ජීවිතයම ශෝකාන්ත සිනමා පටයක් කරගත් ගුරුදත්-ගීතා යුවළ

නොවැම්බර් 17, 2022

ඔබ රාත්‍රියේ පෑයූ පුර සද ද?

එසේත් නැත්නම් දිවා කල පායන දිලිසෙන සඳ ද ?

ඔබ කවුරුන් වුවත් සහතිකයි මං දිවුරනවා ඒ දෙකම ඔබට පරාදයි ( චෞද්වින් කා චාන්ද් හෝ, යා ආෆ්තාබ් හෝ - ජෝ භී හෝ තුම් ඛුඩා කි කසම්, ලාජාවාබ් හෝ)

ඔබේ කෙස් වැටිය වලාකුළක් මෙන් ඔබේ උරහිස මතට වැටිලා (සුල්ෆීන් හෛන් ජෙයිසෙකාන්ධේ පෙ බාදල් ජුකේ හුවේ)

ඔබේ දෑස් මධුවිතෙන් පිරුණු වීදුරුවක් වාගෙයි, ආදරයේ මධුවිතෙන්.

ඔබ ආදරය උතුරා යන මී විතක් වාගෙයි. (මස්ති හෛ ජිස්මේ ප්‍යාර් කි තුම්, වෝ ශරාබ් හෝ)

ගුරුදත් නම් සිනමා කාව්‍ය රචකයා සිනමාව මෙන් ම ජීවිතය ද ආදරය උතුරා යන මී විතෙන් පුරවාලී ය. අවසන එහි ම ගිලී අකල්හි හිරුටත් සඳුටත් ඔබ්බට ගිය එහා ලෝකයකට සැඟව ගියේ ය. එහෙත් අදට ද හිරුටත් සඳටත් වඩා ඔහු ගේ දීප්තිය සිනමා ලොව බැබළෙයි. ඔහු අසලින් ම තවත් කෝකිල නාදයක් රැව් පිළි රැව් දෙයි. ඒ නාදය ද අකාලයේ දෙසවන්වලින් ඇතට පාවී ගියේ ය. හඩේ හිමිකාරිය ගීතා දත් ය. වරද කාගේ ද? ඔහුගේ ද ඇයගේද ? 

ගුරු දත්, ගීතා දත් අදට ද බොලිවුඩ් රාජධානියේ අමරණීය චරිතය.

තරු සැමියන් සිටින බිරින්දෑවරුන් ඉවසීම ප්‍රගුණ නො කළොත් කසාදය කසායක් වී දික්කසාදයෙන් නොව මරණයෙන් වුව ද ජීවිතය අකාලයේ අවසන් විය හැකිය. එහෙත් ගීතා හෝ ගුරු දත් එය වටහා නො ගත්තේ ය.

1925 ජූලි 9 වැනිදා වසන්ත් කුමාර් ශිවෂංකර් පදුකෝන් උපත ලැබුවේ ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ බ්‍රාහ්මණ පවුලක ය. ළමා වියේ සිදුවූ අනතුරක් නිසා මාපියන් ගුරුදත්ත පදුකෝන් ලෙසින් ඔහු ගේ නම වෙනස් කරන ලදී. ඔහු ගේ පියා ශිවෂංකර් රාඕ පදුකෝන් විදුහල්පති වරයෙක් විය. මව ගුරුවරියක වූ අතර ලේඛිකාවක ද වූවා ය. ගුරුදත් කුඩා විය ගත කළේ කල්කටාවල ය. කුඩා වියේදී ම ඔහුට බෙංගාල බස ‍චතුර ලෙස හැසිරවීමේ හැකියාවක් තිබිණි. ඔහුට සිටියේ සොයුරියක සහ සොයුරන් තිදෙනකු පමණි. සියල්ලන් ම වාගේ ඇලුම් කළේ සමත්කම් පෑවේ කලාවට ය. ගුරුදත්තා ගේ තෝරා ගැනීම වූයේ නර්තනය සහ නර්තන නිර්මාණය ය. (නර්තන රචනා ය.) ඔහු ඇල්මෝරාහි උදේයි ශංකර් පාසලෙන් නර්තනය හැදෑරී ය. අධ්‍යාපනය අවසන් වූ විගස ම ඔහුට රැකියාවක් හිමිවුණ ද එයට මනාපයක් නොදැක්වූ නිසා එය අත්හැරියේ ය. පසුව මාමා කෙනකු විසින් සොයා දුන් ප්‍රභාත් සිනමා සමාගමට වසර තුනක කොන්ත්‍රාත්තුවකට අස්සන් කරන ලදී. එහිදී ඔහුට සිනමා දිවියේ කලණ මිතුරන් දෙදෙනා හමු විය. ඒ දේව් ආනන්ද් නම් රෙහ්මාන් යන රංගන ශිල්පීන් ය. සිනමාවේදී ගුරුදත්තා ගුරු දත් විය. 1945 දී ඔහු ලඛ්රාණි සිනමා පටයෙන් නළුවකු ලෙස දොරට වැඩියේ ය. ඒ සුළු චරිතයකිනි.

සිය මිතුරා දේව් ආනන්ද් නළුවකු ලෙස දොරට වැඩි හම් ඒක් හෛන් සිනමා පටයේ නර්තන නිර්මාණ ශිල්පියා වූයේ ඔහු ය. ඉන්පසු ලැබුණු රැකියාව ඔහුට අහිමිවූයේ පෙම් පටලැවිල්ලක් හේතුවෙනි. පෙම්වතකු සිටින තරුණියකට පෙම් කිරීමට ගොස් ඇතිවූ ගැටලුව නිරාකරණය වූයේ පොලිසියට යාමෙන් අනතුරුව ය. මේ සිදුවීමෙන් පසු මාස දහයක පමණ කාලයක් ඔහුට ගෙවා දැමීමට සිදුවූයේ රැකියාවක් නො මැතිව ය. එහෙත් ඔහු ඒ කාලයේදී ඉංග්‍රීසි බසින් ඉන්දියාවේ ප්‍රකාශයට පත්කළ සගරාවක් වූ ඊඩඥ ධ්තතභඵබපචබඥඤ එඥඥඬතර ධට ධ්දඤඪච සගරාවට කෙටි කතා රචනා කළේ ය. ගුරු දත්ට තවත් සිනමා පට දෙකක නර්තන රචනා කිරීමට ලැබුණත් ඔහු ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වන්නේ දේව් ආනන්ද් විසින් අරඹන ලද සිනමා සමාගම වූ නෙව්කේතන් හි නර්තන අධ්‍යක්ෂවරයා ලෙස රැකියාව ලබා දුන් පසුව ය. එහිදී මිතුරන් දෙදෙනා ගිවිසුමකට බැදුණ හ. ගිවිසුමට අනුව දත් සිනමා පටයක් නිර්මාණය කළහොත් එහි වීරයා වන්නේ දේව් ආනන්ද් ය. දේව් ආනන්ද් සිනමා පටයක් නිර්මාණය කළහොත් ගුරු දත් එහි අදියුරු වන්නේ ය. මේ ගිවිසුමකට එහා ගිය මිත්‍රත්වයේ පොරොන්දුව ගුරු දත් අවසන් සුසුම් පොද වාතලයට මුසු කරන තුරු ම පැවතිණි. බාසි මේ පොරොන්දුවේ මංගල නිමිත්ත විණි. සිනමාවේ මංගල නිමිත්තක් සේ ම ජීවිතයේ ද මංගල නිමිත්තක් විණි.

බාසි / ඕචචලඪ (1951) සිනමා පටයේ ගායිකාව වූ සුරූපී කාල වර්ණ ඉමිහිරි හඬක් තිබූ ගීතා රෝයි ගායිකාවට ගුරු දත් ගේ සිත ඇදී ගියේය. නවක අධ්‍යක්ෂවරයා ගැන ගීතා ගේ සිතේ ද ඇතිවූයේ ‍කිසියම් ළෙන්ගතුකමකි. ඒ වන විට ගීතා රෝයි භාරතයේ ගීත කෝකිලාවක ලෙස ඉහළම තැනක වැජඹුණි. එහෙත් ගුරු දත් නවක අධ්‍යක්ෂවරයකු ලෙස ස්ථාවර වීමේ අරගලයක යෙදී සිටියේ ය. ගුරු දත් පමණක් නොව ඔහු ගේ මාපියන් ද පවුලේ සෙසු සාමාජිකයන් ද ඇය‍‍ ගේ රුවටත් හඩටත් වශී විය. ගීතා ඉතා ධනවත් පවුලක දරුවන් දස දෙනකුගෙන් එක් දරුවකු වූවා ය. කුඩා වියේ සිට ම ගායනයට හපන්කම් දැක්වූ ගීතා භක්ත ප්‍රහ්ලාද් සිනමාපටයෙන් සිනමා ගායිකාවක ලෙස දොරට වැඩියේ 1946 දී ය. ඕනෑම ආකාරයක ගී ගැයීමට ඇයට තිබුණේ පුදුමාකාර හැකියාවකි. ගීතා හා ගුරු දත් ප්‍රේමය දලු ලන්නට පටන් ගත්තේ ය. ඊට ගුරු දත් ගේ පවුලෙන් කිසිදු විරෝධයක් එල්ල නොවුණ ද ගීතා ගේ මාපියන් තදින් ම විරුද්ධ විය. පදවැලට තනුවක් මෙන් දෙදෙනා ගැළපිණි. කිසිවකුට මේ අපූරු සිනමා සුසංයෝගයේ වරදක් පෙනුණේ නැත. සියලු බාධා නො තකමින් ගුරු දත් - ගීතා රෝයි ප්‍රේමය තෙවසරක ඇවෑමෙන් කූටප්‍රාප්තියට පත් විය.

ගුරු දත් ගේ සොයුරිය වන ලලිතා ලජ්මි පවසන්නේ ගීතා ගේ ඉමිහිරි හඬට පමණක් නොව අජන්තා සිතුවමක් වැනි ගීතා ගේ රුවට ද ඇය වශී වුණු බව ය. වසර තුනක ආදරවන්තිය ගේ භූමිකාවට සමු දෙමින් ගීතා “මං ඔයා ගේ සහෝදරයා එක්ක විවාහ වෙනවා.” පූර්ණ චන්ද්‍රයා පෑයූ රැයක පවසා ඇත්තේ ද ලලිතාට ය. 1953 මැයි 26 වැනිදා දෙදෙනා අතිනත ගත් හ.

ගීතා ගේ පවුලේ සාමාජිකයන් ගුරු දත්ට විවාහයට පෙර මෙන් ම විවාහයෙන් පසුව ද කැමැත්තක් දැක්වූයේ නැත. ලලිතා පවසන අන්දමට පවුලේ ආර්ථික බර කරට ගෙන සිටියේ ගීතා ය. එබැවින් ඇය අහිමිකර ගැනීමට ඔවුන් අකැමැති වන්නට ඇත. තනු නිර්මාපකයකු වූ ගීතා ගේ සොයුරු මුකුල් රෝයි කිසි දිනක ගුරු දත් සමඟ ඇසුරක් නො පැවැත්වී ය. විවාහයෙන් පසු ගීතා සහ ගුරු දත් මූම්බායි හි පාලි හිල් පෙදෙසින් බංගලාවක් මිලදී ගත් හ. තරුන්, අරුන් සහ නීනා ඔවුනට උපන් දරු තිදෙනා ය. විවාහයෙන් පසු ගීතා ගේ සිනාමා ගායනය ගුරු දත් ගේ සිනමා පටවලට පමණක් සීමා විණි. අදට ද ගුරු දත් ගේ සිනමා පට මෙන් ම ගීතා ගේ ගායනා ද විශිෂ්ට කලා නිර්මාණ ලෙස අගය කෙරෙයි. බාසි මෙන්ම ආර් පාර්, මිස්ටර් ඇන්ඩ් මිසිස් 55, සීඅයිඩී, ප්‍යාසා සහ කාගාස් කේ පූල්, සහිබ් බිබී ඕර් ගුලාම් සහ බහරෙන් ෆිර් භි ආයෙන්ගි ඊට කදිම නිදසුන් ය.

දෙදෙනා ගේ විවාහයේ ප්‍රීතිමත් ම කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේ ය. ‍දෙන්නාම දරුවන්ට මහත් සේ ආදරය කළහ. ගුරු දත් ගේ උපන් දිනය යෙදුණු ජූලි 9 වැනි දිනට ම වැඩිමල් පුතු තරුන් ගේත් උපන් දිනය යෙදී තිබිණි. අරූන් පුතු ගේ උපන් දිනය යෙදී තිබුණේ ජූලි 10 වැනි දිනට ය. ගීතා තිදෙනා ගේම උපන් දිනය විශාල කේක් ගෙඩියක් සාදා ජයටම සැමරුවා ය. එහෙත් මේ සතුටට සැකයේ කුණාටුව හැමීමට වැඩි කාලයක් ගත නො වීය. ගුරු දත් සමඟ රඟන සෑම නිළියක ම ගැන ගීතාට තිබුණේ සැකයකි. ගීතා ගේ එක ම වරද ලෙස ගුරු දත් ගේ සොයුරිය දකින්නේ ද එය ම පමණි. එහෙත් ගුරු දත් සම්බන්ධ කර වහීඩා රෙහ්මාන් සමඟ බැඳි කට කතාව ගීතා ගේ සිත තදින් ම පෑරී ය. නිතර දෙදෙනා දබර වූහ. පවුලේ ගැටුම් අතරේ ආර්ථික ගැටලු ද උත්සන්න විය.

ආර්ථික අර්බුදය නිසා පාලි හිල් පෙදෙසේ බංගලාවෙන් ඔවුනට යාමට සිදුවිය. එහෙත් දෙන්නා ගියේ දෙතැනකට ය. ගීතා දරුවන් තිදෙනා සමඟ මව වෙත ගිය අතර ගුරු දත් නිවාස සංකීර්ණයකින් කොටසක් මිලදී ගත්තේ ය. ගුරු දත්ට අවශ්‍ය වූයේ දරුවන් සහ ගීතා සමග යළි එක් වීමට ය. එහෙත් දෑස් පියවෙන තුරුම ඔහු ගේ ඒ ආශාව ඉටු වූයේ නැත.

ගුරු දත් ගේ සොයුරිය නම් පවසන්නේ වහිඩා රෙහ්මාන් සමඟ ගුරු දත් ගේ අසම්මත පෙමක් නො පැවති බව ය.

ගුරු දත් දරුවන් සමග නැවත තමන් වෙත එන ලෙසට ගීතාගෙන් බැගෑපත්ව ඉල්ලූ වාර අනන්ත ය. වහීඩාට උමතුවූ ගුරු දත් තමන් සමග විවාහ වන ලෙස ඇයට පැවසූ බවත් ගීතාගෙන් දික්කසාද වුවහොත් විවාහ වන බවට ඇය පිළිතුරු දුන් බවටත් රාවයක් සමාජයේ එවකට පැවතිණි. සත්‍ය කුමක් වුවත් ගීතා සහ දරුවන් ගේ දුරස් වීමත් සමඟ ගුරු දත් මධුවිත ජීවන ඔසුව බවට පත්කර ගත්තේ ය. ජීවිතය නැතිකර ගැනීමට උත්සාහ ගත්තේ ය.

1964 ඔක්තෝබර් 9 වැනිදා ගුරු දත් ගීතාට ඇමතුමක් දී රූ ගත කිරීම අවලංගු වූ නිසා දරුවන් තමන් වෙත එවන මෙන් ඇයගෙන් ඉල්ලා සිටියේය. එහෙත් ගීතා ඊට එකග වූයේ නැත.

ගුරු දත් සමඟ එදා සැන්දෑවේ සිටි සිනමා තිර රචකයකු, අධ්‍යක්ෂවරයකු හා නළුවකු වූ අබ්‍රාර් “මත් වතුර සමඟ නිදි පෙති මිශ්‍ර කරන්න එපා” යන අවවාද දෙමින් පිටව ගොස් ඇත. ගුරු දත් නින්ද නො යන නිසා නිදි පෙති ගැනීමට පුරුදුවී සිටියේ ය. එදා රාත්‍රියේ රාත්‍රී ආහාරය නො ගත් ගුරු දත් මිතුරා ගේ අවවාදය නොතකා මත් වතුරට නිදි පෙති එක්කර පානය කළේය. පසුවදා ඔහු පිටතට නොආ නිසා දොර කැඩීමට සිදුවිය. ගුරු දත් ගේ දෑස් අඩක් විවර වී තිබිණි. ඔහු ගේ එක් අතක් යොමුවී තිබී ඇත්තේ කුමක් හෝ ප්‍රකාශ කිරීමට සූදානම් අයුරිනි. වහීඩා මේ ශෝක ජනක පුවත් දැනගන්නා වේලාවේ දිලිප් කුමාර් සමඟ මදුරාසියේ රූ ගත කිරීමකට සහභාගී වෙමින් සිටියාය. ඇය ගුරු දත් භූමදානය සදහා ගෙන යන අවස්ථාවේ පැමිණියා ය.

ගුරු දත් ගේ දේහයේ පවා දක්නට තිබී ඇත්තේ කඩවසම් පෙනුමකි. එවකට දෙහැවිරිදි වියේ පසුවූ ගුරු දත් ගේ දියණිය නීනා “තාත්තේ නැගිටින්න” කියා පවසා තිබෙයි.

ගුරු දත් ගේ මරණය ගීතා ගේ දිවිය කබලෙන් ළිපට වැටිණි. බෙංගාලි චාරිත්‍රානුකූලව ඇය වසරක් සුදු ඇඳුමෙන් සැරසුණා ය. මරණයෙන් දින දහයක් ගත වෙන තුරු කැඳ පානය කළා ය. ගුරු දත් මිය යාමත් සමඟ ඇය ද මධු විතට ඇබ්බැහි වූවා ය. ඇය ගේ පොත් රාක්කයේ, නාන කාමරයේ යනෙන සෑම තැනක ම මත් වතුර බෝතලයක් විය. ලලිතාට ඇය මුණ ගැසෙනට සෑම විට ම ඇය සිට ඇත්තේ මධුවිතෙන් හොඳට ම සප්යම් වෙලා ය.

අධික මත් වතුර පානය නිසා ගීතාට ද වසර 41 වැනි අඩු ආයු කාලයකින් ජීවිතය අත්හැරීමට සිදුවිය. ලලිතාට ඇය‍ ගේ අවසන් දිනය තවමත් මතකයේ පවතියි. සිහිසුන්ව සිටි ඇය ගේ සිරුර පුරා ම බට ගසා තිබිණි. ඇය ගේ නාසයෙන් කන්වලින් රුධිරය පිට වෙමින් පැවතිණි. බිත්තිවල පවා රුධිරය තැවරී තිබිණි.

ගුරු දත් සේ ම ගීතා ද හැගීම්බර කලාත්මක ශෝකාන්ත සිනමා කතාවක් සැබෑ ජීවිතයේදී ජීවමාන කළේ ශෝකී මතකයක් සදා බොලිවුඩ් පුරයේ රැව් පිළිරැව් නංවමිනි. අති විශිෂ්ට සිනමා අධ්‍යක්ෂවරයෙක් අග්‍රගණ්‍ය රංගවේදියෙක් සිනමාවට අහිමි වය. ඕනෑම ශෛලියක ගීතයක් ගැයීමේ හැකියාවක් තිබූ ගීත කෝකිලාවක් අහිමි විය. ඒ ඔවුන් සැබෑ ජීවිතය ද සිනාමාවක් කර ගත් බැවිනි.

 

[email protected]

 

 

ගුරු දත් ගීතාව විවාහ කරගත්තේ ඔහු‍ට වඩා ඇය ආර්ථික වශයෙන් ස්ථාවර නිසා බවට කතාවක් පැතිරී තිබිණි. මේ කතාවෙන් ගුරු දත් මහත් සිත් තැවුලට පත්විය. විවාහයෙන් පසු ඔහු ඇයට තම නිර්මාණවලට පමණක් ගායනයෙන් දායක වන ලෙස ඉල්ලා සිටි බවට රාවයක් පවතී. මේ ගැන ගීතා එතරම් මනාපයක් නො දැක්වූ අතර මුලදී වෙනත් සිනමා පටවලට හොර රහසේ ගී ගැයුවා ය. එහෙත් ගීත දෙකකට පමණක් ගායනා සීමා විණි. අවසන ඇය සැමියා ගේ නිර්මාණවලට පමණක් දායක වීමට අදිටන් කර ගත්තාය.

වහිඩා සමඟ බැඳි පෙම ආරංචි වීමත් සමග ගීතා ඇය වෙනුවෙන් ගී ගැයීම නතර කළාය.

ගුරු දත් මිය යන විට වහිඩා ඔහු ගේ සිනමා පටවල රගපෑම නතර කර කාලයක් ගතවී තිබිණි. ගුරු දත් ගේ නැඟණිය පවසන්නේ වහිඩා, ගීතා - ගුරු දත් කැදැල්ල සුනු විසුනු කළ තැනැත්තිය ලෙස අභූත ලෙස චෝදනාවට ලක්වූ බව ය.

ගීතා ගේ සැකය නිසා භාරත සිනමාවට ඉතා වටිනා කලා කෘතියක් අහිමි විය. වහිඩා ගැන ඇති කට කතාවෙන් සිත් රිදුණු ගීතා ගේ සිත සැනසීමට දෝ ගුරු දත් ගීතා ප්‍රධාන තාරකාව කොට පළමු ඉන්දියානු සිනමාස්කෝප් සිනමා පටය නිර්මාණය කිරීමට මුල පිරුවේ ය. එහෙත් දර්ශන කිහිපයක් රූ ගත කළ පසු “ගෞරී” රූ ගත කිරීම්වලට ගීතා සහභාගී වූයේ නැත. ඇය එලෙස කළේ කටකතාව නිසා ඇතිවූ සිත් රිදීම හේතුවෙනි. කෙසේ වෙතත් ගුරු දත් ගේ තවත් වාර්තාගත වීමට තිබූ සිනමා පටයක් උපන් ගෙයිම අවසන් විය.

මත් වතුරෙන් ජීවිතය දිය කර හැරීම නිසා ඇය ගේ ගායන දිවිය යළිත් ගොඩනගා ගැනීමට හැකි වූයේ නැත. ගීතා නිසි පරිදි පුහුණු නො වන වේලාවට ශබ්දාගාරයට නො පැමිණෙන ඇය වෙනුවට නැඟී එන ගායිකාවක වූ ලතා මංගේෂ්කාර්ව සංගීත අධ්‍යක්ෂවරුන් විසින් තෝරා ගැනිණි.

ආර්ථිකය සවිමත් කර ගැනීමට ගීතා බෙංගාලි සිනමා පටයක ප්‍රධාන චරිතය රඟපෑවාය. එහෙත් ඒ කිසිවකින් ඇයට ජීවිතය ජය ගැනීමට හැකිවූයේ නැත. මාපියන් මිය ගිය පසු දරුවන් තිදෙනා පියා ගේ සොයුරකු ළගත් මව ගේ සොයුරකු ළගත් හැදී වැඩුණහ.