වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
විකෘති සිතුවිල්ලකින් බිහිවූ නිර්මාණශීලී ශෘංගාරය

1972 වසරේ ලොව වඩාත්ම කථා බහට ලක්වූ චිත්‍රපටයක් ලෙස බර්නාඩෝ බර්ටොලූසී අධ්‍යක්ෂණය කළ, මාලන් බ්‍රැන්ඩෝ ප්‍රධාන චරිත රඟපෑ ‘ලාස්ට් ටැංගො ඉන් පැරිස්’ සැලකිය හැකිය. එය ‘ඊරෝටික්’ ශානරය යටතේ ලිංගිකත්වය වඩාත් විවෘතව ඉදිරිපත් කළ සිනමා පටයක් ලෙසද සැලකිය හැකි අතර, මෙම චිත්‍රපටය හේතු කොට එහී තිර රචක ප්‍රැන්කො ආකලී, නිෂ්පාදක ග්‍රිමල්ඩි, අධ්‍යක්ෂක බර්නාඩෝ බර්ටෝලූසි හා ප්‍රධාන නළු මාලන් බ්‍රැන්ඩෝ මාස දෙකකට සිරගෙට නියම විය. එය හොලිවුඩ් සිනමා ඉතිහාසයට එක් කළ විශාල කළු පැල්ලමක් විය.
‘ලාස්ට් ටැංගො ඉන් පැරිස්’ කථා ශාරය අධ්‍යක්ෂක බර්නාඩෝ උකහා ගත්තේ තමාම නිතර සිහින මවන සිදුවීමක් මතය. එය එක්තරා අන්දමක විකාර සිතුවිල්ලකි. නොඑසේ නම් එය විකෘති ආශාවකි. එහෙත් බර්නාඩෝ ඒ මතම සිට එහී කිසියම් කලාත්මක භාවයක් දුටුවේය.ඔහු ගේ ඒ සිතුවිල්ල වූයේ, ඔහු පාරේ යන විට දකින , නමක් ගමක් නොදන්නා රූමත් තරුණියක්ව පාරෙදීම දූෂණය කිරීමය. මෙය යථාර්ථවාදී ව සිදුනොවුණද, එවන් සිදුවීමක් හරහා කෙතරම් අපූරු සිනමා නිර්මාණයක් කිරීමට හැකිදැයි ඔහු කල්පනා කළේය. යමෙකුට එය පහත් විකෘති විකාර සිතුවිල්ලක් යැයි සිතුවද, එම සිතුවිල්ලම ,ඔහුව නිර්මාණශීලි වී, එය ආන්දෝලානාත්මක සිනමා පටයක් බවට පත් වූවා පමණක් නොව, 1974 පැවැත්වූ ඇමරිකා ඇකඩමි සම්මාන උළෙලෙ හොඳම අධ්‍යක්ෂක ලෙසද නිර්දේශ විය. එලෙසම එය ලෝකයේ බොහෝ ප්‍රධාන සම්මාන උළෙලවල් නියෝජනය කළා පමණක් නොව බොහෝ සම්මානවලට නිර්දේශ වූ අතර, ඇතැම් සම්මාන හිමි කර ගතී.
බර්නාඩෝ ගේ මෙම සිතුවිල්ල තිරනාටකයට පරිවර්තනය කිරීමට ඔහු එකතු කර ගත්තේ ඉතාලියානු තිර රචකයෙකු වූ ප්‍රැන්කෝ ආර්කලී ය. ප්‍රැන්කො, තිර රචනයට අමතරව, චිත්‍රපට සංස්කරණ ශිල්පියෙකු හා රංගන ශිල්පියෙකු ලෙසද නිරත වී සිටියේය. මෙහි එන ප්‍රංශ දෙබස් ලිවීමට හවුල් වූයේ ඇග්නස් වර්ඩා ය. මෙම තිර රචනය පාදක කර ගෙන පසු කලෙක රොබට් ඇලී විසින් නවකථාවකටද පරිවර්තනය කරන ලදී.
කථාව ගලා යන්නේ ඇමරිකාවෙන්, ඉතාලියට සංක්‍රමණය වී එහී හෝටල් ව්‍යාපාරයක නිරත මැදිවයසේ පුද්ගලයෙකු වූ පෝල් හා පැරිසියේ සිටි පැමිණි ළාබාල වයසේ පසුවන රූමත් ‘ජීයෙනි’ නමි යව්වනියක් වටාය. බර්නාඩෝ මෙම චරිතයට තෝරා ගත්තේ ඩොමිනික් සන්ඩා නම් වූ ප්‍රංශ සිනමා නිළියෙකි. එලෙසම පෝල්ගේ චරිතයටද තෝරා ගැනුණේ ප්‍රංශ නළුවෙකු වූ ජීන් ලුවිස් ට්‍රින්ටිග්නට් වය. එහෙත් ඔහු එම චරිතය රඟපෑමට කැමැත්ත පළ කළේ නැත. ඉන්පසු බර්නාඩෝ, ප්‍රවීණ දක්ෂ නළු මාලන් බ්‍රැන්ඩො ට එම චරිතය රඟපෑමට ආරාධනා කළ අතර, ඔහු එම ආරාධනා ව පිළිගත්තේය. ඩොමිනික් සන්ඩා මෙම චරිතයෙන් ඉවත් වූයේ ඇය ගැබ් ගෙන සිටි නිසාය. එවකට අව්රුදු 19 ක්ව සිටි ප්‍රංශ නිළියෙකු වූ ‘මාරියා ශ්නෙයිඩර්’ ව ‘ජියෙනී’ ගේ චරිතයට තෝරා ගත්තේ ඉන් පසුවය.
‘ලාස්ට් ටැංගො ඉන් පැරිස්’ චිත්‍රපටයේ තේමාව වූයේ ශෘංගාර යය. ඒ ශෘංගාරය ඇරඹුණේ ,එසේ ශෘංගාරාත්මක සිතුවිලි අවදි කර ගත යුතු අවස්ථාවක නොව. නොඑසේ නම් එසේ ශෘංගාරාත්මක සිතුවිලි ඇති කර ගත යුතු දෙදෙනෙක් අතරේද නොව . වැල්ඩිමියර් නොබෝකොව් රචනා කෙරූ ‘ලොලිටා’ කථාවේද ඇතිවූ සිද්ධිය මෙයට සමානය. 45 හැවිරිදි හැම්බර්ට් ආදරය කළේ 15 හැවිරිදි ලොලිටා ටය. ‘ලාස්ටි ටැංගො...’හී පෝල්ද 45 හැවිරිදීය. ඔහු සම්බන්ධ වූයේද 19 හැවිරිදි ජියෙනී සමඟ ය.
බර්නාඩෝ තම ‘ලාස්ට් ටැංගො...’ චිත්‍රපටය තුළින් කියන්නට වුයේ තම සිත තුළ නලියන විකාර රූපින්ය. එය ‘පෝල්’ යන චරිතය තුළින් ඔහු ඉදිරිපත් කළේ තමාගේ මේ ශෘංගාරාත්මක සිතුවිලි ය. මෙහී ශෘංගාරයට වඩා එහා ගිය දෙයක් නැත. නමුත් බර්නාඩෝ මේ ශෘංගාර යට, ආදරය සම්බන්ධ කර ගන්නේ ජියෙනීගේ පෙම්වතා හරහාය.ජියෙනී රාගයට අහුවෙන්නේ, නොඑසේ නම් මැදිවියේ පෝල්ගේ රාගයට අහුවෙන්නේ අහම්බෙනි. මෙහි විශේෂත්වය පෝල් මේ රාගයට අසුවන්නේද අහම්බෙනි. ඒ අහම්බය පෝල් ව විනාශය කරා ගියේ පෝල් එයට ඇලුණු නිසාය. පෝල් එසේ එයට ‘ඇඩික්ට්’ වන්නට හේතු තිබුණි. ඒ මෑතකදී ඔහු ගේ බිරිඳ මිය යාම නිසා ඇතිවුණු පාළුව දරා ගැන්මට නොහැකි නිසා යැයි කිව හැකිය. ජියෙනී , එයට අහම්බෙන් සම්බන්ධ වුවද, ඇය එයට ඇලී ගැලී ගියේ නැත. ඇය ළාබාලය. ඇයට තාරුණ්‍යයේ සිටින කඩවසම් තරුණ පෙම්වතෙක් සිටියි. ඇයට ඉදිරියට යෑමට ලස්සන ජීවිතයක් තිබේ.
බර්නාඩෝ බර්ටෝලූසි ගේ ‘ලාස්ට් ටැංගො ඉන් පැරිස්’ තුළ එක්වරම නොදකින ගැඹුරක් තිබුණි. චිත්‍රපටය නරඹන ගමන්ම අපට එය අධ්‍යයනය කරන්නට සිදුවේ. සිතින් තර්ක කරන්නට සිදුවේ. පෝල්ගේ චරිතය යම් තාක් දුරකට තේරුම් ගත හැකි වූවද ජියෙනි චරිතය එසේ එක්වරම වටහා ගත නොහැකි වේ.
පෝල් යනු තම බිරිඳ රෝසා මැරුණු පසු ඒ ගැන මෙනෙහි කරමින් සුසුම් හෙළන චරිතයකි. එයට මූලික හේතුව වූයේ ඇය සිය දිවි නසා ගත් නිසා විය හැකිය. චිත්‍රපටය තුළ එක් අවස්ථාවක පෝල් තම බිරිඳ මිනි පෙට්ටිය මත සිටින අයුරු දෙස බලාගෙන වික්ෂෝප වන දර්ශනයක් පෙන්වයි. එම දර්ශනය තුළින් ප්‍රේක්ෂකයන්ට වැටහෙනුයේ පෝල් තම බිරිඳ වූ රෝසාට බොහෝ ආදරය කළ බවක්ය. එහෙත් ඒ සිතුවිල්ල ප්‍රේක්ෂකයා තුළ රැදෙන්නේ ඉතාමත් සුළු වේලාවක් ය. ඒ පෝල්ට ජියෙනි නම් ළාබාල රූමත් යෞවනිය ව හමුවන තෙක්ය.
ඔහුට ඇයව මුණගැසෙනුයේ එක්තරා නිවසක් බැලීමට යාමෙදීය. එම නිවස කුලියට ගැනීම සඳහා පෝල් එය බැලීමට ගිය අවස්ථාවේම, ජියෙනිත් එය කුලියට ගැනීම සඳහා බැලීමට පැමිණියාය.
පෝල් එම නිවස කුලියට ගත් අතර , එම නිවස තුළ ඔහු, ජියෙනි සමඟ ලිංගීක සබඳකමක් ගෙන ගියේය. එම සබඳකම පටන් ගැන්මට ප්‍රථම ඔවුන් දෙදෙනා එක් තීරණයකට පැමිණියහ. ඒ කිසිවෙක්, කිසිවෙකුගේ වග තුග නොඇසීමටය. අවම වශයෙන් නම වත් නොඇසීමටය.
අධ්‍යක්ෂක බර්නාඩෝ බර්ටෝලූසි ගේ විකාර රූපි කථා ශාරය පටන් ගත්තේ එසේය. එයින් ඔහු අදහස් කළේ, පෝල්ට අවශ්‍ය ශෘංගාරාත්මක බැදීමක් පමණක් බවය.
චිත්‍රපටයේ බොහෝ තැන් වලදී අධ්‍යක්ෂක බර්නාඩෝ මෙම චරිත දෙකේ සිතුවිලි, හැඟීම් වල ඇති, නැතිවීම් සිනමාත්මකව පෙන්වන්නට උත්සහ කරයි. එයට ඔහු දැඩි ලෙස උපයෝගී කර ගත්තේ ශෘංගාරයයි. එම ජවනිකා ‘නිල් චිත්‍රපටයක්’ සේ පෙන්වන්නට සිදු වුනද, අධ්‍යක්ෂක බර්නාඩෝ එම ජවනිකා ‘නිල්’ ගණයට නොවැටි, සිනමාත්මකව ඉදිරිපත් කිරීමට හැකි හැම උත්සහයක්ම ගතී. එහෙත් ඇතැම් තැන්වල ඔහුට ඔහුගේ සංයමයෙන් බැහැර වන්නට සිදුවිය. 70 දශකයේ ලොව අතීශය කථා බහට ලක්වුනු චිත්‍රපටයක් වූ මෙය, ඇතැමුන් හැදින්වූයේ ‘නිල්’ යැයි කෙළින්ම හදුන්වා නොදුන් ‘නිල්’ චිත්‍රපටයක් ලෙසටය. නමුත් එය සාවද්‍ය යැයි ඔප්පු වුණේ ‘ලාස්ට් ටැංගො ඉන් පැරිස්’ එම වසරේ ඇමරිකානු ඔස්කාර් ඇකඩමි සම්මාන උළෙලෙදී හොඳම චිත්‍රපටයට නිර්දේශ වීමෙනි. එහී එන ලිංගීක දර්ශන රඟපෑ ප්‍රධාන නළු මාලන් බ්‍රැන්ඩෝ කීවේ, මෙය චිත්‍රපට දර්ශනයක් පමණක් බවය. ඕනෑම නළුවෙක් හෝ නිළියෙක් විශිෂ්ටත්වයට පත් වන්නට නම් රඟපෑමේදී ඕනෑම චරිතයක් කිරීමේ අභියෝගයට මුහුණ දිය යුතු බවකි ඔහු කීවේ.
එහෙත් එය 19 හැවිරිදි මාරියා ශෙනෙයිඩර්ට බලපෑවේ වෙනස් විදියකටය. ජියෙනි ගේ චරිතය රඟපෑ ඇයට දූෂණයට ලක් වීමට තිබෙන දර්ශනයේදී නම් ඇය තැති ගතී.
මැදිවියේ පෝල් කුලී නිවස ගැනීමට යෑමෙදී හමුවුනු ළාබාල ජියෙනි සමඟ ඇති කර ගත් ලිංගීක සබඳකම, එක් වරකින්ම නිම කර දැමීමට ඔවුන් තීරණය කරගෙන සිටියද, එය ඔවුනට සිතු තරම් පහසුවෙන් කිරීමට නොහැකි විය. ඔවුනගේ ශෘංගාරාත්මක සබඳීයාවේදී, එක් තැනක පෝල් විසින් ජියෙනිව දූෂණය කළේය. චිත්‍රපටය තුළ මෙම දූෂණ ජවනිකාවට විශේෂ තැනක් දුන්නෙ, ඇතැම් විට එමඟින් චිත්‍රපටය දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගැනීමට විය හැකිය. ඇත්ත වශයෙන්ම, මෙම දුෂණ ජවනිකාව ‘ලාස්ට් ටැංගො ඉන් පැරිස්’ චිත්‍රපටයේ ‘ක්ලයිමෙක්ස්’ එක විය.
මෙම දූෂණ ජවනිකාවට මුහුණ දුන් ජියෙනි ගේ චරිතය රඟපෑ එවකට 19 වියේ සිටි මාරියා ශෙනෙයිඩර් කීවේ මෙය රූ ගත කරන ස්ථානයට පැමිණෙන තෙක් මෙවන් ජවනිකාවක් තිබෙන බවක් ඇය දැන නොසිටි බවය. එවන් දූෂණ ජවනිකාවක් ඇයට දුන් චිත්‍රපට තිර නාටකයේ නොතිබූ බවකි ඇය කීවේ. එහෙත් අධ්‍යක්ෂක බර්නාඩෝ ඇයට දර්ශන තලයේදි මෙම දර්ශනය ගැන කී විට, ඇයට ඒ පිළිබඳව ඇතිවූයේ දැඩි කේන්තියකි. ඇය එහිදී තර්ක කළේ මෙය තිර රචනයේ නොතිබූ බවත්, එසේ තිබුණා නම්, ඇය කිසිසේත් මෙම දර්ශනය රඟපෑමට ඇය එකඟ නොවන බවය. අන් අතකට ඇය තර්ක කළේ කිසිවෙකුටත් ඇයට මෙම දර්ශනයේ රඟපෑමට බල කළ නොහැකි බවය. ඒ මෙය ඇ කියවූ තිර රචනයේ නොතිබූ නිසාය.
එහෙත් පොල්ගේ චරිතය රඟපෑ මාලන් බ්‍රැන්ඩො ඇයට පුන පුනා කීවේ මෙය චිත්‍රපටයක චරිතයක් පමණක් යැයි සිතන්නට කියාය. චිත්‍රපටය තිර ගත වූ පසු අධ්‍යක්ෂක බර්නාඩෝ රූපවාහිනි සාකච්ඡා වකදී කීවේ මෙම ජවනිකාව ඇයට දුන් තිරනාටකයේ තිබූ බවත්, ඇය කියන දෙය අසත්‍ය බවකි.
කෙසේ වෙතත් ඇය මෙම දූෂණය කරන ජවනිකාවට පෙනී සිටියාය. නමුත් ඇය කීවේ මෙම ජවනිකාවෙ ඇය රඟපෑවේ ඇස් වල කඳුළු හිර කරගෙන කියාය. ඇයට දැනුණු එකම දෙය ඇයව මාලන් බ්‍රැන්ඩෝ පමණක් නොව අධ්‍යක්ෂක බර්නාඩෝ බර්ටෝලූසි ත් දුෂණය කල බවක්ය.
පෝල් ගේ ජීවිතය පමණක් නොව, ඔහුගේ මිය ගිය බිරිඳ රෝසා ගේ ජීවිතයද, තරමක් අද්භූතය. පෝල් තමාගේ සැමියා වුවද, ඇයට එම තට්ටු නිවාසයේම පෙම්වතෙක් සිටියාය. ඒ බවක් පෝල් පවා දැනගෙන සිටියේය. එහෙත් කිසිවෙක් ඇයගේ සිය දිවි නසා ගැනීමට නිසි හේතුවක් දැනගෙන සිටියේ නැත.
ජියෙනි ගේ පෙම්වතා ටොම්ය. ඔහු චිත්‍රපට, ටෙලි අධ්‍යක්ෂකවරයෙකි. ඔහුට අවශ්‍ය තම පෙම්වතිය ජියෙනිවද තම රූගත කරන චිත්‍රපටයේ පෙම්වතියගේ චරිතය රඟපාන්නටය. එයට ජියෙනි අකමැති විය.
ජියෙනි නිතරම පෝල් හමුවීමට පෝල් කුලියට ගත් නිවසට යන්නට විය. ඒ යන හැම අවස්ථාවකම, ඔවුන් ලිංගීක සම්බන්ධ කම් පවත්වන්නට විය. ඔවුන් එක් එක් ආකාරයට විවිධ ලිංගීක ක්‍රම අත්හදා බලන්නට විය.
එක් දිනක් ටොම් ජියෙනි ට විවාහ යෝජනාවක් කර, තව සති දෙකකින් ඇයව විවාහ කර ගන්නා බව කීවේය. ඇය එය අපමණ සතුටකින් භාර ගත් අතර, පෝල් සමඟ තිබෙන ලිංගීක සම්බන්ධ කම නවත්වන්නට සිතා ගත්තාය. ජියෙනිට නොදැනීම පෝල් සැලසුම් කළේ ජියෙනි ව විවාහ කර ගන්නටය. ඇය කියනුයේ ඔහුව ආශ්‍රය කළේ ලිංගීක සබඳතාවලට පමණක් බවත්, ඇය ආදරේ ටොම්ට බවත්, ඔහු දැන් විවාහයට ලෑස්ති වන නිසා, ඇයට අවශ්‍ය පෝල්ගෙන් ඉවත්වීමට බවත් ය. නමුත් පෝල්ද ඇයට විවාහ යෝජනාවක් ඉදිරිපත් කළේය. ඇය කීවේ ඇයට වයසක කෙනෙක් හා විවාහ වීමට උවමනා වක් නැති බවය.
ඔවුන් දෙදෙනා එක්ව ගිය අවසන් ගමන වූයේ, අවසාන ටැංගෝ වෝල්ස් නැටුම් තරගයටය. එදින රාත්‍රිය ඔවුන් උපරිමයෙන්ම විනෝද විය. අවසානයේදී ඇය ඔහුට කීවේ, මෙතැනින් පසු ඇය ඔහු හා ඇති සම්බන්ධය නවත්වන බවය. ඉන්පසු ඔහු ඇය පසුපස එළවන්නට විය. චිත්‍රපටයේ ත්‍රාසය මෙම ජවනිකාව තුළින් පෙන්වන්නට විය. කෙසේ වෙතත් අවසන සිදුවූයේ ඇය තැබූ වෙඩි පහරකින් ඔහු මිය යාමය.
‘ලාස්ට් ටැංගො ඉන් පැරිස්’ තුළ බොහෝ තැන් කලාත්මක භාවයෙන් උසස් විය. ගැහැනුන්, මිනිසුන් වයස් භේදයකින් තොරව, ලිංගීක ආශාවන් සංතර්පනය කර ගන්නා ආකාරය එම චිත්‍රපටයෙන් සාර්ථක ලෙස පෙන්වන්නට විය. විකාරානුපික චරිත කීපයක් ගෙන, ඒ තුළට විකාරානුපික සිදුවිම් සමඟ, කලාත්මක ප්‍රවේශයට අතී සාර්ථකව ඇතුළත් වීමේ ප්‍රශංසාව යා යුත්තේ අධ්‍යක්ෂක බර්නාඩෝ බර්ටෝලූසි ටය.
‘ලාස්ට් ටැංගො ඉන් පැරිස්’ චිත්‍රපටයේ තිබූ ලිංගික දර්ශන මින් පෙර කිසිදු හොලිවුඩ් චිත්‍රපටයක නොතිබුණි. මෙය කීපවතාවක්ම ඇමරිකාවේද තහනම් කර තිබුණි. මෙහි ලිංගීක දර්ශන කප්පාදු කර පෙන්වීමට උත්සහ කළද, ඒවා අයින් කළහොත් චිත්‍රපටයේ සම්පූර්ණ හරය නැතිවී යන හෙයින් ඒවා සමඟින්ම චිත්‍රපටය පෙන්වීමට ඉඩ ලැබුණි. ජියෙනි ගේ චරිතය රඟපෑ මරියා ශෙනෙයිඩර් ට චිත්‍රපටයේ බොහෝ අවස්ථාවල රඟපාන්නට සිදුවූයේ සම්පූර්ණයෙන්ම නිරුවත්වය. එයද මාලන් බ්‍රැන්ඩෝ සමඟය. බ්‍රැන්ඩෝ ඇයගේ නිරුවත් සිරුරේ රැඳුණු වතුර පිසදාන දර්ශනයේදී ඔහු ඇයගෙ රහස් තැන් පවා පිසින්නට විය. එහෙත් අධ්‍යක්ෂක බර්නාඩෝ ඒවා ඉදිරිපත් කළ කලාත්මක ආකාරයට, එය නරඹන කිසිවෙකුට ජුගුප්සා ජනක හැඟීම් පහළ නොවීය. අවම වශයෙන් බ්‍රැන්ඩො, මරියාව දූෂණය කරන ජවනිකාවද, එලෙස පහත් හැඟීමක් ජනිත නොවන අයුරින් බර්නාඩෝ බර්ටෝලූසි ඉදිරිපත් කර තිබුණි.
කෙසේ වෙතත් මේ නිරුවත් හා ලිංගීක ජවනිකාවන් රඟපෑම නිසා, අවාසියක් වූයේ මරියා ශෙනෙයිඩර්ට ය. සිනමා ක්ෂේත්‍රය තුළ ඇයට පිළිගැනීමක් නැති විය. එයට මූලික හේතුව වූයේ ‘ලාස්ට් ටැංගො ඉන් පැරිස්’ චිත්‍රපටයට එක් එක් පුවත්පත් දුන් ප්‍රචාරයයි. ඒ හැම එකකම ඔවුන් හුවා දැක්වූයේ ඇයගෙ නිරුවතය. ලොව වඩාත්ම ජනප්‍රිය ‘ටයිම්’ හා ‘ලයිෆ්’ සඟරා වලද, ‘ලාස්ට් ටැංගො ඉන් පැරිස්’ චිත්‍රපටය ගැන සටහන් පළ කරන විට, එහී වෛවර්ණ ඡායාරූප විශාල ප්‍රමාණයෙන් පළ වූයේද, මරියා ශෙනෙයිඩර් ගේ නිරුවත් ඡායාරූපත්, මාලන් බ්‍රැන්ඩෝ හා මරියාගේ ලිංගීක දර්ශනයන්ය. මේ හේතුවෙන් මරියා ශෙනෙයිඩර්ව, ලෝකය අතර ජනප්‍රිය වූයේ ‘නිල්’ චිත්‍රපට නිළියක් ලෙසටය. ‘ලාස්ට් ටැංගො ඉන් පැරිස්’ හැරෙන්නට ඇය කිසිදු නිල් චිත්‍රපටයක නම් රඟපා තිබුණේ නැත. සාමාන්‍යයෙන් ‘නිල්’ චිත්‍රපටවල රඟපාන නිළියන්, ප්‍රසිද්ධ වෘත්තාන්ත චිත්‍රපටවලට එකතු කර ගන්නේ නැත. මරියා ශෙනෙයිඩර්ට සිදුවුණෙත් ඒ දෙයමය. ‘ලාස්ට් ටැංගො ඉන් පැරිස්’ චිත්‍රපටයේ අතී දක්ෂ ලෙස ඇය රඟපෑවද, ඇයව කිසිදු සම්මාන උළෙලක හොඳම නිළිය ලෙස නිර්දේශ වූයේ ද නැත. 1973 දී ‘ද පැසෙන්ජර්’ චිත්‍රපටය ඇයට ලැබුණු හොඳ චිත්‍රපටයක් වූවද, අනෙක් බොහෝ චිත්‍රපට ඇයට ලැබුණේ ප්‍රංශයේ නිපදවුණු 2වන,3 වන ශ්‍රේනිණියේ චිත්‍රපටය.
‘ලාස්ට් ටැංගො ඉන් පැරිස්’ චිත්‍රපටය ඇස්තිමේන්තු කර තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 1කටය. එහෙත් එය ඩොලර් මිලියන 96 ක් උපයා තිබුණි.
මාලන් බ්‍රැන්ඩෝ ගේ රඟපෑමට ඇකඩමි සම්මාන නිර්දේශ වූ අතර, වෙනත් සම්මාන උළෙලවල් වලින් හොඳම නළුවාට හිමි සම්මානද හිමි කර ගෙන තිබුණි.
අධ්‍යක්ෂක බර්නාඩෝ බර්ටෝලූසි තම සිතැඟි පරිදී, අපූරු කලාත්මක චිත්‍රපටයක් නිර්මාණ කර තිබුණි. ‘ලාස්ට් ටැංගො ඉන් පැරිස්’ චිත්‍රපටය නැරඹීමෙන් අප වටහා ගත්තේ එයයි. නමුත් එය ‘ඉරෝටික්’ හෙවත් ශෘංගාර ශානරයේ චිත්‍රපටයක් නිසා එකල ලාංකික ප්‍රේක්ෂකයන් ට නැරඹීමට නොහැකි වූයේ එය මෙරට පෙන්වීමට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය විසින් තහනම් කර තිබූ නිසාය. එහෙත් එය අද ඩීවීඩී තැටි මඟින් නැරඹිය හැකිය.