වර්ෂ 2023 ක්වූ March 21 වැනිදා Tuesday
ක්‍රිස්තු චරිතය පාදක කොට ගත් නිර්මාණශීලි ඔපෙරාව

නව යොවුන් තරුණ තරුණියෝ කණ්ඩායමක් ඩෙනිම් හා විවිධ ඇඳුම් වලින් සැරසී 70 දශකයට අනුචිත වූ කොණ්ඩා මෝස්තර සකසා බස් රථයකින් කඳුහෙල් ගහන වූ අමුතුම ප්‍රදේශයකට පැමිණෙති. ඔවුන්ගේ බසය උඩ නොයෙකුත් ආම්පන්න අසුරවා තිබුණී. බසය නැවැත්වූ සැණින්ම ඔවුන් කඩිමුඩියේ එයින් බැස අර බසය උඩ තිබූ ආම්පන්න බිමට බාන්නට විය. තරුණයන් මෙන් තරුණියන් ද එකා මෙන් එකී වැඩවලට හවුල් වන්නට විය.
ඉන් සුළු වේලාවකට පසු ඩෙනිම්, හා මෝස්තර ඇඳුම් ගැලවුණි. ඒවා වෙනුවට ලෝගු වැනි ඇඳුම් පැලඳුම් සිරුරට වැටුණි. ඩෙනිම් කලිසම් ඇඳගෙන ආ අය එක් වරම රජවරු,රාජ කුමාරියන්, වැනි ඉතිහාස චරිත බවට පත් විය. තවත් ඩෙනිම් කලිසමක් හැඳ , කොණ්ඩය තරමක් දිගට වවා සිටි සංවර පෙනුමෙන් සිටි තරුණයෙක් ලෝගුවක් සිරුරට දමා ගති. හේ ඔහුව හදුන්වා ගත්තේ 'ජීසස්' යන නමිනි.
1970 වසරේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට පත් වූ ' ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්' චිත්‍රපටය ආරම්භ වූයේ එසේය. නෝර්මන් ජෙවිසන්, හා රොබට් ස්ටිග්වුඩ් එක්ව නිෂ්පාදනයෙන්ද, මෙල්වින් බ්‍රැග් හා නෝර්මන් ජෙවිසන් තිරනාටකයෙන්ද, නෝර්මන් ජෙවිසන් අධ්‍යක්ෂණයෙන්ද ඉදිරිපත් වූ 'ජීසස් ක්‍රයිස්ට් සුපර්ස්ටාර්' රොක් ඔපෙරාවක් සිනමාවට නැංවීමක් විය.
1971 ඔක්තෝබර් මස 12 වන දින, ඇමරිකාවේ මාර්ක් හෙලින්ගර් තියටර් හී, ඇන්ඩෘ ලොයිඩ් වෙබර් සංගීත සැපයූ ටිම් රයිස් ගී රචනා කෙරූ ඔපෙරා ගී ඇල්බමයක් එළි දැක්විය. එය නම් කර තිබුණේ 'ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්' ලෙසටය.
එංගලන්තයේ උපත ලද ඇන්ඩෘ ලොයිඩ් වෙබර් ඉංග්‍රිසි තනු නිර්මණ සංගීතඥයෙක් විය. ඔහු සංගීතවත් කළේ සංගීත ඔපෙරා වේදිකාවන් හීය. ඔහුගේ අවධානයට යොමු වුණු සංගීත සංධ්වනිය වූයේ 'ජෝශප් ඇන්ඩ් ද ඇමේසින්ග් ටෙක්නිකලර් ඩ්‍රීම් කෝට්' ය එය 'පොප් කැන්ටා' එකක් ලෙස හැඳීන්විය. එහී ගීත ලිවේද ටිම් රයිස් ය. එය පාදක කර ගත්තේ බයිබලයේ ආ ජෝශප් ගේ චරිතයයි.
1970 දී ඇන්ඩෘ ලොයිඩ් වෙබර් ' ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්' රොක් ඔපේරා හී සංගීතය සැපයීය. එහී එන සියලුම ගීතවල තනුව යොදා සංගීතය සැපයුවේ ටිම් රයිස්ගේ පද රචනා වලටය. ඉන්පසු ඔහු 'එවිටා'(1976), 'කැට්ස්' (1981), 'ස්ටාර් ලයිට් එක්ස්ප්‍රස්', (1984), 'ද පැන්ටම් ඔෆ් ද ඔපේරා'(1986), 'සන්සෙට් බොලේවාඩ්', (1993), 'ස්කූල් ඔෆ් රොක්' (2015) යන ඔපේරා වලට තනු නිර්මාණය කර සංගීතය සැපයීය. ඒවා 'බ්‍රෝඩ්වේ' තියටර් හරහා වේදිකා ගත වූ අතර මෙම සියල්ලම පාහේ චිත්‍රපටවලට නැංවුණි.
නෝර්මන් ජෙවිසන් කැනේඩියානු ජාතිකයෙකි. වෘත්තිය සිනමා අධ්‍යක්ෂකවරයෙකු වූ ඔහුගේ මුල්ම චිත්‍රපටය වූයේ 1962 වසරේ තිර ගත කළ, ටෝනි කර්ටිස් රඟපෑ 'ෆෝටි පවුන්ඩ්ස් ඔෆ් ට්‍රබල්' ය . ඉන් පසු 'ද ත්‍රිල් ඔෆ් ඉට් ඕල්', ' සෙන්ඩ් මී නෝ ෆලවර්ස්', 'ද ආර්ට් ඔෆ් ලව්', ',ද සින්සින්නෙටි කිඩ්',
' ද රෂියන්ස් ආර් කමිංග්' 'ඉන් ද හීට් ඔෆ් ද නයිට්', 'ද තෝමස් ක්‍රවුන් අෆෙයා' 'ගෙයිලි ගෙයිලි', හා 'ෆිඩ්ලර් ඔන් ද රූෆ්', චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය. 'ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්' ඔහු චිත්‍රපටයකට නැගුවේ ඉන්පසුවය.
එය සිදුවූයේ නෝර්මන් ජෙවිසන් 'ෆිඩ්ලර් ඔන් ද රූෆ්', චිත්‍රපටය රූ ගත කරන අවස්ථාවකය. ඇමරිකානු රංගන ශිල්පි, රචක හා ගායක බැරි ඩෙනන් විසින් නෝර්මන් ජෙවිසන් ට ඇන්ඩෘ ලොයිඩ් වෙබර් විසින් සංගීතය සැපයූ 'ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්', රොක් ඔපේරාවේ ඇල්බමය ඇසීමට ගෙනවිත් දුන්නේ එම ඔපෙරා ඇල්බමයේ පිලාත්ගේ චරිතයට හඬ මුසු කොට තිබුණේ බැරි ඩෙනන් නිසාය. ඩෙනන්ට අවශ්‍ය වී තිබුණේ නෝර්මන් ජෙවිසන් ලවා මෙය චිත්‍රපටයකට නැංවීමටය. එලෙසම එය එසේ චිත්‍රපට ගත කරහොත් එහී පිලාත් රජුගේ චරිතය ඔහුම රඟපෑමටය.
මෙම ඔපෙරා ගීත ඇසුරෙන් ඒ වන විටත් රොබට් ස්ටිග්වුඩ් ගීත නාටකයක් කර වේදිකා ගත කරමින් තිබුණි. නෝර්මන්, රොබට් සමඟ මේ පිළිබඳව දිගින් දිගට කථා කළේය. රොබටි ස්ටිග්වුඩ් 'ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්' ට අමතරව, ගීත වේදිකා නාට්‍ය කීපයක්ම වේදිකා ගත කර තිබුණී. 'හෙයාර්', 'ඕ කල්කටා', 'ද ඩර්ටියස්ට් ශෝ ඉන් ටවුන්', 'සිංග් අ රූඩ් සෝංග්', ඒ අතරේ විය. ඉන් පසුවත් ඔහු ගීත වේදිකා නාට්‍ය කීපයක්ම රඟ දක්වූවේය. ඒවා නම් 'පිප්පින්', 'ජෝන්- පෝල්-ජෝර්ජ්-රින්ගෝ ඇන්ඩ් බර්ට්' , 'එවිටා', 'ස්වීනි ටොඩ් ද ඩෙමන් බාර්බර් ඔෆ් ෆ්ලීට් ස්ට්‍රීට්', සහ 'සැටඩෙ නයිට් ෆීවර්' ය. එලෙසම රොබට් ස්ටිග්වුඩ් ලොව සුපතළ සංගීත කණ්ඩායමක් වූ ඇන්ඩි ගිබ් ගේ 'බීජීස්' ගායක කණ්ඩායමේ කළමනාකරු විය. ඊට අමතරව ගායක, වාදක 'එරික් ක්ලැප්ටන් ගේ 'ක්‍රීමි' සංගීත කණ්ඩායමේද කළමනාකරු වී සිටියේය.
'ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්' චිත්‍රපටයකට නැංවීමේ නෝර්මන් ජෙවිසන් ගේ අදහස රොබට් ස්ටිග්වුඩ් එක හෙළා අනුමත කෙරූවේය. පසුව ඔවුන් දෙදෙනා එක්ව එය නිෂ්පාදනය කිරීම සඳහා එකඟතාවයකට පැමිණියද, ඔවුන්ට මෙය සිනමාවට නැංවීමට එම ගීත නිර්මාණය කෙරූ ඇන්ඩෘ ලොයිඩ් වෙබර් ගෙන් එහී අයිතිය ලබා ගත යුතුව තිබුණි. ඇන්ඩෘ වෙබර් ද, ඔවුනට එය සිනමාවට නැංවීමට කොන්ත්‍රාත්තුවක් මගින් අවසර දුනී.
'ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්', ගීත ඇල්බමය හොඳට ශ්‍රවණය කිරීමෙන්ද, ඒ ආශ්‍රිතව රොබට් ස්ටිග්වුඩ් ගේ ඔපෙරා නාට්‍ය නැරඹීමෙන්ද, නෝර්මන් ජෙවිසන් එක් දෙයක් වටහා ගතී. ඒ, මෙහි ගීත හැරෙන්නට කිසිදු දෙබසක් නැති බවය. ඔවුන්ගේ දෙබස් පවා ඔවුන් පවසන්නේ ගීත රිද්මයෙනි. එසේ නම් මෙය සිනමාවට නංවන විටත් සියලු දෙබස් පැවසිය යුත්තේ ගීත රිද්මය හරහාය. ඇන්ඩෘ වෙබර් එම දෙබස් කාණ්ඩ වලට පවා අපූරු රිද්මයන් එකතු කර තිබුණි. එසේ නම් නෝර්මන් ජෙවිසන්ට තිබෙන්නේ ඒ අනුව රූ ගත කිරීමය. ඔහුගේ 'ෆිඩ්ලර් ඔන් ද රූෆ්' චිත්‍රපටයේද දෙබස් තිබුණේ ගීත රිද්මයෙනි. එහෙයින් 'ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්' චිත්‍රපටය නිර්මාණය කිරීමට ඔහුට විශාල අභියෝගයක් නොවීය.
මෙහී තිර රචනය ලිවීමට නෝර්මන් ජෙවිසන් එකතු කරගත්තේ මෙල්වින් බ්‍රැග් වය. ඔහු ඉතාමත් ජනප්‍රිය නවකථා රචකයෙකි. ඔහු පොත් 40 කට අධික සංඛ්‍යාවක් ලියා තිබුණි. ඒ අතරේ ශ්‍රෙෂ්ඨ නළු 'ලෝරන්ස් ඔලිවියර්' නමින් ඔහුගේ චරිතාපදානයත්, 'රිච්- ද ලයිෆ් ඔෆ් රිචඩ් බර්ටන්' යනුවෙන් ප්‍රකට නළු රිචඩ් බර්ටන්ගේ ජීවිත කථාවද එම පොත් අතරට ඇතුළත් ය.
'ද ඩෙබ්සි ෆිල්ම්', 'ඉසඩෝරා', 'ප්ලේ ඩර්ටි'
'ද මියුසික් ලවර්ස්', යන චිත්‍රපටවල තිර නාටකය ලියුවේ මෙල්වින් බ්‍රැග්ය.එහෙයින් නෝර්මන් ජෙවිසන් , මෙල්වින් බ්‍රැග් වත් හවුල් කරගෙනය 'ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටර්', චිත්‍රපටයේ තිර නාටකය ලිවීය.
චිත්‍රපටයේ විශේෂිතම අංගය වූයේ කැමරාකරණය ය. මුළු චිත්‍රපටයම රඳා පැවතුණේ සංගීතය හා කැමරාකරණය මතය.'ඩග්ලස් ස්ලොකොම්බි', තෝරා ගත්තේ ඒ නිසා වන්නට ඇත.'ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්' චිත්‍රපටයට ඔහුව තෝරා ගන්නා විටත් ඔහුගේ වයස 57 ක් විය. ඒ වන විටත් ඔහු චිත්‍රපට 39 කම ප්‍රධාන කැමරා අධ්‍යක්ෂක වී සිටියේය. ඒ අතරේ 'ෆැදම්', 'ද ලයන් ඉන් වින්ටර්', 'ද ඉටැලියන් ජොබ්', 'ද බටර් කප් චේන්','මර්පීස් වෝ' වැනි චිත්‍රපට ඇතුළත්ය. ඉන්පසුත් ඔහු තවත් චිත්‍රපට 20 ක පමණ, කැමරා අධ්‍යක්ෂණය කළේය. ඒ අතරේ 'රේඩර්ස් ඔෆ් ද ලොස්ට් ආර්ක්', 'නෙවර් සේ නෙවර් අගේන්', 'ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම්', සහ 'ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ලාස්ට් කෘසේඩ්', යන චිත්‍රපට ඇතුළත් වුණි.
රොබට් ස්ටිග්වුඩ් ගේ ඔපෙරා නාට්‍යයට අනුව මෙහී චරිත ගණනාවක්ම තිබුණි. 'ජේසූ ක්‍රිස්තුස්', 'ජුදාස් ඉස්කැරියොට්', 'මරියා මග්දලේනා', 'පොන්ටියස් පිලාතු' 'කයිපාස්' 'සිමෝන් සෙලෝටෙස්', 'හෙරෝද් රජු' 'අන්නාස්' 'පේදුරු' වැනි ප්‍රධාන චරිතවලට නළු නිළියන් තේරීම විශාල අභියෝගයක් විය. ඒ වන විට ඔවුන් තෝරා ගෙන තිබුණේ පොන්ටියස් පිලාත් ගේ චරිතයට පමණි. ඒ 'බැරි ඩෙනන්' වය. එයද සිදුවූයේ මෙය චිත්‍රපටයක් කළ යුතු යැයි යන මූලික අදහස ඔහු ගෙන ආ නිසාත් රොබට් ස්ටිග්වුඩ් ඔපේරාවේ ඔහු පිලාත්ගේ චරිතයට පණ පෙවූ නිසාය.
ඒ හෙයින් නෝර්මන් ජෙවිසන් හා රොබට් ස්ටිග්වුඩ් 'බ්‍රෝඩ්වේ' නාට්‍ය සංගමයේ පිහිට පැතූහ. ඔවුන්ගේ නාට්‍යවල රඟපෑවේ, ලොව දක්ෂ නළු නිළියන් සේම රංගන පාසැල් වලින් පැමිණෙන අතී දක්ෂ ආධුනික නළු නිළියන්ය.
'ටෙඩ් නිලේ', ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඉපදුණු අතර, වෘත්තිය වශයෙන් සඳහන් වනුයේ, සංගීතඥයෙකු, ගායකයෙකු, තනු නිර්මාණ කරුවෙක් , සංගීත තැටි නිෂ්පාදකයෙක් හා රංගන ශිල්පියෙකු ලෙසටය. ඔහු මුලින්ම වඩාත් ප්‍රචලිත වූයේ රොක් ගායකයකු ලෙසය. මුල් කාලයේ 'ඩීප් පර්පල්' නම් රොක් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයෙකු හා ගායකයෙකු ලෙස ඔහු සම්බන්ධ වී තිබුණි.'ඩීප් පර්පල්' කණ්ඩායම ඔවුනගේ අතීශයින් ජනප්‍රිය වූ 'ස්මෝක් ඔන් ද වෝටර්' ගීතයට ලීඩ් ගිටාර් වාදනයෙන් හා ගායනයෙන් ටෙඩ් නිලේ එකතු වී ඇත.
එලෙසම ඔහු 'බ්‍රෝඩ්වේ' නාට්‍ය කණ්ඩායමේ සමාජිකයෙක් විය. නෝර්මන් ජෙවිසන් තම 'ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ ජේසු ක්‍රිස්තුස්ට ටෙඩ් නිලේ ව තෝරා ගත්තේ විවිධ අංශ කරා විහිදී ගිය ඔහුගේ දක්ෂතාවයන් නිසාත් , ඔහුගේ බාහිර පෙනුම ජේසුස් ක්‍රිස්තුස්ගේ පෙනුමට බොහෝ සමාන වූ හෙයිනි. එලෙසම ඔහුගේ ගායන හැකියාව,ඔහුව මෙම චරිතයට තෝරා ගැනීමට තවත් ප්‍රබල හේතුවක් විය. මෙම චිත්‍රපටයට සම්බන්ධ වෙන හැම නළු නිළියෙකුටම තමන්ට ලැබෙන චරිතය ඉදිරිපත් කරන්නට වන්නේ ගායනා කරමිනි. ඒ නිසා ඒ ඒ චරිත වලට තෝරා ගන්නා නළු නිළියන්ට මනා ගායනා හැකියාවක් තිබිය යුතු වේ.
ජුදාස් ඉස්කැරියොට්, ගේ චරිතයට තෝරා ගත් 'කාල් ඇන්ඩර්සන්' ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ උපත ලද,කළු ජාතිකයෙකු විය. ඔහුගේ පූර්ණ වෘත්තිය ලෙස සඳහන් වනුයේ ගායකයෙක් , හා තියටර් හා චිත්‍රපට නළුවෙකු ලෙසය. ඔහුද 'බ්‍රෝඩ්වේ' නාට්‍ය කණ්ඩායමේ ශිල්පියෙකි. ඔහු බ්‍රෝඩ්වේ හී රඟදැක්වූ 'ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්' වේදිකා නාට්‍යයේ රංගන ශිල්පියෙකු වූ අතර, එහී ඔහු රඟපෑවේ 'ජුදාස් ඉස්කැරියොට්' ගේ චරිතයය.එහී රඟපෑ දක්ෂ කම හා ඔහුගේ 'රොක්' ශෛලීය ගායනයේ ඇති අපූර්වත්ය නිසාම 'ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්' චිත්‍රපටයේද 'ජුදාස් ඉස්කැරියොට්' ගේ චරිතයට ඔහු ව තෝරා ගති. එය නම් කදිම තේරිමක් විය. මුලු චිත්‍රපටය පුරාවටම ඉස්මතු වී පෙනුණේ 'ජුදාස්' වූ කාර්ල් ඇන්ඩර්සන් ගේ රඟපෑම හා ගායනයයි.
ඔහු එහී ගැයූ 'හෙවන් ඔන් දෙයාර් මයින්ඩ්ස්' ('Heaven On Their Minds') සහ ' සුපර් ස්ටාර්' ('Super Star') ගීත දෙක චිත්‍රපටයේ වඩාත්ම ආකාර්ෂණීය වූ දර්ශනයන් විය.
ජපන් මවකට හා අයිරිශ් ජාතික පියෙකුට දාව ඉපදුණු 'ඉවෝන් එලිමන් 'ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්' චිත්‍රපටයේ ප්‍රධානතම නිළි චරිතයට තෝරා ගති. ඒ 'මරිය මග්දලේනා' ගේ චරිතයයි. ඇය වෘත්තියම ගායිකාවක් වූ අතර, ලොව ඉහල පෙළේ ගායිකාවන්ගේ 'කැටගෙරියේ' සුවිශේෂ ස්ථානයක් ඇයට තිබුණි. 70 දශකය තුල ඇය ගැයූ, 'ඉෆ් අයි කාන්ට් හෑව් යූ' ('If I Cant Have You') , 'ලව් මී ප්ලීස්'( 'Love Me Please')හා 'හලෝ ස්ට්‍රෙන්ජර්' ('Hello Strenger')
යන ගීත ඇමරිකන් පොප් චාර්ට් හී මාස ගණනක්ම පළමු තැන ලබා තිබුණි. අදටත් එම ගීත අතීශයින් ජනප්‍රිය ය.
ඇය වෘත්තිමය වශයෙන් ගායිකාවක්, ගී රචිකාවක් හා රංගන ශිල්පිනියක් විය. එලෙසම ඇය දක්ෂ පියානෝ හා ගිටාර් වාදිකාවක් විය. 'ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්' චිත්‍රපටයේ ඇය ගේ චරිතය වූ මරිය මග්දලේනා, චිත්‍රපටය පුරාවටම විහිදී යන්නක් විය. එම චිත්‍රපටයට ඇය ගැයූ ගීත අතරින් 'අයි ඩෝන්ට් නෝ හව් ටු ලව් හිම් ' ( 'I dont know how to love him'), 'කුඩ් වී ස්ටාර්ට් අගේයින් ප්ලීස්', ( Could We Start Again Please), 'එව්රිතින් ඉස් ඕල් රයිට්' - ('Everything is All Right'). ඉතාමත් ඉහළ ප්‍රසාදයක් ලබා ගතී.
පොන්ටියස් පිලාත් ගේ චරිතයට 'බැරි ඩෙනන්' ව තෝරා ගත් අතර, අන්නාස් 'කර්ට් යගාජියාන්,ද, හෙරෝද් 'ජෝශ් මොස්ටල් ද, කයිපස් ''බොබ් බින්ගහාම්' ද විය.
මෙම චරිත වලට ඉහත කී නළු නිළියන්ව තෝරා ගැන්මට පෙර, නෝර්මන් ජෙවිසන් එකල ජනප්‍රියම සංගීත ශිල්පින් වූ මික් ජැගර්, ජෝන් ලෙනන්, පෝල් මැකාර්ටිනි, (බීට්ල්ස්), බැරි ගිබ්ස් (බීජීස්), රොබට් ප්ලානට් (ලෙඩ් සැප්ලින්), ඉයන් ජිලාන් (ඩීප් පර්පල්) එක් එක් චරිත වලට තෝරා ගත් අතර, ඉයන් ජිලාන්ව ජේසුස් ක්‍රිස්තුස් ගේ චරිතයට තෝරා ගැනුණි. එහෙත් ඔහු එකල තම 'ඩීප් පර්පල්' සංගීත කණ්ඩායම සමඟ ලෝක සංගීත සංචාරයට ලෑස්ති වී සිටි නිසා ඔහු එම ආරාධනාව ප්‍රතික්ෂේප කළේය. ඉන් පසු මිකි ඩොලන්ස් ('ද මන්කීස්' සංගීත කණ්ඩායම), හා ගායක ඩේවිඩ් කැසිඩි වද ජේසුස් ක්‍රිස්තුස්ගේ චරිතයට ගැනීමට උත්සහ කළේය. ඔය කිසිවෙක් චිත්‍රපටයේ රඟපෑවේ නැත. ඒ අතරේදි නෝර්මන් ජෙවිසන් ට ටෙඩ් නිලේගේ ඒජන්තගෙන් ආරාධනාවක් ලැබුණේ ඇමරිකාවේ ලොස් ඒන්ජල්ස් හී පවත්වන ටෙඩ් නිලේ රඟපාන සංගීත නාට්‍යයක් වූ 'ද හූස් ටොමි' නරඹන්නට. ජෙවිසන් එය නැරඹීම ම සඳහා ඔහු නැවති සිටි කැලිෆෝනියා නගරයේ සිට ලොස් ඇන්ජල්ස් දක්වා රථය පදවා ගෙන ගියේය. එහෙත් එදින රාත්‍රියේ එකී සංදර්ශනය ට ටෙඩ් නිලේ සහභාගි වී තිබුණේ නැත. ඒ එදින ඔහු විවේකයක් ගෙන තිබු අතර, ඔහුගේ චරිතය එදින පමණක් වෙනත් ආදේශක නළුවෙක් රඟපා තිබුණි. එහෙත් පසු දින, ටෙඩ් නිලේ 'ලෙවි' ඇඳුමත් හැඳගෙන බොරු උඩු රැවුල හා බොරු යටි රුවුලත් පැලඳ ගෙන නෝර්මන් ජෙවිසන් නැවතීසිටි හෝටලයට ගියේ පෙර දින රාත්‍රියේ සංදර්ශනයට ඔහු රඟ නොපෑම ගැන සමාව ඉල්ලීමටය. ඔහු සමඟ විනාඩි 20 ක පමණ සාකච්ඡාවක නිරත වුණු නෝර්මන් ජෙවිසන් පසුව තම චිත්‍රපටයේ අනෙක් නිෂ්පාදක හවුල්රුවෙකු වූ පැට් පාර්මර් ට දන්වා යැව්වේ 'මම සෙව්ව ජේසුස් ක්‍රිස්තුස් මට ලැබුණා' කියාය.
ඉන්පසු ප්‍රශ්නය පැන නැඟුණේ වතිකානු නගරයෙනි. ඒ ජුදාස්ගේ චරිතයට කළු ජාතික නළුවෙක්ව තෝරා ගැනීම ගැනය. ඔවුන් කීවේ ජුදාස් ඉස්කැරියොට් යනු කළු ජාතිකයෙකු නොවන වගය. එහෙත් නෝර්මන් ජෙවිසන් කීවේ ඔහු වඩාත්ම උනන්දු වන්නේ රඟපෑමත්, ගායනයත් ගැන බවත්ය. එම කරුණු දෙකම කාල් ඇන්ඩර්සන්ට තිබේ නම් ඔහුව ජුදාස් ගෙ චරිතයට නුසුදුසු වන්නේ මන්ද කියාය. ඒ අතින් බලන කල තනිකරම කළු ඇමරිකානු ජාතිකයෙන්ට හෝ කළු අප්‍රිකානු ජාතිකයන්ට ජේසුස් ක්‍රිස්තුස් තුමාගේ චරිතය පිළිබඳව චිත්‍රපටයක් හෝ නාට්‍යයක් කිරීමට නොහැකි වන්නේ නොවේද කියා ඔහු තර්ක කළේය. එය පිළිගත් වතිකානුව, නෝර්මන් ජෙවිසන්ට, ජුදාස්ගේ චරිතයට කාල් ඇන්ඩර්සන් ව ගැනීම ගැන තිබූ විරෝධය අයින් කර ගතී. ඉන්පසු ප්‍රශ්නය පැමිණියේ මුළු චිත්‍රපටය පුරාම දෙබස් ගීත තුළින් පමණක් ඉදිරිපත් කිරීමත්, ඒවා 'රොක් ශෛලයේ' ගීත වීමත් නිසාය. ජේසුස් ක්‍රිස්තුට රොක් ගීත ගැයීමට ඉඩ දිය හැකිද යන පැනය වතිකානුව තදින්ම මතු කෙරීය. නමුත් ඇන්ඩෘ ලොයිඩ් වෙබර් විසින් නිර්මාණ කර ඇති ගීත සැලකිල්ලට ගත් වතිකානුව, එම ගීත රොක් ශෛලීය වුවත් , කැන්ටන් හා ඔපේරා ශෛලය මිශ්‍ර වී ඇති නිසාත් විශේෂයෙන් ජේසු තුමාට දී ඇති ගීත තුළ රොක්, පොප්,ආර් ඇන්ඩ් බී ගීත ශෛලීය සම්මිශ්‍රණයක් සමඟ එන සංයමය ගිතාවලියක් නිසා ඒ ප්‍රශ්නයෙන් මිදෙන්නට නෝර්මන් ජෙවිසන් ට හැකි විය. ඉන්පසු එහී ආ එක් දර්ශනයක් ගැනද යම් කතිකාවක් විය. ඒ, ජුදාස් පසුපස එලවන යුද ටැංකි පෙළ ඇතුළත් දර්ශනයයි. එය එකිනෙකට නොගැලපුණද, එයින් ගැඹුරු අදහසක් ජනිත විය. ඇත්තෙන්ම එම දර්ශනය ඉතාමත් නිර්මාණශීලි වූ අතර, එකල තරුණ පරපුර, මොනතරම් වෙනස් අයුරින් තම හැකියාවන් විදහා දක්වන්නේද යන්න මෙම දර්ශනයෙන් මොනවට පැහැදිලි විය.
චිත්‍රපටය රූ ගැන්වීම සඳහා ඔවුන් තෝරා ගත්තේ ඉශ්‍රායෙල් කඳවුරු මුලාස්ථාන 4 ක්ය. ජෙරුසලම, නිසල මුහුද (ච්ඥචඤ ඉඥච), බීර්ශෙබා, සහ නාසරේත් අනෙක් රූ ගත කළ ස්ථානයන්ය. චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 3.5 ක ඇස්තිමේන්තුවකට නිර්මාණය කළ අතර, ඉශ්‍රායෙල් රජයද, ඔවුන්ට හැකි පමණින් ආයෝජනයෙන් හා ශ්‍රමයෙන් නෝර්මන් ජෙවිසන් ගේ නිර්මාණ කණ්ඩායමට උපකාර කළ බව පෙනේ.
චිත්‍රපටයේ රූ ගත කිරීම් 1972 වර්ෂයේ අගෝස්තු මස 18 දින 'බීට් ගුබ්රින්' ප්‍රදේශයේ සිට පටන් ගති. බීට් ගුබ්රින් සිට ජෙරුසලම ට තිබුණේ කිලෝ මීටර් 50 ක පමණ දුරකි. රූ ගත නොකරන වේලාවන් වලදී නළු නිළියන් හැසිරුණේ 'හිපීස්' ලා මෙනි. ඔවුන් 'ගෝස්පෙල් ඔෆ් ජීසස් ක්‍රයිස්ට්' ඇල්බමයේ එන ගීත මහා ශබ්දයකින් ගයන්නට විය. එලෙසම ඔවුන් කණ්ඩායම් දෙකකට බෙදී වොලිබෝල් ක්‍රීඩාවේ නිරත වූ අතර, එම කණ්ඩායම් දෙක ඔවුන් නම් කළේ 'ජීසස්' හා 'ජූදස්' යන නම් වලින්ය. ටෙඩ් නිලේ පුවත් පතකට කියා තිබුණේ විවේක අවස්ථාවන් හී ඔවුන් මෙසේ කෙළිදෙලෙන් සිටියද, ජේසු තුමා කුරුසියේ ඇණ ගැසීමට රැගෙන යන අවස්ථාවේ ඔවුන් සියල්ලම තමා පසුපස හඬමින් පැමිණි බවත්, තමාව කුරුසියෙ තබා ඇන ගසන අවස්ථාව රූ ගත කරන විට දී ඔවුන් සත්‍ය ලෙසින්ම හඬා වැලපුණු බවත්ය.
'ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්' චිත්‍රපටය තුල ජේසුස් ක්‍රිස්තුස් ගේ ඉපදීම හා ළමා කාලය ගැන කිසිවක් නොපෙන්වයි. එය ජේසුස් ක්‍රිස්තුස්ගේ තරුණ අවධිය සිට පටන් ගත් එකකි. ජෝන් ද බැප්ටිස්ට් ගෙන් ස්නානය කිරීම, තම ගෝල බාලයන් තෝරා ගැනීම, දෙවියන් වහන්සේ ගේ පණිවිඩය ජනගත කිරීම, ප්‍රාතිහාර්ය පෑම, රාජ උදහසට ලක්වීම,අන්තිම රාත්‍රී භෝජනය, මල් උයනේ යාච්ඥාව, ජුදාස්ගේ පාවා දීම, පිලාත් රජු ලඟට ගෙන යෑම, හෙරෝද රජ ළඟට යෑම, කස පහරවල් වලට ලක්වීම, කුරුසිය කර තබාගෙන කපාල කන්ද තෙක් ගමන් කිරීම, සිමෝන් සිරනෙස් ටික දුරක් කුරුසිය කර තබාගෙන යාම, කුරුසියේ ඇණ ගැසීම, කුරුසියේ උකුත් වීම, ගල්ලෙනෙහි නිසල සිරුර තැන්පත් කිරීම, මළවුන්ගෙන් නැගිටීම, උත්ථානය වීම, මේ සියලු සිදුවීම් මාලාව ඒ අයුරින්ම ඉදිරිපත් කෙරුණද, ඒ සියල්ලම ගීතමය ශෛලයෙන් කිරීම සුවිශේෂත්වයක් විය. එහී ගීතමය දෙබස් වලට වඩා ඔවුන් තැන දුන්නේ ගීත වලටය. විශේෂයෙන් ම කාල් ඇන්ඩර්සන් ගායනා කෙරූ 'හෙවන් ඔන් දෙයා මයින්ඩ්ස්' (Heaven on their Minds), 'සුපර් ස්ටාර්', ( Super Star), 'ඩැම්න්ඩ් ෆො ඕල් ටයිම් / බ්ලඩ් මනී ('Damned For All Time / Blood Money.) එමෙන්ම ටෙඩ් නිලේ ගායන කෙරූ 'වට්ස් ද බස්' (Whats the buzz), 'පුවර් ජෙරුසලම්' (Poor Jerusalem), 'ගෙත්සෙමෙනි- අයි ඔන්ලි වෝන්ට් ටු සේ' ( Gethsemane -I only want to) ' ද කෘසිෆික්ෂන්' ( The Crucifixion) හා ඉවෝන් එලිමන් ගැයූ 'එව්රිතින්ග්ස් ඕල් රයිට්' (Everythings All Right) , 'අයි ඩෝන්ට් නෝ හව් ටු ලව් හිම්', (I dont know how to love him),' කුඩ් වී ස්ටාර්ට් එගේන් ප්ලීස්( Could We Start Again Please) ) වැනි ගීත මුළු චිත්‍රපටයම දැඩි ලෙස ආකර්ෂණය කෙරීය.
'ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්' චිත්‍රපටය ප්‍රදර්ශනය වූ පසු එය ප්‍රේක්ෂකයන් කුමන අයුරකින් පිළිගනීවිද යන සැකය නිෂ්පාදන කණ්ඩායමට ඇතිවීම ස්වභාවික වුවද, නෝර්මන් ජෙවිසන් ට නම් සිනමා පටය නිම කෙරූ පසු ඒ ගැන ලොකු සැකයක් ඇති නොවුණි. ඇමරිකානු ඩොලර් මිලියන 3.5 ක ඇස්තිමේන්තුවකට නිර්මාණය වූ චිත්‍රපටය මුල් වටයේම ඩොලර් මිලියන 24.5 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තැබූ අතර එය 2022 වසර වන විට ඩොලර් මිලියන 71.1 උපයා තිබුණි. එය ඇමරිකාවේ, හා කැනඩාවේ එම වසරේ ඉහළම ආදායමක් ලද සංගීතමය චිත්‍රපටය බවට පත් විය. 'ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්' චිත්‍රපටය ලංකාවේද ප්‍රදර්ශනය කළේය. ඒ කොල්ලුපිටියේ ලිබර්ටි සිනමා ශාලාවෙිදීය. එහීදීද යම් යම් අර්බුදකාරි තත්වයන් ඇති විය. කතෝලික පියතුමන්ලා මෙම චිත්‍රපටය නැරඹීම වැළැක්වීම පිණිස ටිකට් පෝලිමේ සිටි අයට අත් පත්‍රිකා බෙදන්නට විය. ඔවුන් කීවේ චිත්‍රපටය තුළින් ජේසු තුමාගේ චරිතය විකෘති කර ඇති බවය. එහී, ජේසු තුමා 'රොක්" ගීත ගායනා කරන බවක් පවසමින් තරමක ආන්දෝලනයක්ද ඇති කළේය. එහෙත් බොහෝ අය මෙම චිත්‍රපටය නැරඹු අතර, බහුතරය සංගීතයට ලැදි ප්‍රේක්ෂකයන් විය. 'රොක්' ගීත ඇසීමට ප්‍රිය කළ අයට අමතරව, ' පොප්', 'ඔපේරා' රෙගී, ආර් ) බී, කන්ට්‍රි , රොක් ඇන්ඩ් රෝල්, ගෝස්පෙල්, වැනි ගීත ප්‍රිය කල අයද මෙම චිත්‍රපටය නරඹා ඉහළ ප්‍රතිචාර දැක්විය. 'ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්' චිත්‍රපටය ලංකාවේ සැලකිය යුතු ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් නරඹා තිබුණි.
'වුඩ් ස්ටොක්', 'කොන්සට් ෆො බංග්ලාදේශ්' 'සැටඩේ නයිට් ෆීවර්' ' ග්‍රීස්', 'ෆැලෑෂ් ඩාන්ස්', 'ෆුට් ලූස්' 'ඇබා ද මූවි' 'ස්ටෙයින් අලයිව්' 'ෆාස්ට් ෆෝවඩ්', වැනි සංගීතමය චිත්‍රපට පවා ආදරයෙන් වැලඳ ගත් අපූරු ප්‍රේක්ෂක පිරිසක් ලංකාවේ 70-80 දශකයෙ සිටියහ. ඒ පිරිසම 'ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්ස් ' ඉමහත් සේ අගය කරමින්, එය කීප වතාවක්ම නරඹන්නට වූ අතර, එකල ලංකාවේ ඉංග්‍රීසි ගී ගයන ගායක කණ්ඩායමක් වූ 'ඇමේසින් ග්‍රේස්' 'ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්' රොක් ඔපේරාව, කොළඹ නවරගහලේ, ඉමහත් ප්‍රතිචාර මත රඟ දැක්වූ අතර, එහී ආ සියලුම ගීත ඔවුන් ඒ අයුරින්ම ගායනා කළහ.
'ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්' චිත්‍රපටය අවසානය ඉතාමත් නිර්මාණශීලි විය. ජේසුස් ක්‍රිස්තුස්ගේ කථාව ගලාගෙන ගොස්, එතුමාව කුරුසියේ ඇණ ගසා, මිය ගිය පසු කුරුසියෙන් බා ගල්ලෙනේ තැන්පත් කර, එකී ක්‍රියාවලිය අවසන් කෙරූ පසු එසේ රඟ දැක්වූ සියලුම නළු නිළියන් තමන් එතෙක් ඇඳ සිටි ලෝගු, රජ ඇඳුම් ගලවා නැවත ඩෙනිම් කලිසම් හා සුපුරුදු විලාසිතා ඇඳුම් වලට මාරු විය. ඉන් පසු රැගෙන ආ ආම්පන්න යළි බසයේ උඩ තට්ටුවට අඩුක් කළහ. සියල්ලෝම පෙර ආ පරිදි යළි බසයට නැග්ගහ. සියලු දෙනාම බසයට නැග්ගද, එක් අයෙක් පමණක් බසයේ සිටියේ නැත.ඒ ජේසුස් ක්‍රිස්තුස් ගේ චරිතය රඟපෑ ටෙඩ් නිලේ ය. ඒ වෙනුවට අප බසයේ කව්ළුව තුළින් දකින්නේ ඇත කපාල කන්දේ ඇති හිස් කුරුසයි. ජේසුස් ක්‍රිස්තුස්ට රඟපෑ ප්‍රධාන නළු ටෙඩ් නිලේ බස් රථයේ නොමැති වීම සමඟින් ඈත පෙනෙන හිස් කුරුසිය සංකේතවත් කෙරෙනුයේ කුමක්දැයි බුද්ධිමත් ප්‍රේක්ෂකයා ට වටහා ගැන්මට ඉතිරි කිරීමෙන් 'ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්' චිත්‍රපටය නිමා වේ.