සෝචනීය යොවුන් වියක කටුක මතක

සැප්තැම්බර් 29, 2022

 

බැලූ බැල්මට 28 හැවිරිදි ඇනී ෆැනෙලි පරිපූර්ණ ජීවිතයක් ගත කරන බව පෙනේ. ඇය ආකර්ෂණීය කාන්තා සඟරාවක සංස්කාරකවරියක ලෙස සේවය කරන අතර හොඳ පවුලක ආදරණීය පෙම්වතෙක් සිටී. එහෙත් ඇය රහසක් සඟවන්නීය. එනම් සෝචනීය අඳුරු මතකයකි.

නව යොවුන් වියේ දී ඇය පාසල් වෙඩි තැබීමක් ඇතුළු බිහිසුණු සහ සිදුවීම් මාලාවකට මුහුණ දී ඇති අතර එය සිය වැඩිහිටි විය දක්වාම ඇයට බලපෑවේය. ඇනී වයස අවුරුදු 14 දී සමූහ දූෂණයට ලක් වූවාය. එම අවාසනාවන්ත සිදුවීමෙන් පසු ඇය උපකාර පැතීමට උත්සාහ කළ නමුත් සිදු වූයේ ඇය විශ්වාස නොකළ ඇයගේ සම වයසේ මිතුරු මිතුරියන්ගේ කුරිරු හිරිහැර කිරීම් සහ උපහාසයන්ට ලක් වීමයි. දින, සති, මාස, අවුරුදු ගණනක් ගතවන විටදී ඇනී ප්‍රශ්න කිරීමට පටන් ගන්නේ තමා කවුරුන්ද? තමා සැබවින්ම සතුටු දායක දිවියක් ගත කරන්නේද? එමෙන්ම තම වත්මන් ජීවිතය ඇයට අවශ්‍ය වන්නේද? යන්නයි.

පිටස්තරයකු හට පිළිතුරු දිය නොහැකි, තමන් විසින්ම අවබෝධ කරගත යුතු ප්‍රශ්න පෙළක සිර වී සිටින ඇනී ෆැනෙලිගේ කතාව දිග හැරෙන්නේ Luckiest Girl Alive නවකතාවෙනි. එය ඇමරිකානු ලේඛිකාවක වන ජෙසිකා නෝල් විසින් රචනා කරන ලද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව 2015 වසරේ ඉහළම අලෙවියක් ලද අභිරහස් නවකතාවකි. Luckiest Girl Alive  ජෙසිකාගේ කුලුඳුල් නවකතාව වේ. නව යොවුන් වියේදී බිහිසුණු සිදුවීම් මාලාවකින් පසුව ඇනී ෆැනෙලි නම් තරුණිය සිය වැඩිහිටි වියේදී තම ජීවිතය සොයා ගැනීමට ගත් උත්සාහය එහි ඇතුළත්ය. නවකතාවේදී නව යොවුන් වියේදී සමූහ දූෂණයට සහ හිරිහැරවලට ලක් වූ සිය අත්දැකීම් ජෙසිකා විසින් උපුටා ගන්නා ලද බවද කියවේ.

ඇනී ෆැනෙලිගේ සෝචනීය යොවුන් වියත් එම කටුක මතක සමඟ ඇය වර්තමානයේ දිවි ගෙවන අයුරු සේම ඉදිරි අනාගතයට මුහුණ දෙන අයුරු රිදී තිරය ඔස්සේ දැක ගැනීමට අවස්ථාව ලැබී ඇත. ඒ බ්‍රිතාන්‍ය ජාතික මයික් බාර්කර් අධ්‍යක්ෂණය කළ Luckiest Girl Alive  චිත්‍රපටයෙනි. හෙට (සැප්තැම්බර් 30) සිට තිරගත කෙරෙන එහි තිරරචනය කර තිබෙන්නේ ජෙසිකා නෝල්ය. කැනඩාවේ ටොරොන්ටෝ හිදි 2021 වසරේ ජූනි මස ආරම්භ වූ Luckiest Girl Alive  චිත්‍රපටයේ රූගත කිරීම් එම වසරේ සැප්තැම්බර් මාස නිව්යෝර්ක් නගරයේදී අවසන් විය. චිත්‍රපටයේ ඇනී ෆැනෙලිගේ චරිතයට පණ පොවනු ලබන්නේ ඇමරිකානු නිළි මිලා කුනිස් විසිනි. ඇය සමඟ ෆින් විට්රොක්, ස්කොට් මැක්නියරි, ජෙනිෆර් බේල්ස්, කොනී බ්‍රිටෝන්, තෝමස් බාබුස්කා, ජස්ටින් ලූප්, ඩල්මාර් ඇබුසීල්ඩ් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.