වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
පිය-පුතු ආදරයක කතාව

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හදවතට දැනෙන ආදරය සමඟ අපේ ජීවිතවල ඉටු දෙවියන් වන්නේ අපගේ මව්පියන්ය. මව හැරුණු කොට සඟවා ගත් ආදරයේ උරුමක්කාරයා තාත්තා ය. ලොවට නොපෙන්නුවද පියෙකුගෙ හදවතේ ඇති දරු සෙනෙහස මෙතරම් යැයි මනින්නට නොහැකිය. දසමාසයක් කුස හොවා දරුවන් නොවැදුවත්, ලේ කිරි කර නොපෙව් නමුත් දරුවන්ගේ ජීවිතවල සියලුම බරපැන තම කර මත තබාගෙන ඔවුන් උස්මහත් වන තුරු කිසිඳු අඩුපාඩුවක් නොදීමට වගබලාගත්තේ පියවරුය. ඒ කෙසේ නමුත් මව්පියවරුන් වෙන් වූ තැන අසරණ වූවෝ දරුවෝය.
මව්පියන්ගේ දික්කසාදයෙන් වසර කිහිපයකට පසු දහහත් හැවිරිදි නිකලස් මිලර් හට තවදුරටත් තම මව වන කේට් සමඟ සිටීමට නොහැකි බව හැඟේ. ඔහුගේ පියා පීටර් මිලර් ඔහුගේ නව සහකාරිය බෙත් සහ ඔවුන්ගේ දරුවා සමඟ කාර්යබහුල ජීවිතයක් ගත කරයි. මේ අතර නිකලස් තම පියා වන සමඟ ජීවත් වීමට තීරණය කරයි. පීටර්, නිකලස් රැකබලා ගැනීමට උත්සාහ කරන්නේ ඔහුගේ පියා ඔහු රැකබලා ගත් පරිදිය. නමුත් අතීතයේ වැරදි නිවැරදි කර ගැනීමට යාමෙන්, වර්තමානයේදී පීටර් හට අසීරුතා රැසකට මුහුණදීමට සිදු වේ.
පිය - පුතු සබඳතාවය ගැන වූ මෙම සංවේදී කතා පුවත ගෙන එන්නේ ප්‍රංශ ජාතික නවකතා රචකයකු, අධ්යක්ෂවරයකු වන ෆ්ලෝරියන් සෙලර් සහ බ්‍රිතාන්‍ය ජාතික තිරරචක ක්‍රිස්ටෝපර් හැම්ප්ටන්ගේ තිර රචනයකින් සෙලර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ද සන්’ චිත්‍රපටයෙනි. එය 2018 වසරේදී අධ්යක්ෂ සෙලර් එනමින් නිර්මාණය කළ වේදිකා නාට්‍යයක් ඇසුරෙන් නිර්මාණය වූවකි. තවද ‘ද සන්’ චිත්‍රපටය 2020 තිරගත වූ සෙලර්ගේ අධ්‍යක්ෂණයක් වන 'ද ෆාදර්' චිත්‍රපටයේ පසුවිපරමක් ලෙස දිග හැරේ. හියු ජැක්මන්, ලෝරා ඩර්න්, වැනේසා කර්බි, හියු ක්වාර්ෂි, ඇන්තනි හොප්කින්ස් චරිත නිරූපණය කරන මෙහි නිකලස්ගේ චරිතයට පණ පොවන්නේ සෙන් මැක්ග්රාත්ය. ජෝර්ජ් කොබෙල් තරුණ නිකලස් මිලර් ලෙස රංගනයෙන් එක් වේ.
‘ද සන්’ චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වූයේ පසුගිය සැප්තැම්බර් 07 වැනිදා 79 වැනි වැනිස් අන්තර්ජාතික චිත්‍රපට උලෙළේදීය. ලබන වසරේ 2023 ජනවාරි 20 වැනිදා එක්සත් ජනපදයේ නිකුත් කිරීමට පෙර හෙට (නොවැම්බර් 25) නිව්යෝර්ක් නගරයේ සහ ලොස් ඇන්ජලීස් හි සතියක් පුරා ‘ද සන්’ චිත්‍රපටයේ සීමිත දර්ශන වාර කිහිපයක් නිකුත් කිරීමට සෝනි පික්චර්ස් ක්ලැසික්ස් සැලසුම් කර ඇත.