වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
බ්ලැන්ක්ගේ තවත් වික්‍රමයක්

“ඔබ සැම මම මගේ දිවයිනට සාදරයෙන් පිළිගන්නවා. අද රෑ මෙහි මිනීමැරුමක් සිදුවෙනවා. ඒ වෙන එකක් නොවේ.. මගේම ඝාතනය”. තාක්ෂණික කර්මාන්ත හිමි ප්‍රකෝටිපතියෙකු වන මයිල්ස් බ්‍රොන් ඔහුගේ පුද්ගලික ග්‍රීක දිවයින වන Glass Onion වෙත සාදයක් සඳහා කැඳවන මිතුරන් මෙසේ අමතයි. “ඔබ මිය ගිය පසු, අපට තවමත් ඔබ සමඟ කතා කිරීමට හැකි වේවිද?” එක් මිතුරෙක් විහිළුවෙන් අසයි. “නැතුව ! මම මුළු සති අන්තයේම මැරිලා ඉන්නේ නැහැ. මේක ක්‍රීඩාවක්”. බ්රෝන් ක්‍රීඩාවේ නීති හෙළිකරමින් පවසයි. “දිවයින පුරාම මම ඉඟි සඟවා තියෙනවා. ඔබද එකිනෙකා සමීපව නිරීක්ෂණය කළ යුතු වනවා. මිනීමරුවා කවුරුන් දැයි නම් කරන පළමු තැනැත්තා ක්‍රීඩාවෙන් ජයග්‍රහණය කරනවා. කවරෙකුට හෝ තරගයේ නීති රීති ගැන යම් ප්‍රශ්නයක් තිබේද..?” අසමින් බ්රෝන් නිහඬ වේ. තරගකරුවෝ සියල්ලෝම විනෝදයෙන් තරගයට සූදානම් වෙති.
කෙසේ නමුත් ඔවුන්ගේ විනෝදය පවතින්නේ සුළු කාලයකට පමණි. සියල්ලෝම තිගැස්සී යන්නේ බ්රෝන් පැවසූ ආකාරයට සත්‍ය වශයෙන්ම එදා රාත්‍රියේ මිනීමැරුමක් සිදුවීමත් සමඟය. සාදයට සහභාගී වන මිතුරන් අතරේ ප්‍රසිද්ධ රහස් පරීක්ෂක බෙනොයිට් බ්ලැන්ක් ද සිටී. මිනීමරුවා සොයාගැනීම ඔහුගේ අරමුණ බවට පත් වේ.
මෙසේ දිගහැරෙන Glass Onion :A Knives Out Mystery ඇමරිකානු මිනීමැරුම්-අභිරහස් චිත්‍රපටයකි. රෙයින් ජොන්සන් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද මෙය ජොන්සන් සහ රාම් බර්ග්මාන් සම නිෂ්පාදනය කර ඇත. 2019 තිරගත වූ Knives Out චිත්‍රපටයේ එන බෙනොයිට් බ්ලැන්ක් නම් රහස් පරීක්ෂකවරයාගේ තවත් වික්‍රමයක් ලෙස දිග හැරෙන මෙහි, ඔහුගේ චරිතයට පළමු චිත්‍රපටයේ ලෙසම ප්‍රවීණ නළු ඩැනියෙල් ක්‍රෙග් විසින් පණ පොවනු ලැබේ. එබ්වර්ඩ් නොර්ටන්, ජැනෙල් මොනේ, කැතරින් හාන්, ලෙස්ලි ඔඩොම් ජුනියර්, ජෙසිකා හෙන්වික්, මෙඩෙලින් ක්ලයින්, කේට් හඩ්සන් ඇතුළු පිරිසක් චිත්‍රපටයේ සෙසු චරිතයට පන පොවති.
2019 දී Knives Out ප්‍රවර්ධනය කරන අතරතුර, ජොන්සන් අනුප්රාප්තියක හැකියාව ගැන ඉඟි කළේය. 2020 දී, ඔහු ක්‍රේග් සමඟ කතාවක වැඩ කරමින් සිටින බව තහවුරු විය. 2021 මාර්තු මාසයේදී නෙට්ෆ්ලික්ස් විසින් Knives Out හි අනුප්‍රාප්තික කොටස් දෙකක අයිතිය ඩොලර් මිලියන 469 කට මිලදී ගන්නා ලදී. රූගත කිරීම් ග්‍රීසියේ ස්පෙට්ස් දූපතේ සිදු විය. නොවැම්බර් 23 වැනිදා සිට තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටය ගැන රොට්න් ටෝමැටෝස් අඩවියේ පොදු විචාරය මෙලෙස පවසයි. “ආකර්ෂණීය නළු නිළි කැලක් විසින් ඔපවත් කරන ලද මෙම චිත්‍රපටයෙන් බෙනොයිට් බ්ලැන්ක් තවත් විනෝදාත්මක අභිරහසක් සඳහා ඔබව කැඳවයි.”