වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
යෝජිත විවාහයක රස සාගරය

ඉන්දීය සමාජයේ කාන්තාව හා විවාහය බොහෝ විවාදයන් හට මුල් වන්නක් වී තිබේ. කුලය, ජාතිය සේම දෑවැද්ද වැනි කරුණු කාරණා ද හේතු කොට ගෙන විවාහය ඇතැම් ඉන්දීය තරුණියන් දැඩි මානසික පීඩාවන්ට පත් කරන්නක් වී ඇති බව නිරන්තරයෙන් විවිධ සිදුවීම් ඔස්සේ අසන්නට ලැබේ. මේ වන විට එම තත්ත්වය පිළිබඳ විශේෂ අවධානය යොමු කොට ගෙන නිර්මාණය කළ සිනමාපටද දැක ගැනීමට හැකියාව ඇත. මෑතකදි එයට හොඳම උදාහරණය වූයේ අක්ෂේ කුමාර් ප්‍රධාන චරිතය නිරූපණය කළ රක්ෂා බන්ධන් චිත්‍රපටයයි.
විවාහය යනු පුද්ගලයකුගේ ජීවිතයේ සුන්දරතම අවස්ථාවකි. යුවළක් විවාහ දිවියට පා තබන්නේ සතුටින් එකමුතුව එක් වහලක් යට ජීවත් වීමටය. විවාහයේදී යෝජිත විවාහය, ආදර විවාහය ලෙස වර්ග වේ. පිරිසක් ආදර සම්බන්ධතා අනුව විවාහ වන විටදී තවත් පිරිසක් අතර යෝජිත විවාහ සිදු වේ. ජංගම සාප්පු හිමියෙකු වන ජෝෂි, රාධා නම් තරුණියක සමඟ යෝජිත විවාහයකට එකඟ වේ. විවාහ සබඳතාව හේතුවෙන් ජෝෂි නව මෝටර් රථයක් මිල දී ගනී. මේ සමඟ දින හතරක් ඇතුළත සිදු වන සිදුවීම් අතර කතාවක් දිග හැරේ. එය නම් කර තිබෙන්නෙ ගෝල්ඩ් ලෙසිනි.
ගෝල්ඩ් යනු මලයාලම් හාස්‍යමය චිත්‍රපටයක් වන අතර එය ඇල්ෆොන්ස් පුත්රෙන්ගේ අධ්‍යක්ෂණයකි. එහි තිර රචනය සහ සංස්කරණයද කර තිබෙන්නේ ඔහුය. 2015 වසරේ තිරගත කෙරුණු ලොව පුරා සිනමා ලෝලීන්ගේ ආකර්ෂණය ලද ප්‍රේමම් චිත්‍රපටයද ඇල්ෆොන්ස් පුත්රෙන්ගේ අධ්‍යක්ෂණයකි. ෆිල්ම්ෆෙයාර් සම්මාන ඇතුළුව සම්මාන රැසක් දිනූ ප්‍රේමම් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, තිර රචනය, නිවින් සහ සායි පල්ලවිගේ රංගනය, සංගීතය, කැමරාකරණය සහ සංස්කරණය ආදි කරුණු සමඟ අතිසාර්ථක චිත්‍රපටයක් ලෙසින් පිදුම් ලැබූවකි. ඇල්ෆොන්ස් ගෝල්ඩ් චිත්‍රපටය ගෙන එන්නේ ප්‍රේමම් චිත්‍රපටයෙන් හය වසරකට පසුවය.
ගෝල්ඩ් චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට පණ පොවන්නේ ප්‍රීතිවිරාජ් සුකුමාරන් සහ නයන්තාරාය. අජ්මාල් අමීර්, ක්‍රිෂ්ණා ශංකර්, ශබරීෂ් ශර්මා, රෝෂන් මැතිව් ඇතුළු පිරිසක් සෙසු චරිත නිරූපණය කරති. ප්රීතිවිරාජ්ගේ මව මල්ලිකා සුකුමාරන් ද මෙහි රංගනයෙන් එක් වී සිටී. ගෝල්ඩ් චිත්‍රපටයද පසුගිය කාලයේ ශීඝ්‍රයෙන් පැතිර ගිය කොරෝනා වසංගතය සමඟ අසීරු තත්ත්වයට මුහුණ පෑ චිත්‍රපටයකි. ඒ හේතුවෙන් ගෝල්ඩ් චිත්‍රපට කණ්ඩායමටද රූගත කිරීම් කල් දැමීම සහ දර්ශනතල වෙනස් කිරීමට සිදු විය. සියල්ල අවසානයේ එය අද (සැප්තැම්බර් 15) සිට සිනමාහල්වල තිරගත කෙරේ. එහිදී ජෝෂි සහ රාධාගේ යෝජිත විවාහය සමඟ ඔවුන්ගේ අනාගතය කෙසේ ගොඩනැඟෙනු ඇති දැයි දැකගත හැකිවනු ඇත.