වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
සිංහල උප සිරැසි සහිත විදෙස් සිනමා සිත්තම්

ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණයකට උප ශිර්ෂ පාඨ යෙදීමේ කලාව රූපවාහිනි මාධ්‍යය වෙත ඇද ගත්තේ ශ්‍රව්‍යාබාධිතයන් සඳහා විස්තර හෝ කතාව වටහාදීමේ පහසු ක්‍රමවේදයක් ලෙසිනි. ඊට බොහෝ පෙරාතුව බිහිවුණු සිනමාව එය භාවිතා කළේ අන්තර්ජාතික සම්බන්ධීකරණය ඇති කර ගැනීම වෙනුවෙන් වුවත් ආරම්භක යුගයේ නිහඬ චිත්‍රපටවල කතාව තේරුම් කරදීමේ ක්‍රම උපායක් ලෙස දෙබස් ශීර්ෂා පාඨ යෙදීම සිදුවිය. බොහෝ කොට මේ ශිර්ෂ පාඨ සකස් වූයේ ජවනිකාවේ දෙබස් කාණ්ඩ හැටියටය.
තවත් පසු කාලයක චීනය, ජපානය, රුසියාව, චෙකොස්ලොවේකියාව, පෝලන්තය හා ඉතාමත් මෑතක පටන් ඉන්දියාව වැනි රටවල චිත්‍රපටවලට පොදුවේ ඉංගී‍්‍රසි භාවිත උප ශීර්ෂ පාඨ යොදනු ලැබුවේ රටින් පිට පේ‍්‍රක්ෂකයන්ගේ පහසුව සලකා ගෙනය. විශේෂයෙන්ම අන්තර්ජාතික සිනමා උත්සව කරා ඉදිරිපත් වීමට තිබුණු අවශ්‍යතාවය නිසාය.
අප රටේ සිනමාකරුවා මෙකී ක්‍රමය නැතිනම් සිංහල උප සිරැසි යෙදීම අනුගමනය කළේ තම චිත්‍රපටයේ එන දෙමළ හෝ ඉංගී‍්‍රසි දෙබස් ඇතුළත් ජවනිකා සඳහා පමණි. ඒ ලෙසම සිංහල උප ශීර්ෂ පාඨ යෙදූ විදෙස් චිත්‍රපට කිහිපයක් අප දැක නැතුවාක් නොවේ. මෙහි අතීත කතාව මින් වසර 60 අතීතයට දිවයන්නකි. එහි පළමු පියවර වශයෙන් ගුස්තිකාරයා සහ කවටයා (THE WRESTLER AND THE CLOWN) හඳුනා ගැනීමට ලැබෙයි. මුල් රුසියානු පිටපත BOPEN N KNOYN වන අතර රෝම බසින් BORELS I KLOUN වෙයි. ඉංගී‍්‍රසියෙන් ද රෙස්ලර් ඇන්ඩ් ද ක්ලාවුන්ය.
1957 දෙසැම්බර් 09 වැනිදා මහජන ප්‍රදර්ශනයට මුදා හරින ලද රුසියානු චිත්‍රපටයේ කතා රචකයා නිකොලයි පොගොඩින් විය. ඔහු විසින් විවිධ ශිල්පීන්ගේ දක්ෂතා අනුකම්පා විරහිතව වහල් ගිවිසුමකට බඳවා ගෙන සූරාකන යුගයක මල්ලවපොර ශුරයකු හා සර්කස් කණ්ඩායමක විකටයකු වටා කතාව ගොඩනගා තිබිණි. මෝස් ෆිල්ම් ආයතනය වෙනුවෙන් ලිව්චුරසෝව් නිෂ්පාදිත මෙහි ප්‍රධාන චරිත ස්ටැස්ලව් චිකන් හා ඇලෙක් සැන්ඩර් මික්නයිලොව් නිරූපණය කළහ. අධ්‍යක්ෂවරු බොරිස් බර්නිට් සමඟ කොන්ස්ටන්ටින් යෞඩින් වූහ.
එවකට රුසියාවේ ලුලුම්බා විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකීක සිසුන් පිරිසක් ද රෙස්ලර් ඇන්ඩ් ද ක්ලවුන් චිත්‍රපටයට ගුස්තිකාරයා සහ කාවටයා නමින් සිංහල උපශීර්ෂ ගැන්වීම හා ඒ සමඟ අතිරේකව පෙන්නු වීර පැංචා කෙටි කාටුන් චිත්‍රපටයට සිංහල හඬ මුසු කිරීම ඔවුන් සිය රුසියානු භාෂා උරගා බැලීමට හෝ හුදු විනෝදාස්වාදය පිණිස සිදුකළ ක්‍රියාවක් ලෙස අනුමාන කළ හැකිය. මෙම චිත්‍රපට දෙකම 1960 මාර්තු 31 වැනිදා පටන් මරදානේ ටවර් සිනමා හලේ පෙන්වනු ලැබීය. දෙවන ප්‍රදර්ශන වටය දෙහිවල පුෂ්පා ඇතුළු තවත් සිනමාහල් කිහිපයක් කරා විහිදී ගියේය.
මීළඟට සිංහල උපසිරැසි යෙදූ විදෙස් චිත්‍රපටයක් දුටුවේ 2012 දීය. එය අවසන් තීන්දුව හෙවත් ද ෆයිනල් ජජ්මන්ට් (THE FINAL JUDGEMENT) නම් ජපන් චිත්‍රපටයයි. මේ චිත්‍රපටයේ අපට විශේෂිත තවත් සිද්ධීන් දෙකක් ද තිබිණ. එකක් සිංහල හඬින් තේමා ගීතයක් යොදා තිබීමයි. අනික මෙහි ප්‍රධාන කාන්තා චරිතය ශ්‍රී ලාංකීක උමාලි තිලකරත්න රඟපෑමයි. රයොනු මතාවාගේ නවකතාවක් පසුබිම් කොට ගත් ද ෆයිනල් ජජ්මන්ට් චිත්‍රපටය සාකි හමාමොටොගේ අධ්‍යක්ෂණයකි. 2012 ජුනි 02 වැනිදා ජපානයේ ප්‍රදර්ශනයට තැබු මේ චිත්‍රපටය හයදෙනකුගේ සාමූහික නිෂ්පාදනයක් විය.
2022 සැප්තැම්බර් 09 වැනිදා පටන් ඉන්දියාව, ශ්‍රී ලංකාව ප්‍රමුඛ රටවල් කිහිපයක ප්‍රදර්ශනය ඇරඹී ශිවා පළමු කොටස තවත් බ්‍රහමස්ත්‍ර (BRAHASTRA) විශාල පිරිවැයක් දැරු හින්දි නිෂ්පාදනයකි. මෙයට මුදල ආයෝජකයන් හත්දෙනෙක් සිටියහ. රන්දීර් කාපූර්, අලියා බාත්, අමිතා බච්චන්, ඩිම්පල් කපාඩියා, ෂාරුක් ඛාන්, චෞනි රෝයි, නාගර්ජුන, සව්වේ ගුර්ජර් රඟපෑ මේ චිත්‍රපටයේ පිටපත් 16ක් මෙරටට ගෙන්වා තිබිණ. ඉන් පිටපත් කිහිපයකට සිංහල උප ශීර්ෂ පාඨ යොදා තිබුණු බැවින් එම පිටපතේ අගනුවර හා පිටපළාත්වල පෙන්වන ලදි. මීට විරෝධතා කතිකාවක් පැන නැගුණත් ඊට එරෙහිව නීතිමය තහංචි පැනවීමට නොහැකිය. විදෙස් චිත්‍රපට වලට සිංහල හඬ කැවීම 1947 සිට අරඹා තිබියදී එය තහනමට ලක් කරමිනි. 1961 රජය මඟින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇතත් විදෙස් චිත්‍රපටවලට සිංහල උප සිරැසි ඇතුළත් කිරීමේ තහනමක් චිත්‍රපට සංස්ථා පනතේ සඳහන්ව නොමැත.