JAWS මිනී මෝරාගේ අමතක නොවන ත්‍රාසය

ජනවාරි 5, 2023

 

1940 දී ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ඉපදුණු 'පීටර් බෙන්ච්ලි' වෘත්තියෙන් ලේඛකයෙකු හා තිර රචකයෙකු ලෙස හැඳීන්වෙන අතර, සාගර ගවේෂකයෙකු ලෙසටද, ඔහුව හඳුන්වනු ලැබීය. විශේෂයෙන් මෝරු (Sharks) ගැන ඔහු විශේෂිත උනන්දුවක් දැක්විය. 

1964 දී ඔහු, ඔහුගේ පළමුවන පොත එළිදැක්වූයේ 'ටයිම් ඇන්ඩ් අ ටිකට්' යන නමිනි. එය ලියා තිබු⁣ණේ සංචාරක සම්බන්ධ ග්‍රන්ථයක් ලෙසටය. එම පොත ජනප්‍රියත්වයට පත් නොවූ අතර, එය කියවූ අල්පයක් වැනි පාඨක පිරිසද, පොත දැඩි ලෙස විවේචනය කළහ. කිසිවෙක් එම පොත පිළිබඳව ධනාත්මකව අදහස් දැක්වූයේ නැත. බොහෝ අය කීවේ එම පොත අසාර්ථක බවය.

මේ හේතුවෙන් ඔහුට ලේඛන කලාවේ නමක් හදා ගැන්මට නොහැකි විය. ඔහුට තාවකාලික රැකියා රැසක් කරන්නට වූයේ ඔහුගේ බිරිඳ හා දරුවන් රැක ගන්නටය. නමුත් ලේඛන රැකියාවෙන් මිදෙන්නට ඔහුට නොහැකි විය. එහෙයින් ඔහු අවසාන උත්සහය ⁣ගැනීමට උත්සුක විය. ඔහු ඔහුගේ සාහිත්‍ය ඒජන්ත මාර්ගයෙන් ප්‍රකාශන සමාගමක් සමඟ හමුවක් හදා ගති. ඔහු එහිදී අදහස් දෙකක් දුන් අතර, ඒ දෙකම සත්‍ය සිදුවීම් මත සිදුවෙන සිද්ධීන්ය.එකක් මුහුදු මංකොල්ල කරුවන් පිළිබඳවූ අතර, අනෙක් තේමාව මිනී කන මෝරුන් ගැනය. එම අදහස ඔහුගේ සිතට ආවේ පුවත් පත් වාර්තාකරුවෙක් විසින් ' ලෝන්ග් අයිලන්ඩ්' නම් මුහුදු සීමාවේදී එක් මසුන් අල්ලන්නෙකු විසින් කිලෝ ග්‍රෑම් 2060 ක් බර සුදු මෝරෙක්ව අල්ලා ගත් පුවතක් පළ කළ තිබුණු පසුවය.

ඒ පිළිබඳ ලියන නවකථාවේ පළමු පිටු 100 ,ඔහු ප්‍රකාශන සමාගමට බාර දී ඇමරිකානු ඩොලර් 1000 ක මුදලක් අත්තිකාරම් වශයෙන් ලබා ගත්තද, ප්‍රකාශන සමාගම එම පිටු 100 යෙ ආරම්භක ලියවිල්ල ගැන එතරම් පැහැදීමට පත් වූයේ නැත. පසුව ඔහු එය කීප විටක්ම හරි ගස්වමින් නව කථාව ලියා නිම ක⁣ළේය. එය ඔහු නම් කළේ 'ජෝස්' නමිනි. පසුව එය 1974 දී ප්‍රකාශනයට පත් කෙරිණ. 

කිසිවෙක් නොසිතු ලෙස 'ජෝස්' නවකථාව විශාල ලෙස ජනප්‍රිය විය. එය ඇමරිකාවේ හොඳම පොත් අලෙවි ලැයිස්තුවේ ඉහළින්ම සති 44 ක්ම තිබුණි. 

යුනිවර්සල් චිත්‍රපට සමාගමේ චිත්‍රපට නිෂ්පාදක වරුන් දෙදෙනෙකු වන රිචඩ් ඩී සනූක්, හා ඩේවිඩ් බ්‍රවුන්, මෙම නවකථා පොත ප්‍රකාශනය කිරීමට පෙර කියවා එය චිත්‍රපට ගත කිරීමේ අයිතිය ලබා ගතී. ඔවුන් පීටර් බෙන්ච්ලි ට ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ පනස් දාහක් ගෙවූ අතර, තවත් ඩොලර් විසිපන්දාහක් තිර රචනය ලිවීම පිණිස ගෙවා දමන ලදී.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට, මුලින්ම නිෂ්පාදකවරුන් තෝරා ගත්තේ 'ජෝන් ස්ටර්ගස්' වය. ඔහු ඉතාමත් වටිනා චිත්‍රපට කීපයක්ම අධ්‍යක්ෂණය කරමින් ලොව ප්‍රධාන පෙළේ අධ්‍යක්ෂණ ලැයිස්තුවේ සිටි කෙනෙකි. 'ගන් ෆයිට් ඇට් ද ඕ.කේ. කොරල්', 'ද මැග්නිෆිසන්ට් සෙවන්' 'ද ග්‍රේට් එස්කේප්', 'අයිස් ස්ටේෂන් සීබ්‍රා' වැනි චිත්‍රපට අධ්‍යක්ෂණ කළ ඔහු ට 'ජෝස්' වැනි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට භාර දීම ඉතාමත් නිවැරදි තීරණයක් විය. නමුත් එය කෙසේ හෝ ගිලිහුණි. ඉන්පසු එය 'ෆෙයා වෙල් මයි ලව්ලි', 'ද කල්පෙපර් කැට්ල් කම්පනි' වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කෙරූ 'ඩික් රිචඩ්ස්' ගේ අතට ගියේය. මේ අතර නිෂ්පාදක රිචඩ් ඩී සනූක්, හා ඩේවිඩ් බ්‍රවුන්, වෙනුවෙන් 'ද ෂුගර්ලෑන්ඩ් එක්ස්ප්‍රස් ' චිත්‍රපටය අධ්‍යක්ෂණය කෙරූ එවකට 26 හැවිරිදි 'ස්ටීවන් ස්පීල්බර්ග් ' ට මෙම 'ජෝස්' චිත්‍රටය අධ්‍යක්ෂණය කිරීමට දැඩි උවමනාවක් තිබුණි. ඔහු නිෂ්පාදකවරුන් සමඟ දිර්ඝ ලෙස මේ පිළිබඳව කථා කළද, ඔවුන් කියා සිටියේ මෙය අධ්‍යක්ෂණය කිරීමට ඩික් රිචඩ්ට භාර දෙන බවකි. නමුත් කිසියම් හේතුවකින් ඩික් රිචඩ් ද මෙය අධ්‍යක්ෂණය කිරීම අත් හැරීය. ඒ හේතුවෙන් චක්‍රය ස්පීල්බර්ග් වෙතම කැරකී ආවේය. 1973 ජූලි මාසයේදී නිෂ්පාදකවරු වූ රිචඩ් ඩී සනුක් හා ඩේවිඩ් බ්‍රවුන් , ස්ටීවන් ස්පීල්බර්ග් සමඟ ගිවිසුම් අත්සන් කළහ. ඔහු ඒ වන විට අධ්‍යක්ෂණය කර තිබුණේ 'ඩුවල්' හා 'ද ෂුගර්ලෑන්ඩ් එක්ස්ප්‍රස් ' පමණි. 'ඩුවල්' රූපවාහිනි චිත්‍රපටයක් වූ අතර එය අයත් වූයේ ක්‍රියාදාම චිත්‍රපට ගොන්නටය. 

ස්පීල්බර්ග් ගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය වූ 'ද ෂුගර්ලෑන්ඩ් එක්ස්ප්‍රස් ' තිරගත වීමටත් ප්‍රථම ය ඔහු 'ජෝස්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට අත්සන් කළේ. ' ද ෂුගර්ලෑන්ඩ් එක්ස්ප්‍රස් ' නිෂ්පාදකයන් වූයේ ද, රිචඩ් ඩී සනුක් හා ඩේවිඩ් බ්‍රවුන්ය.

ස්ටීවින් ස්පීල්බර්ග් 'ජෝස්' අධ්‍යක්ෂණය කිරීමට ගිවිසුම් අධ්‍යක්ෂණය කළද, වැඩේ තමා හිතූ තරමි පහසු නොවන බව ඔහුට වැටහුණි. 'ජෝස්' චිත්‍රපටයේ 'මෝරා' ව මෙහෙයවීම 'ඩුවල්' චිත්‍රපටයේ ට්‍රක් එක අධ්‍යක්ෂණය කළාට වඩා අමාරු කාර්යක් බව ඔහුට හැඟුණු හෙයින් ඔහු ව්‍යාපෘතියෙන් අයින් වී ' ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් ' ඔහුට භාරදීමට බලා සිටින 'ලකී ලේඩි' චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට සැරසුණි.

එහෙත් නිෂ්පාදක ඩේවිඩ් බ්‍රවුන් ස්පීල්බර්ගේ බිය නැති කරමින් කෙසේ හෝ 'ජෝස්' අධ්‍යක්ෂණය කිරීමට යළි ඔහුව නතු කර ගතී. ඔවුන් ස්පීල්බර්ග්⁣ට මුලින්ම ඇමරිකානු ඩොලර් මිලියන 3.8 ක ඇස්තමේන්තුවක් දුන් අතර පසුව එය මිලියන 9 දක්වා ඉහළ දැමූ අතර දින 55 ක කාලයක් චිත්‍රපටය රූ ගත කිරීමට ලබා දුනි.

පීටර් බෙන්ච්ලි ලියූ තිර නාටකය ස්පීල්බර්ග් විසින් වෙනස් කර ගත්තේ කාල් ගොට්ලිබ්ට කියාය. මේ හෙයින් නාමවලියේ තිරනාටකය යටතේ පීටර් බෙන්ච්ලි හා කාල් ගොට්ලිබ් ලෙස දෙදෙනාගේම නම් සඳහන් විය. 

නළු නිළි තේරීමේදී ස්පීල්බර්ග් නිෂ්පාදකවරුන්ට අවධාරණයෙන්ම කියා සිටියේ ප්‍රබල හා ජනප්‍රිය නළු නිළියන්ව නොගන්නා ලෙසය. ඔහු කිවේ චිත්‍රපටයේ සුපර් ස්ටාර් විය යුත්තේ 'මෝරා' කියාය. ජනප්‍රිය නළු නිළියන්ව යොදා ගත හොත් ප්‍රේක්ෂකයන් ගේ අවධානය ඔවුන් වෙත හැරීමෙන්, මෙහී ප්‍රධාන චරිතය වූ මෝරා වෙත ඇතිවන අවධානය අඩු වන බවක්ය ඔහු කීවේ. නිෂ්පාදකවරුන්ද එම අදහස අනුමත කළහ. 

ප්‍රධාන චරිතය වූ පොලිස් අධිකාරි මාර්ටින් බ්‍රෝඩී ට රොබට් ඩුවාල් නළුවාව යෝජනා වූවද, රොබට් එම චරිතය භාර ගත්තේ නැත. ඉන්පසු චාර්ල්ස්ටන් හෙස්ටන් ගැන අවධානය යොමු වුණද, ඒ වන විට ඔහු ලෝකය තුළ දැවැන්ත ප්‍රතිරූපයක් නංවා තිබූ හෙයින් එම තේරීම යටපත් විය. රෝයි ශෙයිඩර්, මෙම චරිතය ස්පීල්බර්ග් ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් ස්පීල්බර්ග් රෝයි ශෙයිඩර් රළු චරිතයක් රඟපෑ 'ද ෆ්‍රෙන්ච් කනෙක්ෂන්' චිත්‍රපටය නරඹා තිබූ හෙයින්, එවන් චරිතයක් රඟපෑ මොහුට, මෙම චරිතය රඟපෑමට හැකිවේදැයි යන කුකුස ස්පීල්බර්ග් ට ඇතිවුණි. 

රූගත කිරීමට දවස් නමයක් තිබියෙදීත් 'කුයින්ට්' හා 'හූපර්' ගේ චරිතයන්ට කිසිවෙක් තෝරා ගෙන තිබුනේ නැත. ලී මර්වින් හා ස්ටර්ලින්ග් හෙයිඩන් එම චරිත දෙක වෙනුවෙන් තෝරා ගැන්මට අදහස් කළද එය සාර්ථක වූයේ නැත. නිශ්පාදකයන්වූ සනූක් සහ බ්‍රවුන් ඔවුන්ගේ 'ද ස්ටින්ග්' චිත්‍රපටයේ රඟපෑ 'රොබට් ශෝ' ව ස්පීල්බර්ග්ට යොමු කළේ කුයින්ට් ගේ චරිතයට ඔහු සුදුසුදැයි බැලීමටය. නමුත් රොබට් ශෝ එම චරිතය රඟපෑමට අකමැති විය. ඒ ඔහු 'ජෝස්' නව කථාවට අකමැති නිසාය. නමුත් ඔහුගේ බිරිඳ හා ඔහුගේ පුද්ගලීක ලේකම් ඉල්ලා සිටියේ ඔහුට එම චරිතය භාර ගන්නා ලෙසටය. ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් වූ 'ෆ්‍රොම් රෂියා විත් ලව්' චිත්‍රපටයට ඔහුව තෝරා ගන්නා විටදීත් ඔහු එය ප්‍රතික්ෂේප කළ විට, එදාත් ඔහුගේ බිරිඳ හා පුද්ගලීක ලේකම්වරිය ඉල්ලා සිටියේ එම චරිතය රඟපාන ලෙසටය. එසේ රඟපෑමේදි ඔහු ලද ජනප්‍රියත්වය ඉතාමත් ඉහළ වූ අතර, ඔහුට ඉන්පසු දැඩි ඉල්ලුමක් ඇති විය. මෙවරද ඔවුන් දෙදෙනා ඉල්ලුවේ 'ජෝස්' හී කුයින්ට් ගේ චරිතය රඟපාන ලෙසටය. ඒ හෙයින් ඔහු එම චරිතය රඟපෑමේ ආරාධනා ව පිළිගති.

'හූපර්' ගෙ චරිතයට ස්පීල්බර්ග් නළුවන් කීප දෙනෙක්වම පරික්ෂා කළේය. ඒ අතර ප්‍රබල නළුවන් වූ ජෝන් වොයිට්, ජැන් මයිකල් වින්සන්ට්, කෙවින් ක්ලයින්, ජොයෙල් ග්‍රේ, හා ජෙෆ් බ්‍රිජස් විය. ඒ අතරේදී ස්පීල්බර්ග්ගේ යහළුවෙකු වූ ජෝර්ජ් ලූකස් නමැති අධ්‍යක්ෂක වරයා ඔහුගේ 'ඇමරිකන් ග්‍රැෆිටි' චිත්‍රපටයේ රඟපාන 'රිචඩ් ඩ්‍රේෆස්' යන නළුවාව යෝජනා කළේය. ඩ්‍රේෆස් එහී රඟපෑමට කැමති වූවද, ඔහුට එහී රඟපෑම ගැන යම් අස්ථීර බවක් තිබුණේ ඒ වන විට ඔහු රඟපෑ 'ද ඇප්‍රෙන්ටිස්ශිප් ඔෆ් ඩඩී ක්‍රවිට්ස්' චිත්‍රපටය අසාර්ථක වී තිබූ නිසාය. ස්පීල්බර්ග් ඔහුට කීවේ ' ජෝස්' තිර නාටකය නොකියවන ලෙසටය. පසුව ස්පීල්බර්ග් එහී එන හූපර්ගෙ චරිතය රිචඩ් ඩ්‍රේෆස් යන නළුවාගේ රඟපෑම් වලට ගැළපෙන සේ තිරනාටකය සකස් කළේය. ලොරේන් ගැරී, මරේ හැමිල්ටන්, කාල් ගොට්ලිබ් , ජෙෆ්රි ක්‍රාමර්, සූසන් බෑක්ලයින්, ලී ෆෙිරෝ, වැනි නළු නිළියන් සෙසු චරිත වලට රඟපෑ අතර, ඔවුන් වෘත්තිමය නළු නිළියන් වූවද, විශාල ජනප්‍රියත්වයකින් හෙබි තරු නොවීය. මෙහී වි⁣⁣ශේෂත්වය වූයේ 'ජෝස්' කෘතිය ලියූ පීටර් බෙන්ච්ලි ද මෙහී සම්මුඛ සාකච්ඡා පවත්වන්නෙක් ලෙස චරිතයක් රඟපෑමය. රෝයි ශෙයිඩර් ප්‍රධාන භූමිකාව වූ පොලිස් අධිකාරිවරයා වූ මාර්ටින් බෙුා්ඩි ගේ චරිතය ට තෝරා ගති.

'ජෝස්' හී සුදු මෝරා ට ජීවමාන සුදු මෝරෙක් ගෙන පුහුණු කිරීමට මුලින්ම නිෂ්පාදක වරුන් අදහස් කර සිටියද, එය ප්‍රායෝගිකව කිරීම පහසු නොවන බවක් ඔවුනට පසුව වැටහුණි. අන් අතකට 'ජෝස්' චිත්‍රපටයේ එන සියලුම මුහුදු දර්ශන හොලිවුඩ් චිත්‍රාගාරයේ විශාල වතුර ටැංකිවල රූ ගත කිරීමට ස්පීල්බර්ග් කැමති නොවීය. ඔහුට අවශ්‍ය වූයේ එම සියලු දර්ශන මුහුදේම රූ ගත කිරීමටය. එහෙයින් මොවුන් ඇමරිකාවේ ,මැසචූසෙට්ස් හී මාර්තාස් විනෙයාඩ් දූපතේ මූලික රූ ගත කිරීම් පටන් ගතී. ඒ 1974 මැයි මස 2 වන දිනය. 

කෘත්‍රිම ⁣සුදු මෝරා සඳහා ගෑස් පොම්ප කිරීමෙන් ක්‍රියා කරන විශාල 'ඩමියක්' සෑදීමට නිෂ්පාදන හා තාක්ෂණ කණ්ඩායම අදහස් ක⁣ළහ. සුදු මෝරා ඩමිය අඩි 300 ක් දිගු විය. ඔවුන් එවැනි විශාල 'ඩමි' දෙකක් සෑදීය. එක් මෝරෙක් කැමරාව වම්පසින් සිට දකුණු පසට ඒමත්, අනෙක් මෝරා මුහුදු පතුළේ සිට උඩට මතුවන ආකාරයටත් එක්වරම රූ ගත කිරීමට පහසු වන අන්දමට ⁣ය එලෙස ඩමි දෙකක් නිර්මාණය කළේ. එකම සුදු මෝරාව ඩමි දෙකක් ආධාරයෙන් පෙන්වීමය එයින් අදහස් කළේ. මෙම සුදු මෝරාව නිර්මාණය කළේ චිත්‍රපටයේ කලා නිර්මාණය කළ ජෝ අල්වෙස් ය. මෙම මෝරා සෑදීමට එමෙන්ම එහී කාර්මීක වැඩ කිරීමට පමණක් 40 කට අධික කාර්මීකයන්ගේ සේවය ලබා ගතී. එම කාර්මීකයන් ට උපදෙස් දෙමින් පාලනය කළේ බොබ් මැටීය. '20,000 ලීගස් අන්ඩර් ද සී' චිත්‍රපටයේ යෝධ දැල්ලන්ව නිර්මාණය කළේ ඔහුය. ඔවුන් මෝරන් දෙදෙනාව නිර්මාණය කළ පසු ඒවා විශාල ට්‍රක් රථ ආධාරයෙන් රූ ගත කරන ස්ථානයට රැගෙන ගියහ. ක්‍රියා කරන්නන් (ර්‍ණනඥපචබධපඵ) 14 දෙනෙක් මෝරාගේ චලනයන් පාලනය කිරීමට සිටියහ. ඇත්තෙන්ම මෙය සිතුවාටත් වඩා දැවැන්ත කාර්යක් විය. එවකට අවුරුදු 26ක් වයසැති ස්ටීවන් ස්පීල්බර්ග්ට මෙය ඔරොත්තු නොදෙන තත්වයක් විය. අන් අතකට මුහුදේ රූ ගත කිරීම් කරන විට පවා ස්පිල්බර්ග් නොයෙකුත් ප්‍රශ්න මෙන්ම අපහසුතාවයන්ට මුහුණ දුනි. බොහෝමයක් එසේ සිදුවූයේ ඔහුට ඒ වන විට එතරම් පළපුරුද්දක් නොතිබුණු නිසාය. ඇමරිකානු ඩොලර් මිලියන 3.8 ට ඇස්තමේන්තු කළ මෙම සිනමා ව්‍යාපෘතිය ඩොලර් මිලියන 9 දක්වා වැඩි වුණේ ඒ නිසාය. ස්පීල්බර්ග් චිත්‍රපටය පටන් ගත්තේ හරි හමං තිරනාටකයක් නොමැතිවය, නිසි ලෙස නළු නිළියන්ව තෝරා නොගෙනය. එලෙසම මෝරෙකුත් නොමැතිවය. මෙහී රඟපෑමට තෝරා ගත් රිචඩ් ඩ්‍රේෆස් නැමති නළුවා තම මාධ්‍ය සාකච්ඡාවකදී මෙසේ කීවෙිය. 'We started the film without a script, without a cast, and without a Shark'.

මුහුදේ රූ ගත කරන විට, ස්පීල්බර්ග් මුහුණ දුන් විශාලතම ප්‍රශ්නය වූයේ කැමරා කරන රූප රාමුවට කෙළවරෙන් හා පිටුපසින් බෝට්ටු ගමන් කිරීමය. ඔහුට ඒවා නැවත්වීමට අයිතියක් තිබුණේ නැත. මුහුදේ යෑම් ඊම් කා හටත් කළ හැකිය. එහෙයින් එසේ වෙනත් වෙනත් බෝට්ටු යාම් ඊම් කරන විට ඔහුට සිදුවුණේ රූ ගත කිරීමි නවතා ඒවා නොපෙනී යන තෙක් බලා සිටීමය. තව බොහෝ අවහිර තා සිදුවිය. විශේෂයෙන් මෝරා ඩමිය මුහුදට දැමු පසු නොයෙකුත් තාක්ෂණීක දෝස, මෙන්ම කාර්මික දෝෂ මතුවන්නට විය. විශේෂයෙන් මෝරා සාදා ඇති ද්‍රව්‍ය , මුහුදු ලුණු වතුරට එක් එක් වෙනස් කම් සිදුවීමේ තර්ජනයට ස්පීල්බර්ග් ට මුහුණ දෙන්නට සිදු විය. ඔහුගේ කාර්මික හා තාක්ෂණීක ශිල්පින් එය යථා තත්වයේම තබා ගැන්මට ඉමහත් වෙහෙසක් දරන්නට සිදුවිය. 

මුහුදේ දවසට පැය 12 ක් වැඩ කළද, ස්පීල්බර්ග්ට ඒ පැය 12 තුළ හරි විදියට වැඩක් කර ගත හැකි වූයේ පැය 4 ක් පමණි. අනෙක් පැය 8 ම ඔහුට මුහුණ දීමට සිදුවූයේ මුහුදේදී ඇතිවන බාධක ඉවත් කිරීමට හා මෝරා ඩමි නිසි ලෙස පාලනය කිරීමය. ස්පීල්බර්ග් තම මුහුදේ රූ ගත කිරීම් පිළිබඳව මෙසේ කීවේය.

'. 'I thought my career as a filmmaker was over. I heard rumours... that I would never work again because no one had ever taken a film 100 days over schedule.  (අපට හොඳ දවස්වලට රූ ගතකිරීම් කාණ්ඩ 5 ක් කිරීමට හැකි වුණා. සාමාන්‍ය දිනවල රූ ගත කිරීම් කල හැකි වූයේ කාණ්ඩ 3යි. නරක දවස් වලට එකක් වත් කිරීමට නොහැකි වුණා.) 

තිරනාටකය රූ ගත කිරීමි අතරවාරයේ විටින් විට වෙනස් කළේය. ඔවුනට තිබුණු විශාලතම අභියෝගය වූයේ කෘත්‍රිම සුදු මෝරාව, ජිවමාන සක්‍රිය මෝරෙක් කිරීමය. ප්‍රේක්ෂකයා ට මෙය ඩමි මෝරෙක් බව කිසිසේත් නොහැඟෙන ලෙස නිර්මාණය කළ යුතුය. මෝරාගේ දිය යට හෝ දියෙන් මතු පිට හැසිරෙන ආකාරය, විටෙක නිසල බව හා විටෙක රළු බව , මෙන්ම මුහුදේදී කිසිවෙක් ඩැහැ ගත් පසු මෝරා එය මුහුදු පතුලටම ඇද ගෙන ගොස් හැසිරෙන ආකාරය අතීශයින්ම ස්වභාවික ලෙස ප්‍රේක්ෂකයන් ට ඒත්තු ගැන්වීම නම් අභියෝගයක්මය. මේ හෙයින් ඔහුට පීටර් බෙන්ච්ලි හා කාල් ගොට්ලිබ් එක්ව ලියූ තිර නාටකය පමණක් නොව, බෙන්ච්ලිගේ පොතේ ඇතැම් කරුණුද තමන්ට අවශ්‍ය ලෙස වෙනස් කළේය. එයට ප්‍රධානම නිදසුනකි මැට් හූපර්ගේ චරිතය. එය පීටර් බෙන්ච්ලි ගේ පොතේ තිබුණේ හූපර් මුහුදේ කූඩුවකට කොටුවී, හිරවී සිටින විට සුදු මෝරා පැමිණ කූඩුව කඩා දමා, හිරවී සිටි මැට් හූපර්ව මරා දැමීමය. එහෙත් ස්පීල්බර්ග් මැට් හූපර්ගේ චරිතය මරා දැමුවේ නැත. ඔහු එතැනට ත්‍රාසය ඔබ්බවා හූපර් මෝරා සමඟ සටන් කර මෝරාගෙන් බේරී පලා යන ආකාරයට වෙනස් කළේය. 

චිත්‍රපටය නිම කිරීමේ කාලය වූයේ දින 55 කි. එහෙත් ස්පීල්බර්ග් ට සම්පූර්ණ රූ ගත කිරීම් නිම කිරීමට දවස් 159ක් ගත විය. එය ඔහුගේ වෘත්තිමය චිත්‍රපට අධ්‍යක්ෂණය ට බලවත් පහරක් වනු ඇතැයි ඔහු සිතීය. ස්පීල්බර්ග් ගේම වචන වලින් කිවහොත් එය මෙසේය. 'I thought my career as a filmmaker was over. I heard rumours... that I would never work again because no one had ever taken a film 100 days over schedule. ( (මම හිතුවෙ මගේ සිනමා අධ්‍යක්ෂක වෘත්තිය මෙතැනින්ම නිම වේ කියාය. මට ඇහුණු ඕපදූපවලින් කියවුනේ මට යළි කිසිදිනෙක චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට නොලැබෙන බවයි. එයට මූලික හේතුව කිසිදු අධ්‍යක්ෂක වරයෙක් දැවැන්ත චිත්‍රපටයක් පවා රූ ගත කිරීම් නිම කිරීමට දින 100 කට වඩා නොගන්නා නිසාය. එහෙත් මා මෙය රූ ගත කිරීම නිම කිරීමට දින 159 ක් ගත්තා'.)

එහෙත් පසුව ස්ටීවන් ස්පීල්බර්ග් ට අධ්‍යක්ෂණය කරන්නට ලැබුණු චිත්‍රපට ගොන්න දෙස බලන විට එම සිතුවිල්ල නිකංම්ම නිකං පුස්සක් පමණි.  

චිත්‍රපටයේ අවසන් දර්ශන පමණක් රූ ගත කළේ කල්වර් නගරයේ තිබෙන මෙට්රො ගෝල්ඩ්වින් මෙයර් චිත්‍රාගාරයේ තිබූ විශාල වතුර ටැංකියේය. හූපර් වතුර යට කූඩුවක හිරවී සිටින විට මෝරා පැමිණ ඔහුව මරා දමන්නට කරන සටන ඔවුන් රූ ගත කළේ මෙම ටැංකිය තුළය. හූපර් ලෙස රඟපෑ රිචඩ් ඩ්‍රේෆස් එම අවස්ථාවේ වතුර යට කුඩුවේ සිටිය යුතු වූවද එයට ආදේශක නළුවන් (Stuntmen) වූ ඩික් වෝ ලොක් හා ෆ්‍රෑන්ක් ජේම්ස් ස්පාර්ක්ස් යෙදවිය.

'ජෝස්' චිත්‍රපටය පටන් ගන්නේ නව එංගලන්තයේ ඇමිටි දූපතේ ඇති මුහුදු නගරයේ 'ක්‍රිසි වට්කින්ස්' නම් යොවුන් තරුණියක් මුහුදේ රාත්‍රි යාමයේ පිහිනන්නට යන දර්ශනයකිනි. මෙය ඇය හා ඇයගේ යහළු යෙහෙළියන් සහභාගි වන මුහුදු සාදයක් අතර තුරේදී සිදුවන සිදුවීමකි. මෙසේ ඇය පිහිනමින් සිටින විට, එක්වරම මුහුද යටින් කිසිවෙක් පැමිණ ඇයව මුහුදු පතුළටම ඇද ගෙන යන්නට විය.  

පසුදින උදයේ ඇයගේ ශරිරයේ ඇතැම් කොටස් වැල්ලට ගසා ගෙන විත් තිබුණි. එම කොටස් රෝහල් පරික්ෂණයට ඉදිරිපත් කළ පසු වාර්ථා වූයේ ඇයව මුහුදු පතුළට රැගෙන ගොස් ඇයව මරා කැබලි කර ඇත්තේ මිනී මෝරෙක් බවය. මේ හේතුවෙන් ප්‍රධාන පොලිස් අධිකාරිවරයා වූ මාර්ටින් බ්‍රෝඩි තීරණය කළේ ඇමිටි දූපතේ ඇති ජනයා ගැවසෙන සියලු මුහුදු තීරයන් වසා දැමීමටය. එහෙත් මේයර් ලැරී වෝගන් පොලිස් අධිකාරිවරයාගෙන් ඉල්ලා සිටියේ් මෙම තීරණය ගැන නැවත සිතන ලෙසටය. හේතුව මේ වසන්ත කාලේ මුහුදු තීරයන්ට එන ජනතාවගෙන් තම නගරයට ලැබෙන ආදායම නැති වෙන නිසාය. එලෙසම මෙයර් වරයා කියා සිටියේ ක්‍රිසි වට්කින්ස් නමැති තරුණිය මිය ගොස් ඇත්තේ මෝරෙකු ඇදගෙන ගිය නිසා නොවන බවත්, එය සිදුවී ඇත්තේ බෝට්ටු අනතුරකින් බවය. පොලිස් අධිකාරිවරයා එය තාවකාලිකව පිළිගෙන මුහුදු තීර වසා දැමීම කල් තැබීය. එහෙත් ඔහුට ඔහුගේ නීතිය ක්‍රියාත්මක කරන්නට සිදුවූයේ ඉන් දින කීපයකට පසු මුහුදු වෙරලේ ජනතාවගෙන් පිරී තිබූ අවස්ථාවක ඔවුන් ඉදිරිපිටදීම මුහුදේ රැල්ලේ සිටි කුඩා ළමයෙකු වූ ඇලෙක්ස් කින්ටර්ව මෝරෙක් පැමිණ මුහුදු පතුළට ඇද ගෙන ගිය නිසාය. අවසානයේදී ක්‍රිසි වට්කින්ස් වත් ඇදගෙන ගොස් තිබෙන්නේ ඒ මෝරාම බව තහවුරු විය.

මේ අතරේදී මුහුදු මසුන් මරන්නෙකු විසින් විශාල මෝරෙක්ව මරා ගෙනවිත් තිබුණි. එම මරා දැමූ මෝරාව දුටු සැණින්ම මෙයර් කීවේ ක්‍රිසී වට්කින්ස් හා ඇලෙක්ස් කින්ටර්ව මරා දැමූ මෝරා ව මසුන් මරන මිනිසෙක් විසින් මරා දමා වැල්ලට ගෙනවිත් ඇති නිසා, දැං මුහුදේ විනෝද වීම අන්ත්‍රාදායක නොවන බවය. එහෙත් පසුව තවත් කීපදෙනෙකු මෝරාගේ ප්‍රහාරවලින් මිය ගියහ. පොලිස් අධිකාරවරයාගේ පුත්‍රයා වූ මයිකල් බ්‍රෝඩී බෝට්ටුවක යන විට මෝරා පැමිණ ඔහුව ඩැහැගෙන ගියේය. තම පුත්‍රයාගේ මල සිරුරේ කැබලි දුටු විට පොලිස් අධිකාරිවරයාට දරා ගැන්මට නොහැකිම විය. එතැන් සිට පොලිස් අධිකාරිවරයා බ්‍රෝඩි , හූපර් හා කුයින්ට එක්වී මෝරා සොයා ගොස් නැති කර දමන්නට අණ කළේය. රාත්‍රිය වන තෙක් බෝට්ටුවෙන් මෝරා සොයා ගියද ඔවුනට මෝරාව හමු වුනේ නැත. රාත්‍රියේ් කුයින්ට් හා හූපර් මධු පානය කරමින් දෙදෙනා බෝට්ටුවේම තර්ක කරමින් සිටින විට බලාපොරොත්තු රහිතව මෝරා මතුවී ඔවුනගේ බෝට්ටුව විනාශ කරන්නට තැත් කළේය. මෝරා බෝට්ටුවේ එන්ජිම ට පහර දී එය කඩා දමා නැවත මුහුදු පතුළට ගියේය. එතැන් සිට කුයින්ට් සහ හූපර් බෝට්ටුවේ එන්ජිම සාදා ගැන්මට වෙහෙස විය. එතැන් සිට ඔවුන් උත්සහා කළේ මෝරාව නැති කිරීමටය. 

චිත්‍රපටය එතැන් සිට ත්‍රාසජනක විය. කුයින්ට්, මෝරා සමඟ තනිවම හැප්පෙන්නට විය.ඔහු කෙසේ හෝ මෝරාව 'බැරල්' එකකට දැමීය. මෝරා එම බැරල් එක කඩා දමා එළියට එන්නට උත්සහා කළේය. දරුණු සටන් කීපයකින් පසු කුයින්ට් ඩයිනමයිට් දමා මෝරා සිටි බැරලය පුපුරවා දමා ⁣සුදු මෝරාව විනාශ කර ,දැමීය.

'ජෝස්' චිත්‍රපටය ලොව පුරාවටම කෙතරම් ජනප්‍රිය වූවාදැයි කිව හොත් ඇමරිකානු ඩොලර් මිලියන 9 ක ඇස්තමේන්තුවට බොක්ස් ඔෆිස් ඉපැයුම වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 476.5 කි. එය තවමත් ලොව වටා ඇති කේබල් නාලිකාවල පෙන්වමින් මුදල් උපයන අතර, ඩී.වී.ඩී. තැටි අලෙවියෙන්ද විශාල මුදලක් උපයනු ලබයි. 'ජෝස්' චිත්‍රපටය වැඩිම ආදායමක් ලද චිත්‍රපටයක් බවට පත් වූ අතර ඒ තත්ත්වය අව්රුදු 2 කක් දක්වා, එනම් 'ස්ටාර්වෝස්' තිරගත වන තෙක් තිබුණි .

1976 පැවැත්වූ ඇමරිකානු ඇකඩමි, ඔස්කාර් සම්මාන උළෙලේ දී 'ජෝස්' චිත්‍රපටයට සම්මාන තුනක් හිමි විය. ඒ හොඳම ශබ්ද පරිපාලනය, හොඳම සංස්කරණය හා හොඳම සංගීතයටය. එය හොඳම චිත්‍රපටයටද නිර්දේශ විය. 

ඉන්පසු 'ජෝස්' චිත්‍රපට මාලාවක්ම තැනිණ. 1978දී 'ජෝස් 2' චිත්‍රපටය ප්‍රදර්ශනය විය. එය අධ්‍යක්ෂණය කළේ ජෙනනට් සස්වර්ක්ය. 1983 දී ජෝ අල්වස්ගේ අධ්‍යක්ෂණයෙන් 'ජෝස් 3 ඩී' බිහිවිය. 'ජෝස් ද රිවේන්ජ්' තිරගත වූයේ 1987 දීය. ඒ ජෝශප් සාජන්ට් ගේ අධ්‍යක්ෂණයෙනි. 'ජෝස් 5' තිරයට පැමිණියේ 'ක්රුවෙල් ජෝස්' නමිනි. එය තිරගත වූයේ 1995 වසෙර්ය. බෘනෝ මැටී එය අධ්‍යක්ෂණය කළේය. තව ඉදිරියටත් 'ජෝස්' චිත්‍රපට බිහිවූවද, ⁣ස්ටීවන් ස්පීල්බර්ග් අධ්‍යක්ෂණය කළ මුල්ම 'ජෝස්' චිත්‍රපටය අබිබවන්නට නම් කිසිවකටත් නොහැකි වේවී.

 

 

[email protected]