ප්‍රේමයෙන් උමතු වූ මිනිසකුගේ වෙනස් වීම

නොවැම්බර් 24, 2022

 

ෆ්‍රෙඩී ගින්වාලා දන්ත වෛද්‍යවරයෙකි. කම්පන සහගත අතීතයක් ඇති ඔහු තම කුඩා ගුවන් යානා සමඟ සෙල්ලම් කිරීමට ප්‍රිය කරන සමාජීය වශයෙන් අන් සමඟ සිටීමට අපහසු පුද්ගලයෙකු ද වේ. ඔහුට සිටින එකම මිතුරා ඔහුගේ සුරතල් කැස්බෑවා වන 'හාඩි' ය. ෆ්‍රෙඩී ආදරයෙන් බැඳී සිටින්නේ විවාහක කාන්තාවක් වන කයිනාස් සමඟිනි. කයිනාස්ගේ සැමියා ප්‍රශ්න රැසකට මැදි කරන ෆ්‍රෙඩී ඇය විවාහ කර ගැනීමට අසාමාන්‍ය ක්‍රමයක් සොයා ගනී. නමුත් ඒ සමඟ ඔහුගේ ජීවිතය ද උඩු යටිකුරු කරන පෙරළියක් ඇති වේ.

ප්‍රේම සම්බන්ධයක්, පාවාදීමක් සමඟ සාමාන්‍ය මිනිසෙකු අසාමාන්‍ය වෙනස් වීම ගෙන එන ෆ්‍රෙඩීගේ කතාව දිග හැරෙන්නේ ෆ්‍රෙඩී හින්දි චිත්‍රපටයෙනි. මෙහි දන්ත වෛද්‍ය ෆ්‍රෙඩී ගින්වාලාගේ චරිතයට පණ පොවන්නේ බොලිවුඩ් නළු කාර්තික් ආර්යන්ය. කයිනාස්ගේ චරිතයට පණ පොවනු ලබන්නේ අලායා එෆ් විසිනි.

ආදරය සහ උමතුව සමඟ ත්‍රාසය පිරි අනපේක්ෂිත සිදුවීම් රැසකින් පිරී ෆ්‍රෙඩී චිත්‍රපටය පිළිබඳ අදහස් දක්වමින් කාර්තික් මෙසේ පැවසීය. "නළුවෙකු ලෙස මා සෑම පියවරකදීම මගේ හැකියාවන්ට අභියෝග කරනවා. ෆ්‍රෙඩී සංකීර්ණ පිටපතක්. ඒ වගේම දන්ත වෛද්‍ය ෆ්‍රෙඩී ගින්වාලා අසාමාන්‍ය චරිතයක්. ඒ නිසා මෙම චරිතය වෙනුවෙන් ශාරීරිකව හා මානසිකව ද මට වෙනස් වෙන්න සිදු වුණා. ඇත්තටම මෙම චරිතය මගේ රංගන ජීවිතයේ වෙනස් පැත්තක් ගවේෂණය කිරීමට උපකාරී වූ බව කීවොත් වඩා නිවැරදියි. මේ සමඟ මට මගේ අඳුරු පැත්ත ගවේෂණය කිරීමට අවස්ථාව ලැබුණේ පළමු වතාවටයි."

ශෂංක ගෝෂ් විසින් අධ්‍යක්ෂණය කරන ලද ප්‍රේමණීය, ත්‍රාසජනක චිත්‍රපටයක් වන ෆ්‍රෙඩී දෙසැම්බර් 2 වැනිදා ඩිස්නි ප්ලස් හොට්ස්ටාර් හි නිකුත් වීමට නියමිතය.

 

[email protected]