අතුරදන් වූ මළ සිරුර හමුවේද? Drishyam 2

නොවැම්බර් 10, 2022

සාමකාමීව වෙසෙන සල්ගනෝකාර් පවුලේ සිව් දෙනෙකි. එනම් පියා, මව සහ දියණියන් දෙදෙනෙකි. වැඩිමහල් දියණිය අංජු, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ පුතෙකු සේම නොසන්ඩාල තරුණයෙකු විසින් බලහත්කාරකමකට ලක්වීමට යයි. දෙදෙනා අතර පොරබැදීමේදී තරුණයා මරණයට පත්වේ. දියණිය බේරාගැනීමට අදිටන් කරගන්නා පියා, විජේ සල්ගනෝකාර් විසින් තරුණයාගේ සිරුර අතුරුදන් කරනු ලබයි. සිරුර සොයාගත නොහැකි නිසාවෙන් සල්ගනෝකාර් පවුල බරපතළ ගැටුම් මැද වරදින් නිදහස් වේ. 2015 වසරේ තිරගත වූ ද්‍රිශ්යම් හින්දි චිත්‍රපටය නිමා වූයේ මෙලෙසිනි.

නිෂිකාන්ත් කමාත් අධ්‍යක්ෂණය කළ ද්‍රිශ්යම් හින්දි චිත්‍රපටය 2013 වසරේ ජීතු ජෝශප් අධ්‍යක්ෂණය කර එනමින් තිරගත වූ මලයාලම් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි. ද්‍රිශ්යම් තවත් හින්දි භාෂාවට අමතරව කන්නඩ භාෂාවෙන් ද්‍රිශ්යා (2014), තෙළිඟු භාෂාවෙන් දෘශ්‍යම් (2014), දෙමළ බසින් පපනාසම් (2015) මෙන්ම සිංහල භාෂාවෙන් ධර්මයුද්ධය (2017) ලෙස ද ප්‍රතිනිර්මාණය විය. ධර්මයුද්ධය චිත්‍රපටය ජැක්සන් ඇන්තනි, දිල්හානි අශෝකමාලා, තිසුරි යුවනිකා ඇතුළු පිරිසකගේ රංගනයෙන් හැඩ විය. පපනාසම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවූයේ කමලහසන්ය. හින්දි ප්‍රතිනිර්මාණයේ එම චරිතය නිරූපණය කරන ලද්දේ අජේ දේව්ගන් විසිනි. තවද ද්‍රිශ්යම් චිත්‍රපටය චීන භාෂාවෙන් ෂීප් විත්අවුට් අ ෂෙපර්ඩ් (2019) ලෙසත් ප්‍රතිනිර්මාණය කෙරුණි. ඒ සමඟ එය චීන භාෂාවෙන් ප්‍රතිනිර්මාණය කළ පළමු ඉන්දියානු චිත්‍රපටය බවට ද පත්විය.

අභිෂේක් පතාක් අධ්‍යක්ෂණය කර නොවැම්බර් 18 වැනිදා සිට තිරගත කෙරෙන ද්‍රිශ්යම් 2, ඉහත කතාවේම දිගුවකි. එහි කතාව ඇරඹෙන්නේ පළමු චිත්‍රපටයේ සිදුවීම් වලින් වසර හයකට පසුවය. විජේ සල්ගනෝකාර්, බිරිය නන්දනී, අංජු සහ අනු දියණියන් සමඟ දැන් ධනවත් ජීවිතයක් ගත කරයි. සිනමාහලක හිමිකරුවෙකු වන විජේ සල්ගනෝකාර්, තමාගේම චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට ආශාවෙන් සිටී. සැප පහසු ජීවිත ගත කළ ද, කෙදිනක හෝ පොලිසියට හසුවනු ඇතැයි යන බියෙන් වෙළී සිටින අංජු මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන්නීය. පවුලේ සාර්ථකත්වය ගැන ඊර්ෂ්‍යාවෙන් පසු වන අසල්වැසියෝ සල්ගනෝකාර් පවුලේ ප්‍රතිරූපයට, විශේෂයෙන් අංජුගේ චරිතයට හානි කරන කටකතා පතුරුවා හරිති. විජේ සල්ගනෝකාර් හසුකර ගැනීමට නොහැකිව කල් ගෙවන පොලිසියද මෙම පවුල ගැන නිරන්තර අවධානයෙන් සිටී. වරදට හසුකරගන්නා තෙක් තම පවුලට ගැලවීමක් නොමැති බව විජේ සල්ගනෝකාර් තේරුම් ගනී.

අජේ දේව්ගන්, තාබු, ශ්‍රියා සාරාන්, ආක්ෂේ ඛන්නා, ඉෂිතා දත්තා, රාජත් කපූර්, නේහා ජේෂි, කමලේෂ් සාවන්ත් ඇතුළු පිරිසක් ද්‍රිශ්යම් 2 රංගනයෙන් හැඩ කරති.