වර්ෂ 2023 ක්වූ September 25 වැනිදා Monday
අඩු පිරිවැයකින් තනා චිත්‍රපට මාලාවකට මුලපිරූ DR.NO

ඉයන් ෆෙලෙමින්ග් ' ඩොක්ටර් නෝ' කථාව ලීවේ රූපවාහීනි කථා මාලාවක් ලෙසටය. ඒ, චිත්‍රපට නිෂ්පාදක හෙන්රි මෝගෙන්තවුටය. එයද ඔවුන් කිරීමට උත්සහ කළේ ජෙමයිකාවල සංචාරක ප්‍රවර්ධනය සඳහාය. එහෙත් එය කෙරුණේ නැත.පසුව ෆෙලෙමින්ග් ට කැනඩා චිත්‍රපට නිෂ්පාදක, හැරී සෝල්ට්ස්මන් ව මුණ ගැසුණි. ෆෙලෙමින්ග්, සෝල්ට්ස්මන් ගේ 'සැටර්ඩේ නයිට් සන්ඩේ මෝනිං' චිත්‍රපටය නැරඹූ පසු , ෆෙලෙමින්ග් ලියූ සියලුම ' ජේම්ස් බොන්ඩ්' නවකථා සියල්ලේම අයිතිය ඔහුට පැවරීය. ඒ ඇමරිකානු ඩොලර් 50,000/ කටය. එය සිදුවූයේ 60 දශකයේ මුල් භාගයේය. සියල්ලම පැවරුවා කීව්වට, ඔහු තමා සන්තකයේ නවකතා දෙකක් තබා ගති. ඒ 'කැසිනෝ රෝයල්', හා 'තන්ඩර්බෝල්' ය.
හැරී සෝල්ට්ස්මන් ෆෙලෙමින්ගේ නවකතාවල අයිතින් ගත්තද, ඒවා චිත්‍රපට ගත කරන්නට ඔහුට මුදල් මදි විය . තිර රචක වුල්ෆ් මෑන්කොවිට්ස් , හැරී සෝල්ට්ස්මන්ට ඇල්බට් බ්‍රකෝලිව හඳුන්වා දුනි. බ්‍රකෝලි, ඇමරිකානු චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. ඔහු 1953 සිට චිත්‍රපට නිෂ්පාදනයේ සිටි අතර, ඔහුගේ මුල්ම චිත්‍රපටය වූයේ 'ද රෙඩ් බෙරට්' ය. ඒ 1953 දීය. ඉන් පසු පිළිවෙළින් ' ෆයර් ඩවුන් බිලෝ' (1957), 'ද ට්‍රයල්ස් ඔෆ් ඔස්කාර් වයිල්ඩ්' (1960)' ජෑස් බෝට්', (1960) යන චිත්‍රපට නිශ්පාදනය කළේය. පසු කලෙක ඔහු චිත්‍රපට ගණනාවක් නිෂ්පාදනය කල අතර ' චිටි චිටි බැංග් බැංග්' වඩාත් ජනප්‍රිය වූ චිත්‍රපටයක් ය.
ඇල්බට් බ්‍රකෝලි, හැරී සෝල්ට්ස්මන් ගෙන් ,ෆෙලෙමින්ගෙන් ගත් සියලුම ජේම්ස් බොන්ඩ් නවකතාවල අයිතීන් මුදලට ඉල්ලුවේය. එහෙත් හැරී සෝල්ට්ස්මන් ඒවා විකුණන්නට කැමති වූයේ නැත. ඔහු ඒ වෙනුවට බ්‍රකෝලි ට යෝජනා කළේ ඔවුන් දෙදෙනාම සමාගමක් පිහිටුවා හවුල්කරුවන් සේ එකතු වී බොන්ඩ් චිත්‍රපට නිෂ්පාදන කරමු කියාය. බ්‍රකෝලි එයට එකඟ විය.
එහෙත් ඇමරිකාවේ කිසිදු චිත්‍රාගාර, මෙම චිත්‍රපටවලට මුදලින් හවුල් වන්නට කැමති වූයේ නැත. ඔවුන් කීවේ ඉයන් ෆෙලෙමින්ග් ගේ 'බොන්ඩ්' කථා වඩාත්ම නැඹුරු වී ඇත්තේ බ්‍රිතාන්‍ය සංස්කෘතික රටාව අනුව බවය. අන් අතකට එම කථා තුළ ශෘංගාරය වැඩි බවකි. නමුත් ඇමරිකාවේ ප්‍රසිද්ධ චිත්‍රපට බෙදා හරින ආයතනයක් වූ 'යුනයිටඩ් ආර්ටිස්ට්ස්' මුල්‍යමය වශයෙන් සෝල්ට්ස්මන් හා බ්‍රෙකෝලි සමඟ එක්වීමට කැමැත්ත පළ කළහ. ඒ නිසා ඔවුන් දෙදෙනා එක්ව සමාගම් දෙකක් පිහිටුවා ගතී. එකක් 'ඩන්ජැක්වූ' වූ අතර එම සමාගමින් සිදුවූයේ , ඔවුන් පොත්වල ගත් අයිතීන් සුරක්ෂිත කිරීමය. අනෙක් සමාගම වූයේ 'ඉඕන් නිෂ්පාදන සමාගම ' නමිනි. චිත්‍රපට නිෂ්පාදනය කෙරෙනුයේ එකී සමාගම යටතේය.මේ යටතේ ඔවුන් නිෂ්පාදනය කළ මුල්ම චිත්‍රපටය 'ඩොක්ටර් නෝ' ය.
නමුත් ඔවුන් දෙදෙනා මුලින්ම සිතා සිටියේ 'තන්ඩර්බෝල්ට්' නවකතාව චිත්‍රපට ගත කිරීමටය. එහෙත් මෙම කථාව පිළිබඳ නීතිමය ගැටලුවකට තිර රචක කෙවින් මැක්ක්ලෝරි හා කර්තෘ ඉයන් ෆෙලෙමින්ග් මැදිවී සිටි හෙයින් ඔවුන් 'ඩොක්ටර් නෝ' තෝරා ගති.
මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට නිෂ්පාදකවරු විසින් මුලින්ම තෝරා ගන්නා ලද්දේ පිල් කාල්සන් ය. ඔහු ඒ වන විටත් චිත්‍රපට 32 කක් පමණ අධ්‍යක්ෂණය කර තිබුණි. පසු කාලෙක ලංකාවේද පෙන්වූ, 'ද සයිලන්සර්ස්', 'අ ටයිම් ෆො කිලින්ග්',' 'ද රෙකින් කෲ', සහ 'හොනස්ට් නෙස්ට්' යන චිත්‍රපටවල අධ්‍යක්ෂවරයා මේ පිල් කාල්සන්ය. ඔහු 'ඩොක්ටර් නෝ'අධ්‍යක්ෂණය කිරීමට එකඟ වුණද, ඔහුගේ අය කිරීම ඉතාමත් ඉහල විය. එය සෝල්ට්ස්මන් හා බ්‍රෙකෝලි ට ඔරොත්තු දුන්නේ නැත. එහෙයින් ඔවුන්, චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් වන ගයි ග්‍රීන්, ගයි හැමිල්ටන්, වැල් ගෙස්ට්, සහ කෙන් හියුග්ස් ගැන සිතා සිටියද, අවසානයේදී ඔවුන් ඩොක්ටර් නෝ චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට භාර කළේ 'ටෙරන්ස් යංග්' ටය.
ටෙරන්ස් යංග් අයිරිශ් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි. එලෙසම ඔහු තිර කථා රචකයෙකු ද විය. ඔහු එංගලන්තයෙත්, යුරෝපයෙත්, එමෙන්ම හොලිවුඩ්වලද වැඩ කළේය.ඔහුගේ මුල්ම සිනමා අධ්‍යක්ෂණය එළි දැක්වූයේ 1948 දීය. ඒ 'කොරිඩෝර් ඔෆ් මිරර්ස්' ය. ඉන්පසු චිත්‍රපට 16 ක් අධ්‍යක්ෂණය කෙරූ ටෙරන්ස් යංග් තම 18 වන චිත්‍රපටයට අත ගැසුවේ 1962 දීය. ඒ 'ඩොක්ටර් නෝ' ය. ඉන් පසුද ඔහු චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කළ අතර එයින් බොහෝමයක් ලංකාවේද පෙන්විය. 'ෆ්‍රොම් රෂියා විත් ලව්', ' ද ඩර්ටි ගේම්' , 'තන්ඩර් බෝල්' 'පොපි ඉස් ඕල්සෝ අ ෆලවර්', 'වෙයිට් අන්ටිල් ඩාර්ක්', 'මයර්ලින්ග්', 'ද ක්‍රිස්මස් ට්‍රී' 'කෝල්ඩ් ස්වීට්', 'රෙඩ් සන්', 'ද වලාචි පේපර්ස්', වැනි චිත්‍රපට එසේ ලංකාවේ පෙන්වූ ඒවා විය.
නිෂ්පාදකවරු 'යුනයිටඩ් ආර්ටිස්ට්' සමාගමට 'ඩොක්ටර් නෝ' චිත්‍රපටය වෙනුවෙන් පූර්ණ ආයෝජනය කරන්නට කීවද, ඔවුන් ආයෝජන කළේ ඇමරිකානු ඩොලර් මිලියන 1 ක් පමණි.පසුව තවත් ඩොලර් ලක්ෂයක මුදලක් ඔවුහු එයට එකතු කළහ. මෙවන් අඩු ආයෝජනයක් නිසා, අධ්‍යක්ෂ ටෙරන්ස් යංග්ට තමන්ට රිසි සේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට නොහැකි බව ඔහු තේරුම් ගත්තේය. එහෙයින් ඔහුට බොහෝ වියදම් අවම කරන්නට සිදු විය. සාමාන්‍යයෙන් චිත්‍රපටයකට ශබ්ද පරිපාලකයන් දෙදෙනෙක් ගනී. ඒ, එක්කෙනෙක් ශබ්ද කැවීම් හා අනෙක් කෙනා දෙබස් පටිගත කිරීම්වලටය. මෙහිදී ඔහුට එක් ශබ්ද පරිපාලකයකුගෙන් කාර්යන් දෙකම කර ගැන්මට සිදු විය. එලෙසම චිත්‍රපටයේ පසුතල අවම මුදලකින් කිරීමට සිදුවූ නිසා ඒවා තුළින් දිස්වූයේ 'බාල' පෙනුමකි.
'ඩොක්ටර් නෝ' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ 'ජෙම්ස් බොන්ඩ්' ට නළුවෙක් තේරීම අනෙක් ප්‍රධාන වූ ගැටලුවක් විය. ඉයන් ෆෙලෙමින්ග් 'ජේම්ස් බොන්ඩ්' චරිතය මවා තිබුණු චරිත ලක්ෂණ අනුව ඔහු ඇමරිකානුවෙකුට වඩා නෑකම් කීවේ බ්‍රිතාන්‍ය ජාතිකයකු ලෙසටය. ඔහුගේ ගති පැවතුම් තිබුනේ ඉංග්‍රිසි 'පැටන්' එකටය.අන් අතකට ඔහු මනා කඩවසම් විය යුතුය. වචන උච්චාරණය, ඇල්ම, බැල්ම, ගමන බිමන පමණක් නොව සටන් කිරීමේදී තීක්ෂණය , බුද්ධිය හා වේගවත් බව, මේ ආදී බොහෝ දෙයින් ඔහු සම්පූර්ණ විය යුතු අතර, ඔහු ගේ කඩවසම් බවට ශෘංගාර පෙනුමක්ද එකතු විය යුතුය. රූමත් කෙල්ලන් ඔහුගේ කඩවසම් බවට යටවිය යුතුය. චිත්‍රපටයේ මොන තරම් ආකාර්ෂණීය චරිත තිබුණද, ඔහු ඒ සියල්ලෝම අබිබවා කැපී පෙනිය යුතුය. එලෙසම මෙම චරිතයට තෝරා ගන්නා නළුවා ඉදිරියේදී නිර්මාණය වන ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ අවම වශයෙන් චිත්‍රපට පහක හෝ ජේම්ස් බොන්ඩ් ලෙස රඟපෑ යුතුවේ.
එකී සියල්ලම සපිරූ නළුවෙක් වූ 'කේරි ග්‍රාන්ට්' ව ඔවුන් මුලින්ම තෝරා ගති. ඒ 'කේරි ග්‍රාන්ට්' ගේ රංගන ජීවිතයේ උපරිම කාලයයි. එලෙසම ඒ ඔහුට දැඩි ඉල්ලුම තිබූ ඔහුගේ වාසනාවන්තම කාලයයි. ඩොක්ටර් නෝ හී ජේම්ස් බොන්ඩ් චරිතය රඟපෑමට ඔහු කැමැත්ත පළ කළද, එක දිගට ජේම්ස් බොන්ඩ් වීමට ඔහුට නොහැකි බව ඔහු කීවේ, ඒ වන විටත් ඔහු භාර ගත් චිත්‍රපට නිසාය. ඒ හෙයින් ඔහු කීවේ ඔහුට රඟපාන්නට හැකි වන්නේ 'ඩොක්ටර් නෝ' චිත්‍රපටයේ පමණක් කියාය. ජේම්ස් බොන්ඩ් චිත්‍රපට කථා මාලාව එක චිත්‍රපටයකින් නිම කිරීමට ඔවුනට අවශ්‍ය නොවීය. එහෙයින් ඔවුන් 'කේරි ග්‍රාන්ට්' ව අමතක කර දැමීය. ඉන් පසු ඔවුනගේ තේරීම වූයේ නළු ' රිචඩ් ජොන්සන්ය' .ඔහුගේ 'ඩෙඩ්ලියර් දෑන් ද මේල්' 'සම් ගර්ල්ස් ඩූ', 'ජුලියස් සීසර්', 'ඇන්තනී ඇන්ඩ් ක්ලියෝපැට්රා', 'හෙනසි', 'ට්‍රෙෂර් අයිලන්ඩ්' වැනි චිත්‍රපට ගණනාවක් ලංකාවේ ප්‍රදර්ශනය විය. නිෂ්පාදකවරුන් හා අධ්‍යක්ෂකවරයා ද වඩාත් කැමති වූයේ 'රිචඩ් ජොන්සන්' ජෙම්ස් බොන්ඩ් වන්නේ නම්ය. නමුත් ඔහු 'එම්.ජී.එම්' චිත්‍රපට සමාගම සමඟ ගිවිසුම් ගතවී සිටි හෙයින් ඔහුට මෙම ආරාධනාව පිළිගැන්මට නොහැකි විය. ඉන්පසු ඔවුන් පැට්‍රික් මැක්ගුහාන්, ජෝන් ඩ්‍රේක්, ඩේවිඩ් නිවන්, රිචඩ් ටොඩ්, එඩ්වඩ් අන්ඩර්ඩවුන්, ගැන සලකා බැලිය. ඒ අතරේදී 'රොජර් මුවර්' ද විය. රොජර් මුවර් එකල සිටියේ යොවුන් වියේය. එහෙයින් මෙවන් බැරැරුම් චරිතයක් ඔහුට එකල නොගැළපුනි. එහෙත් පසු කලෙක ඔහු 'බොන්ඩ්' ලෙස තිරයට පැමිණීම වෙනම කථාවකි.
ශෝන් කොනරි තේරිම් කමිටුව ඉදිරියට ආවේ මේ අතරෙදීය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 31 විය. ඔහු සමඟ තවත් 5 දෙනෙක් පැමිණියහ. එකී සියල්ලන්ගෙන් නිශ්පාදක බ්‍රෙකෝලි තෝරා ගත්තේ 28 හැවිරිදි මෝස්තර නිරූපකයකු වූ පීටර් ඇන්තනී වය. ඒ ඔහුට ප්‍රවීණ නළු ග්‍රෙගරි පැක්ගේ, පෙනුම තිබූ නිසාය. ඔහුට රඟපෑමට ඇති හැකියාව ඔවුන් විසින් උරගා බලන විට ඔවුන් ට වැටහී ගියේ පීටර් ඇන්තනීගේ රඟපෑමේ හැකියාව ඉතාමත් අවම බවත්, ජෙම්ස් බොන්ඩ් චරිතය ඔහුට ග්‍රහණය කිරීමට නොහැකි බවකි.
මේ අතර උඩුමහලේ පරික්ෂණය කරමින් සිටි නිෂ්පාදක වරුන් දෙන්නා උඩු මහලේ ජනේලයකින් දුටුවේ, පරික්ෂණයට පැමිණි ශෝන් කොනරි පරික්ෂණය නිම වී නැවත තම කාර් රථයට යන අන්දමත්, කාර් රථයේ දොර අරින අන්දමත් ය. ඔවුන්ගේ හිතේ තිබූ ජේම්ස් බොන්ඩ් ගේ ක්‍රියා කාරිත්වයත් ශෝන් ගේ ගමන, බිමන, කාර් රථයේ දොර ඇරීම වැනි දේට බොහෝ සමාන විය. යළි දෙවරක් ඔවුන් සිතුවෙි නැත. වහා ශෝන් කොනරිව ජෙම්ස් බොන්ඩ් චරිතයට තෝරා ගතී.
ඉන් අනතුරුව ඔවුනට බොන්ඩ්ගේ පෙම්වතියගේ චරිතයට තෝරා ගන්නා නිළිය ගැන අවධානය යොමු කරන්නට සිදු විය. මුලින්ම ජූලි ක්‍රිස්ටි ගැන තම අවධානය යොමු කළ ඔවුන්, පසුව මාර්ටිනි බෙස්වික්, ගේබ්රියල්ලා ලිසුයිඩි, වැනි නිළියන් ගැනද සිතන්නට විය. එහෙත් චිත්‍රපටය පටන් ගැන්මට සති දෙකක් තිබියෙදීත් ඔවුනට නිළියක්ව තෝරා ගැන්මට නොහැකි විය. නළු කර්ක් ඩග්ලස් විසින් මෙම චරිතයට ස්විස් ජාතික උර්සුලා ඇන්ඩ්‍රෘස්ව යෝජනා කළේය. 1954 , 'ඇමරිකන් වුමන් ඉන් රෝම්' නම් ඉතාලි විකට චිත්‍රපටයක කුඩා චරිතයකින් සිනමාවට එක්වුණු ඇය 'ඩොක්ටර් නෝ' චිත්‍රපටයේ හනී රයිඩර්ගේ චරිතයට එක්වන විට රඟපා තිබුණේ ඉතාලි විකට චිත්‍රපට දෙකක කුඩා චරිතයන්ය. එහෙත් ඇයගේ අතීශයින්ම ශෘංගාරාත්මක රූමත් පෙනුම ඩොක්ටර් නෝ චිත්‍රපටයේ 'හනී රයිඩර්' ගේ චරිතයට හොඳටම ගැළපුණි. එහෙත් ප්‍රශ්නයකට තිබුණේ ඇය ගේ ඉංග්‍රිසි භාෂාවේ කථා කිරීමේදී ඇති අඩුපාඩුවය. ඇය ඉංග්‍රිසි කථා කරන විට බොහෝ විට ඇයගෙන් දිස්වූයේ ස්විස්-ජර්මන් විලාශය ය. එහෙයින් ඈ වෙනුවෙන් පසුබිම් හඬ දීම ට අධ්‍යක්ෂක ටෙරන්ස් යංග් වෘත්තිමය නිළියක් හා හඬ කැවීම් ශිල්පිනියක් වූ 'නිකී වෑන් ඩර් සීල්' ව යොදා ගතී. පසුව ඇය හැම බොන්ඩ් චිත්‍රපටයකම හඬ කවන්නට විය.
'ඩොක්ටර් නෝ' චරිතයට ඉයන් ෆෙලෙමින්ග් යෝජනා කළේ තම හිත මිත්‍ර නළු නොයෙල් කොවාඩ් වය. එහෙත් නොයෙල් විසින්ම එය ප්‍රතික්ෂේප කළ නිසා, ෆෙලෙමින්ග් ඒ වෙනුවට ක්‍රිස්ටෝපර් ලීව යෝජනා කළේය. ඒවන විට නිෂ්පාදක වරු කැනේඩියන් ඇමරිකන් සමිශ්‍ර නළු 'ජෝශප් වයිස්මන්' ව තෝරා ගෙන තිබුණි. එසේ තෝරා ගැන්මට පෙර ඔහු චිත්‍රපට 11ක රඟපෑ තිබූ අතර, එයින් කැපී පෙනෙන චරිත කර තිබුණේ 1952 වසරේ තිරගත කළ 'ලෙස් මිසෙරාබල්ස්' චිත්‍රපටයත්, බර්ට් ලැන්කැස්ටර්, ඔඩ්රි හෙප්බන් රඟ පෑ 'ද අන්ෆොගිවන්' චිත්‍රපටය ත් පමණි. පසු කාලෙක නම් ඔහු 'ස්ටිලෙටෝ', 'ලෝ මෑන්', 'පර්සුට්' 'ද වලාචි පේපර්ස්', 'ද බෙට්සි' වැනි චිත්‍රපටවල රඟපෑවද, ඩොක්ටර් නෝ ලෙස රඟපෑ චරිතය වඩාත්ම ජනප්‍රිය විය.
ජැමෙයිකා හී 'මිලිටෙරි ඉන්වෙස්ටිගේෂන් කාණ්ඩ 6 සේනාංකයේ ප්‍රධානියා වූ ජෝන් ස්ට්‍රැන්ග්වේස් සහ ඔහුගේ පෞද්ගලීක ලේකම් ව තිදෙනෙකුගෙන් සමන්විතවූ කල්ලියක් විසින් මරා දමා තිබුණි. මෙම මිනිමැරුම හා මෙය ට සම්බන්ධ හේතූ සහ ඔවුනගේ අරමුණු, සැලසුම් සොයා ගැන්මට පවරා දෙනු ලැබුවේ රහස් පරික්ෂක 'ජේම්ස් බොන්ඩ්' ටය. 'ඩොක්ටර් නෝ' චිත්‍රපටය පටන් ගන්නේ එලෙසය.
ජේම්ස් බොන්ඩ් මේ ගැන සෙවීමට ජැමෙයිකාවට පා තැබූ පසු ඔහුගේ පස්සෙන් පැන්වීමට කුලී රථ රියදුරෙක් ව, යොදවා තිබුණි. ඔහු බොන්ඩ් පසු පස පැන්නුවේ බොන්ඩ්ව මරා දැමීමටය. බොන්ඩ් මේ පිළිබඳව අවධානයෙන් සිටි හෙයින් ඔහුට එම රියදුරාව අල්ලා ගැන්මට හැකි විය. එහෙත් තම සංවිධානයේ නියමයන් අනුව කිසිවෙක් එලෙස අසුවන්නේ නම් ඔවුනට දී ඇති සයනයිඩ් කරල හපා තමා ජීවිතක්ෂයට පත් විය යුතු වේ. මෙම රියදුරාද, බොන්ඩ්ට අහුවුණු සැණින්ම ඔහු ළඟ තිබු සයනයිඩ් කරල කා මිය ගියේ බොන්ඩ්ට කිසිවක් දැන ගැන්මට ඉඩක් නොතබන ලෙසය.
බොන්ඩ් ඉන්පසු කෙළින්ම ගියේ මරා දැමූ ස්ට්රැන්ග්වේස්ගේ නිවසටය. එම නිවසට බොන්ඩ්ව රැඟෙන ගිය බෝට්ටුකරු 'ක්වෙරල්' බොන්ඩ්ට සී.අයි.ඒ. නිලධාරියෙක් වූ ෆීලික්ස් ලෙයිටර් ව , හදුන්වා දුනී. ෆීලික්ස් ද එතැනට පැමිණ තිබුණේ ස්ට්‍රෙන්ග්වේ ගේ මරණය පිළිබඳව පරික්ෂණ කිරීමටය. ක්වෙරල් කියනා අන්දමට ස්ට්‍රෙන්ග් වේ ,ක්වෙරල් සමඟ , මිනිසුන්ට යාමට තහනම් කළ, 'ක්‍රෑබ් කී' නම් දූපතකට ගොස් දියර සාම්පල් රැගෙන විත් තිබුණි. එය ඔවුන් පරික්ෂණ කිරීමට භාර දී තිබුණේ භූ විද්‍යාඥයෙකු වූ මහචාර්ය ආර්. ජේ.ඩෙන්ටය. ක්වෙරල් , බොන්ඩ්ව, ඩෙන්ට් ළඟට රැගෙන ගියේය. එහෙත් ඩෙන්ට් කීවේ, ඔහු එම දියර පරික්ෂා කළද, ඒවා සාමාන්‍ය දියර බවකි. බොන්ඩ්ට එහී කිසියම් සැකයක් ඇතිවූණි. එලෙසම ක්‍රෑබ් කී දූපතේ සිට ජැමෙයිකාව දක්වා යන රේඩියෝ පද්ධතියේ තරංග කවුරු හෝ අවහිර කර ඇති බවක්ද බොන්ඩ් , ෆිලික්ස් මෙන්ම සී.අයි.ඒ. සංවිධානය ද සොයා ගෙන තිබුණද, එය කර ඇත්තේ කවුදැයි ඔවුන්ට හරියටම නිරික්ෂණය කර ගත නොහැකි විය. නමුත් මෙයට ඩෙන්ට් සම්බන්ධතාවයක් ඇති යන සැකයක් බොන්ඩ්ට ඇති විය. අවම වශයෙන් ඔහු මේ පිළිබඳ යමක් දන්නවා ඇතැයි බොන්ඩ්ට සිතුණි. 'ක්‍රෑබ් කී' දූපතෙන් ගෙන ආ දියර සාමාන්‍ය දියරයක් කී ඩෙන්ට් අවශ්‍ය නම් දූපතේ අයිතිකරුව බොන්ඩ්ට මුණ ගස්වන්නටද, හැකි බවක් කීය. එහෙත් ඒ අතරේ ඩෙන්ට් විසින් බොන්ඩ්ව 'ටරන්ටූලා' නම් දරුණු මකුළුවෙක් යොදා බොන්ඩ් රෑ නිදාසිටින විට ඔහු මරා දමන්නට සැලසුම් කළේය. බොන්ඩ් එම සතාගෙන් බේරී , ඌව අල්ලා මරා දැමීය. මේවා කරන්නේ ඩෙන්ට් බව බොන්ඩ් දැන ගත් අතර, ඔහු ඩෙන්ට් එන වේලාව බලා ඔහු ව අල්ලා ගෙන ඔහුට පිස්තෝලය එල්ල කර කීවේ ඔහුව මරන්නට පෙර, දැගන්න ඕනෑ වුණේ ස්ට්‍රෙන්ග්වේ දූපතෙන් ගෙනත් දුන් දියරවල 'රේඩියෝඇක්ට්ව්' නොහොත් රේඩියෝ කිරණ හරහා මිනිසුන්ගෙ ශක්තිය අඩපණ කරන ද්‍රව්‍යයක් තිබුණාද යන්නය. එහෙත් ඔහුගෙන් එය දැන ගැන්මට හැකි වූයේ නැත.
බොන්ඩ් ට ' හනි රයිඩර්' මුණ ගැසුණේ මේ ක්‍රෑබ් කිංග් දූපතට යන එන අතෙර්ය.'හනි රයිඩර්' ඉතාමත් සූරූපි, ශෘංගාරාත්මක තරුණියකි. ඇය නිතරම සැරසී සිටියේ 'බිකිනි' ඇඳුමෙනි. බොන්ඩ් ට ඇය ව පෙනුණේ දිය කිඳුරියක් සේය.'හනි රයිඩර්' මුහුදේ සැරි සරන්නේ මුහුදේ කිමිදී විශාල බෙල්ලන් එකතු කිරීමටය. ඇයගේ රැකියාව වූයේ එයයි. ඇය ' ෂෙල් ඩයිවර්' කෙනෙකි.
බොන්ඩ් හා හනී ගේ එක්වීම සිදුවුණේ ක්ෂනයකිනි. ඒ බොන්ඩ් රූමත් තරුණියන්ට සුවිශේෂිත ස්ථානයක් දෙන නිසාය. හනී ද බොන්ඩ්ට උදව් කරන්නට ඉත සිතින් කැමති විය. ඔවුන්ට දැන් අවශ්‍ය වී තිබුණේ ස්ට්‍රෙන්ග්වේ ගේ මරණය පිටුපස ඇති කථාව හා එයට මුල් වන පුද්ගලයන්ව සොයා ගැන්මය. සාම්පල් පරික්ෂා කෙරූ, බොන්ඩ් අතින් මියගිය මහාචාර්ය ඩෙන්ට් මේ අයගෙන් කෙනෙකි. එසේ නම් මොවුන් කාට හෝ වැඩ කළ යුතු වේ. පුද්ගලයෙකුට හෝ සංවිධානයකට. අවසානයේදී බොන්ඩ්, හනි රයිඩර් හා ක්වෙරල් , මේ පිටුපස සිටින බලවත් මිනිසාව සොයා ගති. ඇත්තෙන්ම එය ඔවුන් විසින් සොයා ගන්නවාට වඩා, ඔවුන්ව ඒ තැනට ගෙන යාමය සිදු වූයේ. ඒ ඔවුන්ව, ආයුධ රැගත් භට පිරිසක් විසින් අල්ලා ගත් නිසාය. ඔවුන්ගෙන් මිදෙන්නට, බොන්ඩ්, හනි හා ක්වෙරල් සටන් කළද, එයින් ලැබුණු ප්‍රතිඵලය වූයේ ක්වරල් එම ආයුධකරුවන් අතින් මිය යෑමත්, බොන්ඩ් හා හනීව සිහසුන් කර ඒ බලවත් පුද්ගලයා ළඟට ගෙන යාමය. බොන්ඩ් හා හනිට සිහිය එන විට ඔවුන් සිටියේ ඒ බලවත් පුද්ගලයාගේ තාක්ෂණයෙන් පිරූ සුඛෝපභෝගි කඳවුරකය. එහී ආයුධ සන්නද්ධ විශාල වූ පිරිසක් ඒ බලවත් පුද්ගලයාගේ ආරක්ෂාවට මෙන්ම ඔහුට සේවය කිරීමට, විවිධ අංශවල නිපුණත්වයට පැමිණුනු අය සිටියහ.
ඔහු කව්ද?. ඔහු ' ඩොක්ටර් ජූලියස් නෝ' ය. ඔහු චීන-ජර්මානු අපරාධ විද්‍යාඥයෙකි. විකිරණ නිවාරණයකදී ඔහුගේ අත ගැලවී ගොස් ඒ වෙනුවට ඔහු යකඩ අතක් පැලඳ සිටියේය. ඩොක්ටර් නෝ යනු චීන අපරාධ සංවිධානයක හිටපු සාමාජිකයෙක් බවත්, ඔහු එහිදී ඇමරිකානු ඩොලර් මිලියන 10 ක් වටිනා රත්තරන් සොරකම් කර පැන ඇවිත් දැන් රහස් සංවිධානයක් වූ ' ස්පෙක්ට්‍රේ' හී සමාජිකයෙක් ලෙස වැඩ කරන බවක් බොන්ඩ් හඳුනා ගති. 'ස්පෙක්ට්‍රේ' යනු ත්‍රස්තවාදය, පළිගැන්ම, කප්පම්ගැනීම් හා දරුණු ගනයේ අපරාධවලට සම්බන්ධ සංවිධානයකි. ක්‍රැබ් කී දූපතේ රේඩාවලට බලපෑම් කර තිබෙන්නේද, ඩොක්ටර් නෝ බව දැං ජේම්ස් බොන්ඩ්ට පැහැදිලි විය. ඩොක්ටර් නෝ බොන්ඩ්ට කීවේ ඔහුට 'ස්පෙක්ට්‍රෙ' සංවිධානය හා එකතු වන ලෙසටය. බොන්ඩ් එය එක හෙළාම ප්‍රතික්ෂේප කළේය. එහෙයින් ඔවුන් හනි රයිඩර්ව එතැනින් රැගෙන ගොස් වෙන තැනක හිර කර දැමූ අතර, බොන්ඩ්ට ගුටි බැට දී ඔහුවද හිර කර තැබීය.
ඩොක්ටර් නෝ රේඩියෝ මධ්‍යාස්ථනයක් තනා, ජැමෙයිකාවට යන රේඩියෝ තරංග තමන්ගේ පාලනයට ගෙන ඇත්තේ ඒ හරහා මුළු රටටම බලපෑම් කිරීමට හැකීවීම නිසාය. බොන්ඩ් මෙම රේඩියෝ තරංග මධ්‍යස්ථානය විනාශ කිරීමට යන අතරේදී ඩොක්ටර් නෝ හා බොන්ඩ් අතර ඇතිවූ දරුණු ගැටුමකින් පසු ඩොක්ටර් නෝ ව, ගිනි වතුර තටාකයට වැටී පිලිස්සී මිය ගියේය. ස්ට්‍රෙන්ග්වේ ගේ මරණය පිටුපස සිටියේ ඩොක්ටර් නෝ බවත් එයට හේතු වී තිබුණේ ස්ට්‍රෙන්ග්වේ විසින් ක්‍රැබ් කී දූපතේ තිබූ මිනරල් වතුරවලට සමිශ්‍ර කර තිබූ වස ගැන පරික්ෂණ කර සොයා ගැනීම නිසාය.
මේ අතර කඳවුර පිපිරීමක් කර විනාශ කරන්නට එහී සිටි අය සැලසුම් කළ අතර, බොන්ඩ් වහා හනි සිටින තැන සොයා ඇය බේරාගෙන බෝට්ටුවට නැගී ගොඩබිම දෙසට පැදවූයේ කඳවුර පිපිරවීමට විනාඩි කීපයකට පෙරය. එහෙත් අතර මඟදී ඔවුන්ගේ බෝට්ටුවේ ඉන්ධන නිම විය. ඔවුන් මුහුදේ නතර වී සිටින විට , ෆීලික්ස්, නාවික හමුදා බෝට් යානයකින් පැමිණ ඔවුන් දෙදෙනාව බේර ගතී.
ඇමරිකානු ඩොලර් මිලියන 1දශම 1කින් අධ්‍යක්ෂ ටෙරන්ස් යංග් මෙතරම් හෝ විස්කමක් කළ එක ගැන යුනයිටඩ් ආර්ට් සමාගම හා නිෂ්පාදකවරු වන හැරි සෝල්ට්ස්මන් හා ඇල්බට් බ්‍රොකොලි සතුටු විය යුතුය. ඩොක්ටර් නෝ නිර්මාණය වී ඇති ආකාරය ගැන එම පොත ලියූ ඉයන් ෆෙලෙමින්ග් කෙසේ්වත් සතුටු වී තිබුණේ නැත. ඔහු කීවේ එය අතීශයින්ම ' බාල' අන්දමින් නිර්මාණය වී ඇති බවකි. නමුත් ශෝන් කොනරි' වැනි නළුවෙක්ව බොන්ඩ් චරිතයට එක්වීම ගැන නම් ඔහු ඉතාමත් සතුටට පත්විය. ඔහු කීවේ ඩොක්ටර් නෝ චිත්‍රපටයේ ගත යුතු දේවල් නම් ශෝන් කොනරි ගේ ආගමනයත්, උර්සුලා ඇන්ඩ්‍රෘස්ගේ ආකර්ෂණයත්, සිබෙල්ලා ගැයූ 'අන්ඩර්නිත් ද මැන්ගෝ ට්‍රි' ගීතයත් පමණි කියාය. ටෙරන්ස් යංග් කිවේ ඩොලර් මිලියනයකින් ඔයිට වඩා මැජික් පෙන්වීමට නොහැකි බවය. ෆෙලෙම්න්ග් එය නම් හිස්මුදුනින්ම පිළි ගතී. තම කෘතියේ හී ඩොක්ටර් නෝ ගේ චරිතය බොහෝ අවස්ථාවල බොන්ඩ්ගේ චරිතයද අබිබවා ගියද,චිත්‍රපටය තුළ ඩොක්ටර් නෝ ගේ චරිතය දියාරු වී තිබුණි. ඒ ෆෙලෙමින්ගෙ තවත් දෝෂාරෝපණය කි.එය නම් ඇත්තක් බව නිෂ්පාදකයෝද පිළිගති.
ඒ කෙසේ වෙතත් ඇමරිකානු ඩොලර් මිලියන 1 දශම 1ක් වියදම් කෙරූ ඩොක්ටර් නෝ චිත්‍රපටය ලොව වටා ප්‍රදර්ශනය කිරීමෙන් ලද බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 59 දශම 9 යක් විය. එලෙසම එය ' ජෙම්ස් බොන්ඩ්' චිත්‍රපට මාලාවක ඇරඹුම විය. එය කෙතරම් ව්‍යාප්ත වූවාදැයි කිව හොත් ශෝන් කොනරිට බොන්ඩ් චිත්‍රපට 5 කම රඟපාන්නට සිදුවිය. ඒ 1963දී 'ෆ්‍රොම් රෂියා විත් ලව්', 1964 දී ' ගෝල්ඩ් ෆින්ගර්', 1965 දී ' තන්ඩර්බෝල්', 1967 දී 'යූ ඔන්ලි ලිව් ටුවයිස්', හා 1971 දී ' ඩයමන්ස් ආ ෆොරෙවර්' යන චිත්‍රපටය. ශෝන් කොන්රිගෙන් තොරව සිදුවූ ජෙම්ස් බොන්ඩ් චිත්‍රපට මෙසේ විය. ' ඔන් හර් මැජෙස්ටිස් සීක්‍රට් සර්විස් (1969), 'ලිව් ඇන්ඩ් ලෙට් ඩයි', (1973), 'ද මෑන් විත් ද ගෝල්ඩන් ගන්' (1974), 'ද ස්පයි හූ ලව්ඩ් මී' (1977), 'මූන් රේකර්' (1979), 'ෆො යුවර් අයිස් ඔන්ලි', (1981),'ඔක්ටොපුසි' (1983),
'අ වීව් ටු කිල්' (1985), ' ද ලිවින් ඩේ ලයිට්ස්',(1987), ' ලයිසන් ටු කිල්', (1989), 'ගෝල්ඩන් අයි' (1995), ' ටුමාරෝ නෙවර් ඩයිස්' (1997), ' ද වර්ල්ඩ් ඉස් නොට් ඉනෆ්', (1999), ' ඩයි එනදර් ඩේ' (2002), 'කැසිනෝ රෝයල්' (2006), 'ක්වන්ටම් ඔෆ් සොලෙස්',(2008), ' ස්කයි ෆෝල්',(2012), 'ස්පෙක්ට්‍රි (2015), ' නෝ ටයිම් ටු ඩයි' (2020).
මේ සියලු චිත්‍රපට අතීශයින්ම ජනප්‍රිය වූ සේම, ඒ සියල්ලටම මුල් වු පළමු ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය වූ 'ඩොක්ටර් නෝ' ප්‍රේක්ෂකයන් ට සදා, අමරණීය මතක සටහනක් වීම නම් නොඅනුමානය.
'Underneath the
mango tree
Me honey and me
can watch the moon
Underneath the
mango tree
Me honey and me
make boolooloop soon
Underneath the moonlit sky
Me honey and I
can sit hand in hand
Underneath the moonlit sky
Me honey and
I can make fairyland