අන්තර්ජාල වංකගිරියේ ඩිජිටල් සටහන් ඔස්සේ අතුරුදන් මවක සොයා

Missing
ජනවාරි 19, 2023

ජූන් ඇලන් තම නව පෙම්වතා සමඟ කොලොම්බියාවේ නිවාඩුවක් ගත කරමින් සිටින්නීය. ඇගේ මව අතුරුදන් වී අති බව ඇයට දැන ගැනීමට ලැබෙන්නේ මේ අතරතුරදීය. මෙම කනගාටුදායක පුවත සමඟින් මව සෙවීමේ කටයුත්තට ජාත්‍යන්තර නීති බාධාවන් වේ. සැතපුම් දහස් ගණනක් දුර ලොස්ඇන්ජලීස් හි සිරවී සිටින ජූන් ප්‍රමාද වීමට පෙර මව සොයා ගැනීමේ උත්සාහය වෙනුවෙන් ඇගේ ඇඟිලි තුඩුවලින් ප්‍රයෝජන ගත හැකි සියලු නවීන තාක්‍ෂණයන් නිර්මාණශීලීව භාවිතා කරන්නීය. නමුත් ඇය එහි ගැඹුරට යන විට මෙම ඩිජිටල් සොරකම පිළිතුරුවලට වඩා ප්‍රශ්න මතු කරයි. කෙසේ වෙතත් ජූන් ඇගේ මව පිළිබඳ රහස් හෙළි කර ගන්නා විට තමා කිසි විටෙක ඇය නොදැන සිටි බව අවබෝධ වේ. 

ජූන් ඇලන් විවිධ තාක්ෂණය භාවිත කරමින් අන්තර්ජාල වංකගිරියේ ඩිජිටල් සටහන් ඔස්සේ අතුරුදන් තම මව සොයා යන ගමන දිග හැරෙන්නේ ‘මිසින්ග්’ (Missing) චිත්‍රපටයෙනි. ඇමරිකානු පරිගණක තිර, අබිරහස් ත්‍රාසජනක චිත්‍රපටයක් වන එය නික් ජොන්සන් සහ විල් මෙරික්ගේ කුලුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය වේ. 2018 වසරේ තිරගත කෙරුණු ‘සර්චින්ග්’ (Searching) චිත්‍රපටයේ ස්වාධීන අනුප්‍රාප්තියක් ලෙස නිර්මාණය වී ඇති එහි කතාව ‘සර්චින්ග්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ අනීෂ් චගන්ති සහ සෙව් ඔහානියන් ගෙනි. අති නවීන තාක්ෂණික උපක්‍රම සහිත ත්‍රාසජනක චිත්‍රපටයක් ලෙසින් ‘සර්චින්ග්’ චිත්‍රපටය රිදි තිරයේ දිග හැරුණේ අප එදිනෙදා භාවිතයට ගන්නා සන්නිවේදන උපකරණ සමඟිනි. ඒ අනුව චිත්‍රපටය පුරා වැඩිවශයෙන් පරිගණක සහ ජංගම දුරකථන තිර දකින්නට ලැබීම විශේෂත්වයක් විය. ‘සර්චින්ග්’ චිත්‍රපටය නිවෙසේ පටිගත කළ වීඩියෝ සහ දුරකතන කෙටි පණිවුඩ සංවාද ඔස්සේ අන්තර්ජාලයේ සැරිසරමින් පියෙකු තම දියණිය සොයා ගිය ගමන දැක ගත හැකි විය.

ජනවාරි 20 වැනිදා සිට තිරගත කෙරෙන ‘මිසින්ග්’ චිත්‍රපටයේ ජූන් ඇලන් ලෙස පණ පොවනු ලබන්නේ ඇමරිකානු නිළි ස්ටෝම් රීඩ් විසිනි. කෙන් ලෙවුන්ග්, නියා ලෝන්ග්, ජේකම් ඩි අල්මේදා, ඩැනියෙල් හෙනී, ටිම් ග්‍රිෆින්, මයිකල් සෙගෝවියා ඇතුළු පිරිසක් සෙසු චරිවලට පණ පොවති.