර්ටකස්' චිත්‍රපටය ඉන්පසු ගියේ 'ස්ටැන්ලි කුබ්රික්' අතටය. ස්ටැන්ලි කුබ්රික් ඒ වන විට 30 හැවිරිදි වියේ පසුවූ තරුණයෙක් වූ අතර ඔහුගේ පළමු හොලිවුඩ් අධ්‍යක්ෂණය වූයේ 'ෆියර් ඇන්ඩ් ඩිසායර්' චිත්‍රපටය ය. එය ඔහු අධ්‍යක්ෂණය කළේ 1951 දී ය. 1955 දී ඔහු 'කිලර්ස් කිස්' යනුවෙන් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ අතර, 1956 දී 'ද කිලිං' යන චිත්‍රපටය යුනයිටඩ් ආර්ට්ස් චිත්‍රපට සමාගමට අධ්‍යක්ෂණය කළේය. ඔහු කර්ක් ඩග්ලස් සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කර ගත්තේ 1957 වසරේ නිර්මාණය කළ යුද චිත්‍රපටයක් වූ ' ද පැත්ස් ඔෆ් ග්ලෝරි' අධ්‍යක්ෂණය කරන කලදීය. එකී චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ කර්ක් ඩග්ලස් ය.
ඇන්තනී මාන් ගෙන් ගිලිහුණු 'ස්පාර්ටකස්' චිත්‍රපටය, කර්ක් ඩග්ලස් විසින් ස්ටැන්ලි කුබ්රික්ට භාර කළේ ඇතැම් විට ඔහු 'ද ෂැත්ස් ඔෆ් ග්ලෝරි' චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන විට දුටු දක්ෂකම් මතක් වීමෙන් විය හැක.
කර්ක් ඩග්ලස් ට අමතරව තවත් ජනප්‍රිය, එමෙන්ම විශිෂ්ට නළුවන්ව රඟපෑමට එකතු කර ගත යුතු බවක් යුනිවර්සල් සමාගම කර්ක්ට දැන්වූ අතර, චිත්‍රපටය බෙදා හැරීමේ කාර්යයට ඔවුන් අතගහන්නේ එසේ වුවහොත් කියා අතුරු නියෝගයක් දැමීය.
ලෝරන්ස් ඔලිවර්, ටෝනි කර්ටිස්, පීටර් උස්ටිනෝව්, වැනි විශිෂ්ට, එමෙන්ම ජනප්‍රිය නළුවන් රඟපෑමට කර්ක් ඩග්ලස් විසින් එකතු කර ගත්තේ චිත්‍රපටයේ දැවැන්ත බව පෙන්වීමටද නොඒසේ නම් යුනිවර්සල් චිත්‍රපට සමාගම පැනවු අතුරු නියෝගය නිසාමදැයි, දන්නේ කර්ක් ඩග්ලස්ම පමණි. ඒ කෙසේ වෙතත් එකී නළුවන් දුටු විට යුනිවර්සල් චිත්‍රපට සමාගම චිත්‍රපටය බෙදාහැරීමේ කාර්යයට සැකයකින් තොරව අත ගැසීය.
'ස්පාර්ටකස්' කථාන්තරය ආරම්භ වන්නේ ක්‍රිස්තු වර්ෂය ට සිය වසටත් පෙර සිටය. එකල රෝම අධිරාජ්‍යය ගොඩ නැගුණේ වහල් සේවය තුළිනි. බොහෝ විට යුද සිරකරුවන්, සිවිල් සිර කරුවන් මෙන්ම හෙබෘ ජාතිකයන් මෙම වහල් සේවයට යොදා ගනී. මෙය වෙනම සංස්කෘතිය කි. රාජකීය පැලැන්තියේ සැප සතුට වෙනුවෙන් වහල් පැලැන්තිය තම ජීවිත පරිත්‍යාගයෙන් හෝ සේවය කළ යුතු විය. රෝම රාජ්‍ය, මාළිගාවල්, ගොඩනැගිලි, නගර, මේ සියල්ලම නිම කළ යුත්තේ වහලුන්ගේ දෑතේ වීරියෙන්ය.
ස්පාර්ටකස් ද වහලෙකි. එලෙසම ස්පාර්ටකස් යනු කිසිවකට පාලනය නොකළ හැකි වහලෙකි. වහල් නායකයෙකි. ඔහු වහලෙකු බවට පත්වී තිබුණේ සිවිල් සිරකරුවෙකු වී සිටින විටය. ඔහු රෝම සොල්දාදුවන් සමඟ පමණක් නොව රෝම පාලකයන් සමඟ ද වහල් කඳවුරේ සිට ගැටුම් ඇති කර ගත්තෙකි. ඔහුට වහල් කඳවුර තුළ මෙන්ම රෝම රාජ්‍ය පාලකයන් අතරේ කිසියම් සැලකිල්ලට ලක්වී තිබුණේ ඔහු ප්‍රදර්ශන සටන් කරුවෙකු එනම් 'ග්ලැඩියේටර්' කෙනෙකු නිසාය.
එන්න එන්නම ස්පාර්ටකස් ව පාලනය කිරීමට නොහැකි නිසා අවසානයේදී රෝම පාලකයන් විසින් ඔහුට මරණය නියත කළ අතර, ඔහුව මැරීමට නියම කළේ නිරාහාරව තබමිනි.
රෝම ව්‍යාපාරිකයකු වූ 'ලෙන්කුලස් බැටියට්ස්' එකල පිළිගත් පුද්ගලයෙක් විය. ඔහු ස්පාර්ටකස් ගේ ජවය,ශක්තිය මෙන්ම සටන් හැකියාවද හඳුනා ගත් නිසා ඔහුව මරණීය දණ්ඩනයෙන් බේරා ගෙන තම ප්‍රදර්ශන සටන් පාසැලේ
(ග්ලැඩියේටර් පාසැලේ), සටන් පුහුණුකරු ලෙස පත්කෙරීය. එලෙස පත්කෙරුවද, ස්පාර්ටකස් සිටියේ වහල් කඳවුෙර්ය. එහෙත් සුවිශේෂිත වරප්‍රසාද සහිත සිරකරුවෙකු ලෙසටය.
ස්පාර්ටකස් ට 'වර්නියා' නම් රූමත් තරුණිය මුණ ගැසුනේ ඔය අතරේදී ය. වර්නියා ස්පාර්ටකස් ව මුණ ගැසෙන්නේ ලිංගීක සේවනයට ස්පාර්ටකස් ගේ කුටියට එන තරුණියෙක් ලෙසටය. එකල සුවිශේෂිත වහල් සිරකරුවෙක් මෙන්ම ග්ලැඩියේටර්වරයන්ගේ කුටියට ඔවුනට විනෝද වීමට මෙසේ රූමත් තරුණියන්ව පාලකයන් විසින් යවනු ඇත. 'වර්නියාද' එසේ සිරකරුවන් සනසන්නට රෝම පාලකයන් විසින් පත් කර ඇති තරුණියක් විය. ඔවුනට අයිති සේවය එය විය. රෝම පාලකයන්ට ඔවුන් ඒවා කැමැත්තෙන් ද, නැත්නම් නොකැමැත්තෙන් කරනවාද යන්න ප්‍රශ්නයක් නැත. හේතුව එකී සේවයට ඔවුන්ට වැටුපක් ගෙවන නිසාය.
එදින ස්පාර්ටකස් ගේ කුටියට පැමිණියේ වර්නියාය. ඇයව දුටු විටම ඇය ලිංගීක සේවනයේ යෙදීමට සුදුසු තරුණියෙක් නොවන බව ස්පාර්ටකස් ට වැටහුණි. එලෙසම දුටු පමණින්ම ඔහුට ඇය ගැන ළෙන්ගතු කමක්, ඇල්මක් මෙන්ම ආදරයක් හට ගතී. මේ හේතුවෙන් ඔහු ඇය සමඟ විනෝද වන්නට ගියේ නැත. ඒ රැය ඔවුන් දෙදෙනා ගත කළේ ඔවුන් දෙදෙනා හරි හැටි ආධ්‍යාත්මිකව හදුනා ගැනීමටත්, ඔවුනොවුන්ට ආදරය කිරීමේ ආරම්භයටත් ඉඩ දෙමිනි.
ලෙන්කුලස් බැටියාටස් ගේ 'ග්ලැඩියේටර්' පාසැලට ' මාකස් ලිසිනියස් ක්රසස්' පැමිණියේ මේ අතරෙදීය. ක්රසස්, රෝමයේ ඉතාමත් ධනපති ව්‍යාපාරකයකු ය. එමෙන්ම ඔහු රෝම සෙනෙටර්වරයකු වූ අතර ,ඔහු ප්‍රචලිත වී සිටියේ රෝම රාජ්‍ය පාලනයේ තවත් ඒකාධිපතිවරයෙක් ලෙසටය.
ක්රසස්, වර්නියාව දුටුවේද, මේ ආ ගමනේදීය. ඔහුට, ඇයව උවමනා වූ අතර, ඇයව රෝමයේ ඔහුගේ මාලිගාවට හැරලවන්නට ඔහු බැටියාටස් ට උපදෙස් දුන් අතර, බැටියාටස් ඒ අනුව වර්නියාව රෝමයට පිටත් කර හැරියේය.
එලෙසම ක්රසස් ට හොඳම වහල් ග්ලැඩියේටර් සමඟ තමාගේ ප්‍රියතම අප්‍රිකානු සටන්කරු වූ 'ඩාබ්රා' හා සටන් කිරීමට අවශ්‍ය විය. ග්ලැඩියේටර් පාසැලේ කවුරු හෝ සටන් කෙරුව ද, 'ඩාබ්රා' ඔවුන්ව පරදවන බව ක්රසස් විශ්වාස කළේය.
'ඩාබ්රා' සමඟ ග්ලැඩියේටර් සටනට එළඹුනේ 'ස්පාර්ටකස් ය.' එකී සටනේදී ක්රසස් බලාපොරොත්තු නොවූ අන්දමට ස්පාර්ටකස් විසින් ග්ලැඩියේටර් වළල්ල තුළදී 'ඩාබ්රා ව මරා දැමීය. ක්රසස් විසින් වර්නියාව රෝමයේ ඔහුගේ මාලිගයට යැවූ බව දැනගත් ස්පාර්ටකස් එතැන කළබගෑනියක් ඇති කර ගනිමින් ක්රසස් සමඟ ග්ලැඩියේටර් තරඟ බලන්නට පැමිණි ඔහුගේ හිත මිත්‍ර 'මාසෙල්ලාස්' ව මරා දැමීය.
ස්පාර්ටකස් ග්ලැඩියේටර් පාසැලේ අනෙක් වහලුන් සමඟ කුමන්ත්‍රණය කර තම ස්වාමියා වූ ලෙන්කුලස් බැටියාටස් ගෙන් මිදී ඉතාලියේ කඳුකර ප්‍රදේශයකට පලා ගියේ, තවත් වහලුන් 70 ක් වැනි සංඛ්‍යාවක් ද රැගෙනය. 70 ක් යනු සංඛ්‍යාත්මකව සුළු පිරිසක් වූවද, ඔවුන් යන විට ග්ලැඩියේටර් පාසැලේ තිබු අවි ආයුධ හා යුධ ආවරණ සහිත රථ කිහිපයක්ද රැගෙන ගියහ. එසේ පැන ගියේ එතැන සිටි රෝම සොල්දාදුවන් සමඟ සටන් කර ඔවුන්වත් මරා දමාය.
ස්පාර්ටකස් මේ වහල් සිරකරුවන් රැගෙන ගියේ මෙයටත් වඩා සන්නද්ධ වී රෝම පාලකයන්ට අභියෝග කර, සටන් කර මිනිසුන්ව වහල් භාවයෙන් මුදවීමටය. ස්පාර්ටකස් අරමුණ පිරිසිදු වූවද, රෝම හමුදාව හා හැප්පීම ලේසී නොවන බව ස්පාර්ටකස් දැන ගෙන සිටියේය. ඔවුන් සමඟ සටන් කර ජය ගන්නට නම් ඔවුන්ගේ අශ්ව, දුනු හා පා බල හමුදා සංඛ්‍යාවන්ට වඩා තමාගේ යුද හමුදා සංඛ්‍යාව වැඩි විය යුතු අතර, අවි ආයුධ හා යුද වාහන ද, වැඩි විය යුතු විය. එහෙයින් ස්පාර්ටකස් ඇතුළු කණ්ඩායම කඳුකරයේ සැඟවී සිට මංකොල්ල කමින් මුදල්, අවි ආයුධ, අශ්ව කරත්ත එකතු කර ගති. එලෙසම සෑම වහල් කඳවුරකටම හොර රහසේ ගොස් එහී සිටි වහලුන්ව මුදා හැර ඔවුනගේ කණ්ඩායම ට එකතු කර ගතී. ඒ අයුරින් ස්පාටකර්ස් ට දැවැන්ත අවි ආයුධ ප්‍රමාණයක් එකතු කර ගැන්මට හැකිවූ අතර, තම පිරිවර 70 සිට 7000 දක්වා වැඩි කර ගත හැකි විය. ඔවුන් සියල්ලම එක්ව ස්පාර්ටකස් ව තම නායකයා බවට පත් කර ගති.
ඇන්ටෝනිනස් සිටියේද ස්පාර්ටකස් සමඟ ග්ලැඩියේටර් පාසැලේය. ඔහුද මනා කඩවසම් පෙනුමෙන් යුත් ශක්තිමත් ග්ලැඩියේටර් සටන් සිසුවෙක් විය. ක්රසස්, පාසැලට පැමිණි පසු ඔහු ඇන්ටෝනිනස් තමා විශාල නාන බේසමේ ස්නානය කරන විට තම සිරුර සම්බාහනය කිරීමට යොදා ගත් අතර, තමා හා ලිංගීක ක්රියාවන්ටද යොමු කරවීය. එහෙත් ඇන්ටෝනිනස් ඉඩක් ලත් සැණෙන් එතැනින් පැන ගොස් ස්පාර්ටකස් ගේ කණ්ඩායමට එක්විය. මෙි අතර රෝමයේ ක්රසස්ගෙ නිවසේ සිටි ස්පාර්ටකස් ගේ පෙම්වතිය වූ වර්නියාද, එතැනින් පැන ගොස් ස්පාර්ටකස් සමඟ එක්විය.
ඔවුන් අවුරුද්දක් පමණ ඉතාලියේ ගම්මානවල හා කඳුකරයේ කඳවුරු ගසමින් තම යුද කටයුතු සවිමත් කළ අතර ස්පාර්ටකස් එයට නායකත්වය දරමින් අභීතව තම කණ්ඩායම තව තවත් ශක්තිමත් කළේය. ඒ අතරේදී ස්පාටකර්ස් වර්නියාව තම බිරිඳ කර ගති.
රෝම හමුදාව ට එරෙහිව සටන් කිරීමට කාලය පැමිණීය. ඒ වන විට ස්පාර්ටකස් ගේ බල ඇණිය සන්නද්ධ ව සවිමත්ව සිටියහ. රෝමයෙන් පමණක් නොව මුළු ලෝකයෙන්ම වහල් බව තුරන් කිරීමය ඔවුනගේ අරමුණ වී තිබුණේ. විශේෂයෙන් ම වහල් සේවය, මිනිස් ජවාරම තදින්ම පැවැතුනු රෝම අධිරාජ්‍යයෙන් මෙය මුළුමනින්ම උපුටා දැමීම ස්පාටකර්ස් ඇතුළු බල ඇනියේ ඒකායන පැතුම විය. ඔවුන් රෝම සෙනට් සභීක, ඒකාධිපතියා වූ ක්රසස්ට යුද්ධයට එන ලෙස ඇරයුම් කළහ.
ස්පාර්ටකස් කිසිවිටෙකත් රෝම යුද හමුදාව සුළු කොට තැකුවේ නැත. එහෙත් ස්පාර්ටකස් සිතනවාට වඩා රෝම හමුදාව මෙන්ම පාලනය දැවැන්තව සවිමත් වී සිටියහ. මුළු රෝම හමුදාවම පාලනය තිබුණේ එවකට තරුණ ජවයෙන් ඔප මට්ටම් වී සිටි ජූලියස් සීසර් යටතේය. ක්රසස් හා ජූලියස් සීසර් එක මිටේ සිටිනවා යනු මුළු ලෝකයම ඔවුන් අතේ මෙන් විය. ස්පාර්ටකස් එතරම් දුරට සිතුවේ නැත. ක්රසස් ගේ දුර්වලතා අප්‍රමාණව තිබුණද, ජුලියස් සීසර් ට ඒවා යටපත් කර දැමීමට හැකියාව තිබුණි. ක්රසස් අධි රාගාධීකයෙක් විය. ඔහුගේ රාගාධීකත්වයට සීමාවක් නොවීය. ගැහැනියක් සමඟද, පිරිමියෙක් සමඟද කියා ඔහුට වැඩි වෙනසක් තිබුනේ නැත. වර්නියා ව දුටු විට ඇයව අයිති කර ගැන්මටත්, ඇන්ටෝනිනස් දුටු විට ඔහුගෙ පහස ලබන්නටත් ක්රසස් පෙලඹුනේ ඒ නිසාය. ඔහුගේ මේ දුර්වල තා ජුලියස් සීසර් හඳුනාගෙන තිබූ නිසා ස්පාර්ටකස් ගේ යුධමය අභියෝගයට ක්රසස් සමඟ කරට කර එක්වන්නට ජුලියස් සීසර් තීරණය කළේ, රෝම අධිරාජ්‍යය පාලනය කළ යුත්තෙ රෝම රාජ්‍ය පරපුර මිස වහලුන් නොවිය යුතු නිසාය.
යුද්ධ කිරීමට රෝමයට ඇතුළු වීමට ස්පාර්ටකස් ගේ බල ඇණියට ඇති එකම මග මුහුදු තීරයය. ස්පාර්ටකස් ගේ කණ්ඩායම මුහුදේදීම අඩ පන කරන්නට ක්රසස් භාර දුන්නේ මුහුදු කොල්ලකරුවන්ටය. ඒ විශාල ප්‍රමාණයෙන් අල්ලස් දීමෙනි. මේ ස්පාර්ටකස් නොදැන සිටි කරුණුය. මුහුදේදි බලවත් වන්නේ රෝම හමුදාවවත් , වහල් හමුදාවවත් නොව. එහී ආධිපත්‍ය ගෙන ගියේ මුහුදු කොල්ල කරුවන්ය. ඔවුන් මුහුදේදි මනා ලෙස සංවිධානය වී සිටී. ඔවුන් සමඟ මුහුණට මුහුණ ලා සටන් කෙරුවද පරාජය වන්නේ ඔවුන් සමඟ සටන් කරන්නට එළැඹෙන අයය. බොහෝ අය කරනුයේ මුහුදේදී ඔවුන්ව මග හැර යාමට ඇති මාර්ගයන් සොයා යාමය.
ක්රසස් ගෙන් අල්ලස් ගත් මුහුදු කොල්ල කරුවන් මුහුද මැදදී ස්පාර්ටකස් ඇතුළු හමුදාව ව අඩපණ කළහ.මේ හේතුවෙන් ස්පාර්ටකස් ගේ බල ඇණියට ගොඩ බිමේ සටන් අවාසි විය. රෝම හමුදාව ස්පාර්ටකස් ගේ හමුදාව යුදමය වශයෙන් පරාජය කළ අතර, ඔවුන්ව යටත් කරගන්නටද සමත් විය. බොහෝ අය මුහුදේ හා ගොඩබිම් යුද්ධයෙන් මිය ගිය අතර, අල්ලා ගත් ඉතිරි වහලුන් තුලින් ස්පාර්ටකස් ව හොයා ගැන්මට රෝම හමුදාව වෑයම් කළද ස්පාටකස් ගෙ බලඇණියේ සියල්ලෝම කීවේ තමා ස්පාර්ටකස් කියාය. හැමෝම ස්පාර්ටකස් කියූ නිසා රෝම හමුදාව ඔවුන් සියල්ලම මහ මග කුරුස සිටවා ඒ සියල්ලම මැරෙන තෙක් නිරාහාරව එල්ලා තැබීය.
ස්පාර්ටකස් ගේ බිරිඳ වර්නියාට පුතෙක් ඉපදී ඇති බව දැන ගත් ක්රසස්, ඔවුන් දෙදෙනා ව ගෙනවිත් හිර කර තැබූවේ, ඔවුන්ව සොයා අනිවාරයෙන්ම ස්පාර්ටකස් පැමිණෙන නිසාය. ක්රසස් සිතූසේම ඔවුන්ව සොයා ස්පාර්ටකස්, ඇන්ටෝනිනස් සමඟ පැමිණීය. ක්රසස්, ස්පාර්ටකස් ව හඳුනා ගත්තේ දිනක් ඔහු ග්ලැඩියේටර් පාසැල ට පැමිණ කලබල කෙරූ කලහකාරයා නිසාය. ක්රසස් ස්පාර්ටකස් හා ඇන්ටෝනිනස් ව හිර කර තැබීය.
දැං ක්රසස් ට අවශ්‍ය වූයේ ස්පාර්ටකස් හා ඇන්ටෝනිනස් අතරේ ග්ලැඩියේටර් තරඟයක් තබන්නටය. එම සටන් තරඟයෙන් අනිවාරයෙන්ම කෙනෙක් මිය යනු ඇත. ජයග්‍රහණය කරන කෙනාව කුරුසියේ ඇණ ගසා නිරාහාරව මැරෙන තෙක් මහ මාර්ගයේ දෙපස එල්ලා තැබීමට ක්රසස් තීරණය කළේය. එය අතීශයින්ම කෲර ක්‍රියා දාමයක් වුවද, ක්රසස් සමඟ හැප්පුනු ස්පාටකර්ස් හා ඇන්ටෝනිනස් ගෙන් පළිගැන්මට වෙනත් කෲර මාර්ගයක් සොයා ගැන්මට ක්රසස්ට නොහැකි විය. එසේ සොයා ගත්තා නම් ක්රසස් ඒ දෙයත් ඔවුනට කරනු ඇත.
රාජකීය පිරිසක් හමුවේ ස්පාර්ටකස් හා ඇන්ටෝනිනස් ගේ ප්‍රදර්ශන සටන් හෙවත් ග්ලැඩියේටර් සටන ආරම්භ වන දිනය පැමිණියේය. මේ දෙදෙනාවම කෲර ලෙස මරා දැමීමට ක්රසස් අටවපු උගුලක් බව දෙදෙනාටම වැටහුණි. ස්පාර්ටකස් හා ඇන්ටෝනිනස් ගේ දැඩි සහෝදර මිත්‍රත්වය ගැන ක්රසස් දැන සිටියේය. ඔහුට අවශ්‍ය වූයේ එක් මිත්‍රයෙක් අතින් අනිත් මිත්‍රයාව මරා දැමීමට ය. ස්පාර්ටකස් තමාට හා රෝම අධිරාජ්‍යය ට අභියෝග කර සටන් වැදීමේ පළියත්, ඇන්ටෝනිනස් තමාව අත්හැර දමා පලා යෑමේ පළියත් දෙකම එක වර ගැනීමේ හැකියාව මෙලෙස ක්රසස්ට ලැබුණි.
ස්පාර්ටකස් හා ඇන්ටෝනිනස්ගේ ග්ලැඩියේටර් සටන ආරම්භ විය. ස්පාර්ටකස් ඉතාමත් උනන්දුවකින් දැඩි ජවයකින් සටන් කළේ ඇන්ටෝනිනස්ව මරා දැමීමටය. ඔහු ඒ බවක් ඇන්ටෝනිනස් ට කිවේ තම හිත මිතුරාව, කුරුසියේ ඇණ ගසා එල්ලා, නිරාහාරව දින ගණන් තබා දුක් විඳ මැරෙනවාට වඩා එක පහරින් මැරෙන එක සහනයක් කියාය. එම දුක් විඳීම ඉසිලීමට තමාට හැකි බවක් එවන් දරුණු දුකක් තම හිතේෂීකයාට දිය නොහැකි බවක් ස්පාර්ටකස් ඇන්ටෝනිනස් ට කීය.
ප්‍රදර්ශන හෙවත් ග්ලැඩියේටර් සටන පටන් ගතී. දෙදෙනාම ජවයකින් සටන කර ගෙන ගියහ. ක්රසස් ට උවමනා වූයේ ස්පාර්ටකස් ගේ අතින් ඇන්ටෝනිනස් ව මරවා, ස්පාර්ටකස් ව කුරුසියේ ඇණ ගසා නිරාහාරව දින ගණනක් එල්ලා තබා අනන්තවත් දුක් විඳ මැරෙනවා දකින්නටය.
ක්රසස්ගේ එම ආශාවද ඉෂ්ට විය. ග්ලැඩියේටර් සටන් තරඟයේදී ඇන්ටෝනිනස් ස්පාර්ටකස් අතින් මරුමුවට පත්විය.
ස්පාර්ටකස් ව කුරුසියේ ඇණ ගසා මහ මාර්ගයේ දෙපස අනෙක් වහලුන් අතරේ සිටවා තැබීය. ඔහුගේ දෙපසේ එල්ලා තැබූ බොහෝ වහලුන් මේ වන විටත් කුරුසවලම මිය ගොස් තිබුණි. ඇතැමුන් පණ අදිමින් සිටි අතර මිය ගිය අයගේ කුරුස මත උකුස්සන් වසා සිටියේ ඔවුන්ගේ සිරුරු මස් කැබලි කෑමට ය.
ස්පාර්ටකස් ව අල්ලා ගත් පසු ක්රසස් ඔහුගේ බිරිඳවූ වර්නියා හා ස්පාර්ටකස් ගේ කුඩා පුතුව නිදහස් කර හැරියේය. වර්නියා ස්පාර්ටකස් එල්ලා සිටි කුරුසිය පාමුලට තම දරුවා සමඟ ගොස් දරුවාට තම පියාව හදුන්වා දුන්නේ වීරවරයෙක් ලෙසටය. චිත්‍රපටය අවසන් වන්නේ එලෙසය.
එහෙත් ස්පාර්ටකස් ගේ චරිතය තවත් අධ්‍යයනය කරන්නේ නම් ඉතිහාසයේ ග්‍රීක නිබන්ධකරුවන්වූ 'ප්ලූටර්ච්' හා 'ඇපියන්', ගේ ලිවිම් ගැන අවධානය යොමු කළ යුතු වේ. 'ප්ලුටර්ච්' ලියා ඇති පරිදී ඔහු ස්පාර්ටකස් ව හදුන්වන්නේ සංචාරක තෙරේසියන් ගෝත්රවරයෙක් ලෙසටය. නමුත් 'ඇපියන්' පවසන්නේ ස්පාර්ටකස් යනු වරක් රෝම යුද හමුදා සෙබළකු ලෙස සේවය කර පසුව සිරකරුවෙකු වී, ඒ අතරවාරයේදී ග්ලැඩියේටර් වරයෙකු ලෙස අලෙවි වූ අයෙකු ලෙසටය. රෝම යුධ හමුදා සෙබළකු වූ ස්පාර්ටකස් සිර ගත වූයේ කෙසේද කියා සඳහන් වී නොතිබුණි. එහෙත් ' ෆ්ලොරස්' නම් ග්‍රීක නිබන්ධකරුවා ලියා ඇති අන්දමට ස්පාර්ටකස් යනු තෙරේසියානු කුලී හේවායකු ව සිට, පසුව රෝම සේණංගයට එකතු වී රෝම සොල්දාදුවෙකු ලෙස සේවය කර ඇත. ඉන්පසු කලහකාරි ලෙස හැසිරුණු සිදුවීමක් මුල් කර ඔහුව සේවයෙන් පහ කර වහල් භාවයට පත් කර ඇත. ඔහු සටන් කිරීමේ දක්ෂතාවය මත පසු කලෙක ඔහු ව ග්ලැඩියේටර් වරයෙකු ලෙස පත් කර තිබුණි. එලෙසම වෙනත් මුලාශ හා ඒවායේ අර්ථ නිරූපණයන්ට අනුව ස්පාර්ටකස් යනු, හමුදා බල ඇණි විසින් අල්වා ගත් වහලෙක් කියාය. එහෙත් එය සනාථ කිරීමට ප්‍රමාණවත් කරුණු නොතිබුණි.
චිත්‍රපටය තුළ ස්පාර්ටකස් ට ක්රසස් ව මුලින් ම මුණ ගැසෙන්නේ ක්රසස් ලෙන්කුලස් බැටියාටස් ගේ ග්ලැඩියේටර් පාසැලට ආ පසුවය. නමුත් ඉතිහාසය ගවේෂණයේදී ස්පාර්ටකස් ට ක්රසස් ව මුණ ගැහෙන්නේ යුද්ධයේදීය. ඒ වනතෙක් දෙදෙනා එකිනෙකාට මුණ ගැස්වී තිබුණේ නැත. 'හෝවඩ් මෙල්වින් ෆාස්ට්' ගේ 'ස්පාර්ටකස්' නවකථාවේදී ඔහු ඉතිහාස කථාව ගෙන එහී මූලාශ්‍රය පමණක් ඔහුට උවමනා අන්දමට වෙනස් කර ඇති බවක් පෙනේ. 'ස්පාර්ටකස්' චිත්‍රපටයේ තිරනාටකය ලියූ 'ඩැල්ටන් ටෘම්බෝස්', හෝවඩ් මෙල්වින් ලියූ නවකථාවෙන් මූලාශ්‍රය පමණක් ගෙන ඔහුට උවමනා අන්දමට තිර නාටකය ලියා ඇති බවක් පෙනේ. මෙයින් ස්පාර්ටකස් චරිතයට හානියක් සිදුවූවාද කියා එක එල්ලේම කිව නොහැකිය. එයට හේතුව ස්පාර්ටකස් ගැන ඉතිහාසයේ ලියූ ග්‍රීක ලේඛකයන් වූ 'ප්ලූටර්ච්' හා 'ඇපියන්' මෙන්ම 'ෆ්ලොරන්ස්' ද, එමෙන්ම එකල තිබු විවිධ මුලාශ්‍ර වලද, ස්පාර්ටකස් චරිතය හදුන්වා දීම හා විග්රහ කිරීම් අතර එකිනෙකට පරස්පර විරුද්ධ දේ තිබීම තුළින් ස්පාර්ටකස් ගේ නියම තතු සොයා ගැන්මට නොහැකි විමය. එකී ලේඛකයන්ගේ නිගමනයන් අනුව ස්පාර්ටකස් චරිතය ඔවුනොවුන් සොයා ගත් දේ අනුව නිර්මාණය වූ අතර, ඉන් සියවස් ගනනාවකට පසු නව කථා රචක හෝවඩ් මෙල්වින් ෆාස්ට් තම ස්පාර්ටකස් කෘතියට යොදා ගත්තේ ඔහුගේ මනසේ නිදන් ගතවුනු, චරිතය ය. එය සත්‍ය ජීවිතයේ චරිතයට වඩා වෙනස්ම ස්පාර්ටකස් කෙනෙක් වීමට බොහෝ දුරට ඉඩ කඩ ඇති විය. එම චරිතය තිර රචක ඩැල්ටන් ටෘම්බෝස් ගෙ අතින් තවත් වෙනසකට භාජනය වී අධ්‍යක්ෂක ස්ටැන්ලි කුබ්රික් අතින් තව තවත් ඔප මට්ටම් වූයේ ඔහුගේ නිගමනයන්ට සරි ලන සේ ය. අවසානයේදී චිත්‍රපටය තුළින් අප දුටුවේ අර පුරාණ ඉතිහාසයේ සිටි සත්‍යයම ස්පාර්ටකස්දැයි කුකුසක් ඇතිවීමද, වැළැක්විය නොහැකිය.
1960 වසරේ ඔක්තෝබර් 6 වන දින ඇමරිකාවේ නිව්යෝක් නගරයේ සිනමා ශාලාවන්හී 'ස්පාර්ටකස්' චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹූ අතර, ඔක්තෝබර් 19 වන දින සිට එය ලොස් ඒන්ජල්ස් නගරයේ ප්‍රදර්ශනය විය. මෙහී සම්පූර්ණ ධාවන කාලය විනාඩි 197 ක් එනම් පැය 3 කුත් විනාඩි 17 ක් විය. ඇමරිකානු ඩොලර් මිලියන 12 කට ඇස්තිමේන්තු වූ 'ස්පාර්ටකස්' චිත්‍රපටය පළමු ප්‍රදර්ශන වටයෙන්ම ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 60 ක් විය.
ස්පාර්ටකස් ලෙස 'කර්ක් ඩග්ලස්' රඟන විට ක්රසස් ලෙස 'ලෝරන්ස් ඔලිවර්' රඟපෑවේය. ඇන්ටෝනිනස් ලෙස 'ටෝනි කර්ටිස්'ද ,ජූලියස් සීසර් ලෙස 'ජෝන් ගාවින්' ද රඟපෑ අතර, තවත් උප ප්‍රධාන චරිතයක් වූ ලෙන්කුලස් බැටියාටස් ලෙස රඟපෑවේ 'පීටර් උස්ටිනෝව්'ය. වර්නියා වූයේ 'ජීන් සිමන්ස්' නම් නිළිය ය. චාර්ල්ස් ලොග්ටන්, ජෝන් ඩල්, නීනා පෝච්, චාර්ල්ස් මැක්ග්‍රෝ, ජොආනා බාර්න්ස්, පීටර් බ්රෝකෝ, පෝල් ලැම්බට්, ඇතුළු පිරිසක් සෙසු චරිත රඟපෑහ.
එම වසරේ ඔස්කා ඇකඩමි සම්මාන 4 ක් 'ස්පාර්ටකස්' චිත්‍රපටය ට හිමිවිය. පීටර් උස්ටිනෝව් ට හොඳම සහය නළුවාට සම්මානය හිමිවූ අතර, රසල් වෙට්ටි ට හොඳම කැමරා අධ්‍යක්ෂණය ට හිමි සම්මානය හිමි විය. ඉතිරි සම්මාන යුගල හොඳම කලා අධ්‍යක්ෂණය හා හොඳම ඇඳුම් නිර්මාණය ට ලැබුණි.
ලොව තවත් විශිෂ්ට ඓතිහාසික චිත්‍රපටයක් ලෙස 'ස්පාර්ටකස්' සැළකුණද, එලෙසම එය ආදායම් ඉපයූවද, 'බෙන්-හර්' චිත්‍රපටය ලද දැවැන්ත සාර්ථකත්වයට නම් 'ස්පාර්ටකස්' චිත්‍රපටයට කිට්ටුවීමටවත් නොහැකි විය. එමෙන්ම 'ස්පාර්ටකස්' ලෙස රඟපෑ 'කර්ක් ඩග්ලස්' ට , 'බෙන්-හර්' චරිතයට පණ දුන් 'චාර්ල්ස්ටන් හෙස්ටන්' අබිබවන්නට ද නොහැකි විය.