රිචඩ් බර්ට්න් සියවසට සූදානම්

ජනවාරි 19, 2023

 

හොලිවුඩ් තරුව රිචඩ් බර්ට්න් පියා සමග මතින් සප්පායම් වෙද්දී ඔහු ගේ ලෝක ප්‍රකට සුරූපී ආදරවන්තිය එළිසබෙත් ගම් වැසියන් සමග කතා බහක යෙදුණේ තමන් ද ගම් වැසියකු පරිද්දෙනි. ඇෆන් (Afan) නිම්නයේ පොන්ට්‍රිඩයිෆන් / Pontrhydyfen  වැසියන්ට ඔහු මිය ගොස් තිස් නව වසරක් ගතවී තිබුණ ද තවමත් ඔහු පිළිබද සුන්දර මතකයන් අමතකව ගොස් නැත. ඔහු පියා සමඟ ඇවිද ගිය පාලම නැරැඹීමට අදට ද රසිකයෝ අමතක නො කරති. 1925 නොවැම්බර් 10 වැනි දිනට ඔහු ඉපදී සියවසක් සපිරෙන අතර මේ පතල් කම්කරු ගම්මානය දෑවුරුද්දක් තිබියදී සූදානම් වන්නේ ඔහු ගේ මතකයන් රැදුණු සිහිවටන පුවරුව ඇතුළු සියලුම දේ රසිකයන්ට පැමිණ පහසුවෙන් නැරැඹිය හැකි ලෙස පිළිසකර කිරීමට ය. ඒ වාගේම මේ පොන්ට්‍රිහයිඩයිෆන් සුබ සාධක කණ්ඩායමේ සභාපතිනිය ප්‍රදේශවාසීන්ගෙන් ඔහු පිළිබද දන්නා සියලු කතා එක්රැස් කරමින් පවතියි.

රිචඩ් බර්ට්න් යනු සත් වරක් ඇකඩමි සම්මානයට නිර්දේශ වුණු බැෆ්ටා, ගෝල්ඩන් ග්ලෝබ්ස්, ටෝනි සම්මාන උලෙළවලදී හොදම නළුවා ලෙසින් පිදුම් ලැබූ රංග පෞරැෂයකින් සේම හඩ පෞරැෂයකින් යුතු මේ මහා නළුවා ජීවිතය මත් වතුරට ගසා ගෙන යාමට ඉඩ දුන්නේ ය. දිනකට මත් වතුර බෝතල් තුන හතරකට වගකිව් දුම් වැටි පැකට්ටු හතරක් පහක් අළුකර දැමූ ඔහු අවසන එනිසා ම වයස අවුරුදු 58 දී ජීවිතයට සමු දුන්නේ ය.

මත් වතුර , දුම් වැටි මෙන් ම කාන්තාව ද ඔහු ගේ ජීවිතයට සමීපත ම විෂයයන් විය. සහජයෙන් ම රංගන කුසලතාවක් තිබුණ ද ඔහු රග පෑවේ රංගනයට ඇති ඇල්මට වඩා මුදල් ඉපයීමේ චේතනාවෙනි. එය ද පුදුමයක් නො වෙයි. පතල් කම්කරුවකු ගේ පුතකු වූ ඔහු දරිද්‍රතාවය උපරිමව අත්දුටු අයකි. දහතුනකුගෙන් යුතු පතල් කම්කරු පවුලක ඔහු දොළොස්වැනි දරුවා විය. දහතුන් වැනි දරුවා ඉපදුණු පසු මව මිය ගිය අතර රිචඩ් මවක මෙන් රැක බලාගෙන තිබෙන්නේ ඔහු ගේ ‍වැඩිමල් සොයුරිය වූ සිසිලියා විසිනි. පසුව පියා දරුවන් අත්හැර දමා ගොස් තිබෙයි. රිචඩ් 1957 දී පියා මිය ගිය විට ඔහු ගේ අවමංගල්‍යයට සහභාගී වීම ප්‍රතික්ෂේප කළේ ය. ඔහු රංගන දිවියට පාර කැපෙන්නේ දෙවැනි මවවූ සිසිලියා නිසා ය. ඇය ශේක්ස්පියර් උමතු රසිකාවකි. ඇය ශේක්ස්පියර් කවි ගයන විට නාට්‍ය කියවන විට රිචඩ් ද ඊට උමතු විය. “නිවෙස තමයි මගේ පොත් වුණේ” වරක් ඔහු පවසා තිබිණි. මේ උමතුව නිසා ඔහුට ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් රංගනය හැදෑරීමට ශිෂ්‍යත්වයක් ලැබිණි. 1944 දී රිචඩ් වේදිකාවෙන් රංගනයට අත්පොත තැබී ය. වුමන් ඔෆ් ඩොල්වින් (1949) ඔහු ගේ පළමු සිනමා රංගනය ඇතුළත්වූ සිනමා පටය ය.

ඔහුට බිරියන් පස් දෙනකි. ඒ පස් දෙනාම සිනමා කලාවට සම්බන්ධ ය. විවාහ නො වූව ද ඔහු එක් තාරකාවක සමඟ හැර තමන් සමඟ රගපෑ අන් සෑම ප්‍රධාන සිනමා තාරකාවක සමඟ ම යහන් ගතවී තිබෙයි. ඇය ඔහු සමග “ඛ්චථඥතධබ” සිනමා පටයේ රගපෑ ජුලී ඇන්ඩෲස් ය. ජුලීට මේ බව රිචඩ් පවසා තිබෙයි.

රිචඩ්ට පළමු බිරිය සිබිල් විලියම්ස් හමු වන්නේ “ද ලාස්ට් ඩේස් ඔෆ් ඩොල්වින්” (1949 ) සිනමා පටය රූගත කිරීමේදී ය. ඇය සිනමා පටයේ ප්‍රධාන තාරකාව නො වූවද එහි චරිතයක් නිරූපණය කළා ය. ලන්ඩනයේ නාට්‍ය කලා ඇකඩමියෙන් රංගනය හදාරා තිබුණු ඇය රිචඩ් සමඟ පෙමින් බැදී විවාහ වූ පසු රංගනයට වඩා මුල් තැන දුන්නේ පවුලට ය. සිනමා රංගනයෙන් ඈත් වූ ඇය කලාතුරකින් හෝ රගපෑවේ වේදිකා නාට්‍යවල පමණි. රිචඩ් විවාහයෙන් ඇයට දූවරුන් දෙදෙනකු ලැබිණි. කැතරින් “කේට්” බර්ට්න් සහ ජෙසිකා බර්ට්න් ඒ දියණියන් දෙදෙනා ය. කේට් මාපිය මඟ යමින් රංගනයේ නියැළෙන්නී ය.

සිබිල් - රිචඩ් විවාහයට කණකොකා හැඩුවේ 1961 දී රිචඩ් බර්ට්න්ට “ක්ලියෝපැට්රා” තාරකාව ක්ලියෝපැට්රා දර්ශන තලයේදී හමු වීමත් සමඟ ය. අත්හැර දැමීම, කුරිරු වීම සහ නො මිනිස් අයුරින් සැලකීම මත 1963 දී සිබිල් රිචඩ්ගෙන් දික්කසාද වූයේ දරුවන් වෙනුවෙන් ඩොලර් මිලියනයක මුදලක් ලබමිනි.

රිචඩ් බර්ට්න් සහ එළිසබෙත් ටේලර් ක්ලියෝපැට්රා සිනමා පටය රූගත කරන විටත් හොලිවුඩයේ ජනප්‍රිය ම තරු යුවළක් වුව ද එකිනෙකාව දර්ශන තලයකදී හමුවන්නේ ප්‍රථම වරට ය. ඒ වන විට එළිසබෙත් එඩී ෆිෂර් නළු ගායකයා ගේ බිරිය ය. ඒ ඇය ගේ සිව්වැනි විවාහය ය. රිචඩ් - එළිසබෙත් දෙදෙනාම විවාහකයන් වුව ද දුටුවන ම ඔවුනොවුන් කෙරෙහි හදවතින් ම බැදිණි. සිනමා රූගත කිරීම් සිදුවන අතරවාරයේ අධිවේග බෝට්ටුව මතට නැඟී විවේක සුවයෙන් පසුවූහ. ඔවුනගේ බෝට්ටු මත ගොඩනැගෙන ප්‍රේමය මාධ්‍යවේදීන් ගේ උකුසු ඇස්වලින් සැගවීමට නො හැකිවිය. පැපරාසීන් තුරු මතට නැගී ඡායාරූප ගෙන පුවත්පත්වල පළ කළේ ය. තිදරු මවක වූ එළිසබෙත් දර්ශන තලයට දියණිය ලීසා රැගෙන ආ අවස්ථා තිබිණි. රිචඩ් ලීසා සෙනෙහසින් රැකබලා ගත්තේ ය. ඇය ගේ පුතුන් දෙදෙනා වූ මයිකල් සහ ක්‍රිස්ටෝපර් ගේ පියා වූයේ දෙවැනි සැමියාවූ මයිකල් වයිල්ඩිං ය. ලීසා තෙවැනි සැමියාවූ මයිකල් ටොඩ් ගේ සහ එළිසබෙත් ගේ දියණිය විය. රිචඩ් ඒ වන විට පළමු බිරිය සිබිල්ගෙන් දික්කසාද වී නො සිටිය ද අනාථ ජර්මානු දැරියක අරන්හදා ගනිමින් සිටියේ ය.

එළිසබෙත් - රිචඩ් පළමු හාදුව හුවමාරු වූයේ ක්ලියෝපැට්රා සිනමා දරුශනයක් ලෙසින් වුව ද දෙදෙනා හාදු හුවමාරුකර ගත්තේ සැබෑවටමය. එනිසා අධ්‍යක්ෂවරයා “ජභබ” කියා පැවසුව ද ඒ ආදරණීය හුවමාරුව විනාඩි ගණනක් දිගට පැවතී තිබෙයි.

ක්ලියෝපැට්රා ලොවක් වඩාත් ම කතා බහ කළ සිනමා පටයක් ලෙස සලකයි. එයට හේතුව එළිසබෙත් - රිචඩ් ප්‍රේම පුරා වෘත්තය ය.

1963 දී එළිසබෙත් එඩී ෆිෂර්ගෙන් දික්කසාද වූ අතර රිචඩ් සිබිල් දික්කසාදය ද සිදු විය. 1964 වසරේ මාර්තු 15 වැනිදා මොන්ට්රියල්හි රිට්ස් - කාල්ටන් හි සියවසේ මහා මංගල්‍යයක් ලෙසින් යුවළ ගේ විවාහය සිදු කෙරිණි. එළිසබෙත් හදවතින් ම ම රිචඩ් ට පෙම් කළාය. රිචඩ් ද ඇය ගේ ලාලිත්‍යයට වශීවී සිටියා ය. එහෙත් රිචඩ් ගේ අධික බීමත්කම නිසා වරින් වර දෙදෙනා අතර ගැටුම් ඇතිවිය. එළිසබෙත් වඳ සැත්මක් කර තිබුණු නිසා ඔවුන ගේම කියා දරුවකු ගේ මුහුණ බැලීමට අවස්ථාවක් නො ලැබිණි. කෙතරම් ආදරයෙන් බැදී සිටිය ද විවාහය පැවතුණේ දස වසරකි. 1974 ජුනි 26 වැනිදා යුවළ දික්කසාද විය. එහෙත් දෙදෙනාට දෙදෙනාව ම නැතිව බැරි විය. ඔවුන ගේ මිතුදම එලෙසින් ම පැවතිණි. එළිසබෙත් - රිචඩ් බර්ට්න් එක්ව විශිෂ්ට හොලිවුඩ් සිනමා නිර්මාණ 11 ක් ලොවට තිළිණ කළේය. 1974 එළිසබෙත් ටේලර්ගෙන් දික්කසාද වූ පසු යුගොස්ලෝවියාවේ එළිසබෙත් කුමරිය සමඟ රිචඩ් විවාහ ගිවිස ගත්ත ද එය පැවතුණේ කෙටි කලකි. 1975 ඔක්තෝබර් 10 දින යළිත් රිචඩ් හා එළිසබෙත් විවාහ විය. ලොවට හොර රහසේ ඒ විවාහය සිදුවූයේ බොට්ස්වානා හි චොබෙ ජාතික උද්‍යානයේ ය. එහෙත් විවාහ වූ දින සිට එකට ජීවත්ව සිටිය නො හැකි තරමට දෙදෙනා දබර කරගත්හ. 1976 ජුලි 29 වැනිදා යළිත් ඔවුන් දික්කසාද වූහ. දෙවර ම එළිසබෙත් විවාහ වූයේ නැවත කිසි දිනක දික්කසාද නො වන අමරණීය පෙමකට හිමිකම් කියන බව පවසමිනි. සැබැවින් ම ඔවුන් අතර ප්‍රේමයක් පැවතුණ ද සැරමිටියෙන් යන තුරු එක්ව ජීවත් වීමට නම් නො හැකි විය.

එළිසබෙත් සිය පනස් වැනි උපන් දිනය සැමරුවේ රිචඩ් සමඟ ය. පසු කාලීනව ඔවුන ගේ මිතුදම තෙවැනි විවාහයක් සිදුවේදැයි යන සැකය පවා ඇති කළේ ය. රිචඩ් මිය යාමට පෙර එළිසබෙත්ට ලිපියක් එවා තිබිණි. එහි නැවත එළිසබෙත් සමඟ විවාහ වීමට අවශ්‍යව තිබුණු බව සදහන් විය.

මාක් ඇන්තනි - ක්ලියෝපැට්රා පෙම මෙන් රිචඩ් බර්ට්න් - එළිසබෙත් පෙම ගැන ද අද ද ලොව ම කතා කරයි.

රිචඩ් ගේ තෙවැනි බිරිය වූයේ බ්‍රිතාන්‍ය ජාතික සුසාන් මිලර් ය. ඇය ද නිළියකි. මෝස්තර නිරූපිකාවකි. නර්තන ශිල්පිනියක වාගේම නර්තන අධ්‍යක්ෂිකාවකි. ෆෝමියුලර් 1 ධාවන ශූර ජේම්ස් හන්ට් සමඟ විවාහ වී සිටි ඇය රිචඩ් බර්ට්න් නිසා ඔහුගෙන් දික්කසාද වූවා ය. බර්ට්න් ද එළිසබෙත් ගෙන් ඈත් වූයේ මිලර් නිසා බවට රාවයක් පවතියි. මිලර් විවාහයෙන් පසුව එළිසබෙත්ට ඊර්ෂ්‍යා කළා ය. එනිසා නිතර රිචඩ් සමඟ ගැටුම් ඇති කර ගත්තේ ය. 1982 දී මිලර් - රිචඩ් දික්කසාදය සිදුවිය.

රිචඩ් ගේ අවසන් බිරිය, පස් වැනි වූයේ සැලී හේ ය. ඇය බ්‍රිතාන්‍ය කතුවරියක මෙන්ම නාට්‍ය නිෂ්පාදිකාවක ද වූවා ය. රිචඩ් ව සැලීට හමුවන්නේ වැග්නර් රූපවාහිනී මාලා නාටක දර්ශන තලයේදී ය. ඇය එහි සහාය නිෂ්පාදිකාව වූවා ය. පසුව ඇය එළිසබෙත් සහ රිචඩ් ප්‍රධාන චරිත රගපෑ ප්‍රයිවට් ලයිව්ස් වේදිකා නාට්‍යයේ සහාය නිෂ්පාදිකාව වූවා ය. මේ කාලයේ දී බොහෝ දෙනා නැවත එළිසබෙත් - රිචඩ් විවාහය සිදු‍වේවියි බලාපොරොත්තු වුව ද සිදු වූයේ අනෙකකි. රිචඩි සැලී සමඟ විවාහ වූවේ ය. එළිසබෙත් වික්ටර් ලූනා නම් නීතිඥයා සමඟ විවාහ ගිවිස ගත්තේ ය.

1984 අගෝස්තු 5 වැනිදා රිචඩ් බර්ට්න් මොළයේ රුධිර වහනයෙන් මිය යන විට සැලී ගේ වයස අවුරුදු 36 ක් විය.

රිචඩ් අවසන් කාලයේ එළිසබෙත්ට නිතර ලියුම් යවා ඇත. ඒ සෑම ලියුමකම තිබී ඇත්තේ නැවත ඇය සමඟ ජීවත් වීමට තිබූ බලාපොරොත්තුව ය.

 

[email protected]