යුද භටයන්ගේ බිහිසුණු හා විනෝදකාමී ජීවිත ගැන කියැවෙන

THE DEVIL'S BRIGADE
නොවැම්බර් 17, 2022

ඇමරිකානු නවකථාකරුවෙකු සේම, ඉතිහාස කථා රචකයෙකු වූ රොබට් එච්. ඇඩ්ලෙමන් 1966 දී දෙවැනි මහා ලෝක යුද්ධය ගැන අලළා නවකථාවක් රචනා කර එය ප්‍රසිද්ධ අලෙවියට යොමු කළේය. මෙය උණු කැවුම් මෙන් විකිණී ගියේය. රොබට් එච් ඇඩ්ලෙමන් ලේඛකයෙකු මෙන්ම වෘත්තියෙන් ව්‍යාපාරකයෙකු වූ නිසා යුද්ධ කථාවක් ලිවීමට අත්දැකීමක් නොවීය. එහෙයින් ඔහු තම හිතමිත්‍ර ඇමරිකන් යුධ හමුදාවේ කර්නල් වරයෙකු වූ ජෝර්ජ් වෝල්ටන්ව මෙම නවකථාවට හවුල් කර ගතී. වෝල්ටන් දෙවන මහා යුද්ධයේ බලසේනාවෙ සිටි කෙනෙක් නිසා ඇඩ්ලෙමන් ට තම කථාව එකී සත්‍ය සිදුවීම් ඇසුරින්ම ලියන්නට වාසනාව ලැබුණි.

ඇමරිකානූ චිත්‍රපට නිෂ්පාදකයෙකු වූ ඩේවිඩ් එල් වොල්පර් මුලින් කළේ වාර්ථාමය චිත්‍රපට වුවද, පසුව ඔහු වෘත්තාන්ත චිත්‍රපටයක් කිරීමේ දැඩි ආශාවෙන් සිටියේය. රොබට් එච්. ඇඩ්ලෙමන් ලියූ 'ද ඩෙවිල්ස් බ්‍රිගේඩ්' නවකථාව ඔහුට ලැබුණේ ඔය අතර වාරයේය. එය කියවූ පසු ඔහුට සිතුණේ මෙය චිත්‍රපටයකට නැඟීමට වඩාත් සුදුසු කථාවක් ලෙසටය.

ඩේවිඩ් වොල්පර් වාර්තාමය චිත්‍රපට නිෂ්පාදකයෙකු වූවද, 'ඩෙවිල්ස් බ්‍රිගේඩ්' සත්‍ය කථාවක් නිසා බොහෝ අය සිතුවේ ඔහු එය වාර්තාමය ස්වරූපයෙන් කෙරෙනු ඇතැයි කියාය. එහෙත් ඔහු කීවේ තමා කරන්නට යන්නේ දිගු වෘත්තාන්ත චිත්‍රපටයක් නිසා එය සත්‍ය කථාවක් වූවද එය විනෝදාත්මක එමෙන්ම කුතුහලය දනවන චිත්‍රපටයක් විය යුතු බවය. ඔහු 1966 දීම ඇඩ්ලෙ⁣මන් හා ⁣වෝල්ටන් ලියූ ' ඩෙවිල්ස් බ්‍රිගේඩ්' පොතේ අයිතිය තමා සතු කර ගති.

යුනයිටඩ් ආර්ටිස්ට් චිත්‍රපට සමාගම මෙම චිත්‍රපටය වෙනුවෙන් මුදල් යොදවන්නට කැමති විය. නිෂ්පාදක ඩේවිඩ් වොල්පර් මෙහි තිර රචනය ලිවීමට භාර කළේ විලියම් රොබට්ස් ටය. ඒ වන විට ඔහු කෙනත් විලියම් හෙච්ලර් 1957 දී ලියූ 'ද බ්‍රිජ් ඇට් රිමේජන්' නවකථා පොතේ අයිතියද තමා සතු කර ගෙන තිබූ අතර, එය පසුව එනම් 1969 දී ජෝන් ගුයිලර්මින් ලවා අධ්‍යක්ෂණය කළේ ජෝර්ජ් සීගල්, රොබට් වෝග්න් යන නළුවන් යොදවාය.එහී තිරනාටකය ලීවේද විලියම් රොබට්ස් මය.

විලියම් ⁣රොබට්ස් 'ද මැටිං ගේම්' චිත්‍රපටයේ තිර නාටක රචකයා වූ අතර, ඔහුගේ තිර රචනා අතරින් වඩාත් ජනප්‍රිය වූයේ ජෝන් ස්ටර්ජස් අධ්‍යක්ෂණය කෙරූ යූල් බ්‍රයිනර්, ස්ටීව් මැකුවීන්, චාර්ල්ස් බ්‍රොන්සන්, එලී වොල්ච් රඟපෑ 'ද මැග්නිෆිසන්ට් සෙවන්' චිත්‍රපටය ය. 'ද වන්ඩර්ෆුල් වර්ල්ඩ් ඔෆ් ද බ්‍රදර්ස් ග්‍රිම්', 'රයිඩ් ද හයි කන්ට්‍රි,' 'පොසි' ඔහු ලියූ අනෙක් චිත්‍රපට තිර නාටකයන් ය.

නිෂ්පාදක ඩේවිඩ් වොල්පර් 'ද ඩෙවිල්ස් බ්‍රිගේඩ්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට භාර කළේ ඇන්ඩෘ මැක්ලැග්ලන් ටය. 1956 දී 'ගන් ද මෑන් ඩවුන්' චිත්‍රපටයෙන් අධ්‍යක්ෂණය ට පිවිසුණු ඇන්ඩෘ මැක්ලැග්ලන් පසුව 'මෑන් ඉන් ද වොල්ට්', 'ද ඇබ්ඩක්ටර්ස්', 'ෆ්‍රෙක්ලස්', ද ලිට්ල් ශෙපර්ඩ් ඔෆ් කිංග්ඩම් කම්', 'මැක්ලින්ටොක්', 'ශෙනාන්ඩෝ', 'ද රෙයාර් බ්‍රීඩ්', 'මන්කීස් ගෝ හෝම්', 'ද වේ වෙස්ට්', 'ද බැලඩ් ඔෆ් ජොසී' යන චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබුණි. ඔහුගේ චිත්‍රපට ලැයිස්තුව දෙස අවධානයෙන් බලන විට ඔහු බොහෝ විට අධ්‍යක්ෂණය කර ඇත්තේ බටහිර ගොපලු චිත්‍රපට ය. 'ද ඩෙවිල්ස් බ්‍රිගේඩ්' ඔහුගේ 12 වන අධ්‍යක්ෂණය විය.

විලියම් හෝල්ඩන් යන ප්‍රකට නළුවාව මෙහී ප්‍රධාන චරිතය වූ කර්නල් රොබට් ෆෙඩ්රික් ගේ චරිතයට තෝරා ගති. ඔහු 1966 ඔක්තෝබරයේදී එම චරිතය රඟපෑම සඳහා ගිවිසුම් අත්සන් කළේය. ඩේවිඩ් නිවන් හා ඩෑන් බ්ලොකර් ටද මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකකට තෝරා ගත්තද, කුමක් හෝ හේතුවක් නිසා ඔවුන් 'ද ඩෙවිල්ස් බ්‍රිගේඩ්' චිත්‍රපටයට එකතු වූයේ නැත. එකල ඇමරිකාවේ දක්ෂ එමෙන්ම ලොව ජනප්‍රියව සිටි පා පන්දු ක්‍රීඩක⁣යෙකු වූ පෝල් හොනුන්ග්, හා බොක්සිං චැම්පියන් ශූරයෙකු වූ ජීන් ෆුල්මර් ද මෙහී අතිරේක චරිතවලට එකතු කර ගත්තේ ඒ සමයේ ලෝකය තුළ ඔවුන් ලද ජනප්‍රියත්වය නිසාය.

විලියම් හෝල්ඩන් ඇමරිකානු හොලිවුඩ් සිනමාවේ රඟපෑමට එකතු වූයේ 1938 වසරේ තිරගත කළ 'ප්‍රිසන් ෆාම්' චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපාමිනි.1939 තිර ගත වූ 'ගෝල්ඩන් බෝයි' චිත්‍රපටයේ ඔහුට සැලකිය යුතු නාමික චරිතයක් වූ ජෝ බොනපාට් රඟදැක්වීමට ලැබුණද, එහී දැන්වීම් පෝස්ටරයේ නම් ඔහුගේ රුව සඳහන් කර තිබුණේ නැත. එම වසරේම තිර ගත වූ 'ඉන්විසිබල් ස්ට්‍රයිප්ස්' චිත්‍රපටයේ දෙවනි ප්‍රධාන චරිතය වූ 'ටිම් ටේලර්'ලෙස රඟපෑ විලියම් හෝල්ඩන් ප්‍රථම වරට චිත්‍රපට පෝස්ටරයට තම මුහුණ දමා ගැන්මට වරම් ලැබුණි. 1940 දී තිරගත වූ හාස්‍යමය චිත්‍රපටයක් වූ 'දෝස් වර් ද ඩේස්' චිත්‍රපටය විලියම් හෝල්ඩන්ගෙ ප්‍රථම ප්‍රධාන චරිතය රැගත් චිත්‍රපටය විය. එතැන් සිට ඔහු චිත්‍රපට 50 ක පමණ රඟපා තිබූ අතර, 'ද ඩෙවිල්ස් බ්‍රිගේඩ්' ඔහුගේ 51 වෙනි ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපටය විය. ලංකාවේ ප්‍රේක්ෂකයන් ට විලියම් හෝල්ඩන්ව මතක හිටින්නට ඔහු රඟපෑ චිත්‍රපට ගණනාවක්ම 'ද ඩෙවිල්ස් බ්‍රිගේඩ්' චිත්‍රපටයට පෙර හා පසුව තිරගත විය. එයින් 'සන්සෙට් බොලිවාඩ්', 'ස්ටැලග් 17' යන චිත්‍රපට මුලින් තිර ගත වූවද, 1960 දශකයේ තිරගත වූ ' ද බ්‍රිජ් ඔන්ද රිවර් ක්වායි' චිත්‍රපටය හා ඔහු රඟපෑ කොමාන්ඩර් ෂියර්ස් ගේ චරිතය ලාංකික ප්‍රේක්ෂකයන් ට කිසිදිනෙක අමතක නොවීය. මෙම චිත්‍රපටයේ රඟපෑම සඳහා ඔහු ලංකාවටද පැමිණ සිටි බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි. එහෙයින් විලියම් හෝල්ඩන් ලාංකික ප්‍රේක්ෂකයන් ට ඉතාමත් සමීප නළුවෙකි. ඔහු රඟපෑ 'ද වයිල්ඩ් බන්ච්', 'ද ක්‍රිස්ට්මස් ට්‍රී', 'වයිලඩ් රෝවර්ස්', 'ද රිවෙන්ජර්ස්', 'ද ටවරින් ඉන්ෆර්නෝ', 'නෙට් වර්ක්', 'ඩේමියන් ඔමෙන් 2', 'අශාන්ති', 'වෙන් ටයිම් රෑන් අවුට්', වැනි චිත්‍රපට ලංකාවේ ප්‍රදර්ශනය වුණි.

විලියම් හෝල්ඩන් මුලින්ම හොඳම නළුවා සඳහා ඔස්කාර් ඇකඩමි සම්මානයට නිර්දේශ වූයේ 1949 දී ඔහු රඟපෑ ජෝන් ගිලිස්ගේ චරිතය රැගත් 'සන්සෙට් බොලේවාඩ්' චරිතය සඳහාය.

1952 දී තිරගත වූ 'ස්ටැලග් 17' චිත්‍රපටයේ සාජන්ට් ජේ.ජේ.සෙෆ්ටන් ගේ චරිතය වෙනුවෙන් ඔහු මුලින්ම හොඳම නළුවා ලෙස ඔස්කාර්, ඇකඩමි සම්මානයට පාත්‍ර විය. යළි ඔහු හොඳම නළුවා ලෙස ඇකඩමි සම්මානයට නිර්දේශ වූයේ මැක්ස් ෂුමැචර් චරිතය ටය. ඒ 1976 දී තිරගත කළ 'නෙට් වර්ක්' චිත්‍රපටයටය. විලියම් හෝල්ඩන් ගේ අවසන් චිත්‍රපටය වූයේ 1981 දී තිරගත කළ 'එස්.ඕ.බී' චිත්‍රපට යය. පුරා අවුරුදු 43 ක් ඔහු චිත්‍රපට 70 ක පමණ රඟපෑ අතර එයින් 65 ක පමණ රඟපෑවේ ප්‍රධානතම චරිතයන්ය. 1981 නොවැම්බර් 12 වන දින ඔහු මියයන විට ඔහුගේ වයස අවුරුදු 63 ක් පමණි. ඔහුගේ මරණයද එක්තරා අන්දමකට අභිරහසක් විය. ඔහු මිය ගොස් තිබෙන්නේ ඔහුගේ නිවස තුලම ඇද වැටී ඔහුගේ හිස තම ඇඳේ අයිනේ තිබූ මේසයේ හැපීමෙනි. එම අවස්ථාවෙදී ඔහු අධික ලෙස බීමත්ව සිටි බවක් කියවේ. ඔහු මිය ගිය බව දැනගෙන තිබුණේ එම සිදුවීම සිදුවී දින 4 කට පසුවය. එය සිය දිවි නසාගැන්මක් බවටය බොහෝ මත පළ කළේ. කාලයක සිට ඔහු පෙනහළු පිළිකාවකින් පෙළෙමින් සිටි බවත්, එයින් මිදීමට නොහැකි වූ නිසා ඔහු එසේ සිය දිවි හානි කර ගත් බවද කියවේ. එහෙත් ඔහුගේ මරණ සහතිකයේදී ඔහුට එසේ පෙණහැලි පිළිකාවක් තිබු බවක් සනාථ කර තිබුණේ නැත. ඔහුට දිවි නසා ගැන්මට තරම් තිබූ ප්‍රශ්න කුමක්ද? නැත්නම් සත්‍ය වශයෙන්ම ඔහු ඇදවැටි හිස හැප්පී මිය ගියාද කියා කිසිවෙක් දැන සිටියේ නැත. ඔහු මිය යනවිට අධික ලෙස බීමත් වී සිටි බවක් නම් සනාථ වී තිබුණි. කෙසේ වෙතත් 'ද ඩෙවිල්ස් බ්‍රිගේඩ්' චිත්‍රපටයේ පූර්ණ ජීවය වූයේ නම් විලියම් හෝල්ඩන්මය.

මෙහී තවත් අපුරූ චරිතයක් තිබුණි. එය ප්‍රේක්ෂක ආකර්ෂණය දැඩිව දිනාගත් චරිතයකි. ඒ කෝප්රල් සාර්ජන්ට් 'පීකොක්' ගෙ චරිතය ය. එය විටෙක රළුය , නමුත් බොහෝ විටෙක හාස්‍යමය ය. හමුදා භටයන් ගෙන් නිතරම 'බයිට්' වෙන චරිතයකි එය. එහෙත් අවසානයේදී එය ඉමහත් සංවේදී වේ. මෙය දක්ෂ ලෙස රඟපෑවෙ 'ජැක් වොට්සන් ' නැමති නළුවාය.

චිත්‍රපටයේ කථාවෙ, කාල වකවානුව වූයේ 1942 වර්ෂය ය. එය 2වන ලෝක

මහා යුද්ධය සමයයි. බ්‍රිතාන්‍යයේ අද්මිරාල් ලෝඩ් ලුවිස් මවුන්ට්බැටන් විසින් යුධ දෙපාර්තමේන්තුවේ කාර්යාලයේ සිටි ඇමරිකන් ලුයිතන් කර්නල් රොබට් ටී ෆෙඩ්රික්ව,තෝරා ගත්තේ ඒ වන විට නෝර්වේ රටේ ලැගුම් ගෙන සිටි ජර්මන් නාසි හමුදාව පලවා හරින්නටය. කර්නල් රොබට් ෆෙඩ්රික්ට යුධමය අත්දැකීම් නොතිබුණද, ලුවිස් මවුන්ට්බැටන්වරයා ඔහු ගැන දැඩි විශ්වාසයක් තිබුණි. එයට ඇමරිකාවෙන් හා කැනඩාවෙන් ඒකාබද්ධ හමුදාවක් ඔහුට ලැබුණි. ඇමරිකාවෙන් ඔහුට ලැබුණු හමුදාවේ බොහොමයක් සිටියේ හමුදාවේ එක් එක් වැරදි වලට අසුවී හමුදා සිර කඳවුරේ සිටි හමුදා සිර කරුවන්ය.

ඔවුන් පැමිණියේ දුම්රියෙනි. ඒ පැමිණි මොහොතේ පටන් ඔවුන් අතරේ රණ්ඩු සරුවල් විය.ඔවුන් අතරේ කැපී පෙනුණු චරිතයකි කෝප්රල් රොක්වෙල් රොක්මන් හෙවත් 'රොකි'. හැම රණ්ඩුවක්ම මුලින් පටන් ගන්නේ ඔහුය. ඉන්පසු හේතුවක් ඇතිව හෝ නැතිව ඔවුන් ගුටි ඇන ගනී. ඇමරිකාවෙන් ඒ භ⁣ට හමුදාව අතර කිසිදු විනයක් නොතිබුණද, ඔවුහු ඉමහත් විනෝදයෙන් සිටියහ. කෙතරම් ගුටි ඇන ගත්තද, ඔවුන් ඊළඟ විනාඩියේදී යළි හිතවත් වේ.

කැනේඩියානු හමුදාව පැමිණියේ ඔය අතරේදීය. එය මෙහෙය වූයේ කර්නල් පීකොක්ය. කැනේඩියන් හමුදාව අතරේ හොඳ විනයක් තිබුණද, ඔවුන් ඇමරිකානු හමුදාව ට එකතු වූ පසු ඔවුනගේ විනයද නැති විය. ඇමරිකානු හමුදාව හා කැනේඩියානු හමුදාව එකට එක්වී සිටින විටද ඔවුන් අතරේ සණ්ඩු සරුවල් ඇතිවිය. ඒවා බොහොමයක් හාස්‍ය පදනම් කර ගත් 'ගෝරි'ය. මුලින් මුලින් ඇමරිකානුවන් හා කැනඩියානුවන් අතරේ හේතුවක් ඇතිව හෝ නැතිව ගහ මරා ගැනීමට සැරසුණද, ඒවා තිබුණේ යුද්ධය ඇරඹෙන තෙක් පමණි. ජර්මන් හමුදාව හා යුද්ධ කරන විට නම් ඇමරිකානුවන් හා කැනේඩියානුවන් එකට එකතු විය. කර්නල් රොබට් ෆෙඩ්රික්ට තිබූ අපහසුම දෙය මේ ඇමරිකානුවන් හා කැනේඩියානු යුධ භටයන් අතරේ ඇතිවෙන සණ්ඩු සරුවල් බේරිමටය. එහී උච්චතම රණ්ඩුව සිදුවූයේ හමුදා අවන්හල තුළය. ඒ යුද්ධයට යෑමට දින කීපයකට පෙර දුන් සාදය දිනයේය. එදින හමුදා භටයන්ව සන්තෝෂ කිරීමට සුන්දර යුවතියන් කීප දෙනෙක්වද ගෙනවිත් තිබුණි. එයට ලෝක පාපන්දු ශූරයා සහ බොක්සිං ශූරයාද පැමිණ තිබුණි. රණ්ඩුව පටන් ගත්තේ ඔවුන් හරහාය. ඔවුන් දෙදෙනා තමන්ගේ ලොකු කම් හා වීරකම් හමුදා භටයන්ට පෙන්වන්නට යාමෙදිය මෙම සණ්ඩුව ඇති වූයේ. එයද ආරම්භ කළේ රොකීය. එය සාදය අනිත් පැත්ත පෙරළුවා පමණක් නොව, හමුදා අවන්හලට දරුණු ලෙස අලාබ හානි සිදුවිය. වීදුරු ජනෙල් බොහොමයක් බිඳී ගියේය.බොහෝ අය සිටියේ බීමත් වය. කර්නල් රොබට් ෆෙඩ්රික් ඔවුන්ව පෙළ ගස්වා, ඔවුනට දිය යුතු දඬුවම කීවද , ඒවා බොහොම පුංචි දඬුවම්ය. මොනදේ කළත් කර්නල් රොබට් ෆෙඩ්රික් මේ ඇමරිකානු හා කැනෙඩියානු හමුදා භටයන් සමඟ ඇති කර ගෙන තිබුණේ ඉතාමත් සුහද සම්බන්ධතාවයකි. අවන්හලේ සිදුවූ සණ්ඩුවෙන් 15 දෙනෙක් පමණ තුවාල වී හමුදා රෝහලේ නවතා තිබුණි. ඇමරිකානු ඩොලර් 3000ක් පමණ අලාභහානියක් හමුදා අවන් හලට ඔවුන් අතින් සිදුවුණිද, කර්නල් ඔවුන්ගෙන් අය කර ගැන්මට නියම කළේ මාසේ පඩියෙන් ඩොලර් එකක් වැනි මුදලකි. සණ්ඩු කෙරුවාට උදේට පිට්ටනිය වටා රවුමක් දුවන්නට කීවේය. ඔවුන් ඒ රවුම හැමදාම දුවන බවද කර්නල් දැන ගෙන සිටියේය. එලෙසම රාත්‍රිය ගෙවන තෙක් ශබ්ද කිරීම හා ගීත ගැයීම සම්පූර්ණයෙන්ම තහනම් කළද, ඒවා කර්නල් කීවේ අඩ සිනාවකින් මුව සරසා ගෙනය. කර්නල් එසේ දඬුවම් නියම කර නික්ම යන විටම සියලු යුධ භටයන් උස් හඬින් ගායනා කළේ

 


'He is a Jolly Good Fellow
He is a Jolly Good Fellow
He is a Jolly Good Fellow
No one can deny' යන හමුදා ගීතයයි.

 

යුද්ධයට යාමට පෙර හමුදා භටයන්ට පුහුණුවක් දුනි. හැතැප්ම 30ක් තම බෑග් වල කිලෝ ගණන් ගල් පුරවා ගෙන කඳු නැගීම එම පුහුණුවට අයිති විය. එලෙසම කඹවල එල්ලි එහා පැත්තට මාරු වීමද එයට ඇතුළත් විය. පීකොක් එසේ ඒ කඹයේ එල්ලී මාරුවන විට රොකි විසින් කඹය කුඩා පිහියක ආධාරයෙන් කපා දමා පීකොක් ව පහළ තිබූ මඩවලට වට්ටවා සියල්ලෝම විනෝද වීම වැනි දේ සිදු වූයේ ඔවුන් එම පුහුණු වීම් ඉතාමත් විනෝදයෙන් කෙරූ නිසාය.

ඔවුනගේ පුහුණු වීම් කාලය අවසන් වූ පසුව යුද්ධයට යන්නට ලෑස්ති වන කාලයේ, කර්නල් රොබට් ෆෙඩ්රික්ට හමුදා මූලස්ථානයෙන් හදිසි පණිවිඩයක් පැමිණයේ යුද්ධයට යෑම නතර කරන ලෙසටය. මෙි සියලු දෙනාටම දින කීපයක සිටම දුෂ්කර පුහුණුවක් ලබා දී ඔවුන්ව යුද මානසිකත්වයෙන් තබා ගෙන සිටින විට, මුලස්ථානයෙන් යුද්ධයට යන්නට එපා කිව් විට ඇතිවූ මානසික පසු බැස්ම සමනය කර ගැන්ම වස් කර්නල් රොබට් ෆෙඩ්රික් මුලස්ථානය බලා ගියේ මේ පිළිබඳ හරි තොරතුරක් දැන ගැන්මටය. එහිදී ඔහුට දැන ගන්නට ලැබුණේ නෝර්වේවල නාසි ජර්මන් හමුදාව හා සටන් කිරීම බ්‍රිතාන්‍ය තම අතට ගත් නිසා, එතනදී ඇමරිකානුවන්ට කළ හැකි දෙයක් නොවන බවය. කර්නල් මොන තරමි පෙරැත්ත කලත් හමුදා මූලස්ථානයේ ඉහළ තනතුරු දරන අයට කල හැකි දෙයක් නොවීය. අපේක්ෂා බංගව ආපසු හැරී යාමට සැරසුණු කර්නල්ට තවත් එක් උසස් නිලධාරියෙක් කර්නල්ගෙන් ඇසුවේ තමන්ගේ හමුදාවේ භටයන් කොතෙක් සිටිනවාද, ඔවුන් කොතෙක් පුහුණු වීම් කර ඇත්ද යන්නය. කර්නල් සියලු විස්තර ඔහු හට ලබා දුන් පසු ඔහු කිවේ ඉතාලි මිෂන් එක භාර ගන්නට කියාය. එනම් ඉතාලියේද නාසි ජර්මන් හමුදාව රැඳී ඇති බවත්, ඉතාලිය ඔවුන්ගෙන් බේරා ඔවුන්ව පලවා හැර දෙන ලෙසටය. කර්නල් එම 'මිෂන්' එක භාර ගතී. එතැන් සිට ඔවුන් ජර්මන් හමුදාවෙන් ඉතාලිය බේරා ගන්නා හැටි සැලසුම් කර, කැලෑ මාර්ගයෙන් ඉතාලියට හොර රහසේ ඇතුල් විය. එසේ ඇතුල් වන විට එක එක උප්පරවැට්ටි හරහා ජර්මන් හමුදා භටයන් ව මරා දැම්මේය. ජර්මන් කුඩා හමුදාවක් පා ගමනේ යන විට, ඔවුන්ගෙ පිටු පස්සෙන් පැමිණි කර්නල් ෆෙඩ්රික් ගේ භටයන් ඔවුන් දෙන්නා දෙන්නා උස්සන් යෑමත් ,අවසානයේදී මුලින්ම සිටින ජර්මන් භටයා පිටුපස්සෙන් කිසිදු ශබ්දයක් නොමැති හෙයින් පිටු පස හරවා බලන වි⁣ට කිසිවෙක් නොමැති වීම, වැනි හාස්‍යමය සිදුවීම් සමුහයක් අතරින් මෙම 'බැටල්' එක ගෙන යාම, ප්‍රේක්ෂකයන් ව අමානන්දයට පත් කෙරීය. එලෙසම සටනේදී පීකොක් වෙඩි වැදී මිය යාම, හා ඔහුව සුව කර ගැන්ම⁣ට රොකී හඬමින් උත්සහා කිරීම වැනි සංවේදී දර්ශනද 'ද ඩෙවිල්ස් බ්‍රිගේඩ් හී තිබුණි.

අවසානයේදී ජර්මානුවන්ගෙන් ඉතාලිය බේරා දීමට හැකිවූවද, මෙය නිමා නොවන යුද්ධයක් බව කර්නල් රොබට් ෆෙඩ්රික් පවසමින් කියනුයේ දැනටමත් මෙය යුරෝපයේ බොහෝ රටවලට ව්‍යාප්ත වී ඇති බවය. ජර්මන් නාසි හමුදාව ලෝකයේ හැම ප්‍රබල රටකම කඳවුරු බැඳ ඇති බවත්, මෙය ඉදිරියේදි විශාල විනාසයකට මුල පුරවන බවක් කර්නල් රොබට් ෆෙඩ්රික් පසුබිමින් පවසමින් චිත්‍රපටය නිමා කරයි.

කර්නල් රොබට් ටී ෆෙඩ්රික් ලෙස විලියම් හෝල්ඩන් විශිෂ්ට රඟපෑමක නියුතු වූ අතර, ක්ලිෆ් රොබට්සන්, වින්ස් එඩ්වඩ්, ඇන්ඩෘ ප්‍රයින්, ජෙරමි ස්ලේට් වැනි දක්ෂ නළුවන් කීප දෙනෙක්ද විලියම් හෝල්ඩන් සමඟ කරට කර රංගනයක යෙදුණි. ඒ අතරේ චිත්‍රපටය පුරාවටම තවත් චරිත දෙකක් ඉස්මතු වී අපූරුවූ රඟපෑමක් ඉදිරිපත් කළහ. ඒ රොකී ලෙස රඟපෑ ක්ලෝඩ් ඇකින්ස්, සහ කෝප්රල් සාජන්ට් පීකොක් ලෙස රඟපෑ ජැක් වොට්සන් ය.

'ද ඩෙවිල්ස් බ්‍රිගේඩ්' 4වෙනි ජනප්‍රියතම චිත්‍රපටය ලෙසට 1968 වසරේ බ්‍රිතාන්‍යයේ දී පත්වුණු අතර, එය 4 වෙනි තැනට පත්වූයේ 'ද ජංගල් බුක්', 'බාබරැල්ලා', හා 'කැරි ඔන් ඩොක්ටර්' යන චිත්‍රපටවලට පසුවය.

එහෙත් නිෂ්පාදක ඩේවිඩ් එල්. වොප්ලර් කීවේ ' ද ඩෙවිල්ස් බ්‍රිගේඩ්' සුපිරි චිත්‍රපටයක් බවත්, එහී හොඳ කථා වස්තුවක් තිබූ බවත්, මෙහී රඟපෑම් ඉතා උසස් තත්වයක තිබූ බවත් , චිත්‍රපටයට ප්‍රේක්ෂකයන් මෙන් ම විචාරකයන්ගේ පැසසුම් වලට ලක් වූ බවත්, එහෙත්⁣ මෙය පෙන්වූයේ ඊට මාස දෙක තුනකට ප්‍රථම තිරගත කළ ' ද ඩර්ටි ඩසන්' චිත්‍රපටයට පසුව නිසාත්, මෙයට සමාන වූ කථාවක් 'ද ඩර්ටි ඩසන්' චිත්‍රපටයටද ඇතුළත් වූ නිසා, එම චිත්‍රපටය , තමාගේ 'ද ඩෙවිල්ස් බ්‍රිගේඩ්' චිත්‍රපටයේ ප්‍රදර්ශන සාර්ථකත්වයට අවාසි ලෙස බලපෑ බවය. එහෙත් හොලිවුඩ් සිනමා ක්‍්‍රෂේත්‍රයේ සිනමා විචාරකයන් කීවේ ' ද ඩෙවිල්ස් බ්‍රිගේඩ්' විශිෂ්ට චිත්‍රපටයක් සේම එය විනෝදාත්මක චිත්‍රපටයක් වූ හෙයින් ලොව වටා ප්‍රේක්ෂකයන් එය දයාබරත්වයෙන් වැලඳ ගත් බවය. 'ද ඩර්ටි ඩසන්' චිත්‍රපටය මොන අයුරකින් වත් 'ද ඩෙවිල්ස් බ්‍රිගේඩ්' චිත්‍රපටයට බල නොපෑ බවද ඔවුහු පෙන්වා දුන්හ.

'ද ඩෙවිල්ස් බ්‍රිගේඩ්' ලංකාවේ සැවොයි සිනමා හලේ තිරගත වූ අතර එය මෙහී අතීශයින්ම ජනප්‍රිය විය. මෙම චිත්‍රපටයේ ඩී.වී.ඩී.බොහෝ චිත්‍රපට ඩී.වී.ඩී සාප්පු වල ගැනීමට ඇත. ටොරන්ට් හා යු ටියුබ් හරහාද චිත්‍රපටය බා ගත හැකිය.

 

 

[email protected]