වර්ෂ 2023 ක්වූ March 21 වැනිදා Tuesday
ස්ටැලෝන් නිසා මානුෂික මුහුණුවරක් ගත් රම්බෝගේ පිවිසුම First Blood

'ඩේවිඩ් මොරෙල්' කැනඩාවේ ඔන්ටාරියෝ නගරයේ කිට්චෙනර් ප්‍රදේශයේ ඉපදුණේ 1943 වසරේ අප්‍රේල් 24 වන දිනය. ඩේවිඩ් මොරෙල්ව මෙම ලිපියට වැදගත් වන්නේ ඔහු ලේඛකයෙක් නිසාය. ඒ අතරිනුත් ඔහු මෙම ලිපියට සුවිශේෂිතයකු සේ සම්බන්ධ වන්නෙ 'ෆස්ට් බ්ලඩ්' නම් නවකථාව ලියූ නිසාය.ඒ 1972 දීය. එවිට ඔහුට වයස 29 යකි. ඔහු මෙම නවකථාවේ හරි අපූරු චරිතයක් මැව්වේය. එම චරිතය තවමත් මුළු ලොව තුල හොල්මන් කරයි. ඒ 'ජෝන් රැම්බො' ය. 'එක මිනිසෙකුගේ යුද්ධයක්' යන තේමාව මත ලියූ 'ෆර්ස්ට බ්ලඩ්', හී ඒ තනි මිනිසාය ජෝන් රැම්බෝ.
ඩේවිඩ් මොරල් ගේ 'ෆස්ට් බ්ලඩ්' නව කථාවට සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ අවධානය යොමු වෙන්නේ 1980 දී පමණය. එහී රැම්බො චරිතයට ඔහුගේ හිත ගියද ඔහු කීවේ ඩේවිඩ් මොරල් මැවූ රැම්බො, ලේ පිපාසිතයෙක් සේ මිනිසුන් මරන බවකි. මොරල්ගේ රැම්බො නිතරම සිටින්නේ රෞද්‍ර ලෙස කේන්තියකිනි.හරියට යක්ෂයෙක් සේය. එහෙයින් රැම්බො ගේ ගති පැවතුමි තරමක් සාධාරණීය කර, චරිතය වෙනස් කළ හොත් මෙම කථාව තුළින් හොඳ චිත්‍රපටයක් කළ හැකි බවක් ස්ටැලෝන්ට වැටහුණී.
1972 දී කොලොම්බියා චිත්‍රපට සමාගමේ ලෝරන්ස් ටර්මන් 'ෆර්ස්ට් බ්ලඩ්' නවකථාව සිනමාවට නැගීමේ අයිතිය ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ හැත්තෑපන්දාහකට 175,000 කට ලබා ගති. එය අධ්‍යක්ෂණය කිරීමට ඔවුන් තෝරා ගත්තේ 'ඉන් කෝල්ඩ් බ්ලඩ්', ' ද ප්‍රොෆෙෂනල්ස්' වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ රිචඩ් බෲක්ස් වය. ඔහු එය රූ ගත කිරීමට සැලසුම් කළේ නිව් මැක්සිකෝ හීය. ඒ 1972 දෙසැම්බරයේය. නමුත් එය එසේ සිතූ අයුරින් කර ගන්නට නොහැකි වූයේ ඒ වන විටත් වියට්නාම යුද්ධය පැවතුණු නිසාය. මේ හේතුවෙන් අධ්‍යක්ෂක රිචඩ් බෲක්ස් මෙම ව්‍යාපෘතියෙන් ඉවත් විය.
ඉන්පසු වෝනර් බ්‍රදර්ස් චිත්‍රපට සමාගමේ ජෝන් කැලී මෙය චිත්‍රපටයට නැංවීමේ අයිතිය කොලොම්බියා චිත්‍රපට සමාගමින් තම සමාගමට පවරා ගත්තේ ඇමරිකානු ඩොලර් 125,000 කටය. ඔවුන් එහී තිරනාටකය ලිවීමට භාර දුන්නෙ 'ද මැග්නිෆිෂන්ට් සෙවන්' ' ද ග්‍රේට් එස්කේප්' වැනි චිත්‍රපටවල තිරනාටකය ලියූ වෝල්ටර් නිව්මන්ටය.
එය අධ්‍යක්ෂණය කිරීමට ඔවුන් තෝරා ගැනුණේ 'ද ස්පයි හූ කේම් ඉන් ෆ්‍රොම් ද කෝල්ඩ්' 'හොම්බ්‍රෙ', 'ද ග්‍රේට් වයිට් හෝප්', වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කෙරූ මාර්ටින් රිට් ටය. ඔවුහු රැම්බො ගේ චරිතයට 'රොබට් ඩී නීරෝ, හෝ ක්ලින්ට් ඉස්ට්වුඩ්' තෝරා ගැන්මට අදහස් කර සිටියහ. එහෙත් එයද සාර්ථක වූයේ නැත. පසුව රැම්බොගේ චරිතයට පෝල් නිව්මන්ද, ඉන්පසුව ස්ටීව් මැකුවීන්ද නිර්දේශ විය. ඊට පසුත් නොයෙකුත් නළුවන්ව අත් හදා බැලීය. ඇල් පැසීනෝ, ජොන් ට්‍රා වෝල්ටා,මයිකල ඩග්ලස්, ඩස්ටින් හොෆ්මන්, නික් නොල්ටේ, මෙන්ම 'මිඩ් නයිට් එක්ස්ප්‍රස්' චිත්‍රපටයේ රඟපෑ බ්‍රැඩ් ඩේවිස් පවා 'රැම්බො' චරිතයට තෝරා ගතී.එහෙත් ඒවා යථාර්ථයට පත් වූයේ නැත.
ඉන්පසු එය අධ්‍යක්ෂණය කිරීමට සිඩ්නි පොලැක්ට හෝ මාර්ටින් බ්‍රෙග්මන් ට භාර දීමට ඔවුහු තීරණය කළහ.බ්‍රෙග්මන්, මෙහි තිරනාටකය ලිවීමට ඩේවිඩ් රබේට භාර දුනී. එහෙත් මාර්ටින් බ්‍රෙග්මන්ද, මෙයින් ඉවත් විය. මයික් නිකෝලස් , රබේගේ තිර නාටකයට චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට කැමැත්ත පළ කලේ ඔය අතෙර්ය.
එහෙත් ඒවා කිසි දෙයක් හරි ගියේ නැත.
විලියම් සැක්හීම්, හා මයිකල් කොසෝල් එක්ව තිර නාටකය ලියා ජෝන් බැඩමන්ට අධ්‍යක්ෂණයට භාර දෙන්නට තැත් කරන විටම, නිෂ්පාදක කාටර් ඩී හවාන්, සැක්හීම් හා කොසොල්ගෙ තිරනාටකය ,වෝනර් බ්‍රදර්ස් ගෙන් ඇමරිකානු ඩොලර් 375,000 කට අයිතිය ලබා ගත්තේය.
අවසානයේදී මයිකල් කොසෝල්, විලියම් සැක්හීම් ලියු තිරනාටකයට සිල්වෙස්ටර් ස්ටැලෝන් එක්වී එය තමනට අවශ්‍ය අන්දමට වෙනස් කෙරුවේ, ඒ වන විට නිෂ්පාදක බස්ල ෆිට්ශන්ස්, මෙහි එන ප්‍රධාන චරිතය වූ ජෝන් රැම්බොට සිල්වෙස්ටර් ස්ටැලොන්ව තෝරා ගෙන තිබුණු නිසාය. චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට භාර වුණේ බල්ගේරියන්, කැනේඩියන් චිත්‍රපට හා රූපවාහිනි අධ්‍යක්ෂක 'ටෙඩ් කොචෙෆ්ට ය. ඔහු ඒ වන විට 'වේක් ඉන් ෆරයිට්', චිත්‍රපටය මෙන්ම, 'ආර්ම් චෙයාර් තියටර්', 'ලෝ ඇන්ඩ් ඕර්ඩර්' යන ටෙලි නාට්‍ය මාලා අධ්‍යක්ෂණය කර තිබුණී.
එකිනෙකා අතට පාවි පාවි ගිය මේ 'ෆර්ස්ට් බ්ලඩ්' සිනමා ව්‍යාපෘතිය, කෙරෙන තැනකට පත් වුනේ සිල්වෙස්ටර් ස්ටැලෝන් අතට පත් වුණු නිසාය. එසේ නොවුණා නම් තවමත් මෙය පාවී, පාවී තිබෙනු ඇත. ඩේවිඩ් මොරල් ගේ නව කථාවේ සිටි ලේ පිපාසිත ,රළු රැම්බොට, තරමක් මානුෂිකත්වයක් හා සංවේදීත්වය, එකතු කළේ සිල්වෙස්ටර් ස්ටැලෝන් විසින්මය.
මෙහී එන 'විල් ටෙසෙල්' නම් පොලිස් නිලධාරියාගේ චරිතය, රැම්බො ගේ චරිතයට සමගාමිව යන ප්‍රධානතම චරිතයකි. 'ෆර්ස්ට් බ්ලඩ්' හී සියලු සිදුවීම් සිදුවෙන්නේ ඔහු නිසාය. විශාල විනාසයක් සිදුවන්නේද, පාඩුවේ ජීවත් වූ රැම්බො දරුණුතම මිනිසෙක් වන්නේද, විල් ටෙසෙල්ගේ නොපහත් කම නිසාය.
විල් ටෙසල්ගේ චරිතයට මුලින් 'රොබට් මිචම්' ව තෝරා ගත් අතර, පසුව එයට ජීන් හැක්මන් හා චාර්ල්ස් ඩර්නින්ග්, ගැනද සලකා බැලීය.රොබට් ඩුආවිල්ද ටෙසෙල් ගේ චරිතය රඟපෑම සඳහා තෝරා ගෙන සිටි නළුවෙකු විය . අවසානයේදී එයට නිත්‍ය වශයෙන්ම තෝරා ගත්තේ 'ෆවුල් ප්ලේ', 10, ලිට්ල් මිස් මාර්කර්, ස්ප්ලිට් ඉමැජ්,යන චිත්‍රපටවල රඟපෑ 'බ්‍රයන් ඩෙනේ' වය.
'ෆස්ට් බ්ලඩ්' පමනක් නොව ඉන් පසු ආ කොටස් වූ 'රැම්බො, රැම්බො 2, රැම්බො 3, යන චිත්‍රපට දිගුව තුල තිබූ ප්‍රධානතම චරිතයකි, 'කර්නල් ට්‍රොට්මන්'. මෙය නිතරම ජෝන් රැම්බො ව ආරක්ෂා කර ගන්නා චරිතයක් වූ අතර, මුළු ලෝකයාම අවිශ්වාස කළත් රැම්බො දැඩිවම විශ්වාස කළ එකම පුද්ගලයා මේ කර්නල් ට්‍රොට්මන් ය. රැම්බො ගෙ හිස නැමෙන්නෙත්, කිසිවකට ඇහුම්කන් නොදෙන රැම්බො ඇහුම්කන් දෙන්නෙත් කර්නල් ට්‍රොට්මන් ටය. එහෙයින් මෙම චරිතය රැම්බො චරිතය තරම්ම වටිනා චරිතයකි.
මෙම කර්නල් ට්‍රොට්මන් ගෙ චරිතයට මුලින්ම තෝරා ගත්තේ විශිෂ්ට නළුවෙකු වූ 'ජේම්ස් මේසන්' ය. පසුව රිචඩ් ජැකල් ගැනද අවධානය යොමු විය. නමුත් අවසානයේදී එම චරිතයට ලෝ පූජිත නළුවෙකු වූ 'කර්ක් ඩග්ලස්' ව තෝරා ගති. එහෙත් එයද අවසානය නොවීය. රූ ගත කිරීම් දින දෙකකට පෙර, කර්ක් ඩග්ලස් මෙයින් අයින් වූයේ, තිරනාටකය පිළිබඳව ප්‍රශ්නයක් හේතු කොට ගෙනය. කර්ක් ඩග්ලස්ට අවශ්‍ය වූයේ එහි අවසන් ජවනිකාව වෙනස් කර,කර්නල් ට්‍රොට්මන් ගේ වෙඩි පහරකින් රැම්බො මිය යාමටය. එයට තිර රචකයන් පමණක් නොව අධ්‍යක්ෂක හා ප්‍රධාන චරිතය රඟන සිල්වෙස්ටර් ස්ටැලෝන් පවා කැමති වූයේ නැත.
එලෙසම කර්ක් ඩග්ලස් ගෙන ආ අනෙක් කොන්දේසිය නම් ජෝන් රැම්බො තරමටම කර්නල් ට්‍රොට්මන් ගේ තිර කාලය වැඩි කළ යුතු බවය. නිෂ්පාදකයන්, අධ්‍යක්ෂක මෙන්ම ස්ටැලෝන් ද, කර්ක් ඩග්ලස්ගේ කිසිදු කොන්දේසියකට එකඟ වූයේ නැත. එහෙයින් කර්ක් ඩග්ලස් එම චිත්‍රපටයේ රඟපෑම අත්හැරියා සේම, නිශ්පාදක කණ්ඩායමද කර්ක් ඩග්ලස්ව අත හැර දැමීය. ඉන්පසු ඔවුන් විශිෂ්ට නළුවෙකු වූ 'රොක් හඩ්සන්'ට මෙම අවස්ථාව ලබා දුනී. ඔහු, සිල්වෙස්ටර් ස්ටැලෝන් සමඟ රඟපෑමට දැඩි කැමැත්තෙන් සිටියද, ඔහුට හදිසියේ ඇතිවූ හදවත් සැත්කමක් නිසා එම අවස්ථාව අහිමි වී ගියේය. රිචඩ් ක්‍රේන්නා ට 'ෆස්ට් බ්ලඩ්' චිත්‍රපටයේ කර්නල් ට්‍රොට්මන් ගේ චරිතය හිමි වූයේ ඉන්පසුවය.
1926 දී ඇමරිකාවේ ලොස් ඒන්ජල්ස් හී ඉපදුණු රිචඩ් ක්‍රේන්නා සිනමා ක්ෂේත්‍රයේ 'ඕල් රවුන්ඩර්' කෙනෙක් විය. ඔහු නළුවෙක් සේම, චිත්‍රපට නිෂ්පාදකයකු හා අධ්‍යක්ෂක වරයෙකුද විය. 1950 දී 'ලෙට්ස් ඩාන්ස්' යන චිත්‍රපටයේ කුඩා චරිතයකින් ඇමරිකානු සිනමාවට පිවිසි ඔහු නාමික චරිතයක් කළේ 1952 තිර ගත කළ 'රෙඩ් ස්කයිස් ඔෆ් මොන්ටානා' චිත්‍රපටයේ 'නොක්සන්' යන චරිතයෙනි. එතැන් සිට ඔහු චිත්‍රපට 26 ක පමණ රඟපෑ පසුවය ඔහුට 'ෆස්ට් බ්ලඩ්' හී කර්නල් ට්‍රොට්මන් ගේ චරිතය රඟපෑමට අවස්ථාව ලැබුණේ.
සිල්වෙස්ටර් ස්ටැලෝන් ඇමරිකානු සිනමාවට පැමිණියේ 1969යේදීය. ඒ 'ද ස්කොයා රූට්' නම් චිත්‍රපටයකිනි. එහී ඉතාමත් සුළු චරිතයක් රඟ පෑ ඔහු නාමික චරිතයක් රඟපෑමට 1973 වන තෙක්ම බලා සිටියේය. චිත්‍රපට 8 ක පමණ ඉතාමත් කුඩා චරිත රඟපෑමට සිදුවිය. 1973 තිරගත කළ 'නෝ ප්ලේස් ටු හයිඩ්' චිත්‍රපටයේ ප්‍රධානතම චරිතය ලැබුණේ සිල්වෙස්ටර් ස්ටැලෝන් ටය. චරිතයේ නම 'ජෙරි සැවේජ්' ය. එතැන් සිට ඔහු 1976 වන තෙක් චිත්‍රපට කීපයකම, ප්‍රධාන චරිත, දැනෙන චරිත කීපයක්ම රඟපෑවේය. එහෙත් ඔහු ජනතාව අතරට ගියේ ඔහු විසින්ම කථාව තිරනාටකය ලියූ ජෝන් ජී ඇවිල්ඩ්සන් අධ්‍යක්ෂණය කෙරූ බොක්සිං ශූරයෙකුගේ කථාවක් පදනම් කර ගත් 'රොකි' චිත්‍රපටයෙන්ය. එහී රොබට් රොකි බැල්බොගේ චරිතය රඟපෑවේ ඔහුය. 'රොකි' ඔහුව වෘත්තිය නළුවෙකු කෙරූ අතර, ඔහුව තිර නාටක රචකයෙකු බවටද පත් කළේය. එහී බොක්සිං දර්ශන පුහුණූ කළේද, ස්ටැලෝන්මය.
සිල්වෙස්ටර් ස්ටැලෝන් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් බවට පත් කළේ එඩ්වඩ් ආර්. ප්‍රෙස්මන් නිෂ්පාදනය කළ මල්ලවපොර ශූරයෙකු වටා ගෙතුනු කථාවක් ඇතුළත් 'පැරඩයිස් ඇලේ' චිත්‍රපටයෙනි. ඔහු එහී කථාව ලියා, ප්‍රධාන චරිතයද රඟපෑවේය.
'රොකි' චිත්‍රපටයේ ලද ජනප්‍රියත්වය හේතු කොට ගෙන එහී දෙවන කොටස නිෂ්පාදනය කිරීමට අර්වින් වින්ක්ලර්, හා රොබට් චාර්ටොෆ් යන නිෂ්පාදකවරු ඉදිරිපත් වූ අතර එය ලීවීමට භාර කළේද සිල්වෙස්ටර් ස්ටැලෝන්ටය. එපමණක්ද නොව, මෙවර එය අධ්‍යක්ෂණය කිරීමටද පැවරුණේ සිල්වෙස්ටර් ස්ටැලෝන් ටය. 'රොකි 2' ලෙස එම චිත්‍රපටය නම් කෙරීය. එය එතැනින් නැවතුනේ නැත.එම නිෂ්පාදකවරුන් දෙදෙනාම එහී තුන්වන කොටස වූ 'රොකි 3' නිර්මාණය කරන්නට වූ අතර, එයද ලිවීමට හා අධ්‍යක්ෂණය කිරීමට භාර කළේ සිල්වෙස්ටර් ස්ටැලෝන් ටමය. රොබට් රොකි බැල්බො චරිතය ස්ටැලෝන් ගෙන් ගිලිහුණේ නැත. රොකී, ස්ටැලෝන්මය. පසුව එය රොකි 4 - රොකි 5 දක්වා ඇදී ගියේය. රොකි 4 ස්ටැලෝන් අධ්‍යක්ෂණය කළ අතර, රොකි 5 අධ්‍යක්ෂණය කළේ ජෝන් ජී ඇවිල්ඩ්සන් ය. ස්ටැලෝන් එහී කථා රචක හා ප්‍රධාන චරිතය වූ රොකි බැල්බො පමණක් විය.
රොකි 4 චිත්‍රපට ගත කිරීමට පෙරය සිල්වෙස්ටර් ස්ටැලෝන් 'ෆස්ට් බ්ලඩ්' ව්‍යාපෘතියට එකතු වූයේ. ඒ 1982 දීය. 'ෆස්ට් බ්ලඩ්' හී රැම්බො ගේ චරිතයට අමතරව ඔහු මයිකල් කොසොල් හා විලියම් සැක්හීම් සමඟ තිරනාටකය ලිවීමටද හවුල් විය. 'රොකි' ලෙස ලොව පුරා ජනප්‍රියට පත් වුණු සිල්වෙස්ටර් ස්ටැලෝන් රොකි තැබූ වාර්ථා සියල්ලම බිඳ හෙළුවේ ජෝන් රැම්බො ගෙ චරිතය හරහාය. රැම්බො, රොකි ව අබිභවා ගව් ගාණක් ඉදිරියට ගියේය.
රොකි ව අමතක වන තරමටම ජෝන් රැම්බො ජනප්‍රිය විය. පසුව එය උන්මාදයක් විය. තනි මිනිසාගේ යුද්ධය හෙවත් 'One Man War' යන සංකල්පය ලොවට හදුන්වා දුන්නේද 'ෆර්ස්ට් බ්ලඩ්' හී රැම්බො හරහාය. එවකට ඇමරිකාවේ ජනාධිපතිව සිටි රොනල්ඩ් රේගන්, ඇමරිකාව තුළ යම් යම් කල්ලි ගැටුම් ඇතිවන විටත්, ඇමරිකානු, රුසියානු ගැටුම් ඇතිවන්නට තනන විටත්, ඒවා මැඩ පවත්වන්නට රැම්බොව ගෙන ඒම හොඳ විසඳුමක් බවක් කීය. එම ප්‍රකාශයද රැම්බො චරිතය තවත් ඉහළට නංවන්නට සමත් විය.
'ෆස්ට් බ්ලඩ්' චිත්‍රපටය ආරම්භ වන්නේ ජෝන් රැම්බෝ යුද්ධ සමයේ තමා සමඟ එකටම සිටි හිතවතෙක් ව බැලීමට ඇමරිකාවේ එක්තරා කුඩා නගරයකට පැමිණීමෙනි. ඔහු එම නිවස සොයා ගත්තද, ඔහුගේ බිරිඳ කීවේ එම යහළුවා වූ තමාගේ සැමියා මීට මාස 6කට පමණ පෙර පිළිකා රෝගයෙන් පීඩා විඳ මිය ගොස් බවය.
මිතුරා සමඟ දින කීපයක් ගත කිරීමට සිතා සිටි රැම්බොට තම සියලු අපේක්ෂාවන් බිඳ දමා යළි ආපසු හැරී යාමට සිදු විය.
එසේ නැවත හැරී එකී නගරය හරහා පා ගමනින් යන විටය,රැම්බොට 'විල් ටෙසල්' නම් උසස් පොලිස් නිලධාරියාව හමුවන්නේ. කොණ්ඩය වවාගෙන බෑගයක් කරේ දමාගෙන පයින් යන උස ,ජවසම්පන්න තරුණයාගේ විලාශය විල් ටෙසල් ට නම් දිරෙව්වේ නැත. එහෙයින් ඔහු රැම්බොවත් තම රථයේ නංවා ගෙන නගර සීමාව කෙළවරට ගෙනත් ඇරලුවේ මෙම නගරයට කරදර අනවශ්‍ය බවත්, ඉදිරි මාර්ගයෙන් ගොස් නගරයෙන් පිටවී යන ලෙසටය. කාර් රථයෙන් පිටතට පැමිණි රැම්බෝ මඳක් නැවති සිටියේය.
විල් ටෙසල් රථය හරවා ගෙන නගරය දෙසට යන්නට සැරසුණද, පැති කණ්ණාඩියෙන් ඔහු දුටුවේ රැම්බො නැවතත් නගරය දෙසට හැරී එන බවකි. ඔහු යලි තම රථය හරවා රැම්බො ළඟට ගොස් ඔහුට තර්ජනය කළා පමණක් නොව, රැම්බොට තම අත් දෙක කාරයේ බොනට්ටුව මත තබන්නට අණ කළේය. ඉන්පසු රැම්බොව පරික්ෂා කළ ඔහුට රැම්බො ළඟ තිබී දිඟු පිහියක් හමුවුණි. තමාගේ අණ පිළි නොගෙන නැවත නගරයට ඇතුල් වූ රැම්බො සමඟ ඇතිව තිබූ කේන්තිය දෙගුණ, තෙගුණ වීමට මෙම පිහිය තවත් හේතුවක් විය.
ඔහු රැම්බොට මංචු දමා තම රථයට නංවා ගෙන කෙළින්ම තමාගේ පොලිස් ස්ථානය වෙත ගියේ ඔහුව දවස් 90 කට වඩා හිර කර තබන බවක් තර්ජනය කරමිනි. විල් ටෙසල් හිතූ තරම් පහසුවෙන් ඔහුට රැම්බෝව හිර කර තැබීමට ලේසි වූයේ නැත. අවම තරමේ එකම රැයක්වත් ඔහුට රැම්බොව හිර කර තබන්නට නොහැකි විය. රැම්බො විල් ටෙසල් හා ඔහුගේ භටයන්ට හොඳ හැටි පහර දී පොලිසියෙන් පැන මහපාරට පැමිණ, පාරේ යන අයෙකුට ද පහර දී ඔහුගේ මෝටර් සයිකලයද රැගෙන කැලයට පළා ගියේය.
විල් ටෙසල් ඇතුළු ඔහුගේ භටයන් කීප දෙනෙක්ම හොඳ හැටි තුවාල ලැබීය. එහෙත් විල්ටෙසල් තම ජීප් රථය ගෙන රැම්බො මෝටර් සයිකලය පැද ගිය අතට ගොස් ඔහුව ලුහු බැන්දේය. එලෙසම විල් ටෙසල්ගේ පොලිස් කණ්ඩායමද රැම්බො ව ලුහු බඳීන්නට විය. කැලය යනු රැම්බොට නුපුරුදු තැනක් නොවීය. වියට්නාම යුද්ධයේදී රැම්බෝ බොහෝ කාලයක් ගත කළේ, සටන් කළේ කැලයක් තුල සිටය. මේ හෙයින් රැම්බො, විල් ටෙසල්ගේ කණ්ඩායමේ කීප දෙනෙක්ව තම ග්‍රහණයට හසු කර ගති. ඒ සියල්ලන්ව ඔහු මරා දැමීය.
විල් ටෙසල්ගේ දෙවෙනි අණ දෙන නිලධාරි ගල්ට්, හෙලිකොප්ටරයක නැගී කැලෑවේ සිටින රැම්බො ව සොයන්නට වූයේ දුටු තැන වෙඩි තියන්නටය. ඒ රැම්බො ගල්ට්ට පොලිසිය තුළදී නහය කැඩෙන්නටම පහර දුන් නිසාය.ඔහුට රැම්බො ගෙන් ඒ පළිය ගන්නටම උවමනා විය. හෙලිකොප්ටරයේ යන ඔහුට කැලෑවේ ගස් අස්සේ සිටි රැම්බොව දුටුවේය. ඔහු හෙලිකොප්ටර් පයිලට් ට කීවේ, තවත් පහත් කරන්නට කියාය. ඒ නිසි ඉලක්කය අල්ලා වෙඩි තියන්නටය. හෙලිකොප්ටරය පහත් කරන විටම රැම්බො ලොකු ගල් කැටයකින් හෙලිකොප්ටරයේ ඉස්සරහා වීදුරුවට දමා ගැසිය. විදුරුව ඉරිතැලී ගිය පසු හෙලි පයිලට්ට එය පාලනය කර ගැන්මට නොහැකි විය. හෙලි කොප්ටරය කඩා වැටි කන්දක හැප්පී ගිනි ගතී. හෙලි පයිලට් සමඟම නිලධාරි ගට්ද ජීවිතක්ෂයට පත් විය.
'ෆස්ට් බ්ලඩ්' හී කථාවකට වඩා තිබුණේ රැම්බො හා විල් ටෙසල්ගේ පුද්ගලීක සටනය. කර්නල් ට්‍රොට්මන් රැම්බොව සොයාගෙන විල් ටෙසල්ගේ පොලිස් මධ්‍යස්ථානයට පැමිණියේ ඔය අතරෙදීය. රැම්බො වියට්නාම යුද්ධයේදී ඇමරිකාව වෙනුවෙන් කළ ජීවිත කැප කිරීම හොදාකාරව දන්නේ කර්නල් ට්‍රොට්මන් ය. රැම්බො විශාල කරදරයක වැටී ඇති බවක් දැන ගත් ට්‍රොට්මන් වහා පැමිණ, රැම්බොව තමාට භාර දෙන ලෙස විල් ටෙසල් ගෙන් ඉල්ලා සිටි අතර ඔහු එයට අවනත නොවූ නිසා, ට්‍රොට්මන් ට, රජයෙන් හා හමුදාවෙන් උදව් ඉල්ලන්නට සිදු විය. එහෙත් රැම්බො මෙන් විල් ටෙසල් තම සටන දිගටම ගෙන ගියහ.
චිත්‍රපටයේ බොහෝ සිදුවීම් ඉතාමත් ත්‍රාසජනක විය. රැම්බොගේ වේගවත් අවි හරඹය, විශ්මිත විය. ටෙසල්ට අවශ්‍ය වූයේ කෙසේ හෝ රැම්බො ව තමා අතින්ම මරා දැමීමටය. එහෙත් අවසානයේ සිදුවූවේ විලි ටෙසල් රැම්බො අතින් දරුණු ලෙස තුවාල වීමය.
මුලු චිත්‍රපටය පුරාවටම දැක ගත හැකි වූයේ තනි රැම්බොගේ වීර වික්‍රමයන්ය.
රැම්බො කථා මාලාවම ලොව අතීශයින්ම ජනප්‍රිය වීමට විශාල ලෙස එය හේතු විය. එය රැම්බො 2,3,4,5 දක්වා ඉදිරියට ගියේ ය. රැම්බො චරිතය ලොව වඩාත් කථා බහට ලක්වූ චිත්‍රපටයක් වූ සේම, සිල්වෙස්ටර් ස්ටැලෝන් ලොව අංක 1 නළුවා බවටද පත් විය .
මා ලිපියේ මුලින් කී ලෙසේ ලොව වටා රැම්බො උන්මාදයක් නිර්මාණ විය. රැම්බො ටී ෂර්ට්, රැම්බො පිහි, වැනි දේ වෙළඳ පොලේ විකිනෙන්නට විය. අදටත් ජෝන් රැම්බො ජීවමාන වේ. එම ප්‍රතිරූපය තව වර්ෂ ගණනාවක් යන තෙක් මේ ලොව පවතින අතර, සිල්වෙස්ටර් ස්ටැලෝන් යන නළුවාද අමරණීය වනු ඇත.
ශෝන් මැක්ස්මස් දිසානායක
[email protected]