ගුවන් යානාවක ත්‍රාසජනක සටන

ජනවාරි 12, 2023

 

ගුවන් යානාවක ගමන්ගන්නා මගීන් මුහුණ දෙන ඛේදවාචකයක් වටා ගෙතුණු චිත්‍රපට හොලිවුඩයේ දුලබ නොවේ. මේ අතර Air Force One (1997), Con Air (1997), The Langoliers (1995), Snakes on a Plane (2006), Red Eye (2005) ) සහ 1992 වසරේ තිරගත Passenger 57 ආදී චිත්‍රපට විශාල ආදායම් ලත් ත්‍රාසානක චිත්‍රපට ලෙස වාර්තා ගත වී ඇත. මෙම ලැයිස්තුවට අලුතින්ම එකතු වීමට නියමිත චිත්‍රපටය Plane නම් වේ.

බ්‍රෝඩි ටොරන්ස් දක්ෂ ගුවන්යානා නියමුවෙකි. ඔහු ප්‍රධාන නියමුවා වන එක් ගුවන් ගමනක කනස්සල්ලකට පවතින්නේ වසර 15කට පෙර කළ මිනීමැරුමකට වරදකරු වූ ලුවිස් ගැස්පෙයා නම් වූ පුද්ගලයෙක් පොලිසිය විසින් එම ගුවන් යානාවේ ප්‍රවාහනය කිරීමයි. ගමන මැදදී ගුවන් යානය මුහුණ දෙනුයේ දැඩි කුණාටු තත්ත්වයකටය. කුණාටුවෙන් බරපතළ හානි සිදුවන යානාව හදිසි ගොඩබෑමක් සිදු කිරීමට නියමු බ්‍රෝඩි හට සිදු වේ. යානාව ගොඩබෑමට සිදුවන්නේ පිලිපීනයේ, රාජ්‍ය පාලනයට විරුද්ධව සටන් වදින, ඩෙලේ නම් නායකයෙක් විසින් සිය සන්නද්ධ කල්ලිය සමඟ පාලනය කෙරෙන ජෝලෝ නම් ප්‍රදේශයකටය. බරපතල හානි සමඟ ගොඩ බස්වන ලද ගුවන් යානය ප්‍රාණ ඇපයට ගන්නා මෙම කල්ලිය ඔවුන්ගේ නිදහස උදෙසා මගීන්ගේ පවුල් වලින් විශාල කප්පම් මුදලක් ලබා ගැනීමට අදහස් කරයි. මේ අතර ගුවන් යානා සමාගම ජාත්‍යන්තර විශේෂඥයන් සමඟ යානාව කඩා වැටුණු ස්ථානයෙන් මගීන් බේරා ගැනීමට වෙහෙසෙන නමුත් ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ වේ. මේ සියලු ගැටලු මැද නියමු බ්‍රෝඩි හට සිය මගීන් බේරාගැනීමට ඉතිරි වන්නේ එක විකල්පයකි. එනම් සන්නද්ධ අරගලකරුවකු වූ ගුවන්යානාවේ ප්‍රවාහනය කළ අපරාධකරු ලුවී සමඟ එක වී ඩෙලේගේ කණ්ඩායම සමඟ සටන් වැදීමයි.

ජීන්-ෆ්‍රැන්සුවා රිචේ විසින් අධ්‍යක්ෂණය කරන ලද චාල්ස් කමිං සහ ජේ පී ඩේවිස් විසින් රචනා කරන ලද 2023 ජනවාරි මස 13 වැනිදා සිට ලොව පුරා තිරගත වීමට නියමිත ර්‍ථතචදඥ නම් වූ ඇමරිකානු ක්‍රියාදාම - ත්‍රාසජනක චිත්‍රපටය මෙලෙස දිගහැරේ. ජෙරාඩ් බට්ලර් ගුවන් නියමු බ්‍රෝඩි ටොරන්ස් ලෙසත්, මයික් කෝල්ටර් ගුවන් යානයේ ප්‍රවාහනය කෙරෙන අපරාධකරු ලුවී ගැස්පේර් ලෙසත්, යොසන් ඇන් සන්නද්ධ කණ්ඩායමේ නායක ඩෙලේ ලෙසත් චිත්‍රපටයේ රංගනයට දායක වී ඇති අතර ටෝනි ගෝල්ඩ්වින්, ඩනියෙලා පිනේඩා, කෙලී ගේල්, ලිලී කෘග් ඇතුළු පිරිස විසින් සෙසු චරිතයන්ට රංගනයෙන් දායක වෙති. ලයන්ස්ගේට් ආයතනය විසින් බෙදාහැරෙන මෙම චිත්‍රපටය විනාඩි 107 ක් දිගු වන අතර ඇ. ඩොලර් මිලියන 50 ක පිරිවැයක් දරා නිර්මාණය කර ඇත.

 

 

[email protected]