මුහුණට මුහුණ බිහිසුණු ගැටුම

Vikram Vedha
සැප්තැම්බර් 22, 2022

 

වික්‍රම් යනු දක්ෂ මෙන්ම අවංකව සේවයේ නිරත පොලිස් නිලධාරියෙකි. වේධා යනු භයානක මැරයෙකි. වික්‍රම්ගේ හොඳම මිතුරා වන සයිමන් වේධා අල්ලා ගැනීම වෙනුවෙන් පිහිටුවන ලද විශේෂ මෙහෙයුම් ඒකකයකට නායකත්වය දෙයි. එක් මෙහෙයුමකදී එම ඒකකයේ නිලධාරීන් වේධාගේ සහයකයන් කිහිප දෙනෙකු ඝාතනය කරන අතරතුර වික්‍රම් විසින් නිරායුධ අපරාධකරුවකු කොටු කර ගනී. තවත් මෙහෙයුමක් සැලසුම් කරන විට වේධා පොලිස් ස්ථානයට ඇතුළු වී ස්ව කැමැත්තෙන් යටත් වේ. වික්‍රම් වේධාගෙන් ප්‍රශ්න කරන විට ඔහු යමක් කීමට ඉදිරිපත් වේ. එය කතා ත්‍රිත්වයකි. ස්ව කැමැත්තෙන් භාර වූ වේධා වික්‍රම හට පවසන්නේ කුමක්ද? එම කතා අවසානයේ සිදුවන්නේ කුමක්ද?

මෙය දනගත හැකි වන්නේ සැප්තැම්බර් 30 දින තිරගත කිරීමට නියමිත Vikram Vedha හින්දි චිත්‍රපටයෙනි. පුෂ්කර් සහ ඔහුගේ බිරිය ගයාත්‍රි විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද එය 2017 වසරේදී එම නමින්ම තිරගත කෙරුණු දෙමළ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි. දකුණු ඉන්දීය ෆිල්ම් ෆෙයාර් සම්මාන හතරක් සමඟ ආදායම් වාර්තා තැබූ වික්‍රම් වේධා දෙමළ චිත්‍රපටයේ ආර්. මාධවන් වික්‍රම් ලෙසත් විජේ සේතුපති වේධා ලෙසත් චරිත නිරූපණය කළහ. මෙම චිත්‍රපටයට මුල් වූ මෙම කතා පුවත බයිටල් පචිසි නමැති ඉන්දියානු ජනකතා එකතුවෙන් ආභාෂය ලැබූවකි. මෙම චිත්‍රපටය

වික්‍රමාදිත්‍යයන් රජුගේ කතාවේ නූතන අනුවර්තනයකි. චිත්‍රපටයේ නම ද ජන කතාවේ එන ප්‍රධාන චරිත දෙකෙන් නිර්මාණය කර තිබේ.

ත්‍රාසජනක ක්‍රියාදාම හින්දි චිත්‍රපටයක් වන Vikram Vedha හි වික්‍රම්ගේ චරිතයට පණ පොවන්නේ සයිෆ් අලි ඛාන්ය. වේධාගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ රිතික් රෝෂන් විසිනි. ඔවුන් සමඟ රාධිකා ආප්තේ, රෝහිත් සරාෆ්, යෝගිතා බිහානි, සත්‍යදීප් මිශ්රා ඇතුළු පිරිසක් සෙසු චරිත නිරූපණය කරති. මෙම චිත්‍රපටය සඳහා මුල්ම ආරාධනය ෂාරුක් ඛාන් වෙත පිරිනැමුණ නමුත් ඒ වන විට කෙටි කාලයක් විවේකයෙන් ගත කිරීමට තීරණය කර තිබූ හෙයින් ඔහු එය ප්‍රතික්ෂේප කළේය. අනතුරුව සයිෆ් අලි ඛාන් සහ අමීර් ඛාන් පිළිවෙළින් පොලිස් පරීක්ෂක වික්‍රම් සහ වේධා ලෙස රඟපාන බව තහවුරු විය. කොරෝනා වසංගතය හේතුවෙන් නිෂ්පාදනය ප්‍රමාද වීමෙන් පසුව පිටපත නැවත සකස් කරන ලද අතර, එවිට අමීර් වික්‍රම් වේධා චිත්‍රපටයෙන් ඉවත් වූ පසු රිතික් රෝෂන් වේධා චරිතයට ආදේශ කෙරුණි. මෙය Na Tum Jaano Na Hum (2002) චිත්‍රපටයට පසුව සයිෆ් සහ රිතික් රිදී තිරයේ හමුවන දෙවැනි අවස්ථාවයි.