උරුමය සොයා යන්නා VARISU

ජනවාරි 19, 2023

විජේ රාජේන්ද්‍රන් යනු කීර්තිමත් ව්‍යාපාරිකයකු වන රාජේන්ද්‍රන් පලනිසාමිගේ බාල පුත්‍රයාය. ඉතා ධනවත් පවුලක සාමාජිකයකු වුවද හෙතෙම පවුලේ අනෙකුත් සාමාජිකයන්ගෙන් වෙනස් වූවෙකි. රාජේන්ද්‍රන් පලනිසාමි විසින් විජේ නිවෙසෙන් පන්නා දමනු ලබන්නේ ස්වඋත්සාහයෙන් ආහාර බෙදා හැරීමේ ආරම්භයක් දියත් කරමින් පවුලේ ව්‍යාපාරයට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

පිළිකාවකින් පීඩා විඳීන රාජේන්ද්‍රන් තමා හට ඉතිරිව ඇති කෙටි ආයු කාලයේ එළැඹෙන 65 වැනි උපන්දිනය සැමරීමට සූදානම් වන්නේ එදින තම රෝගී තත්ත්වය පවුලේ සියලුදෙනා වෙත හෙළි කරමින් තමා මිය ගිය පසු වැඩිමහල් පුතුන් දෙදෙනා වන ජායි සහ අජේගෙන් එක් අයෙකු වෙත පවුලේ ප්‍රධානියා ලෙස වගකීම් පැවරීමට කිරීමට තීරණය කරමිනි. ඒ කෙසේ වෙතත් එකිනෙකා සමඟ කතා නොකරන මෙම සහෝදරයෝ පියාගේ අනුප්‍රාප්තිකයා වීම සඳහා නිරන්තරයෙන් සටන් කරති. මේ අතර පලනිසාමි පවුලෙන් පන්නා දමන ලද විජේ හට මෙම උපන්දින සාදයට ආරාධනා කරන්නේ ඔහුගේ මව සුධාගේ වුවමනාවට අනුවය. ලද ආරාධනාවට අනුව පවතින අවුල් සහගත බව සොයා ගැනීමට පමණක් නිවසට පැමිණෙන විජේ හට නොසිතූ සිදුවීම් පෙළකට මුහුණදීමට සිදුවේ.

වංශී පයිඩිපල්ලි විසින් අධ්‍යක්ෂණය කරන ලද වරිසු චිත්‍රපටය දිග හැරෙන්නේ මෙලෙසිනි. වරිසු යන්නෙහි අරුත උරුමක්කාරයා වේ. දෙමළ, ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස දිග හැරෙන වරිසු චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ විජේ සහ රශ්මිකා මන්දන්නා විසිනි. 

ඔවුන් සමඟ ආර්. සරත්කුමාර්, ප්‍රභූ, ප්‍රකාශ් රාජ්, ශාම්, ශ්‍රීකාන්ත්, කුෂ්බු, යෝගී බාබු, ජයසුධා, සංගීතා ක්‍රිෂ් ඇතුළු පිරිසක් සෙසු චරිත මවති.

වරිසු චිත්‍රපටය විජේ ප්‍රධාන චරිතයක් රඟපාන ඔහුගේ 66 වැනි චිත්‍රපටය වේ. විජේ හෙවත් ජෝසප් විජේ චන්ද්‍රෙස්කර් මේ වන විට දකුණු ඉන්දීය සිනමාවේ ඉහලම මිලක් අය කරන ජනප්‍රිය නළුවකු බවට පත්වී සිටී. මෑත කාලීනව විජේ රඟපෑ මර්සල්, සර්කාර්, බිගිල්, මාස්ටර් වැනි චිත්‍රපට ඉහළ ආදායම් වාර්තා තැබූ චිත්‍රපට බවට පත් වුයේ ඔහු ලද ජනප්‍රියත්වය සමඟිනි. බිගිල් චිත්‍රපටය තිරගත කිරීම ආරඹා දින තුනක් ඇතුළත ඉන්දීය රුපියල් කෝටි 100 ඉක්මවා ආදායම් ඉපැයීමට සමත්විය. මාස්ටර් චිත්‍රපටය හොලිවුඩ් චිත්‍රපටද අබිබවා යමින් විදේශීය බොක්ස් ඔෆිස් වාර්තාවේ 2021 වසරේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය බවට පත් වූයේ ගෝලීය බොක්ස් ඔෆිස් වාර්තාවේ පළමු ස්ථානයට පත්වූ පළමු ඉන්දීය චිත්‍රපටය බවට පත් වෙමිනි. තවද මෙම චිත්‍රපට සමාජ ගැටලු, දේශපාලනය වැනි මාතෘකා තේමා කරගත් චිත්‍රපටවීමද විශේෂත්වයකි.

වරිසු චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ වූයේ පසුගිය ජනවාරි 11 වැනිදාය. එය තෙළිඟු සහ හින්දි භාෂාවන් ගෙන් හඬකවා ඇති අතර තෙළිඟු භාෂාවෙන් වරාසුදු ලෙස නම් කර ඇත. වරිසු චිත්‍රපටය සේම අජිත් කුමාර් රංගනයෙන් දායක වන තුනිවු චිත්‍රපටයද තිරගත කිරීම ආරම්භ කළේ ජනවාරි 11 වැනිදාය. ඉන්දියානු වෙලාවෙන් අලුයම 1.00 ට තුනිවු තිරගත වීම ආරම්භ කළ අතර අලුයම 4.00ට වරිසු චිත්‍රපටයේ තිරගත කිරීම ආරම්භ විය. මෙම චිත්‍රපට ද්විත්වය නැරඹීමට විශාල පිරිසක් රැස්වී සිට ඇති අතර චෙන්නායිහි සිනමා ශාලාවක් ආසන්යේ අජිත් සහ විජේගේ රසිකයන් විසින් දෙපාර්ශවයේ පෝස්ටර් ඉරා දමමින් කලහකාරී ලෙස හැසිරුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

තවද වරිසු චිත්‍රපටයටද නීතිමය බාධා එල්ල වූයේ එහි අලි ඇතුන් යොදාගෙන දර්ශන කිහිපයක් රූගත කිරීම හේතුවෙනි. ඒ හේතුවෙන් ඉන්දීය සත්ව සුබසාධන මණ්ඩලය (AWBI) ශ්‍රී වෙන්කටේෂ්වර ක්‍රියේෂන්ස් වෙත දන්වා සිටියේ දින හතක් ඇතුළත මෙම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉදිරිපත් නොකරන්නේ නම් නීතිමය පියවර ගන්නා බවයි. බොහෝ විචාරකයන් පවසා සිටින්නේ මෙම චිත්‍රපටයෙන් අනූව දශකයේ රසික හද දිනූ වීරයා නැවත පැමිණ ඇති බවයි. හින්දුස්ථාන් ටයිම්ස් හි විචාරක හරිචරන් පුඩිප්පෙඩි පවසන්නේ වරිසු චිත්‍රපටයේ ප්‍රචාරක පටය නැරඹීමෙන් පසු නරඹන්නෙකු ලෙස ඔබ ඔබේ අපේක්ෂාවන් සමඟ ගමන් කළේ නම්, ඔබ කලකිරීමට පත් නොවනු ඇති බවයි.