රාම්සේතු පාලම සත්‍යයක්ද?

ඔක්තෝබර් 20, 2022

රාමායණය සංස්කෘත වීර කාව්‍යය හින්දු සංස්කෘත සාහිත්‍යයේ එන මහා කාව්‍යයන් ද්විත්වයෙන් එකකි. උත්තර භාරතයේ අයෝධ්‍යා පුරවරයේ දශරථ රජුගේ පුත් රාම කුමරු, මිථිලා නුවර ජනක රජුගේ දියණිය වූ සීතා කුමරිය හා ලංකාපුර රජ කළ රාවණා රජු වටා ගෙතී ඇති මෙම මහා කාව්‍යය වාල්මිකී නමැති සෘෂිවරයකු විසින් ලියන ලද්දක් ලෙස සැලකේ.

රාමායණයට අනුව ලංකාපුර රාවණා රජු විසින් පැහැර ගත් සිය බිරිය සීතා බේරා ගැනීම සඳහා රාම කුමරු සිය සොයුරු ලක්ෂ්මන ඇතුළු පිරිස ලංකාපුරයට පැමිණේ. රාම කුමරු ඇතුළු පිරිසට ලංකාපුරයට පැමිණීමට ඇති බාධකය මහා සාගරයයි. රාමායණ වීර කාව්‍යයට අනුව රාම් සේතු පාලම ඉදිකරනු ලබන්නේ ඒ වෙනුවෙනි. ‘රාමසේතු’ පාලම ඉදිකළේ රාමා සහ ලක්ෂ්මන්ගේ සහායට ආ හනුමාන් ප්‍රමුඛ වානර සේනාවය. පාලම ඉදිකරනු ලබන්නේ නාලා සහ නීලා නම් වානරයන්ගේ ප්‍රධානත්වයෙනි. පාලමට යොදා ගත් ගල් ජලයේ නොගිලී, පා වීම සිදු කළේ නාලා සිය දැනුම සහ හැකියාව යොදා ගනිමින් යැයි ද රාමායණයේ සඳහන් වේ.

රාම සේතු, රාමගේ පාලම මෙන්ම ආදම්ගේ පාලම ලෙසද හැඳීන්වෙන මෙම පාලම ඉන්දියාවේ තමිල්නාඩුවේ සහ මන්නාරමේ ගිනිකොන දෙසින් පිහිටි පම්බන් දූපත (රාමේෂ්වරම් දූපත ලෙසද හැඳීන්වේ) අතර ස්වාභාවික හුණුගල් දාමයකි. භූ විද්‍යාත්මක සාක්ෂි අනුව මෙම පාලම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැරණි ගොඩබිම් සම්බන්ධතාවයක් විය.

ඉන්දියානු සිනමාව ගත හොත් චිත්‍රපට රැසක් රාමායණය තේමා කර ගනිමින් නිර්මාණය වී ඇති අයුරු දැක ගත හැකිය. රාමසේතු පාලම පිළිබඳ කතා පුවත ද පදනම් කරගත් සිනමා නිර්මාණයක් රිදී තිරයේ දිග හැරීමට නියමිතව ඇත. අභිෂේක් ෂර්මා විසින් අධ්‍යක්ෂණය කරන ලද හින්දි, ක්‍රියාදාම, ත්‍රාසජනක චිත්‍රපටක් වන එය නම් වී තිබෙන්නේ රාම් සේතු ලෙසිනි. රාම් සේතු චිත්‍රපටයට අනුව ආර්යන් කුල්ශ්‍රීෂ්ත්‍ර පුරාවිද්‍යාඥයෙකි. ඔහු විශේෂ ගවේෂණයක නියැළී සිටී. එනම් රාම් සේතු පාලම මිථ්‍යාවක්ද යථාර්තයක්ද යන්න සොයා බැලීමයි.

ලබන 25 වැනිදා සිට තිරගත කිරීම ඇරඹෙන රාම සේතු චිත්‍රපටයේ ආර්යන් කුල්ශ්‍රීෂ්ත්‍රගේ චරිතයට පණ පොවන්නේ ආක්ෂේ කුමාර් විසිනි. ඔහු සමඟ ජැක්ලීන් ෆර්නැන්ඩ්ස්, නුෂාරත් භරූචා, සත්‍ය දේව්, නසාර් ඇතුළු පිරිසක් ද රංගනයෙන් දායක වෙති. මෙහි රූගත කිරීම් කොටසක් ශ්‍රී ලංකාවේදී සිදු කිරීමට සැලසුම් කර තිබුණද පසුගිය කාලයේ කොරෝනා වසංගත තත්ත්වය සමඟ සංචරණ සීමා පැනවීම හේතුවෙන් එම රූගත කිරීම් ඉන්දියාවේදී සිදු කිරීමට නිෂ්පාදන කණ්ඩායම පියවර ගත්හ.