මිත්‍රත්වය වෙනුවෙන් කොපමණ දුරක් යා හැකිද? Uunchai

නොවැම්බර් 3, 2022

අපට ජීවිතයේ විවිධ කාලවලදී විවිධාකර මිතුරෝ හමුවෙති. මේ අතරින් ඇතැමෙක් අප කුඩා වියේ පටන් හඳුනා ගත්තෝ වෙති. අමිත්, ඕම්, ජාවෙඩ් සහ භූපෙන් මිතුරන් සිව් දෙනෙකි. ඔවුන්ගේ මිත්‍රත්වයටද ඇත්තේ දිගු ඉතිහාසයකි. මෙම සිව් මිතුරන් අතරින් භූපෙන්ට ජීවිතයේ ඇත්තේ එකම සිහිනයකි. එනම් එවරස්ට් කන්ද තරණය කිරීමයි. නේපාලය සහ චීනය අතර දේශසීමාවේ හිමාල කඳුවැටියේ පිහිටා තිබෙන ලොව ඇති උසම ස්ථානය ලෙස සැලකෙන එවරස්ට් කන්ද තරණය කිරීම ඔහුට සිහිනයක්ම වේ. එයට හේතුව භූපෙන් හට සිය සිහිනය සැබෑ කර ගැනීමට පෙර දිවියෙන් සමු ගැනීමට සිදු වීමයි. ශෝකයට පත් මිතුරන් ඔහුගේ අවසන් කැමැත්තට ගරු කිරීම වෙනුවෙන් එවරස්ට් කඳු මුදුන මත ඔහුගේ භෂ්මාවශේෂ තැම්පත් කිරීමට තීරණය කරයි. 

සිය ජීවිතයේ සැඳෑ සමය ගත කරන අමිත්, ඕම් සහ ජාවෙඩ් හට මෙම ගමන අතිශය දුෂ්කර වූවකි. ඔවුන්ගේ වයස මෙන්ම වෛද්‍ය ගැටළු තිබුණා වුවද ඔවුන් මෙම ගමනට නිර්භීත විය යුතුය. අමිත්, ඕම් සහ ජාවෙඩ් තම නැසීගිය මිතුරාගේ ආශාව ඉටු කිරීම වෙනුවෙන් එම අභියෝගය භාර ගනිති. සිය සුවපහසු ජීවිත කෙටි කලකට අතහැර දැමූ ඔවුහු එවරස්ට් කන්ද තරණය කිරීම ආරම්භ කරති. ඔවුන්ගේ එම වික්‍රමාන්විත හා හැඟීම්බර ගමන අපටද දැක ගැනීමට අවස්ථාව ලැබී ඇත. Uunchai (උන්චායි) හින්දි චිත්‍රපටය රිදී තිරයේ දිග හැරෙනුයේ ඒ වෙනුවෙනි.

'උන්චායි' යන්න උස, මුදුන අරුත් ගෙන දේ. උන්චායි චිත්‍රපටයේ පරිනීති චොප්රා, සාරිකා සහ නෆීසා අලි සෝදි ද රංගනයෙන් දායක වෙති. සුනිල් ගාන්ධි විසින් රචිත කතාවට මෙම චිත්‍රපටයේ තිර රචනය සහ දෙබස් රචනා කර ඇත්තේ අභිෂේක් ඩික්සිත්ය. නොවැම්බර් 11 වැනිදා තිරගත වීමට නියමිත උන්චායි චිත්‍රපටය සූරජ් බර්ජාත්‍යාගේ අධ්‍යක්ෂණයකි. සූරජ් බර්ජාත්‍යා අධ්‍යක්ෂණයට පිවිසියේ 1989 දී ‘මේනේ ප්‍යාර් කියා’ චිත්‍රපටය සමඟිනි. පසුව ‘හම් ආප්කේ හේන්’, ‘හම් සාත් සාත් හේ’, ‘විවා’ සහ ‘ප්‍රේම් රතන් ධන් පායෝ’ යන චිත්‍රපටවලින් ජනප්‍රියත්වයට පත් විය. ඔහු උන්චායි චිත්‍රපටය සමඟ නැවත බොලිවුඩයට පිවිසෙන්නේ වසර 7කට පසුවය. 

අධ්‍යක්ෂණය සමඟ උන්චායි චිත්‍රපටයේ රූගත කිරීම් පිළිබඳ විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. ලොව භයානකම ගුවන් තොටුපළ ලෙස හැඳීන්වෙන ලුක්ලා සහ කත්මන්ඩු ඇතුළුව නේපාලයේ ස්ථාන රැසකදී මෙන්ම කාර්ගිල්, දිල්ලි, මුම්බායි සහ උත්තර් ප්‍රදේශ්හි දි මෙම චිත්‍රපටය රූගත කර ඇත. ඇතැම් දර්ශන මුහුදු මට්ටමේ සිට අඩි 17000 කට වැඩි උසකින් රූගත කර ඇති අතර එහිදී ජ්‍යෙෂ්ඨ නළු නිළියන් දායක වූ උන්චායිගේ දර්ශන වෙනුවෙන් අත්පොළසන් ලැබිය යුතුමය. විචාරකයන් මත පළ කර සිටින්නේ බොලිවුඩයට කලක සිට මඟ හැරුණු පිවිතුරු මිත්‍රත්වයේ මිහිරි සරල කතාවක් උන්චායි ගෙන එනු ඇති බවයි.

යතේජා ඥානරත්න
[email protected]