ගොපලු සිනමාවේ ඩොලර් පෙරළිය

ඔක්තෝබර් 13, 2022

ඉතාලි සිනමා අධ්‍යක්ෂක සර්ජියෝ ලියෝන් තම චිත්‍රපටය වූ ' ප උන් පුග්නෝ ඩි ඩොලාරි' තිරගත වීමට ප්‍රථම ඔහුට හමුවූ අලුත් නිෂ්පාදකයා වූ ඇල්බර්ටෝ ග්‍රිමාල්ඩි සමඟ අලුත් චිත්‍රපටයක් පටන් ගන්නට සැලසුම් කලා පමණක් නොව එහී ප්‍රධාන චරිතයටද ක්ලින්ට් ඊස්ට්වුඩ් නම් ඇමරිකන් නළුවාව ගැනීමට තීරණය කළේය. එම ඇරයුම පිළිගන්නට නම් ඔහු තමා රඟපෑ 'ප උන් පුග්නෝ ඩී ඩොලාරි' චිත්‍රපටයේ ඉංග්‍රිසි පිටපත නැරඹීමට වුවමනා බවක් ක්ලින්ට් ඊස්ට්වුඩ් කීය. එහෙත් ඒ වන විට සර්ජියෝ ලියොන් එහී ඉංග්‍රිසි පිටපත සම්පූර්ණ කර තිබුණේ නැත. එහෙයින් ක්ලින්ට් ඊස්ට්වුඩ්ට දකින්නට ලැබුණේ ඉතාලි පිටපතය.

සර්ජියෝ ලියෝන් ගේ දක්ෂ අධ්‍යක්ෂණය ගැන සැහීමකට පත් වූ ක්ලින්ට්, ඔහු අධ්‍යක්ෂණය කරන්නට යන අලුත් චිත්‍රපටයට කැමැත්ත පළ කළේය. ඒ කෙසේ වෙතත් ක්ලින්ට් ඊස්ට් වුඩ් රඟපෑ එකී චිත්‍රපටය වූ 'ප උන් පුග්නෝ ඩි ඩොලාරි' ' චිත්‍රපටය එතරම් සාර්ථකව තිර ගත නොවුණේ එය ඉතාලි භාෂාවෙන් නිර්මාණය වූ නිසාය. පසුව ඔවුන් ඉක්මනින් ම ඉංග්‍රීසි භාෂා පිටපත් ලොව වටා ප්‍රදර්ශනය කළේ ' අ ෆිස්ටිෆුල් ඔෆ් ඩොලර්ස්' නමිනි. එය ක්ලින්ට් ඊස්ට්වුඩ් ගේ ප්‍රථම ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපටය විය. මෙහී ඉංග්‍රිසි පිටපත වූ ' අ ෆිස්ටෆුල් ඔෆ් ඩොලර්ස්' කෙතරම් ජනප්‍රිය වූවාදැයි කිවහොත්, එයට වියදම් වූ ඇමරිකානු ඩොලර් දෙලක්ෂ විසිපන්දහ වෙනුවට, ඇමරිකානු ඩොලර් ලක්ෂ 199.9ක් එනම් ඩොලර් මිලියන 19.9ක් උපයා තිබුණි. ක්ලින්ට් ඊස්ට් වුඩ් ට ' මෑන් විත් නෝ නේම්' යන අන්වර්ථ නාමයක් පට බැදුණේ මෙම ' අ ෆිස්ටිෆුල් ඔෆ් ඩොලර් ' චිත්‍රපටයෙන් ලද ජනප්‍රියත්වය නිසාය.

ප්‍රංශය ඇතුළු යුරෝපියානුවන් , මෙන්ම පසුව බ්‍රිතානුවන් හා ඇමරිකානුවන් පවා මෙම චිත්‍රපට හැඳීන්වූයේ 'ස්පැගෙති වෙස්ටර්න් යන නමිනි. මෙම නම මුලින්ම මාධ්‍ය මගින් ප්‍රචාරය කර තිබුණේ ස්පාඤ්ඤ මාධ්‍යවේදියෙකු වූ 'ඇල්ෆොන්සෝ සැන්චෙස් 'විසිනි. ඔහු එයට හේතු දක්වා තිබුණේ මෙම චිත්‍රපට ඉතාලියෙන් බිහිවන නිසාත්, ඉතාලියේ ප්‍රධානතම ආහාරය 'ස්පැගෙති' නිසාත්, ඉතාලියට කියන අන්වර්ථ නාමය 'ස්පැගෙති' නිසාත්, මෙම 'කව් බෝයි' ගණයේ චිත්‍රපට 'ස්පැගෙති වෙස්ටර්න්' ලෙස හඳුන්වන බවය. ඉන්පසු මෙවන් 'කව් බෝයි' චිත්‍රපට ඇමරිකාවේ හොලිවුඩ් හී නැතිනම් එංගලන්තයේ නිපද වූවද ඒවා ස්පැගෙති වෙස්ටර්න් ගණයට අයත් විය.

1964 සිට 1973 දක්වා ස්පැගෙති වෙස්ටර්න් චිත්‍රපට 500 ක් පමණ නිර්මාණය වී තිබුණි. ලොව ප්‍රථම 'වෙස්ටර්න්' හෙවත් ගොපලු චිත්‍රපටය ලෙස සිනමා ඉතිහාසයට එක්වන්නේ වර්ෂ 1903 දී එඩ්වින් එස් පෝටර් අධ්‍යක්ෂණය කළ 'ද ග්‍රේට් ට්‍රේන් රොබරි' චිත්‍රපටය ය. නමුත් තවත් ආ පස්සට ගියහොත් ලොව ප්‍රථම වෙස්ටර්න් කව් බෝයි චිත්‍රපටය බිහිවී තිබුණේ 1894 දීය. එය සිදුවී තිබුණේ ඇමරිකාවේ නිව් ජර්සි හී 'වෙස්ට් ඔරෙන්ජ්' නම් ප්‍රදේශයේ ' බ්ලැක් මාරියා' ස්ටුඩියෝ තුළය. එය ' බෆලෝ බිල්ස් වයිල්ඩ් වෙස්ට් ෂෝ' නමින් හැඳීන්වූ නිහඬ චිත්‍රපටයකි. එම මුළු චිත්‍රපටයම එක 'රීල්' එකකට පමණක් සීමාවී තිබුණි.'ද ග්‍රේට් ට්‍රේන් රොබරි' ලොව ප්‍රථම හඬ සහිත 'වෙස්ටර්න්' චිත්‍රපටය කියා කිවහොත් වඩාත් නිවැරදිය.

ස්පැගෙති වෙස්ටර්න් කැටගරියේ මුල්ම චිත්‍රපටය ලෙස ලොව සිනමා ඉතිහාසයට එකතු වන්නේ 1964 නිර්මාණය වූ සර්ජියෝ ලියොන් ගේ 'අ ෆිස්ටිෆුල් ඔෆ් ඩොලර්ස්' චිත්‍රපටයයි.

සර්ජියෝ ලියෝන් හැඳීන්වෙන්නේ ඉතාලි ජාතික චිත්‍රපට නිෂ්පාදකයෙක්, අධ්‍යක්ෂක වරයෙක් හා තිර නාටක රචකයෙක් ලෙසටය. එලෙසම ඔහු 'ස්පැගෙති වෙස්ටර්න්' චිත්‍රපටවල පුරෝගාමියෙක් ලෙසටද හඳුන්වයි. ඔහුගේ මුල්ම චිත්‍රපටය නිර්මාණය වූයේ 1959 යෙදීය. ඒ 'ද ලාස්ට් ඩේස් ඔෆ් පොම්පෙයි' චිත්‍රපටය ය. එය මාරියෝ බොනාඩ්ගේ අධ්‍යක්ෂණයක් වූ අතර, සර්ජියෝ ලියොන් එහී සම අධ්‍යක්ෂකයා විය. නමුත් චිත්‍රපටයේ අඩක් රූගත කරන අතරේදී මාරියෝ බොනාඩ් දරුණු ලෙස අසනීප විය. එතැන් සිට චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ගෙන යාමට සිදුවූයේ සර්ජියෝ ලියෝන්ටය.එහෙයින් එම චිත්‍රපටයේ නාමවලියේ ඔහු සඳහන් වන්නේ සම අධ්‍යක්ෂක වරයා ලෙසටය. 1961 දී ඔහුට ඔහුගේ ප්‍රථම තනි නිර්මාණය කිරීමට ලැබුණි. ඒ 'ද කොලෝසස් ඔෆ් රෝඩස්' නම් චිත්‍රපටය ය. එහී තිර රචකවරුන් 7 දෙනෙක් සිටීම විශේෂත්වයක් විය. ඔහු 'අ ෆිස්ටිෆුල් ඔෆ් ඩොලර්ස්' අධ්‍යක්ෂණය කළේ ඉන් පසුවය. ඒ 1964 දීය. ඉන්පසු ඔහු පිළිවෙළින් ' ෆො අ ෆිව් ඩොලර්ස් මෝ' 1965 දී ද, ' ද ගුඩ් ද බෑඩ් ඇන්ඩ් ද අග්ලි', 1966 දී අධ්‍යක්ෂණය කළ අතර, හෙන්රි ෆොන්ඩා, ක්ලෝඩියා කාර්ඩිනලී රඟපෑ ' වන්ස් අපෝන් අ ටයිම් ඉන්ද වෙස්ට්' 1968 දී ද, 'ඩක් යූ සකර්' ( එය ඇමරිකාවෙ හා ආසියාවේ තිර ගත කළේ 'අ ෆිස්ට්ෆුල් ඔෆ් ඩයිනමයිට්' නමිනි) 1971 දී ද අධ්‍යක්ෂණය කළේය. ඔහු අවසන් වරට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේ 1984 දීය. එය 'වන්ස් අපෝන් අ ටයිම් ඉන් ඇමරිකා' ය.

'ක්ලින්ට් ඊස්ට් වුඩ්' මුලින්ම සිනමාවට පිවිසියේ 1955 දී තිරගත කළ 'රිවේන්ජ් ඔෆ් ද ක්‍රියේටර්' චිත්‍රපටයෙනි. ඔහු එහී රඟපෑවේ ඉතාම කුඩා චරිතයකි. ඉන්පසු එම වසරේම 'ෆ්‍රැන්සිස් ඉන් ද නේවී', නම් චිත්‍රපටයේ 'ජොනිසි' නම් තරමක විකාශනය වන චරිතයක් රඟපෑමට ඔහුට හිමි විය. ඉන් පසු 'ලේඩි ගොඩිවා ඔෆ් කොවෙන්ට්‍රි',

' ටරන්ටූලා', හා 1956 වසරේ ' නෙවර් සේ ගුඩ් බායි' 'ස්ටාර් ඉන් ද ඩස්ට්', 'අවෙි ඕල් බෝට්ස්', යන චිත්‍රපටවල සුළු චරිත රඟපෑවේය. එම වසරේම ' ද ෆර්ස්ට් ට්‍රැවලින්ග් සේල්ස් ලේඩි' චිත්‍රපටයේ මේජර් ජෙනරාල් රයිස් ලෙස සැලකිය යුතු සහයක චරිතයක් රඟපෑවේය. 1957 දී 'එස්කේප්ඩ් ඉන් ජැපෑන්', චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපෑ ඔහු 1958 දී ' ලැෆේට්ටි එස්කැඩ්‍රිල්ලේ' චිත්‍රප⁣ටයේ ප්‍රධාන සහයක චරිතයක් වූ ජෝර්ජ් මොසෙලේ ගේ චරිතයට පණ දුනි. 'ඇම්බූශ් ඇට් සිමරොන් පාස්', චිත්‍රපටයේ ප්‍රධාන සහය චරිතය වූ කීත් විලියම්ස් ගේ චරිතය ඔහු රඟපෑවේ ස්කොට් බ්‍රැඩි නම් නළුවා සමඟය. ක්ලින්ට් ඊස්ට් වුඩ් ගේ නම තරමක් විශාල ලෙස චිත්‍රපට පෝස්ටරයක ප්‍රථම වතාවට සඳහන් වූයේ 'ඇම්බුශ් ඇට් සිමරොන් පාස්' චිත්‍රපටයෙන්ය. අධ්‍යක්ෂක සර්ජියෝ ලියොන් ක්ලින්ට් ඊස්ට් වුඩ්ව ප්‍රථම වරට ප්‍රධාන චරිතයට තෝරා ගත්තේ ඉන්පසුවය. ඒ 1964 තිර ගත කළ 'අ ෆිස්ටිෆුල් ඔෆ් ඩොලර්ස්' චිත්‍රපටයටය. ඇත්ත වශයෙන් ම ක්ලින්ට් ඊස්ට්වුඩ් යන නළුවාව ලෝක සිනමා ක්ෂේත්‍රයේ මහා දැවැන්තයෙක් කළේ සර්ජියො ලියොන් ය. එතෙක් ක්ලින්ට් ඊස්ට්වුඩ් යන නළුවා සිටියේ යලටත් නැති මහටත් නැති නළුවෙකු ලෙසටය. සර්ජියෝ ගේ ස්පැගෙති වෙස්ටර්න් චිත්‍රපටය වූ ' ෆිස්ටිෆුල් ඔෆ් ඩොලර්ස්' චිත්‍රපටයෙන් ක්ලින්ට් ඊස්ට් වුඩ් අළු ගසා නැගිට්ටේය. ඔහුව ලෝක පූජිත මෙන්ම මුළු විශ්වයේ සිනමා ප්‍රේක්ෂකයන් අතර ඉහළින් ඔසවා තැබුණේ සර්ජියෝ ලියෝන්ගෙ ඊලඟ ස්පැගෙති වෙස්ටර්න් චිත්‍රපටය වූ ' 'ප කුආල්චේ ඩොලාරෝ ඉන් පියූ' හෙවත් 'ෆො අ ෆිව් ඩොලර්ස් මෝ' ය.

ලුසියානෝ වින්සෙන්සෝනි විසින් දවස් 9 ක් ඇතුළත ලියු තිරනාටකයකි 'ෆො අ ෆිව් ඩොලර්ස් මෝ'. එහෙත් ඒ තිරනාටකයට සර්ජියෝ ලියෝන් සෑහිමකට පත් වූයේ නැත. එහෙයින් ඔහු සර්ජියෝ ඩොනාටි නම් අයෙක් ව තිර රචනා උපදේශක ලෙස ගෙන, එය තමනට උවමනා අන්දමට සකස් කර ගති.

මෙහි ප්‍රධානතම චරිත යුගල වූයේ , 'මැන්කෝ', සහ 'කොලොනල් ඩග්ලස් මොටිමර්' ය. මැන්කෝගේ චරිතය⁣ට මුල සිටම තෝරා ගෙන තිබු⁣ණේ ක්ලින්ට් ඊස්ට්වුඩ්වය. ඩග්ලස් මොටි⁣මර් චරිතයට මුලින්ම තෝරා ගෙන තිබුණේ 'චාර්ල්ස් බ්‍රොන්සන්ව' ය. එහෙත් පසුව එය වෙනස් වී එම චරිතයට ඇමරිකන් නළුවෙකු වූ ' ලී වෑන් ක්ලිෆ් ' ව තෝරා ගති. 1952 වර්ෂයේ තිර ගත කළ 'හයි නූන්' චිත්‍රපටයේ 'ජැක් කෝල්බි' නම් චරිතයෙන් සිනමාවට එක්වුණු ලී.වෑන් ක්ලිෆ්, ගේ 52 වෙනි චිත්‍රපටය වූයේ 'ෆො අ ෆිව් ඩොලර්ස් මෝ' චිත්‍රපටය ය.

'ෆො අ ෆිව් ඩොලර්ස් මෝ' චිත්‍රපටයේ සුවිශේෂිත අංගයක් වූයේ 'එන්නියෝ මොරිකෝන්' ගේ සංගීතය ය. එය විටෙක මුළු චිත්‍රපටය අබිබවා යන්නට විය. එය බොහෝ විට 'ඩිජෙටික්' සංගීතය හා සමිශ්‍රණයක් විය. 'ඩිජෙටික්' සංගීතය යනු ' ස්වයං ක්‍රම වේදයකින් නංවන ශබ්දයන් ය.'එන්නියෝ' චිත්‍රපටය පුරාවටම තම තේමා සංගීතය ඉදිරිපත් කළේ සිවුරුහන් බෑමෙනි. පසුව එය මුළු විශ්වය පුරාවටම විහිදුණු සංගීත කාණ්ඩයක් බවට පත් විය. 'ෆො අ ෆිව් ඩොලර්ස් මෝ' චිත්‍රපටය කෙතරම්

ජනප්‍රිය වූවද, ඊටත් එහා 'එන්නියෝ මොරිකෝන්' ගේ සංගීතය ජනප්‍රිය විය.

ඇල්බෙර්ටෝ ග්‍රිමලිඩි ' ෆො අ ෆිව් ඩොලර්ස් මෝ' චිත්‍රපටය නිශ්පාදනය කිරීමට ප්‍රථම 'ද ෂැඩෝස් ඔෆ් සෝරෝ' නමින් චිත්‍රපටයක් 1962 දී නිෂ්පාදනය කළ අතර, 1964 'ටැක්සාස් රේන්ජර්' නමින් ස්පැගෙති වෙස්ටර්න් වර්ගයේ චිත්‍රපටයකටද නිෂ්පාදනයෙන් හවුල් විය. ඉන්පසුවය ඔහු සර්ජියෝ ලියොන්ගෙ අධ්‍යක්ෂණය වූ 'ෆො අ ෆිව් ඩොලර්ස් මෝ' ට සම්බන්ධ වූයේ. පසු කලෙකය ඔහු 'ද ගුඩ් ද බෑඩ් ඇන් ද අග්ලි' , 'ඩෙසර්ට් කමන්ඩෝස්' ' බර්න්', 'සබාටා', 'අඩියෝස් සබාටා', 'රිටන් ඔෆ් සබාටා', 'ලාස්ට් ටැංගො ඉන් පැරිස්' 'ගැන්ග්ස් ඔෆ් නිව් යෝර්ක්', වැනි චිත්‍රපට වලට සම්බන්ධ වූයේ. ඔහුගේ ප්‍රියතම නළුවා වූයේ මාලන් බ්‍රැන්ඩෝ ය. ' ඔහු ඔහුගේ නිෂ්පාදන වු 'බර්න්', හා 'ලාස්ට් ටැංගො ඉන් පැරිස්' චිත්‍රපටයට මාලන් බ්‍රැන්ඩොව තෝරා ගැනුණේ ඒ ප්‍රිය කම නිසාය.

'ෆො අ ෆිව් ඩොලර්ස් මෝ' චිත්‍රපටය ආරම්භ වන්නේ වැලි කාන්තාරයක් වැනි පෙදෙසකින් ඈත දුරක සිට එන අසරුවෙකුගේ අපැහැදිලි දර්ශනයකිනි. එය තරමක් ළඟට එන විටම, එක් වරම වෙඩි ශබ්දයක් ඇසී ඔහුව අශ්වයා පිටින් වැටී මිය යයි. සර්ජියෝ ලියොන් එය චිත්‍රපටයේ ආරම්භයට එක්කොට ඇත්තේ කිසියම් සංකේතයක් බදු විය හැකිය. ඉන්පසු දර්ශනය සම්බන්ධ කෙරෙනුයේ දුම්රියකටය. අප මුලින්ම 'කොලොනල් ඩග්ලස් මොටිමර් ව දකින්නේ එතනදීය. සර්ජියෝ ලියෝන් අපට ඔහු ගේ මුහුණ කෙළින්ම නොපෙන්වයි. ඔහු සිටින්නේ පුවත් පතකින් මුහුණ වසාගෙනය. ඔහුට ඉදිරිපස වාඩිවී සිටින මගියා කියන්නේ ඩග්ලස් මොටිමර්ට බැසිය යුතු දුම්රිය ස්ථානයේ දුම්රිය නවත්වන්නේ නැති බවත්, ඔහුට සිදුවෙන්නේ තවත් කිලෝමීටර් ගණනාවකට එහා ඇති ස්ටේෂන් එකෙන් බැස, වෙනත් දුම්රියක නැගී ආ පස්සට එන්නට සිදුවන බවකි.

⁣එහෙත් ඩග්ලස් මෝටිමර් කියන්නේ ඔහු අනිවාරයෙන්ම ඔහුට අවශ්‍ය දුම්රිය ස්ථානයෙන් බැස යන බවකි.එසේ කියා ඔහු හදිසි අවස්ථාවක අදින දම්වැල අදියි. එවිට දුම්රිය ඔහුට බැසීමට අවශ්‍ය ස්ථානයේ නතර කළේ, කුමක් හෝ හදිසි සිදුවීමක් සිදුවී ඇති යැයි නිගමනය කිරීමෙනි. නමුත් එතනදි ඔහු කළේ ඔහුගේ බලපුළුවන්කාර කම පෙන්වීමය. ඔහු එම දුම්රිය ස්ථානයෙන් බසින්නේ තම අශ්වයාද රැගෙනය.

කොලොනල් ඩග්ලස් මොටිමර් ව චිත්‍රපටය මුලදී අප හඳුනා ගන්නේ 'බවුන්ටි හන්ටර්' කෙනෙක් ලෙසටය. එනම් එම ප්‍රාන්තය විසින් මිනීමරුවන්, මංකොල්ලකරුවන්ව සොයා දෙන ලෙස දැන්වීම් පත්‍රිකා නගරයේ අලවා එයට ඔහුව පණ ඇතිව, හෝ පණ නැතිව ගෙනවිත් දෙන කෙනාට බවුන්ටි හන්ටර් යනුවෙන් හඳුන්වනු ලැබෙයි.එසේ ගෙනවිත් දෙන ඒ බවුන්ටි හන්ටර්ට එහී සඳහන් මුදල ලැබෙනු ඇත. මුලින් ඩග්ලස් මොටිමෝර් කළේ එක් නගරයකට පැමිණ එසේ අවශ්‍ය පුද්ගලයෙකු පසු පස හඹා ගොස් ඔහුට වෙඩි තබා මරා දමා, එම ප්‍රාන්තය පාලනය කරන ෂෙරිෆ්වරයාගෙන් තමාට අයත් වන මුදල ලබා ගැනීමය. එය ලබාගෙන එකී කාර්යාලයෙන් එළියට එනවිටය ඔහු දකින්නේ 'ඉන්ඩියෝ' ගේ මුහුණ දමා, ඔහුව පණ ඇතිව හෝ පණ නැතිව අල්ලා ගෙනවිත් දෙන්නන්ට ඇමරිකානු ඩොලර් 1000ක මුදලක් ගෙවන බව.

එවර ඔහු තම අවධානය ඒ දෙසට යොමු කරන්නේ, ඔහු සමඟ විශාල ගනු දෙනුවක් නිම කිරීමට තිබෙන නිසාය.

ඉන්ඩියෝ යනු මිනීමරුවෙකි. එලෙසම නොසන්ඩාලයෙකි, විකෘති කාමාතුරයෙකි. ඔහු එක් තරුණ අඹු සැමි යුවළක් ආදරයෙන් සිටින විට කාමරය තුල වෙඩි තබා මරා දමා එම රූමත් ගැහැනියගේ මළසිරුර මත නැගී තම ලිංගීක ආශාවෝ තෘප්තිමත් කර ගත්, විකෘති මනසැති පුද්ගලයෙකි. ඒ වෙනුවෙන් ඔහු සිර ගෙයි සිටින විට ඔහුගේ කල්ලිය, සිර ගේ බිඳ දමා ඔහුව බේරා ගති. එතැන් සිට ඔවුන් නීතියට වැලි ගසමින් අනේක විධි නොපහත් කම්, හොරකම්, මංකොල්ලකෑම්, මිනීමැරුම් මේ ආදී දෑ කරන්නට විය. විශාල බැංකුවක් මංකොල්ල කෑමේ සැලැස්මකට ඔවුන් මුල පුරන්නට පටන් ගත්තේ ඉන් පසුවය.

මැන්කෝ කථාවට එකතු වන්නේද 'බවුන්ටි හන්⁣ටර්' කෙනෙක් ලෙසටය. ඔහුද, ඉන්ඩියෝ සොයා යන්නේ ඔහු අසු කර දී මුදල් ලබා ගැන්මටය. මොටිමෝර් හා මැන්කෝ එකට මුණ ගැසෙන්නේ මෙම කරුණ අරභයාය. මුලින් ඔවුන්ගේ හමුව සිදුවන විට ඇතිවන වෙඩි හුවමාරුව සර්ජියෝ ලියෝන් හරි අපූරුවට ඉදිරිපත් කර තිබුණි.

මැන්කෝ, මොටිමෝර්ගේ හිස් වැසුමට වෙඩි තබයි. එය පාවි ගොස් තරමක් දුරක වැටෙන අතර, මොටිමෝර් ගොස් එය ඇහිලීමට යනවිටම, මැන්කො එයට යලිත් වෙඩි තබයි. එය තවත් දුරකට පාවී ගොස් නැවතුනු අතර මොටිමෝර් නැවතත් ගොස් එය ඇහිලීමට යයි. ඔහු එයට අත තබනවාත් සමඟම මැන්කො එය ට යලිත් වෙඩි තබයි. මෙලෙස හතර, පස්පාරක් මැන්කෝ එම හිස්වැසුම⁣ට වෙඩි තබා එය දිගින් දිගටම පා කර බිම වට්ටයි. මොටිමෝර් ඒ හැම අවස්ථාවකම එය අහුලා ගැන්මට සැරසෙයි.

ඉන් පසු එළැඹෙන්නේ මොටිමෝර්ගේ වාරයයි. ඔහු තම තුවක්කුව මානා මැන්කෝගේ ⁣හිස් වැසුමට වෙඩි තබයි. එම හිස් වැසුම පාවී ගොස් බිම වැටෙන්නට ප්‍රථම ඔහු යළිත් එයට වෙඩි තබයි. එලෙස ඔහු වෙඩි කීපයක්ම එක දිගට තබන්නේ හිස් වැසුමට බිම වැටෙන්නට ඉඩ නොදීය.

මෙම සිදුවීමෙන් පසු දෙදෙනා එක්වෙයි. එසේ එක්වී ඔවුන් කිසියම් සම්මුතියකට එළැඹේ. ඒ ඉන්ඩියෝව සොයා යෑමටය. මැටිමෝර්, මැන්කෝට කියන්නේ ඉන්ඩියෝ ව අල්ලා ගැන්මට නම් කෙසේ හෝ උපක්‍රමශීලිව මැන්කෝට ඉන්ඩියෝගේ කණ්ඩායම හා එක්වන ලෙසටය. ඒ අනුව මැන්කෝ ඉන්ඩියෝගේ කණ්ඩායමට එක්වූ අතර, ඔවුන් සමඟ බැංකුව පුපුරවා හැර එහී තිබූ ⁣යකඩ සේප්පුවද උස්සා එයි.

මොටිමෝර් ඉන්ඩියෝ සමඟ සම්බන්ධ වන්නේ එම යකඩ සේප්පුව විනාශ නොකර දොර ඇර දීමේ උපක්‍රමය හරහාය. නැතිනම් ඉන්ඩියෝ අදහස් කර තිබුණේ, සේප්පුව පුපුරවා හැර මුදල් ගැන්මටය. එහෙත් එම ක්‍රමයෙන් මුදල් බොහොමයක් විනාශ වන බවක් පෙන්වූ මොටිමෝර් එය තමාගේ ශිල්ප දැනුම උපයෝගි කරමින් විවෘත කර දුනි.

එම මුදල් පරිහරණය කිරීමට හැක්කේ තව මාසයකින් පසුව බව ඉන්ඩියෝ තම කණ්ඩායම ට දැන්වූවද, එතැන් සිට කණ්ඩායමේ අය එකිනෙකාට හොරෙන් එම මුදල් සොරා ගැන්මට යෑමෙදී ඔවුන්ගෙන් කීප දෙනෙකු ඉන්ඩියෝ අතින් මැරුම් කෑහ. එහෙත් එක්දිනක් එම මුදල් සැඟවූ තැනින් අතුරුදහන් වී තිබුණි. එයට ඉන්ඩියෝ කෙළින්ම සැක කළේ මැන්කෝ හා මොටිමෝර් වය. එතැන් සිට ඔවුන්ගේ ගැටුම පටන් ගති. එම ගැටුමේදී මොටිමෝර් අතින් ඉන්ඩියෝව මරණයට පත් විය.ඉන්ඩියෝ පමණක් නොව ඔහුගේ මුළු කණ්ඩායමම, මැන්කෝ හා මොටිමෝර් අතින් මරණයට පත් විය. බැංකුවෙන් සොරා ගත් මුදල ඔවුන් දෙදෙනාට අයිති විය. එය විශාල මුදලක් විය. මැන්කෝ එය දෙකට බෙදා මොටිමොර්ට ඔහුගේ කොටස දුන්නද,ඔහු එය බාර ගත්තේ නැත. ඔහු කීවේ ඊළඟ වාරයේදී එක්ව යමක් කළොත් භාර ගන්නම් කියාය. මොටිමෝර්ට වුවමනා කම තිබුණේ මුදල් නොව, ඉන්ඩියෝර් ව තමා අතින් මරා දැමීමටය. ඒ ඔහු ඔහුටම වූ පොරොන්දුවක් ඉෂ්ඨ කර ගැනීමකි. එදා ඉන්ඩියෝර් විසින් නිරපරාදේ ඝාතනය කළ අඹු සැමි යුවළේ, ඉන්ඩියෝ විසින් මිය ගිය පසුත් ලිංගික අපයෝජනය කළ ඒ රූමත් බිරිඳ මොටිමෝර්ගේ සොහොයුරියය. ඔහු මෙලෙස ඉන්ඩියොර් ව මරා දැමුවේ එකී පලිය ගැනීමටය. තම සොහොයුරිය වෙනුවෙන් යුතුකම ඉටු කිරීමටය ඔහු පැමිණියේ. ඔහු මේ බවක් මැන්කෝ ට කියා ඔහුගෙන් සමුගත්තේ සියලු මුදල් මැන්කෝට භාර කරමිනි. මොටිමෝර් සමු ගත් පසු මැන්කෝ තම කරත්තයට මිය ගිය ඉන්ඩියෝ හා ඔහුගේ කණ්ඩායමේ මිනී පටවා ගෙන මුදල් මලු දෙකත් සමඟ යෑමෙන් චිත්‍රපටය අවසන් වේ.

'ෆො අ ෆිව් ඩොලර්ස් මෝ', චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මැන්කෝ වූ ක්ලින්ට් ඊස්ට්වුඩ් වූවද, කථාව ගෙති යන්නේත්, චිත්‍රපටයේ වැඩි බරක් අතට ගන්නේ හා වැඩි දර්ශන ප්‍රමාණයක පෙනී සිටින්නේ කොලොනල් ඩග්ලස් මොටිමර් ලෙස දක්ෂ ලෙස රඟපාන ලී වෑන් ක්ලිෆ්ය.

චිත්‍රප⁣ටයේ තවත් කැපී පෙනෙන චරිතයකි ඉන්ඩියෝ. එම චරිතයට අතී දක්ෂ ලෙස පණ පෙවුයේ 'ජිආන් මරියා වොලන්ටි' යන නළුවාය.

'ෆො අ ෆිව් ඩොලර්ස් මෝ' චිත්‍රපටය ඇමරිකානු ඩොලර් ලක්ෂ 6 ක ඇස්තිමෙන්තුවකින් නිම කෙරූ චිත්‍රපටයකි. එහෙත් එය පළමු වටයෙන්ම ඇමරිකානු ඩොලර් ලක්ෂ 250 කට වඩා අධික මුදලක් ඉපයු අතර, ලොව වඩාත් ජනප්‍රියවූ ගොපලු චිත්‍රපට අතර මුල් පෙළේ තිබෙන චිත්‍රපටයක් බවටද පත් එය විය.

ක්ලින්ට් ඊස්ට්වූඩ් ගේ ප්‍රතිරූපය වඩ වඩාත් ඔප මට්ටම් වූයේද, ඔහු ලෝක පූජිත නළුවෙකු වීම ස්ථීර වූයේද 'ෆො අ ෆිව් ඩොලර්ස් මෝ චිත්‍රපටයෙනි.

චිත්‍රපටය මුදා හළ වර්ෂයේ සිට අද වන විට වසර 57 ක් ගත වූවද, අදටත් එය නැවුම් චිත්‍රපටයක් සේ ඉමහත් කුතුහලයකින් නැරඹිය හැකි වේ.

'ෆො අ ෆිව් ඩොලර්ස් මෝ' ඩී වී ඩී තැටි ඕනෑම ප්‍රධාන ඩී.වී.ඩී. හල් වලින් ලබා ගත හැකි අතර, එය හිට් ටී වී චැනලයේ නිතරම ප්‍රචාරය වේ. යූ ටියුබ් හරහාද, 'ෆො අ ෆිව් ඩොලර්ස් මෝ' සම්පූර්ණ චිත්‍රපටය නැරඹිය හැකිය.